රාවය

ෂැන්ග්‍රී-ලා දේශපාලනය

ෂැන්ග්‍රී-ලා දේශපාලනය

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ දිනවල දේශපාලනයේ විවාදාපන්න චරිතය කවුද? එකවර විවිධ නම් සිහිවිය හැකිමුත් සැබැවින්ම එතැන හිමිවිය යුත්තේ ආර්. සම්බන්ධන්ටය. විපක්ෂනායක ධුරය සම්බන්ධන්ගෙන් ගලවාගෙන තම පිලට ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය සැබෑ එකකට වඩා ව්‍යාජ යැයි හැඟේ. ඒ ව්‍යාජයට වුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විරෝධය අතිවිශාලය. දිනේෂ් ගුණවර්ධන නම ඉවතට ගෙන සම්බන්ධන්වම තියා ගැනීමට ඔවුහු එකඟ වූහ. එසේ නම් ආර්. සම්බන්ධන් දේශපාලනිකව සැමට වටිනා වස්තුව බව පැහැදිලිය.

ඉදිරියේ කාට බලයට ඒමට වුව සම්බන්ධන්ලා නැතිවම බැරිය. උතුරේ ඡන්ද නැතිව බලය පිහිටුවීම විහිළුවක් වනු ඇත. ඒ නිසා ඉදිරි දේශපාලනයේදී සම්බන්ධන්ලාගේ මැදිහත්වීම සැමට වැදගත්ය. මෙහි ඇති වැදගත්භාවය නම් කාට හෝ කල්තියා සම්බන්ධන්ලා අපේ යැයි කිව නොහැකිවීමය. ඉදිරියේදී උතුරේ දේශපාලනයත් වතුකරයේ දේශපාලන හැඩයම ගන්නට ඉඩ ඇත. එනම් වාසි අතට දෝලනය වීමය.

කලක් එජාපය හිතුවේ වතුකරේ ඡන්ද යනු එජාපයේ ඡන්ද බවය. තොණ්ඩමන්ලා කොළපාට ජාතියක් බවය. ඒ පාට වෙනස් වූයේ එජාපයේ ගමනක් නැති බව පසක් වූ පසුවය. මෙවර පළාත් පාලන ඡන්දයේදී පවා තොණ්ඩමන්ලා ඉදිරිපත් වූයේ මෛත්‍රී පිලෙනි. එහෙත් පොහොට්ටුව ජයගත් පසු තොණ්ඩලා පොහොට්ටුවට කරණම් ගැසීය. ඒ අනුව හෙට දවසේ තොණ්ඩමන්ලාගේ දේශපාලනය දිනන අතට කරණම් ගහගෙන යන ගමනක්ය. එය අද වනවිට සාමාන්‍යම කරුණක් වී ඇත.

මේ තත්ත්වය උතුරේ නොවෙතැයි සමහර දේශපාලන උගතුන්ට තර්ක කළ හැකි වුවත් සම්බන්ධන් ලා කොළපාට හෝ නිල්ම පාට යැයි කාටවත් සහතික දිය නොහැකිය. යහපාලන ජයග්‍රහණයට උතුරේ ඡන්ද ලබා දුන් දායකත්වය තීරණාත්මකය. එහෙත් අමතක නොකළ යුත්තේ මහින්ද රාජපක්ෂ දිනවන්නත් ඊට පෙර උතුරේ ඡන්ද දායකත්වය සැපයූ බවය. එසේ නම් උතුරේ ඡන්ද ඕනෑම වෙලාවක ඕනෑම පැත්තකට ගොඩ ගැසිය හැකිය. බලය ලබන්නට නම් මේ දේශපාලන සෙල්ලමේ උතුරට ඇති බලය අතිවිශාලය. ඒ නිසා මහ පක්ෂ හැම එකක්ම මාන බලනුයේ උතුර දිනා ගන්නටය. රනිල් වික්‍රමසිංහ වැඩිපුර උතුරේ කරක් ගසනුයේ ඒ වාසිය ඉදිරියේදී ලබන්නටය. විපක්ෂ නායකකම දිනේෂ්ට නොදී සම්බන්ධන්ටම දෙන්න යැයි මෛත්‍රී ඉල්ලනුයේ සම්බන්ධන්ට ඇති කැමැත්තට නොව උතුරේ ඡන්දවලට ඇති කෑදරකම මතය. මේ සැම බලයට ඒමට කැසකවන අයය. එහෙත් ඒ සැමට උතුර නැතිව ගමනක් නැතිය. අකමැත්තෙන් වුව එය රාජපක්ෂලා පවා පිළිගන්නා දෙයකි. පිළිගෙන මුනිවත නොරැක ඊට වැඩ කරන අයුරුද පෙනේ.

සම්බන්ධන් හමුව

ගෙවුණු සතියේ ෂැන්ග්‍රීලා හෝටලයේදී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හමුවූහ. ඒ පිළිබඳ ඡායාරූප ප්‍රසිද්ධියට පත්විය. මෙය හදිසි හමුවක්ද? මෙම හමුව සිදුවූයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ හමුදා නාවික සහ ගුවන් හමුදා සම්බන්ධ විශේෂ උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියැන්වේ විසින් මහජන විමුක්ති හමුදාව(PLA)  පිහිටුවීමේ 91 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකදීය. මාධ්‍ය පෙන්වා දී තිබුණේ චීන තානාපති චෙන්ග් ක්ෂුමාන්ද ඉදිරිපිට මෙම සංවාදය බොහෝ වේලාවක් පැවත ඇති බවය. මේ කපුකමක් නොවේද?

බොහෝ දුරට සිදුවන්නේ චීන මහජන විමුක්ති හමුදාවේ සංවත්සර සැමරුම් විදෙස් රටවල සිදුකරනුයේ චීන හමුදා බලය විදහා පෑමටය. එමෙන්ම චීනය සහ එම සත්කාරක රට අතර හමුදා සහයෝගය සඳහා ධෛර්යය ලබාදීමටය. එහෙත් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති සංවත්සරය ඊට එහා අරුතක් දනවන බව පෙනේ. මෙය දේශපාලන උප්පරවැට්ටියක් බව පැහැදිලිය. මෙතරම් සුබ කටයුත්තකට ජනපති හෝ අගමැති නොමැතිව හිටපු ජනපති සහ ආරක්ෂක ලේකම් ප්‍රධාන වන්නේ ඇයි? ඒ අතර සම්බන්ධන් සුවිශේෂී චරිතයක් වන්නේ ඇයි? එසේ නම් මේ චීනය හැරෙනුයේ කුමකටද? තවමත් චීනයේ විශ්වාසවන්තයා මහින්දය. ඒ ගැන විවාදයක් නැත. බටහිරින් යැපෙන්නට ගොස් හොම්බ ඇන ගත් පසු චීනය, ඉන්දියාව දෙසට යහපාලනය හැරුණද දැන් ඒ සෙනෙහේ චීනයට නම් අමුතු ආශ්වාදයක් නොවන බව පැහැදිලිය. ඔවුන්ට ඊට වඩා රාජපක්ෂලා වටීය.
මෙම හමුවෙන් පසු රාජපක්ෂලා මෙන්ම සම්බන්ධන්ලාද කීවේ මෙය අහඹු හමුවීමක් බවය. මේ අහම්බය දේශපාලන පෙරැළියක ලක්ෂණද විය හැකිය. මන්ද මෙය බැලූ බැල්මට අහම්බයක් නොව චීනය කල්තියා ගැසූ ගැටයක් බැවිනි. රාජපක්ෂලාට බලයට එන්නට ඇති එකම බාධාව උතුරේ ඡන්ද බව චීනයට නොවැටහේද? රාජපක්ෂලාට වුව සම්බන්ධන්ලා සිටිත් නම් ජය ගැනීම කජ්ජක් නොවන බව මේ අය නොදනිත්ද? චීනය හැම අතින්ම කැමති මෙරට රාජපක්ෂ පාලනයක් තිබෙනවාටය. එසේ නම් ඒ කැමැත්තට දෙමළ ජාතික සන්ධානයේ ආශිර්වාදය ඇවැසි බව චීනය දනියි. ඔවුන් මේ උත්සාහය කරනුයේ ඒ කපුකම කිරීමට විය හැකිය. දෙමළ ජාතික සන්ධානයට නැවත රාජපක්ෂලාට සහය දිය නොහැකි යැයි කාට කිව හැකිද? එහි කිසිදු බාධාවක් ඇතැයි නොපෙනේ.

රාජපක්ෂලාගේ දේශපාලන රියදුරා බැසිල්ය. එසේ නම් මේ හමුවට බැසිල් වෙනුවට මහින්ද රාජපක්ෂ ගෝඨාභය ගෙන යන්නේ ඇයි? ගෝඨාභය සහ සම්බන්ධන් අතර සුහද කතාබහ නිර්මාණය කරනුයේ ඇයි? ඒ 2020 දේශපාලන ප්‍රතිරූපය ගෝඨාම නිසා විය හැකිය. මහින්ද අකමැති වුවත් අකමැත්තෙන් වුව ගෝඨාභයට ඒ තැන දෙන්නට සිදුවනු නියතය. දැනට අකමැත්තක් පෙන්නුවද අවසානයේ බොරුවට වුව ගෝඨාභයට කැමති වන්නට සිදුවනු ඇත. එය බැලූ බැල්මට පෙනෙන්නට ඇති දෙයකි. ඒකාබද්ධයේ බහුතරය දැනටමත් ගෝඨාභය තෝරාගෙන අවසන්ය. මහින්දගේ තීරණය මොකක් වුවත් දැන් ප්‍රමාද වැඩිය. ඔහුට වුව අවසානයේ කීමට සිදුවන්නේ තමාගේ අංක එකේ තේරීම ගෝඨා බවය. වියත් මග පතුරු ගැසූ විට ගෝඨා කළේ වියත් මගෙන් අහකට වී එළිය රැගෙන රට වටේ යෑමය. මහින්ද ලවා විවෘත කරගැනීමට තිබූ පන්සල් බොහොමයක ආරාධිතයා දැන් ගෝඨාභය වී ඇත. රැල්ල දැන් ඒ අතට යන්නට පටන් ගෙනය. ඇත්තේ පොඩි වහන් කිරීමක් පමණි.

මහින්ද රාජපක්ෂ ගෝඨාභය ප්‍රතික්ෂේප කළහොත් ඔහුව මෛත්‍රී ඩැහැ ගනු නියතය. වියත් මග නැතිවට ගෝඨාට යන්න නම් මගවල් කිහිපයක්ම ඇති බව පැහැදිලිය.
ඒ සියලු කාරණා හමුවේ සම්බන්ධන් හමුව පැවතෙනවා විනා මෙය බැලූ බැල්මට අහම්බයක් නොවන බව නම් පැහැදිලිය. ගෝඨාභය බේරුවල ගියේය. දර්ගා නගරයට ගියේය. එහිදී ලද පිළිගැනීම ඉහළය. මේ වනවිට ඔවුහු මුස්ලිම් ප්‍රජාවගේ හිතද දිනා ගනිමින් සිටිති. යම් හෙයකින් රිෂාඞ් බදියුදීන් රාජපක්ෂලා පැත්තට හැරුණහොත් තත්ත්වය කෙබඳු වේද? අවශ්‍ය එක ඔළුවකි. තොණ්ඩමන්ලා සේ ම සම්බන්ධන්ලා මෙන්ම රිෂාඞ් බදියුදීන්ලාද සැලසුම් සකස් කරනුයේ තම ජාතිය වෙනුවෙනි. එසේ නම් මේ කිසිවකුට රටේ බලය ඇල්ලිය නොහැකි වුවත් බලය ලබාගන්නට නම් කාට වුව තමුන් අවශ්‍ය බව මේ කවුරුත් දනිති. එබැවින් ඔවුන් නිතර බලය ඇති අය එක්කම සිටීමට උත්සාහ ගනු ඇත. ඒ සඳහා දේශපාලනිකව මහ පක්ෂ හැම එකක්ම මේ අයට ලොකු වන්දියක් ගෙවිය යුතුය. හෙට සම්බන්ධන්, රිෂාඞ් ගෝඨාභය තෝරා ගතහොත් අප පුදුම නොවිය යුතුය. මන්ද මේ දේශපාලන සෙල්ලමේ කවුරුන් හෝ සුජාත නැති බැවිනි. දර්ගා නගරයේ දේ යහපාලනය යටතේ තෙල්දෙණියේ විය. එසේ නම් ඒ අයට රාජපක්ෂලාගේත්, යහපාලනයේත් වෙනසක් නැත. අකමැත්තෙන් වුව කා ළඟ වුව සිටගත හැකිය. ඒ තම ජාතියේ ආරක්ෂාවට රැකවරණයටය. එලෙස ඉන්න නම් බලය ඇති තැන රැඳීම වැදගත්ය. මේ තියරිය ඉදිරියේදී අකුරටම වනු ඇත.

රාජපක්ෂලා හොරු කියමින් උඩ පැන්න යහපාලනයට රාජපක්ෂලාගේ හොරකම් ඇල්ලීමට අවුරුදු හතරක් කිට්ටුවන තැනත් බැරිවිය. ඉදිරි වසරේ ඒ ගැන කීමත් විහිළුවක් වනු ඇත. දැන් මේ අයට ඉදිරි මැතිවරණවලදී කීමට දෙයක් නැත. එසේ නම් මේ ආණ්ඩුව අසමත් වූ තරමට රාජපක්ෂලා නැවත ශක්තිමත් විය. දැන් එය දුබල කිරීම ලේසි නැත.
ඒ නිසා මේ සැම දැන් කළයුත්තේ තරගයට මෙන් දෙමළ සහ මුස්ලිම් ජනයා දිනා ගැනීමට කටයුතු කිරීමය. මේ දෙපිරිස මිස විකල්පයක් මොවුන්ට නැතිය. රාජපක්ෂලාට දකුණ තිබුණද උතුර අහිමිවීම පවක් බව ඔවුහු දැන් දනිති. එබැවින් එය නැවත අත්හැර ගන්නට ඔවුන් කැමති නොවනු ඇත. මෑතක රජපක්ෂලාගේ හෝ පොහොට්ටු දේශපාලනයේ කතා දෙස බලද්දී ජාති ආලය සෑහෙන අඩුය. දැන් ඔවුහු අන්ත මාරු කොට ඇති අයුරුය. ගෝඨාභය වටා ඉන්නා හමුදාකාරයන් දකුණේ දේශපාලනයට අනුව ජාතිවාදීන් ලෙස හංවඩු ගැසිය හැකි වුවත් උතුරේ දේශපාලනය හමුදා ඇඳුම් සමග වෛරී දේශපාලනයක නියැළෙනවා යැයි සිතන ළාමක තැනක සිටිය නොහැකිය.

උතුරු හුළඟ

දැන් දකුණේ රෝග සියල්ල උතුරටද බෝ වී ඇත. තිස් වසරක යුද්ධයත් සමග උතුරෙන් එහාට ජීවිතයක් නොදැක්ක උතුරේ මිනිස්සු යුද්ධයෙන් පසු විවෘත වූයේ අසීමාන්තික නිදහසකිනි. ප්‍රභාකරන් යටතේ බයට නොකළ සියලු දේ ඉන්පසුව නිදහසේ කිරීමට ඔවුහු බිය නොවූහ. ප්‍රභාකරන් යටතේ කල්ලි ගැසී චණ්ඩිකම් කළ නොහැකි විය. එහෙත් අද ‘ආවා’ ‘ධනුරොක්’ සහ ‘වික්ටර්’ කල්ලි උතුරේ සැරිසරති. කුඩා ළමුන් අපයෝජනය කර මරති. මේවා දකුණට මැජික් වී ඇත. එය නම් විකාරයකි. යුද්ධය පවතිද්දීත් දකුණේ තත්ත්වය මෙලෙසමය. අදත් එලෙසමය. එහෙත් උතුරේ කල්ලි නැවත ප්‍රභාකරන් මතුවීමක් ලෙස අර්ථ ගන්වති. එසේ නම් දකුණේ පාතාල නැගී සිටීම රාජපක්ෂ හෝ රනිල්, මෛත්‍රීගේ මතුවීමක්ද? දකුණේ කොපමණ පොඩි වුන් දූෂණය කොට මැරුවේද? උතුරේ තත්ත්වය එලෙස නොවූයේ ප්‍රභාකරන්ගේ දරදඬු පාලනය නිසාය. එහෙත් එය සීමාසහිත බව දැන් පැහැදිලිය. කරුණාට ප්‍රභාගෙන් මිදී අලුත් ලොවක් තනාගත හැකි වී නම් අද ප්‍රභාකරන් නැති උතුරට අලුත් දොරවල් ඇරගත නොහැකිද? මේවා වෙනම කෙවිටකින් තලා මෙල්ල කරගත හැකි දේ නොවේ. හෙට මේ උතුරේ ජනතාව සම්බන්ධන්ලා මට්ටු නොකරතැයි සිතිය හැකිද? ඔවුන් කියන සහ ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් මේ නායකයන් තීන්දු ගත යුතු නැද්ද? එවිට එය රනිල්ට හෝ මෛත්‍රීට පමණක් සීමාවනු ඇතැයි සිතීම මුලාවක් නොවේද? එය ගෝඨාභයට වුව පක්ෂ විය හැකිය. දැන් ඔවුන් සිය බලය ඡන්දය හරහා ඉල්ලන බව පැහැදිලිය. අවුරුදු තිහක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න අවුරුදු කිහිපයකින් විසඳිය නොහැකිය. ඒ විසඳුම් සෙවිය යුත්තේ දැන් දකුණෙන් නොව උතුරෙන්මය. එබැවින් ඔවුන්ට බලය ඇත්තේ කාටද ඒ කා සමග වුව කේවල් කරමින් යනු හැර විකල්පයක්ද නැත්තේය. එබැවින් තීරණාත්මක මොහොතේදී උතුර තීරණාත්මක වනු ඇත. හකීම්ලාගේ බලය බදියුදීන් පැහැරගත් අයුරු සුළු පටු නැත. එදා හකීම්ලාට කළ හැකි දේ අද කරනුයේ බදියුදීන්ය. තොණ්ඩාගේ බලය සම්බන්ධන්ගේ බලය හමුවේ ඉතාම අල්පය. එහෙත් හෙට සම්බන්ධන්ලාගේ බලය උතුරේ වෙන අයකු ඩැහැ ගනු ඇත. එය කා සමග සිටිත්දැයි කිව නොහැකිමුත් මේ කවුරු වුව එකකු ළඟ නතර නොවන බව පැහැදිලිය. දේශපාලනය කේවල් කරන බව පැහැදිලිය. ඒ අයුරින් බලන කල චීනය ෂැන්ග්‍රීලා හි පැවැත්වූ සාදය සුහදම නැති බව පැහැදිලිය. ෂැංග්‍රීලා යනු මෙරට දේශපාලනයේ හැරවුමක්ද? මේ ෂැන්ග්‍රීලා දේශපාලනය ලංකාවේ දිශානතිය කොතනට රැගෙන යයිද යන්න ඉක්මනින් කියනුයේ කෙසේද?