රාවය

සේරම දූෂිතයො නිසා නව සමාජ ක්‍රමයක් ඕනෑ අතුරලියේ රතන හිමි

සේරම දූෂිතයො නිසා නව සමාජ ක්‍රමයක් ඕනෑ අතුරලියේ රතන හිමි

සංවාදය – වින්ද්‍යා ගමගේ

ඔබ ප්‍රකාශ කර තිබෙනවා පුළුල් ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන බව. මේ වතාවේ ඒ කටයුත්ත කරන්නේ කවුරුන් සමගද?

අහවල් පුද්ගලයා සමග ජාතික ව්‍යාපාරයක් ගොඩනගනවා යැයි මට එහෙම කිසිදු රේඛාවක්, සීමාවක් පනවාගෙන නැහැ. පුළුල් ජාතික මතවාදයක් සඳහා මුලින්ම දැක්මක් සකස් කරගත යුතුයි. අපි ඒ දැක්ම හදලා තියනවා. මෙය ලෝකයේ පරිසර සංවිධානයක් හෝ කුඩා කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන්නක් නොවේ. ලොව සියලු ජාතීන් එක්වී පැරිස් සමුළුවේදී තීරණය කරගත් පැරිස් සම්මුතිය මත පදනම් වෙලා තිරසාර සංවර්ධන උපාය මාර්ගයක් රටට සකස් කරගැනීම අරබයා වූ යම්කිසි ජාතික දේශපාලන වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. පැරිස් සම්මුතියෙන් අපි යෝජනා කළ දෙය කුඩා කණ්ඩායමකට හෝ පක්ෂයකට කළ නොහැකියි. එය ජාතික වශයෙන් ක්‍රියාවට නැංවිය යුතු දෙයක්. ඒ මත පදනම් වී දැක්මකට මිනිසුන් ඒකරාශී කිරීමයි පළමුවෙන් සිදුකරන්නේ. ඒ සඳහා සීමාවක් නැහැ. ඒ දැක්මට එකඟ නම් ඕනෑම කෙනකුට එයට එකතු විය හැකියි. මුලින්ම පිරිසිදු දැක්මක් තිබෙන්න ඕනෑ. ඒ දැක්ම මත පදනම් වී වැඩපිළිවෙළකට අප පිරිස එක්රැස් කරගත යුතුයි. එය කලින් යහපාලන කතිකාවත වගේ නොවේ. පුළුල්, ආර්ථික, සමාජ, දේශපාලන වැඩපිළිවෙළක්. ප්‍රධාන වශයෙන්ම ආර්ථිකය ඉලක්ක කරගත් කතිකාවතක්. ගියවර ඉදිරියට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදී කාරණා මුල්කරගත් කතිකාවතක්. මෙවර තිරසාර සංවර්ධනය මුල්කරගත් කතිකාවතකට ජනතාව පෙළගස්වනවා. ඒ සඳහා අවැසි බලවේග එනම් සමාජයට බලපෑම් කළ හැකි පුද්ගලයෝ, කණ්ඩායම් යන සියලුදෙනා සමගම මුලින්ම සංවාදයක් කිරීමට බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස තුන ඇතුළත. ඉන්පසු ඔවුන් අතර යම්කිසි සම්මුතික එකඟතාවක් ඇතිකර ගන්නවා. අප කතා කිරීමට බලපොරොත්තුවන්නේ ජනතාවට බලපෑමක් කළහැකි කණ්ඩායම්වලටයි. දැනටමත් අප එවැනි සාකච්ඡාවක් අරඹා තිබෙනවා. ඉන්පසුව තමයි කල්පනා කරන්නේ එය දේශපාලන පරිවර්තනයක් සඳහා යොදා ගන්නේ කෙසේද කියා.

මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනඑනවිටත් ඔබ ජනතාවට කියා සිටියේ ඔබේ වචන විශ්වාස කරන ලෙසයි. වැඬේ වැරදිලා එයම පුනරුච්චාරණය කිරීමට උත්සාහ කරන විට ජනතාව ඔබ කියන දෙය පිළිගත යුතුද?

මම කියන දෙය පිළිගත යුතුයි කියා දෙයක් නැහැ. එය අදහසක්. මම නෙවෙයි එය කියන්නේ. අපි සමාජ මතයක් හැටියටයි කියන්නේ. මම කියන දෙය පිළිගත යුතුයි කියා කොන්දේසියක් නැහැ. මම කියන දෙය නිවැරදි නම්, එය යථාර්ථයක් නම් ජනතාව එය පිළිගනීවි. දෙවන කාරණය වන්නේ මම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තුළින් ක්‍රියාකරනවා. මම සමාජය තුළ විවිධ කණ්ඩායම් සමග වැඩ කරනවා. විශේෂයෙන්ම ආධ්‍යාත්මික කණ්ඩායම් සමග. ඒ අතර විවිධ මට්ටමේ අය සිටිනවා. ආධ්‍යාත්මික සංගීතයට සවන් දෙන්නන්, භාවනා කරන අය, යෝග අභ්‍යාස කරන අය. ඇත්තටම මහජනයා දන්නෙ නැහැ මම මෙවැනි අය සමග වැඩ කරන බව. මෙවැනි ආධ්‍යාත්මික නැඹුරුවක් සහිත, විශාල පිරිසක් එනම් ලක්ෂයකට අධික පිරිසක් රටපුරා ඉන්නවා. ඔවුන් අපේ දේශීය වෙදකම පිළිබඳව, අපේ පාරම්පරික දැනුම පිළිබඳව පර්යේෂකයන් ලෙස කටයුතු කරන, භාවනාවල නිරත වන විශාල පිරිසක්. විශේෂයෙන්ම අපි ගත්තොත් ආධ්‍යාත්මික දියුණුවක් හැටියට සතිපට්ඨාන සූත්‍රය භාවිත කරමින් ඒ සඳහා සංවිධානය වුණු විශාල පිරිසක් රට පුරා ඉන්නවා. විවිධ ආගමික කණ්ඩායම්වල එවැනි සමාජ විමුක්තිය ප්‍රාර්ථනා කරන, දුප්පත් ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට ජනතාව පෙළගස්වන විවිධ කණ්ඩායම් සිටිනවා. ඒ සැමදෙනාමත් මම මෙහිදී ඒකරාශී කරගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම එය සමාජ බලය ලබාගැනීමට කරන වැඩක් නොවේ. දැනටමත් සමාජය තුළ බලය ගැනීමට පෙර ඒ තුළ සිටින බලවේග විකල්ප සමාජ ක්‍රමයකට අවශ්‍ය ලෙස අපි පෙළගස්වා තිබෙනවා. ඒ නිසා මෙය පුද්ගලයෙක් ඇවිත් රටට මතයක් කීමක් වැනි දෙයක් නොවේ. එය වැරදි කතාවක්. සමාජය බලගැන්වීම සඳහා අවංක සමාජ බලවේග නිර්මාණය වෙලා තිබෙනවා. මම ඔවුන් සමග කලක් තිස්සේ වැඩ කරලා තිබෙනවා. ඔවුන් සමග මම විශ්වාසය ගොඩනගා ගෙන තිබෙනවා. සමුපකාර ව්‍යාපාරය, ආධ්‍යාත්මික, සමාජ, ආර්ථික, දේශපාලනික කටයුතු සම්බන්ධව ගන්නා තීරණයක් වෙනවා. උදාහරණයක් වශයෙන් චීනය සහ ඉන්දියාව සම්බන්ධ වෙළෙඳ ගිවිසුම්, ලෝක බලවතුන් ඉදිරියේ අපේ ආර්ථිකය හසුරුවන ක්‍රමවේදය ආදී දේ පිළිබඳව දැක්මකින් මිසක උඩු ව්‍යවස්ථා සංශෝධන, සටන් පාඨවලින් පමණක් නිදහස අත්පත් කරගන්න හැකියැයි මම විශ්වාස කරන්නේ නැහැ. මම ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය යම් පමණකට අවශ්‍යයි. අප කළ දෙයෙහි ගුණාත්මක අගයක් තිබෙන බව මම පිළිගන්නවා. එය ප්‍රමාණවත් නැහැ. ඊට වඩා සමාජ-ආර්ථික දැක්මකින් තමයි සමාජය වෙනස් කරන්න පුළුවන්.

දූෂිතයන්ට දඬුවම් දෙනවාද නැද්ද යන්නට වඩා මම කල්පනා කරන ප්‍රධානම දෙය තමයි ඉදිරියට හොරු නොවන, රටේ ජාතික සම්පත් කොල්ල නොකන, රාජ්‍ය භාණ්ඩාගාරය බිඳින්නේ නැති අවංක පිරිසක් දේශපාලනයට ගෙන ඒම පිළිබඳවයි. දඬුවම් දෙනවද නැද්ද කියන එක නොවෙයි වැදගත්. දඬුවම් දෙනවා කියා ඇවිල්ලා අඩු ගණනේ අපිට ආදර්ශමත් වෙන්න බැරිවුණා. ඒ හන්දා අතීතයෙන් නොවේ, මේ මොහොතේ පටන් ලංකාවේ දේශපාලනයේ පසුගිය ව්‍යාපාර, ඒ වගේම වස විසෙන් තොර ගොවිතැන පිළිබඳව අවංකව කටයුතු කරන පිරිසක් රට පුරා විසිරී සිටිනවා. 25,000කට අධික පිරිසක් අපි සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම අපි ප්‍රායෝගිකව විකල්ප ජීවන ක්‍රමයකට අදාළ දේවල් රාජ්‍ය බලය තිබුණත් නැතත්, රාජ්‍ය බලය ගත්තත් නැතත් එය සමාජය තුළ කිරීමට ඉඩකඩක් ඇතිවෙලා තිබෙනවා. ප්‍රධාන දෙය තමයි ආණ්ඩුව කුමක් කළත්, විකල්ප ආණ්ඩුවක්, විකල්ප සමාජ ක්‍රමයක් පිළිබඳව අත්හදා බැලීම හා ඒ ක්‍රියාකාරකම් කරන පිරිස් එක්ක කටයුතු කිරීම තමයි ප්‍රධාන දෙය. ඒ වගේම එය දෙගුණයක්, තුන්ගුණයක් දක්වා වර්ධනය කිරීම. ඇත්ත වශයෙන්ම එය සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිය වෙනස් අදහසක්.

යහපාලනය සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කළා. එහෙත් නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්නය ජයගැනීමට මේ ක්‍රමයට අසීරු කර්තව්‍යයක් බව පෙනී යනවා. නව ජාතික බලවේගයක් හැදුවත් රටේ දූෂිතයන්ට, මිනීමරුවන්ට දඬුවම් ලැබෙයි කියා විශ්වාස කරනවාද?

මම හිතන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදයත්, දේශීය ආධිපත්‍යයවත් ව්‍යවස්ථා සංශෝධනවලින්ම තහවුරු කළ හැකි බව. ඉකුත් වකවානුවේ හිටපු සෑම දෙනෙක්ම උදාහරණයක් හැටියට වික්ටර් අයිවන් මහතා ‘චෞර රැජින’ කියලා පොතක් ලියුවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගැන. ඊළඟට ප්‍රේමදාස මහතා නිදන් කඩනවා කියලා රටේ විශාල ජනමතයක් ඇතිවුණා. හිටපු සාම්ප්‍රදායික දේශපාලනඥයො හැමදෙනාම ගෙදර ගියේ හොඳ චරිත සහතිකයක් එක්ක නොවේ. එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිත අවසාන වුණේ හොඳ නමකින් නොවේ. ඒ නිසා, මේ තිබෙන සාම්ප්‍රදායික, ජරාජීර්ණ දේශපාලනය ඇතුළෙ අපිට දූෂිතයො නොවෙන අය ගේනව කියල දෙයක් කරන්න බැහැ. ඒ හන්දා විකල්ප සමාජ මතවාදයක් එක්ක, සමාජ ක්‍රමය ගොඩනැගීමේ වැඩසටහනක් ගැනයි මම කල්පනා කරන්නේ. හෙට බලයට පත්වෙන කෙනා, හෙට සිට හොරකම් නොකරන්නේ කෙසේද යන්න තමයි මගේ අදහස.

වත්මන් ජනපති පොදු වැඩපිළිවෙළකට යොමුකර ගැනීමට ඔබ ඇතුළු යහපාලන රජයේ නිර්මාපකයන්ට නොහැකි වුණේ ඇයි?

ඇත්ත වශයෙන්ම එය අපට නොහැකි වුණා. අවංකව කල්පනා කර බැලුවොත් එය අපේත් අසාර්ථක බවක් වෙන්න පුළුවන්. අපි ඉදිරියේදීවත් ජනපතිවරයාට හැකිතරම් බලපෑමක් කර යම්කිසි ජනමතයකින් ඔහුව නිවැරදි කරගන්න හැකිවුණොත් මේ ඉදිරි අවුරුදු එකහමාර තුළ සිදුවීමට ඇති අවාසිය වළක්වා ගන්න හැකියැයි මම විශ්වාස කරනවා. ඒ නිසා මුලින්ම වුණු හානිය අවම කරගැනීමත්, තවත් හානියක් නොවීමත්, තවත් අහිතකර දේශපාලන, ආර්ථික ප්‍රතිපත්ති ගැනීම වැළැක්වීමත් අපේ වගකීමක්. එහිදී ජනාධිපතිවරයාට යම් කාර්යභාරයක් කළ හැකියි. ඒ වගේම ඒ සඳහා ඔහුට බලපෑමක් කළයුතු බවත් මම විශ්වාස කරනවා. ජනතා ශක්තියෙන් එවැනි බලපෑමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

කිසිදු විධායක ජනාධිපතිවරයකුට සිය පාලන කාලය තුළ ජනතාවගේ පැත්තෙන් සාධනීය බලපෑම් කිරීමට නොහැකි වූ බව ඉන් පෙනී යනවා නේද?

ජනාධිපතිවරයෙක්ද නැද්ද යන්න නොවෙයි ගැටලුව. දැක්ම සහ වැඩපිළිවෙළ මතයි ප්‍රශ්නය පැන නැගිලා තිබෙන්නේ.

2020 ජනාධිපතිවරණයට ඔබ විශ්වාස කරන්නේ කවර ස්වරූපයේ අපේක්ෂකයකු ගැනද?

මගේ පුද්ගලිකව විමසුවොත් මට කියන්න පුළුවන් ප්‍රඥාවන්ත, ලෝක ප්‍රවණතා පිළිබඳව අවබෝධයක් තිබෙන, නවීන ලෝකයේ තිබෙන වේගවත් වෙනස්කම් පිළිබඳව අදහසක් තිබෙන ප්‍රබුද්ධ මනුෂ්‍යයෙක් රටේ නායකයා විය යුතුයි කියලා මම පුද්ගලිකව සිතනවා. අප එසේ සිතුවත් අපට මේ තිබෙන සම්මත දේශපාලනය තුළ තමයි කල්පනා කරන්න වෙන්නේ. මම දැනට පුද්ගලයකු ගැන සිතනවාට වඩා අවධානය යොමු කරන්නේ ජාතික මණ්ඩලයක්, එනම් කෝටි ගණනක ජනතාවට බලපෑම් කළහැකි, සියලු සමාජ කණ්ඩායම් හැකිතරම් එක තැනකට ගෙනැවිත් සියලුදෙනා අතුරින් තීන්දුවක් ගැනීම වඩා හොඳ බවයි මම දැනට කල්පනා කරන්නේ.

ඔහුට කට්ටි පැනීමට ඉඩ නොදී, සමාජ දේශපාලන වැඩපිළිවෙළකට සිර කර තබන ක්‍රමයක් ඔබට යෝජනා කළ හැකිද?

මම හිතනවා ඒ තමයි සමාජ බලගැන්වීමේ ව්‍යාපාරය. ඒ කියන්නේ වස විසෙන් තොර ගොවිතැන අපි ප්‍රායෝගිකව කළොත්. ඒ වගේම මිනිස්සු තුළ ස්වශක්තිය ගොඩනගන සමාජ වැඩපිළිවෙළක් අපි දියත් කළොත් එයට ඉඩකඩ ලෝකයේ හැදිලා තිබෙනවා. ඒ අනුව අපට අඩු ගණනේ 10%ක්වත් සමාජය බලගන්වන්න හැකිනම්, විකල්ප ආණ්ඩුවක් දක්වා ජනතාව සංවිධානය කිරීමට එය තමයි ඊළඟ ආණ්ඩුවක් සඳහා බලපෑම් කළහැකි තත්ත්වය වන්නේ. ඒ තත්ත්වය ඇතිකර ගන්න හැකියැයි මම විශ්වාස කරනවා.