රාවය

ක්‍රිකට් තිලංගට දී අපි එල්ලේ ගහමු

ක්‍රිකට් තිලංගට දී අපි එල්ලේ ගහමු

ටිරන් කුමාර බංගගමආරච්චි

කාලයෙන් කාලයට ක්‍රීඩා අමාත්‍යවරු එහා – මෙහා වීම හැර ක්‍රීඩාව නම් බිඳක් හෝ ඉදිරියට යන අයුරු නොපෙනේ. එය දිනෙන් දින අගාධයේම ගිලෙමින් පවතී. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිව ගෙනා පනත් සංශෝධන මේ වනවිට මහා ජංජාලයක් නිර්මාණය කර ඇත. එහි තැන් තැන්වල තවත් අණ්ඩ දැමීමට සැරසෙන වත්මන් ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මෙය ඉදිරියට කොහි ගෙන ගොස් අතරමං කරාවිද යන්න ගැටලුසහගතය. ක්‍රීඩා ඇමතිවරයා මේ දිනවල මතු කළ ප්‍රබල කතාව ඉදිරියේ පැවැත්වීමට නියමිත සියලු නිලවරණ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් පත් කරන විනිසුරු කමිටුවක් මගින් පවත්වන බවය. ඒ සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීමට නියමිතය. ක්‍රීඩා සංගම් අතිබහුතරයක් මීට එකඟය. ඒ අතර විරුද්ධතාවන්ද ඇතිවී ඇත. ඒ තිලංග සුමතිපාලගේ විරෝධයයි. තිලංග සුමතිපාලගේ විරෝධතා වැදගත් වනුයේ මේ මොහොතේ ඔහු ක්‍රීඩාවට අත පොවන බලහත්කාරය උපරිම නිසාය. පසුගිය කාලයේ ආ සියලු ක්‍රීඩා ඇමතිවරු තිලංගගේ රූකඩම විය. වත්මන් ඇමතිත් දැනට ඇත්තේ ඒ ගොඬේමය.

නිලවරණ කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයා පත්කිරීම සම්බන්ධයෙන් තිලංග දැඩිව විරුද්ධය. විරුද්ධවීමට හේතු ලෙස ඔහු කියන කතාව සැබැවින්ම හාස්‍යජනකය.
“වත්මනෙහි පවතින ක්‍රීඩා සංගම් මගින් නිලවරණ කමිටුව පත්කිරීමේ ක්‍රියාදාමයන් හරහා ස්වාධීන නිලවරණ කමිටුව පත්කර ගත හැකි බව ඔහුගේ මතයය. ඒ තත්ත්වය පසෙකලා නිලවරණ කමිටුව අමාත්‍යවරයා විසින් පත්කිරීම තනිකරම දේශපාලන අතපෙවීමක් බව ඔහුගේ අදහසය.”

මෙලෙස කියන්නේම දේශපාලනයේ මහානුභාවයෙන් ක්‍රීඩාවේ පරිපාලනය කරන එයට තවමත් ළඟාවීමට නොදෙන තිලංගය. තිලංග ක්‍රිකට් පුටුවේ ඉන්නේම දේශපාලන හයියෙනි. කොටින්ම ඔහු දේශපාලනය කරන්නේද ක්‍රිකට් පුටුවේ ඉන්නටමය. එහෙව් ඔහු මෙවැනි කතා කීම විගඩමකි. අනෙකුත් ක්‍රීඩා සංගම් බහුතරයක කැමැත්ත ඇති නිසා එය ක්‍රියාත්මක බව ක්‍රීඩා ඇමති අවසාන තීන්දුව ලෙස දැනුම් දුන්නේය. මේ අනුව බලන කල තිලංගගේ මේ විරෝධය ව්‍යාජ විරෝධයක් විය හැකිය. තිලංගට අවාසියක් වන ලෙස එකදු තීන්දුවක්වත් ක්‍රීඩා ඇමතිවරු නොගන්නා අතර නීති හදනුයේද ඔහුට වාසිවන ලෙසය. මෑත කාලයේ සිදුවූ සියල්ලම එසේය. මේ විරෝධතාද හුදු මාධ්‍ය සංදර්ශන විය හැකිය. මේ දිනවල ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුවක්ය. එහෙත් සියල්ල ක්‍රියාත්මක කරනුයේ තිලංගය. අදටත් ඇත්ත ක්‍රිකට් පරිපාලකයා තිලංගය.

ඔහු නොබෝදා දඹුලු ක්‍රීඩාංගණය පරීක්ෂා කරන අයුරු ඡායාරූප මගින් හෙළි කොට තිබුණි. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භවීමට ප්‍රථම දඹුලු ක්‍රීඩාංගණය තුළ තිලංග නිරීක්ෂණ චාරිකාවක් කර ඇත. මේ හිටපු සභාපතිය. අද බලයේ නැති මොහුට මෙතරම් හයියක් කොයින්ද? එසේ නම් අතුරු කමිටු කුමකටද? අප මුලින් කී පරිදි තවමත් ක්‍රිකට් ප්‍රධානියා තිලංගය.

බලයේ නැති තිලංග බලෙන් මෙන් මේවාට අත පොවනුයේ ඇයි? ක්‍රිකට් පිටියක් පරීක්ෂා කරන්න ඔහු කවුද? මෙය විවාදාපන්නය. එය මාධ්‍යයට කතාබහක් වුවද බලධාරීන්ට දැනෙන කරුණක් වී නැත. තිලංග සිතා සිටිනුයේ මෙරට ක්‍රිකට් යනු තමන්ගේ බූදලය බවයි. අම්මා, තාත්තා දුන් ත්‍යාගය බවයි. මේ ක්‍රිකට් විනාශකාරයා පිට්ටනි පරීක්ෂා කරයි නම් ඔහුට ඒ බලය ලැබුණු හැටි ප්‍රශ්න කිරීම සාධාරණ නැතිද? ක්‍රිකට් පරිපාලනයේ සිටින සියලුදෙනාම තවමත් උදව් කරනුයේ ඔහුටය. ක්‍රීඩා ඇමති සහ අමාත්‍යාංශ ලේකම් ඔහුගේ රූකඩ වේ නම් අනෙක් අය ගැන කවර කතාද? අර්ජුන සහ අරවින්ද පගා ගත්තායැ’යි කී තිලංගගෙන් මේ අනුව කී දෙනෙක් පගා ගෙන ඇත්දැයි යන්න අමුතුවෙන් කිව යුතුද?
මේ තනි අශ්වයකුට ඔට්ටු අල්ලන්න දී ක්‍රිකට් සූදුවට ඈඳාගෙන විනාශ කරන්නට යහපාලනය බලා සිටින්නේ ඇයි? ඒ දේශපාලන වහල්භාවය නිසාය.

මෙරට ක්‍රිකට් පරිපාලනය තිලංගට ගොදුරුවීමෙන් බේරාගත නොහැකි තැනට අද තල්ලු වී ඇත. ඔහු දේශපාලන සෙල්ලම දමමින් ක්‍රිකට් ක්‍රීඩාවම සල්ලං කර ඇත. අද වනවිට මෙය ඔහුගේ ව්‍යාපාරය බවට පත්වී ඇත. ඔහුම කියන පරිදි ලාභදායී ව්‍යාපාරය බවට පත්වී ඇත. ඔහු පෙන්වන ලාභය ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලීමේදී නැත. එ තරමට ක්‍රීඩාවක් ලෙස අද ක්‍රිකට් බාලය. අලාභය.

මේ ගැන මින් මත්තට අර්ජුනට වුව කතා කළ හැකිද යන්න නොසිතේ. ජනපති සිටිනුයේ තිලංග පැත්තේය. ඒ අතින් මහින්ද රාජපක්ෂ තිලංගව තඹේට මායිම් නොකළේය. එහෙත් යහපාලන ලොක්කෝ තිලංග ළඟ අසරණ වී සිටිති. තිලංග ශ්‍රී ලංකාකාරයෙක් නිසා ශ්‍රී ලංකාකාරයෝ සියල්ල තිලංග පැත්තේය. ඒ නිසා තිලංගට ක්‍රිකට් හපකර විනාශ කරන්නට අවැසි බලපත්‍රය ඔවුහු සින්නක්කරවම තිලංගට ලියාදී ඇත. දැන් අපට සිදුව ඇත්තේ තිලංග පිට්ටනි අතගානු බලා නොදැක්කා ගාණට ඉන්නටය. මන්ද තිලංග අදාළ සියල්ලටම තණකොළ කවා හමාර බැවිනි.