රාවය

අතුරලියේ රතන හිමි කුමකට සැරසෙන්නෙහිද?

අතුරලියේ රතන හිමි කුමකට සැරසෙන්නෙහිද?

විපුල කරුණාතිලක

රතන ස්වාමීන්වහන්සේ පසුගිය සතියේ රාවයට සේරම දූෂිතයන් නිසා නව සමාජ ක්‍රමයක් ඕනෑ නම් මාතෘකාවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබුණි. සාකච්ඡාවෙන් උන්වහන්සේ මතුකර තිබුණේ දැනට දේශපාලනයට හසුනොවන පිරිසක් (භාවනා කරන, සංගීතයට සවන් දෙන හා යෝග කරන) සමග එක්ව නව දේශපාලන බලපෑම් ව්‍යාපෘතියක් ගොඩනංවන බවය. චම්පික රණවක මහතාට තවදුරටත් රතන හිමි සමග ඉදිරි දේශපාලනයක් නොමැති නිසා රතන හිමිගේ උපයෝගීතා අගය අඩුවීම නිසා ඒ හිමියන්ගේ දේශපාලන අනන්‍යතාව දැඩි අර්බුදයකට පත්වී ඇත. ඒ සඳහා උන්වහන්සේ චම්පික රණවක මහතාට අතපෙවීමට නොහැකි පිරිසක් සමග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සිදුවීම පුදුමයක් නොවේය. 1987 සිට අද දක්වාම සමාජයේ අදේශපාලනික දේශපාලනික කොටස විවිධ මතවාද ඔස්සේ තම දේශපාලන බල ව්‍යාපෘතිය සමග බද්ධ කොට අවසානයේ ඔවුන්ගේ සාරය උරාගෙන ඉවත දැමීම රතන හිමිගේ සාමාන්‍ය සම්ප්‍රදායය. අවසානයේ මේ ව්‍යාපෘති සඳහා බිලිවෙන අයට සිදුවන්නේ සමාජයට මුහුණදීමට බැරි තත්ත්වයකට පත්වීමය. මෙයට හොඳම උදාහරණය වන්නේ හිටපු කීර්තිමත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ කොටකදෙණිය මහතාය. අවසානයේ එතුමාට සිදුවූයේ මෙතෙක් රැකගත් කීර්තිනාමයත් පළුදු කරගැනීමටය. එස්.එල්. ගුණසේකර මහතාට සිදුවූයේ රතන හිමිගේ රස්තියාදුකාරයන්ගේ හූ හඬ මැද ගෙදර යෑමටය. දැන් රතන හිමිගේ අලුත්ම ගොදුර බවට පත්වී ඇත්තේ නන්දසිරි ගමගේ මහතාගේ ව්‍යාපෘතියය. ඒ ව්‍යාපාරය හා සම්බන්ධ වී සිටින කාන්තාවන්ගේ පිරිස් බලය මත පමණක් ඉදිරියේ දේශපාලනය තීරණය කිරීම හැර වෙන විකල්පයක් රතන හිමිට නැත. (මෙවර රවටා ගැනීමට විචිත්‍ර ධර්ම කථිකයන් නැත. විශ්‍රාම ගිය විනිසුරුවරුන් නැත. ගායකයන් නැත.)

රතන හිමිගේ සම්මුඛ සාකච්ඡාවට අනුව ඉදිරියේ විශාල ආර්ථික දැක්මකට රට යොමු කළ යුතුය. රතන හිමිගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ පසුගිය වසර 3 1/2 තුළ උන්වහන්සේට ආර්ථිකය ඍජුව සහ වක්‍රාකාරව කරන ලද පාඩුව කොතරම්ද යනුවෙනි. කෘෂිකර්මය ගැන මෙලෝ දානයක් නොදැන ග්ලයිෆොසෙට් තහනම් කළ නිසා අපනයන භෝග වගාවට කළ හානිය ප්‍රතිපූර්ණය කළ නොහැකි මට්ටමක ඇත. දැනටමත් තේ, රබර් සඳහා අවශ්‍ය කම්කරුවන් සොයා ගැනීමට බැරි තත්ත්වයක් තුළ ග්ලයිෆොසෙට් භාවිතය ඉවත් කිරීම නිසා තේ, රබර් නිෂ්පාදකයන්ට සිදුවූයේ කබලෙන් ළිපට වැටීමටය. ලංකාවේ කෘෂිකර්මය පිළිබඳ විශ්වවිද්‍යාල 03ක කෘෂි පීඨ ඇත. ඊට අමතරව කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාල හා තේ, රබර් පර්යේෂණ ආයතන ඇත. එහෙත් රතන හිමි ගල්යිෆොසෙට් තහනම් කළේ මේ කිසිදු විශේෂඥ ආයතනයකින් උපදෙස් ලබා නොගෙනය. ජනාධිපතිද රතන හිමිගේ බොරුවලට රැවටී ලාභ ජනප්‍රියත්වය වෙනුවෙන් ග්ලයිෆොසෙට් තහනම් කළේය. දැන් එම කර්මාන්තයට සිදුවූ හානියට මේ දෙදෙනාගෙන් කිසි කෙනෙක් වගකියන්නේ නැත.

රතන හිමිගේ තවත් ව්‍යාපෘතියක් වූයේ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතියය. දැන් ඒ සම්බන්ධව උන්වහන්සේගේ ශබ්දයක් නැත. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය නිවාරණය කළ යුතු වුවත් ඒ දෙකෙන් රජයට ලබාදෙන ආදායම රාජ්‍ය ආදායමෙන් 20%ට වැඩිය. ආණ්ඩුව සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වෙන් කරන මුදලට සමාන මුදලක් මේ දෙකෙන් ආණ්ඩුවට බදු ලෙස අයවෙමින් ඇත. මෙය හුදු රතන හිමිගේ ජනප්‍රියත්වය වෙනුවෙන් පමණක් ඇති කළ දෙයකි. රතන හිමිගේ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතියේ මෙහෙයවීමේ කටයුතු උන්වහන්සේගේ රියදුරුට ලැබෙන්නේ මේ නිසාය.

අනෙක් කරුණ වන්නේ රතන හිමිගේ වස විසෙන් තොර කාබනික වගාවය. මෙහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදල් නාස්තියක් කර තිබුණි. මෙහිදී විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘති සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහාය ලබා නොගැනීමයි. විශේෂඥ සහායන් ලබා නොගෙන තම හිතවතුන් ලවා මෙම ව්‍යාපෘති කරන්නේ බොරුව සමාජයට හෙළිවන නිසාය. ලෝකයේ දියුණු රටවලද සමස්ත ආහාර නිෂ්පාදනයෙන් කාබනික කොටස වන්නේ 3%ටත් අඩු ප්‍රමාණයකි. කාබනික නිෂ්පාදන වියදම ඉහළ යෑම නිසා ඉහළ මිලකට මිලදී ගතහැක්කේ සමාජයේ කුඩා ප්‍රමාණයකට පමණි. ලංකාවේ සමස්ත ජනගහනයෙන් 60%කට වඩා රුපියල් 50,000කට අඩු ආදායමක් ලබන නිසා කාබනික නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාවක් නැත. රතන හිමිගේ කාබනික ආහාර ව්‍යාපෘතිය යනු තඩි බොරුවකි. මේ ලියුම්කරු දන්නා ප්‍රමාණයට ජනාධිපතිතුමා හා රතන හිමි පවත්වන ලද පළමු වස විසෙන් තොර ආහාර ප්‍රදර්ශනයේ වැඩි ප්‍රමාණයක් කාබනික නිෂ්පාදන නොවේය. ලෝකයේ දියුණු රටවල කාබනික නිෂ්පාදන ප්‍රතීතන කරනු ලබන ආයතන ඇත. ලංකාවේ කාබනික නිෂ්පාදන ප්‍රතීතන ආයතනයක් නොමැත.

වකුගඩු රෝගය සම්බන්ධව රතන හිමි පෙනී සිටියේ එය පරාජය කිරීමට පැමිණෙන සුරදූතයා ලෙසය. දැන් උන්වහන්සේට එය අමතකය. වකුගඩු රෝගය සම්බන්ධව උන්වහන්සේ ප්‍රකාශ කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය නොවේය. පසුගිය සතියේ පුවත්පත්වල වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ගෙන් 50%ක් වැරදි රෝග නිශ්චය මත රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බවය. තවදුරටත් රතන හිමිට පැරණි සටන් පාඨ මත දේශපාලනය කළ නොහැක.

රතන හිමි ප්‍රකාශ කර තිබුණේ තමන් ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉවත් වන බවය. එය හැමෝටම සතුටුවිය හැකි කාරණයකි. ජනාධිපතිවරණය රාජ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රබුද්ධ සාකච්ඡාවට එරෙහිව ගොස් ග්ලයිෆොසෙට් මත්ද්‍රව්‍ය විරෝධය එල්ලුම් ගහ මයිලෝ වැනි දේ ගැන කතා කිරීමට පෙළඹුණේ රතන හිමිගේ උපදේශනය නිසාය. ජනාධිපතිතුමාගේ මාතෘකා විය යුත්තේ ආදායම් විසමතාව, විරැකියාව, පෝෂණ ගැටලු අධ්‍යාපන විසමතා, නිවාස ප්‍රශ්න, ප්‍රවාහන ගැටලු, ජනවාර්ගික සමගිය ආදියය. රතන හිමිට අවශ්‍ය වූයේ ජනාධිපති ලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමය. අවසානයේ සිදුවූයේ ජනාධිපති හෑල්ලුවට පත්වීම පමණි. නන්දසිරි ගමගේ මහතාට දිය හැකි උපදේශය වන්නේ ඔබගේ ශ්‍රමයෙන් ගොඩ නැගූ ව්‍යාපාරය රතන හිමිගේ පටු දේශපාලන රාගයට පාවා නොදෙන ලෙසය.