රාවය

ගම හප කිරීම

ගම හප කිරීම

වික්ටර් අයිවන්

ලංකාවේ ක්‍රියාත්මක වන සමස්ත ක්‍රමය කොල්ලකරුවන්ට හැර සාධාරණ ලෙස නැගී සිටීමට උත්සාහ කරන හැම කෙනකුම චප්ප කරන, අතළොස්සක් වන කොල්ලකරුවන්ට සුරසැප ලබාදෙමින් බහුතර ජනතාවගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවී තිබෙන දුෂ්ඨ ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය පාලනයට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට හා පසිඳලීමටද, බදු එකතු කිරීමටද, මූල්‍ය කටයුතු හා බැංකු කටයුතුවලටද සමාජයට ආධ්‍යාත්මික මගපෙන්වීමටද, සමාජයට දැනුම ලබාදීමටද තිබෙන රාජ්‍යයේ සියලු ආයතන ක්‍රම ඒවාහී ප්‍රධාන දර්ශකය බවට පත් කරගෙන තිබෙන්නේ ඉහත කී දර්ශනයයි. එනම් අතළොස්සක් ලෙස සැලකිය හැකි කොල්ලකරුවන්ට උපරිම ලෙස රටේ සාරය උරාබොන්නට ඉඩදෙමින් උපරිම ලෙස මහජනයා පෙළීමය. නූගතුන් අතර පමණක් නොව නිල උගතුන් අතරද රජකරන නූගත්කම, අවිචාරවත් බව හා මිථ්‍යා විශ්වාසයන් රටේ ක්‍රියාත්මක වන එම විනාශකාරී දුෂ්ඨ ක්‍රමයේ පැවැත්ම ශක්තිමත් කරන අතිරේක සාධක ලෙස ක්‍රියාකරන්නේ යැයි කිව හැකිය.

ගොවිතැනේ කරුමය

ලංකාව තවමත් ගොවිතැන් කරන්නේ මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ගොවිතැන් කළ ආකාරයටමය. පරණ රජවරුන්ගේ කාලයේ ඉදිකළ වාරිමාර්ග යෝජනා ක්‍රමවලට සමාන වාරිමාර්ග යෝජනා ක්‍රම වෙනුවෙන් නිදහසින් පසු ගෙවී ගිය වසර 70ක කාලය තුළ ආයෝජනය කර තිබෙන ධනස්කන්ධය රුපියල් කෝටි දස දහස් ගණනක් විය හැකිය. එහෙත් ගොවි ජනතාවගේ ජීවිතවල හෝ රටේ ආර්ථිකයේ යහපත් පෙරළියක් ඇති කිරීමට එම වාරිමාර්ග යෝජනා ක්‍රම හේතුවී තිබෙන බවක් පෙනෙන්නට නැත. තුළනාත්මක වශයෙන් බලනවිට ලංකාවේ ගොවීන් ධීවරයන්ටත් වඩා දුප්පත්ය. එක වේලකින් දිවි ගෙවන පවුල්වල ප්‍රමාණය විශාලය. වී ගොවිතැන සඳහා ජලය වෙනුවෙන් රජය වැය කරන වියදම අසාමාන්‍ය තරම් ඉහළ මට්ටමක පවතී. වී කිලෝවක් සඳහා වැය කරන වතුර ප්‍රමාණය ලීටර් 600කි. වතුර ලීටරයක මිල ශත 10ක් ලෙස සැලකුවද සහල් කිලෝවක් නිපදවීම සඳහා වතුර වෙනුවෙන් පමණක් වැය කරන මිල රුපියල් 60කි. ඒ මිල සහල් මිලට එකතු කෙරෙන්නේ නැත. නූතන ගොවිතැන් ක්‍රමය යටතේ දෙන්නේ ගසකට අවශ්‍යම වතුර ප්‍රමාණය පමණි. වතුර දෙන්නේද ලීටර් ගණනින් නොව බිංදු ගණනිනි.

වාරි මාර්ග යෝජනා ක්‍රම වෙනුවෙන් වැයකර තිබෙන ධනස්කන්ධය නවීන විද්‍යාත්මක කෘෂිකර්මයක් ඇති කිරීම සඳහා වැය කළේ නම් ගොවියාගේ සේ ම ගමේද චිත්‍රය මීට වඩා බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි. රජය මොරගහකන්ද සංවර්ධන ව්‍යාපාරය සඳහා පමණක් වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 25,000කි. එම මහා ධනස්කන්ධය වියළි කලාපයේ නවීන කෘෂිකර්මයක් ඇති කිරීම සඳහා යෙදවී නම් එක ගොවි පවුලකට රුපියල් දශ ලක්ෂයක් වටිනා නවීන ගොවිපොළවල් 250,000ක් ඇතිකර දෙන්නට පුළුවන්කම තිබුණි.

ඒ මගින් ජල ගැල්මෙන් හෝ නියඟයෙන් විශාල හානි නොවන වන සතුන්ට හා කෘමීන්ට විශාල හානි කිරීමට ඉඩක් නැති විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය නොවන ජාතික ආර්ථිකයේ ලොකු වර්ධනයක් ඇති කිරීමට හේතුවන නවීන හා විද්‍යාත්මක කෘෂිකර්මයක් ඇතිකර ගැනීමට හේතුවන්නට ඉඩ තිබුණි. ලංකාව අතීතයෙන් පමණක් ඉගෙන ගන්නට කැමති නූතනත්වයෙන් ඉගෙන ගැනීමට අකමැති මෝඩ රටක් ලෙස සැලකිය හැකිය.

රුපියල් කෝටි දහස් ගණනක වියදමෙන් වාරිමාර්ග යෝජනා ක්‍රම විශාල ගණනක් ඇතිකර තිබියදී තාමත් ගම දුප්පත්ය. නූගත්ය. නොදියුණුය. නිරෝගි ගැමි ජනතාවක් වෙනුවට සිටින්නේ වකුගඩු, දියවැඩියා, අධික රුධිර පීඩනය, මන්දපෝෂණය වැනි රෝගවලින් පෙළෙන රෝගී ජනතාවය. නියඟයෙන්ද, ජලගැල්මෙන්ද, වන සතුන්ගෙන්ද ඔවුන්ට විඳින්නට සිදුවී තිබෙන පීඩාව අතිවිශාලය. ගොවිතැනින් ගෙනෙන ආදායම ඉතා පහත්ය. වෙළෙඳුන්ට ශුද්ධ ණය දෙන ආයතනද ඔවුන් උපරිම ලෙස ගසා කයි.

අනවශ්‍ය තරමට ඔවුන් වගා කරන ඉඩම් කැබලි වීම නිසා බොහෝ දෙනකුගේ ඉඩම් අනාර්ථික ඉඩම් බවට පත්ව තිබේ. තිබෙන බොහෝ ඉඩම්වලට ඔප්පු නැත. ගමකට ගමේ කටයුතු සඳහා වෙන් කළ රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටියත් ගමේ අභිවෘද්ධිය සඳහා ඔවුන්ගෙන් සිදුවන වැදගත් කාර්යභාරයක් නැත. ගමේ දුප්පතුන් සඳහා ක්‍රියාත්මක වන සහනාධාර වැඩසටහන්ද පටු දේශපාලන අරමුණින් පවත්වාගෙන යන ඒවා මිස දුප්පතුන්, දුප්පත්කමින් මුදාගැනීමේ අවංක අරමුණින් පවත්වාගෙන යන වැඩසටහන් ලෙස සැලකිය නොහැක. ගමට ලැබී තිබෙන පාසල්වලින්ද වැඩි හරියක් සැලකිය හැක්කේ කසිකබල් පාසල් වශයෙනි. ඒවා අවශ්‍ය තරම් ගුරුවරුන්ගෙන්ද නිසි පහසුකම්වලින්ද තොරය. පාසල් අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ වුවත් ගමේ දුප්පතුන්ටද උපකාර පන්ති සඳහා ලොකු වියදමක් දරන්නට සිදුවී තිබේ. ගමේ වැඩි පිරිසක් දැන් කන්නේ එක වේලක් පමණි. හැම ගෙදරකටම වාගේ ගිනි පොලී සහිත ණයට ගත් විසිතුරු භාණ්ඩ ඇතත්, නවීන ගොවි උපකරණ ඇත්තේම නැති තරම්ය.

මීට පෙර හමුදා සේවය, පාසල් අතහැර යන පිරිමි ළමුන්ගේද, ඇඟලුම් කම්හල් ගැහැනු ළමුන්ගේද ජනප්‍රිය රැකියා මාර්ග වී තිබුණි. යුද්ධය අවසන්වීමන් පසු දැන් පිරිමි ළමුන්ගේ ජනප්‍රිය ජීවන මාර්ගය වී තිබෙන්නේ ත්‍රීවීලර් එළවීමයි. ජනමාධ්‍ය ඇඟලුම් සේවයට ලබාදී තිබෙන නින්දාසහගත පිළිගැනීම නිසා දැන් ග්‍රාමීය තරුණියන් ඇඟලුම් සේවයට එකතුවීමටද වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. එම තත්ත්වය ඔවුන්ගේ ජිවිත වඩා දුෂ්කරවීමට හේතුවී තිබේ.

කෘෂිකර්මාන්තයේ දුප්පත්කම

ලංකාව නිදහස ලැබෙන අවස්ථාව වනවිට සිටියේ ආසියානු රටවල් අතර බැබළෙන තත්ත්වයකය. එම අවස්ථාව වනවිට අපට වඩා නොදියුණු තත්ත්වයක සිටි රටවල් අප එකතැන පල්වෙමින් සිටින තත්ත්වයක් ඉදිරියේ අප පසු කොට බටහිර රටවල් තරමටම දියුණු පොහොසත් රටවල් බවට පත්ව තිබෙන්නේ නිර්ලෝභී ලෙස විද්‍යාව ප්‍රයෝජනයට ගැනීම නිසාය. අපි විද්‍යාත්මක යන්ත්‍ර සූත්‍ර වෙනුවට අවිද්‍යාත්මක යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් දියුණුවීමට මාන බලන මෝඩ රටකි. දේශපාලකයන් බෙදා දෙන ජප කළ පෑන්වලින් විභාග සමත්වීමට සිහින දකින රටකි. මාංශජනක ආහාර ඕනෑතරම් රටේ තිබියදී ඒවා ආහාරයට ගැනීම පාපයක් ලෙස සලකා මාංශජනක ආහාරවලින් වැළකී තුන්වේලමට බත්කෑමෙන් ජීවත් වන්නට වෙර දරන මෝඩ ජාතියකි.

ලංකාව කෘෂිකර්මයේදී බෝග රටාව පවත්වාගෙනයමින් තිබෙන්නේද ගොවි ජනතාවගේ ජීවිත නගා සිටුවීමට හේතුවන ආකාරයට නොව ඔවුන්ගේ ජීවිත අවුල් කිරීමට හා කාලකණ්ණි කිරීමට හේතුවන ආකාරයටය. වී ගොවිතැනින් ඉපැයිය හැකි ආදායම් පහළ මට්ටමක තිබියදීත් සියලු කෘෂිකාර්මික ඉඩම්වලින් අඩකට වැඩි පංගුවක් වෙන්කර තිබෙනුයේ කුඹුරු ඉඩම් සඳහාය. කුඹුරු ඉඩම්වලට අදාළ නීති සකසා තිබෙන්නේද කුඹුරු ඉඩම් වෙනත් ගොවිතැනකට පරිවර්තනය කිරීමට ඉඩ නොලැබෙන ආකාරයටය. රටේ ආහාර රටාව සකසා ගෙන තිබෙන්නේද මාංශජනක ආහාර නොසලකා බත්වලට ලොකු වැදගත්කමක් ලබාදෙන ආකාරයටය. මස් කෑම පාපයක් ලෙස සැලකෙන අතර තුන්වේලටම බත් කෑම නම්බුකාර දෙයක් ලෙස සැලකේ. මෙම ආහාර රටාව රෝගී ජාතියක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර වැඩිහිටි ජනගහනය අතර දියවැඩියා රෝගීන්ගේ අනුපාතිකය සියයට 10.6ක් වන විට අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ අනුපාතිකය සියයට 16ක් තරම් ඉහළ මට්ටමක පවතී. අවුරුදු පහට අඩු ග්‍රාමීය දරුවන් අතර රක්තහීනතාව සියයට 30ක් තරම් ඉහළ මට්ටමක පවත්නා අතර මන්දපෝෂණයේදී ලංකාව ආසියානු රටවල් අතර දැන් පළමු ස්ථානය හිමිකරගෙන සිටී.

ලංකාවේ ඒක පුද්ගල කිරි හා කිරි ආහාර පරිභෝජනය තිබෙන්නේ දකුණු ආසියානු රටවල් අතර පහළම මට්ටමකය. ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික කිරි හා කිරි ආහාර පරිභෝජනය කිලෝ 3.5කි. පිලිපීනයේ එය කිලෝ 20ක්ද, මියන්මාරයේ කිලෝ 5ක්ද වේ. ලංකාවේ කිරි හා කිරි ආහාර පරිභෝජනය එතරම් පහළ මට්ටමක තිබියදීත් කිරිපිටි ආනයනය සඳහා ලංකාව වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 400ක් වැය කරයි. ලංකාව කිරි හා කිරි ආහාර පරිභෝජනය යථා තත්ත්වයට ගැනීම සඳහා ඒවායේ පාවිච්චිය 3 ගුණයකින් වර්ධනය කළහොත් ඒ සඳහා යන වියදම ඩොලර් මිලියන 1200ක් වනු ඇත. රටට අවශ්‍ය කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ ඇත්ත හැකියාවක් තිබුණද හරක් මස් පිළිබඳව සමාජයේ පවත්නා පසුගාමී මෝඩ ආකල්ප හා ඊට ගැළපෙන ලෙස හදාගෙන තිබෙන නීතිරීති කිරිවලින් ස්වයංපෝෂිතවීමට තිබෙන හැකියාව වළකන මහා සම්බාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. ගව පට්ටි පාලනය අනික් ගොවිතැන සමග එකට මිශ්‍රව කරන දෙයක් බවට පත්කිරීමෙන් ගොවීන් උපයන ආදායම්වලද යහපත් වර්ධනයක් ඇති කළ හැකිය. ලංකාවේ කුඹුරු ඉඩම් අතර වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ ගණනක් තිබෙන්නේය. එම කුඹුරු ඉඩම් ගව පට්ටි පාලනය සඳහා අවශ්‍ය තණ බිම් බවට පත්කිරීමෙන් දැනට කිසිම ප්‍රයෝජනයක් නොගන්නා එම කුඹුරු ඉඩම් ආර්ථික ඉඩම් බවට පත් කළ හැකිය. ලංකාවේ ගව පට්ටි පාලනය අනාර්ථික කොට එයට ලංකාවේ යහපත් පැවැත්මක් නැති දෙයක් බවට පත්ව තිබෙන්නේ ගව මස්වලට තිබෙන විරෝධය නිසාය. ලංකාව කල්පනා කරන ආකාරයට හරක් ඇති කළ යුත්තේ කිරි සඳහා පමණය. කිරිවලට අතිරේකව මස් පිණිස හරක් හැදීම පාපයකි. හරක් මස් විරෝධය මහජනයා අතර පවතින විරෝධයකට වඩා ලංකාවට කිරිපිටි සපයන විදේශ සමාගම් ලංකාව කිරිවලින් ස්වයංපෝෂිතවීම වැළකීමේ දුෂ්ඨ අරමුණින් මුදල් යොදවා පවත්වාගෙන යන ව්‍යාපාරයක් විය හැකිය. මස් පිණිස මරන්න රැගෙන යන ගවයින් නිදහස් කිරීමේ, සංවිධානාත්මක ව්‍යාපාරය මෙහෙයවන්නා බවට පත්ව සිටින බව පෙනෙන්නේ ලංකාවට කිරිපිටි ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමකි. වෙළෙඳාම සඳහා ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගම් ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත වනවා දකින්නට කැමති නොවීම අස්වාභාවික නැත. කිරිවලට පමණක් හරක් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත. හරක් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ කිරිවලට අතිරේකව මස් පිණිසද හරක් ඇති කරන්නේ නම් පමණය. ලංකාවේ මස් පරිභෝජනය තිබෙන්නේ බෞද්ධ රටවල් සමග සැසඳූ විට පවා ඉතාමත් පහත් තත්ත්වයක. ලංකාවේ මස් ගණයට වැටෙන ආහාරවල ඒක පුද්ගල වාර්ෂික පරිභෝජනය කිලෝ 9.31කි. මසකට කිලෝ ග්‍රෑම් 0.77කි. ඒ පරිභෝජනය කරන මස්වලින්ද සියයට 76.15ක් හෙවත් කිලෝ 7.03ක් කුකුළු මස්ය. වාර්ෂික හරක් මස් පරිභෝජනය කිලෝ 1.8ක් හෙවත් වසරකට පරිභෝජනය කරන මුළු මස් ප්‍රමාණයෙන් සියයට 19.33කි. ලංකාව වසරකට හරක් මස් කිලෝ 1.8ක් පරිභෝජනය කරන විට සියයට 99ක්ම බෞද්ධ රටක් වන තායිලන්තය වසරකට හරක් මස් කිලෝ 13.9ක් පරිභෝජනය කරයි.

විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ මොළයේ ක්‍රමවත් වර්ධනයට සත්ව ප්‍රෝටීන් අත්‍යවශ්‍යය. ලංකාවේ බුද්ධි හීනතාව හා මාංශජනක ආහාර අඩුවෙන් පරිභෝජනය කිරීම අතර අන්තර් සම්බන්ධයක් තිබෙනවා විය හැකිය. ජාත්‍යන්තර දර්ශක අනුව බුද්ධිය පිළිබඳ විෂයේදී ලංකාව දැන් සිටින්නේ ඔලමොට්ටල තත්ත්වයකට වැටෙන්න ආසන්න තත්ත්වයකය. බුද්ධිමය තලයේ දක්නට තිබෙන එම පරිහානියද ලංකාවේ අර්බුදයට ආවේණික තවත් විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

කෘෂිකර්මයට හානි කරන කෘමීන් හා වල් සතුන් මර්දනය කිරීම කෘෂිකර්මයේ දියුණුව පිණිස නැතිවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. කෘමීන්, දිලීර හා වල් නැසීම සඳහා යොදා ගන්නා රසායන නාශක වර්ග පාවිච්චි කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් රජය ගොවීන්ට ලබාදී නැත. ගොවීන් ඒ දැනුම ලබාගන්නේ එම රසායන විකුණන වෙළෙඳුන්ගෙනි. ඒවා පාවිච්චි කළයුතු හරි මාත්‍රාව ගැන නොදන්නා ගොවීන් ඒවා උපරිම මට්ටමකින් පරිහරණය කරති. ඒ මගින් තමන්ට සේ ම පරිසරයටද ලොකු හානියක් ඇති කරයි. ඒ සඳහා ගොවීන්ට අධ්‍යාපනයක් ලබාදෙනවා වෙනුවට රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය බවට පත් කොට ගෙන තිබෙන්නේ කෘමි, වල් හා දිලීර නාශක ගණයට වැටෙන රසායන නාශක වර්ග තහනම් කිරීම හෝ ඒවා පාවිච්චිය අධෛර්යමත් කිරීමය. ඒ ප්‍රතිපත්තියෙන්ද කෘෂිකර්මයට සිදුවී තිබෙන හානිය අතිවිශාලය.

කෘෂිකර්මයට හානි කරන වන සතුන් සම්බන්ධයෙන්ද ප්‍රතිපත්ති සකස් කරගෙන තිබෙනුයේ වන සතුන් කෘෂිකර්මයට කරන හානිවලදී පමණක් නොව උන් මිනිසුන්ට ශාරීරික වශයෙන් කරන හානිවලදීද කෘෂිකර්මයේ හා මිනිසුන්ගේ ආරක්ෂාව නොසලකා වන සතුන්ට අනුබල දෙන හා උන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියකි. වල් ඌරා මරන්න තහනම් නැත. එහෙත් මරන ලද ඌරාගේ මස් ළඟ තබාගැනීම හෝ විකිණීම තහනම්ය. තමන්ගේ වගාවන්ට හානි කරන වල් ඌරකු මරණ ගොවියකු උගේ මස් ආහාරයට ගැනීමෙන් හෝ විකිණීමෙන් වැළකී මරා දමන ලද වල් ඌරාගේ මළ සිරුර භූමිදානය කළ යුතුය. ඌරා දඩයම් කළ ගොවියාගේ දරුවන් රක්තහීනතාවයෙන් පෙළෙන අවස්ථාවකදී පවා එම ගොවි පියාට තමන් මරා දමන ලද ඌරාගේ මස් තම දරුවන්ට කන්න දීම තහනම්ය. නැතහොත් ඒ ඌරාගේ මස් විකුණා ආදායමක් උපයා ගැනීම තහනම්ය. ලංකාවේ මිනීකන කිඹුලන් මනුෂ්‍යයන් මැරුවත් ආත්මාරක්ෂාව සඳහා හෝ උන් මැරීම මනුෂ්‍යයන්ට තහනම්ය.

විදේශ රැකියා

ලංකාවේ ශ්‍රම බලකාය යෙදී සිටින රක්ෂා හෝ ජීවන මාර්ගවල ස්වභාවය ලංකාව හොඳ සිහිය අහිමි කරගෙන තිබෙන තරම සේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති බංකොළොත්භාවයේ තරම පෙන්නුම් කරන හොඳ කැඩපතක් ලෙස සැලකිය හැකිය.

සංඛ්‍යාව අනුව ගත් විට වැඩිම පිරිසක් ජීවන මාර්ගය බවට පත් කොටගෙන සිටිනුයේ විදේශ රැකියාය. ඔවුන් අතරින් ගෘහ සේවිකාවන්ගේ සංඛ්‍යාව ඉතා විශාලය. ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගය ලෙස සැලකිය හැක්කේද ඔවුන් උපයන සංක්‍රාම ආදායම්ය. ඔවුන් පිළිබඳව රටට ඇත්තේ හොඳ ආකල්පයක් නොව තරමක පිළිකුල්සහගත ආකල්පයකි. ඔවුන් සාමාන්‍යයෙන් සැලකෙනුයේ තම දරුවන්ගේ ජීවිත නොසලකා විදේශගතවී අයාලේ ජීවත් වන අය ලෙසය. ඔවුන් ජීවත් වන මැද පෙරදිග රටවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන පහරදීම් හා ලිංගික අතවර ගැනද පුවත්පත්වලින් නිතර නිතර අසන්නට ලැබේ. මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි.

එම අසරණ කාන්තාවන් මැදපෙරදිග රටවලට යන්නේ ඇඟ විකුණන්නට නොව තම පවුලේ ආර්ථික අමාරුකම් ජයගැනීමට තම සැමියාට හැකියාවක් නැති බව පෙනෙන විට පිටරටක පරවැඩ කර හෝ තම පවුලේ ආර්ථික අමාරුකම් ජයගත යුතුයැයි කල්පනා කරන අධිෂ්ඨානශීලී හැඟීම නිසාය. තම දරුවන් පියාට භාරදී මව විදේශ ගතවීමෙන් දරුවන්ට මුහුණ දෙන්නට සිදුවන කොතෙකුත් සමාජ ප්‍රශ්න තිබෙන්නේය. මෙම අසරණ කාන්තාවන් ලංකාවට විදේශ විනිමය උපයාදීමෙන් කරන අතිවිශේෂ කාර්යභාරය සලකා හා ඔවුන් ගෘහ සේවයට පිටරට යනවිට ඔවුන්ගෙන් රජය අයකර ගන්නා මුදලින් උපයා ගන්නා විශාල ආදායමද සැලකිල්ලට ගෙන පිටරට යන කාන්තාවන්ගේ දරුවන්ගේ සුබ සාධනය ගැන බලාගැනීමේ ලොකු යුතුකමක් හා වගකීමක් රජයට තිබුණත් අද දක්වා රජය ඒ යුතුකම ඉටුකර නැත.

රජයට අවශ්‍ය නම් ගෘහ සේවයට කාන්තාවන් රට යවන ක්‍රමයට බර තබනවා වෙනුවට හෙද සේවයට හෙද හෙදියන් යුරෝපීය රටවලට යවන ක්‍රමයක් ඇති කිරීමට පුළුවන්කම තිබුණි. හෙද සේවය ලංකාව සලකන්නේ හොඳ රැකියාවක් ලෙසය. මා ඔස්ටි්‍රයාවට ගිය අවස්ථාවකදී ලංකාවේ හෙද හෙදියන්ට ඔස්ටි්‍රයාවේ හා යුරෝපයේ වැඩ කිරීමට තිබෙන ඉඩකඩ ගැන එහි සිටින ලංකාවේ තානාපතිවරයා සමග ඔහුගේ නිවසේ පැවති සාකච්ඡාවකදී සාකච්ඡා කළෙමි. ඔහු එහිදී මට කීවේ වියපත් අය බලාගැනීමට අවශ්‍ය විධිමත් පුහුණුවක් ඇති හෙද හෙදියන්ට ඔස්ටි්‍රයාවේ පමණක් නොව, යුරෝපයේද ලොකු ඉල්ලුමක් පවතින බවය. එම සේවයට ගෙවන මාසික වැටුප, ඉඳුම් හිටුම් ආහාර සමග යූරෝ ඩොලර් 3000ක් (රුපියල් ලක්ෂ 5ක් පමණ) බව කීවේය. මහාචාර්ය විශ්වා වර්ණපාල උසස් අධ්‍යාපන ඇමතිව සිටි කාලයේදී ලංකාවේ තිබෙන සියලු හෙදි විද්‍යාලවල පාඨමාලා සිය වියදමෙන් නවීන කොට එම හෙදි පුහුණු ආයතන ක්‍රමය, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා හා උපාධි පාඨමාලා උගන්වන ආයතන ක්‍රමයක් බවට පත්කිරීමට ඇමරිකානු විශ්වවිද්‍යාලයක් රජයට යෝජනා ඉදිරිපත් කළ බවත්, ඒ වෙනුවෙන් උපාධි සමත් වන හෙදියන්ගෙන් අඩක් ඇමරිකාවට ගෙන්වා ගැනීමේ පහසුකම ඉල්ලා සිටි බවත් මම දනිමි. ලංකා ආණ්ඩුව එය සලකා බැලිය යුතු වැදගත් යෝජනාවක් ලෙස සැලකුවේ නැත. ලංකාවේ තිබෙන්නේ පිදුරු කන්නෙත් නැති, කන ගොනාට කන්න දෙන්නෙත් නැති දුෂ්ඨ ක්‍රමයකි.

බටහිර රටවල රැකියා වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ උගත් වෘත්තිකයන්ට වඩා පෙදරේරු, වඩු, වෑල්ඩින්, පයිප්ප වැනි අංශවල කාර්මිකයන් සඳහාය. එවැනි රැකියා සඳහා ගෙවන වැටුප් යුරෝපයේ ඉහළ මට්ටමක පවතී. ලංකාවේ ඉන්දියාවේ මෙන් ලෝක රැකියා වෙළෙඳපොළේ ඇතිවන අනාගත වෙනස්කම් හඳුනා ගනිමින් ඊට ගැළපෙන ලෙස රටේ ශ්‍රම බලකාය පුහුණු කරන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නැත. ඉන්දියාවට ඒ සඳහා දැවැන්ත හා දීර්ඝකාලීන සැලැස්මක් ඇත්තේය. ඒ අර්ථයෙන් ඉන්දියාව සමග සසඳන විට ලංකාව සැලකිය හැක්කේ ගොබ්බ රටක් ලෙසය. එම කාර්මික අංශවලට ලැබෙන ඉල්ලුම කල්තියා හඳුනාගෙන එවැනි රැකියාවලට ගෞරවයක් ලබාදෙන ආකාරයට ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට හේතුවන පුහුණුවක් ලබාදීමට සමත් වී නම් ලොකු උගත්කමක් නැති ලොකු තරුණ පිරිසක් එවැනි රැකියා සඳහා යුරෝපයට යවන්නට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම දැන් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ එම අංශයේ කාර්මිකයන් තම රැකියා අතහැර ත්‍රීවීලර්කරුවන් බවට පත්වීමය.

රක්ෂා හා ජීවන මාර්ග

පිරිමි තරුණ පරපුරේ ලොකුම අපේක්ෂාව ලෙස සැලකිය හැක්කේ කෙසේ හෝ පිටරටකට පැන ගැනීමය. කොතරම් ලොකු පඩියක් ලැබුණද නම්බුකාර පිළිගැනීමක් නැති කය වෙහෙසන රැකියාවලට ඔවුන් කැමති නැත. එහෙත් යුරෝපා රටකට පැනගන්න ලැබෙන්නේ නම් ඕනෑම පහළ තත්ත්වයේ රැකියාවක් වුවත් කිරීමට ඔවුහු සූදානම්ව සිටිති.
මීට කලකට පෙර ලංකාව කොරියාව යන පදය යොදාගත්තේ ලංකාවේ තිබෙන අපවිත්‍ර, දිළිඳු හා නූගත් ජනාවාස ප්‍රදේශ හැඳින්වීම සඳහාය. මීට දශක කිහිපයකට පෙර දකුණ කොරියාව ලංකාව සමග සසඳන විට තිබුණේ ඉතාමත් නොදියුණු තත්ත්වයකය. අපට වඩා බොහෝ පසුපසින් සිටි ඒ රට අද ඉන්නේ අප පසුකරගෙන ගොස් දියුණුම ගණයේ රටක තත්ත්වයකය. 1980 වනවිට දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2300ක් විය. අද ඩොලර් 30,000කි. ඒ රටේ ඒක පුද්ගල ආදායමේ මට්ටමට ලංකාවේ ඒක පුද්ගල ආදායම මෙන් අට ගුණයකට ආසන්නය.

1956දී අපි ද්විභාෂා ප්‍රතිපත්තියට ආයුබෝවන් කියා ඒක භාෂා ප්‍රතිපත්තියකට මාරු වුණෙමු. ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නොවන බවත්, ඉංග්‍රීසියෙන් කරන ඕනෑම දෙයක් සිංහල භාෂාවෙන් කළ හැකි බවත් අපේ භාෂාප්‍රේමීහු වහසි බස් කීහ. දැනුම එක භාෂාවකට සීමාකිරීමත් සමග සිංහල වර්ගයාගේ දැනුමද ප්‍රධාන කොට එකතැන පල්වෙන තත්ත්වයක් ඇතිවිය. එය රටේ බුද්ධිමය පරිහානියක් ඇති කිරීමට බලපෑ වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. දැන් අපේ රටේ සිංහල පරපුර ඔවුන්ගේ මාපියන් තම රටේ තිබෙන අපිරිසිදු, දුප්පත් හා නූගත් ප්‍රදේශ හැඳින්වීම සඳහා යොදාගත් කොරියාවට යෑම සඳහා ඉතා මහන්සියෙන් ඉංග්‍රීසි භාෂාව වෙනුවට කොරියන් භාෂාව ඉගෙන ගනිති. කොරියන් භාෂාව උගන්වන ගුරුවරුන්ගේ උපකාර පන්තිවලට අදාළ දැන්වීම් බොහෝ ලයිට් කණුවල දකින්නට ලැබේ. එවේලේ ලැබෙන වාසි සලකා ක්‍රියාකරන අදූරදර්ශී පුද්ගලයන් පාලකයන් බවට පත්වූ විට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ අනාගත පරපුරටය.

මීට කලකට පෙර ඇඟලුම් කම්හල්වල සේවය, ග්‍රාමීය දුප්පත් තරුණියන් තෝරාගත් ජනප්‍රිය රැකියා මාර්ගයක් විය. ගම්වල දුප්පත් තරුණයන් හමුදා සේවයට යනවිට දුප්පත් කෙල්ලන් ගියේ ඇඟලුම් සේවයටය. ලංකාවේ ජනමාධ්‍ය ඇඟලුම් කම්හල්වල සේවය කරන ගම්බද කාන්තා පරපුර කෙරෙහි ලොකු අවඥාවක් ගොඩනැගීය. ඔවුන්ට එම අසරණ තරුණියන් පෙනුණේ යුරෝපයට ජංගි මහන විලිසංගය අහිමි කරගත් රටේ ගෞරවයට හේතු නොවන පිරිසක් ලෙසය. බොහෝවිට මේ තරුණියන් ඇඟලුම් රක්ෂාව තෝරාගත්තේ කසාදයක් බැඳීමට අවශ්‍ය කරන මූලික ආර්ථික අවශ්‍යතා සපුරාගැනීම පිණිසය. ජනමාධ්‍ය එම වෘත්තිය කෙරෙහි ඇති කරන ලද පිළිකුළ කොතරම් විශාල වීද කියනවා නම් ඇඟලුම් කම්හල්වල රක්ෂා සඳහා තිබෙන ඉල්ලුමේ ශීඝ්‍ර බිඳ වැටීමක් මේ වනවිට ඇතිවී තිබෙන්නේ යැයි කිව හැකිය. ඇඟලුම් කම්හල්වල සාමාන්‍ය තත්ත්වයේ රැකියා කරන තරුණියන් පමණක් නොව උසස් වැටුප් ලබන ඉහළම තත්ත්වයේ තනතුරු දරන කාන්තාවන් පවා විවාහයට පෙර එම රැකියා අතහැර අඩු පඩියකට හෝ වෙනත් රැකියාවකට මාරුවී යන තත්ත්වයක් ස්ථාපිත වී තිබේ. එහි විධායක මට්ටමේ තනතුරු දරන කාන්තාවන් පවා සැලකෙන්නේ ගාමන්ට් කෙල්ලන් ලෙසය. අවශ්‍ය තරම් සේවිකාවන් සොයා ගැනීමට බැරිකම නිසා දැන් ඇඟලුම් කර්මාන්තකරුවන් ලංකාව අතහැර යන තත්ත්වයක් ඇතිවී තිබේ.

ලංකාව ලස්සන රටක් වුවත් රටේ ක්‍රියාත්මක වන ක්‍රමය විදේශ ආයෝජකයන්ගේ පැමිණීම අධෛර්ය කරන සම්බාධකයක් ලෙස ක්‍රියා කරයි. කුමන හෝ ව්‍යාපාරයක් කරන්නට ලංකාවට එන ආයෝජකයන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා එක පුද්ගලයකුට නොවන පුද්ගලයන් විශාල ගණනකට අල්ලස් දීමට සිදුවේ. ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාගැනීමෙන් පසුද ඉන්පසු කටයුතු කරගැනීම සඳහාද දිගින් දිගට අල්ලස් දීමට සිදුවේ. අල්ලස ඉල්ලා සිටින පුද්ගලයා විදේශ ආයෝජකයාගේ බෙල්ල හිරකිරීමට හේතුවන ආකාරයට අල්ලස් ඉල්ලන අවස්ථාද තිබිය හැකිය. එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවූ විට ආයෝජකයා කරන්නේ ලංකාව අතහැර යන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ලංකාවේ මිනිසුන් සඳහා රටේ පවතින ක්‍රමය ක්‍රියාත්මකවන්නේ ඒ හා සමාන දුෂ්ඨ ආකාරයටය.

හොඳ උගත්කමක් ඇති අය නීත්‍යනුකූලවද එසේ නොවන අය විවිධ ආකාරවලින්ද රට අතහැර යන විට රට අතහැර යෑමට හැකියාවක් නැති වැඩි උගත්කමක් නැති තරුණ පරපුරේ ජනප්‍රියම ජීවන මාර්ගය බවට පත්ව තිබෙන්නේ ත්‍රිරෝද රථ එලවීමය. ත්‍රීවීලර් රක්ෂාව තරමටම වෙළෙඳාමද තරුණ පරපුරේ තවත් ජනප්‍රියම ජීවන මාර්ගයකි. හැම ගමකම ගමේ තිබෙන වෙළෙඳාමේ තරමට නොගැළපෙන තරමට කඩ තිබෙන්නේය. බොහෝ අය වෙළෙඳාම තෝරා ගන්නේ වෙළෙඳාම සඳහා අවශ්‍ය කරන දැනුම හෝ ශික්ෂණය නැතිවය. වෙනත් ජීවන මාර්ගයක් සඳහා අවශ්‍ය දැනුම තෝරා ගැනීමට නැතිකම නිසාය වෙළෙඳාමෙන් දියුණු වන පිරිසට වඩා නැතිභංග වන පිරිස වැඩිය. දීර්ඝකාලීන පැවැත්මක් ඇති කඩවල ප්‍රමාණයට වඩා වැසී යන කඩවල ප්‍රමාණය විශාලය. වැසී යන කඩ නිරන්තරයෙන්ද වෙළෙඳාමට අලුතෙන් එකතු වන පිරිස් විසින් අලුත් කඩ වශයෙන් විවෘත කිරීම නිසා නිරන්තරයෙන් කඩ වැසී යෑම නිසා සිදුවන ප්‍රාග්ධන විනාශය පෙනෙන්නේ නැත. ජීවන මාර්ගයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනයක් ඇති අය පවා නිසි මගපෙන්වීමක් නැතිකම නිසා එම ප්‍රාග්ධනය අහිමි කරගනිමින් සිටින අතර ඒ ආකාරයට රට පුරා වාර්ෂිකව විනාශ කරගන්නා ප්‍රාග්ධනයේ ප්‍රමාණය ගණනය කළහොත් එය විශාල ප්‍රාග්ධනයක් වනු නොවැළැක්විය හැකිය.

රජයේ රක්ෂාවකට පැන ගැනීම කිසියම් උගත්කමක් ඇති රැකියා නැති බොහෝ දෙනකුගේ වැදගත් සිහිනයක් වී තිබෙන්නේ යැයි කිව හැකිය. කලා උපාධිධාරීන් අපේක්ෂා කරන්නේද රජයේ රැකියාය. රජයේ සේවයේ නියුතු සංඛ්‍යාව ලක්ෂ 14ක් තරම් විශාල වන අතර රජයේ සේවකයන්ගේ ශ්‍රම ඵලදායකත්වය තිබෙන්නේ ඉතාමත් පහත් මට්ටමකය. රජයේ සේවකයන්ගේ වැටුප් බිල රටේ අයවැයට ලොකු බරක් වී තිබෙන අතර රජයේ ආයතන ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය සේවක සංඛ්‍යාව මෙන් දෙගුණයක් තරම් සේවක සංඛ්‍යාවක් රජයේ සේවයේ නිරත වෙති. රජයේ සේවක සංඛ්‍යාව තව තව තර කරනවා විනා රාජ්‍ය ආයතන ක්‍රමය කාර්යක්ෂම හා ඵලදායී ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය තරමට සේවක සංඛ්‍යාවේ වෙනසක් ඇති කිරීමට කැමති නැත. රටේ රාජ්‍ය ආයතන සුදු අලින්ගේ තත්ත්වයට පත්වීමට බලපා තිබෙන එක් වැදගත් හේතුවක් වන්නේද ඒවායේ ඇති අධි සේවා නියුක්තියයි.

දුප්පත්කම දුරලීමේ නාමයෙන් රජය පවත්වාගෙන යන සහනාධාර හා ස්වයංරැකියා වැඩසටහනක්ද දුප්පත්කම දුරලීමේ සැබෑ අරමුණින් පවත්වාගෙන යන වැඩසටහනක් නොව දුප්පතුන් තවදුරටත් දුප්පත්කමේ තබා ගනිමින් ඔවුන් කෙරෙහි වන දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යෑමේ පටු අරමුණින් පවත්වාගෙන යන ව්‍යාජ වැඩසටහන් ලෙස සැලකිය හැකිය. දුප්පතුන්ට අවශ්‍ය වන්නේ කෑමට මාළු නොව මාළු ඇල්ලීමට අවශ්‍ය බිලී පිතිය. එහෙත් ආණ්ඩුව ඔවුන්ට දෙන්නේ කෑමට අවශ්‍ය මාළු මිස මාළු අල්ලා ගැනීමට අවශ්‍ය බිලීපිති නොවේ. මේ තත්ත්වයට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයද වගකිය යුතුය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය රක්ෂාවක් හෝ ජීවන මාර්ගයක් ඵලදායී ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම හා ශික්ෂණය ලබාදීමටද සමත් වී නැත.