ශ්‍රී ලංකාවට ජාතික ජල හා කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

කාශ්‍යප ඒ. එස්. යාපා

1. අපි අවුරුදු 2ක් පමණ යන විට අම්මාගේ කිරිවලින් නිදහස් වෙමු. ඒත් අපට ජලයෙන් නිදහස්වීමට පුළුවන් වන්නේ කවදාද? එහෙමනම්, අපි පිළිගන්න ඕන ජල මාතාව අප පෝෂණය කරනවා කියලා, සදහටම. ඉතින්, ඇයි අපි ජලයට කෘතගුණ සැලකීමක් විදියට ඇයව පෝෂණය නොකරන්නේ? ඇය මේ දිනවල ඉතාමත් රෝගීවයි පසුවන්නේ.

2. ඔබේ අම්මා රෝගීවූ විට කොහොමද ඇයව සනීප කරන්නේ? ඔබ අම්මාගේ ප්‍රියතම පුත්‍රයාට ඒ වැඬේ බාර දෙනවාද? නෑ, ඇගේ පුතුන් හා දූවරුන් සියලුදෙනාම පුළුවන් හැකි පමණින් ඒ සඳහා දායකවෙනවා නේද? අනික, කොහොමද ඔබ තීරණය කරන්නේ කුමන ක්‍රියාමාර්ගයක් ඒ සඳහා ගත යුතුද කියා? ඔබ ඡන්දයක් විමසනවාද? නෑ, ඔබ හැමෝගෙම කැමැත්ත විමසලා පොදු තීරණයක් ගන්නවා නේද?

3. ඉතින්, ඇයි අපි ජලමාතාව සනීප කිරීමට එවැනි මගක් යොදා නොගන්නේ? දියපාරක්, ගඟක් රැකගැනීම සඳහා ඉන් පෝෂණය වන සියලුදෙනා සහභාගි විය යුතුයි. යම් කිසිවකු ගඟින් ජලය නොගත්තත්, ඒ ජල පෝෂක ප්‍රදේශය තුළ, වැස්ස, උල්පත් හෝ මීදුම මගින් ජලය ලබා ගන්නවා නම්, ඔහුත් ඒ වැඩට දායක විය යුතුයි. ජලය කාටවත් අයිති නැහැ. ඒ වගේම ජලය කාටවත් විකුණන්නත් බැහැ. හැමෝම කවර ආකාරයකින් හෝ ජලයෙන් පෝෂණය වන්නන්.

4. දිය පාර රැක ගැනීමේ ක්‍රමවේදය ඒ ජලයෙන් පෝෂණය වන්නන්ගේ ඒකමතික තීරණය වියයුතුයි. ඒ ගැන වැඩි දැනුමක් ඇති ජලය භාවිත කරන්නන් හෝ තාක්ෂණික නිලධාරීන් ජල පෝෂක සමුළුවට නිවැරදි ක්‍රමවේද පැහැදිලි කළ යුතුයි. ඒත් තීරණය ගතයුත්තේ සමුළුව පමණයි. මොකද, ඒ අය තමයි ඒ කර්තව්‍යයට දායක වියයුත්තේ මුදලින්, ශ්‍රමයෙන් හා අවශ්‍ය ද්‍රව්‍යවලින්.

5. ඒ වගේම, පෝෂක ප්‍රදේශයේ ජලය හරියාකාරව බෙදාගැනීමේදීද, ජලය භාවිත කරන්නන් විසින්ම, එවැනි තීරණ ඒකමතිකව ගත යුතුයි. නිලධාරීන් කළයුත්තේ උපදෙස් දීම පමණයි. ඒ හැම පුද්ගලයකුම, තමා ජලය ලබාගන්නා ආකාරය හා ප්‍රමාණය (ගඟින් පමණක් නොව, වැස්ස, මීදුම හා උල්පත් මගිනුත්) අන් සියලු පාරිභෝගිකයන් දැනුවත් කළ යුතුයි. ඒ සඳහා තමා කැපකළ වියදම් හා උත්සාහයද පැහැදිලි කළ යුතුයි. ඒ අතර තමාට අමතර ජලය අවශ්‍ය නම්, එය ලබාගත හැකි ක්‍රම, ඊට යන වියදම් ආදියද දන්වා සිටිය යුතුයි.

6. විශාල ජල පෝෂක ප්‍රදේශවල මෙවැනි තීරණ ගැනීමේ පහසුව සඳහා කමිටුවක් පත් කරගත හැක. එම කමිටුව, නිලධාරීන්ගේ උපදෙස් මත, ඒකමතික තීරණ ගෙන ප්‍රදේශයේ පූර්ණ සමුළුවට ඒවා ඉදිරිපත් කළ යුතුයි. රජය හෝ උසාවි ඊට මැදිහත් වියයුත්තේ යම් ගැටලුවක් විසඳීමට පමණයි.

7. කෘෂිකාර්මික ජල ප්‍රශ්නද මේ ආකාරයටම විසඳිය හැකිය. එහිදී වාරි ජලයට වඩා, වැසි, උල්පත් හා භූ ජලයට ප්‍රධාන තැන දිය යුතුයි.

8. ලංකාවේ පැරැණි කෘෂි ශිෂ්ටාචාරයේ මුදුන් මුල විශාල වැව් නොවේ. ලක්ෂ සංඛ්‍යාත කුඩා වැව් මගින් පෝෂණය වුණු භූගත ජලයයි. ඒවායින් පස ඛාදනය වීමද නැවතුණා1. ඒ වැව් බිහිවුණේ පසේ මැටි ගතිය අඩු ප්‍රදේශවලයි, මොකද, භූගත ජලය පෝෂණය කිරීමේ පහසුව නිසා2. මේ සඳහා වැව් තාවුල්ලට ඉහතින් කැලය සංරක්ෂණය කිරීම හා අවුරුදු පතා රොන්මඩ ඉවත්කර වැව් පිළිසකර කිරීම අත්‍යවශ්‍යයි. ඇවැසි පස සංරක්ෂණ ක්‍රම යොදා ගනිමින්, වැසි කාලයේදී වැව් තාවුල්ලේත්, වියළි කාලයේදී වැව් පිටියේත්, වස විස රහිත වගාවන් කිරීමෙන්, එහි පස තදවීමට ඉඩ නොදී, වැසි ජලය වැඩි ප්‍රමාණයක් භූගත කළ හැකියි.

9. වියළි කලාපයේ දිගු වැසි රහිත කාලයට හොඳම විසඳුම භූගත ජලයයි. පස තුළ ජලය ගමන් කරන්නේ හෙමින් නිසා, ඉහළ කැලයේ සිට වැවටත්, වැව් තාවුල්ලේ සිට පහළ ගොවි බිමටත් ජල සීරාව පැමිණෙන්නේ වැසි අවසානවීමත් සමගයි. ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අවුරුද්දකට මි.මී. 1000කට වැඩි වැස්සක් ලැබෙන නිසා, වසර ගණනාවකට අවශ්‍ය ජලය පස තුළ රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා.

10. අපි ඒ ජලය පොළොවේ සංරක්ෂණය කරගන්නා ආකාරය හා එය නිසි ආකාරයට ගොවිතැන සඳහා යොදා ගන්නා ක්‍රමය ගැන නැවතත් ගොවීන් දැනුවත් කළ යුතුයි. ගොවිබිමේ භූගත ජලය කේෂාකර්ෂණය නිසා මතුපිටට පැමිණ හෝ ශාක තුළින් හෝ වාෂ්පවී යා හැකියි. භෝග වගා නොකරන කාලයට එය වළකාලීම, මතුපිට පස කොළ වැනි අතුරණයකින් වසා තැබීමෙන් හෝ වල්පැළ උදළු ගා පස බුරුලෙන් තැබීමෙන් හෝ කළ හැකියි.

11. පොළොවේ රැඳි ජලයෙන් වගා කරද්දී, බීජ වැපිරීම තුනීව කළ යුතුයි. එම බීජ පසේ මතුපිටට සෙ.මී. කීපයක් පහළින් තැන්පත් කළ යුතුයි. මතුපිටින් ජලය ලබා නොදුනහොත් බීජවල මුල් පස තුළට ගමන් කරයි. මේ සඳහා එම පසට හුරුවූ බීජ යොදා ගැනීම වඩා යෝග්‍ය වේ. ඒ පැළ ඉඩෝරයට වඩාත් ඔරොත්තු දෙනු ඇත. ඒ පැළයට පසේ ඇති සාරය වැඩි වශයෙන් උරා ගත හැකිවේ. අමතර පොහොරද අවශ්‍ය නොවේ.

12. වැසි ජලයෙන් ගොවිතැන් පටන්ගෙන, පසුව අවශ්‍ය නම් පමණක් වාරි ජලය යොදා ගැනීමට ගොවීන් උනන්දු කළ යුතුයි. එවැනි හදිසි අවස්ථාවකට ළඟ ඇති කෘෂි ළිං යොදාගත හැක. එවිට ලංකාවේ කෘෂි කර්මාන්තය වාරි ජලයේ වහල් භාවයෙන් මුදාගත හැක.

13. අප දකින විදියට, ඈත අතීතයේදී ලංකාවේ විශාල වැව් ඉදි කර ඇත්තේ විශාල නගරවල වාසීන්ගේ පහසුව සඳහා මිස කෘෂි කර්මාන්තය සඳහා නොවේ. මෑත කාලයේදී, ලංකාවේ වී ගොවිතැන විශාල ජලාශවල වාරි ජලයේ වහලකු කිරීමෙන් සිදුකර ඇති මහා විනාශය දකින විට, අපට සිතෙන්නේ, පැරණි කෘෂි ශිෂ්ටාචාර වරින් වර බිඳ වැටුණේද එවැනි අදූරදර්ශී පාලකයින් නිසාදෝ කියායි. රටේ මූල්‍ය තත්ත්වය තවදුරටත් අකර්මණ්‍ය කරන, මහා වාරි සුදු අලින් ඉදිකිරීම දැන්වත් නවතා දමා, ඒවායින් කුඩා වැව් පෝෂණය කිරීම පමණක් කළ යුතුයි.

14. කුඩා වැව් නඩත්තු කිරීම හා සංරක්ෂණය කිරීම ජල පෝෂක සමුළු වලටම බාර දිය යුතුයි. ඒවායේ ප්‍රධාන කර්තව්‍යය වියයුත්තේ වාරි ජලය බෙදීම නොව භූගත ජලය පෝෂණය කිරීමයි. එම සමුළු වලින්ම, තම ප්‍රදේශයට ගැළපෙන, පාරම්පරික, කාලගුණ අනාවැකි දැනුම, බීජ සංරක්ෂණ හා සංවර්ධන දැනුම, කෘෂි රෝගනිවාරණ දැනුම, අස්වනු ගබඩාකිරීමේ දැනුම, ආදිය නැවත ප්‍රචලිත කිරීමේ කාර්යය කළ හැකියි3. අනාගතයේදී කෘෂි උපදේශකයින් ලෙස තෝරාගත යුත්තේ මෙවැනි සමුළුවල අත්දැකීම් ඇති ගොවි මහතුන්ය.

15. මේ ප්‍රතිපත්ති හරිහැටි පිළිවෙළ කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන්නේ ජල පාරිභෝගිකයන්ගේ හා ගොවියන්ගේ සහභාගිත්වය පමණි. ඊට අමතරව, රටේ නිපදවන කෘෂි ආහාර හා බීජ එකතුකිරීමේ හා සාධාරණ මිලකට බෙදාහැරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතුයි. ඉන්පසු රටේ නිලධාරිවාදය තුරන්වනු ඇත; පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය යථාර්ථය තේරුම්ගෙන ඒ මගට හැරෙනු ඇත.

16. එහෙත්, මෙවැනි ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ දූෂණයෙන්, බොරුවෙන්, වංචාවෙන් හා පාතාල කාරයින්ගෙන් තොර රටකට හා රජයකට පමණි. ඒ නිසා, අපගේ පළමු පියවර වියයුත්තේ ඒ සඳහා මහජනතාව දැනුවත් කිරීමයි.