හතුරුසිංහ ඕනෑකර තිබේ.

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයෙන් සිටි අවස්ථාවක ඉෂ්ඨ දේවතාවෙක් සේ චන්දික හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකාර ධුරයට පිවිසෙන්නේ ය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇදහිය නොහැකි මහා වෙනසක් සිදුකරතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ. ඔහුගේ ආගමනය සැබැවින් ම එම අවස්ථාවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආශිර්වාදයක් ම විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන කඩා වැටීම වාර්තා වෙන්නේ පසුගිය වසර ද්විත්වයේ ය. 2016 වසරේ තරග 19කට සහභාගි වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන් ජය ගන්නේ තරග 6ක් පමණි. තරග 9ක් පරාජය වෙන්නේ ය. සෙසු තරග එකක් සමවෙමින් සහ අනෙක් තරග තුන විසඳුමක් නැති ව අවසන් වෙන්නේ ය. 2017 වසරේ තරග ප්‍රතිඵල ඊට නොදෙවැනිය. එම වසරේ තරග 29කට සහභාගි වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 5ක් ජයගනිද්දී තරග 23ක් පරාජය වෙන්නේය. ඊට විසඳුමක් නැති තරගයක් ද විණි. එම වසරේදී දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය වෙතින් තරග 5-0ක තරගාවලි පරාජයන් ලැබීම අමතක නොවන පාඩමකි.

දකුණු අප්‍රිකාව සමග පිට පිට එක්දින තරග 11ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර පැවැති සිවුවැනි එක්දින තරගයේදී එකී කඩඉම පැන ගන්නේ ය. මේ තරග පරාජයන් වැලෙන් ගොඩ ඒම සැනසීමකි. දැන් නැවත කණ්ඩායම මේ තත්ත්වය දිගටම ගෙන යනු ඇතැයි බලාපොරොත්තුවයි. විශේෂයෙන් ම එළැඹෙන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළිපත්තේ සිට ලැබෙන මෙම ජයග්‍රහණ හෝ පරාජයන් තරගාවලියේ ක්‍රියාකාරීත්වයට යම් හෝ බලපෑමක් සිදු කරතැයි යන විශ්වාසයයි.

ඒත් හතුරුසිංහගේ ආගමනයෙන් වසරකට ආසන්න කාලයක් වෙද්දීත් සිදුවූ වෙනසක් නම් නොමැති බවකි තරග ප්‍රතිඵල මගින් පෙනෙන්නට තිබෙන්නේ. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පෙර වසරේ ප්‍රතිඵල කෙසේ වෙතත් මෙම වසරේ මෙතෙක් පැවැති තරග 9න් තරග 4ක් ජය ගනිද්දී සිම්බාබ්වේට, බංග්ලාදේශයට තරග එක බැගිනුත් සහ දකුණු අප්‍රිකාව හමුවේ තරග 3කත් පරාජයන් ලබා ඇත.

මෙරට පැවැති ඉතා වැදගත්ම තරගාවලිය වූ නිදහස් කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසීමේ අවස්ථාව ද හතුරුසිංහගේ පුහුණුකාරීත්වය හමුවේ අපට අහිමි විණි. මේ වනවිට දකුණු අප්‍රිකාව හමුවේ තරග 1-4ක් සේ තවත් තරගයක් ඉතිරිව තිබියදී ම තරගාවලි පරාජයක් ද ලබා ඇත්තේ ය.

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය භාරගෙන මේ ගෙවී යන්නේ 9 වැනි මාසයයි. මේ කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් ක්‍රීඩා කරන්නේ මීට පෙර ලැබූ ප්‍රතිඵලයන්හිම ඡායා පිටපතක් සේ ම නම් හතුරුසිංහගේ ආගමනයෙන් මෙතෙක් සෙතක් සැලසී නැති බව කනගාටුවෙන් වුව සටහන් තැබිය යුතුය.

හතුරුසිංහගේ පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් වී නම් ඒ ජයග්‍රහණයකින් පසුව සැවොම එක්ව ගැයෙන “හෙළ ජාතික අභිමානේ” ගීතය පමණක් වේ නම් එවැන්නකට මාසිකව මිලියන ගණනකින් වැටුප් ලබන පුහුණුකරුවෙක් අවශ්‍ය නැත. එබැවින් මේ සිදුවෙන සෑම දේකම වහා වෙනසක් සිදුවිය යුතුය. විශේෂයෙන්ම ක්‍රීඩකයන් සුදුසු තැන්හි තැබීමට පුහුණුකරු දැන සිටිය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් තමන්ගේ ටෙස්ට් නායකයා නැගී එන කණ්ඩායමක නායකත්වයටත් යොදා කරනු ලබන අත්හදා බැලීම ගැන අන් සෑම කෙනෙකුටම කලින් විචාරාත්මක විමසා බැලිය යුත්තේ හතුරුසිංහය. ක්‍රීඩකයන් කොතැනක ගොනු කරනවාදැයි තීරණ කළ යුත්තේත් එය සිදුකළ යුත්තේත් ප්‍රධාන පුහුණුකරුවාය. එහෙත් එවැන්නක් මේ වෙද්දී අවබෝධයකින් සිදුවෙන බවක් නම් පෙනෙන්නට නැත.

දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ සිවුදින ක්‍රිකට් තරගාවලියේ නායකත්වය කෞෂාල් සිල්වාට පැවැරීම ගැනත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම එම කණ්ඩායමට නම් කිරීම ගැනත් අප පසුගිය සතියේ ක්‍රිකට් බලධාරීන්ට දොස් කීවෙමු. නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය සැබෑ අරමුණ කුමක් ද යන්නත් පැහැදුවෙමු. ඒත් එහි කිසිදු වගවිභාගයක් නොමැතිවම ඔවුහු නැවත එම වරදම සිදුකරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් වෙත නැගී එන කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ නායකත්වය ද පවරන්නේ ය.

එසේ පවරනුයේ ඇත්තටම අපට නැගී එන ක්‍රීඩකයන් නොමැති නිසාද? ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් නම් කරන ලද නැගී එන කණ්ඩායමේ චරිත් අකලංක, සම්මු අශාන් සේ ම කමිඳු මෙන්ඩිස් ද වෙති. ඔවුන් සැබැ නැගී එන ක්‍රීඩකයන් නොවේ ද? නැගී එන නායකයන් කරගත නොහැකි ද? අනාගතයට අයෝජනය කර ගැනීමට පෙළ ගැස්විය යුත්තේ ඔවුන් නොවේ ද?

දිනේෂ් චන්දිමාල් යනු 2010 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගි වෙන්නෙකි. ටෙස්ට් තරග 48ක්, එක්දින තරග 139ක් සහ විස්සයි 20 තරග 52ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි. ඒ ජාත්‍යන්තර තරගය. පළමු පන්තියේ සහ අනෙකුත් තරග හා ජාත්‍යන්තර තරග එකතුව ගත් කළ 660කි. පිතිකරුවෙක් ලෙසින් මේ සියල්ලේ දී ඔහුගේ දක්ෂතාව ශතක 45ක් සමගින් ලකුණු 23250කි. එවැනි ක්‍රීඩකයෙකි, මෙරට ක්‍රිකට් බලධාරීන් නැගී එන කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇත්තේ. චන්දිමාල්ගෙන් බලාපොරොත්තුවන නැගී එන දක්ෂතාව කුමක්ද?

අනෙක් අතට චන්දිමාල්ට නායකත්වය පැවැරීමෙන් නතර නොවන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පසුගියදා නිමා දකුණු අප්‍රිකාව හා සමග වූ ටෙස්ට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ ආරම්භක වමත් පිතිකරු දිමුත් කරුණාරත්න ද නැගී එන කණ්ඩායමට නම් කර ඇත. ඊට අමතරව සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ වැන්නන් සමගින් ටෙස්ට් සහ එක්දින තරග ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයන් වැඩි දෙනෙක් ම කණ්ඩායමට නම් කර තිබේ.

වැඬේ යනු චන්දිමාල්ලා දිමුත්ලා නැගී එන කණ්ඩායමට නම් කරද්දී සැබෑවටම නැගී එන ක්‍රීඩකයන් ලෙසින් තරග පිටියට අවතීර්ණ වීමට සූදානමින් සිටින චාමික කරුණාරත්න, නිසල තාරක සහ ඕෂද ප්‍රනාන්දු වැන්නෝ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙසින් නම් කිරීම ය.

ඇතැම්විට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන්ට සේ ම හතුරුසිංහට ද දැන් අවශ්‍යව ඇත්තේ තෙවැනි පෙළ කණ්ඩායමකට එරෙහිව හෝ ජයග්‍රහණයන්ම ලබමින් තමන්ගේ තරම රටට ලෝකයට පෙන්වීම විය හැකිය. එවැනි විටක දී තරගාවලියේ අරමුණ කුමක් වුවත් ඔවුන්ගේ අරමුණුවලට ඒ සියල්ල යටපත් ය. හතුරුසිංහ මේ කරමින් සිටින්නේ එය ම විය හැකිය.