තලතා සහ දිස්නා

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ සිටින කිසිදු නිලධාරියෙකුට මේ දිනවල මාධ්‍ය වෙත තොරතුරු ලබාදිය නොහැකිය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සිට බන්ධනාගාර මූලස්ථානයේ මෙන්ම එක් එක් බන්ධනාගාරවල සිටින නිලධාරීහු ද අමාත්‍යංශයේ මේ නියමයට යටත් වෙති. තොරතුරු තහනම මෙසේ ක්‍රියාත්මක වෙද්දී පසුගිය අඟහරුවාදා(07) දිනපතා ලක්බිම පුවත්පතේ පුවත්පතේ මුල් පුවත වූයේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීමකි. “ජේලර්වරිය මාරුවට කුඩු අක්කලා උද්ඝෝෂණයේ” එහි සිරස්තලය විය.

එයින් කියැවුණ කතාව වන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය භාරව සිටි ප්‍රධානියා වන, බදුල්ලට මාරු කර ඇති ජ්‍යෙෂ්ඨ ජේලර්වරිය යළි එම අංශයට ම ලබාදෙන ලෙස එම වාට්ටුවේ නේවාසික කාන්තාවන් නැතහොත් රැඳවියන් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබූ බවය. පුවත අනුව පසුගිය 05 වන දා දිවා ආහාරය ලබා ගැනීම සඳහා සිර මැදිරිවලින් එළියට ආ අවස්ථාවේ එම කාන්තා සිරකාරියෝ සටන් පාඨ කියමින් මෙම විරෝධය දක්වා තිබුණෝය.

පළමු කාරණය වන්නේ බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු මාධ්‍ය වෙත දීම ඇමතිනි තලතා අතුකෝරළ තහනම් කර තිබෙන වටපිටාවක මෙම සිද්ධිය පුවත්පතක් වෙත පැමිණ තිබීමය. දෙවැන්න ඉතා වැදගත්ය. එම පුවත ලබාදුන් තැනැත්තා එය ලබා දී ඇත්තේ යම් අරමුණක් තහවුරු කර ගැනීමට බව පැහැදිලිව පෙනීමය. පුවත අනුව විරෝධය දැක්වූ සිරකාරියන් පිරිස හඳුන්වා ඇත්තේ “කුඩු අක්කලා” ලෙසය. ප්‍රවෘත්තියේ හරය වන්නේ අදාළ නිලධාරිනිය “කුඩු අක්කලා” ට කිසිදු දුෂ්කරතාවකින් තොරව මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට අවස්ථාව සලසා දී තිබෙන බවය. ඇය මාරු කිරීම නිසා ඒ උපකාරය අහිමි වී යාම දරාගත නොහැකිව මෙම පිරිස වැලිකඩ බන්ධනාගාර භූමිය තුළ ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර තිබේ. බන්ධනාගාරය තුළ මෙම සිරකාරියන් කුඩු ජාවාරමේ යෙදෙන බව කෙළින්ම කියන එම ප්‍රවෘත්තිය එම කුඩු ජවාරම්කාරියන්ට සහය දෙන ජේලර්වරිය ද මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව අනියමින් හඟවයි. එහි තවත් වැදගත් කරුණක් තිබේ. මෙම ජේලර්වරිය මාරුකර යැවීමට කටයුතු කළ “අධිකරණ අමාත්‍යංශයට එරෙහිව” ද විරෝධතාකාරියන් සටන් පාඨ කියූ බව එහි සඳහන්ය. “අධිකරණයේ ලොකු ගෑනි අපට එපා” යන්න පුවතේ දැක්වෙන එක් සටන් පාඨයකි.

දොළොස් දෙනා

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි නීතිඥ තලතා අතුකෝරළ විසින් විවිධ බන්ධනාගාරවල නිලධාරින් 11 දෙනෙකු හා එක් නිලධාරිනියක වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකරන ලද්දේ පසුගිය අගෝස්තු පළමුවැනිදා ය. ඒ සඳහා මාධ්‍ය වෙත එවන ලද නිවේදනය අනුව නම් එහි අරමුණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර කිහිපයක් තුළ පූර්ණ විධිමත් තත්ත්වයට පත් කිරීමය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව “හොඳ” මට්ටමකට ගොඩ නැංවීම ද ඊට අයත්ය. මෙසේ “අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථානගත කළේ” නිලධාරීන්ගේ කාර්ය සාධන තත්ත්වය හා “පවත්නා තොරතුරු” පදනම් කරගෙනය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදුන් 12 දෙනා අතර මහර බන්ධනාගාරය භාරව සිටි, විශේෂ ශේණියේ බන්ධනාගාර අධිකාරිවරයෙකු වන ටී අයි උඩුකුඹුර ද වෙයි. ඔහු යවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය වෙතය. ඒ, දුෂණ චෝදනා මත නොවේ. “මහර හැදූ” නිසා “වැලිකඩ හැදීම” ඔහුගේ නව රාජකාරිය බවට පත්කර ඇති බව පෙනේ. බන්ධනාගාර මූලස්ථානයේ රාජකාරි කළ බන්ධනාගාර අධිකාරී යූ බී වලිසුන්දර ද මේ මාරු කළ 12 දෙනා අතර සිටී. පසුගිය මාසය අග දී ඇමතිනිය විසින් විසුරුවා හරින ලද බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධානියා වූ බව කියන්නේ මේ වලිසුන්දර නමැති නිලධාරියාය. දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින ඇතැම් සිරකරුවන් එහි සිටිමින් රටපුරා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන්නේ නම් , ඒවා සොයාගත නොහැකි බුද්ධි අංශයකින් පළක් නැතැයි , ඇමතිනිය එය විසුරුවා හැරියාය. එම බුද්ධි අංශයට ඊළඟට කරන්නේ කුමක්ද යන්න විමසූ විට ද ඇමතිනිය කියා තිබුණේ ඒවා මාධ්‍යවලට කිය කියා නොකරන බවය.

වෙලේ සුදා හා සුසෙයි

මේ සියල්ල පටන් ගන්නේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් දෙදෙනෙකු, එම ජාවාරම මෙහෙයවනු ලබන්නේ මරණ දඬුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටින “සුසෙයි” නැමැත්තා විසින් බව පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැවසීමත් සමගය. ඊට සමාන්තරව සිරිසේන ජනාධිපතිවරයා සිය අමාත්‍ය මණ්ඩලයට ප්‍රකාශ කර තිබුණේ මරණ දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටිමින් එළියේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා සිය අත්සන තබන බවය. එහිදී මත්ද්‍රව්‍ය වරදට මරණ දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් 18 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධ වූ අතර එහි “සුසෙයි” ගේ නම තිබුණේ නැත. ඔහු පමණක් නොව ඔහුගේ ගුරුන් යැයි සැලකෙන “වෙලේ සුදා” නැමැත්තාගේ නම ද තිබුණේ නැත. ඊට හේතුව ඔවුන් මරණ දඬුවමට එරෙහිව අභියාචනා කර තිබීමය.

මේ අතර හෙළිවූයේ පල්ලෙකැලේ බන්ධනාගාරයට අයත් නිවාඩු නිකේතනයක් “සුසෙයි”ගේ ඉල්ලීම මත ඔහුගේ හිතවතුන්ට නිවාඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් වෙන්කර දී ඇති බවය. ඒ අනුව පල්ලෙකැලේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරිණි. එහෙත් එය දූෂිත නිලධාරියෙකුව ආරක්ෂා කර ගැනීම සඳහා දුන් සාධාරණ නොවන දඬුවමක් බව දිවයින පුවත්පත පසුගිය බදාදා (08) වාර්තා කර තිබිණි. වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර අධිකාරිවරුන් හා ජේලර්වරුන් ඇතුළත් 12 දෙනෙකු මාරු කරන්නේ මෙම සිදුවීම් දාමයේ තවත් පියවරක් ලෙසය.

දිස්නා

මේ 12 දෙනාගේ ලැයිස්තුවේ අවසානයට සඳහන් වී තිබූ නම විශේෂිතය. ඒ, දෙයාකාරයකටය. පළමුවැන්න, ඒ ලැයිස්තුවේ සිටින එක ම කාන්තාව ඇය වීම නිසාය. දෙවැන්න, මා මුලින් කියූ ලක්බිම පුවත්පතේ ප්‍රධාන පුවතට සම්බන්ධ නිලධාරිනිය ඇය බව අනුමාන කළ හැකි නිසාය. මාරු කළ ලැයිස්තුවට අනුව ඇගේ නම, දෙවන පෙළ ජේලර් කේ පී ඩබ්ලිව් ඩී විජේකාන්ති ය. එහෙත් බන්ධනාගාර නිලධාරීන් හා නේවාසිකයන් ඇය හඳුනන්නේ දිස්නා කාරියවසම් නමිනි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය වැලිකඩ කාන්තා අංශයේ ප්‍රධානියා වන්නේ 2016 වසරේ දී ය. පසුගිය කාලයේ වැලිකඩ කාන්තා අංශය පිළිබඳ පුවත් ජනමාධ්‍යට විෂයය නොවූ තරම්ය. ඒ අතින් ගත්කල “ලක්බිම” පුවත වැදගත්ය. අනෙක් අතින් වැලිකඩ සිටි තවත් නිලධාරීන් දෙදෙනකු (බන්ධනාගාර අධිකාරී එම් එෆ් ලාෆීර් සහ පළමු පෙළ ජේලර් මොහාන් කරුණාරත්න) මාරුකර ඇතත් ඔවුන්ව තබා ගන්නැයි විරෝධතාවක් ඇති වූ බවක් අසන්නට නැත.

විරෝධතාව ඇති වූ බව කියන්නේ “දිස්නා කාරියවසම්” නිලධාරිනිය මාරු නොකරන ලෙස ඉල්ලමිනි. එම සිද්ධිය ද මාධ්‍යයෙන් වසන් කළ හැකිව තිබිණි. එහෙත් එය එළියට දමන්නේ බන්ධනාගාර අමාත්‍යංශයේ හෝ දෙපාර්තමේන්තුවේ ඇතුළේ කෙනෙකු ම විය යුතුය. ඔහු එය එළියට දමන විට මෙය “කුඩු අක්කලා” කළ විරෝධයක් ලෙස වර්ණ ගන්වා තිබේ. එම විරෝධය පෑ කාන්තාවන් දඬුවම් ලබන්නේ කුඩු ජාවාරමට ද, ගණිකා වෘත්තියට ද, මත්පැන් ව්‍යාපාරයට ද, වෙනත් වරදකට ද යන්න නිශ්චිතව කිව නොහැක. එහෙත් ඔවුන් “කුඩු අක්කලා” කීමෙන් දිස්නා කාරියවසම් නිලධාරිනිය ද කුඩු සමග සම්බන්ධ කර තිබේ.

මෙම නිලධාරිනිය ගැන පමණක් නොව, 12 දෙනා ම මාරුකළ හේතූන්, අමාත්‍යාංශය වෙන වෙන ම දක්වා නොතිබිණි. මේ මාරු කිරීම් කළ අවධියේ ම ඒ පිළිබඳ කතා කළ විට තලතා අතුකෝරළ අමාත්‍යවරිය, මා සමග පැවසුවේ මේ මාරු කිරීම් ප්‍රතිපත්තිමය තීරණයක් බවය. එවන්නක දී නිලධාරීන් කවුරුන්ද කියා බලා, තීරණ නොගන්නා බවත්, බන්ධනාගාරයේ යහපත තකා මෙය කළ බවත් ඇය සඳහන් කළාය. සාමාන්‍ය තත්ත්වයක් තුළ ඇගේ පිළිතුර බොහෝ සාධාරණය. පොලිස් දෙපාර්තමේන්තුව ද මෙවැනි මාරු කිරීම් සිදු කරයි. එහෙත් මේ වනවිට බන්ධනාගාරවල තත්ත්වය සුවිශේෂීය. මත්කුඩු හා පාතාලය සමග සම්බන්ධ වෙමින් ඇතැම් බන්ධනාගාර නිලධාරීන් දූෂිතයන් වී ඇති බවත් මහා ධන සම්භාරයක් රැස් කරගෙන ඇති බවත් පළවන වාර්තා නිසා, හොඳ නිලධාරීන් ඔවුන්ගේ ආරක්ෂාව සහ ගරුත්වය අපේක්ෂා නොකරන්නේ යැයි කිව නොහැක. මේ නිසා සියල්ලන් “කුඩු ගොඩට” වැටීමට ඉඩ සැලැස්වීම අනුමත කළ හැක්කක් ලෙස සිතිය නොහැක.

 

තවත් කාරණයක් වන්නේ මේ මාරු කිරීම්වලට මූලික වූ ප්‍රධාන කරුණක් ලෙස දක්වන්නේ “පවත්නා තොරතුරුය”. මේ තොරතුරු දෙන්නන් සිය විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා ද මෙය අවස්ථාවක් කර ගැනීමට ඉඩ නැතැයි කිව නොහැකිය. ඉහත කී දිස්නා කාරියවසම් නිලධාරිනිය ගැන අවධානය යොමුවූයේ වැලිකඩ ඇතිවූවා යැයි කියන විරෝධතාව පිළිබඳ පුවත නිසාය. මාරු කළ අනෙක් නිලධාරීන්ට ද කතාවක් තිබිය හැක.

කොමසාරිස්වරු

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහය ගත් කල එය පාලනය කරන ප්‍රධානියා වන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාය. වර්තමානයේ එම තනතුර හොබවන්නේ නිශාන් ධනසිංහ ය. ඊළඟට සිටින්නේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයාය. ඉන්පසු කොමසාරිස්වරු පස්දෙනෙක් සිටිති. පාලන, සැපයුම්, මෙහෙයුම්, පුනරුත්ථාපන හා කර්මාන්ත ලෙස ඔවුන්ට විෂයයන් පවරා තිබේ. දූෂිත බන්ධනාගාර නිලධාරින් පිළිබඳ කතාවේ දී ඉහළ ම නිලධාරින්, කොමසාරිස්වරුන් පිළිබඳ තවම කතාබහට ලක්වන්නේ නැත. බන්ධනාගාරයේ සිටින්නේ දූෂිත අධිකාරිවරුන්, දූෂිත ජේලර්වරුන් සහ දූෂිත නියාමකවරුන් පමණද? බොහෝ කොමසාරිස්වරුන්, මීට පෙර බන්ධනාගාර අධිකාරිවරුන් ලෙස කටයුතු කර තිබෙන අයයි.

මරණ දඬුවම නියම වී අභියාචනය කළ වරදකරුවන් රඳවා තැබෙන්නේ වෙනම වාට්ටුවකය. එහෙත් “වෙලේ සුදා”, “සුසෙයි” වැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒ වෙනම වාට්ටුවෙන් පිටස්තරව මෑතක් වනතුරු ම රඳවා සිටි බව වැලිකඩ බන්ධනාගාරයෙන් ඇසෙන කතාවකි. එය නිවැරදි නම් ඔවුන්ට වෙනම එළවළු ආදී ආහාර ලැබෙන අතර ඒවා උයා පිහාගෙන කෑමට ද පහසුකම් ලබා දී තිබේ. ඇතැම් ඉහළ ම නිලධාරීන් ඔස්ටේ්‍රලියාව වැනි රටවල සංචාරය කර ඇත්තේ ද මෙවැනි “විශේෂ සැප” ලබන ධනවත් හා බලවත් සිරකරුවන්ගේ මුදල්වලිනි. ඇතැම් විට විෂය භාර අමාත්‍යවරයාට පවා නොදන්වා විදේශගත වූ අවස්ථා ඇති බව තවත් කතාවකින් කියැවේ. මෙසේ ඇසෙන විදේශ ගමන් කතාවේ පදනමක් ඇත්නම් ඒවා ගැන පරීක්ෂණ ද යට වී තිබෙනවා මිස උඩ එන බවක් නොපෙනෙන්නේ ඇයි ද යන්න සෙවිය යුතුය.

ඇතැම් පෞද්ගලික ආයතන ලක්ෂ ගණන් මුදල්, බන්ධනාගාර සුබ සිද්ධිය සඳහා වන ව්‍යාපෘතිවලට ලබාදෙන බව සත්‍යකි. එහෙත් එවැනි ඇතැම් ව්‍යාපෘති ගැන නිසි ගණන් හිලව් නොමැති බව පවසමින් දූෂණ විමර්ශන අංශවලට පැමිණිලි ලැබී තිබුණ බව දන්නා හඳුනන විමර්ශන නිලධාරියෙක් මා සමග කිවේය. එවැනි පරීක්ෂණවලට ද සිදු වූයේ කුමක්ද යන්න සෙවීම ද බන්ධනාගාර හොඳ මට්ටමකට ගෙන ඒමට දරණ උත්සාහයේ දී ඇමැතිවරියට ප්‍රයෝජනවත් වනු ඇත. බන්ධනාගාර පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිදුකර එමගින් ද යම් තොරතුරු ලබා ගන්නවා විය හැක. එවැන්නක් සිදුවන්නේ නම් එහිදී නොසලකා හැරිය නොහැකි කාරණයක් පිළිබඳ මට අසන්නට ලැබිණි. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් ඉහළ ම නිලධාරින් අතර ඇති යාළු මිත්‍රකම්, සත්‍ය තොරතුරු විකෘති වීමට බලපෑ හැකි බවය.
මේ සියල්ල සැලකීමේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවුනා යැයි කියන “කුඩු අක්කලා” ගේ උද්ඝෝෂණය සත්‍ය වශයෙන් ම සිදු නොවුවක්ද විය හැකිය. එය එසේ නම් එහි අරමුණ කාන්තා අංශය භාරව සිටි අදාළ නිලධාරිනිය කුඩු ව්‍යාපාරයට සම්බන්ධ කිරීම ම පමණක් නොවන බව සිතිය හැකිය. ඇය සමග ඇමතිවරිය කෝප ගැන්වීම ද එහි කොටසක් විය හැකි බව අනුමාන කිරීම තාර්කිකය.

ශ්‍රී ලංකාව යනු මේ වනවිට දූෂණයෙන් මෙන්ම විනයෙන් ද පිරිහුණ රටක් බවට පත්ව තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද, ඒ යටතේ ඇති බන්ධනාගාර ද දූෂණ ඉහවහා ගිය තැන් බව නොදන්නා කෙනෙකු සොයාගත නොහැකිය. දූෂණයට එරෙහි නායකයෙකු පැමිණි විට සාමාන්‍යයෙන් එක්කෝ ඔහුට සිදු වන්නේ ඒ දුෂකයන්ගේ ගොදුරක් බවට පත්වීමට ය. නැතහොත් දුෂකයන් අතින් විනාශ වීමටය. මෙයින් අත්මිදීමට නම් මහා බල සම්පන්න බවක් විසින් ඔහුට ආරක්ෂාව සැපයිය යුතුව තිබේ.