රාවය

රාමු නොකළ පින්තූරයක් මා දුටු ජීවන විලාසයයි – සජිත් පට්ටියකුඹුර

රාමු නොකළ පින්තූරයක් මා දුටු ජීවන විලාසයයි – සජිත් පට්ටියකුඹුර

දිනී ජයසේකර

කවියේ අතීතය සහ වර්තමානය සම්බන්ධව ඔබ දරන අදහස කෙබඳුද?

කවියේ අතීතය ගත්තහම ඇත්තටම මිනිසාගේ සම්භවය තෙක්ම ඇදී යන විශ්වීය ඉතිහාසගත කාරණාවක්. භාෂණය හෝ ලේඛනය එතරම් දියුණු මට්ටමක නොතිබූ ප්‍රාග් යුගය තුළත් මිනිසා සිය හැඟීම් දනවන්න යම් යම් හඬ රිද්මයන් සංකේතීය නිර්මාණයන් භාවිත කරල තියෙනවා. ශිෂ්ටාචාර වර්ධනයත්, සාක්ෂරතාවත් සමග යම්කිසි විධිමත් ලිවීමක් හෝ කියැවීමක් වශයෙන් ස්ථානගත වූ කවිය එදා මෙන්ම අදත් සියලු කලාවන්ට උල්පතක් වන්ව මිනිස් සංතානයන් සංසිඳුවමින් අඛණ්ඩව ගලා යන බවයි මගේ හැඟීම.
ඒ වගේ ආභාෂයකින් බිහි වූ ලාංකීය කවිය විවිධ යුගයන් පසුකරමින් ඒ තුළින් ප්‍රතිපෝෂණය වෙමින් විවිධ වූ ශානරයන් හඳුනාගනිමින් අඩු වැඩි වශයෙන් ස්ථානගත වෙමින් තිබෙන බවක් මම දකිනවා. අපේ රටේ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨ කිවිවරුන්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපකිරීම් මතින් නව ඉසව් මං පෙත් විවර වීම ගරු කටයුත්තක්.
මම කවියට ප්‍රවිෂ්ට වෙන්නේ දෙදාහෙන් පස්සෙ පරපුරේ පුරුකක් හැටියට. වර්තමානය කියල ප්‍රානීයව මට වැඩිපුර දැනෙන්නෙ ඒ කාලය. අද ගැන සාංකාවක් නැහැ. තාක්ෂණය එක්ක පරිකල්පනීය සීමාවන් වෙනසකට භාජනය වෙලා ඇති නූතන ගෝලීය ප්‍රවණතා, කාලගුණ දේශගුණ විපර්යාස, ආහාර රටා, දේශපාලනය වගේ දේවල් වුණත් වත්මන් කවියේ දිශානතිය තීන්දු කරන්න දායකවෙන්න පුළුවන්.

ඔබ කවියක් නිර්මාණය කරන විට ඔබ එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

කවියක් ලිවීම නැත්නම් නිර්මාණය කිරීම බොහෝ විට යාන්ත්‍රිකව නොකෙරෙන දෙයක්. ඇසි විඳි ප්‍රස්තූතයන් සමහරවිට දින, සති, මාස නොව අවුරුදු ගණන් හිතේ පැසව පැසවා තියෙන්න පුළුවන්. මූලිකවම ඉස්සර වෙන්නේ ආත්ම තෘප්තිය, හෘදය සාක්ෂිය. නොයෙක් රසවාදයන්ට ඔබ කාණ්ඩ කරන්නේ එහෙම ලියැවෙන කවියක්. දෙවනුවයි, කාව්‍යෝක්ති ගැළපුම් වුණත් සිදුවෙන්නෙ නිදහසේ ලියපු වචන අතරට එකතු කිරීමක් වශයෙනුයි. නිශ්චිත ආරම්භයක නොපිහිටා, නමුත් අවසානයේ හෘදය සංවේදී කැඳවුමක් ප්‍රඥාවක් නිරායාසවම දැනවීම තමයි උත්සාහය වෙන්නේ. කිසි විටෙකත් ප්‍රායෝගික බලාපොරොත්තුවක් කවියට ඉස්සර වෙන්නෙ නැහැ. ‘කවිය’ කියන අවකාශයේ නිහතමානී දායකත්වයක් හෝ දැක්විය හැකි පුංචි මිනිසෙක් වීම තමයි අභිප්‍රාය වෙන්නේ.

සමාජීය කවිය තුළ ඔබ දකින සුවිශේෂීතා තිබේද? සහ ඒ මොනවාද?

ඇත්තටම කවිය තුළ සුවිශේෂතා බිහිවෙන්න ඕන. නැත්නම් ඒක නවතාවක් වෙන්නෙ නැහැ. ඒක තාක්ෂණික පැත්තෙනුත් පරිකල්පනීය පැත්තෙනුත් අපට වටහාගන්න පුළුවන්. එහෙම සුවිශේෂී පීල්ලක් මත තමයි වත්මන් කවිය සැරිසරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් හඳුනාගත් මත් විරිත් භාවිතය ආගන්තුක ශානරයන් ඔස්සේ ලිවීම බුහුටිකමක් දක්වන නිදහස් රටා ස්පර්ෂය වගේ සුවිශේෂතා වගේම ඉවක් ඇති පණ ගැහෙන සංවේදනයන් කියැවීම, පුරාණෝක්ති ප්‍රතිනිර්මාණයන්, ගස්වැල් මල්වල පවා මෙතෙක් නොකී ඉසව් පරිශීලනයට දැක්වෙන තෙරපුම. ඒ වගේම කෙළිලොල් බව සහ මානව වාදය හරය කොට ගත් අතීත සෙවණැලි සාක්ෂිද කවියේ සුවිශේෂීතාවක් වශයෙන් මං දකිනවා.

ඔබේ පොතට ‘රාමු නොකළ පින්තූර’ යන නාමය යොදාගත්තේ ඇයි?

2017 වර්ෂයේ ප්‍රකාශයට පත්වුණු මගේ පළමු කාව්‍ය සංග්‍රහය තමයි ‘රාමු නොකළ පිංතූරයක්’ සාම්ප්‍රදායිකව එනමින් කවියකුත් මේ පොතට අන්තර්ගතවෙලා තියෙනවා. ඒත් ඉන් එහා ගිය දේශපාලන සංවේදනයක් දනවන්න මං උත්සාහ කළා. සමාජ දේහය පුරාම තරාතිරම පිළිබඳ භේදයකින් තොරවම ජීවිත පිංතූර අනේක විධ පීඩාවන්ට ගොදුරු වූ තත්ත්වයක් තුළ තමයි සාහිත්‍යාංගයක වුවත් දිශාව, නාමකරණය, හැඩරුව තීරණය වෙන්නේ. මා ගැටුණු වැටුණු සමාජ දේහය ඒ ආකෘතිය ගත් එකක්. වත්මන් ජීවිත පොදුවේ ලොකු අරගලයක පැටලිලා තියෙන එකක්. සමහර ජීවිත රාමුවකට කොටුවෙලා. තවත් ජීවිත සම්මතයෙන් පිට පැනලා. ජීවිත පිංතූර දුර්වර්ණ වෙලා. අප අනුගත වෙලා ඉන්න දුෂ්ඨ ක්‍රමයක අතුරුඵල තමයි ඒ. සාධු ගුණයන් මානවීය බැඳීම් කෙමෙන් අපෙන් ඈත්වෙලා තියෙනවා. මා තුළත් මා දුටු ජීවන විලාසයන් තුළත් තමයි මට ‘රාමු නොකළ පිංතූරයක්’ කියන නම හමුවෙන්නේ. බොහොමයක් කවි එවන් පීඩිත පිංතූර සම්මුඛවීමක් වශයෙනුයි පෙළ ගැහිල තියෙන්නේ.

ඔබ හිතන ආකාරයට වර්තමාන කවියේ ස්වරූපය කෙබඳුද?

වත්මන් කවියේ ස්වරූපය විවිධ පැතිකඩ ඔස්සේ දකින්න පුළුවන්. කවිය කියන සංකල්පය එකතැනක තබා එය පරිහරණය කරන ප්‍රජාවේ ස්වභාවයන්, ආන්තික ලක්ෂණයන්, රුචි අරුචිකම්, පරිකල්පන සීමාවන් කවියේ නූතන හැඩගුණ කියවන මිනුම් දණ්ඩක් වශයෙනුයි ගතයුත්තේ. සාධනීය නිශේධනීය සම්මිශ්‍රණයක් ඇතත් එයින් වැඩිමනත් අවකාශයක් කවිය ඔසවා තබන එක සතුටක්. සුළු සුළු වශයෙන් වූ අවභාවිතාවන්, දුගීකම්, කල්ලිවාදයන් වෙළඳපොළ උත්සාහයන් කවියේ ප්‍රගමනයට, ගරුත්වයට බාධාවක් වෙන බව ඇත්ත. ඒත් අභ්‍යාසයමය ඉඩකින් කවිය විනාශ වේවි කියල හිතන්න බැහැ. කලින් සඳහන් කළා වගේ මානව දයාව හරය කොට ගත් ආස්ථානයක තමයි කවියන් බහුලව ගැවසෙන්නේ. පීඩාකාරී සමාජ බලහත්කාරයන් කවියන් වැඩි වැඩියෙන් අව්‍යාජ කරන්න සමත්වෙලා තියෙනවා. කෙසේ වෙතත් අවම හානියක් යටතේ කවිය නැගී එන බවයි මගේ තහවුරුව.