දෙවියෝ සහ දරුවෝ

ශාන්ති දිසානායක

වද මල් අහුරේ ලේ රත් පැහැය වුව පුද පූජාවක වගක් විත්තියක් කියා පායි. පණනල සිඳී යන තෙක් කතා කරන්නට කට නොඅරින්නට දිවුරා පොරොන්දු වූවා වාගේ ඒ කුඩා මැහැල්ල දෙතොල තරයේ වසාගෙන කලමනා ලක ලෑස්ති කරන්නීය. මල් ජාති හතක්…පහන් හතක්……හඳුන්කූරු හතක්……තෙල් ජාති හතක්…..කෙල්ල ඒ එකක් නෑර මතක තියාගන්නට වාගේ විමසිලිමත් බැල්මක් හෙළයි. තවම කිළි කුණු නැති මී මිණිබිරිය පස්සෙන් වැටුණාට මුත්තම්මාට වගක් නැත. එහෙත් බැරි වෙලාවත් ළමිස්සියකගේ හෙවණැල්ලක් හෝ වැටෙන්නට බැරිය.

“කිළි…..කිළි….පලයව් පලයව් අන්නහට්ට…..එන්නෑ මේ පැත්ත පළාතේ…..යී උන්දෑ කෑ කොස්සන් ගහන්නේ ළමිස්සියක නොව මළ පෙරේතියක කඩාපාත් වුණු ගානටය. ඒ නාකි ගෑනිගේ තිස්තුන් කෝටියක් දෙවි දේවතා ගොල්ල ගැහැනු දරුවකු තුළ සිදු වන ඒ ස්වාභාවික සංසිද්ධියට ඕයිහැටි බිය වන්නේ මන්දැයි කුකුසක් පහළ කරගන්නට කෙල්ලට ඉඩක් නොලැබුණේ ඔසප් වීමක් පිළිබඳ මෙලෝ මළදානයක් නොදැන උන් නිසාය. දැන උන්නා නම් ගර්භාෂ බිත්ති කඩා හැලීමෙන් පිට වන රුධිරයට බය බීත වන දෙවි දේවතා ගොල්ලගේ අනුහස හා ඔදතෙද කවරේදැයි ප්‍රශ්න කරනවාට සැක නැත. එසේ වී නම් කිපෙන මැහැල්ලගේ අසෝබන අතැඟිලි භයානක අවියක්ව ඇගේ හිස මුදුන ගෙඩි ගැහෙනවාට සිකුරුය.

කිළි ඇත්තියෝ පිළිකුල් කරන මුත්තම්මාගේ දෙවි දේවතාවුන් මාසිකව සිදු වන ඒ සොඳුරු හිරිහැරයට පින්සිදුවන්නට ලෝකයේ පැවැත්ම පමණක් නොව තමුන්ගේ පැවැත්මද සුරක්ෂිත වන බව අමතක කර නොදමන්නෝද? තමුන්ට පින් පෙත් පමුණුවන්නට මිනිස් වග බිහි වන්නේම එකී ක්‍රියාදාමය හේතුකොට ගෙන බව වටහා නොගන්නා දෙවියෝ මොන තරම් ඔලමොට්ටල දැයි හිතන්නට තරම් කෙල්ල මෝරා නොසිටියාය.

“අදත් යනවද……?” යි කිරි අම්මා අසන්නේ අමනාපයෙනි. හැම හැන්දෑවකම දේවාලයට ගාටන මැහැල්ල නුදුටු විලාසයෙන් පසු වූ ඇය මේ ප්‍රශ්න කරන්නේ ඉවසිය නුහුණු තැන විය යුතුය.

කට ඇර උත්තරයක් දෙනවා වෙනුවට මුත්තම්මා හිස සැලුවාය. මනුස්ස හුස්ම පොදින් මේ පූජා වස්තූන් කිළිටි වේ යැයි බියෙනි.

“කවද්ද ඕක ඉවර වෙන්නේ….? දැං කී දවසක් නම් ගියාද?”

දියණියගේ අප්‍රසාදය මායිම් නොකරන මැහැල්ල මල් වට්ටිය මිණිබිරිය වෙත දිගු කරයි. කඩුල්ල පනින්නට මාන බලන කෙල්ලකට ඒ නම් තොරණ් බැඳ උඩට උඩු වියන් හා පයට පාවඩ එළා කළ ආරාධනාවක් සදිසිය. ඇගේ ඇස් ගෙඩි දැල්වෙන්නේ පත්තු කළ හැටියේම පහන් දෙකක් වගේය.

“කොල්ලා එක්කන් ගියා නම්නේ හොඳ…. රෑට රෑ වෙලා එනේනේ ඕකි නිදි කිරා වැටෙන්ඩ බැරි නෑ…”

අමනාපය තැවරු වචන වලට මැහැල්ල මෙල්ල කළ නොහැකි බව පසක් කරගත් තරුණ ගැහැනිය බඩ පිස්සාගේ කැහැටු පංචස්කන්ධය සොයා වටපිට බැලුවාය. එහෙත් ගස් ගඳින්ද ගෙරි ගඳින්ද කිළිටි වූ කොල්ලා කැටුව යන්නට මුත්තම්මා කැමැත්තක් නොදක්වන බව කෙල්ල දැන සිටියාය. මහ ඇලට පැන දිය නෑමෙන් පසු ළමිස්සියන්ට හොරා තවරාගත් පියරු ඇබින්දෙන් සෝබමානව සුවඳ ගහන ත මාව විනා අන් කිසිවෙක් මේ ගරු කටයුතු ගමනට සුදුසු නොවන බවද ඇය හිතන්නේ මොණරියකගේ උඩඟුකමිනි. උදා හිරුට පුද පූජාවක් පවත්වන්නා වාගේ වෙළ මැද්දේ පිල්කළඹ විදහාගෙන රඟන්නේ මොණරා බව කිරි අම්මා කියා තිබුණද අදහා ගන්නට බැරි තරමේ රූප සම්පත්තියක් හිමි ඒ කුරුල්ලා මොණරියක බව සිතන්නට කෙල්ල කැමතීය.

තමාගේ නොමනාපය හෝ උපදේශය තුට්ටුවකට නොසලකා කඩුල්ල පනින හිතුවක්කාර අම්මාත් කමකට නැති මිණිබිරියත් දෙස බලා ඉන්නා ගැහැනිය හිස් ගෙඩිය කෙතරම් තදින් ගැස්සුවේදැයි කිවහොත් කොණ්ඩා ගුලිය ලිහී පිට දිගේ වැක්කෙරුණේය.

“හත් දවසක් බැරි නම් හත් අවුරුද්දක් හරි දෙයියෝ යැද්දත් මට මොකද? මේ අපල අන වින ආඩ තෝඩ සේරම අකා මකා ගිහිල්ලා අපිට කිරියෙන් පැණියෙන් උතුරයි. ලොකු එකාගේ මරුමුස් ගතියත් නැතිවෙලා මී පැටියෙක් ගුලට රිංගන්නා වාගේ ගෙට රිංගයි.”

ඇය මොහොතකට මිනිස් වේශය හැරපියා කැට පෝලයක් වූ ගානය. වචන වෙනුවට ගල් කැට අහුරක් වේගයෙන් ඇදී අවුත් මැහැල්ලත් කෙල්ලත් රිදවූවා වගේය. එහෙත් එවන් ගල් බොරළු නොව නාලාගිරි හස්ති රාජයා මඟ අහුරාගෙන හිටියත් මුත්තම්මා පස්සට අඩියක් නොතබන බව ඒකාන්තය.

පළමු බාධකය ඒ අයුරින් නිහඬව ජය ගත්තද මඟතොට යන එන උදවියගේ හිරිහැරයෙන් ගැලවීම පහසු නොවීය.

“මුත්තම්මායි මී මිණිබිරියයි කොහෙද අප්පේ මේ ගොම්මනේ?”යි කොන්දා උන්දා ඇහුවේ කටපුරා හිනාවකුත් එක්කය. මේ නැඩ පුරුසයාට කොන්දා උන්දා කියන්නේ මක් නිසාදැයි කෙල්ල හැමදාමත් කුකුසින් කල්පනා කළාය.

“එවුන්දැගේ කොන්දේ වී මුට්ටියක් වනා තියන්ඩ බැරියැයි. ඒක කොන්දක් නෙමේ එහෙම්පිටින්ම මාගලක්….”යි කිරි අම්මා කීවේ කෙල්ල තොර තෝංචියක් නැතිව ප්‍රශ්ණ කරන කළය. ගංතොටේ ඇත්තෝ යමකුගේ දේහ ලක්ෂණ පිළිබඳව මොන තරම් සැලකිල්ලක් දක්වන්නේ දැයි කෙල්ල හිස සැලුවාය.

මුට්ටියක වී අතුරා වේලා ගත හැකි තරම් පත කොන්දකුත් එක්ක කොන්දා උන්දෑ පෑ සිනාව අපතේ ගියේය. කතාව සේම සිනාවද අහිමි වූයෙන් මුත්තම්මා මඳකට නවතින්නට අදහස් නොකළාය. දෑතින් ඔසවා ගත් කලමනා එක්ක ඒ නිශ්ශබ්දතාව තේරුම් බේරුම් කරගන්නට තරම් ණුවණක් තිබූ හෙයින් ඔහු අමනාප නොවීය.

“හොඳා හොඳා යන කාරණාව කිරි ගහට ඇන්නා වගේ හරියන්ඩෝනෑ….” යි ආශීර්වාද කළා මිසක කොන්දා උන්දා අහිතක් හිතුවේම නැත.

අඩි පාරට වන් විගස ලෝලු දළු කඩ කඩා උන් සිලි බිලියාගෙන් ගැලවීම ඒ සා පහසු නොවීය.

“නම නං සිළිඳි තමා. ඒ වුණාට අප්පේ ඕකී කටකමසෙයියාවක් නැතුව බෙලි කටු මල්ල හොල්ලන්නා සේ කියවගෙන කියවගෙන යද්දි සිලිබිලියා නොකියා සිළිඳි කියන්නේ කොහොමද….?

ඒ අපූරු අන්වර්ත නාමයෙන් පිනාගිය කෙල්ලට ගහ පහදන්නට කිරි අම්මාට ඉසිඹුවක් ලැබෙන්නේ පුර හඳ එළියේ පැදුරු වට්ටි වියන අතරතුරය.

“සිලිබිලියා……. සිලිබිලියා…… සිලිබිලියා…. සිලිබිලියා…..” යි හඩ ගාමින් මිදුල පුරා දුව පනින මිණිබිරිය දෙස ඇහැක් ඇර බලන්නට උන්දෑට තුන්හිරියා පන් මිටිය ඉඩ නොදෙයි.
දැන් ඉතිං මේ අඩ අඳුරේ ලෝලු දළු අහුරකුත් එක්ක එහෙව් සිලිබිලියා පෙනී සිටින කල කෙල්ල මඳක් තැති ගත්තාය. ලෝලු ගස එක්කද මොන මොනවදෝ හයියෙන් හයියෙන් කියව කියවා හිටි ඇය මැහැල්ලත් කෙල්ලත් වෙත හැරුණේ හුණුසල් කැඳකින් සැනසෙන්නට හිත හදාගත් කළ හුණුබත් පතක් ලද්දියක පරිද්දෙනි.

“අප්පච්චියේ මේ රාස්සි කුඩම්මනේ. මං ඒත් බැලුවා කව්ද කියලා….”

නැදැකමක්ද ඇත්තෙත් සිලිබිලියා රාස්සගලින් ආ ඇත්තියට කියන්නේ රාස්සි කුඩම්මා කියාය.

“මේ ඇඹිටිල්ලන් එකී මොකීද….?”

ඊළඟට කෙල්ලගේ කෝටු බෝටු පංචස්කන්දය පුරා දිව ගිය ඇගේ ඇස් ගෙඩි අරා කවර හෝ දයාන්විත බවක් නොවීය.

“ඈ කෙල්ලේ උඹ මොකද ඔය මට ඔරවන්නේ…? අයින්ඩ හිතෙනවා දත් වහල්ල ගැලවිලා බඩට යන්ඩ….”

මේ මොන ගිනි විජ්ජුම්බරයක්දැයි කෙල්ල බයබීතව ගියාය.

“නැ රාස්සි කුඩම්මේ….ළමයි බමයි වුණත් දැනගන්ඩෝනා නේද ටිකක් බය පස්සපාතකමට දෙකට නැමිලා ඉන්ඩ….ඔලුව උස්සලා බලාගෙන ඉන්නවනේ කිසි බයක් හැකක් නැතුව….දැං තියා මුං මෙහෙම නම් තව ඩිංගක් කරදඬු උස්මහත් වෙනකොට කොහොමට හිටීද….අපිට පාරේ බැහැලා යන්ඩ හම්බු වෙන්නෑ….කොණ්ඬේ එලාගෙන කොන්ද නමාගෙන ඉන්ඩ වෙයි මුංට පයින් පාග පාග යන්ඩ……නොදෝකිං….”

සිලිබිලියා කාරා කෙළ පිඬක්ද බිම හෙළුවාය. කිසි කාලේකින් වෙහෙසට පත් නොවන ඒ මුඛරි කට දිහා කෙල්ල ඇස් අයා බලා උන්නා මිස බිඳකුඳු නොසෙල්ලුණාය. එහෙත් මේ චාරයක් නැති කතා බතා නොඉවසූ මැහැල්ල යළි ගමන් ඇරඹු හෙයින් ඇයට තව දුරටත් ගල් ගැසී ඉන්නට ඉඩක් නොලැබිණි.

“බලාපල්ලා….”

සිලිබිලියා කෑගෑවේ මැලැල්ලත් කෙල්ලත් එක්ව තමාගේ කට සපා කෑ කලෙක පරිද්දෙනි.

“ආයේ මං නරකක් කිව්වැයි….එහොම ගස්සගෙන පුප්පගෙන යන්ඩ මං මොනවදැ කිව්වේ….? ඈ රාස්සි කුඩම්මේ උඹට වටිනවද එක වචනයක් කටින් පිට නොකර මට පළිගහන්නා වාගේ ඔහොම දමලා ගහලා යන්ඩ….මං දැනමුතුකමක් නේද කියෙව්වේ…..තරහට වයිරෙකටද…..?කොල්ලෙක් වන්නා අමු නිරිවස්තරෙන් පාරේ ගියත් මොකද….කෙල්ලෙක් එහෙමද…ඇබිත්තං එකී කාලේ හිටම ඉස්ගෙඩිය නමාගෙන කරබාගෙන ඉන්ඩෝනෑ නේද…බය පස්සපාත කමට…බයාදු කමට…එතකොට නේද ඉස්තිරි රත්නයක් වෙන්නේ….ඔය දොඩං ගෙඩි දෙකක් විතර හිටියට ඕකිගේ ලොකුකොම හරියට….අප්පට සල්ලි බාගේ තියනවා කියලා ඕකිගේ ඉස්ගෙඩිය ඉදිමිලා….උඹ බලපං රාස්සි කුඩම්මේ මං අද කිව්වා කියලා ඕකි…..ඔය ඇඹිටිල්ලං එකී කඩුලු හතම පයින්නැද්ද කියලා දවසක…..වන්නං දහඅටම නටන්නැද්ද ඕකි…..හොර බැළලි වගේ හිටියට ඕකි දිවිදෙනක්……ගම විතරක් නෙවෙයි දවසක ඕකි රටත් ගිනි තියන්නැද්ද කියලා බලපං රාස්සි කුඩම්මේ….උඹ නං එච්චර කල් මෙළොව හුස්ම ගන්නේ නෑ තමා.මැරිලා මල පෙරේතියක් වෙලා හරි බලන්ඩ බැරියැ මී මිණිබිරියගේ සවුදම….”

සිලිබිලියාගේ සිලි සිලිය පස්සෙන් පන්නාගෙන ආවත් මුත්තම්මා හැරී බලන්නට හෝ ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට නොසිතුවාය. ඒ පරංගනාව සමඟ වල්ලි ඇල්ලීම මතුවට කල් දැමූ උන්දැ අපමණ භක්තියෙන් දේවාලයට වැදුණාය. තක්කු මුක්කු වී සිටි කෙල්ල උන්දෑගේ හෙවණැල්ල වූවා මිස සිලිබිලියාගේ ගල් බොරළු කැට මත්තේ නොඑල්ලුණාය. එහෙත් දෙවියන් පුදන්නට යන්නන් ඒ කිසි අංගපුලාවක් නැති සිලිබිලියාගේ නපුරු දිවෙන් ගලවා ගන්නට දෙවියෝ උත්සුක නොවූයේ මන්දැයි නොසිතා ඉන්නට ඇය අපොහොසත් වූවාය. එක්කෝ සිලි බිලියාගේ දිව උගුල්ලන්ට එහෙමත් නැත්තං ඒ සරීර කූඩුව එහෙම පිටින්ම උස්සා පොළොවේ පත බාන්නට මේ මහා බලපරාක්‍රමයෙන් අනූන දෙවි දේවතාගොල්ල ක්‍රියා නොකිරීම ගැන කෙල්ලට හිතට අමාරුය. ඒ හින්දම ඇගේ දෑතින් ගිලිහී ගිය මල් වට්ටිය දේවාලයේ දොරකඩ හැඩ කළේය.

“දෙයි හාමුදුරුවනේ…..”

මෙතෙක් වේලා පරිස්සම් කරගත් කට ඇරිණ. හැත්තෑ වසරක හදවත කම්පිතව නැගූ හඬ ඒ වියළි දෙතොල අතරින් පිටව කපුවා කළඹාලීය.

“අතෑරියා නේද මල් වට්ටිය…මේකී…. මේකී මැරූ කොට හිත් වදීද…”

රාස්සගල ඇත්තී රාස්සියක නොව රාස්සියන්ද මරා කන පරාස්යක වාගේ කඩා පැන්නෙන් කෙල්ල මල් වට්ටිය මත ඇද වැටුණාය.ඇගේ හිස් මුදුණ සොයා යාමේ නොතිත් අශාවෙන් දැවෙන අතැඟිලි හේතුකොටගෙන ඒ පරාස්සිය ද ඒ කෝටු බෝටු පංචස්කන්දය මත නැඟුණාය. කෙල්ල මැහැල්ලගෙන් ගලවා ගන්නට දෙවියන් හා නරයන් යා කරන ඒ දණ්ඩක් වූ කපුවාද හැත්තෑ වසරක් ඉපැරණි සරීර කුඩූව මතම පතබෑවුණේය. ඒ මිනිස් පොදියට එක්කාසු නොවුණේ තිරයකින් වට කෙරූ දෙවියා පමණි. එක ගොඬේ දඟලන නලියන නර අහුර වෙන කරන්නට තරම් බල මහිමයක් නොවූයෙන් දෙවියා ඔහේ බලා සිටියේ සියලු ඔද තෙද හුදු පුරාජේරුවක් පමණකැයි නොකියා කියමිනි.

දේවාල දොරකඩ ඒ අලකලංචිය යළි සිහිපත් කර දෙන්නේ මෙළෝ සිහියක් නැතුව දේවාල සහ ආගමික සිද්ධස්ථාන වෙත ඇදෙන මව්පිය ගුරුවරු හා සිසු දරු දැරියන්ය.
ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය හේතුකොට ගෙන දෙවියන්ට කෙසේ වෙතත් දේව නියෝජිතයන්ට කල්ල මරේය. විභාගයක් අල්ල පනල්ලේ පන්සලට පල්ලියට යාමේ වරදක් නැතත් විභාගයෙන් සමත් කර දෙන්නැයි බුදුන්ගෙන් හා දෙවියන්ගෙන් ඉල්ලා සිටීමේ අමන තකතීරුකම හෙළා දැකිය යුතුමය. අධ්‍යාපනය මිථ්‍යාව සමඟ පටලවා ගන්නට නොමසුරුව දායක වූ බුද්ධික පතිරණ වැනි මහජන නියෝජිතයන් මේ විලම්භීතයට වගකිවයුතු නැද්ද? ජීවම් කළ පෑන් පිළිබඳව මහා බොරුව දැන දැනම මිථ්‍යාවට ආවැඩීම මහජන නියෝජිතයෙක් බවට පත් වන්නට කතිරය ගැසූ ඡන්දදායකයන්ට පවා සිදු කරන අවමානයක් නොවේද? කෙසේ හෝ වේවා පාසල හා ටියුෂන් ආයතන මඟින්ම භාරහාර වීමට හා බෝධී පූජා පැවැත්වීමට කටයුතු යොදා තිබීම අධ්‍යාපනයේ අරමුණ සමඟ කොතෙක් දුරට ගැටෙන්නේ දැයි කල්පනා කර බැලිය යුතු නැද්ද?

පාසල තුළ වසර ගණනාවක් විiා විෂය හදාරණ දරුවා විභාගය ආසන්නයේ දෙවියන් සොයා යාමට පොළඹවන, බලහත්කාරයෙන් හෝ ඇදගෙන යන වැඩිහිටියන් මුළු මහත් රටකට රටේ අනාගතයට සිදු කරන හානිය කොතෙක්ද….

දෙවියන්ගේ බලමහිමය සැබෑ නම් භාරහාරවන සියලු විභාග අපේක්ෂකයන් සමත් විය යුතුය. එහෙත් ලක්ෂ ගණනින් පෙනී සිටිය ද විභාග වලින් සමත් වන්නේ සුළු පිරිසකි. ඊටද දෙවියන්ගේ නාමයෙන් බඩ ගෝස්තරය සොයා ගන්නා උදවියට උත්තර තිබේ. වතාවත් නිසි පරිදි නොකළ වග, කිල්ලට හසු වූ වග මස් මාංශයෙන් තොර නොවීම වැනි නිදහසට කරුණු ඕනෑතරම් නැත්තේද?….? විභාගය ආසන්න වත්ම මස් මාළු කිරි බිත්තර හාල් මැස්සන් කරවල වැනි පෝෂදායක ආහාර දරුවන්ට තහනම් කරන මාපියන් සීඝ්‍රයෙන් වර්ධනය වන නව යොවුන් සිරුරක ප්‍රෝටීන් හා යකඩ, කැල්සියම් අවශ්‍යතාව පිළිබඳ බිඳකුඳු නොසිතයි. එහි ප්‍රතිඵලය දරුවා නිදිබර හා අලස ඔතෑනී බවින් පීඩා විඳීම පමණක් නොවේ. කය දුර්වල වන අතර මනස ද දුර්වලව රෝගී වන බව ඇතැම් විට මේ විභාග භිතීකාව හා ආතතිය දරා ගත නොහැකි තැන සිය දිවි නසා ගන්නට පවා පෙළඹෙන බව දක්නට ලැබේ. අධ්‍යාපනයේ අවසාන අරමුණ හා ඵලය උන්මත්තක සිසුවාද? නිසල අජීවි ශරීරයද? අධ්‍යාපන අමාත්‍යංශය මේ දේව භක්තිය නොදුටු විලාසයෙන් පසුවිය යුතුද? බුද්ධිය ඥානය හා ආලෝකය වඩවා ගත යුතු අධ්‍යාපනයද දෙවියන්ගේ නාමයෙන් සුඛ විහරණ සලසා ගන්නා තක්කඩි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු වීම ඉවසන රටකට අනාගතයක් ඇත්ද?

ආත්ම ශක්තියෙන් යුතුව ජීවිතයේ අභියෝග ජය ගන්නට සිසු දරුවා හුරු කරනවා වෙනුවට මල් පහන් උස්සාගෙන දේවාලයට පන්සලට පල්ලියට යාමට බල කරන ඔලමොට්ටල සමාජයක සිහි නුවණ පෑදෙන්නේ කවදාද? විෂය නිර්දේශ මාලාව පවා සංශෝධනය කරමින් නූතන ලෝකය සමඟ නොබියව ගැටෙන්නට ජීවිතය නොව ලෝකය ජය ගන්නට දරුවා දිරිමත් කරණු විනා ශිෂ්ටාචාරයේ ආපස්සට ඇදගෙන යාම සිහි බුද්ධිය ඇති කිසිවකුට අනුමත කළ හැකිද? නිරතුරුව කිසිවකුගේ පිහිට බලාපොරොත්තු වන බියගුළු අනාගත පරපුරක් නිර්මාණය කරන්නට වෙහෙසෙන වැඩිහිටියෝ දූපත් මානසිකත්වය ළිං මැඬියාව මොනවට ප්‍රදර්ශනය කරයි. අධ්‍යාපන අමාත්‍යංශයට පමණක් නොව රජයට ද උවමනා වන්නේ නිවහල්ව තීන්දු තීරණ ගත නොහැකි දේව භක්තිකයන් අනූන ආත්ම ශක්තියෙන් තොර පරපුරකි.