රාවය

එස්.බී.ඩී.ද සිල්වා: දේශපාලන ආර්ථික විද්‍යාඥයකු ලෙස

එස්.බී.ඩී.ද සිල්වා: දේශපාලන ආර්ථික විද්‍යාඥයකු ලෙස

ආචාර්ය සමන් පුෂ්පකුමාර
දර්ශන දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

20 වන සියවසේ ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම දේශපාලන ආර්ථික විද්‍යාඥයා අප අතරින් වියෝ විය. ඒ ආචාර්ය එස්.බී.ඩී. ද සිල්වාය. ඔහු මාක්ස්වාදී පසුබිමකින් යුක්තව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පුළුල් හා දීර්ඝකාලීන හැදෑරීමක් කළේය. එස්.බී.ඩී. තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. පසුව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත්විය. මැලේසියාවේ පෙනැන්ග් විශ්වවිද්‍යාලයේත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් කථිකාචාර්යවරයකු වශයෙන් ඔහු කලක් සේවය කර ඇත. 1954 දී ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශනයට පත්කළ Long-term Contracts and Bulk Trading කෘතියේත්, 1962 දී ලංඩන් විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශනයට පත් කළ  Investment and economic growth කෘතියේත් කතුවරයා ඔහුය. එහෙත් ඔහුගේ විශිෂ්ටතම කෘතිය වූයේ, 1982 දී ප්‍රකාශනයට පත්කළ The Political Economy of Underdevelopment ය. මෙම කෘතිය තුළ ඌන සංවර්ධනයට අදාළ අභ්‍යන්තරික හා බාහිර සාධකයන් සහවාදයකට ගෙන ඇත. ඌණ සංවර්ධනය ගැන වඩාත් තියුණු හා ගැඹුරු ඥානයක් තිබූ ලාංකිකයා ඔහුය. ඔහුගේ ආර්ථික දර්ශනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමස්තයක් වශයෙන් මුහුණ දී තිබෙන ගැටලුවත්, මේ ගැටලුව ජයගන්නේ කෙසේද යන්නත් පැහැදිලි කරන්නකි. 2018.06.15 දින මිය යන තෙක් ඔහු විධාරණය කළේ මේ ගැටලුවය. එක් ගැටලුවක් ඉතාම ගැඹුරු ආකාරයෙන් හැදෑරීමට ඔහු තම ජීවිතය තුළ සකසා ගත් ශාස්ත්‍රීය විනය අතිශයින් පුදුමාකාරය.

ආචාර්ය එස්.බී.ඩී. ද සිල්වා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 93 කි. ඔහු ගැන දැන සිටියේ ලංකාවේ ඉතාමත් ටික දෙනෙකි. එයට හේතුවක් තිබුණි. ඒ ඔහු ප්‍රසිද්ධියට කැමති කෙනෙක් නොවූ නිසාය. ලංකාවේ ආර්ථිකය ගැන වඩාත් සංවේදී වූ, ඒ ගැන වැඩියෙන් සිතූ සහ ලියූ පුද්ගලයාගේ මළ ගෙයට පැමිණියේ ඉතාමත් ටික දෙනෙක් පමණි.
මා මුලින්ම ඔහුව දුටුවේ 1994 දීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දර්ශන අංශය හා ආර්ථික විද්‍යා අංශය පවතින්නේ එකම ගොඩනැගිල්ලකය. ආර්ථික විද්‍යා අංශයට සමහර දිනවල දී ඔහු පැමිණෙනවා මා දැක ඇත. එහෙත් ඒ කාලයේදී මා ඔහු කව්දැයි දැන සිටියේ නැත. X කණ්ඩායමට සම්බන්ධව සිටින කාලයේදී එස්.බී.ඩී ගැනත්, ඔහුගේ විශිෂ්ට කෘතිය වූ Political Economy of Underdevelopment ගැනත්, ඔහු මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ සිටින බවත් දැනගන්නට ලැබිණි. 2003දී මුල්වතාවට ඔහුව හමුවීමට අවස්ථාව ලැබිණි.

මුලින්ම ඔහුව මුණගැසීමට ගියේ ඔහුගේ පොත සම්බන්ධයෙන් විවිධ දිශානතීන් ඔස්සේ සාකච්ඡා කිරීමටය. එහෙත් පසුව අපගේ සබඳතාව දැඩි මානුෂීය, මිත්‍ර සම්බන්ධතාවක් බවට හැරිණි. ඔහුගේ කුණ්ඩසාලයේ නිවසේදීත් මහනුවර සිටි වෘත්තීය සමිති නායකයකු වූ මලියගොඩ මහතාගේ කාර්යාලයේදීත්, බේක් හවුස්, ඩෙවෝන්, රැජින හෝටලය, මහනුවර ICES ආයතනය හා අවසන් වරට ඔහුගේ කළුබෝවිල නිවසේදීත් අපි අඛණ්ඩව හමුවුණෙමු. මුලදී සතියකට වතාවක් හෝ දෙවතාවක් හමුවීම අපි පුරුද්දක් කර ගත්තෙමු.
ඔහු ජීවත් ව සිටියා නම් ඔහු ගැන මෙසේ ලිවීමට ඉඩ දෙන්නේ නැත. එය ඔහු අකමැති දෙයක් වන නිසාය. කෙසේ නමුත් ඔහුගේ ශාස්ත්‍රීය – බුද්ධිමය ජීවිතයේ සමහර පැතිකඩවල් මෙන් ම සාමාන්‍ය ජීවිතයේදී ඔහුගේ ආකල්පයන් සහ ප්‍රතිචාරයන් ගැන ලියා තැබීම වැදගත් යැයි සිතන නිසා මෙම සටහන ලිවීමට පෙළඹුණෙමි.
අපට අවශ්‍ය වූයේ ඔහුගේ පොත ගැන ගැඹුරින් හැදෑරීමට වුවත් ඔහු දැනුම ලබා දුන්නේ අප අපේක්‍ෂා කළ ආකාරයට නොවේ. 1982 දී ඔහුගේ පොත ප්‍රකාශනයට පත්ව තිබුණු අතර ඔහු ඉන් පසුව කඩදාසි පිටු දහස් ගණනාවක් ලීවේය. ඔහු බොහෝ විට කළේ තමන් ලංකාවේ ඌන සංවර්ධනය ගැන ගොඩ නැගූ න්‍යායන් අභියෝගයට ලක්වනවාදැයි පරීක්‍ෂා කිරීමය. අනෙක් අතට ඔහු ලියූ දේවල් ගැනත් ඔහු පූර්ණ තෘප්තිමත්භාවයට පත්නොවුණු නිසා නැවත නැවත ඒවා සංස්කරණය කළේය. අපත් ඇතුළුව බොහෝ දෙනෙක් ඔහු මුණ ගැසීමට ගියේ ඔහුව සම්මුඛ පරීක්‍ෂණයට ලක්කිරීමට වුවත් ඔහු කළේ එහි අනෙක් පැත්තය; අපගෙන් ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න ඇසීමය; යම් යම් ක්ෂේත්‍ර ගැන තොරතුරු අපෙන් විමසීමය. ඔහුගේ මනස තුළ හැම විටම නිශ්චිත සමස්ත අදහසක් පැවතුණ අතර අපගෙන් යම් යම් සුවිශේෂ කාරණයන් පිළිබඳ තොරතුරු විමසමින් ඔහුගේ සමස්තය සම්පූර්ණ කර ගැනීම සිදු කිරීමය. කඩයකින් ලැබුණු බිලක්, බෙහෙත් ඖෂධ පෙට්ටියත්, පුවත්පතක පිටුවක් මේ ඕනෑම දෙයක් ඔහුගේ ආර්ථික දාර්ශනික සමස්තය යළි යළිත් තහවුරු කර ගැනීමට අවශ්‍ය මහගු අමුද්‍රව්‍යයන්ය.

ආර්ථික දර්ශනය

ඔහු ප්‍රධාන වශයෙන් පොර බැදුවේ එක් ප්‍රශ්නයක් සමගය. ඒ ආර්ථික සංවර්ධනයය; විශේෂයෙන්ම ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයය. ලංකාවේ ආර්ථික සංවර්ධනය අත්පත් කර ගත හැක්කේ කෙසේද යන්න ඔහු විමසුවේය. අප ලංකාවේ සංවර්ධිත යැයි සිතා සිටින ක්ෂේත්‍ර ගණනාවක් ඌන සංවර්ධිත යැයි ඔහුගේ නිගමනය විය. ලංකාවට විදේශ විනිමය ලැබුණත් එයින් සංවර්ධනය අත්පත් වන්නේ නැත. මුළු ලංකාවම තේ වත්තක් වුවා යැයි සිතමු; ලංකාවම සංචාරක පුරවරයක් යැයි සිතමු; මුළු ලංකාවේම ගැහැනු මැදපෙරදිග ගෘහසේවයට යැව්වා යැයි සිතමු; මුළු ලංකාවම ගොවිබිමක් බවට පත් වුවා යැයි සිතමු. මේවායින් ලංකාවට විදේශ විනිමය ලැබීමට පුළුවන. එහෙත් මේ එකදු ආර්ථික කටයුත්තක් ආර්ථික සංවර්ධනයට අදාළ නැත. එස්.බී.ඩී. ගේ හැදෑරීම්වලට අනුව කාර්මික භාණ්ඩ නිෂ්පාදනය තුළින් පමණය ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගත හැක්කේ. මැදපෙරදිග වැඩ කරන කාන්තාවන්ය ලංකාවට වැඩිම ප්‍රමාණයක් විදේශ මුදල් ගෙන එන්නේ. වැඩි වැඩියෙන් විදේශ මුදල් අවශ්‍ය නම් කළ යුත්තේ මේ කටයුත්ත ප්‍රවර්ධනය කිරීමය. අධ්‍යාපනයට මුදල් වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැත. මොකද මැදපෙරදිග වැඩ කිරීමට ලොකු අධ්‍යාපනයක් අවශ්‍ය නැති නිසාය. මැදපෙරදිග මුදල් රටට පැමිණුනත් එයින් ලංකාවේ ආර්ථික සංවර්ධනයක් වෙන්නේ නැත. මැදපෙරදිග මෙන් ඛනිජ තෙල් ලංකාවේ හමුවුණත් ආර්ථිකයේ සංවර්ධනයක් සිදුවන්නේ නැත. එයට හේතුව නම් මේ මුදල් අප යොදවන්නේ පිටරට නිපදවන කාර්මික භාණ්ඩ මිලදී ගැනීමට විනා කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමට නොවන නිසාය. මේ කාන්තාවෝ නිරත වෙලා ඉන්නේ ඵලදායි නොවන ආර්ථික කටයුත්තකය.

ලංකාවේ බොහෝ දෙනෙක් සංචාරක ව්‍යාපාරයෙන් අපගේ ආර්ථිකයේ වර්ධනයට ලොකු පිටුවහලක් ලැබෙන බවට තර්ක කරද්දි එස්.බී.ඩී. මෙය සූක්‍ෂ්ම ආකාරයට ප්‍රශ්න කළේය. යම් හෝටලයක් සංචාරකයන්ගෙන් මුදල් උපයන්නේ ඔවුන්ට කෑමබීම දීමෙන් නොවේ. මේ හෝටල් ඇත්ත වශයෙන් ම විකුණන්නේ පරිසරය ය. ඔවුන් හෝටලයක් ඉදිකිරීමේදී ලස්සන මුහුදු වෙරළක්, කන්දක්, දිය ඇල්ලක් සලකා බලන අතර මේ වටාය සංචාරකයන් ආකර්ෂණය වෙන්නේ. මෙම සංචාරක ව්‍යාපාරය වටා ලොකු කාර්මික ලෝකයක් බිහිවන්නේ නැත. ලංකාවේ පරිසරය විශාල වශයෙන් විනාශ වෙන අතර මේ තත්ත්වයන් තුළ සංචාරකයෝ ලංකාවට පැමිණීම ක්‍රමානුකූලව අඩුවීමට පුළුවන. සංචාරකයන් ප්‍රවාහනය සඳහා වාහන සැපයීමෙන්, මඟපෙන්වීම් කිරීමෙන් ඔවුන්ගේ මුදල් ප්‍රමාණයක් ලාංකිකයන්ගේ සාක්කුවලට එන්න පුළුවන්. ඒත් මෙය ආර්ථික සංවර්ධනයට අදාළ කටයුත්තක් නොවේ.

අපට විදේශ විනිමය ලැබෙන තවත් කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයය. මේ සම්බන්ධයෙන්ද එස්.බී.ඩී. ට දේශපාලන ආර්ථික විවේචනයක් තිබිණි. මේ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය සියලුම දේවල් ගෙන එන්නේ පිටින්ය. රෙදි, නූල්, මැෂින් බොත්තම් සියල්ල එන්නේ පිටරටවල් වලින්ය. මේ රටේදී එකතු කරන්නේ ශ්‍රමය පමණි. ශ්‍රමිකයන්ට පඩියක් ලැබෙන නමුත් ඔවුන් පරිභෝජනය කරන භාණ්ඩවලින් විශාල ප්‍රමාණයක් ගෙන එන්නේත් පිටින්ය. ඇඟලුම් කර්මාන්තය වටා ගොඩනැගෙන වෙනත් කාර්මික භාණ්ඩ ක්ෂේත්‍රයන් ලංකාවේ නැත. අපි කාර්මික ආකාරයට රෙදි නූල් නිෂ්පාදනය කරන්නේද නැත.

වී වගාවට සාපේක්‍ෂව තේ වගාව අර්ථකථනය වූයේ සංවර්ධිත ක්ෂේත්‍රයක් ලෙසටය. කෙසේ නමුත් එස්.බී.ඩී. තර්ක කළේ තේ කර්මාන්තයත් ඌන සංවර්ධිත බවටය. තවමත් ලංකාවේ තේ දළු නෙලන්නේ ඉංග්‍රීසීන් තේ වගාව ආරම්භ කළ කාලයේදී මෙන්ය. ලංකාවේ වතු කම්කරුවන් ගණනාවක් නියපොත්තෙන් තේ දළු කඩන නමුත් සමහර දියුණු රටවල එක් කම්කරුවෙක් දියුණු කාර්මික උපකරණ භාවිත කර මුළු යායකම තේ දළු නෙලන අතර මෙහිදී තේ කර්මාන්තය කාර්මිකකරණයට යටත් කර ඇත. තේ වතු වල වැඩ කරන කම්කරුවන්ට මුළු වර්ෂයේදීම වැඩ ලැබෙන්නේ නැත. නමුත් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ගත්තොත් වර්ෂය පුරා ශ්‍රමිකයන්ට වැඩ කිරීමට සිදුවේ.

ඔහු ලංකාවේ වී ගොවිතැනට යොමු වෙමින් පවසා සිටින්නේ එය ඉතාමත් පැහැදිලිව ඌන සංවර්ධිත එකක් බවයි. සාපේක්‍ෂ වශයෙන් වී ගොවිතැන කාර්මිකකරණය වී තිබෙන්නේ අම්පාර ප්‍රදේශයේ පමණි. එහි කුඩා කුඹුරු වෙනුවට ධනවත් වී මෝල් හිමියන් විසින් අත්පත් කරගත් කුඹුරු යායවල් ඇත. අස්වනු නෙලීම ආදියට යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරයි. වෙනක් ප්‍රදේශවල සිදුවන්නේ පවුලේ ශ්‍රමය පාවිච්චි කරමින් කරන වී ගොවිතැනකි. මේ ගොවියන්ට විශාල අතිරික්ත ශ්‍රමයක් නඩත්තු කිරීමට සිදු වී ඇත. ගොවියෝ ළඟ ඉන්නේ ශ්‍රමිකයන්  (Laborers) නොව සහයකයෝය (helpers). මේ සහායකයින්ව වැඩ නැති කාලයේදිත් නඩත්තු කරන්න වෙන්නේ ගොවියාටය. වැඩ නැති කාලයට ගොවියාගේ බත් මුටිටිය මේ අයට විවෘත කරන්න සිදුවේ. කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ගත්තොත් එහි සහයකයෝ නැත. ග්‍රාමීය අංශයේ පවතින විරැකියාමය තත්ත්වය එස්.බී.ඩී. නම් කළේ  “disguised unemployment”  කියාය. එය එක් අයකුට කරන්න පුළුවන් දේ වැඩි දෙනෙක් කිරීමේ කටයුත්තකි. වී ගොවිතැනේදී මේ සහයකයන් හැම විටකම අවශ්‍යය නැත. එහෙත් ඔවුන්ව නඩත්තු කිරීමට සිදුවේ. ඔහු තර්ක කළ ආකාරයට ග්‍රාමීය ප්‍රදේශවල වැඩ නැති කාලය එකතු කළ විට 30% ක පමණ අතිරික්තයකි. මෙම ඌන සේවානියුක්තිය  (Underemployment)  රැකියා විරහිතභාවයක්   (Unemployment)  දක්වා තල්ලු කළ යුතු බව එස්.බී.ඩී. ගේ තර්කය විය. එංගලන්තයේ කොටු කිරීම් ව්‍යාපෘතිවලදී මෙවැන්නක් සිදුවිය.

ගොවියාගේ දිළිඳුභාවය පිළිබඳ ප්‍රශ්නයට ඔහු වඩාත් දියුණු අර්ථ කථනයක් ලබා දුන්නේය. ගොවියාගේ දිළිඳුකම තීන්දුවන්නේ කාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදිත භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව මතය. ගොවියාට බත් පමණක් තිබුණොත් එයින් ඵලක් නැත. ගොවියාගේ දරුවන්ට සපත්තු, පැන්සල්, බෑග්, මකන කෑලි, අවශ්‍යය. ගොවියාට දිගටම බත් කන්න ලැබෙනවාද යන කාරණය මත ඔහුගේ දිළිඳුකම තීන්දු නොවේ. ගොවියා නිෂ්පාදනය කරන දේ තමන්ම කෑවොත් එයින් ආර්ථිකයට වන යහපතක් නැත. ගොවි ශ්‍රමය සබුද්ධික කිරීමක් කළ යුතු අතර වී ගොවිතැනේ හිර වී ඇති අතිරික්ත ශ්‍රමය ඒ ක්ෂේත්‍රයෙන් ඵලවා හැරිය යුතුය. මේ අතිරික්ත ශ්‍රමය කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා තල්ලු කළ යුතුය. ගොවියාට සහනාධාර දීමෙන්ද ඔහුගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ගොවියා හැකි තරම් මිරිකා අනෙක් ක්‍ෂේත්‍ර වෙත ඔහුගේ ඵලදාව ගලායාමට සැලැස්විය යුතුය. කාර්මික භාණ්ඩ ක්‍ෂේත්‍රය කඩා වැටුණොත් ගොවියාටද පැවැත්මක් නැත. ගොවියන් ටික දෙනෙක් කාර්මික වශයෙන් ඉහළට නංවා ඔවුන්ගේ ඵලදාව අඩු මිලකට කාර්මික ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ට යැවීමය කළ යුත්තේ. ගොවියන් ඕනෑවට වඩා පොහොසත් වීමත් ආර්ථිකයට බරක් වේ. ඔවුන් පොහොසත් වුණොත් ලංකාවේ නිෂ්පාදනය නොකරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීමට ඔවුහු යොමු වෙති. ගොවියා වී නිෂ්පාදනය කළත් ලංකාවේ හාල් මිල ඉහළ ය. ගස්ලබු ගෙඩියක්, අඹ ගෙඩියක්, මිලදී ගැනීමට පිටරටින් එන ඇපල් ගෙඩියත් දොඩම් ගෙඩියත් ගැනීමට වඩා වියදමක් දැරීමට සිදුවී ඇත. මෙසේ සිදුවන්නේ ඇයි?

ලංකාවේ සාපේක්‍ෂව මුලික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත. අද ඔරලෝසුවක මිල හා හාල් කිලෝවක මිල සම වී ඇත. කාර්මික භාණ්ඩ පිටරටින් අඩු මිලට ගැනීමට හැකි වෙද්දී අපගේ දේශීය ආහාර මිල ඉහළ ගොස් ඇත. මෙයට හේතුව වන්නේ ලංකාවේ ශ්‍රම අතිරික්තයක් තිබුණත් ශ්‍රමයේ මිල ඉහළ යාමය. ශ්‍රමයේ මිල ඉහළ යාම සෘජුවම නිෂ්පාදනයට නිෂේධනාත්මක ආකාරයට බලපා ඇත. ශ්‍රමයේ මිල ඉහළ නිසා අපට වියට්නාමයේ, ඉන්දියාවේ පමණක් නොව බංගලාදේශයේ භාණ්ඩ නිෂ්පාදනය සමග තරග කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත. තිබෙන නිෂ්පාදනත් ඒ රටවලට ඇදී යාමය සිදුවන්නේ.

කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී තවත් අමතර කාර්මික භාණ්ඩ සිය ගණනක් නිෂ්පාදනය කිරීමට සිදුවේ. කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් ස්වභාව දහමේ බලපෑම්වලින් සාපේක්‍ෂව මිදී ඇත. වී ගොවිතැන මෙන්ම ධීවර කර්මාන්තයත් ස්වභාදහමේ බලවේග අනුව නිෂ්පාදනය ඉහළ පහළ යාම් සිදුවේ. කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීම දාම ප්‍රතික්‍රියාවක් ජනිත කරයි. ඒ තුළ පුපුරණසුලු ස්වභාවයක් ඇත. නමුත් ලංකාවේ අල්පෙනෙත්තක්වත් නිෂ්පාදනය කරන්නේ නැත.

ලංකාවේ අධිවේගී මාර්ග ඉදිවෙන විට බොහෝ දෙනෙක් තර්ක කළේ මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට අතිශයින්ම උපකාර වන්නක් බවය. එහෙත් අප සමග කතාබහේදී එස්.බී.ඩී. මෙවැන්නක් ප්‍රකාශ කළේය. මේ පාරවල් දිගේ දකුණේ ඇති කර්මාන්තශාලාවලින් නිපදවන භාණ්ඩ පුරවාගත් ලොරි කීයක් මාර්ග තදබදයකින් තොරව කොළඹට පැමිණේද? මේ ලොරිවල ගෙනෙන කාර්මික භාණ්ඩ පිටරටවලට අපනයනය කෙරේද? එසේ නොමැති නම් සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී වාහනවල නැග ගත් අය කලින් පැය 5 කින් ගමන නිම කළා නම් දැන් පැය දෙකකින් ඒ ගමන නිමකර ඉතිරි කර ගත් පැය තුන ඵලදායී කාර්යයක නිරතවේද? අධිවේගී මාර්ගවල මිනිස්සු යන්නේ වැඩකට ඇති ගමන්ද? වැඩකට නැති ගමන්ද?

එස්.බී.ඩී. සමග මා නුවර සිට කටුගස්තොට ප්‍රදේශයට යන විට පාර දෙපස ඇති වාහන සේල් දෙස බලා මෙවැන්නක් පැවසීය. “මේ අයට තම ව්‍යාපාර කටයුතු කරන්න පර්චස් 10-15 ක ප්‍රමාණයක් ඇති. ලංකාවේ කාර් එකක් නොවේ අමතර කොටසක්වත් නිෂ්පාදනය කරන්නේ නැත. වාහන සේල් නම් බිහි වී ඇත. ඉන්දියාව කාර් හදන විට අපි කාර් විකුණනවා. අපට තියෙන්නේ වෙළඳ හා මූල්‍ය ප්‍රාග්ධනයක් පමණය. නිෂ්පාදන ප්‍රාග්ධනයක් නැත. ගෝලීයකරණය සිදුවන්නේ එක් දිශාවකට පමණයි. ගෝලීයකරණය යටතේ චීනයේ බඩු මෙරටට පැමිණුනද මෙහි භාණ්ඩ චීනයට යන්නේ නැත. ලංකාවේ ධනපතියෝ දියුණු වන්නේ නිෂ්පාදනය හරහා නොව වෙළෙඳපොළ හරහායි. මේ ධනපතියෝ වැඩ කරනවා වුවත් වැඩකට නැති වැඩයි කරන්නේ”.

ඔහු තර්ක කරන ආකාරයට ආර්ථික සංවර්ධනය ගැන අපි හිතන්න ඕනේ යුද්ධයක් ලෙසටය. අපි දිනනවාද පරදිනවාද යන්න මෙහිදී තීන්දු වේ. යුද්ධයේදී වෙනත් අංශවලින් ගන්නා අතිරික්තය හමුදාව සඳහා යොදවයි. අනෙක් අංශ පාලනය කර යුද්ධයට ප්‍රමුඛත්වය ලබාදෙයි. මේ සඳහා ඉඩම් පවරා ගන්නා අතර යුද්ධය කරන්නේ රජයයි. යුද්ධ කරන්නේ පෞද්ගලික අංශය නොවේ. අප වැනි රටකට ජාත්‍යන්තර වෙළෙඳපොළේ භාණ්ඩවල මිල සම්බන්ධයෙන් බලපෑමක් කළ නොහැකිය. නමුත් එම භාණ්ඩවල දේශීය මිල සම්බන්ධයෙන් බලපෑමක් කළ හැකිය. පිටරටින් ගෙනෙන සමහර භාණ්ඩ පාලනය කර හෝ ගෙනෙන භාණ්ඩ වලින් බදු අය කර හෝ එම භාණ්ඩවල ජාත්‍යන්තර අගයට වඩා වැඩි මිලකට විකුණා හෝ යම් ලාභයක් ගෙන සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවලට සහනාධාර දිය හැකිය. මෙය කළ හැක්කේ රජයට පමණය. ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට ලෝක වෙළඳපොළ සමග තරග කළ නොහැකිය. මේ නිසා ඔවුන් නිෂ්පාදන ප්‍රාග්ධනය වෙනුවට යොමු වෙන්නේ මූල්‍ය ප්‍රාග්ධනය වෙතය. ඉඩම් කැබලි කර විකිණීම, රක්‍ෂණ සමාගම්, පෞද්ගලික බැංකු, වාහන සේල් මෙයට උදාහරණයි.

සමහර භාණ්ඩ ලංකාවේ නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් ගෙන්වීම වඩා වාසිදායක යැයි තර්කයක් ඉදිරිපත් වෙන විට එස්.බී.ඩී. ලබාදුන් පිළිතුර මෙවැන්නකි. ඉන්දියාව, බි්‍රතාන්‍යයේ යටත් විජිතයක් ව පැවති සමයේ ඉන්දියාව තුළ පැතිරුණ රෙදි කර්මාන්ත ක්ෂේත්‍රයක් තිබුණි. ඉන්දියාවේ රෙදි ලබා ගැනීම බි්‍රතාන්‍යයට වාසිදායක වුවත් බි්‍රතාන්‍ය එසේ කළේ නැත. ඉන්දියාවේ රෙදි කර්මාන්තයට ඉඩ දුන්නේත් නැත. බි්‍රතාන්‍ය පරිවර්තනය වුණේ නිෂ්පාදනය හරහාය. ඔවුන් තම නිෂ්පාදනය අඩාල කරගත්තේ නැත. ඔවුන්ට දිගටම අවශ්‍ය වුනේ ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ලබා ගෙන තම රට තුළ නිෂ්පාදනය කටයුතු කිරීමටය. බි්‍රතාන්‍යයට අවශ්‍ය වූ දෙයය අප තවමත් කරමින් සිටින්නේ. ඒ කෘෂි කර්මාන්තය කාර්මික නොකර දිගටම තබා ගැනීමත්, නිෂ්පාදන කටයුතු නොකර අමුද්‍රව්‍ය අපනයනය කිරීමත්ය. ග්‍රාමීය අංශය ක්‍රමානුකූලව විනාශ කළ යුතු අතර නගර දියුණු කළ යුතුය. ඒවා කාර්මික නගර කළ යුතුය. මේ නගර තිබෙන්නේ සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට නොවේ. හොඳම පාසල්, හොඳම රෝහල්, සුපිරි වෙළඳසැල්, සමාජ ශාලා සඳහා නොවේ. ලංකාවේ කොළඹ නගරය යනු සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට ඇති අවකාශයකි. මෙවන් නගර පරපුටු නගරයන්ය.  (Parasite Cities)  ග්‍රාමය අංශයේ නිපදවන දේ උරාගන්නා තැන්ය. සුනාමියෙන් සිදුවූ විනාශයට අවධානය යොමු කරමින් එස්.බී.ඩී. වරෙක මෙසේ කීවේය. “සුනාමියෙන් බෝට්ටු විනාශ වූවොත් යම් දුරකට එය ආර්ථිකයට බලපෑමක් කළ හැකියි. ඒත් කොළඹ නගරය සම්පූර්ණයෙන් විනාශ වූවොත් එය ආර්ථිකයට යහපතක් වෙයි. සුඛෝපභෝගි වාහන, නිවාස, විනෝද ස්ථාන විනාශ වුවාට ආර්ථිකයට බලපෑමක් වෙන්නේ නැත. මේ රටේ ඇති යටිතල පහසුකම්, මහාමාර්ග, විනෝදය සඳහා මිස ආර්ථික සංවර්ධනය සඳහා නොවේ. ඒත් රටේ වැඩියෙන්ම දියුණු වන්නේ මේ වැඩකට නැති අංශයන්ය. මේ රටේ සාධාරණ ආර්ථිකයට යටින් පාතාල ආර්ථිකයක් ක්‍රියාත්මක වනවා නොව සමස්ත ආර්ථිකයම පාතාල ආර්ථිකයකි.”

මතු සම්බන්ධයි.