රාවය

විපක්ෂනායකවරයෙක් ඕනෑ කර තිබේ

විපක්ෂනායකවරයෙක් ඕනෑ කර තිබේ

 

ලංකාවේ මේ මොහොතේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන තවත් වෙසෙස් මාතෘකාවක් වන්නේ විපක්ෂනායක ධුරය හිමිවියයුත්තේ කවරකුටද යන්නය. ආණ්ඩු පක්ෂය අබල දුබල වී තිබෙන අවස්ථාවක ශක්තිමත් විපක්ෂයක් තිබීම වැදගත්ය. එහෙත් ලංකාවේ බහුතරය හිමි විපක්ෂය අන්තවාදී විපක්ෂයකි. ඒකාබද්ධ විපක්ෂය නම් එහි 69 දෙනකු සාමාජිකත්වය දරන බැවින් එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකුට විපක්ෂනායක ධුරය හිමිවිය යුතුය යන්නය ඔවුන්ගේ තර්කය වී තිබේ. බහුතරය සිටියත් පොදුජන පෙරමුණ නමින් යුත් පක්ෂයක නියෝජිතයන් පාර්ලිමේන්තුවේ නැත යන්න ඊට එරෙහිව ඇති ප්‍රතිතර්කයයි.

විපක්ෂය යනු සංඛ්‍යාත්මකව ආණ්ඩුවේ බලයට පමණක් දෙවැනි වන කණ්ඩායම වන බැවින් කරුණු සලකා බලා ඒ පිළිබඳ තීන්දුවක් ලබාදෙන බව කතානායකවරයා අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි. විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලිය යුතු තල කිහිපයක් තිබේ. විපක්ෂනායක හා විපක්ෂ කණ්ඩායම පිළිබඳව ලංකාවේ තිබෙන අර්ථකථනය ඒ සා සප්‍රයෝජනවත් නැති බව පෙනේ. එමෙන්ම තාර්කිකද නැත. විපක්ෂය යනුද ආණ්ඩුකරණයට සහනුබද්ධ එක් ප්‍රධාන සංරචකයකි. එහෙත් එම අර්ථයෙන් ලංකාවේ විපක්ෂය වර නැගෙනු නොපෙනෙයි. මෙරට විපක්ෂයට ගොඩනැගී ඇති ප්‍රතිරූපයද වැරදි එකකි. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට අභියෝග කරමින් සිටීම නොවේ. අර්ථසම්පන්න විකල්ප පාලන ක්‍රමයක පිළිබිඹුවක්ද ඔවුන් වෙතින් දිස්විය යුතුය. එවැන්නක් සිදුවනවාද? නිදසුනක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමටත් පෙර එහි එකලස් නොකළ යෝජනා පමණක් සලකා බලා එය රට බෙදන ව්‍යවස්ථාවක් බව ප්‍රචාරය කිරීම විපක්ෂය කළ වැරදි මැදිහත්වීමකි. විපක්ෂනායක ධුරය නැතත් බහුතරය පෙන්වන විපක්ෂයේ කාර්යභාරය විය යුතුව තිබුණේ පාර්ලිමේන්තුව තුළ තර්ක කරමින් නව යෝජනා ඉදිරිපත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ඵලදායක මූලික නීතිය ලෙස සම්මත කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම් කිරීමය. එහෙත් විපක්ෂනායකත්වය සඳහා අරගල කරන කණ්ඩායම කළේ ව්‍යවස්ථා යෝජනා පිළිබඳ වැරදි අර්ථකථන ලබාදෙමින් රට ගිනි තැබීමට තැත් කිරීමය.

අනෙක් අතට මේ බහුතරය කියන පරිදිම දෙමළ සන්ධානයේ සම්බන්ධන් මහතාට විපක්ෂනායක ධුරය හිමිවීම අතාර්කික වුවත් එහි යම් විචිත්‍රත්වයක් තිබේ. විශේෂයෙන්ම විපක්ෂනායකවරයකුගේ ඉවසීම, විනය හා බුද්ධිමත්භාවය ඔහු සතු වූයේය. ලංකාවේ නිමා නොවුණු ජාතික අර්බුදයක් තිබියදී දෙමළ නායකයකු විපක්ෂනායකයා වීම ඔස්සේ ජාතික ප්‍රශ්නය විෂයෙහි ජාතීන් අතර නව සහයෝගීතාවකින් වැඩ කිරීමට සිංහල සමාජයට පුළුල් අවකාශයක් ලැබිණි. සම්බන්ධන් විපක්ෂනායක ලෙස රටේ ජාතික මට්ටමේ ප්‍රශ්නවලට කළ මැදිහත්වීම ප්‍රමාණවත් නැත. අනෙක් අතට ආණ්ඩුව වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන අවස්ථාවල විපක්ෂනායකවරයා ඒ ගැන විචක්ෂණශීලී නොවුණේය. ඔහු බොහෝවිට වැඩ කළේ ආණ්ඩුව සමග සහයෝගිතා ස්වරූපයෙනි. සමහර අවස්ථාවල ආණ්ඩුවේ නියෝජිතයකු සේය. ඊටත් හේතු තිබේ. එම පසුබැලීමෙහි ප්‍රධාන චූදිතයා ඒකාබද්ධ විපක්ෂයයි. මන්ද ඔවුහු පාලන බලයෙහි සිටි කාලයේ තදින්ම ජාතිවාදීව කටයුතු කළහ. ඉන් දෙමළ මුස්ලිම් ප්‍රජාව මහත් පීඩාවට ලක්වූහ. එවැනි කණ්ඩායමක් පරාජයට පත්ව එජාපය වැනි සුළු ජන කොටස්වලට ළැදියාවක් දක්වන පක්ෂයක් බලයට පැමිණි අවස්ථාවක වැරදි සිදුවුවත් ආරම්භක පියවරේදීම දෙමළ ප්‍රජාව ඔවුන්ට විරුද්ධ වේ යැයි සිතිය නොහැකිය. මන්දයත් යළි ජාතිවාදයේ පීඩනය වැළඳ ගැනීමට කිසිවකුත් කැමති නොවන බැවිනි. ළැදියාවන්වල ස්වභාවය එසේ වුවත් විපක්ෂනායකට තම වගකීම ඉටු නොකර සිටිය නොහැකිය. එය විපක්ෂයක බුද්ධි ක්‍රියාවලිය විෂයෙහි අවිෂයගතවීමක් බව කිව යුතුය. එමෙන්ම එය විපක්ෂය පාරාජිකා කිරීමට තුඩු දෙන්නකි. අනෙක් අතට ඒකාබද්ධය විපක්ෂනායක ධුරය ඉල්ලන්නේ එම ධුරයේ සාධනීය හා සංයුක්ත වගකීම ඉටුකිරීමට නොවේ. කෙසේ හෝ ආණ්ඩුව පෙරළා බලයට එනු පිණිසය. එය විපක්ෂයක නියත ක්‍රියාවලිය වුවත් විපක්ෂයක මහජන අවකාශය සැපිරෙන්නේ බලය ලබාගැනීමෙන් පමණක් නොවේ. විපක්ෂ සංස්කෘතිය වර නැගීමෙනි.

යහපාලනයට උදව් කළ ජනයා මතු නොව රටේ සියලු ප්‍රගතිශීලී කොටස් සම්බන්ධන්ට විපක්ෂනායක ධුරය හිමිවීම ගැන අකමැත්තක් නැත. ඒ, ජාතිවාදී නායකයකුට එම තනතුර හිමිවනවාට වඩා සම්බන්ධන් ඊට සුදුසු යැයි ඔවුන් කල්පනා කරන නිසාය. විපක්ෂනායකගේ කාර්යභාරයේ හරය විය යුත්තේ අර්ථවත් රාජ්‍ය පාලනයකට අවශ්‍ය විවේචන මෙන්ම මගපෙන්වීම් සිදුකිරීමය. ආණ්ඩුවක් ජනතාවගේ අතින් අල්ලාගෙන අගාධයකට යන ගමන වැළැක්වීමය. විශේෂයෙන්ම වැටෙන්නට යන අගාධය වෙනුවට අලුත් අගාධයකටත් ජනයා තල්ලු නොකිරීමය. ඒ සඳහා අප සොයාගත යුත්තේ විෂයගතව වැඩ කරන විපක්ෂනායකයෙකි. ඒ අතින් බලන විට සම්බන්ධන්ගේ අඩුපාඩු ඇතත් තවදුරටත් සංයුක්ත විපක්ෂනායකයකු ලෙස ඔහු පිළිගත හැකිය. විශේෂයෙන්ම ලොකු හානියක් නොකරන නායකයකු ලෙස ඔහුට ඒ සහතිකය පිරිනැමිය හැකිය. එහෙත් විපක්ෂ භූමිකාවේ වගකීම ඔහු තවදුරටත් අධ්‍යයනය කළ යුතුය. එහි සමාජ – දේශපාලන වගකීම් අනලස්ව අභ්‍යාස කළ යුතුය.