සිතන්නා

එරික් ඉලයප්ආරච්චි

ප්‍රතිමූර්ති 1 (The Thinker)

කලා ශිල්පියකු එක අතකින් ගත් මිටියක් අනික් අතින් ගත් නියනෙහි වදින හඬ ඇසෙයි. මටසිළුටු මුහුණක් රළු ගලින් මතුවෙයි. උදුනක ද්‍රවාංක උෂ්ණත්වයෙන් උණු ලෝදිය බවට පරිවර්තනය කරනු ලැබූ ලෝහය කෝවකට වැටී මිනිස් මුහුණක් තැනෙයි. නෙලීම්, ඇඹීම්, අච්චු වාත්තු, පීරිගෑම්, පසාරු කැටයම්, කැලෑ දැව නිපැයුම්, ඔපදැමීම් වැනි ද්‍රව්‍යයාගේ සෘජු රූපවිපර්යාසවලින් තොරව හුදු එකලස් කිරීම් ද සිදු වෙයි. එපමණක් ද? පාපැදි හැඬලයක් පාපැදි ආසනයක් සමග එකලස් වී ගව හිසක් නිර්මාණය වෙයි. එපමණක් ද? වෙළෙඳ භාණ්ඩයක මිල දවටනය ගැලවී, කලාගාරයක ප්‍රදර්ශනය වී, කලා කෘතියක් බවට පත් වෙයි.

තවත් බොහෝ මාධ්‍යයෝ මූර්ති නම් මහා කලාවේ අවකාශය දිනා ගනිති. රබර්, ප්ලාස්ටික්, බෙලෙක්, ටකරන් ආදිය පමණක් නොව කැලිකසළ, මළකුණු හා අශූචි පවා සමාජ යථාර්ථයේ හා අවිඥානයේ භාෂා ව්‍යාකරණයේ උපමා රූපක නිරූපණය කරමින් කලාගාරවල හෝ එළිමහන් අවකාශයෙහි හෝ කලාත්මක විද්‍යාමානභාවය ලබයි.
මේ කලා නිර්මාණ කිසිවක් සරුවපිත්තල ජනප්‍රිය කලාවේ සුපිරි තරු විනිසුරු මඩුලු අබියසට නොපැමිණෙයි. ඊනියා ගනුදෙනුකාර අතරමැදි කලා අවකාශවල මෝඩ කීබෝඩ ද නොහඬවයි. වාචාල රූප පෙට්ටියේ චැට්ෂෝවල නොරැඳෙයි. සුපිරි තරු ප්‍රසූතාගාරවලින් අඩු මාසෙන් උපත නොලබයි.

පරිකල්පනයේ වෛෂයිකත්වය නමැති ද්‍රව්‍යමය නිර්මාණ එවැනි අඳබාල අපසරණයන්ගෙන් තොරව කිරිගරුඬ කුට්ටියෙන්, කළුගලින්, ලෝහයෙන්, දැවයෙන්, එකලස්කරණ ද්‍රව්‍ය ආදියෙන් සම්භවය ලබයි. තමා තුළින් නිර්ණය වූ සංකල්පය ඒවායින් රූපාකාරය ලබා ගනියි. ඒ හෝ මේ ද්‍රව්‍යය මත මූර්ති ශිල්පියා ඇති කරන අතිසියුම් චලනය එහිම ද්‍රශ්‍ය මානවන පරස්පරතා මතුකරමින් එහිම කලාත්මක දිවිය හා අනන්‍යතාව බවට පත් වෙයි. මූර්ති කලාවේ අසහාය කලා රූප සහ ඒවා තුළ පවත්නා බහුවිධ අර්ථාන්විතභාවය උපදින්නේ එමගිනි. ඒවායින් පළවිය හැකි පරමාදර්ශීභාවය හෝ අවෛෂයික හෙවත් ඇබ්ස්ට්‍රෑක්ට් ස්වරූපය හෝ ප්‍රහේලිකාත්මකභාවය හා සරල මනසට ගෝචර නොවීම (ඔරොත්තු නොදීම) හෝ හුදෙක් “ද්‍රව්‍යයෙන් නිදහස් වුණු මනස”  (mind divorced from matter) පිළිබඳ නිදසුනක් හෝ ආදර්ශකයක් හෝ සාම්පලයක් ලෙස හෝ නිගමනය කිරීම දෝෂ සහගත වේ.

එමෙන්ම එවැනි බරසාර කලා කෘති ජනප්‍රියතාවාදය නමැති බකල තිරික්කලයේ රෝද දෙකට යොදා ගන්නට බැරිවීම හෝ දේශපාලන ප්‍රචාරයේ රූප පටියට ඔබා ගන්නට නුසුදුසු වීම හෝ මුදල් ඉපයිය හැකි ස්වයං-රැකියා බවට පත්කර ගන්නට නොහැකි වීම හෝ ඒවා අත්විඳින අවාසනාවක් නොවේ. මේ යුගයේ සැබෑ කලාවට පෑදුණු වාසනාවකි. වරප්‍රසාද රහිත අතිබහුතර ජනයා වෙනුවෙන් දෛනික පැවැත්ම හා අතිපහත් රුචිය පමණක් ඉතිරි කර ඇති සමාජ ක්‍රමය තුළ සුළුතරයේ ස්ථිරසාර රසාස්වාදනය මගින් ඒවා කිරුළු ගන්වනු ලැබේ.

ප්‍රංශ මහා මූර්ති ශිල්පී ඔගස්ටේ රොඩෑන් විසින් 1880 දී නිර්මාණය කරන ලද, අඩි හයාමාරකටත් වඩා උස් වූ මේ අග්‍රගණ්‍ය ලෝකඩ මූර්ති නිර්මාණය නූතන මූර්ති කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයකි. අද ආගමික ශාස්තෲවරුන් හා දේශපාලන නායකයින් ලෙස හන්දි ගානේ නෙලනු ලබන සුලබ නිර්මාණවල මානව විකෘතිය හා වැඩකට නැතිකම පැහැදිලි කරන මේ මහා මූර්ති රාජයා ස්ථාපිත කරනු ලබන්නේ කොතැනක ද, එය නගර චතුරස්‍රයක් වේවා, උද්‍යානයක් වේවා, මන්දිර අභ්‍යන්තරයක් වේවා, දුම්රිය ස්ටේෂමක් වේවා, මුහුදු වෙරළක් වැනි මහජන අවකාශයක් වේවා ඒ කොයි තැනත් මේ මූර්තිය වෙනුවෙන් ඉදි කරන ලද බව පෙනී යයි. එබැවින් මෙය අවකාශය සරසනු වෙනුවට එය ජයගත හැකි නිර්මාණයකි. තමා රඳවනු ලබන අවකාශය නිත්‍ය වශයෙන්ම චින්තනයේ, එනම් සිතුවිල්ලේ හා එහි බලයේ අවකාශයක් බවට පෙරළන මේ අග්‍රගණ්‍ය හේතුවාදී ප්‍රතිමාව, ඒ අවකාශය තුළ සිතන්නට බාධා කරන කාලතුවක්කු හමුදාවකට වුව, ගුවන් ප්‍රහාරයකට වුව මුහුණ දෙයි. ඒ ලෝකඩ ඇස් දෙක තමා යටට පැමිණෙන නරඹන්නා දෙස බලා සිටියි. සිය මනස සතු හැකියාවෙන් පමණක් නොව තම නිරුවත්, සවිමත් සිරුරේ මුළු මහත් කාය ශක්තියේ හැකියාවෙන් ද සිතන්නෙකි මේ!

ඔහු ගලක් මත අමු නිරුවතින් වාඩි වී සිතන්නෙකි. එය එළවා දැමූ, පිටුවහල් කර දැමූ පිටස්තරයකුගේ හුදෙකලා වේදනාවේ පෙනුමකි, සැබැවින්ම රොඩෑන් මුලින් මෙය නිර්මාණය කළේ තනි මූර්තියක් ලෙස නොවේ. ප්‍රබන්ධාත්මක මූර්තිමය චරිත රැසක් සහිත ‘අපායේ දොරටු’ නම් මූර්ති සංකීර්ණය වෙනුවෙනි. එය ඩාන්ටේ කවියාගේ ‘අපාය’ කාව්‍යය අනුස්මරණය කරමින් කළ නිර්මාණයක් වූ අතර, අපාගත ස්ත්‍රී පුරුෂයෝ එහි වූහ. මේ සිතන්නා සිටියේ සතර අපායේ වැටී දුක්වේදනා විඳින්නන් මැද ය.
ඒ අනුව මේ සිතන්නාගේ සම්භවය අනුව සිතුවහොත් වැටහෙන කාරණයක් ඇත. එනම් මේ සිතන්නා ද, ඔහු අනුව සිතන ඔබ හා මම ද අපායක වැටී සිටින බවකි. එහෙයින් මේ සිතීමේ සමාජ කොන්දේසි හා පසුතලය බියකරු ය. එය හාන්සි පුටුවක වාඩිවී සිතීමක් නොවේ. එය අපායට ඇද වැටීම පමණක් නොව ඉන් නිදහස් වීමද පිළිබඳ තීක්ෂණ සිතීමකි. නිදහස පිළිබද සිතුවිල්ල, ඇද වැටුණු ප්‍රපාතය පිළිබඳ සිතීමට වඩා බියකරු වීමේ උභතෝකෝටිකය පළකරන මේ සිතන්නා නූතන මිනිසා සහ ඔහුගේ ඉරණම පිළිබඳ සාක්ෂියකි. සර්වකාලීන නිරූපණයකි.

ඔහු සිතන්නේ සතර අපායේ ද්වාර මුදුනේ සිට නම් ඔහු ඒ දොරටුවලින් ප්‍රවේශ වන්නන් දෙස මෙන්ම ඉන් පිටවී යන්නන් දෙස ද බලා සිටින්නෙකි. අපාගත වීම මෙන්ම පෙර කරන ලද වැරදි වෙනුවෙන් දඬුවම් ලබා එයින් නිදහස් වීම ද ඔහුගේ ඇසට යොමු වේ. රොඩෑන් දකින ඩාන්ටේගේ අපාය පිළිබද දේවධර්මය අනුව අපායෙන් නිදහස් වීමක් නොමැති බැවින් මොහු එහි පැමිණෙන්නන්ගේ ඉරණම ගැන තදින් සිතයි. කොයි අතින් බැලුවද ඔහුගේ සිතීමේ ක්ෂේත්‍රය බෙහෙවින්ම විශාල එකකි. එය පටු සිතීමක්, අවස්ථාවාදී සිතීමක් හා වාසිසහගත සිතීමක් නොවේ. තුන් කල් සිතීමකි. සිතන්නේ හර්කියුලිස් යෝධයකු බවත්, කුරුමිණි නළල් තලයක් ඇත්තෙකු බවත්, ශරීර ස්වභාවයෙන් මෘගරූපියකු බවත් කලා ඉතිහාසය පිළිබඳ කෘති තිහකට වඩා රචනා කළ බර්නාඞ් ෂැම්පෙනූලි සඳහන් කරයි. මෙය කවාකාරව තනා ඇති මූර්තියකි. ලියනාර්ඩෝ ඩා වින්චි විසින් වෘත්තය හා සමචතුරස්‍රය තුළ පරිසමාප්ත කරන ලද මිනිස් රූපය, මෙහි දී එම ජ්‍යාමිතික ආකෘතිවලින් ඉදිරියට නැවී, ධ්‍යානගතව බිමට බර වුණු හිස දෙතැනකින් නවා ගත් අතක් මත තබා ගෙන තරයේ සිතයි. සිතන පතන සමාජයක් මැද සිටිය හොත් සිතීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවට ආචාරය පුද කරන මේ මූර්තිය, සිතීම අහිමි වූ සමාජයක් ඉදිරියේ සිටිය හොත් නොසිතීමේ විපත හා ව්‍යසනය ගැන සිතයි. ඇනටොමිය හෙවත් ශරීර ව්‍යුහයේ දී හා අවයව අනුපාතවල දී යථාර්ථවාදය අනුගමනය කරන මූර්තිකරුවා, මාංශපේශී පද්ධතිය නිරූපණයේ දී යථාර්ථවාදයට පිටුපා යමින් මිනිසා සතු වියුක්ත චින්තන හැකියාව පළ කරනු පිණිස රේඛීය මාංශ පද්ධති මූර්තිමත් කරයි.