වෙස්ට් කෝස්ට් විදුලි හොරුන්ට කරන්ට් වදින්නේ නැද්ද?

නිමල් අබේසිංහ

ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් අයිතිය 63%ක් පවතින ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් සිදුකරන ලද මූල්‍ය අවභාවිතාවන් පිළිබඳව රාවය දිගින් දිගටම තොරතුරු හෙළිදරව් කළත් තවමත් යහපාලන ආණ්ඩුව සිටිනුයේ ඒ පිළිබඳව නොඇසූකන්වය. ඒ වාතාවරණය තුළ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් හෝල්ඩින්ග්ස් සමාගම එහි ඇති 63% කොටස් අයිතිය 39% දක්වා අඩුකර ගැනීමේ වෑයමක නිරතවෙමින් සිටී. ඒ නීතියෙන් ගැලවී ඔවුනට රිසිසේ කටයුතු කිරීමේ අවස්ථාව උදාකර ගැනීමේ අරමුණෙනි.
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධ සමාගමක් වන ලක්දනවි සමාගම විසින් සිදුකර ඇති තවත් මූල්‍ය අවභාවිතයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරගත හැකිවිය. ඒ මුදල් අමාත්‍යාංශය විසින් කෙරවළපිටිය මෙගාවොට් 300 විදුලි බලාගාරය පිළිබඳව සිදුකර ඇති ස්වාධීන පර්යේෂණයක් වෙතිනි. විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම් හේතුවෙන් රාජ්‍ය අංශයට සිදුවන පාඩුව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් (A CASE STUDY OF PUBLIC SECTOR LOSS THROUGH PARTNERSHIP STRUCTURES IN POWER GENERATION CONTRACTS)  යන මැයෙන් යුතුව සිදුකරන ලද අධ්‍යයන වාර්තාවට කේන්ද්‍ර කරගෙන තිබෙන්නේ කෙරවළපිටිය විදුලි බලාගාරයයි.

මෙම ස්වාධීන පර්යේෂණ වාර්තාව සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීම පිට වෙරිටි රිසර්ච් (Verite Research)  නමැති ආයතනයයි. මෙම ආයතනය මෙවැනි අධ්‍යයනයන් කළ හැකි ආසියානු කලාපයේ ප්‍රසිද්ධ හා පිළිගත් ආයතනයකි. වාර්තාව නිකුත් කර ඇත්තේ 2018 ජූලි මාසයේදීය. කෙරවළපිටිය මෙගාවොට් 300 විදුලි බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා ටෙන්ඩරය ඉදිරිපත් කරනුයේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් හෝල්ඩින්ග්ස්හි අනුබද්ධ සමාගමක් වන ලක්දනවි සමාගමය. පසුව කෙරවළපිටිය විදුලි බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් පිහිටුවන ලද වෙස්ට් කෝස්ට් පවර් ආයතනය කෙරවළපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමේ සිට අද දක්වා මෙහෙයුම් කටයුතු කරනු ලබන සමාගම වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම ස්වාධීන විදුලි උත්පාදන සමාගම වන්නේද වෙස්ට් කෝස්ට් පවර් සමාගමය.

ලක්දනවිට වාසිදායක ගිවිසුමක්

මෙම ඉදිකිරීම සඳහා විදේශීය ණය පහසුකම් සඳහා ශ්‍රී ලංකා රජය ඇපකරුවකු ලෙස ඉදිරිපත්වීමට සිදුවූ බැවින් මහා භාණ්ඩාගාරය වෙස්ට් කෝස්ට්හි 50%ක කොටස් හිමිකාරිත්වයක් දැරුවද ණය ගෙවා අවසන් වනවිට රජය සතු කොටස් අයිතිය ලක්දනවි සමාගමට හිමිවන ආකාරයෙන් ගිවිසුම්ගතව ඇති බව මෙම වාර්තාවේ සඳහන්ය.
මෙම වාර්තාවෙන් අවධාරණය කරනු පළමු කාරණය වන්නේ ශ්‍රී ලංකා රජය කිසිදු ලාභාංශ ප්‍රතිලාභයකින් තොරව මූල්‍ය අවදානමක් දැරීම මෙන්ම කොටස් හිමිකාරිත්වය අනුව සමානුපාතික ලෙස ප්‍රතිලාභ බෙදී නොයෑමය. එහෙත් වෙස්ට් කෝස්ට්හි ඉතා කුඩා ආයෝජනයක් කර ඇති ලක්දනවි සමාගම සුවිසල් ප්‍රතිලාභයක් ලබාගෙන තිබීමය.
වෙස්ට් කෝස්ට් පවර් සමාගම මූල්‍ය ප්‍රතිපාදන සපයාගෙන ඇති ආකාරය ගැන එම වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසය. මෙයට ප්‍රතිපාදන සපයාගෙන ඇත්තේ 2007-2008 වර්ෂවලදීය. 2012 විගණන වාර්තාව අනුව එය රුපියල් බිලියන 35.2කි. ලක්දනවි සමාගම සතු කොටස් ශ්‍රී ලංකා රජයට පවරන අවස්ථාව වනවිට එළැඹ ඇති ගිවිසුම් ප්‍රකාරව ව්‍යාපෘතියේ ප්‍රාග්ධන ආයෝජනය රුපියල් බිලියන 12.9කි. ඉතිරි රුපියල් බිලියන 22.7ක මූල්‍ය ප්‍රතිපාදන විදේශීය ණය වශයෙන් ලබාගෙන තිබේ. මේ සියලු ණය සඳහා ශ්‍රී ලංකා රජය ඇපකරුවා වන අතර රජය ඇපකරුවකු ලෙස පෙනී සිට මෙරට ආයතනයක් ලබාගෙන ඇති විශාලතම ණය ප්‍රමාණයද වෙයි. මෙම ණය ලබාගෙන ඇත්තේ ඇමරිකානු අපනයන ණය ආයතනය (US CXIM Bank)  සහ ප්‍රංශයේ  COFACE ආයතනවලින් වන අතර ණය සංවිධානය කර ඇත්තේ  HSBC  බැංකුවය.

ශ්‍රී ලංකා රජය ඇපකරු පමණයි

1957 අංක 29 දරන විදේශ ණය පනත අනුව විදේශීය ණය සඳහා රජය ඇපවන අවස්ථාවකදී එම සමාගම්වල හිමිකාරිත්වයෙන් අවම වශයෙන් 50%ක්වත් ශ්‍රී ලංකා රජය සතුවිය යුතු බව සඳහන් වේ. එහෙත් රජය වෙස්ට් කෝස්ට්හි ප්‍රාථමික කොටස්කරුවකු කර තිබීම අසාමාන්‍යය. මේ අනුව මතුපිටින් බලන කල්හි වෙස්ට් කෝස්ට්හි 50%ක කොටස් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මුදල් වැයකර ඇති බවක් පෙනෙන්නේ නැති බවත් එහෙත් එය සත්‍ය නොවන මෙම පර්යේෂණ වාර්තාව අනාවරණය කරයි.
මෙම පර්යේෂණ වාර්තාව ශ්‍රී ලංකා රජය ලෙකෝ (ලංකා විදුලි පෞද්ගලික සමාගම, සේවක අර්ථ සාධක අරමුදල හා වෙස්ට් කෝස්ට් පවර් සමාගම අතර අත්සන් කළ ගිවිසුම ඇසුරින් හා එහි අවදානම් හා ප්‍රතිලාභ බෙදී ගිය ආකාරය වගුවක් මගින් පෙන්වාදී තිබේ.

ඒ අනුව වෙස්ට් කෝස්ට්හි වත්මන් කොටස් අයිතිය මෙසේ වෙන් කර ඇත. ශ්‍රී ලංකා රජය 50%ක් වෙස්ට් කෝස්ට් පවර් සමාගම 5%. ලංකා විදුලි පෞද්ගලික සමාගම 18%, සේවක අර්ථසාධක අරමුදල 27%.

අවදානම රජයට; ලාභ ලක්දනවි සමාගමට

මූල්‍ය අවදානම දරා ඇති අයුරු ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත්තේ මෙලෙසය. ශ්‍රී ලංකා රජය 82%, වෙස්ට් කෝස්ට් සමාගම 4%, ලංකා විදුලි පෞද්ගලික සමාගම 6%, සේවක අර්ථසාධක අරමුදල 8% වශයෙනි.
එහෙත් ප්‍රතිලාභ බෙදී ගොස් ඇති ආකාරය ඊට හාත්පසින් වෙනස්ය. ඒ අනුව ශ්‍රී ලංකා රජය 30%, ලක්දනවි සමාගම 24%, ලංකා විදුලි පෞද්ගලික සමාගම 18%, සේවක අර්ථසාධක අරමුදල 27%ක් වශයෙනි.
මේ තත්ත්වය විශ්ලේෂණ කළහොත් ශ්‍රී ලංකා රජය කොටස් අයිතිය 50%ක් දරමින් දරා ඇති අවදානම එම අයිතියට වැඩියෙන් 32%කි. දැරූ මූල්‍ය අවදානමට 52%ක් අඩුවෙන් ප්‍රතිලාභ ලැබී තිබේ. ලංකා විදුලි පෞද්ගලික සමාගම කොටස් අයිතිය 18%කි. ඔවුන් දැරූ අවදානම 6%කි. ලැබූ ප්‍රතිලාභය 18%කි. ඒ අනුව ලංකා විදුලි පෞද්ගලික සමාගම සිය කොටස් අයිතියට වඩා 12%ක් අඩුවෙන් අවදානම දරා ඇතිමුත් ප්‍රතිලාභ හිමිවීමේදී කොටස් අයිතියට සමාන ප්‍රතිශතයක ප්‍රතිලාභ හිමිකරගෙන තිබේ. සේවක අර්ථසාධක අරමුදල සතු කොටස් අයිතිය 27%ක් වන අතර ඔවුන් දැරූ අවදානම 8%කි. ඒ අනුව ඔවුන් දරා ඇති අවදානම කොටස් අයිතියට වඩා 19%ක් අඩුවෙනි. ප්‍රතිලාභ ලැබීමේදී ඔවුන් සිය කොටස් අයිතියට සමාන ප්‍රතිලාභයක් හිමිව ඇත. ලක්දනවි සමාගම සතු කොටස් අයිතිය 5%කි. ඔවුන් දරා ඇති අවදානම 4%කි. ඒ අනුව ඔවුන් අවදානම දරා ඇත්තේ තමන් යොදවා ඇති කොටස් අයිතියට වඩා 1%ක් අඩුවෙනි. ප්‍රතිලාභ හිමිකර ගැනීමේදී ලක්දනවි සමාගම 24%ක් හිමිකරගෙන ඇති අතර එය ඔවුන්ගේ කොටස් අයිතියට වඩා 19%ක් වැඩියෙනි. දැරූ අවදානමට වඩා 20%ක් වැඩියෙනි. මේ අනුව වෙස්ට් කෝස්ට් පවර්හි වැඩිම ලාභ පංගුව සූරාගෙන ඇත්තේ ලක්දනවි සමාගම බව හෙළිවේ.
2018 වසර වෙස්ට් කෝස්ට්හි කොටස් හිමිකාරිත්වය අනුව ප්‍රාග්ධන ආයෝජනය මෙලෙසය.
ලක්දනවි රුපියල් මිලියන 1466/- නාමික වාර්ෂික ප්‍රතිලාභය 39.75% ලංකා විදුලි පෞද්ගලික සමාගම රුපියල් මිලියන 2000/-, ප්‍රතිලාභය 20.04% සේවක අර්ථ සාධක අරමුදල රුපියල් මිලියන 2975/- ප්‍රතිලාභ 20.4 වශයෙනි. මෙහිදීද අඩු ආයෝජනයක් කරන ලක්දනවි සමාගම වැඩි පංගුවක් ලබාගෙන ඇති බව පෙනෙයි.

ඉහළ අයකිරීම්

ලංකා විදුලිබල මණ්ඩලය වෙස්ට් කෝස්ට් ආයතනයෙන් විදුලිය මිලදී ගත්තේද ගිවිසුම්ගත මුදලට වැඩියෙන්ය. ගිවිසුම් ප්‍රකාරව වෙස්ට් කෝස්ට් විසින් විදුලි ඒකකයක මිල රුපියල් 11.88ක් සඳහන් කර ඇතත්, 2016 වසරේදී එක් ඒකකයක් සඳහා අයකර ඇති මුදල රුපියල් 33.14කි. එය ගිවිසුම්ගත මුදලට වඩා තුන් ගුණයක් පමණ වැඩිය.
වෙස්ට් කෝස්ට් විසින් 2010-2016 දක්වා ගිගාවෝට් විදුලි ඒකක 5,866.83ක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදී තිබේ. මේ සඳහා ගෙවා ඇති මුදල අනෙකුත් ද්‍රව ඉන්ධන බලාගාර ඒකක ගාස්තුවට සාපේක්ෂව වඩා ඉහළ අගයක් ගෙන ඇති බවද මෙම වාර්තාවෙන් කියැවෙයි. එහි එයට හේතුද දක්වා තිබේ.

අදාළ පාර්ශ්වයන් නිසි ලෙස නිර්ණායක භාවිත නොකිරීමෙන් නිවැරදි ක්‍රම උපායන් නොසලකා හැර තීරණ ගැනීම, වර්තමානයේ භාවිත කරන විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම මගින් බලාගාරය සඳහා භාවිත කොට ඇති තාක්ෂණයට අනුරූප කාර්යක්ෂමතාව, වියදම් නිර්ණායක, ඉලක්ක නිසි ලෙස අර්ථ දැක්වීමට අසමත්වීම විදුලිබල මණ්ඩලයේ වියදම් නිර්ණායක සුදුසු පරිදි සංශෝධනය කරගැනීම සඳහා ගිවිසුම තුළ ලබාදී ඇති විධිවිධානද නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති අතර එමගින් විදුලි ඒකක මිලදී ගැනීම සඳහා වැයවන අධික වියදම අඩුකර ගැනීමට උත්සාහ කර නොතිබීම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම තුළ අඩංගු ඉලක්කගත තාප අනුපාතය හා මෙහෙයුම් හා නඩත්තු ගාස්තු යන පරාමිතීන් තුළ ඇති අක්‍රමිකතා මෙම අධ්‍යයනයේදී විශේෂයෙන් හඳුනාගෙන තිබීම යන කරුණු ඇතුළත්ය.

පය බරවයාට පිටිකර තබා බෙහෙත්

මෙහිදී සිහිපත් කළයුතු කනගාටුදායක සිදුවීමක්ද සඳහන් කළ යුතුය. ඒ මේ විදුලිය මිලදී ගැනීම් සම්බන්ධව නිරන්තරයෙන් ප්‍රශ්න කළ විදුලිය මිලදී ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම පිළිබඳවය. ඔහු විසින් වෙස්ට් කෝස්ට්හි මිල ගණන් පමණක් නොව වෙනත් අනීතික ගිවිසුම් පිළිබඳ ප්‍රශ්න කරමින් ඒවා වැළැක්වීමට උත්සාහ කළත් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය කළේ විදුලිබල මණ්ඩලයට අදාළ නොවන බාහිර හේතුවක් මත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ වැඩ තහනම් කිරීමය. එය පයබරවායට පිටිකර තබා බෙහෙත් බැඳීම වැන්නකි.

ගිවිසුම් ප්‍රකාරව විදුලිබලය සැපයීමට නොහැකි වූ අවස්ථාවන්හිදී වෙස්ට් කෝස්ට් ආයතනය එක ඒකකයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 4කි. එහෙත් විදුලිබල මණ්ඩලය වෙස්ට් කෝස්ට් වෙතින් ලබාගන්නා විදුලි ඒකකයකට රුපියල් 32/-කටත් වැඩියෙන් ගෙවිය යුතු වේ. මෙයද අරුම පුදුම කොන්දේසියක් නොවන්නේද?

දෙවැනි බලාගාරය සඳහා කැස කැවීම

විදුලි ඒකකයක් මිලදී ගැනීමේදී ගණනය කරන ඒකක මිල කොටස් හතරකට බෙදා තිබේ. ධාරිතා පිරිවැය, බලශක්ති පිරිවැය, පණගැන්වීමේ පිරිවැය හා අනෙකුත් පිරිවැය එකී කොටස් හතරය. ඒකක මිලෙන් 95%ක් අන්තර්ගත වනුයේ ධාරිතා පිරිවැය හා බලශක්ති පිරිවැය යන කොටස් දෙකටය. අනෙකුත් නියත අගයන් ගත්තද මෙම ශක්‍යතා අධ්‍යයන වාර්තාව හා අනෙකුත් අධ්‍යයන වාර්තාවල අගයන්ට අනුව ඉහළ අගයක් ගෙන ඇති බවද වාර්තා වේ සඳහන්ය. එසේම ලංකා විදුලිබල මණ්ඩලය මගින් ප්‍රකාශ කර ඇති දීර්ඝකාලීන ජනන සැලසුමට (Least-Cost Long Term Generation Expanision Plan)  

අනුවද කෙරවළපිටිය (වෙස්ට් කෝස්ට්) බලාගාරය සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණය අනුව මෙහෙයුම් හා නඩත්තු වියදම ඉහළ අගයක් ගන්නා බව පෙනී යන්නේය. එලෙසම මෙම බලාගාරයෙන් විදුලි මිලදී ගැනීමේ ගිවිසුමෙහි සඳහන් බලාගාරයේ දත්ත විශ්ලේෂණය කළ විට කෙරවළපිටිය විදුලි බලාගාරය ඉතා මිල අධික හා දැඩි අකාර්යක්ෂම බලාගාරයක් බවද මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

මේ වාර්තාවෙන් නිරාවරණය කරන කරුණු කාරණා සැලකිල්ලට ගනිද්දී කෙරවළපිටිය විදුලි බලාගාරය යනු ලංකා විදුලිබල මණ්ඩලයට හෝ ශ්‍රී ලංකා රජයට ප්‍රතිලාභ හිමිනොවන සුදු අලියෙක් බව පැහැදිලිය. ඒ පාර්ශ්වයෙන් එසේ වුවත් ලක්දනවි සමාගමට නම් සුරබිදෙනක් වී තිබෙන බව පැහැදිලිය. ඉදින් කෙරවළපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ ඉදිකිරිම නඩත්තුව හා මෙහෙයුම් කටයුතු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීමට ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ බලධාරීන් මරුවිකල්ලෙන් දඟලන්නේ ඇයිද යන්න පාලකයන්ට නොවැටහෙන්නේ ඇයිද යන්න ගැටලුවකි.