රාවය

දකුණු සුඩානයට සාමය

දකුණු සුඩානයට සාමය

එස්. නන්දලාල්

පසුගිය ඉරිදා දකුණු සුඩානයේ ජනාධිපති සැල්වා කිර් සහ එරට රජයට එරෙහිව නැගී සිටින සන්නද්ධ කැරලිකරුවන්ගේ නායකයා වන හිටපු ජනාධිපති රෙයික් මචාර් අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබිණි. මෙය එරට පොදු ජනතාවගේ අමන්දානන්දයට හේතුවූ බව ඔවුන් වීදි බැස ප්‍රීතිඝෝෂා නංවන අයුරු දැක්වෙන වීඩියෝවලින් සහ පුවත් වාර්තාවලින් පැහැදිලි ය. මේ ගිවිසුම අනුව ඉදිරි මාස තිස්හයක කාලය තුළ කණ්ඩායම් සියල්ල එක්ව පාලන ව්‍යුහයක් සකස් කැර ගන්නා තුරු එදිරිවාදුකම් අත්හිටුවීම සිදුවනු ඇත. සැල්වා කිර් තවදුරටත් ජනාධිපතිවරයා වනු ඇති අතර රීක් මචායේ ජ්‍යෙෂ්ඨ උප ජනාධිපති ලෙස නැවත ධුරගත කෙරේ. රට පාලනය සඳහා ඇමතිවරුන් 35 දෙනකුගෙන් සමන්විත කවුන්සිලයක් හෙවත් කැබිනට්ටුවක් පිහිටැවෙනු ඇති අතර කිර්ගේ කණ්ඩායමෙන් 20ක්, මචාර්ගේ පාර්ශ්වයෙන් 9ක් සහ අනෙක් පක්‍ෂවලින් 6ක් ඊට ඇතුළත් කෙරෙනු ඇත. අන්තර්වාර පාර්ලිමේන්තුව ආසන ආසන 550කින් සමන්විත වත්මන් පාර්ලිමේන්තුවමය. එහි ආසන 460ක් දකුණු සුඩාන මහජන විමුක්ති ව්‍යාපාරය (SLPM) නමැති දේශපාලන පක්‍ෂයට හිමි ය. එහෙත් මේ දේශපාලන පක්‍ෂය මේ වනවිට පාර්ශ්ව දෙකක් ලෙස ක්‍රියාත්මක වෙයි. හරියට අපේ පොදු ජන එක්සත් පෙරමුණ වැනි ය. කිර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම SPLM (Juba)  ලෙස සහ මචාර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම  SPLM (in – opposition)  ලෙස ද හැඳින්වේ. මේවාට පිළිවෙළින් ආසන 332ක් සහ 128ක් හිමි ය. ඉතිරි ආසන 90 අනෙක් පක්‍ෂ නියෝජනය කරයි. මේ වෙනස පක්‍ෂයේ නිර්මාතෘ ආචාර්ය ජෝන් ගරාං 2005 වසරේ හෙලිකොප්ටරය කඩා වැටීමෙන් සිදුවූ ගුවන් අනතුරෙන් මියයාමෙන් පසුව සිදු විය.

ඇත්තට ම ආචාර්ය ජෝන් ගරාං නිර්මාණය කළේ දේශපාලන පක්‍ෂය නොවේ. සුඩාන මහජන විමුක්ති හමුදාවයි. (SLPA) ඒ 1983 දී ය. දෙවන සුඩාන සිවිල් යුද්ධය යනුවෙන් ද හැඳින්වෙන දකුණු සුඩානයට වෙනම පාලනයක් ඉල්ලා සුඩාන රජයට එරෙහිව සන්නද්ධ කැරැල්ල මෙහෙය වූයේ ඒ හමුදාවයි. ආචාර්ය ගරාංගේ අභාවයෙන් පසු කිර් එහි නායකත්වය භාර ගත්තේ ය.

දකුණු සුඩානය නිදහස් ස්වෛරී රාජයයක් බවට සුඩානයෙන් වෙන් වූයේ 2011 ජුලි මස 11 දින ය. 2005 ජූලි 05 දින සිට එයට ස්වාධිකාරය හිමි වූ අතර ඊට පෙර එය සුඩානයේ කොටසක් ව පැවැතිණි. නිදහසින් පසු ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත් වූ සැල්වා කිර් එතැන් සිට මේ දක්වා ඒ තනතුර හොබවන අතර  SPLM  රට පාලනය කරයි. ආරම්භයේදී ජ්‍යෙෂ්ඨ උප ජනාධිපතිවරයා වූ රීක් මචාර් සහ ජනාධිපතිවරයා අතර 2013 දෙසැම්බර් මාසයේ බරපතළ අමනාපකමක් ඇති විය. පාලන බලය අල්ලා ගැනීම සඳහා මචාර් කුමන්ත්‍රණය කරන බවට කිර් චෝදනා කිරීම නිසා මේ ප්‍රශ්නය උද්ගත විය. තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව දැන ගත් මචාර් පලා ගොස් තමන්ට පක්‍ෂපාත හමුදා කොටස් සමග එක්ව කිර් පාලනයට එරෙහිව සටන් වැදුණ් ය. මේ දක්වා එරට පැවැතියේ එම යුද්ධයයි.

දකුණු සුඩානය වෙන් වන්නට පෙර සුඩාන වැසියන් සිවිල් යුද්ධ දෙකකට මුහුණ දී තිබිණි. 1955 සිට 1972 දක්වාත්, ඉන්පසු 1983 සිට 2005 දක්වාත් එම සිවිල් යුද්ධ දෙක පැවැතිණි. 2013 දෙසැම්බර් 15 දින දකුණු සුඩාන සිවිල් යුද්ධය ඇතිවීම නිසා එය දකුණු සුඩාන වැසියන්ට මුහුණ දෙන්නට සිදුවූ තුන්වන සිවිල් යුද්ධය විය. ඒ අනුව පරම්පරා තුනකට අයත් දකුණු සුඩාන ජනයා සිවිල් යුද්ධවලින් පීඩා විඳි අතර පසුගියදා අත්සන් තැබූ සාම ගිවිසුම නිසා ඉදිරියේ දී තමන්ට නිවීහැනහිල්ලේ සිටින්නට හැකිවනු ඇතැ’යි ඔවුන් අපේක්‍ෂා කරන බව රට පුරා පැවැති ප්‍රීත්‍යොත්සවවලින් ප්‍රකට කැරිණි.

2013 දෙසැම්බර් ප්‍රහාර සමග වහා ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන මෙහෙයුම අවිහරණ ගිවිසුමක් සකස් කොට දෙපාර්ශ්වය ලවා අත්සන් ගත් නමුත් එයට වැඩි ආයුෂ නොවිණි.

අනතුරු ව 2015 අගෝස්තු මාසයේ එක්සත් ජාතීන්, අප්‍රිකා සංගමය, යුරෝපා සංගමය, චීනය, එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය සහ නෝර්වේ මැදිහත්වීමෙන් තවත් සටන් විරාම ගිවිසුමක් අත්සන් තබන ලදි. සැඟවී සටන් මෙහෙයවමින් සිටි මචාර් නැවත ජුබා අගනුවර වෙත පැමිණි අතර උප ජනාධිපති ධුරයේ නැවත පිහිටුවනු ලැබී ය.
මේ යුද්ධයේ දී සුඩාන රජය වෙනුවෙන් ආරක්‍ෂක හමුදා සටන් මෙහෙයැවී ය. ඉතියෝපියාව සහ රුවන්ඩාව යන රටවල සොල්දාදුවන් ඒ හමුදාවල සහායට ආ අතර චීනය පිරිස් බලය නොවන ආධාර සැපයී ය. සන්නද්ධ දේශීය කණ්ඩායම් හතරක් ද රජය සමග යුද්ධයට සහභාගි විණි. මචාර්ගේ පාර්ශ්වය වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ කල්ලි 10ක් පමණ සහභාගි වී ඇති බව පෙනෙයි. ඍජුව ම ඔවුන්ට ආධාර සැපයූ රටක් හෝ සංවිධානයක් ගැන තොරතුරු නොමැත.
පසුව යුද්ධය කිර්ගේ දින්කා සහ මචාර්ගේ නුඑර් යන ජනවර්ග අතර යුද්ධයක් බවට පත් වූ නමුත් පසුව දින්කා වරුන්ගෙන් කිසියම් කණ්ඩායමක් මචාර්ට සහායට ගිය බව සඳහන් ය.

මේ සටන් නිසා සිවිල් වැසියන් මිලියන 3ක් මරණයට පත් වූ බව වාර්තාගත ය. වාසස්ථාන අහිමි වූ සංඛ්‍යාව මිලියන 3.6කි. ඔවුන් අතරින් මිලියන 1.1 ක් විදේශවලට පලා ගොසිනි. ඒ වනවිට එරට සමස්ත ජනගහනය මිලියන 12.3ක් පමණක් වූ බව වාර්තාවල දැක්වේ. එයින් විනාශයේ තරම සිතාගත හැකි ය. මු`ඵ රටම යුද්ධය නිසා වැනසී ගියේ ය. අස්වැන්න වනසා දමන ලද හෙයින් ඉන්පසු බරපතළ ආහාර හිඟයක් ඇති විය. කොරේ පිටට මරේ කීවාක් මෙන් සාගතයක් ද පැමිණියෙන් ජනයා දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නෝ ය. උද්ධමනය 300% දක්වා ඉහළ ගියේ ය.

කෙසේවෙතත් දකුණු සුඩානයේ ආණ්ඩුවට එරෙහිව පවතින සහ පැවැති කැරලි ඉහත සඳහන් තරම්ම සරල නොවේ. එය කාශ්මීර අර්බුදය හෝ ශ්‍රී ලංකාවේ උතුරේ ජනවාර්ගික අර්බුදය මෙන් පාර්ශ්ව දෙකක් අතර උද්ගත වුවක් නොවේ. එක් අතකින් එය අෆ්‍රිකාවට ම පොදු ලක්‍ෂණකි. කැරලිකරුවන් කවුදල රජයේ හමුදා කවුද විරුද්ධවාදී කණ්ඩායම් මොනවාද යන මේ තොරතුරු දීර්ඝ විස්තර සහිත ය. කැරලිකරුවන් මෙන් ම රජයේ හමුදා සාමාජිකයන් ද උඩුකයට ඇඳුමක් නොමැතිව සරමක් වැනි අඳුමකින් සැරසී ගිනි අවි අතදරා සිටිනවා විය හැකි ය. සමහරවිට එකම ජන කණ්ඩායමක් දෙපැත්තට ම බෙදී සිටිනවා ද විය හැකි ය. රජයේ ආරක්‍ෂක හමුදාවල සාමාජිකයන් තමන් සේවය කරන්නේ රජයට ය යන්න නොසලකා ක්‍රියා කරන අවස්ථා ද බහුල ය. මෙවැනි කැරැල්ලක් සමථයට පත් වූ විට ඇතැම් රටක් කැරලි කරුවන් රජයේ හමුදාවට අන්තර්ග්‍රහණය කරනවා විය හැකි ය. පසුව නැවත කැරැල්ලක් ඇතිවුවහොත් ඉන් ඇතිවිය හැකි විපාක බරපතළ ය. දකුණු සුඩානයේ සිවිල් අරගලවල මේ තත්ත්වය පැවැති බව පෙනේ. ඒ අනුව මෙය කිර් සහ මචාර් අතර සටනක් ම පමණක් නොවේ. මචාර් රජයේ විරුද්ධවාදීන් සමග එකතු වනවා විනා ඔහුගේ ම කියා හමුදාවක් පිහිටුවා ගත්තා නොවන බව මෙහි දී පැහැලි කරුණකි.
සාම සැලසුම්, එකඟතා සහ ගිවිසුම් යනාදිය අසමත් වන්නට හේතු බොහොමයක් තිබේ. දෙපාර්ශ්වයේ ම විවිධ කණ්ඩායම්වල විවිධ අරමුණු සියල්ල අවුල් කරයි. කෙටි කාලයක් තුළ පැවැති දකුණු සුඩානයේ සිවිල් යුද්ධය නිසා මෙතරම් විශාල විනාශයක් වන්නට හේතු ඒවා ය.

මැදිහත්කරුවන් ලෙස පෙනී සිටින ආයතන සහ රජයන් ද කටයුතු කරන්නේ ඒ ආකාරයෙන් බව මෙහි දී ඉස්මතු වූ කරුණකි. ජනාධිපති කිර් මෙන් ම මචාර් ද පෙන්වා දී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය සහ මහා බි්‍රතාන්‍යය ඇතු`ඵ කණ්ඩායමක් විසින් කෙටුම්පත් කරන ලද 2015 සාම එකඟතාව ඔවුන්ට දඬුවම් පැමිණවීම අරමුණු කැරගත් එකක් බවයි. දෙමුහුන් උසාවි පිහිටුවීමට සහ දඬුවම් කිරීමට අදාළ වගන්ති එහි අඩංගු ය. සාධාරණත්වය කෙරේ යොමු වන සංයමය විශිෂ්ට විය යුතු යැ’යි නායකයන් දෙදෙනා විසින් ම පැවසූ බව සඳහන් ය.

05 දින අත්සන් කරන ලද ගිවිසුම එක්සත් ජාතීන් විසින් අදාළ පාර්ශ්වකරුවන්ගේ එකඟත්වය ඇති කෙටුම්පත් කරන ලද හෙයින් මෙය කල් පවතිනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. ඉහතින් දක්වා ඇති කොන්දේසි අනුව ඉදිරි මාස 36 තුළ පවතින පාර්ලිමේන්තුව විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසිය යුතු ය යන්න සාධනීය කොන්දේසියක් බව විචාරක මතයයි.

කෙසේවෙතත් මෙහිදී වැදගත් වන්නේ ජනතාවගේ ප්‍රීති ඝෝෂාව ය. ඒ තත්ත්වයෙන් ඔවුන් තබා ගැනීම පාලක පන්තියේ ද පාලනය අපේක්‍ෂාවෙන් කැරලි ගසන අයගේ ද අපේක්‍ෂාව වීම අනිවාර්ය ය.