ජීවිතය පිළිබඳව විපරම් කරන ළමයෙක් මෙහි අපේක්ෂාවයි – ප්‍රවීණ නාට්‍යවේදී චන්දන අලුත්ගේ

එන්. ලංකා මාගම්මන

සෝමලතා සුබසිංහ ළමා හා යොවුන් රංග කලා පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන ළමා හා යොවුන් නාට්‍ය උළෙල අගෝස්තු මාසයේ 9, 10, 11, 12 වැනි දිනවල 3.30 – 6.45 කොළඹ ලයනල් වෙන්ටඞ් රංග ශාලාවේදී පැවැත්වේ. අගෝස්තු 9 – විකෘති, අගෝස්තු 10 – රත්මලී සහ පුංචි අපට දැන් තේරෙයි. අගෝස්තු 11-12- වලස් පවුල යන නාට්‍ය වේදිකා ගතවීමට නියමිතය. පහත පළවනුයේ ඒ පිළිබඳව ළමා නාට්‍ය විෂය පිළිබඳව ප්‍රවීණාචාර්යවරයකු වන ආචාර්ය චන්දන අලුත්ගේ සමග කරන ලද පිළිසඳරකි.

ළමා හා යෞවන නාට්‍ය උළෙල වේදිකා ගතකිරීමේ අරමුණ පැහැදිලි කළ හැකිද?

මෙහිදී ළමයි නාට්‍යගාරයට රැගෙන එන්න මාපියන්ට යම් පිටු බලයක්, අවබෝධයක් ලබාදීමට අපි වැඩි වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යෞවන, යෞවනියන් වේදිකාව වෙත රැගෙන එන්නා ඔවුන්ට වේදිකා නාට්‍ය පිළිබඳ රසය ලබාදීමටත් අප බලාපොරොත්තු වෙනවා. ළමයි නාට්‍යාගාරයට පැමිණීමෙන් නාට්‍යයේ චරිත හා බද්ධ වෙනවා. ඒ හා සංවාද කරනවා. සතුටු වෙනවා. මෙහිදී ළමයි නිකම්ම විනෝද වෙන්නේවත් නිකම්ම හිනාවෙන්නේවත් නැහැ. ළමයි මේ ළමා නාට්‍ය සමග බුද්ධිමය සංවාදයක නියැලෙනවා. ඒ සමගම ඔවුන් විනෝදවීමටත් අමතක කරන්නේ නැහැ. මෙහිදී මාපියන්ද තම ළමයා සමග මේ අත්දැකීමට එකතු වෙනවා. අපේ මූලික පරමාර්ථයක් ලෙස ළමයි මෙම නාට්‍ය හා ලබා ගන්නා දැනුම, අත්දැකීම, ආස්වාදය, වින්දනය මාපියන්ට ඉතා පැහැදිලිව අවබෝධ කරගැනීමට ලැබෙනවා. මෙහි සාර්ථක අසාර්ථකභාවය රැඳී ඇත්තේ මාපියන් මේ කාර්යය ගැන බලන ආකාරය අනුවයි.

වේදිකා ගතවන නාට්‍ය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකිද?

විකෘති නාට්‍ය ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයක්. විකෘති නාට්‍යයේ මූලික කතා තේමාව වන්නේ ලංකාවේ තිබෙන අධ්‍යාපන ප්‍රශ්නයයි. ළමයි විශාල වශයෙන් පාඩම් කරලා විශිෂ්ට සාමාර්ථයක් පමණක් ලබාගැනීම සඳහාම කරන දැඩි වෙහෙස හා මෙම සීමිත ඉඩකඩ ඇතුළේ ඒ සඳහා කරන අසීමිත තරගයේදී අභිමුඛ වන විනාශය අපට නිතරම දැකගන්න ලැබෙනවා. පොත්පත්වලට ඇලී ගැලී සිටීමෙන් පමණක් ළමා මනසට වෙන්න පුළුවන් භයානක තත්ත්වය මෙම නාට්‍ය හරහා සාකච්ඡා කරනවා. මෙම නාට්‍යයේදී ළමයින්ගේ ප්‍රශ්නයකටත් වඩා යෞවන ප්‍රශ්නයක් ලෙස මෙය සමාජය අභිමුවට ගෙන එනු ලබනවා. විකෘති නාට්‍ය ලංකාවේ යෞවන නාට්‍ය සංකල්පයේ ආරම්භයක් ලෙසත් දකින්න පුළුවන් වෙනවා. යෞවනයට වැඩි වැඩියෙන් අදාළ වන ප්‍රශ්නයක් ඔවුන්ට වඩා පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකිවන පරිදි ඉදිරිපත් කරන ලද අවස්ථාවක් වෙනවා. මෙම නාට්‍යයේ ඇති අනිකුත් වැදගත්කම වන්නේ පුරා වසර 36ක් අඛණ්ඩවම ලංකාවේ වේදිකාව මත ප්‍රදර්ශනය කිරීමට හැකිවී තිබීමයි. අනික මෙම විකෘති නාට්‍ය කෘතිය නාට්‍ය හා රංග කලාව සාපෙළ පන්ති සඳහා නිර්දේශිත ග්‍රන්ථයක්. ඒ නිසාම ළමයි මේ නාට්‍ය නැරඹීම ඒ අයගේ අධ්‍යාපනයේ කොටසක් ලෙස වැදගත්කමක් උසුලනවා. විකෘති නාට්‍යයේ අවසානයට පෙන්වන්නේ කොතනද වැරැද්ද තියෙන්නේ කියන එකයි. මාපියන් අතේද, ළමයින් අතේද, පරිපාලකයන්ගේ අතේද, මේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලද කියන එක ගැන තමයි නාට්‍යයේ රචකයා පෙන්වාදීමට උත්සාහ කරන්නේ. හැබැයි මෙහිදී කාටවත් වැරදකරු කරලා ඇඟිල්ලක් දික් කරන්න නාට්‍ය රචකයා කිසිවිටෙකත් ඉදිරිපත් නොවීම විකෘති නාට්‍යයේ ඇති සුවිශේෂීතාවයි. වැරැද්දක් තියෙනවා නමුත් ඒ වැරැද්දට සාමූහිකව මේ සැවොම කොටස්කරුවන් වන බව පෙන්වනු ලබනවා. ඒ නිසාම ඒ වැරැද්ද නිවැරදි කරන්න සැවොම එකට එකතු වී කටයුතු කළයුතු බවත් කාටත් ඒ සඳහා කාර්යයක් ඇති බවත් මෙහිදී පෙන්වා දෙනවා.

ඒ වගේම පුංචි අපට දැන් තේරෙයි නාට්‍යයත් 6 වැනි ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිංහල භාෂාවට හා නාට්‍ය හා රංග කලාව පිළිබඳව නිර්දේශිත ග්‍රන්ථයක් වෙනවා. රන්මලී නාට්‍ය තුළිනුත් පුංචි දරුවන්ගේ ළමා මනසට පහන් සංවේගය රැගෙන එමින් දැනුම, සතුට, විනෝදය නාට්‍ය හරහා රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මේ අනුව බලන විට මෙම නාට්‍ය උළෙල බෙහෙවින්ම ළමයින්ගේ යෞවනයන්ගේ අධ්‍යාපනය හා බද්ධ වූ බුද්ධි ගෝචර විනෝදබර නාට්‍ය උළෙලක් ලෙස සංවිධානය වී තිබෙනවා.

මෙම නාට්‍ය උළෙලේ ද්විතීයික පරමාර්ථ මොනවාද?

ප්‍රශ්නයත් ඇතිවූ විටක ඉතා කල්පනාකාරීව හැසිරමින් ප්‍රශ්නය දෙස විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ විපරමින් පිළිතුරු සොයන ළමයෙක් අපට මේ නාට්‍ය හරහා යම්තාක් දුරට නිර්මාණය කරගැනීමට හැකිවෙනවා. එවැනි අවබෝධයකින් යුත් ළමා පරපුරක් ඇති රටක අනාගතය සුබදායකයි. මාපියන්ගේ පවතින යම් යම් අඩුපාඩු පවා මේ නාට්‍ය හරහා ඉතා සියුම් ලෙස කාවවත් රිදවන්නේ නැතිව පෙන්වාදීමට හැකිවී තිබෙනවා. උපහාසය, සමච්චලය, ක්‍රෝධය ඉරිසියාව, උපහාසය, මෙම නාට්‍යය හරහා ඉස්මතු නොවීමද වැදගත්. අප නාට්‍ය නිර්මාණය කරද්දී සංගීතය චලනය, නැටුම් ප්‍රභේද, ශබ්ද සාධනය වැනි බොහෝ දේ උපයෝගී කරගන්නවා. මොකද අප නාට්‍යයෙන් ළමයාට දෙන්න බලාපොරොත්තු වන්නේ මේ මූලික කලා ශිල්ප පිළිබඳ අවබෝධයක්. නාට්‍ය නැරඹීමෙන් ළමයා රසයක් අත්විඳිනවා වගේම අනුෂාංගික අංග කෙරෙහි සංවේදී වෙනවා. පවුල් සංස්ථාව ගැන ලෝකාවබෝධය ලබනවා. ප්‍රශ්නයක් ඇතිවූ විට හිංසනයකින් තොරව ඒවා සමතයකට පත්කර ගැනීම ගැනත් හැදෑරීමක් ළමයාට නාට්‍ය අනුසාරයෙන් ලැබෙනවා. උදාහරණයක් ලෙස රත්මලී නාට්‍යය තුළින් වෛරය, කෝපය ළමයාගේ සිතින් ඈත් කර ළමයාට කරුණාව සමගින් වරදට සමාව දෙන තත්ත්වයකට පත් කරන්න ළමා මනස හැඩස්වනවා. ළමා මනසට ගෝචර වන ආකාරයට මෙම නාට්‍යවල යම් යම් වෙනස්කම් ඉංග්‍රීසි පිටපතට සාපේක්ෂව සිදුකර තිබෙනවා. අප මෙතනදී කිසිවිටෙකත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ළමයාට හොඳට ඉන්න ඕනේ කියන පණිවුඩය දෙන්න. ළමයා සමග නිරන්තර සංවාදයක් කරමින් ප්‍රශ්නයක් විසඳා ගැනීමේ වැදගත්කම, අවබෝධය, ළමා මනසට ලබාදෙන ගමන් නාට්‍ය අවසානයකට රැගෙන යනවා.

ලෝකයේ බොහෝ රටවල ළමා නාට්‍යය විෂය, විද්‍යානුකූලව හැදෑරීමේ වටපිටාවක් තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අත්දැකීම් කවරාකාරද?

ළමා නාට්‍ය, විෂයයක් ලෙස ලෝකයේ බොහෝ දියුණු මට්ටමකයි පවතින්නේ. ළමයින්ට වෙනමම නාට්‍යාගාර, ළමයින්ගේ නාට්‍යවල රඟපාන නළු නිළියන්. ඒවායේ අධ්‍යක්ෂවරු වෙනමම වෘත්තීය මට්ටමින් සිටීම දැකිය හැකිවෙනවා. විශේෂයෙන්ම රුසියාව බෙදීමට පෙර පැවති සෝවියට් සමූහ ආණ්ඩුවට අයත් රටවල, නැගෙනහිර සමාජවාදී රටවල. නැගෙනහිර යුරෝපීය රටවල් ළමයින් වෙනුවෙන් ළමා නාට්‍ය විෂය විද්‍යානුකූල මට්ටමකින් පවත්වාගෙන යනු ලැබුවා. ඒ රටවල ළමයි වෙනුවෙන් හොඳම දේ දෙන්න ඒ රටවල් කැපවී සිටීම ඉතා වැදගත් දෙයක්. ඒ රටවල ඒ නිසාම ළමා නාට්‍ය කලාව හරිම ඉහළ තත්ත්වයකයි තියෙන්නේ. මාපියන් ඇවිත් තම ළමයාව එවැනි ළමා නාට්‍යාගාරයකට දමා යනවා. ළමයා දවස මුළුල්ලේම ඒ නාට්‍යාගාරයේ, නාට්‍ය පාසලේ විවිධ ක්‍රියාකාරකම්වලින් අත්දැකීම් ලබා ගන්නවා. එම අධ්‍යාපනය ලබන ළමයි අනාගතයේදී සමාජයේ තීරණ ගනු ලබන ස්ථානවල ඉදිරියෙන්ම ඉන්නවා. ඒ ළමයා සාහිත්‍යය, සංගීතය, රංගනය, නර්තනය සමන්විත රසයෙන් පෝෂණය ලැබූ පුරවැසියන් බවට පත්වෙනවා. කලා විෂයයන් කෙරෙහි කුඩා කාලයේ සිටම ඇති නැඹුරුව හේතුවෙන් ඒ ළමයින්ගේ පරිකල්පනය වැඩිවෙලා ඔවුන්ගේ නිර්මාණශීලීභාවය වැඩිවෙන බව ඒ රටවල කර ඇති විවිධ විද්‍යානුකූල පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා. අයින්ස්ටයින් නම් මහා විද්‍යාඥයා පවසන්නේ “දැනුම නොව වැදගත් වන්නේ පරිකල්පනය බවයි” සාපේක්ෂතාවාදය න්‍යාය සම්පූර්ණයෙන්ම ඔහු සොයා ගනු ලබන්නේ පරිකල්පන හැකියාව මතින් බවයි අදහස් වෙන්නේ.

සෝවියට් දේශයේදී මෙවැනි අත්දැකීම් ලබාගැනීමට මටත් කාලයකට පෙරදී වාසනාව ලැබුණා. ඒ අත්දැකීම් ඉතා මැනවින් අපේ රටේ ළමයින්ටත් ලබාදෙන්න සෝමලතා සුබසිංහ මහත්මිය නිසා මටත් අවස්ථාව සැලසුණා. ඒ අත්දැකීම් කාලය අනුව වෙනස් කරමින් නව අත්දැකීම් එකතු කර ගනිමින් තමයි මේ නාට්‍යය උළෙල මෙවර අප සංවිධානය කරනු ලබන්නේ.

ළමා නාට්‍ය කිරීමෙහි ප්‍රායෝගික පැත්ත ගැන කතා කරමුද?

මා විශ්වවිද්‍යාලයේ රැකියාවක් කරන නිසා මේ තරමින් හරි නාට්‍ය කලාවේ රැඳී ඉන්නවා. මටත් නාට්‍ය කලාවෙන් ජීවත් වෙන්න වුණා නම් මෙලහකටත් මමත් මේ නාට්‍ය කලාව අත්හැරලා. හොඳ වේදිකා නළුවන් අප පුරුදු කරනවා. එහෙත් අවාසනාවකට ජීවත් වීම සඳහා ඔවුන්ටත් සිදුවෙනවා වෙන වෙන රැකියාවලට යන්න. ළමා නාට්‍ය කියන එකේ ඒ අයට රැඳිලා ඉන්න අමාරුයි. ළමා නාට්‍යවල රඟපෑමේදී දක්ෂම නළුවෙක් වුණාට වගකීම් විරහිත සැහැල්ලුවකින් රඟපාන්න බැහැ. අපේ ළමා නාට්‍යවල ඇති අභිරූපණ අංග හරිම නිශ්චිත ආකාරයෙන්ම සිදුවීම අත්‍යවශ්‍ය වෙනවා. මන්ද ළමයා අභිරූපණය පිළිබඳ හොඳටම උනන්දු කෙනෙක්. ඒ නිසාම නළුවකුගෙන් පොඩි හෝ අත්වැරදීමක් වුණොත් ළමයා එය ප්‍රතික්ෂේප කරන්න බලනවා. ළමා නාට්‍යවල රඟපාන නළුවන්ගේ චරිතවල නිමාව හරියාකාරයෙන්ම තිබිය යුතු වෙනවා. මොකද ළමයා මෙය නැරඹීමෙන් පසු ඔහුද හොඳ නිමාවකින් යුතුව වැඩ කරන්න පෙළඹෙන නිසා. ළමා නාට්‍ය හරහා බොහොම විනෝදයෙන්, හිනාවෙවී ළමයා ආස කරන දේ බල බල තමයි ළමයා අධ්‍යාපනය ලබන්නේ. මේ නිසාම ළමයා පන්තියේ ගුරුතුමිය කියනවාට වඩා දේවල් ළමා නාට්‍ය නරඹා ඉගෙන ගන්නවා.

අධ්‍යාපන තරගයෙන් පරාජය වන දරුවන් දෙසට පරාවර්තනය වන අධ්‍යාපන ලෝකයක් අපට අවශ්‍යයි නේද?

ඇත්තටම තරගයෙන් හැලෙන ළමයින්ට මොකද වෙන්නේ? ඒ ළමයින්ගේ පෞරුෂය එහෙම පිටින්ම කඩා වැටෙනවා. මේ අතර සෙමින් වර්ධනය වන ළමයි ඉන්නවා. ඒ ළමයින්ට මේ තරගය සමග දුවන්න බැහැ. එහෙම දරුවන් පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුවරුන්ට හරි ප්‍රශ්නයක්. එක එක ළමයාට ගැළපෙන වේගය ඒ ගොල්ලන්ගේ ඇඟ ඇතුළේ තියෙන්නේ. ඒක පාසලේ ගුරුවරු අවබෝධ කර ගතයුතු වෙනවා. එහෙම නොවුණොත් ඒ දරුවන්ගේ පෞරුෂය කඩා වැටීමෙන් ලොකු අපරාධයක් සිදුවෙනවා. අප ළමා නාට්‍යවලින් උත්සාහ කරනවා විවිධ හේතු නිසා බිඳ වැටී තිබෙන ළමා පෞරුෂ නැවත ගොඩනංවන්න. ළමා නාට්‍යවල පරාද වෙන කවුරුවත් නැහැ. දැනට තියෙන පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ බලධාරීන් නිසි පියවරක් නොගතහොත් ඉදිරි පරම්පරාවේ ඉරණම විශාල ගැටලුකාරී තත්ත්වයකට බඳුන්වීම වැළැක්විය නොහැකි වෙනවා. කුඩා කාලයේදී ළමයාට අප ලබාදිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ඉදිරියට ගෙනයෑම පිළිබඳ නිසි අවබෝධයයි. එහෙම නැතිව දාර්ශනික මතවාද හෝ ගණිත ගැටලු නොවේ. ජපානයේ කුඩා පන්තිවලට විභාග නැහැ. එහෙත් ජපන් දරුවෝ ජපන් ජනතාව ලෝකයේ මොනතරම් දියුණු ශිෂ්ටසම්පන්න ජාතියක්ද?

මෙම නාට්‍ය උළෙල සාර්ථක කරගැනීම පිටුපස ඇති අභියෝග මොනවාද?

ළමා කියන එක ඉතා බාල, පහළ තත්ත්වයක තමයි අපේ රටේ දාලා තියෙන්නේ. සමහර රූපවාහිනී නාලිකාවල ළමා වැඩසටහන්වලින් ළමයාගේ මානසික වර්ධනයට ශාරීරික ක්‍රියාකාරකම්වලට මොනතරම් පිටුබලයක් ලැබෙනවාද යන්න සැකසහිතයි. ළමා නාට්‍ය පෙන්වන්න ගිහින් අපට ළමයින්ගෙන් වැඩිපුර මුදල් ලබාගන්න බැහැ. එය සදාචාරාත්මකනැහැ. හැබැයි ළමා නාට්‍යය පෙන්වනවා කියලා රංගන ශාලා අපට සහන මුදලට ලබාදෙන්නෙත් නැහැ. රජයට අයිති රංගන ශාලාවලත් සහනයක් දෙන ක්‍රමවේදයක් නැහැ. අපට යන වියදමයි ආදායමයි අතර නොගැළපීම මත අප හිරවෙනවා. මේ හිරවීමට සහනයක් ලබාගන්න කිසිම වැඩපිළිවෙළක් මෙතෙක් සකසා නැහැ. ළමා නාට්‍යයවලට අනුග්‍රාහකයෙක්වත් සොයා ගන්න පුළුවන්කමකුත් ලංකාව වගේ රටක නැහැ. අනුග්‍රාහකයන් මොනවාට හරි සල්ලි දාන්නේ ඔවුන්ට ලැබෙන ප්‍රමාණය වැඩිනම් විතරයි. හැබැයි ළමා නාට්‍යයක් කිරලා, මැනලා පෙන්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ළමා නාට්‍යයකට අනුග්‍රහයක් දක්වනවා කියන්නේ ඒක දිගුකාලීන ආයෝජනයක් කියලයි මං හිතන්නේ. අනිත් විශාලතම අභියෝගය වන්නේ දශක කීපයක සිට අපේ රටේ ජනතාවට කලාව හා නාට්‍ය රස දැනෙන්නේ නැතිවීම. ඒ නොදැනුවත් අය දැනුවත් කරන්න විශේෂ ආයාසයක් දරන්න වෙනවා. මේ සමාජය දශක ගණනාවක සිට සරල වින්දනයට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මාපියන් ඒ තත්ත්වයෙන් ඉන්න කොට ළමයින්ගේ මට්ටම හදන්න වෙන්නේ කොහොමද කියන උභතෝකෝටිකයත් අද අප හමුවේ තියෙනවා.