උපේක්ෂා දෑස අහිමි මහරගම අපේක්ෂා රෝහල

රසික ගුණවර්ධන

හිමිදිරියේ සීතල ඒ භූමියේ තිබුණේ නැත. සුළඟ උණුසුම්ය. සුළඟ උණුසුම් වී ඇත්තේ වේදනාබර සුසුම් වලිනි. එක් පසක් පමණක් විවර කළ ගේට්ටුවෙන් පිවිසෙන්නෝද පිටවන්නෝද බොහෝ වෙති. සිනහ පිරුණු මුහුණක් සොයාගත හැක්කේ බොහෝ කලාතුරකිනි. බොහෝ දෙනෙක් කඩිසර ගමනින් මුහුණ බිමට හොවා ඔබ මොබ යති. ඒ මුහුණුවල ඇත්තේ අපේක්ෂා මාත්‍රයක් පමණි. ඒ ද, මහරගම අපේක්ෂා පිළිකා රෝහල නිසාවෙනි.

රෝහලට ඇතුළු වන තැනම ඇත්තේ විශාල ඇසතු වෘක්ෂයකි. එහි පැමිණෙන්නෝ විවිධ ආගමික වතාවත් වල නිරත වෙති. ඔවුනට ඉස්පාසුවක් නැති තරමට ඉල්ලන්නට ප්‍රාර්ථනා ඇත. අවටින් ඇසෙන්නේ පිරිත් හඬකි. ඒවා නිනව්වක් නැතිව ගායනා කෙරෙති.

අප රෝහලට ඇතුළු වන විටම අපට හමුවූයේ කෙසඟ තරුණයෙකි. ඔහු අත කඩදාසි කවරයක දැමූ යමකි. ඔහු සමගම ඉදිරියට යන්නට වූ අප ඔහු සමග කතාවට වැටීමට සිතා “කෑම ගේන්ඩ ගියාද?” ඔහුගෙන් විමසුවෙමු. එවිට ඔහු අප දෙසට හැරී සිනහ වී “නෑ.. බෙහෙතක් ගන්ඩ ගියා.. මම යනව මේක ඉක්මනට දෙන්ඩ ඕනෙ.” යැයි පවසා අසල වූ පඩිපේළිය කඩිසරව නැග ඉහළ මහලකට ඇතුළු විය.

අප ඒ පඩි පේළිය නඟින අතර අප ඒ පඩි පේළියම නගින අයෙකුගෙන් 13 වාට්ටුව මෙය දැයි විමසූ විට ඔහු පැවසුවේ, “ඔව්.. ගිහිල්ල බලන්ඩකො ජීවිතේ එපාවෙයි.” යනුවෙනි. එහි ගිය අපි ජීවිතේ අන්තිම අංශුව හෝ ගලවා ගැනීමට සටන් වදින පිරිස දුටුවෙමු. ජීවිතය අපූරු සූදුවකි. මරණයට පෙර මරණය හා ප්‍රේමයෙන් වෙලෙන්නට උත්සාහ කරන දනෝ ඇත්තටම මරණය පැමිණි විට පැරණි ප්‍රේමය වෛරයක් බවට පෙරළා ගනිති.

13 වාට්ටුවේ සිටින බොහෝ දෙනාගේ ශරීරාංග ඉවත් කර තිබේ. බොහෝ අයගේ හිසේ තට්ටය දිසේ. මුහුණු වැහැරීය. සිනහව වියැකීය. එහෙත් බලාපොරොත්තුව පිබිදීය.
එහි එකා දෙන්නා හෙද සේවිකාවෝ එහා මෙහා යති. අයෙක් ලිපි ලේඛනවල කාර්යන්ගේ නිරත වෙති. අයෙක් රෝගීන් වෙතට යති. අයෙක් ඖෂධ පරීක්ෂා කරති. ඔවුහු කාර්ය බහුලව සිටිති.

කරන්ට් ඇල්ලීම

පිළිකා රෝගීන්ට කරන්ට් ඇල්ලීම (විකිරණ චිකිත්සා) සඳහා මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාන හතරක් ඇත. ඒවා විවිධ ලෙස වර්ගීකරණය කර ඇත. මේවා ඇත්තේ වාට්ටුවලට බොහෝ දුරිනි. ඒ නිසා රෝගීන් කරන්ට් ඇල්ලීම සඳහා අපහසුතාවෙන් බොහෝ දුරක් යා යුතුය. සෑම වාට්ටුවක් අසලම කරන්ට් ඇල්ලීමේ ඒකක පිහිටුවීම ප්‍රායෝගික කාරණාවක් නොවන නිසා එයට ඒ හැටි දොසක් කියන්නට බැරිය. එසේම ඒ සඳහා පහසුවක් වීමට රෝද පුටු රෝහලෙන් සොයාගත හැකිය. එහෙත් ඒ රෝද පුටු තල්ලු කරගෙන යාමට රෝගියාට තමාගේ ඥාතියකු හෝ පෞද්ගලික උපස්ථායකයකු සිටිය යුතුය. එහෙත් ග්‍රාමීය කුඩා රෝහලක පවා රෝද පුටුවේ එහා මෙහා යාමට රෝහලේම උපස්ථායකයකු සිටියි.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන්නේ විශේෂ සැලකිලි ලැබිය යුතු රෝගීන් පිරිසකි. පිළිකාවක් යනු මහා බරපතළ කොට සැලකිය යුතු රෝගයක් බව අප හැමදෙනාම දන්නා කාරණාවකි. එහෙත් මෙහි ඒ ගැන සුළු හෝ තැකීමක් නැත.

එසේ සිය රෝගියකු සමග පැමිණි ඥාතියකුගෙන් අප විමසුවේ රෝගීන් ගෙන ඒමට රෝහලෙන් සේවකයකු ලබා නොදෙන්නේ ඇයිද යනුවෙනි. “එහෙම දෙන්නෙ නෑ” ඔහු පැවසුවේ සිනහවෙමිනි. “අපට ඕනෙනන් වීල් චෙයා එකක් හොයාගෙන අරන් එන්ඩ ඕනෙ. අපිත් බලන්නෙ කොහොම හරි ලෙඬේ හොඳ කරගන්ඩ හන්ද එක්ක එනව” ඔහු කීවේ යම් නිහැඬියාවකට පසුවය.

එසේම සෑම අයකුටම භාරකරුවන් ඇත්තේ නැත, ඇතැමුන්ට පෞද්ගලික උපස්ථායකයන් මුදල් ගෙවා ලබා ගැනීමට මුදල් ද ඇත්තේ නැත. එවැනි පුද්ගලයන්ට අත්වන ඉරණම කුමක්ද. රාවයට පසුගිය සතියකදී කල්ප මේ රෝහලේදී සිය අත්දැකීම් පාදක කරගෙන ලියන ලද තීරු ලිපියකින් ඔහු කියා තිබුණේ රෝහලේ සිටින ඉතාම සුළු සේවකයන් පිරිස පැමිණෙන තෙක් භාරකරුවන් හෝ පෞද්ගලික උපස්ථායකයන් නොමැති පිරිස් වලට ඒ ඒ ස්ථානවල වරු ගණන් ගතකිරීමට සිදුවන බවයි.

රෝගීන්ට අදාළ චිකිත්සක කටයුතු සඳහා වාට්ටුවේ සිට බොහෝ දුර යාමට සිදුව තිබෙන අතර ඒ දුෂ්කර ව්‍යායාමයේදී පිළිකා රෝගියකු තබා වෙනත් කිසිම රෝගියකුට සුදුසු නොවන අත්දැකීම් රාශියකට මුහුණ දීමටද අදාළ චිකිත්සාවට යන රෝගීන්ට සිදුවේ. එනම් ඔවුන් විශාල කොරිඩෝ දිගේ යායුතු අතර ඇතැම් තැනක එළිමහනේ ගමන් කළ යුතුය. රෝද පුටුවේ වුවද අව්වේ ගමන් කිරීම පහසු නොවේ. එසේම වැසි දිනයකදී සිදුවන අපහසුතාව කෙතරම් වේද?

මෙසේ යායුතු භූමියේ ඇතැම් තැන්හි සිමෙන්ති පොළොව කැඩී තිබේ. එය මතින් රෝද පුටුවක් යන විට එය ගැස්සීමට ලක් නොවීමට සෑහෙන වෙහෙසක් ගත යුතුය. එපමණක් නොව, යකඩ ට්‍රොලී ඒ මතින් තල්ලු කරගෙන යනවිට නැගෙන හඬ අප්‍රසන්නය. එය, රෝගීන්ගේ සුව මනසට බාධාවකි.

විකිරණ චිකිත්සක ස්ථානයට යාමට ඇති ගොඩනැගිල්ල සොයා ගැනීම පහසු කාරණාවක් නොවීය. එය පිහිටා ඇත්තේ රෝහලේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘අස්සක’ය. කැඩුණු යකඩ ඇඳන් දෙපස ගොඩ ගසා ඇත. උඩ ඇඳුම්වල සිට යට ඇඳුම් දක්වා වැනූ රෙදිවැල් දෙපස බැඳ ඇත. ඉවතලන අපද්‍රව්‍ය කළු පැහැති පොලිතින් මලුවල පුරවා පැත්තක තබා ඇත. බළලුන් කිහිප දෙනකු පැමිණ ඒවා අදිමින් සිටියි. බාග විට ඒ ශරීර අපද්‍රව්‍ය විය හැකිය.

විකිරණ චිකිත්සක ඒකකයට යායුත්තේ මේවා මැදින්ය. ඒවා එසේ වීමම පෙන්වන්නේ රෝහලේ සැලසුම් සහගත නොවීම හා අකාර්යක්ෂම බව නොවේද?
මේ විකිරණ ප්‍රතිකාර ඒකකය අසල ගොඩනැඟිල්ලේ උඩු මහලේ ඇත්තේ හදිසි ප්‍රතිකාර ඒකකයකි. අප පහළ සිටින විට එහි සිටි සාත්තු සේවිකාවක එහි තිබූ ඖෂධ බහාලුම් ඉවත් කරමින් සිටියාය. ඇය ඒවා ඉහළ මහලේ සිට පහළ භූමියට විසිකැරූ අතර ඒවා බිම වැටී මූඩි ගැලවී ඒවා තුළ වූ බෙහෙත් දියර භූමියේ ඉහිරුණි. පහළ සිටි සනීපාරක්ෂක සේවිකාවක් ඒවා අහුලා පසෙකට ඉවත් කරන්නට වූවාය. ඒ භාජනවල ඉතිරිව තිබූ ඖෂධ, සාත්තු සේවිකාවගේ උපදෙස් පරිදි සනීපාරක්ෂක සේවිකාව ඒ අසල වූ කාණුවට හැලුවාය. එය සෞඛ්‍යාරක්ෂිත බැහැර කිරීමක් නොවන බව ඕනෑම අයෙකුට වැටහේ.

බාහිර රෝගීන්

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ නේවාසික නොවන රෝගීන් සඳහාද ප්‍රතිකාර ලබා දේ. එහි ගිය අපට දැකගත හැකිවූයේ උදෑසනම එහි පැමිණ සිටි රෝගීහුය. ඔවුහු බොහෝ දෙනා වයෝවෘද්ධය. ඔවුන්ගේ කතාබහින් හැඟුණේ ඔවුන් කිසියම් වූ පරීක්ෂණයක් සඳහා මෙහි පැමිණෙන්නන් බවයි. එසේම ඔවුන් වාඩි වී සිටි ආසන ඉදිරිපිට පිළිගැනීමේ කවුලුවක් තිබුණද එහි කිසිවකු සිටියේ නැත. එයින් අපහසුතාවට පත්වූයේ රෝගීන්මය. එහි පැමිණ සිටි එක් මහලු පුරුෂයකු පසුවූයේ තරමක කලබලයෙනි. ඔහු ඔබ මොබ බලන්නට වූයේ එහි සිටි බොහෝ දෙනකු අත යම් කාඞ්පතක් තිබූ හෙයිනි. එහෙත් ඔහු අත එවැන්නක් තිබුණේ නැත. ඔහු ඒ පිළිබඳව අසල සිටි අයගෙන් විමසූ අතර ඔහු මෙහි පැමිණ තිබුණේ ප්‍රථම වතාවටය. එසේම ඔහු විමසූ අයවලුන්ට ඔහුට පැහැදිලි පිළිතුරක් ලබාදීමට හැකියාවක් නොවීය. ඔහු ඒ අසලින් ගමන් කළ සාත්තු සේවිකාවකගෙන් විමසූ විට ඇය පැවසූවේ ඇය ඒ පිළිබඳව නොදන්නා බවත් එහි අදාළ නිලධාරිනිය පැමිණෙන බවත් එතෙක් සිටින ලෙසත්ය. එවිට වේලාව උදෑසන අට පසුවී ගොසිනි. එහෙත් අදාළ නිලධාරිනිය එහි සිටියේ නැත.

ලංකාවේ සතර දිග්බාගයෙන් මහරගම පිළිකා රෝහලට පැමිණෙන්නෝ සිටිති. බොහෝවිට ඔවුන් උදෑසනම මෙහි පැමිණීමට ඈත ගම්බිම්වලින් පැමිණෙන්නේ ඊට පෙර දින රාත්‍රියේය. ඔවුන් පැමිණෙන්නේ සීත කරන ලද වාහනවලින් නොව ගොඩවූ වේලේ සිට චැසිය හෙළවෙන ලංකාවේ පොදු බස්රථ වලිනි. ඒ බොහෝ දුක් ගැහැට විඳගෙනය. එසේ පැමිණෙන මිනිසුන්ගේ කාලය කාදැමීම කෙතරම් අයෝග්‍යද? උක්ත සිදුවීමට අදාළ පුරුෂයාට මෙතන පැමිණීමට පෙර තවත් කාර්යන් සිදුකර ගැනීමට තිබෙන්නට පුළුවන. මෙහි අදාළ නිලධාරිනිය සිටියා නම් බාගවිට ඔහුට ඒ සියලු දේ කරගෙන එක් දිනකින් ගම්බිම් බලා යාමට හැකියාවක් ලැබෙනු ඇත. එහෙත් ඔහුට එම අවස්ථාව මඟහැරීමට මෙය හේතුවක් විය හැකිය. ඔහුට ඇතැම්විට තවත් දින කිහිපයක් රස්තියාදුවීමට සිදුවිය හැකිය.

කැන්ටිම

මෙහි කැන්ටිමක් ඇත්තේ නැත. එහෙත් කැන්ටින් ගොඩනැඟිල්ලක් තිබූ බව දැකගත හැකිය. ඒ බිත්තියක ‘ආපනශාලාව’ ලෙස සටහන් කර ඇති හෙයිනි. අප රෝහල් භූමිය පවිත්‍ර කරමින් සිටි සේවිකාවකගෙන් විමසුවේ කැන්ටිම විවෘත කරන්නේ නැතිද යනුවෙනි. එවිට ඈ “ඕක සෑහෙන කාලෙක ඉඳල වහල දාල තියෙන්නෙ. කෑම ගන්ඩ ඕනෙනන් එළියෙ කඬේකට යන්ඩ” යැයි පැවසුවාය. එළියේ කඩ අපූරුය. ඒවායේ ආහාර ඇත. එහෙත් ඒවා පාලන මිලට අලෙවි වන්නේ නැති තරම්ය. බොහෝ දුර බැහැර සිට පැමිණෙන අසරණ දුප්පත් ජනතාවට කුසගින්න නිවා ගැනීමට එළියේ කඩවලින් වැඩි මිලට කෑම ගත යුතුය.

එහෙත් රෝහලේ රෝගීන්ට රෝහල මගින් හොඳ ආහාර වේලක් ලබාදෙන ආකාරය අප නිරීක්ෂණය කළෙමු. ‘හොඳ’ යැයි කීවේ එය දුටු පමණින් පවිත්‍ර හා ප්‍රණීත බවක් දැනෙන නිසාය. එය අගය කළයුතු දෙයකි. එසේම අනෙක් රෝහල්වල රෝහලෙන් ලබාදෙන ආහාර රෝගීන් ලබාගන්නේ බොහොම කලාතුරකිනි. එහෙත් මෙහි බොහෝ රෝගීහු රෝහලේ ආහාර වේල ලබා ගැනීම නිසාම මේ ආහාර වේල ‘හොඳ’ යැයි අනුමාන කළ හැකිය.

හිඟය

මෙහි සාත්තු සේවකයන්, සේවිකාවන්, හෙද සේවකයන්, සේවිකාවන් අප දුටුවේ අඩුවෙනි. සාමාන්‍ය රෝහලකට සාපේක්ෂව මෙහි කාර්ය මණ්ඩල හිඟයක් ඇති බව අපට දැකගත හැකිවිය. රෝගීන්ට උපස්ථායකයන් නොලැබෙන්නේද මේ හේතුව නිසාම විය හැකිය. රෝහලේ යම් කාර්ය ශූර බවක් නොපෙනෙන්නේ ද මේ නිසාම විය හැකිය.

මිත්‍රශීලී බව

මෙහි තත්ත්වය කෙසේ වුවද පොදුවේ අපට නිරීක්ෂණය කිරීමට හැකිවූයේ මෙහි නිලධාරීන්ගේ වූ යහපත් හැසිරීමයි. හෙද නිලධාරීන්ගේ හැසිරීම ඉතාම ප්‍රියමනාපය. රෝගීන්ට මිත්‍රශීලීය. සුහදය. ඔවුහු නිරන්තරව සිනහවෙන් සංග්‍රහ කිරීමට සැරසී සිටිති. එසේම අප වරක් විකිරණ ප්‍රතිකාර ලබාදෙන ස්ථානය විමසූ විට උපස්ථායිකාවක අප පිළිබඳව කිසිවක් නොදැනම අදාළ ස්ථානය අසලටම ගොස් අපට ඒ ස්ථානය පෙන්වීමට තරම් කාරුණික වූවාය. කෙසේ වෙතත් නොසැලකිලිමත් හා අලස ලෙස හැසිරෙන කිහිප දෙනෙක්ද අපට නිරීක්ෂණය කළ හැකිවිය.

පිළිකාවක් යනු බොහෝ විට ජීවිතය බිලිගන්නා මාරක තත්ත්වයකි. එහෙත් නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීම හරහා ජීවිතය ගැන අපේක්ෂාවක් ඇතිකර ගත හැකිය. බොහෝ රෝගීන් මහරගම පිළිකා රෝහලට පැමිණෙන්නේ ඒ නිසාය. ජීවිතය හා මරණය අතේ තබාගෙන පැමිණෙන ඒ රෝගීන් තවත් අපහසුතාවට පත්වන පරිසරයක් රෝහල තුළ නිර්මාණය වී තිබීම මහා ඛේදවාචකයකි. මහරගම අපේක්ෂාවට උපේක්ෂා දෑසක් උවමනා ඒ නිසාය.

 

ඥාතීන්ගේ උදව් නැතුව බැහැ
වෛද්‍ය බුද්ධික කුරුකුලසූරිය, වැඩබලන අධ්‍යක්ෂ, මහරගම අපේක්ෂා රෝහල

විකිරණ ප්‍රතිකාර ගන්න ගොඩක් රෝගීන් දුර්වල අය, ඒ හින්ද ඒ අයගේ ඥාතීන්ට එයාල ළඟ ඉන්ඩ අපි අවසර දීල තියනවා. එයාල රෝගීන්ගේ වැඩවලට උදව් වෙනවා. අපේ ඉන්න සේවකයෝ ඔක්කොම රෝගීන්ගේ කටයුතු කරන්ඩ ගියොත් වෙලාව පරක්කු වෙනවනේ. අපේ සේවකයෝ වාට්ටුවල ඉන්නේ තුන් හතර දෙනයි. ඒ හින්දා අර ගොල්ලන්ගේ උදව් උපකාර අපට ඕනෙ වෙනවා. අපට සේවකයෝ නෑ.
ඖෂධ අපරික්ෂාකාරීව ඉවත දමනව නම් අපි ඒ ගැන අනිවාර්යයෙන්ම හොයල බලන්නන්, හැබැයි අපි උපදෙස් දීල තියෙන්නෙ ක්‍රමවත්ව ඖෂධ බැහැර කරන්ඩ. සේලයින් වගේ දේවල්නම් කාණුවලට දැම්මට කමක් නෑ. හැබැයි මේ ගැන හොයල බලන්නෙ නැතුව මට මුකුත් කියන්ඩ බෑ.