රාවය

රට සහ බඩ

රට සහ බඩ

ටිරන් කුමාර බංගගමආරච්චි

එදා රාජපක්ෂලාගේ පාලනය පෙරළන්න ඕනෑතරම් හේතු තිබුණා. හැම හේතුවක්ම රාජපක්ෂලාගේ පරහට හිටියා. රාජපක්ෂලාට තිබුණේ රට ජාතිය විතරයි. යුද්ධය අහවර කිරීම නිසා ජීවිත කාලයටම රට තමන්ට ලැබුණු බූදලයක් කියලා රාජපක්ෂ හිතුවා. රාජපක්ෂගේ හොරණෑව විමල් වීරවංශ එදා කිව්වේ රටද බඩද කියලා හිතන්න කියලයි. රට රාජපක්ෂලාගේ වන විට බඩ කියලා කිව්වේ යහපාලනයටයි. රාජපක්ෂලාට, වීරවංශලාට බඩ ගැන ප්‍රශ්නයක් එදත් අදත් නෑ. මොකද ඒ අය පරම්පරා ගණනාවකට සරිලන විදිහට බඩ ගැන හිතලා ඉවරයි. හැමදාම බඩට වැදුණේ සාමාන්‍ය ජනතාවටයි. එදා රාජපක්ෂලා එපා වෙන්න නිර්මාණය වුණ හැම හේතුවක්ම අද යහපාලනය නාමෙන් නිර්මාණයවෙමින් තියෙනවා. බදු පිට බදු ගහලා මේ ආණ්ඩුව ජනතාව හෙම්බත් කරනවා. බඩු මිල ඉහළ යෑමට ආණ්ඩුවට ඇති සූත්‍රය රාජපක්ෂ කාලයට වඩා අඩුයි කියන එක විතරයි. හොර තක්කඩිකම් ගත්තත් මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ අපි තාම රාජපක්ෂලාගේ කාලයට වඩා අඩුයි යන්න පමණයි. ඉතිරි කාලයේදී සෑම තත්ත්වයක්ම සමවී යහපාලනය එලවන්න අවැසි සියලු සමානකම් එදා රාජපක්ෂලා ඇතිකර ගත් අයුරින්ම ඇතිවනු නියතයි.

බඩු මිල

බඩු මිල මේ ආණ්ඩුවටත් සාමාන්‍ය දෙයකි. රට පාලනය කරන තීන්දු තීරණ ගන්නා අයට බඩු මිල ප්‍රශ්නයක් නොවේ. බඩු මිල නිතර බලපාන්නේ අතිබහුතරයක් වූ සාමාන්‍ය මිනිසුන්ටය. ආණ්ඩු පෙරළන්නේද, ඒ මිනිසුන්ම බව පාලකයන් සිහි තබා ගත යුතුය.

බඩු මිල සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩු හදන්න මෙන්ම ආණ්ඩු පෙරළන්නත් හේතුවන කරුණක්. ඉතිහාසය පුරා අපේ රටේ බඩු මිල නිසා ආණ්ඩු පෙරළුණා. 53 හර්තාල් ඇතිවන්නේ ශත විසිපහේ හාල් සේරුව, හත හතළිහ කිරීමත් හේතු කොටගෙනයි. ඒ හර්තාල් නිසා එවකට ආණ්ඩුව පෙරළුණා. ඒ නිසා එදා සිට අද දක්වාම බඩු මිල කියන්නේ කතිරය එහා මෙහා වන ප්‍රබල සාධකයක්. එදා බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියපු රාජපක්ෂලා අද බඩ ගැන කතා කරනවා. මිනිස්සුන්ට කන්න අඳින්න නෑ කියලා මැසිවිලි කියනවා. අද ඒ අයට ජනතාව ගැන පුදුම දුකක් ඇතිවෙලා. ඒකේ අනෙක් පැත්ත යහපාලනය. ඒ අය අද රට ගැන කියනවා. බඩ වගේද රට. පාලනය කරන කොට හැමෝටම ඕන රට. බලයට එනවිට හැමෝටම ඕන බඩ. මේක දැන් ඡන්ද සූත්‍රයක්. මේ සූත්‍රයේ හරය ජනතාව අමතක නොකළ යුතුයි. එනම් මේ විදිහට හැම ආණ්ඩුවක්ම බලයට ආවේ බඩු මිල අඩු කරනවා, ජනතාවට සහන දෙනවා කියන පොරොන්දුව පිටයි. ඒත් කිසිම ආණ්ඩුවක් බලයට ඇවිත් බඩු මිල අඩු කළේ නැහැ. ඒ දේ ඉදිරියටත් කරන්න ලේසි නෑ. එහෙමනම් මේ සූත්‍රයත් හැමදාම බලය එහා මෙහා වෙන්න බලපෑවා මිසක ජනතාවට අත්කර දුන් සෙතක් නැහැ.

උද්ඝෝෂණ

එපරිදිම ජනතා උද්ඝෝෂණවලට දක්වපු ප්‍රතිචාරය, වැඩ වර්ජන, සත්‍යග්‍රහ වගේ සාමාන්‍ය උද්ඝෝෂණ පැවැත්වෙන විට රාජපක්ෂ ආණ්ඩුව කළේ ඒවා නොසලකා හැරීමයි. වර්ජන බලපෑම නොදැනෙන්න හමුදාවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති යොදා ගැනීමයි. ඒ හරහා සත්‍යග්‍රහ නොදැක්ක ගාණට ඉන්න රාජපක්ෂවරුන්ට හැකිවුණා. එහෙත් ජනතාව පාරට බැස්ස විට තත්ත්වය ඊට වෙනස් වුණා. නොදැක්ක ගාණට ඉන්නට නොහැකි වුණා. එවිට ඔවුන් කළේ උද්ඝෝෂණ තහනම් කිරීම, ඒවාට පහරදීම ඒවා වළක්වන්නට අධිකරණ නියෝග ගැනීම වගේ දේවල්. ජනතා උද්ඝෝෂණ අත්තනෝමතික ලෙස පාලනය කිරීමත් රාජපක්ෂ පාලන සමයට එල්ල වුණ ප්‍රධාන චෝදනාවක්. රාජපක්ෂලාට ගෙදර යන්න ඒකත් එක හේතුවක් වුණා. යහපාලනය බලයට එන්නේ ඒ සටන් පාඨ ඕනෑවටත් වඩා ප්‍රයෝජනයට ගනිමින්. ඒත් අන්තිමට වුණේ මොකක්ද? යහපාලනයට ඉතාම ඉක්මනට මේ කාරණා අමතක වුණා. මේවා කතා කළ යහපාලනය දිනවීමට දරදිය ඇද්ද සංවිධානත් අවසානයේ මේ කාරණා අමතක කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි ලොකු කතා කතා කළ යහපාලනයට උද්ඝෝෂණ තහනම් නොකිරීම වගේ දේවල් නොකර ඉන්න බැරිවුණා. අවසානයේදී රාජපක්ෂලා පරාජය කරන්නට චානකලා, ඇන්ටනීලා, ජානකලා, සිසිතලා, රතුපස්වල ජනතාව ජීවිත කැපකරලා ගොඩ නගපු දේශපාලන පසුබිම අමතක කරලා කුඩා කණ්ඩායම් කිහිපයක් සහ ෆේස්බුක් කළ විප්ලවයක් ලෙස පිළිගෙන වැඩ කරන තැනට මේ ආණ්ඩුව තල්ලු වුණා. ඒකට නියම ප්‍රතිචාර පසුගිය පළාත් පාලන ඡන්දයේදී ලැබුණා. රතුපස්වල ජනතාව ළඟ සමාව ඉල්ලුවයි කියන බැසිල් රාජපක්ෂ හොඳ වෙලා එයට සාධාරණය ඉටුකර දෙනවා යැයි බොරු පොරොන්දු දුන් යහපාලනය කුජීත වුණා. රතුපස්වලත් රාජපක්ෂලා දින්නා. දැන් රතුපස්වල ජනතාවට අපි හිනාවිය යුතුද? යහපාලනයට හිනාවිය යුතුද?

කතා කිරීම

මේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක නිතර කියන කතාව නම් රාජපක්ෂලා හිටිය නම් ඔය ප්‍රශ්න අහන්නද? ඒ කාලේ ඔය ප්‍රශ්න ඇහැව්වේ නැත්තේ ඇයි? අපි මාධ්‍ය නිදහස දීලා තියෙනවා. කප්පරක් කතා. උත්තර වෙනුවට නැවත ප්‍රශ්න ඇසීම මේ ආණ්ඩුවේ ස්වභාවයක් වෙලා තියෙනවා. දැන් යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා තියෙනවා. මේ නොකියා කියන්නේ ඒකයි. මේ අයගේ ප්‍රජාතන්ත්‍රවාදයත් පවතින්නේ ඒ අයගේ ව්‍යාපෘතියට ගැළපෙන ආකාරයටයි. ඒ සීමාව පනින කොට ඒ අයටත් රාජපක්ෂලා වැහෙනවා. හම්බන්තොට ජනතාව වතුර ඉල්ලලා පාරට බැස්සහම යහපාලන පොලිසියත් අගේට නෙළුවා. ආණ්ඩුවට ආවඩන සිවිල් සංවිධාන මේවා නොදැක්ක ගාණට ඉන්න පුරුදු වුණා. ඒ කාලේ තමන්ට උදව් කළ ආචාර්යවරුන්ට, බ්ලොග්කරුවන්ට, පුවත්පත් කතුවරුන්ට, කලාකරුවන්ට තමන්ගේ විරෝධය දක්වන්න පුළුවන් වුණා. රනිල් වරක් සමාජ ජාල වෙබ් අඩවි ක්‍රියාකාරීන්ව එකතු කර හමුවකුත් පැවැත්තුවා. ඒ නිසා ඒ කාලේ වෙනස සැපවුණා. දැන් මෛත්‍රීට සමාජ ජාලා වෙබ් අඩවි කියන්නේ නයාට අඳුකොළ වගේ. ඕනෑම දරුණු කාලයක වුව ඊට එරෙහි වන පිරිස් හඬ නගනවා. ඇත්ත ඒකයි. රාජපක්ෂලාගේ කාලයෙත් එහි වෙනසක් නැහැ. රාජිත දැනගත යුත්තේ රාජපක්ෂ කාලයේ මියගිය, සුදුවෑන්වලින් රැගෙන ගියේද එලෙස හඬ නැගූ අය බවයි. එසේ නම් මර්දනය එන්නේම ඊට එරෙහි වන සීමාව තුළින්මයි. යහපාලනයේ සැබෑ ස්වරූපයත් දැන් විරෝධතා සඳහා පාරට බැස්ස විට කල එළි දකින්නට පුළුවන්. මේ කතා කිරීමේ නිදහසත් විකාරයක්. විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීමට වඩා ඒවා නොතකා හැරීම විකාරසහගතයි. යහපාලනය කරන්නේ ඇතැම් අවස්ථාවල නෑසූකන්ව සිටීම.

මේ ප්‍රශ්න දෙස බලන කල ආණ්ඩු කොයිකත් එකයි. අලුත් බෝතල්වල ඇත්තේ පරණ වයින්මයි. රාජපක්ෂලාගෙන් බලය උදුරා ගත් තව පිරිසක් ස්වයංපෝෂිත වුණා මිස ජනතාවට අත්වූ ඉරණමෙහි වෙනසක් නැහැ. ඒ අයට පරණ ඉරණමමයි. විශ්වවිද්‍යාල උද්ඝෝෂණ අද නොතකාම හැරෙනවා. ශිෂ්‍යයෝ දවස් සිය ගණන් අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් උපවාස කළත් සත්‍යග්‍රහ කළත් ආණ්ඩුව නොදැක්ක ගාණට ඉන්නවා. සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණය කළ විට හමුදාව යොදා වැඩ කටයුතු කරනවා. සයිටම් විරෝධී සිසුන්ට එලව එලවා පහරදෙන ආණ්ඩුව සයිටම් සිසුන්ගේ උද්ඝෝෂණය කල්තියාම පිළිගෙන අගයන තැනට තල්ලු වෙනවා. මීතොටමුල්ල කුණු කන්ද බිමට සමතලා වෙලා ඒ කුණු අස්සේ මිනිස්සු හංග ගන්නකම් මේ ආණ්ඩුවට ඒ ගඳ දැනුණේ නැහැ. මිනී කුණුවෙන ගඳ මේ අයට ඉවසගන්න බැරි තැන විකල්ප ඕනතරම් කිව්වත් අදත් එයට නියම විසඳුමක් නෑ. සිවිල් ක්‍රියාකාරීන්ට පුළුවන් උද්ඝෝෂණ පීඩිත ජනතාවට තහනම්. ඒ යහපාලනයේ අපූරු තියරියයි. හැම ආණ්ඩුවක්ම කරන්නේ ජනතාවගේ වුවමනාවන්ට සරිලන ලෙස නීති හැදීම නෙමෙයි නීතියේ සීමාවට අනුව ජනතා අවශ්‍යතා සීමා කිරීමයි. සමාජ ජාලාවල ඕනම චණ්ඩිකමක් දැමීම මාධ්‍ය නිදහස හෝ කතා කිරීමේ නිදහස නෙමෙයි කියලා ගොඩක් අයට තේරෙන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන බය වුණාට වෙන අය ඒවට බය නෑ. ඒත් පාරට බැස්සොත් තත්ත්වය වෙනස්. ඒවා ඇත්ත ප්‍රශ්න සහ ඇත්ත පෙනී සිටීම්. ඒවාට ඇති ඉඩ අහුරලා තියෙනවා. ජනතා උද්ඝෝෂණ සර්ව සම්පූර්ණ නොවන්න පුළුවන්. ඒත් ඒ උද්ඝෝෂණවලින් නැගෙන හඬට කන් දෙන්න ආණ්ඩු කැමති නෑ. දැන් මේ ආණ්ඩුව කියන ආකාරය රාජපක්ෂලාට වඩා මේ අය උද්ඝෝෂණවලට ඉඩදී ඇත යන්න සරලව කිව හැකියි.

සැබෑ ප්‍රශ්න

මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි තීරණාත්මක ජනතා නැගිටීම් ගැන මඳක් සිතමු. පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහි කටුනායක කම්කරු අරගලයේදී රොෂේන් චානක වෙඩි තබා මරා දැමූ පසු අරගලය ජයග්‍රාහී වුණා. ආර්ථික සහනාධාර හා සමාජ ආරක්ෂණ සේවාවන් ඉල්ලා සිටි ඇන්තනිව වෙඩි තබා මරා දැමූ ධීවර අරගලය තවත් එවැනි තීරණාත්මක අවදියකට පත්වුණා. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමට එරෙහිව පැන නැගි ශිෂ්‍ය අරගලයට විශාල මර්දනයක් දියත් වුණා. ජානක හා සිසිත මරා දැමුවා. පරිසර දූෂණයට එරෙහිව රතුපස්වල, තුන්නාන, බෝගහගොඩ, කොබෙයිගනේ දියත් වූ ජනතා අරගල කෙළවර වූයේ රාජපක්ෂලා එපා කරමින්. වනාතමුල්ල නැගී සිටීම සිය වාස භූමිය බේරා ගන්නටයි. අද ජනාධිපති වන්නට සිහින මවන ගෝඨාභය එදා මේ මිනිස්සු පාරේ කුණු දූවිලි තරම් වුණා. මේ ඇත්ත ප්‍රශ්න රාජපක්ෂලා පෙරළා යහපාලනය ගෙන ඒමට හේතුවුණ මුත් අද යහපාලනය මේ කිසිවක් සඳහා සාධාරණය ඉටුකර ඇත්ද? පසුගිය ඡන්දයේදී මේ ප්‍රදේශ නැවත රාජපක්ෂලාම තෝරාගෙන තිබුණා. එසේ නම් ප්‍රශ්නත් එකතැනමය. විසඳුම් වෙනුවට ජනතාව කරනුයේ තමන්ට එරෙහි එකා එලවීමත් ඉන්පසු එන එකා එරෙහි වනවිට නැවත එළවපු එකා හොඳ කර ගැනීමත් පමණයි. මේ දේශපාලන ක්‍රමය තව බොහෝ කල් චක්‍රයක් මෙන් කැරකෙමින් තිබෙනු ඇත. එසේ නම් වරද ජනතාවගේද? පාලකයන්ගේද? කාගේ වුව පරාජය නම් ජනතාවගේ බව පැහැදිලිය. රාජපක්ෂලා කළ දේම යහපාලනයත් කරමින් සිටියි. එසේ නම් මේ ජනතාවට තෝරා ගන්නට සිදුව ඇත්තේද? ඒ මොහොතේ හොඳ අයයි. ඔවුන්ට රැවටී ඉන්පසු ඒ අය එළවන තෙක් ඒ අයට රැවටී සිටිය හැකියි.