රාවය

අපි හැමෝම මොනවාහරි සොයන මිනිස්සු- ළහිරු කිතලගම

අපි හැමෝම මොනවාහරි සොයන මිනිස්සු- ළහිරු කිතලගම

කවි බස

දිනී ජයසේකර

නූතන කවියෝ බොහෝමයක් සිව්පද ආකෘතියෙන් මිදිලා. ඔබ දකින විදියට ඒ ඇයි?

කොළඹ යුගය හා සැසඳීමේ දී සිව්පද ආකෘතියෙන් ලියන්නේම නැති තරම් කියල තමා මට හිතෙන්නේ. ඒත් ලියන්නේ නැත්තෙම නැහැ. නූතන කවියන්ගෙ කෘතිවල එක් කවියක් හෝ සිව්පද ආකෘතියෙන් ලියැවිච්ච අවස්ථා බොහොමයක් තිබෙනවා.

මම හිතන්නේ කාව්‍ය ආකෘතිය හැදෙන්නෙ අත්දැකීමේ ස්වභාවය එක්ක කියලා. ජී.බී. සේනානායකයන් කරපු වෙනසින් පස්සේ නිසඳැස් ආකෘතිය බොහෝ සෙයින් සිංහල කවිය තුළ වැඩි වර්ධනය වෙමින් භාවිත වෙනවා. නූතන කවියො බොහෝමයකට තමන්ගේ ප්‍රකාශනය කරන්න ඒක පහසු ආකෘතියක් වෙලා තිබෙනවා. ඒ වගේම දැන් බොහෝ තරුණ කවියන් මුලින්ම කවිය ප්‍රගුණ කරන්නේ නිදහස් ආකෘතියෙන්. සිව්පදය ලියන්න යම් කාව්‍යමය බුහුටි බවකුත් අවැසියි. සිව්පදය බහුලව භාවිත කෙරුණ කොළඹ යුගයට වඩා අද සමාජයත්, කාව්‍ය සඳහා වස්තුවිෂය වන විෂය ප්‍රදේශයත් පුළුල්. ඒ නිසා වර්තමානයේ කවි සඳහා ප්‍රස්තුත වන බොහෝ අත්දැකීම් සිව්පදයට කොටු කරනවට වඩා වෙන ප්‍රකාශන විදියක් ඔස්සේ ලියන්න සොයන බවක් දක්නට ලැබෙනවා.

සිව්පද ආකෘතික කවියෙන් කිව නොහැකි දේ නිසඳැස් ආකෘතික කවියෙන් ඉතා ලෙහෙසිව කිව හැකි ද?

කාව්‍ය ආකෘතිය හැදෙන්නෙම අත්දැකීමේ ස්වභාවය අනුවයි. නිසඳැස් කවිය ඇතුළෙ කවියාට යම් නිදහසක් තිබෙනවා තමාගේ ප්‍රකාශනය නොයෙක් ආකාරයෙන් අත්හදා බලන්න. සිව්පද කවියෙදි එය ටිකක් අපහසුයි. මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා, ගොඩක් නූතනේ ලියන කවියො හිතන් ඉන්නවා, ඔහේ වචන පහළට ලියාගෙන ගිය පමණින් ඒක කවියක් වෙනව කියලා. එහෙම වෙන්නෙත් නෑ. කවියක පද බෙදන තැන ඉඳලා තර්කයක් තියෙන්න ඕන එය ස්ථානගත කරන්නේ කොතනද, කුමන දෘෂ්ටිවාදාත්මක තැනකද කියලා. නිසඳැස් කවි ලියන එක ‘මාර ආතල් වැඩක් නෙ’ වගේ හිතාගෙන පහළට පහළට වාක්‍ය ලියාගෙන ගිය පමණින් එය කවියක් වෙන්නෙත් නැහැ.

අතීත සහ වර්තමානය එක්ක දැන් කවියේ දෝලනය කෙබඳුද?

මම හිතන්නේ ඕනෑම දෙයක් වෙනස්වීම ජීව ලක්‍ෂණයක්. එය සාහිත්‍ය කලාවන්ටත් අදාළයි. සමාජය විකාශනය වන ස්වරූපය අනුව මේ දේවලුත් විකාශනය වෙමින් පවතිනවා. මම හිතන්නේ වර්තමාන කවිය ගැන අපිට සුබවාදීව බැලිය හැකියි. හැම දාම එකතැනම හිර වෙලා තියෙන දෙයකට පැවැත්මක් නැහැ. එය කාලානුරූපව වෙනස්වීම ඇතුළෙයි පැවැත්ම තිබෙන්නේ. නිදසුනක් විදියට කොළඹ යුගයෙන් පසුව කවිය ගැන කතා කළොත් වර්තමානයේ කවියේ ආකෘතිමය ස්වරූපයන්, වස්තුවිෂයන් සහ භාෂාවේ බොහෝ වෙනස්කම් ඇති වී තිබෙනවා. යම් යම් සමාන කම් සහිතව වුණත් විවිධ කාව්‍ය ධාරාවන් බිහිවී තිබිම ඔස්සේ කවිය තවත් විචිත්‍රවත්වී තිබෙනව කියල මට හිතෙනවා.

ඒ වගේම මේ විකාශනය එක්ක කවිය දියාරු තැනකට නොයා පවත්වා ගැනීමේ වගකීමකුත් එනවා. අර රෝහණ පොතුලියැද්ද කවියා මේක ගැන කියන්නේ ‘කවිය හුරතල්’ නොවිය යුතුය කියලා. කවියේ සිදුවෙලා තිබෙන සාධනීය වෙනස්කම් අර කී දේවල් ගැන සවිඥාණික වෙමින් වර්ධනය කළ යුතුයි.

කවීත්වයට සංවර බවක් අවශ්‍යයි කියන අදහස ඔබට විෂය වන්නේ කෙසේද?

මම හිතන්නේ කවියට ප්‍රස්තුත කරගන්නා අත්දැකීම් විෂයන් සඳහා නම් එහෙම සංවරයක් හදාගත යුතු නැහැ. මොකද එතකොට ම පැන නගිනවා ප්‍රශ්නයක් ‘මේ දේවල් ලියන්න හොඳ නෑ මේ දේවල් තමා ලියන්න ඕන’ කියලා. නිර්මාණකාරයෙක්ට එහෙම සීමා මායිම් දා ගන්න බැහැ. ඔහු සමාජ නිරීක්‍ෂකයෙක්. එහිදී බොහෝ දේ සමඟ නිර්මාණ කරුවන් ගැටෙනවා. ඔය සංවර කතාව එන්නේම ‘හොඳ සහ නරක’ කියන එක අතුලේ. කවියෝ එහෙම පටුවෙන්න ඕන නැහැ.

හැබැයි කවිය ලිවීමේ විලාසයන්, ශිල්පක්‍රම ඇතුළෙ සංවරකමක් තියෙන්න ඕන. කවිය තවත් සොඳුරු වෙන්නේ එවිටයි. ඒ කියන්නේ කවිය සාහිත්‍ය ශානරයක් විදියට තව තවත් ඔසවා තබන තැනකට ලියනවා විනා ආයෙ ආපස්සට හැරෙන තැනකට කවි නොලිවිය යුතුයි.

පාඨකයෝ කවිය තුළ රස්තියාදුවෙන් හැඟීම් සොයනවා නේද ? ඒ ඇයි ?

මෙහෙමයි අපි හැමෝම මේ මොහොතේ මොනවදෝ හොයමින් ඉන්නේ. අපිවම හොයමින් ඉන්නේ. කවිය එක්ක එකතුවෙලා ඉන්නේ කවිය ගැන සහ ඉන් ලැබෙන දේ ගැන සවිඥානික පිරිසක්. ඔවුන්ට කවි විදීමේ විවිධ පරමාර්ථ ඇති. රසවින්දනයකට එහා ගිය යම් ඥානමය ප්‍රබෝධයක් ලබා ගැනීම එක් පරමාර්ථයක් වෙන්නත් පුළුවන්. මොකද යමෙක්ට යම් හැඟීමක් එකක් අතරමන් වෙලා සිටීමත්, ඒ ඔස්සේ තමා සෙවීමත් පරමාර්ථය වෙන්න පුළුවන්. යම් හැඟීමක අතරමං වීම සහ ඉන් ලැබෙන දේ ගැන පැහැදිලි කරන්න අමාරුයි. ඒක මට දැනෙන විදියට නොවෙන්න පුළුවන් වෙන කෙනකුට දැනෙන්නේ. මං හිතන්නේ හැඟීම් එක්ක ජීවත් වෙන්න මිනිස්සු කැමතියි. අජිත් තිලකසේන, ඩොමිනික් චන්ද්‍රසාලි වගේ කවියන්ගේ කවි ඇතුළෙ අපිට අපේම හැඟීම් ලෝකවල ‘ටි්‍රප් කරන්න’ පුළුවන් දුර අප්‍රමාණ අනන්තයි.