කුණුවීම ජයගැනීම

වික්ටර් අයිවන්

රෑ වැටුණු වළේ දවල් ද වැටුණු මිනිසකු සැලකිය යුත්තේ මෝඩයකු ලෙසය. ඒ වළේ නිතර නිතර වැටෙන මිනිසකු සැලකිය යුත්තේ සාමාන්‍ය මෝඩයකු ලෙස නොව උපරිම මෝඩයකු ලෙසය. වළක වැටීමත් මොළයට ලාභයක් බව කියා තිබෙන්නේ මා ඕ සේතුංය. වළක වැටීම මොළයට ලාභයක් විය හැක්කේ මොළේ තිබෙන කෙනකුට පමණය. මොළේ නැති කෙනකුට වළක වැටීම මොළයට ලාභයක් විය නොහැකිය.

රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම

දැන් ලංකාවේ රාජ්‍යයද එහි ආයතන ක්‍රමද තිබෙන්නේ එය යළි ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යාමෙන් තොරව එක අඩියක්වත් සාර්ථක ලෙස ඉදිරියට යා නොහැකි තරමට කුණුවූ තත්ත්වයකය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුනද, රාජ්‍යයේ හතරවැනි බලමණ්ඩලය ලෙස සැලකෙන ජනමාධ්‍යයද තිබෙන්නේ උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයකය. එම කුණුවූ තත්ත්වය විසින් රාජ්‍යයට ඇතිකර තිබෙන තවත් විශේෂ තත්ත්වයක් වනුයේ රාජ්‍යයේ පවත්නා එම කුණුවූ තත්ත්වය ක්‍රමය අභ්‍යන්තරයෙන් බලයට පත්වන කවර තරම් හොඳ රාජ්‍ය නායකයකුට වුවද වෙනස් කළ නොහැකි ගල් ගැසුණු තත්ත්වයක් ඇතිකර තිබීමය.

ක්‍රමය සකස් වී තිබෙන්නේම දූෂිත බලවේගයන්ගේ සහාය නැතිව කවර පුද්ගලයකුටවත් රාජ්‍ය නායකත්වයට පත්විය නොහැකි ආකාරයටය. දූෂිත බලවේගයන්ගේ ඇස් වසා බලයට පත්වන නායකයකුට වුවද එම බලවේගයන්ගේ සහාය නැතිව පාලනයක් පවත්වාගෙන යාමට ඉඩක් නැති ආකාරයටය. උපායිකව දූෂිත බලවේගයන්ගේද සහාය ඇතිව බලයට පත්වන නායකයකුට වුවද දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට එම බලවේගයන් ඉඩ දෙන්නේ නැත. මොනම රාජ්‍ය පාලකයකුටවත්, ව්‍යවස්ථාදායකයේ, විධායකයේ හා අධිකරණයේ සහාය නැතිව පාලනයක් පවත්වාගෙන යා නොහැකිය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුනම තිබෙන්නේ අන්ත දූෂිත තත්ත්වයකය. ඒ නිසා ක්‍රමය තුළින් බලයට පත්වන කවර රාජ්‍ය නායකයකුටවත් එම දූෂිත තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකිය. සාමාන්‍යයෙන් වනු ඇත්තේ බලයට පත්වන රාජ්‍ය නායකයා එම දූෂිත බලවේගයන්ගේ රුදුරු ගොදුරක් බවට පත්වීම හෝ ඔහු එම දූෂිත බලවේගයන්ට එරෙහිව ක්‍රියාකරන තැනකට ගියහොත් එම බලවේගයන් අතින් විනාශවීමය. එය ලංකාවේ රාජ්‍යයට අදාළව මේ මොහොතේ විසඳාගත යුතුව තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. රාජ්‍යයට අදාළ එම කේන්ද්‍රීය ප්‍රශ්නය විසඳාගත යුතු ක්‍රමය ලෙස පුනරුද ව්‍යාපාරය දකිනුයේ රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රධාන වගකීම රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය හිමි මහජනයා අතට ගනිමින් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාස ක්‍රමයක් මගින් රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමය.

සාමාන්‍ය යන්ත්‍රයකදී පවා එය දීර්ඝකාලීන පැවැත්මක් ඇති ලෙසට තනන ලද්දක් නොවන විට හා යන්ත්‍රයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය නඩත්තු කිරීම් නිසියාකාරව නොකර තිබෙන තත්ත්වයක් තුළ එම යන්ත්‍රය කිසියම් අවස්ථාවකදී නැවත ප්‍රයෝජනයට ගත නොහැකි අබලන් තත්ත්වයකට පත්විය හැකිය. එවැනි තත්ත්වයකට පත්වූ යන්ත්‍රයක් අලුත් අලුත්වැඩියා කිරීමට දරන උත්සාහයත් නිෂ් ප්‍රයෝජන උත්සාහයක් බවට පත්විය හැකිය. එවැනි අවස්ථාවකදී ගතහැකි නිවැරදි තීරණය වනුයේ තවදුරටත් ඵලදායී ප්‍රයෝජනයට ගත නොහැකි තරමට අබල දුබල තත්ත්වයකට පත්ව තිබෙන පරණ යන්ත්‍රය අත්හැර අලුත් යන්ත්‍රයකට මාරුවීමය. එය බුද්ධිමය අර්ථයෙන් ගතයුතු තීරණයකි. එවැනි තීරණයක් ගැනීමට අවශ්‍ය බුද්ධිමය හැකියාව නැති විට පරණ යන්ත්‍රය ක්‍රියාකාරීත්වයට ගැනීමට දරන උත්සාහය තුළ යන්ත්‍රය හිමි පුද්ගලයාගේ ජීවිතයද දුෂ්කර හා කාලකණ්ණි කිරීමට හේතුවිය හැකිය. මෙම ධර්මතාව පරණ අර්ථයෙන් ගැනෙන යන්ත්‍රවලට පමණක් නොව පරිගණක පද්ධති වැනි නවීන අර්ථයෙන් සැලකෙන යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයක් සහිත දේවලටද පොදුය.

දේශපාලන අර්ථයෙන් රාජ්‍ය සැලකෙන්නේද යන්ත්‍රයක් වශයෙනි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන බල මණ්ඩල තුන රාජ්‍යයේ ප්‍රධාන දැති රෝද තුන ලෙස සැලකිය හැකි අතර, එම දැති රෝද මනා පැවැත්ම රාජ්‍ය යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයේ හොඳ නරක කෙරෙහි බලපායි. රාජ්‍යයේ එම ප්‍රධාන දැති රෝද තුන යහපත් තත්ත්වයක පවතී නම් යන්ත්‍රයේ අනෙකුත් අප්‍රධාන දැති රෝද සියල්ල හෝ ඉන් සමහරක් අයහපත් තත්ත්වයක තිබුණද පරණ දැති රෝද ඉවත් කොට අලුත් දැති රෝද සවිකිරීමෙන් රාජ්‍ය යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කළ හැකිය. එහෙත් ප්‍රධාන දැති රෝද තුනේ තත්ත්වය ඊට වෙනස්ය. ඒවා එකිනෙක මත රඳා පවතින අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුතුය. ඒ සමස්ත රාජ්‍ය යන්ත්‍රය හසුරුවන ප්‍රධාන දැති රෝද වන නිසාම ඒවා හොඳටම අබල දුබල තත්ත්වයකට පත්ව ඇත්නම් රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යනවා මිස ඉන් මෙපිට කරන සරල පිළිසකරවලින් එම ප්‍රශ්නය විසඳා ගැනීමට හැකිවන්නේ නැත. මේ වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍යය තිබෙන්නේද රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යෑමෙන් මිස ක්‍රමය අභ්‍යන්තරයෙන් තේරී පත්වන රාජ්‍ය නායකයකුට රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගත නොහැකි තත්ත්වයකය.

රාජ්‍යයන් සේ ම එම රාජ්‍යයන්ගේ ස්වභාවය හා ක්‍රියාකාරීත්වය තීරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සැලකෙන්නේ කෙටිකාලීන පැවැත්මක් ඇති දේවල් වශයෙන් නොව, දීර්ඝකාලීන පැවැත්මක් ඇති දේවල් වශයෙනි. එහෙත් දීර්ඝකාලීන පැවැත්මක් ඇති එවැනි දේද දීර්ඝකාලීන පැවැත්මක් නැතුව කෙටි කාලයක් තුළ අවලංගු වන අවස්ථාද තිබිය හැකිය. නූතන රාජ්‍යයන්හි හා ඒවායේ ආණ්ඩුක්‍රම සම්ප්‍රදායයන්ගේද පැවැත්ම කෙරෙහි ඒවා ගොඩනැගෙන ඓතිහාසික වටාපිටාව, ඒවා තනා ගන්නා විශේෂ ස්වභාවය හා ඒවා නඩත්තු කෙරෙන ආකාරයද බලපායි.

බි්‍රතාන්‍ය ක්‍රමය

නූතන රාජ්‍යයන් හා ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් අතර දීර්ඝතම පැවැත්මක් හා පරිණාමයන් පෙන්නුම් කරන රාජ්‍ය ලෙස සැලකිය හැක්කේ බි්‍රතාන්‍ය රාජ්‍යයයි. එම රාජ්‍යයේ ඇතිවීම හා ඓතිහාසික පරිණාමය අවුරුදු 1400ක් තරම් පැරණිය. විධිමත් ලිඛිත ව්‍යවස්ථාවක් නැති නූතන ගණයේ ලා සැලකිය හැකි එකම රාජ්‍යය වන්නේද එයයි. එම රාජ්‍යයේ ව්‍යවස්ථාමය ලෙස සැලකෙන දෙයින් වැඩි පංගුවක් සැකසී තිබෙන්නේ සම්ප්‍රදායන්ගෙනි. ඉතිරි කොටස ලිඛිත මූලාශ්‍රවලනි. එහි ජාතිය ගොඩනැගී තිබෙන්නේ ජනවර්ග 6ක් ඒකාග්‍රවීමෙනි.
ඒකීය හා නම්‍ය භාවය (සාමාන්‍ය නීති සේ ම ව්‍යවස්ථාමය නීති පැනවෙන්නේ එකම ක්‍රමයකටය.) නීතියේ ආධිපත්‍යය, පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය, පාර්ලිමේන්තුව විධායක ක්‍රමයක් වීම, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකය, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ වැඩවසම් සම්ප්‍රදායක්ද පවත්වාගෙන යෑම බි්‍රතාන්‍ය ආණ්ඩු ක්‍රමයට ආවේණික වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

බි්‍රතාන්‍ය ආණ්ඩුක්‍රමය හා එහි ආණ්ඩුක්‍රම සම්ප්‍රදායයන් ඉතා පැරණි වුවත් එය අද දක්වා මහජනයාට එපාවී නැත. ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතත්, එහි මහජනයා ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින්නේද නැත. උත්තරීතර බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත්, පාර්ලිමේන්තුව අද දක්වා ඒ බලය වැරදි ලෙස පාවිච්චි කර නැත. බි්‍රතාන්‍ය රාජ්‍ය අද දක්වා ඵලදායී ආකාරයකින් ක්‍රියාත්මක වේ.

ස්විස් ක්‍රමය

ස්විස් රාජ්‍ය හා එහි ආණ්ඩුක්‍රමයටද අවුරුදු 700ක් තරම් දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේය. ඒ රටේ ඒකාබද්ධකරණය 1291න් ආරම්භ වී 1848න් අවසන් වූ දීර්ඝ ක්‍රියාවලියක් ලෙසද සැලකිය හැකිය. යුරෝපයේ පැරණිතම සමූහ ආණ්ඩුවලින් එකක් වන ස්විට්සර්ලන්තය සමූහාණ්ඩුවාදය ආත්මය කොටගෙන පවත්වාගෙන යන්නන් ලෙසද සැලකිය හැකිය. හැම කැන්ටනයකටම තම බල ප්‍රදේශය සඳහා තමන්ගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවත්වාගෙන යෑමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබේ. එහෙත් එම අයිතිය කැන්ටනයට ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි ඇති දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සහතික කරන්නේ නම් පමණය. ස්විස් ජාතිය ගොඩනැගී තිබෙන්නේ ජන වර්ගය, ආගම, භාෂාව හා කිසියම් ප්‍රමාණයකට ශිෂ්ටාචාරය අතින්ද වෙනස් ජනවර්ග හතරක ඒකාග්‍රතාවෙනි. එය ඉතා බලවත් ජාතික එක්සත් භාවයක් පවත්වාගෙන යන රාජ්‍යයක් ලෙසද සැලකිය හැකිය. එහි ඇති ආණ්ඩුක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අතිරේකව ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රමයක් ලෙස සැලකිය හැකිය. සමහර කැන්ටන්වල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයටද තවත් සමහර කැන්ටන්වල ඍජු ප්‍රජාතන්ත්‍රවාදයටද ක්‍රියාත්මක වේ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වන කැන්ටන්වල මහජන නියෝජිතයන් වෙනුවට සිටින්නේ මහජනයාය. එම බලප්‍රදේශයේ සම්පූර්ණ දේශපාලන අධිකාරිය පවත්වාගෙන යන්නේ කැන්ටනයේ මහජනයාය. එම කැන්ටන්වල රැස්වීම්වලට සියලුදෙනාගේ පැමිණීම අනිවාර්ය වන අතර සාධාරණ හේතු නැතිව දැනුම්දීමකින් තොරව නොපැමිණි අයගෙන් දඩ මුදල් අයකර ගන්නා ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ. එම කැන්ටන නීති සම්පාදනය කරන අතර කැන්ටනයේ මූල්‍ය කටයුතු හා පරිපාලනයද හසුරුවයි. ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාදායකය ඉක්මවා ගිය බලයක් මහජනයාට ඇත්තේය. එහි ජනතාව ජනමතවිචාරණය හා ප්‍රාරම්භනය යන ක්‍රම මගින් රටේ ව්‍යවස්ථා සම්පාදනයට ඍජු ලෙස දායක වෙති. හැම නීති සම්පාදනයක්ම ජනමතවිචාරණයකින් අනුමත විය යුතුය. නව ව්‍යවස්ථාවක් ඇතුළු ඕනෑම නීති සම්පාදනයක් ආරම්භ කිරීමේ බලය ජනතාව සතුය. පුද්ගලයන් ලක්ෂයකගේ අත්සන් සහිත පෙත්සමකින් නව ව්‍යවස්ථාවක් ආරම්භ කිරීමේ බලය ජනයා සතුය. එවැනි අවස්ථාවකදී එම කෙටුම්පත ජනමතවිචාරණයකට ලක් කළ යුතු අතර ජනමතවිචාරණයකින් ඊට මහජන අනුමැතිය ලැබේ නම් ව්‍යවස්ථාදායක විසුරුවා මැතිවරණයකට ගොස් තේරී පත්වන නව ව්‍යවස්ථාදායකය එම කෙටුම්පත පදනම් කරගත් නව ව්‍යවස්ථාවක් තනන තැනකට යායුතුය. ව්‍යවස්ථාදායකයට තේරී පත්වන නියෝජිතයන් නියමිත අත්සන් සහිත පෙත්සමක් මගින් ආපසු කැඳවීමේ බලයද මහජනයා සතුය.

ස්විස් ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන විධායක කමිටුව ලෙස සැලකිය හැකි සන්ධීය මහා මණ්ඩලය සිව් මසක කාලයක් සඳහා තෝරා ගනු ලබන සාමාජිකයන් හත්දෙනකුගෙන් යුතුය. ඒ අතරින් තෝරාපත් කරගන්නා එම මණ්ඩලයේ සභාපතිවරයා ස්විස් රාජ්‍යයේ ජනාධිපති වේ. ඔහුගේ නිල කාලය වසරකි. ඔහු වසරක කාලයක් සඳහා රටේ ජනාධිපතිවරයා වුවත් ඔහුට නිල නිවසක් තබා නිල වාහනයක්වත් ලැබෙන්නේ නැත. මෙම මණ්ඩලයේ සාමාජිකයන්ගේ වාර්ෂික වැටුප ස්විස් ප්‍රෑන්ක් 1100කි. ඊට අතිරේකව සභාපතිවරයාට (ජනාධිපතිට) වසරකට ස්විස් ප්‍රෑන්ක් 5000ක සංග්‍රහ දීමනාවක් ලැබේ. ස්විට්සර්ලන්තය තනි පුද්ගලයකු වෙත වෙනුවට මණ්ඩලයක් වෙත රාජ්‍ය බලය පවරා ඇති එකම ආණ්ඩුක්‍රමය ලෙස සැලකිය හැකිය. ස්විස් ක්‍රමය ගරු ගාම්භීරත්වයට හෝ බොරු ආටෝපයට ඉඩ නොදෙන ක්‍රමයකි. එම ක්‍රමයේ සරල හා චාම් බව තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් ප්‍රකට කියමනක් මෙසේය. දුම්රියේ තුන්වැනි පන්තියේ ගමන් කළේ මන්දැයි ස්විස් සන්ධීය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් විමසූ විට දී තිබෙන පිළිතුර වී ඇත්තේ හතරවැනි පන්තියක් නැති නිසා එසේ කළ බවය.

ඇමරිකන් ක්‍රමය

ඇමරිකා එක්සත් ජනපදය එහි ආණ්ඩුක්‍රමය හා ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් බිහිවන්නේ බි්‍රතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව එහි ජනපද 12න් කරන අරගලය ඔස්සේය. ඇමරිකන් ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රමය වසර 229ක් තරම් පැරණිය. වචන 7000කින් සමන්විත ඇමරිකන් ව්‍යවස්ථාව ලොව තිබෙන කෙටිම ව්‍යවස්ථාව ලෙස සැලකිය හැකිය. සුළු සංශෝධන සහිතව වසර 229ක් තිස්සේ පවතින මෙම ව්‍යවස්ථාවේ 1789දී පැවති මුල් කරුණු කිසිවක් වෙනස් කර නැත. ක්‍රමය තවමත් එහි මහජනයාටද එපාවී නැත.
ඇමරිකානු ජාතිය ගොඩනැගී තිබෙන්නේ ජන වර්ග විශාල සංඛ්‍යාවකිනි. එහි ලොකුම පංගුව සමන්විත වන්නේ පසුකලෙක ඇමරිකාව සොයාගෙන එහි පදිංචි වූ සංක්‍රමණික ජනයාගෙනි.

බලතල විභේදනය සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැක්කේ ඇමරිකන් ආණ්ඩුක්‍රමයයි. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන අවයවය වන්නේ කොංග්‍රසයයි. ජනාධිපති විධායකයේ ප්‍රධානියාය. ඔහු ජනතාව විසින් වක්‍ර ආකාරයකින් තෝරා පත් කරනු ලබන අතර ඔහු කොංග්‍රස් සභාවේ සාමාජිකයකු වන්නේ නැත. විශ්වාසභංග යෝජනාවකින් ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ නොහැකිය. ජනාධිපතිවරයාට කොංග්‍රස් සභාව විසුරුවා හැරිය නොහැකිය. ආණ්ඩුවේ සන්ධීය ස්වභාවය, බලතල බෙදීම ව්‍යවස්ථාවේ ආධිපත්‍යය සංවරණය හා තුලනය සඳහා ක්‍රමවේද යොදා තිබීම, අයිතිවාසිකම් සහතික කර තිබීම, අධිකරණ සමාලෝචනය, ජනාධිපති ක්‍රමය, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකය, සමූහාණ්ඩුවාදය හා මහජන ස්වාධිපත්‍යය ඇමරිකන් ආණ්ඩුක්‍රමයට ආවේණික වැදගත්ම ලක්ෂණ ලෙස සැලකිය හැකිය.

ඉන්දියානු ක්‍රමය

ඉන්දියානු ක්‍රමය, බි්‍රතාන්‍ය ස්විස් හා ඇමරිකාන් ක්‍රමයට වඩා වෙනස්ය. ඉන්දියාවද ඉතාමත් ශක්තිමත් පදනමක් මත ජාතිය ගොඩනගා ගත් රටක් ලෙස සැලකිය හැකිය. එහි ව්‍යවස්ථාව ලෝකයේ තිබෙන දීර්ඝතම ව්‍යවස්ථාවන්ගෙන් එකක් ලෙස සැලකිය හැකි වුවත් එය වසර තුනක් තරම් දීර්ඝ කාලයක් වාද විවාද කරමින් හා කරුණු සලකා බලමින් සකස් කරගත් ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාවේ වයස අවුරුදු 68කි. තවමත් ඒ රටේ ජනයාට එම ව්‍යවස්ථාව එපාවී නැත.
ලිඛිත හා විස්තරාත්මක ව්‍යවස්ථාවක් තිබීම, එකවිට එහි තිබෙන නම්‍ය හා අනම්‍ය ස්වභාවය, ඒකීය බව තුළ පවත්වාගෙන යන සන්ධීයභාවය, රාජ්‍ය ලෝකායත රාජ්‍යයක් වීම, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී ආධිපත්‍යය, මිනිස් අයිතීන් සුරැකීම, ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන අතිවිශාල බලය, කුල ගෝත්‍ර සම්බන්ධයෙන් විශේෂ විධි විධාන තිබීම, ඉන්දීය ආණ්ඩුක්‍රමයට ආවේණික විශේෂ ලක්ෂණ ලෙස සැලකිය හැකිය.

ලංකාවේ ක්‍රමය

නිදර්ශනයට ගත් රටවල් හතරේම රාජ්‍යයන් ඒ රටවල පිහිටීම, ඓතිහාසික සංවර්ධනය හා එහි පසුබිම, ජනතාවට තිබිය යුතු අයිතිවාසිකම් පරමාධිපත්‍ය බලය යනාදී කාරණා සැලකිල්ලට ගනිමින් ඒ රටවලට මහජන නායකයන් විසින් හෝ ක්‍රියාකාරී මහජනයා විසින් ගොඩනගා ගන්නා ලද නවීන රාජ්‍යයන් ලෙස සැලකිය හැකිය. බි්‍රතාන්‍යයේ ඇමරිකාවේ හා ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයකට බර තබන ආණ්ඩුක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ස්විට්සර්ලන්තයේ පමණක් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට බර තබන ලද ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

අපේ රටේ මුල් ආණ්ඩුක්‍රමය අපට ලැබුණේ බි්‍රතාන්‍යයන්ගෙනි. ලංකාව නිදහස ලබාගත්තේ නිදහස ලබාගැනීම සඳහා වන බලවත් මහජන උත්සාහයකින් තොරවය. නිදහස උත්සාහයකින් ලබාගත් දෙයකට වඩා තෑගි වශයෙන් ලැබුණු දෙයක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගැනීමක්ද සිදු නොවීය. ඒ නිසා පරණ පුරුදු ක්‍රමයට වර්ග, කුල හා ආගම් භේද සමාජය කෙරෙහිත්, දේශපාලන නායකයන් කෙරෙහිත් බලපෑවේය. නිදහස් අරගලයක් නොතිබීම නිසා පරිණත නායකයන් බිහිවීමක්ද සිදු නොවූ අතර රටට පොදු ජාතික දෘෂ්ටියක්ද උරුම නොවීය.

අපට නූතන ජාතික රාජ්‍යයට අදාළ සියලු දේ ලැබුණේ බි්‍රතාන්‍යයන්ගෙනි. එය තිබුණු ක්‍රමයට වඩා නවීනය. ඉතා වැදගත් දේ නිදහසේදී ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස නවීන සංස්කරණයක් ඇතිකර නොගැනීමය.

අපට මෙන් ඉන්දියාවටද නවීන ජාතික රාජ්‍යය ලැබුණේ බි්‍රතාන්‍යයන්ගෙනි. එහෙත් නිදහසත් සමග ඉන්දියාවට ලැබුණු ඒ ක්‍රමයේ නව සංස්කරණයක් ඇතිකර ගත්තේය. ඉන්දියාවටද අපට මෙන් බි්‍රතාන්‍යයන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ලැබුණේය. එහෙත් ඉන්දියාව තමන්ගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත්තා මිස බි්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු ව්‍යවස්ථාව කරගසා ගත්තේ නැත. ඉන්දියාව රාජ්‍යයට අදාළ බි්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු දායාද දෙස විවේචනාත්මකව කරුණු සලකා බලන තැනකට යමින් රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ඒවාහි අලුත් සංස්කරණයක් ඇතිකර ගත්තේය. අධිකරණ විෂයේදී පවා ඉන්දියාව බි්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු අධිකරණ ක්‍රමය සිය රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස වෙනස් කර ගත්තේය.

එහෙත් අපේ භාවිතය ඊට වෙනස් විය. ලංකාව බි්‍රතාන්‍යයන්ගෙන් ලැබී තිබුණු දායාද අවිවේචනාත්මකව කරගහගෙන යන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
රට කුණුවූ රටක් බවට පත්වීම

නිදහසේදී සමාජය සේ ම එහි නායකයන්ද නවීන වී තිබුණේ බාහිර වශයෙන් පමණය. අභ්‍යන්තරික හරය වැඩවසම් වී යැයි කිව හැකිය. අඩුම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමේ ශික්ෂණයවත් දේශපාලන නායකයන්ට තිබුණේ නැත. ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමුව ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කරන ලද්දේ එම ව්‍යවස්ථාවේ එන මූලධර්මවලට පටහැනිවය. ඉන්පසු බණ්ඩාරනායක අගමැතිවරයා 1956දී දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කළේද ව්‍යවස්ථාවේ එන මූලධර්මවලට පටහැනිවය. එවැනි බරපතළ වැරදි කරන්නට හැකිවූයේ බලයට පත්වන නායකයන් ආරක්ෂා කරන අධිකරණ ක්‍රමයක් වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන අධිකරණ ක්‍රමයක් අපට නොතිබුණු නිසාය.

ලංකාව තෑගි වශයෙන් ලැබුණු නිදහසෙන් පසුව සිය ගමන ආරම්භ කළේ නූතන සමාජයක් හා නූතන රාජ්‍යයක් සඳහා වන ශක්තිමත් අත්තිවාරමක් තනාගැනීමෙන් තොරවය. ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවීය. ඒ නිසා වර්ග, කුල, ආගම් භේද සමාජය කෙරෙහි පමණක් නොව අපේ ජාතික නායකයන් කෙරෙහිද බලපෑවේය. සමාජය ඒකාග්‍ර කිරීමක් සිදු නොවූවා සේ ම ජාතික නායකයින් පොදු ජාතික දෘෂ්ටියකින් එකට බැඳුණු පරිණත අය නොවීය. කැබලි වෙන්නට නියමිතව තිබූ ඒකාග්‍ර නොවූ ජාතියට ඉදිරි ගමන සඳහා අවශ්‍ය පොදු මාර්ග සිතියමක්ද නොවීය.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ දියුණුව හා නවීනත්වය කරා යන රාජ්‍යයක් හා සමාජයක් වෙනුවට අශීලාචාරත්වයක් කරා යන රාජ්‍යයක් හා සමාජයක් ඇතිවීමය. නිදහස ලැබී වසර 10කට පසුව එක ලේ බිඳුවකුදු නොසෙල්වා නිදහස ලබාගත් රට වර්ගවාදී කලකෝලාහලවලින් පිරුණු රටක් බවට පත්විය. ඉන් තවත් අවුරුදු 20කට පසුව ප්‍රචණ්ඩ ගැටුම්වලින් පිරුණු දීර්ඝ කාලයක් තුළ මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්විය. අවුරුදු 30ක් තරම් දීර්ඝ එම අශීලාචාර කාලය තුළ තොග ගණනින් මිනිසුන් ඝාතනයට ලක්වූවා පමණක් නොව පුද්ගලයා, පවුල හා සමාජයද රාජ්‍ය හා රාජ්‍ය ආයතන ක්‍රමද මුළුමනින් විකෘති විය. රාජ්‍යය මාංශ භක්ෂක හා චෞර රාජ්‍යයක තත්ත්වයට පත්විය. පොදු වස්තුව කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්විය. දැන් ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ උපරිම මට්ටමට කුණුවූ තත්ත්වයකය. සමාජය තිබෙන්නේද කැරලිකරුවන් හා කැරලි මර්දනකරුවන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මුදාහරින ලද කෲරත්වයෙන් හිරිවැටුණු හා විකෘති තත්ත්වයකය.

දැන් ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ ප්‍රතිනිර්මාණය කරගැනීමකින් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. ලංකා රාජ්‍යය කුණුවී තිබෙන තරම අනුව ක්‍රමය අභ්‍යන්තරයෙන් බලයට එන කවර රාජ්‍ය නායකයකුටවත් එම තත්ත්වයෙහි විපර්යාසයක් කිරීමට හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ඇත්ත විපර්යාසයක් සඳහා පෙනී සිටින පුද්ගලයකුට බලයට පත්වීමට දූෂිත බලවේගයන් ඉඩ දෙන්නේ නැතත් ප්‍රාතිහාර්යයක් බඳු දෙයකින් එවැනි පුද්ගලයකු බලයට පත්වුවද රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුළ තිබෙන දූෂිත තත්ත්වය තුළ එවැනි විපර්යාසයකට ඉඩක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා මේ මොහොතේ ජනතාවගේ සේ ම බුද්ධිමතුන්ගේද අවධානය යොමුවිය යුත්තේ ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ගැන නොව ලංකාව ඇද වැටී තිබෙන මෙම දහජරා තත්ත්වයෙන් රට ගොඩගත හැකි ප්‍රායෝගික විකල්ප ක්‍රමයක් ගැනය.
මේ අර්බුදය ජයගැනීමට නම් මහජනයා ජාලගතවී හා මහජන සංවිධාන එකට එකතු වී ස්විට්සර්ලන්තයේ මෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වෙනුවට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන ක්‍රමයක් මගින් රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරන තැනකට යායුතුයි කියන විකල්ප අදහස පුනරුදය ව්‍යාපාරය රටට ඉදිරිපත් කර තිබෙන්නේ ඒ හැර මේ අර්බුදය ජයගැනීමට අන් ක්‍රමයක් නැති නිසාය.

රාජ්‍යයන් හා නවීන ආණ්ඩුක්‍රම බිහිකර තිබෙන්නේ මහජනයාය. බොහෝ විට එසේ කර තිබෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නොව ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන ක්‍රමයකටය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ඉඩදී තිබෙන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නගන ක්‍රමයක් මගින් නවීන රාජ්‍ය හා ඒ සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසුවය. නවීන රාජ්‍යයන් හා ආණ්ඩු ක්‍රම ඇති කිරීමේ හැකියාව හා අයිතිය මහජනයාට තිබේ නම් කිසියම් රාජ්‍යයක් කුණුවූ තත්ත්වයකට පත්වූ විට ක්‍රමය ඇතුළතින් බලයට පත්වන නායකයාට හෝ ව්‍යවස්ථාදායකයට රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීමට හැකියාව නැති විශේෂ ඓතිහාසික අවස්ථාවකය. නව රාජ්‍යයක් හා ආණ්ඩු ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය හා බලය ඒ රටේ ජනතාවට තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහජනයාටය. රාජ්‍ය එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තරමට කුණුවී ඇත්නම් එම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට වෙනත් විකල්ප ක්‍රමද නැති නම් මහජනයා තමන්ට තිබෙන පරමාධිපත්‍යය බලය සාමකාමී ලෙසත්, විනයගරුක ලෙසත්, නිර්මාණශීලී ලෙසත් යොදා ගන්නා හා අභ්‍යාස කෙරෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් පිහිටුවා ගන්නා තැනකට යෑම මුළුමනින් යුක්තිසහගතය.

ලංකාවේ තිබෙන විශේෂ තත්ත්වයක් අනුව සමාජයේ ඇතිවී තිබෙන දෝෂ දුරු කොට රටේ වර්ග, කුල, ආගම් භේදයන්ට හා මිථ්‍යා විශ්වාසයන්ට තිබෙන පිළිගැනීම දුර්වල කොට ජාතිය ඒකාග්‍ර කිරීමට හේතුවන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට හා සමාජය නවීන හා බහුත්වවාදී සමාජයක් බවට පත්කිරීමට හැකිවනු ඇත්තේද මහජනයා රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් ඔවුන්ට තිබෙන පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන තැනකට යොමු කිරීමෙනි.

රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම හා එම තත්ත්වය ජයගැනීම සඳහා පුනරුද ව්‍යාපාරය ඉදිරිපත් කරන ක්‍රමවේදය වැරදි නම් හෝ ඒ සඳහා යොදාගත හැකි හොඳ ක්‍රමවේදයක් තිබේ නම් එය පෙන්වාදීම අදහස් පළකරන්නන්ගේ යුතුකමක් හා වගකීමක් වේ.