පාලමකට බය රටක්


kathu

 

ඉන්දියාව හා ලංකාව අතර හදන්නට සැලසුම් කරනවායැ’යි කියන පාලම ගැන අරුම පුදුම බියක් නිර්මාණය කර වපුරමින් තිබේ.
හනුමා පාලම ලෙස සමහරුන් හඳුන්වන එම පාලම මුලින් ම සැලසුම් කළේ කවුද යන්න දැන් තිබෙන වැදගත් ම ජාතික ප්‍රශ්නයක් බවට පෙරළා ගෙන ඇත. පාලමට මාරාන්තික විරෝධයක් පෑ දේශපාලකයන්, ඇමති ධුරවල සිටි කාලයේ දී ඉදිරිපත් කළ ජාතික භෞතික සැලසුම්වල ඒ පාලම ගැන සඳහන් ව තිබේයැ’යි එක් පාර්ශ්වයක් කියන විට, අනෙක් පාර්ශ්වය කියන්නේ පාලම මුලින් ම සැලසුම් කළේ තමන් නොව අනෙක් පාර්ශ්වය බව ය.

මීට ටික කාලයකට පෙර අගමැතිවරයා ද, ඉන්දියාව හා ලංකාව අතර පාලමක් හදන්නට සැලසුමක් නැතැ’යි ස්ථිරව ම කීවේ ය.
මේ සියලු දෙනාගේ කියුම් කෙරුම්වලින් පෙනෙන්නේ, ලංකාව හා ඉන්දියාව අතර පාලමක සැලසුම තමන්ගේ එකක් නොව විරුද්ධ පාර්ශ්වයේ එකක් බව කියන්නට දක්වන වුවමනාව යි. එවැනි පාලමක් හැදෙනවාට එක්කෝ මේ අය ඇත්තට ම බියක් දක්වති. නැතිනම් යටින් කැමැත්ත හා උඩින් අකමැත්තක් දක්වති.

ලංකාව හා ඉන්දියාව අතර පාලමක් යනු ලාංකිකයන් මහත් චිත්ත ප්‍රීතියෙන් යුතු ව පිළිගත යුතු සංකල්පයකි. හතර වටෙන් මුහුදෙන් වට ව හුදෙකලා වුණු කොදෙව්වක් මත, අහේතුක ව මවා ගත් විකාර ස්වෝත්තමවාදයකින් මෝහයට පත් වී ජීවත් වන, ළිං පතුලේ මණ්ඩුකයන් වැනි පිරිසකට ලෝකය නම් මේයැ’යි හඳුනා ගන්නට ඉතා ම පහසු හා ලාභදායක ම මාර්ගය එයයැ’යි අප විශ්වාස කරන බැවිනි. ස්වභාව ධර්මයා විසින් කොන් කරනු ලදුව හුදෙකලාව සිටින්නකුට ලෝකය සමඟ යා වන්නට හනුමාගේ හෝ යක්‍ෂයාගේ හෝ නමින් වුවත් පාලමක් හැදේ නම් එහි ඇති අගය කෙතරම් ද?

තලෙයිමන්නාරම හා රාමේස්වරම් අතර දුම්රිය හා මුහුදු යාත්‍රා සේවය ක්‍රියාත්මක වුණු කාලයේ ලංකාවේ හා ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන් ඒ මගින් ලබාගත් ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රතිලාභ කෙතරම්දැ’යි වර්තමාන ලංකාවට අලුතෙන් කියා දිය යුතු ව තිබෙන බව ඇත්ත ය. එහෙත් නුදුරු අනාගතයේ දී එවැනි භෞතික සම්බන්ධයක් නැවතත් හැදුණහොත් එහි ප්‍රතිලාභය කෙතරම්දැ’යි අන්තවාදී නොවන මනසකින් යුත් ඕනෑ ම කෙනකුට ගණන් හදා බලා පමණක් වුව ද තීරණය කර ගත හැකි වනු ඇත්තේ ය.

එවැනි පාලමක්, දුම්රිය මාර්ගයක්, ජාතීන් දෙකක් අතර සම්බන්ධයක්, කොදෙව්වක් හා මහාද්වීපයක් අතර සම්බන්ධයක් හා කෙටියෙන් ම කිවහොත් කොදෙව්වක් හා අනෙක් මුළු ලෝකය ම අතර භෞතික සම්බන්ධයක් ගොඩ නගන්නට ස්වර්ණමය අවස්ථාවක් අපට තිබේ නම් ඊට බිය වන්නේ ඇයි?

එවැනි ස්වර්ණමය අවස්ථාවක් උදා වන්නේ නම්, ඉන්දියාව ගැන පමණක් නොව මුළු ලෝකය ගැන ම බියක් රට තුළ මවා ඉන් සිය දේශපාලන බඩගෝස්තරය සපයා ගන්නා දුගී දේශපාලකයන්ගේ අවිචාර හඬට බිය වී ඒ අවස්ථාව මඟ හැර යන්නේ ඇයි?