The Piano

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

Jane Campion විසින් අධ්‍යක්ෂණය කරන ලද  The Piano  සිනමාපටය 1993 දී තිරගත වූවක්. 1993 කෑන්ස් සිනමා උළෙලේදී විශිෂ්ටතම සිනමා පටයට හිමි Palme d’Or  සම්මානයත්, ඒ වසරේ ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම ස්වාධීන තිරපිටපතට මෙන්ම හොඳම නිළියට සහ හොඳම සහාය නිළියට හිමි සම්මාන ද ඇතුළු තවත් ජාත්‍යන්තර සම්මාන රාශියකට හිමිකම් කී The Piano හි අධ්‍යක්ෂණයට අමතරව තිර රචනය හා නිෂ්පාදනය ද සිදුකරන්නේ මේ ලෝක පූජීත සිනමාකාරිය වන Jane Campion  විසින්මයි.

කතාව දිගහැරෙන්නේ නවසීලන්තයේ බටහිර වෙරළ මායිමේ පිහිටි ස්වදේශික ජනතාව වෙසෙන ගම් පියසක. කාලය දහනමවැනි සියවසේ මැද භාගය. ඇඩා  (Ada McGrath)  නම් ස්කොට් ජාතික වැන්දඹු තරුණිය තම හය හැවිරිදි දියණියත් සමග මේ නවසීලන්ත බටහිර වෙරළට ගොඩ බසිනවා. ඒ තම පියා විසින් ඇය නවසීලන්තයේ වගා කටයුතු කරන  Alisdair Stewart  නම් ව්‍යාපාරිකයකුට විවාහ කර දී ඇති නිසා. ඔහු නවසීලන්තයේ ස්වදේශිකයින්ගෙන් ඉඩම් මිලදීගෙන ව්‍යාපාර කළත් බටහිරින් සංක්‍රමණය වූවෙක්.

ඇඩා වයස අවුරුදු හයේ සිට කතා කරන්න බැරි ගොළු තරුණියක්. ඇඩා මෙතෙක් දැක නැති තම ස්වාමියා සොයා නවසීලන්ත වෙරළට ගොඩබසින්නේ විශාල භාණ්ඩ රාශියක් ඇතිව. ඒ අතර ඇය පණ මෙන් ආදරය කරන පියානෝව ද වෙනවා. ඇය සහ ඇගේ දියණිය රැගෙන යෑමටත් ඈ ගෙන එන භාණ්ඩ ඔහුගේ නිවසට ගෙනයෑමටත් ඇඩාගේ සැමියා වන Alisdair Stewart  එන්නේ සේවකයින් පිරිසක් ද සමග. එහෙත් ඔහු පියානෝව බර නිසා අනික් භාණ්ඩ තරම් නොවටිනා භාණ්ඩයක් ලෙස කල්පනා කරන නිසාත් පියානෝව වෙරළේ දමා යන්නේ ඇගේ සහ දියණියගේ දැඩි ඇවිටිලි කිරීම නොතකා.

එහෙත් පියානෝව නැතිව ඇඩාට ඇතිවන කාන්සිය අසීමිතයි. ඒ නිසා ඇය තම දියණියද කැටිව තමන් ගොඩ බැස්ස මුහුදු වෙරළට එක්කං යන ලෙස ස්වදේශික මිනිසකු වන George Baines ට ඇවිටිලි කරනවා. ඇයගේ ඇවිටිල්ල නොතකා හරින්න බැරි තැන ඔහු ඔහුත් එම මුහුදු වෙරළට එක්ක යන අතර ඇය තම පියානෝව රිසිසේ වාදනය කරනවා. සංවේදී මිනිසකු වන  Baines මේ ගොලු තරුණියගේ ආත්ම ප්‍රකාශනයට පියානෝව කොච්චර වැදගත්ද කියන කාරණය එදා වැල්ලේදී අවබෝධ කරගන්නවා. පසුදා ඔහු ඇගේ සැමියාගෙන් පියානෝව ඉල්ලනවා. ඒ හිලව්වට තමන් සතු ඉඩමක් දෙන පෙරොන්දුව පිටග වෙරළේ අතහැර දමා ඇති පියානෝව වෙනුවට ඉඩම් කැබැල්ලක් ලැබීම ගැන ඔහු අතිශයින් සතුටට පත්වන අතර ඔහුට පියානෝ වාදනය ඉගැන්වීම සඳහා තම බිරිඳ වන ඇඩා එවන බවද ඔහු පොරොන්දු වනවා.

කතාවේ දෙවැනි අඩ දිවෙන්නේත් ඇඩා සහ  Baines  අතර සියුම් ලෙස ආදරය මෝරායෑම තුළ. ටික දිනක් යද්දී මෙය ඇගේ සැමියාට තේරුම් යනවා. ඒ අනුව ඔහු ඈ වළකන්නට ඉවසීමෙන් යුතුව උත්සාහ කරනවා. පසුව කෝපය නිසා ඇගේ අතේ ඒක් ඇඟිල්ලක් කපාදාන්නත් ඔහු කටයුතු කරනවා. (ඇඩාගේ සැමියා ව්‍යාපාරිකයකු ලෙස සියුම් නුගුණයන්ගෙන් පිරුණු අයෙක් වුවද ඔහුගේ චරිතය සිනමාපටය තුළ නිර්මාණය කරන්නේ ඉතාම ගැඹුරු ආකාරයට. ඔහු ඇගේ ඇඟිල්ලක් කපා දැම්මත් ඇයට තදින් ආදරය කරනවා. පස්සෙ ඇයට Baines  හා නැවත ඇගේ රටට ගොස් ජීවත්වීමටත් ඉඩ දෙනවා) ඇඩා මුලින් මුලින් ස්වදේශිකයාට එකඟවන්නේ ඇයගේ පියානෝව ආපසු ලබාගත හැකිය යන බලාපොරොත්තුවෙන්. එහෙත් එය ආදරයක් දක්වා උඩුදුවද්දී ඔහු ඇයට සැබවින්ම පියානෝව දෙනවා.

සැබැවින්ම පියානෝව යනු ඇඩා කතා කරන විදිහ. ඇගේ ආත්ම ප්‍රකාශන ක්‍රමවේදයග සංඥා භාෂාව මගින් ඈ අන් අයට අදහස් ප්‍රකාශ කරත්, දියණිය ඒවා ඒ අයට පරිවර්තනය කර දුන්නත් ඇය හැඟීම් ප්‍රකාශ කරන්නේ පියානෝව තුළින්. “The strange thing is I don’t think myself silent. That is beacource of my piano”  ඇගේ ආත්මීය හඬ ප්‍රකාශ කරනවා.

ඇගේ ගොලු බව නිසා කිසිවෙක් ඈ කෙරේ අවධානය යොමු කරන්නේ නෑ. ඇයව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. මේ නුපුරුදු රටේ නුපුරුදු පරිසරය ඇතුළේ ඇයට ඒක තදින්ම දැනෙනවා. තම පියානෝව අහිමිවීම ම ඇගේ ආත්ම ප්‍රකාශනයට හෙළන ලද මරු පහරක්. වරෙක ඈ නිවසෙහි මේසයක පියානෝවක යතුරු ඇඳ පියානෝව වාදනය කරනවා මෙන් මේසයට තට්ටු කරනවා. මෙය දකින ඇගේ ස්වාමියා සහ සෙසු පවුලේ අය හිතන්නේ ඇගේ මානසික ගැටලුවක් කියලා.

ඇයව මනාව වටහා ගන්නා Baines  ඇයව පියානෝව ඉගෙනගන්න ගෙන්නුවාට ඇගෙන් පියානෝව ඉගෙනගන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නේ ඇයට හිතුණු හැටියට එය වයන්නට ඉඩ දී අසාගෙන හිටීම. මක්නිසාද ඇගේ ආත්මීය ගැටලුව ඔහු මනාව දන්නවා. එක අතකට ඇගේ සැමියා නොවටිනා වස්තුවක් සේ පියානෝව වෙරළේ හැර ඒමත්  Baines වටිනා ඉඩමක් දී ලබාගැනීමත් ඇගේ ආත්මය කෙරේ දෙදෙනා ප්‍රවේශ වන ආකාරය කෙරේ සංකේතාර්ථ දනවනවා.

සිනමාපටය අවසන් වෙන්නේ ඇගේ අනින් පියානෝව මුහුදට දමන සංවේදී අවස්ථාවෙන්. ඒ ඇය Baines  සහ තම දියණිය සමග තම රටට පිටත් වන මොහොතේ එය ඔරුවට බර නිසා. සැබවින්ම ඇය එසේ කිරීම ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරනවා. එහෙත් ඇය එසේ කරන්නේ ඇයි? ඇගේ ආත්මීය කටහඬට සවන් දෙන්න පුළුවන් සංවේදීතාවක් සහිත මිනිසකු තමාට ලැබීම නිසා ද? (Baines ඇය හා සංවේදී වන මොහොතක ඇය කතා කරනවා ඔහුට මොහොතකට ඇහෙනවා. ඒ වගේම ඈ කෙරේ සැබෑ සංවේදීතාවක් තිබුණු හැඟීම්බර එක් මොහොතක ඇගේ ස්වාමියාටත් ඒක ඇහෙනවා) ඕලන්ද ජාතික  Abel Tasman ගේ  (1642) සහ ඒංගලන්ත නැවි James Cook ගේ (1769) ගවේෂණයන්ගේ සහ පාතැබීම්වලින් පසු 18 සහ 19 සියවස් පුරා නවසීලන්ත භූමියට නිරන්තරයෙන් යුරෝපානු සංක්‍රමණ සහ බලපෑම් සිදුවීද යන්නත් ඒ තුළින් සාම්ප්‍රදායික නවසීලන්ත ජනතාව වූ මයෝරි (Māori) වරුන් සහ ඔවුන්ගේ සංස්කෘතියටත් සමාජ පැවැත්මටත් සිදුවුණු බලපෑම කවරක්ද යන්න නවසීලන්ත ඉතිහාසය සාක්කි දරනවා. මේ සිනමාපටය පුරා දෙවැනි හුයක් ලෙස එම යථාර්ථය ගලාගෙන යනවා. විශේෂයෙන් යුරෝපීයයන්ගේ සංස්කෘතික ආක්‍රමණයට දේශීය ගෝත්‍රිකයින්ට හුරුවෙන්න ඇති අපහසුවත් මේ ස්වදේශික චර්යාවන් යුරෝපීයන්ට නුහුරුවීමත් මේ කියන විසංවාදය කෘතියෙහි යටි හුය පුරාවට දිව යනවා. බටහිර සංක්‍රමණිකයින් මයෝරිවරුන් වෙත තුවක්කුව පාන්නේ ඔවුන් බිය කිරීමට විතරක් නෙමෙයි. තුවක්කුව වැනි ආයුධ ගෝත්‍රිකයින්ට හුරු කරමින් ඒවා වෙළෙඳාම් කිරීම මගින් තම ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා යටත්විජිත සියුම් ලෙස සුරා කන අයුරුත් ඒ තුළ පැහැදිලිව නිරූපණය වෙනවා.

තවත් අතකට The Piano  ඩීඑච් ලෝරන්ස් නිර්මාණය කළ යථාර්ථයේ සංවේදී මානයකුත් සියුම්ව නිරූපණය කරනවා. ඇඩා වික්ටෝරියානු සංස්කෘතිය හරහා හික්මුණු තරුණියක්. ඈ අඳින්නේ කිටි කිටියේ ස්ත්‍රී අවයව තදකරමින් වසා දමන තද ඇඳුම්. හිසේ සිට දෙපතුළටම වසාගත් වික්ටෝරියානු කුල කත ඈ තුළින් දකින්න පුළුවන්. එසේ නමුත් ඇය තමන්ව තේරුම් ගන්නා මිනිසා වෙනුවෙන් ඒ සියල්ල උනා දමන්නේ ප්‍රේක්ෂකයා ඉතාමත් ගැඹුරු සංවේදනාවකට පත්කරමින්. ඒ සංවේදනාව මිනිස්කමත් මිනිස් හැඟීම් ගැනත් ඔහු ඥානනය කරනවා.

සිනමාපටයේ භාවිත වන නිල්පැහැයට හුරු අඳුරු තේමා වර්ණය මේ ඛේදනීය ඉරණම තීව්‍රාත්මකව පෙන්නනවා. දැඩි රළ නගන මුහුද සහ ගොහොරු සහිත භූමියත්, කපනු ලැබූ සහ දවනු ලැබූ ගස් කඳන්වලින් යුතු පසුබිම් දර්ශන ඒ හැඟීම තීව්‍ර කරනවා. සිනමා පටයේ සුවිශේෂී සංගීත සංරචනය නොවන්නට  The Piano  ඇඩාගේ ආත්මීය හඬ ප්‍රේක්ෂකයාගේ හදවත තුළට කාවද්දමින් සිදුරු කරන සියුම් සැතක් නොවන්න තිබුණා.