රාවය

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට කළහැකි දේ කුමක්ද?

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට කළහැකි දේ කුමක්ද?

දිලීෂා අබේසුන්දර

කවා පොවා ඇති දැඩි කළ තම ආදරණීය දරුවන් ගැන වසර ගණනාවක් මුළුල්ලේ කිසිදු හෝඩුවාවක් නොමැතිව අසරණ මව්වරුන්ට උදේ දවල් රෑ මහ පාරේ ලගින්නට සිදුවීම තරම් තවත් ඛේදවාචකයක් ඇද්ද? එහෙත් යථාර්ථය මෙයයි. අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කරන ලද උපවාසයට පිළිතුරු නොමැතිවම වසරකුත් මාස දෙකක කාලයක් ගතව තිබේ.

ඔවුන් තවමත් ඉල්ලන්නේ තම ප්‍රියයන් පිළිබඳ පිළිගත හැකි තොරතුරකි. අවාසනාව නම් ඔවුන් එම පිළිතුරක් අපේක්ෂාවෙන් සිය කතිරය ගසා බලයට පත්වූවන්ගෙන්ද තවමත් පිළිතුරක් නොලැබීමය.

වත්මන් රජය ඒ සඳහා යම් හෝ උත්සාහයක් නොගත්තේ යැයි කිවහොත් එය අසාධාරණයකි. එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එකඟතාව පළ කළ පරිදි අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) නීතිගත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. එහෙත් යම් ආකාරයක සංහිඳියා යාන්ත්‍රණයක් සාර්ථකව ක්‍රියාත්මක වීමට නම් ඒ සම්බන්ධයෙන් වන මහජන විශ්වාසය ප්‍රමුඛ විය යුතුය.

එහෙත් අතුරුදන්වූවන්ගේ අරගලය පුරාම එම ඥාතීන් විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත තම විරෝධය දැඩි ලෙස ප්‍රකාශයට පත්කොට තිබුණි. කාලය පුරාම ඔවුන් බලාපොරොත්තු වූ ලෙස රජය කිසිදු පියවරක් නොගෙන තිබීම පිළිබඳව මෙම පිරිස් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින අතර අතුරුදන්වූවන්ගේ කාර්යාලය වෙත තම විශ්වාසය පළකිරීමට කිසිසේත් එකඟ වූයේ නැත. මේ අතර OMP  වෙත නැවත වරක් අවස්ථාව ලබා දිය යුතුය යන මතයේ සිටින පිරිසක්ද වෙයි. ආණ්ඩුවද බොහෝ විට ඔවුන්ගේ විශ්වාසය කඩවන අයුරින් කටයුතු කරනු පෙනෙයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කරගත් සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත අතීතයට බලනොපායි. එසේ නම් අතීතයේ සිදු වූ අතුරුදන්වීම් පිළිබඳ යුක්තිය ඉටුවන තෙක් ගිනි අව්වේ මහ පාරේ සිටින සමීපතමයින්ට ලැබෙන නියම පිළිතුර කුමක් ද? ඊටත් වඩා දැන් යුද්ධය නිමා වී වසර නමයක් ව තිබියදීත් යහපාලනයටද වසර තුනක් ඉකුත්ව තිබියදීත් දින ගනිමින් මේ ජීවිත තවමත් මහ පාරේ ය.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ගැන උතුරේ යාපනය, කිලිනොච්චි සහ වව්නියා යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පවතින සැබෑ මතය කුමක්ද යන්න දැනගැනීමේ අරමුණින් අපි එහි සංචාරය කළෙමු.  OMP  එකට අකමැති අය මෙන්ම කැමති අයද සිටින බව එහිදී අපට පෙනී ගියේය. යාපනයට අප යන විට කලින් දවසේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් දියත් කරන ලද උපවාසය නතර වී තිබුණෙන් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් හමුවී සාකච්ඡා කරන්නට අපට සිදු විය.

යාපනය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ මාපිය භාරකාර සංගමයේ සභාපතිනිය වන කමලනායගී තුරෙයිසිංහම් (72) අම්මා වාසය කරන්නේ නැගෙනහිර කච්චේරි පාරේ පිහිටි සිය නිවසේ තනිවම ය. ඇයගේ තනි නොතනියට ඉන්නේ කුඩා බලු පැටවකු පමණි. 1996 අගෝස්තු මස 15 වැනිදා ඇගේ පුතා සෙන්දිල්නාදන් අතුරුදන් වන විට ඔහුගේ වයස අවුරුදු දහනමයක් පිරුණා පමණි.

“පුතා ගෙදර ඉඳලා ටියුෂන් යද්දි ආමි එකේ කට්ටියක් එයාට කතා කරලා එක්කගෙන ගිහින් තියනවා. ආමි එකේ අයත් එක්ක පුතා යනවා දැකපු අය හිතලා තියෙන්නේ අඳුනනකමට කතා කරලා එක්ක යනවා කියලයි. ඒ දවස්වල හවස හයට ඇඳිරි නීතිය දානවා. හය වෙනකනුත් පුතා ගෙදර ආවෙ නැහැ. ඒ කාලේ මේ වගේ දුරකථනත් නැහැ. පස්සෙ මම ඉස්සරහ තියන ආමි කෑම්ප් එකෙන් ගිහිල්ල ඇහුවා පුතා ගැන. එයාල දන්නේ නැහැ කිව්වා. එදා ඉඳන් දන්න හැම තැනකම පුතාව හෙව්වා. කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. යන්න පුළුවන් හැම තැනකටම ගියා. විස්තර දෙන්න කියපු හැම තැනකටම දුන්නා. ඒත් කිසිම දෙයක් වුණේ නැහැ. පරණගම කොමිසමටත් විස්තර දුන්නා. අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැනත් හිතන්න වෙන්නේ එහෙම තමයි. ඒ ගැන මට කිසි විශ්වාසයක් නැහැ. හැමදාම පරීක්ෂණවලට කියලා යනවා එනවා විතරයි. මොකවත් වුණේ නැහැ. මට සල්ලිවත් වෙන කිසි දෙයක්වත් එපා. මට ඕනේ පුතාව.”

පුතුගේ අතුරුදන්වීමෙන් වසරකට පසු කමලනායගී අම්මාගේ සැමියා හෘදයාබාධයකින් මිය ගියේය. අහිමි වූ පුතුත් සමග ඇයට දරුවන් පස්දෙනකි. ඉතිරි දරුවන් හතර දෙනාම දැන් වාසය කරන්නේ පිටරට යි. තවමත් මේ මව ලංකාවේ බලා සිටින්නේ තම පුතු එනතුරුයි.

කොකුවිල්වල වාසය කරන සිය දියණිය අහිමි වූ තවත් එවැනි මවක් අපට මුණගැසුණි. ඇය 43 වියැති කෝනේෂ්වරන් පුෂ්පරාජියි. 2009දී පුදුකුඩුඉරිප්පුවල පැවති දරුණු යුද්ධය අවස්ථාවේ ඉරණපාලෙයිවලදී ආරක්ෂාව පතා හමුදාව වෙතට ඇගේ පවුලම දිව යද්දී වැදුණු ෂෙල් වෙඩි පහරකින් ඇගේ සැමියා මරුමුවට පත් වන අතර ඇයද දරුණු ලෙස තුවාල ලබයි. එහිදී ඇගේ වැඩිමහල් දියණිය අතුරුදන් වී තිබේ.

“දුව වව්නියාවේ කෑම්ප් එකක හිටිය කියල සමහරු කිව්වා. ඒ හැම තැනකම මම ගිහින් හෙව්වා නමුත් කිසිම විස්තරයක් නැහැ. මමත් තුවාල වෙලා හිටපු නිසා මගේ මානසික මට්ටමත් හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. දුව ගැන මට හරිම දුකයි. එයා ගැන තොරතුරක් හොයලා දෙන්න කියලා තමයි මම කියන්නේ. OMP  කාර්යාලය ගැන මගේ විශ්වාසයක් තියෙනවා. ඒ හරහා මගේ දුව හොයාගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඒ කාර්යාලයෙන් මෙහාට ආව අයට මම ඔක්කොම තොරතුරු දුන්නා. අපේ ප්‍රශ්න ඒ අය දැනගන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ.

පුෂ්පරානිගේ දරුවන් දෙදෙනෙක් විවාපත්ව සිටි. එක් දරුවෙක් උසස් පෙළ හදාරයි. දැඩි අසනීපෙන් සිටියත් අනෙක් දරුවන් දෙදෙනා ගේ කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ ඇයටයි. මේ නිසා ඇය නිවසක උයන පිහන කටයුතු වල යෙදෙන අතර මසකට ඇයට ලැබුණේ රුපියල් 12, 000 ක වැටුපකි. එහෙත් ඇගේ වෛද්‍ය වාර්තා දෙස බැලූ විට වැඩපලවල නිරත වීමට ඇයට හැකියාවක් නැත. බෙහෙවින් අසරණ වී සිටින ඇය දියණිය සොයා ගැනීම සඳහා OMP  එකේ සහය පතන මවකි.

අනතුරුව අප පැමිණියේ කිලිනොච්චි දිස්ත්‍රික්කයටයි. යෝගරාජා කනකරංජනී (57) උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ පවුල්වල සංවිධානයේ සභාපතිනියයි. 2009 මුල්ලිවයික්කාල් වලගුමඩම් හිදී 21 වියැති ඇගේ පුතා වන යෝගරාසා අමලන් අතුරුදන් වන විට ඔහුගේ වයස අවුරුදු 21 කි.

“ඒ ලෙවල් ඉවර කරලා පුතා කිලිනොච්චිවල පුද්ගලික ආයතනයක වැඩ කළා. එක ගෙදරකින් කෙනෙක් එල්ටීටීඊ එකට ඕනේ කියන නිසා පුතාව අරගෙන ගියා. දිස්ත්‍රික්කය පුරාම ළමයිව ඒ වගේ බලෙන් අරගෙන ගියා. 2009 මාර්තු මාසේ අන්තිමට මම මුල්ලිවයික්කාල්වලට ගිහින් පුතාව හම්බ වුණා. පස්සෙ පුතා ආමි එකට බාර වුණා. පස්සේ පුතා ගැන කිසිම තොරතුරක් නැහැ. එල්ටීටීඊ එකේ අය කියලා තියෙනවා පුල්මුඬේ කෑම්ප් එකේ පුතා ඉන්නවා කියලා. පීටර් කෙනසන් ලංකාවට ආව වෙලාවෙ ගත්ත ෆොටෝ එකකත් පුතා හිටියා. ඒත් තාම පුතා ගැන තොරතුරක් දෙන්නේ නෑ.”

කනකරන්ජනී ලා ඉල්ලන්නේ අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවක් එළිදක්වන ලෙසය. එසේ වුවහොත් එය නිල වශයෙන් පිළිගැනීමක් වනු ඇත. OMP  කාර්යාලය සම්බන්ධයෙන් ඔවුන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණත් ආණ්ඩුව ඒ කිසිවක් ක්‍රියාත්මක නොකළ බව ඇය පවසන්නීය.

2006 ජූනි වල zonel task force  එකෙන් ඇවිත් අතුරුදන් වුණු අයගේ විස්තර ගත්තා. යුද්ධයෙන් පීඩාවට පත්වුණ පවුල් මුණගැහුණා. අතුරුදන් වුණ අය ගැන සේරම ලේඛන අපි ඒකට බාර දුන්නා. චන්ද්‍රිකා මැතිනිය තමයි ඒක බාරව හිටියේ. ඒත් තාම මුකුත් කිව්වේ නැහැ. පරණගම කොමිසම මානව හිමිකම් කොමිසම ඇතුළු හැම තැනකටම අපේ දරුවෝ ගැන අපි විස්තර දීලා තියෙනවා.   OMP  එකට දෙමළ කතා කරන තුන් දෙනෙක් ඇතුළත් කරන්න කියලා අපි ඉල්ලුවා. ඒ වගේම අතුරුදන් වුණු අයගේ ඥාතීන්ව ඒකෙ සාමාජිකයෝ කරන්න කියලත් කිව්වා. ඒ වුණාට ආණ්ඩුව ඒව සේරම නොතකා හැරලා තමයි කටයුතු කළේ. ඒ වගේම  OMP කාර්යාලයේ ආමි එකෙන් විශ්‍රාම ගත්ත එක්කෙනෙක් ඉන්නවා. එතකොට කොහොමද අපි විශ්වාස කරන්නේ? ඒකේ ඉන්න අය ගැන අපිට විශ්වාසයක් නැහැ.

ගිය අවුරුද්දේ ජනාධිපති එක්කත් කතා කරද්දී අපේ ප්‍රශ්නවලට අනිවාර්යයෙන් උත්තර දෙනවා කියලා ජනාධිපති කිව්වා. අද වෙද්දි ජනාධිපතිතුමා කියනවා ආමි එකේ අයට දඬුවම් දෙන්නේ නැහැ කියලා. එතකොට අපි කොහොමද අපේ දරුවෝ ගැන පිළිතුරක් ගන්නේ. ජනාධිපතිතුමාටත් කරන්න බැරිනම් ඕඑම්පී එකට කොහොමත් කරන්න බැහැ. අතුරුදන් වුණු අයගේ නම් ලැයිස්තුවක් ඉස්සෙල්ලා එළියට දාන්න එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන්.”
අතුරුදන්වූවන් ලෙස හැඳින්වීම වැරදිසහගත බවත් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කරපු අයත් විශාල පිරිසක් සිටින නිසා අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නමට බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින් අතුරුදන් කළ කියන වචනය එක් කළ යුතු බවද ඇය කීවාය.

ආමි කෑම්ප්වල අපේ පුතාලා දුවලා ඉන්නවා. අතුරුදන් වුණු අයගේ වගේම ආබාධිත අයගේ ලැයිස්තුවක් දාන්න. මගේ පුතා අඳුනගන්න මට පුළුවන්. අතක් කකුලක් නැතිවෙලා හිටියත් කමක් නැහැ අපි බලාගන්නම්. අපේ දුවලා පුතාලා එක්ක දවසක් හරි ඉන්න ඕනේ.”
වව්නියාවේ නගරයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ උපවාසයට දින පන්සිය ගණනක් පිරී ඇත. පාර අයිනේ එහි නිසොල්මනේ එක් තැනවල අතු සෙවිලි කළ කුඩා මඩුවක වාඩි වී සිටින අම්මා කෙනෙක් ළඟට ගියෙමි. මේ අම්මාගේ නම වේලු පාක්‍යම් (64) ය. 2009 මැයි මාසයේදී කුලී වැඩට යද්දි ඕමන්තේ හිදී හමුදාව විසින් ඇගේ පුතාගෙන් ප්‍රශ්න කර රැගෙන ගොස් ඇති බව ඇය පවසයි. අද වන තෙක් පුතා පිළිබඳව හෝඩුවාවක් නැත.

වේලු අම්මා කියන විදිහට අතීතයේ සිදුවූ අතුරුදන්වීම්වල වගකීම ගන්නේ කවුරුන්ද? අතුරුදන්වූවන්ගේ කාර්යාලයට මේ මිනිසුන්ට යුක්තිය ඉටු කරන්නට හැකි වෙයිද? එසේ නම් ඔවුන් පීඩාවට පත්වූ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නෙ කෙසේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන තාක්කල් සංහිඳියාවක් ගැන සිතීම සිහිනයක් පමණි.

කාර්යාලයට තව බලතල ඕනෑ
උතුරේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන්

පරණගම කොමිසමේ වාර්තාවට වෙච්ච දේම ඕඑම්පී ක්‍රියාවලියටත් නොවෙයි කියන්න රජයට සහතික වෙන්න පුළුවන්ද? “අතුරුදන් කරන ලද අයවලුන් සොයා ගැනීමේ කාර්යාලය ස්ථිර වශයෙන් පිහිටුවන ලැබු කාර්යාලයක්. ඒත් එය ජනතාව විසින් බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එය ක්‍රියාත්මක කරන්නේ අපේ ජනතාව සිතුවිලි පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයෙක්. ඒත් මෙමගින් පමණක් කාර්යාලය යහපත් අයුරින් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ.”
“අතුරුදන්වූ අයවලුන්ට සිදුවුයේ කුමක්ද යන්න සොයා ගැනීමට පුළුවන්. ඒත් ඔවුන්ට දඬුවම් ලබාදීම හැකියාවක් නැහැ. මේ සඳහා මෙම කාර්යාලය බලතල පවතින කාර්යාලයක් වශයෙන් වෙනස් කිරීමට හැකියාව තිබෙනවා. එසේ නොකළහොත් මෙම කාර්යාලය මගින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ.”

මේක අපරාධ විමර්ශනයක් නොවෙයි
අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

 

OMP කාර්යාලය පිහිටවුයේ අතීතයේ සිදුවූ අතුරුදන් කිරීම් පිළිබඳව සොයා බැලීමට පමණක් නොවෙයි. අනාගතයේදී නැවත මෙවැනි දේ සිදුවීම වැළැක්වීමයි.  OMP කියන්නෙ අපරාධ විමර්ශනයක් පවත්වන ආයතනයක් නෙවෙයි. ඒත් ප්‍රතිපාදනයක් තියෙනවා අපේ විමර්ශනවලින් අපරාධ වරදක් වෙලා තියෙනවා කියලා අනාවරණය වුණොත් පොලිසියට හෝ නීතිපතිට අදාළ සීමිත තොරතුරු ලබාදෙන්න අපිට පුළුවන්. එතැන් සිට අපරාධ විමර්ශනය පවත්වන එක වෙනත් ආයතන විසින් සිදු කෙරෙන්න ඕනෙ.
අපට පැවරිලා තියෙන තවත් වගකීමක් තමයි මේ අතුරුදන් වූ අයගේ පවුල්වලට සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් අවශ්‍ය සහන රජයට නිර්දේශ කිරීම. උතුරු නැගෙනහිර බොහෝ අය කියන දෙයක් තමයි අපට සල්ලි ඕන නැහැ, අපිට වන්දි ඕන නැහැ අපිට ඕනේ ඇත්ත දැනගන්නයි යුක්තිය ලබාගන්නයි කියලා. උතුරු නැගෙනහිර සමහර අය ප්‍රසිද්ධියේ නොකිව්වත් නිල නොවන මට්ටමින් කියනවා ආර්ථික වශයෙනුත් අපි පිරිහිලා ඉන්නේ කියලා ඒ සඳහාත් අපිට සහන අවශ්‍යයි කියලා. මේ නිසා වන්දි ප්‍රතිපූරණය කිරීම පිළිබඳ කාර්යාලයක් ඇති වෙනවා. එම කාර්යාලයත් එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා වන්දි නිර්දේශ කරන්න. ඒ වගේම මෙවැනි දේ නැවත ඇති නොවෙන්න සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.