මුහුණු පොතේ නාසිසස්ලා ඔබ – දෝංකාරය

සමන් වික්‍රමාරච්චි

(අශෝක හඳගමගේ පදවැලක් අනුව නිර්මාණය වූ ඔබ – දෝංකාරය සංගීත වීඩියෝව පසුගිය දිනෙක චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී එළිදැක්විණි. මෙම ලිපිය එම අවස්ථාවේදී කළ දේශනය ඇසුරෙන් සකස් වූවකි.)

හුඟ කාලෙකින් මම මේ සභාවක් ඉදිරිපිට හිටගෙන ඉන්නේ. පිරිසක් අතර ගැවසෙන්නෙත් කාලෙකට පස්සේ. පසුගිය කාලය තුළ විශේෂයෙන්ම සත්හඬ වැහුණට පස්සෙ මම කළේ පසෙකට වී සමාජය චලනය වන සැටි උපේක්ෂාවෙන් බලාගෙන සිටීම. නාසිසිසම් නැත්නම් ආත්මරාගය ගැන කතා කිරීම පිණිස මා උත්තේජනය ලබන්නේ එම සමාජ චලනය කියවීමෙන්.

නිසැකවම නාසිසස් යනු පුරාණෝක්තික චරිතයක්. ඉතින් මේ පුරාණෝක්ති හෝ පුරාවෘත (Myth) කියන්නේ කුමකටද? සාම්ප්‍රදායික අර්ථයෙන් එය පැරණි (එහෙත් පැරණි නොවන) කතාන්තර විශේෂයක් තමයි. ඒත් අපි කිසිවිටෙක පුරාවෘත්තයක සත්‍ය අසත්‍ය බව ප්‍රශ්න කරන්නේ නැහැ. ඇත්තටම නම් එහෙම ප්‍රශ්න නොකිරීම එම පුරාණෝක්තිය සහ අප අතර තිබෙන ගිවිසුමක්. එය හරියට හින්දි චිත්‍රපටයක අභව්‍ය සිදුවීම් හින්දි සිනමා පට ප්‍රේක්ෂිකාවට ප්‍රශ්නයක් නොවනවා වගේ. ඒවා ඒ විදිහටම බාර ගැනීමට ඇය චිත්‍රපටය සමග අප්‍රකාශිත ගිවිසුමකට එළැඹී තියෙනවා.

මම වෙනත් සරල උදාහරණයක් දක්වන්නම්. අප පාසලේ ව්‍යාකරණ පාඩමේදී මෙන්න මේ විදියේ වාක්‍යයක් ලියනවා කියා හිතන්න. ‘මම සිංහයෙක්මි’  (I am a lion)  මෙම වාක්‍යයේ ව්‍යාකරණ නැත්නම් උක්ත ආඛ්‍යාන පද සම්බන්ධය නිවැරදියි. එහෙත් මම සිංහයකු නොවේ. ව්‍යාකරණ පාඩමේදී මේ අන්තර්ගතය අපි ප්‍රශ්න කරන්නේ නැහැ. මෙන්න මේ නිසා රොලන්ඞ් බාත් ඔහුගේ  Mythologies  කියන වියමනෙහි ලියන දෙයක් නම් පුරාණෝක්ති යනු භාෂාවක් බවයි  (Myth is a language)  ඔහු එය තව ඉදිරියට ගෙනගොස් කියනවා  (Myth is a type, of speech  කියල. ඒ එනම් පුරාණෝක්ති යනු කථන ක්‍රමයක් බවයි.

මේ සන්දර්භය තුළම මනෝ විශ්ලේෂණීය අර්ථයකින් පුරාණෝක්තියක් කියන්නේ හැඟවුම්කාරකයක්. දැන් කෙනෙක් අහන්න පිළිවන් කුමක්ද හැඟවුම්කාරකය කියන්නේ කියලා. මම කියන්නේ එහෙම අහන එක හොඳයි. කෙනෙක් ඒ ප්‍රශ්නය අහන එකත් ඊට පිළිතුරක් සම්පාදනය කරගන්න එකත් මෙතනදී වැදගත්.

මනෝ විශ්ලේෂණ අර්ථයකින් හැඟවුම්කාරකය කියන්නේ ආත්මය (subject)  කියන්නේ ආත්මය වෙනත් හැඟවුම්කාරකයක් වෙනුවෙන් නියෝජනය කරන කිසිවකට  (signifier respresents the subject for another signifier)  හැබැයි හැඟවුම්කාරකයාට කිසිවිටෙක ආත්මය හැඟවුම්කරණය කරන්න බැහැ. එය කරන්නේ වෙනත් හැඟවුම්කාරකයක් වෙනුවෙන් ආත්මය නියෝජනය කිරීම. මෙන්න මේ අර්ථ සන්දර්භය තුළ ඊඩිපස්ගේ සිට නාසිසස් දක්වා වූ සියලු පුරාණෝක්ති නැත්නම් පුරාණෝක්තික චරිත හැඟවුම්කාරක තමයි. ඒ කියන්නේ ඔවුන් අප වෙනුවෙන් පෙනී සිටින අපගේ නියෝජිතයන්.මම හිතනවා නාසිසස්ගේ කතාව නැවත කියවීමට සුදුසු විද්‍යාවක් අප ගොඩ නගා ගනිමින් ඉන්නවා. කවුද මේ නාසිසස්? නාසිසස් ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් මගේ කතාවට පූර්විකාව ලෙස සැපයුණා. අපි මේ මොහොතේ ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය තමයි ඇයි හඳගම මේ වගේ කලා නිර්මාණයක් කරන්නේ? වෙන විදිහකින් කියනවා නම් ඇයි නාසිසස් හදිසියෙම හඳගමගේ ඇඟේ හැප්පෙන්නේ?

ඇත්ත. නාසිසස් ප්‍රස්තූතව ගනිමින් කලා නිර්මාණයක් කළ පළමුවැන්නා අශෝක හඳගම නොවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ දාර්ශනිකයන්, නවීන, විද්වතුන් සහ ලේඛකයන් එකෝ සහ නාසිසස්ට ආලෝලනය වුණා. ප්‍රේමය, අහිමිවීම, මරණය සහ වැලපීම වැනි තේමාවන්ට ඔවුන් නිරන්තරව ගොදුරු වුණා. මේ අතරින් කැපී පෙනෙන නිර්මාණය වුණේ ඕවිඞ් (ovid)  යනුවෙන් ප්‍රකට වූහ.  Publius Ovidius  නමැති රෝම කවියාගේ  Metamorphses  නම් ග්‍රන්ථ 15කින් යුත් පුරාණෝක්ති 250කට වඩා අඩංගු වූණ මහා කාව්‍යය. එම පොත් පහළොවෙන් තුන්වන පොතෙහි තමයි ඔහු නාසිසස් සහ එකෝ පිළිබඳ පුරාවෘත්තය ගෙනහැර දක්වන්නේ. ඕවිඞ් තමයි මේ පුරාණෝක්තිය පරිපූර්ණ ලෙස අධ්‍යයනය කරන පළමුවැන්නා එමගින් වැදගත් කරුණු දෙකක් කැපී පෙනෙනවා.

1. ඉතිහාසය පුරාම බටහිර චින්තනය මත මේ පුරාණෝක්තිය කර ඇති බලපෑම.

2. ඕවිඞ්ගේ කියවීම තුළ ආත්මීයත්වයේ (subjectivity) ස්වභාවය පිළිබඳ අතිශය දාර්ශනික කතාබහක් අඩංගුව තිබීම.

කුමක්ද මේ ආත්මීයත්වය (Subjectivity)  කියන්නේ? එය එක් අතෙකින් ‘මම’ කියන පුද්ගලභාවයට සම්බන්ධයි. ඒ අතරම ආත්මීයත්වය කියන දේ මෙන්න මේ ප්‍රශ්නයටත් උත්තර සෙවීමට වෑයම් කරනවා. ඒ තමයි මම කව්ද? මම කියන්නේ මොන විදිහේ පැවැත්මකටද?  (who am I and what kind of being am I?)  මේ අර්ථයෙන් ආත්මීයත්වය විශ්වය, සදාචාරය, ආගම, කලාව ආදී දේ ගැන මා දරා සිටින යම් විශ්වාසයන්ට අදාළ නැහැ. එය මගේ අනන්‍යතාව සහ පැවැත්ම පිළිබඳ කරන ගවේෂණයක්. කොටින්ම මම කරන්නේ ආත්මයක් ලෙස ගොඩනැගීම.

ඕවිඞ්ගේ Metamorphoses වල නාසිසස් සහ එකෝ අරභයා ආත්මීයතාව පිළිබඳ කතාබහත් ඇතිව තිබුණ බව අප වටහාගන්නේ ආත්මය පිළිබඳ යටකී කියවීම් අනුවයි. ඕවිඞ් තම ලිවීම් පටන් ගන්නේ එකෝ ගැනවත් නාසිසස් ගැනවත් කියමින් නොවේ. ජුපිටර් සහ ජුනෝ (jupiter and Juno) අතර ඇතිවූ විවාදයකට තිරේසියස්  (Tiresias)  නමැත්තා සම්බන්ධ වූ ආකාරය විස්තර කරමින්. තිරේසියස් උපන්නේ පිරිමියකු ලෙස. පසුව සර්පයින් දෙදෙනකුගේ සංසර්ග ක්‍රියාවකට බාධා කළ නිසා ඔහු ස්ත්‍රියක බවට පත්වෙනවා. හත් අවුරුද්දකට පසු ආපසු ඔහු පුරුෂයකු බවට රූපාන්තරණය වෙනවා. ජුපිටර් සහ ජුනෝ අතර විවාදයට ප්‍රස්තුත වුණේ ලිංගික සංසර්ගයේදී වැඩිම සතුටක් ලබන්නේ ස්ත්‍රියද නැත්නම් පුරුෂයාද යන්නයි. තිරේසියස්ට මේ අත්දැකීම් දෙකම තිබුණා. තිරේසියස් ජුපිටර්ගේ පාර්ශ්වය ගෙන ලිංගික සංසර්ගයේදී වැඩිම සතුට හිමි ස්ත්‍රියට බව කියනවා. මින් කෝපයට පත්වන ජුනෝ ඔහු අන්ධභාවයට හෙළුවත් ඔහුට අනාගතය කීමේ හැකියාව සහනයක් ලෙස ප්‍රදානය කරනවා.

නාසිසස්ගේ මව ලිරියෝප් (Liriope)  ජල අප්සරාවක්  (wate nymph). ඇය සේපිසස් නම් ගංගාවට අධිපති දෙවියා අතින් දූෂණයට ලක්වෙනවා. නාසිසස් පිළිසිඳ ගන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස. අර කලින් කියූ තිරේසියස්ගෙන් පළමු අනාවැකිය අහන්නේ නාසිසස්ගේ මව වූ ලිරියෝප්. ඇය අහන්නේ නාසිසස් මහලු විය තෙක් දීර්ඝ ජීවිත කාලයක් ලබනවාද යන්නයි. තිරේසියස් පවසන්නේ නාසිසස් තමා තමාව නොදැක සිටින්නේ නම් ඔහු දීර්ඝායුෂ ලබන බවයි. (yes, if he never knows himself)

නාසිසස් ඉතා රූමත් තරුණයෙක්. ඔහු තමාට ප්‍රේම කළ හැමෝගෙම ප්‍රේමය ප්‍රතික්ෂේප කළා. එකෝ (Echo)  යනු එලෙස ඔහුගේ ප්‍රේමය සොයා පැමිණෙන තරුණියක්. ඇගේ කතාවේත් අපූර්වත්වයක් තිබෙනවා. ඇයට තම කටහඬ අහිමිවන්නේ ජුනෝගේ සාපයක් නිසා. ඇය ජුපිටර්ගේ අනියම් සබඳතාවලට උදව් කිරීමට යාමෙන් තමයි ඒ ඉරණමට ගොදුරුවන්නේ. ඇය කතා කරන්නේ අනෙකාගේ කතාවේ අග කොටස පුනරුච්චාරණය කරමින්. වනාන්තරයේ දඩයමේ යන නාසිසස් පසුපස හඹා ගියත් ඇයට ඔහු හිමිවන්නේ නැහැ.

අන්තිමේදී නාසිසස් විලක් අසලට පැමිණ එහි දිය වෙත එබී බලද්දී ඒ තුළ රූමත් තරුණයකුගේ රුවක් දකිනවා. ඔහුට ප්‍රථම වතාවට තමාවම හමුවෙනවා. ඔහු තමාගේම රූපය සමග බැඳෙනවා. ඔහු එම රූපය වැළඳ ගන්න හදනවා. ඒත් ජලයෙහි පෙනෙන රුව තම ග්‍රහණයට හසුවන්නේ නැහැ. නාසිසස් වරදවා හිතන්නේ මේ අනෙකා තමාගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට තැත් කරන බවයි. ඔහු වැලපෙමින් තමාගේ රූපය දෙස නොකා නොබී බලා සිටිනවා. එකෝ ඔහු වේදනාවෙන් යළි යළිත් පවසන දේ ප්‍රතිරාවය කරමින් එහි රැඳී සිටිනවා. නාසිසස් එතැනම මියගිය විට එකෝ ඔහු වළ දැමීමට අනෙක් අප්සරාවන්ද කැඳවාගෙන එනවා. එහෙත් විල වෙත පැමිණෙන ඔවුනට ඔහු දක්නට නැති බවත් මලක් පමණක් දිය මත පිපී ඇති බවත් දකිනවා. එම මල හැඳින්වූයේ නාසිසස් යනුවෙන්. අද ඩැෆඩිල් යනුවෙන් හඳුන්වන්නේ එම මල බව සමහරු කියනවා. නාසිසස් මියගිය පුවත ඕවිඞ් මූලාශ්‍රයක් සේ ගෙන අපට කියවිය හැක්කේ ඒ විදිහට. ඒ අනුව එකෝ වනයේදී මිය යනවා. ඇගේ ඇට කටු ගලක් බවට පෙරළෙන අතර කටහඬ ඇය වාසය කළ ගල්ගුහා සහ මිටියාවත්වල දෝංකාර දෙමින් පැවතුණා. වෙනත් මූලාශ්‍රවලට අනුව නාසිසස් මියයන්නේ සිරියකින් පපුවට ඇන ගැනීමෙන්. නාසිසස් පුෂ්පය හටගන්නේ මෙම රුධිරයෙන් බවයි ඉන් කියැවෙන්නේ.

මේ අවුරුදු දහස් ගණනක් පැරණි කතාව අද අපට අදාළවන්නේ කෙසේද? මේ කතාව තුළ සමකාලීන මිනිසා නිරූපණය වෙනවාද? මෙම දේශනයට මා කැඳවූ පූර්විකාව අග්ගිස්සේ මෙන්න මෙහෙම කියවුණා.
“අදත් අපට ඕනතරම් නාසිසස්ලා හමුවෙනවා. අප කාටත් මේ නාසිසස් ලක්ෂණ අඩුවැඩි වශයෙන් තියෙනවා. මුහුණුපොත නම් නාසිසස්ලාගෙන් පිරිලා.”
නාසිසස් තමාගේ රුව පළමුවරට දකින කැඩපත විලක්. තමාගේම රූපය සමග බැඳෙන නාසිසස් එතැනම මිය ඇදෙනවා. අපේ කාලයේ නාසිසස්ලාට හමුවන කැඩපත තමයි මුහුණුපොත. ඔවුන් ඒ මත එබීගෙන එහි පෙනෙන තමාගේම රූපය දකිමින් එයට වශීව සිටිනවා. ඔන්න එක් කෙනෙක් ලියනවා. “මෙන්න බලන්න මම කවියක් ලිව්වා ලස්සනයි නේද කියලා. මේකට එනවා කොමොන්ට සිය ගණනක්. “අනේ හරි ලස්සනයි අයියේ, ඔයා කොච්චර විශ්ව කවියෙක්ද?” මුරුංගා අත්ත එච්චර හයිය නැහැ කියලා අපේ කවියා දන්නෙ නැහැ. ඔන්න දැන් තව කෙනෙක් ලියනවා. “මෙන්න බලන්න යාළුවනේ මම අරයගෙ කවි ගැන විචාරයක් ලිව්ව හොඳයි නේද? කියල කවි අයිතිකාරයයි අනෙක් හැමෝමයි (අර වීදාගම හාමුදුරුවො ලියන්නේ යාගයෙ කිරිබතට දිවෙන බමුණන් විලසට කියල අන්න ඒ විදිහට.) දුවගෙන ඇවිත් ඔහු මහා විචාරකයකු ලෙස බෞතීස්ම කරනවා. ෆේස් බුක් කවීන් සහ ෆේස් බුක් විචාරකයන් වගේම ෆේස් බුක් පඬිවරු බිහිවන විදිහත් හරිම අපූරුයි. ඔන්න කෙනෙක් පොත් රාක්කයක පින්තූරයක් දමල කියනව “මෙන්න බලන්නකො මං බුක්ෆෙයා එකෙන් ගත්ත පොත්. මේව කියවන නිසා මම හරිම පඬිවරයෙක් නේද කියල ඔහු අපෙන් අහනවා. අපි ඉතින් මොනව කියන්නද? තව පිරිසක් ඉන්නවා මුහුණු පොතේ තරගෙට කුණුහරුප කියන. ලොකුම කුණුහරුපය ලියූ එකා තමයි පොර. (කියවන්න දැවෙන විහඟුන් අරබයා ඇතිවූ ෆේස් බුක් සංවාද) මේක සංස්කෘතික ගැටලුවක් නොවේ. ශිෂ්ටාචාරය පිළිබඳ අර්බුදයක්. කලා නිර්මාණ කියන්නේ ලොකුම කුණුහරුපය ලිවීම බවට අද පත්වෙලා. වරදවා ගන්න එපා මේ හුදු සදාචාරවාදයක් නොවේ.

මේ කවුරුවත් නොදන්න දේ තමයි තමන් බරපතළ මානසික රෝගයකින් පෙළෙමින් සිටින බව. එම රෝගයේ නම නාසිසිස්ට් තමයි. අපට මෙය ආත්ම රාගය නැත්නම් තම තමාටම ප්‍රේම කිරීම කියන්න පිළිවන්. මනෝ විශ්ලේෂණය මෙය හඳුනාගන්නේ Pathalogical Narcisism  නැත්නම් ව්‍යාධවේදී ආත්ම රාගය ලෙස. සැලැවෝජ් ජිජැක් මේ රෝගියාව නම් කරන්නේ  pathalogical Narcisus  නැත්නම් රෝගී නාසිසස් යනුවෙන් ලැකාන්ගෙ කතිකාව  (discour se)  පිළිබඳ ප්‍රවාදවලට අනුව අද අපි ගෙවන යුගය ධනවාදී කතිකාවට  (Capitelist discourse)  අයත්. ඉස්සර ආත්මය යනු හැඟවුම්කාරකයේ ප්‍රතිඵලයක් (effect of signifier)  හැටියට තමයි දැක්කෙ. අද කාලයේ ආත්මය භාෂාවේ ප්‍රතිඵලයක් (effect of language)  මෙන්න මේ නිසා තමයි ඔය සමහර ෆේස් බුක් ආත්ම රාගිකයෙක් තමන්ගේ පොතක් ගැන පත්තරේක ගිය විචාරයක් මුහුණු පොතේ පළ කරල මෙන්න මගේ පොත ගැන අහවලා විචාරයක් ලියල කියන්නෙ. ඒ මදිවට අර විචාරකයට කියනව මං ලිව්වට ස්තුතියි අයියෙ කියල. ඊළඟට පත්තරවල යන හැම විචාරයක්ම ගෙනත් මුහුණු පොතේ අලව ගන්නව. ඉස්සර නම් කලා කෘතිය සහ කලාකරුවා අතර පරතරයක් තිබුණා. කලා කෘතිය සමාජයට මුදාහැරියම කලාකරුවාගේ කාර්යය එතැනින් ඉවරයි. අර මම කලින් කී දේවල්වලින් පෙනී යන්නේ තමාගේ නිර්මාණය විචාරය කිරීමට තමාම එළැඹීමේ පශ්චාත් නූතන ලක්ෂණයයි. අද නවකතාකරුවන්, කෙටිකතාකරුවන්, කවීන්, නාට්‍යකාරයන් සිනමාකරුවන් බොහෝ දෙනකු කලාකරුවන් නොවේ. තමන් නිපදවන බාල බඩු කාගෙ හරි ඇඟේ ගහන්න පදික වේදිකාවල කෑමොර දෙන තුට්ටු දෙකේ වෙළෙන්දො.

දැන් මම කැමතියි මුහුණු පොතේ නාසිසස් රෝග ලක්ෂණ ගැන මීට වඩා ගැඹුරු කියවීමකට යන්න.

ක්‍රිස්ටෝපර් ලාෂ් (Christopher Lasch)  කියන විද්වතා  Culture of Narcisism  (ආත්ම රාගයේ සංස්කෘතිය) යනුවෙන් නිබන්ධයක් ලියනවා. ලාෂ් කියන්නේ ඉතිහාසවේදියෙක්. හරියට මිචෙල් ෆුකෝ තම ප්‍රවාද ඓතිහාසික සන්දර්භයක විස්තර කරනව වගේ ඔහු තම ලිවීම තුළට ඉතිහාසය කැඳවනවා. ලාෂ්ගේ මේ වියමන සමකාලීන අධිකාරිවාදී පාරිභෝගික සමාජය පිළිබඳ සාම්ප්‍රදායික නොවන විචාරය පිළිබඳ තවත් හොඳ උදාහරණයක් ලෙස ස්ලැවොජ් ජිජැක් දකිනවා. ලාෂ්ගේ මේ වියමන පිළිබඳ විවරණයක් ලෙස ජිජැක්, Pathological Narcissus as a Socially Mandatory Form of Subjectivity (1986) මැයෙන් ලිපියක් ලියනවා. මේ රචනාව අපට සමකාලීන නාසිසස් රෝගියා නැත්නම් ආත්ම රාගියා ගැන හැදෑරීමට කදිම මූලාශ්‍රයක්.

ජිජැක් මේ ලිපිය ලියන්නේ 1986දී. ඒ කියන්නේ මීට අවුරුදු 32කට පෙර. මේ ලිපිය ලියන විට අපි මුහුණු පොත ගැන හිතලවත් නැහැ. හැබැයි ජිජැක් දිවැසින් දකිනවා අනාගතයේදී මුහුණු පොත හරහා නාසිස්මික රෝගීන් බිහිවන බව. ජිජැක් එම රෝග ලක්ෂණ ලැයිස්තුගත කරනවා. (ජිජැක් එම ලැයිස්තුගත කිරීම හඳුන්වන්නේ රෝග ලක්ෂණ විස්තරයත්, එහෙම නැත්නම් හරියටම කියනවා නම් ආත්මරාගී රෝගියා (pathological Narcissus)  පිළිබඳ ප්‍රපංචවේදී විස්තරයක්  (Phenomenological description)  ලෙස.

ජිජැක්ට අනුව මුහුණු පොතේ සිටින ආත්ම රාගියාට නැතහොත් නාසිසිස්මික රෝගියාට වගේම වෙනත් ඕනෑම වර්ගයේ කෙනකු පළ කරන මූලිකම ලක්ෂණයක් තමයි පරිසරයට හැඩ ගැහීමේ දක්ෂවීම. හැබැයි තමුන් තමයි පොර කියන දේ ඔහු පෙන්වනවා. තමුන්ගේ කවියට කොමෙන්ටු එවන ඔහුගේ අශාරීරික මිතුරන් තමාට තමාවම තහවුරු කරගැනීමට උපකාරී වන උපකරණ ටිකක් විතරයි. ඔහු පවතින්නේ ඔවුන්ගේ ඇගැයීම සහ පිළිගැනීම මත. සමාජයීය වශයෙන් ඔහු තමාව උත්කර්ෂයට නංවා ගන්නවා ඔහු රඟන්නේ ඉතා ප්‍රබල, නරුමවාදී සමත්කම් සහිත චතුර කෙනකුගේ භූමිකාවක්. මා මුහුණු පොතේ දැක තිබෙනවා තමන්ගේ අතීත කෙරුවාවත් කොටස් වශයෙන් ලියන නාසිස්මික පොරවල්. ස්වයං චරිතාපදාන ලිවීමත් නාසිස්මික රෝග ලක්ෂණයක් තමයි. චරිතාපදාන ලියන්නන් කරන්නේ තමා තමාවම ප්‍රබන්ධ කරගැනීම.)

නාසිසස් රෝගියාව මුහුණුපොතට ඇති සබඳතාව අනුව තේරුම් ගැනීමට උත්සාහ කළත් ඔවුන්ගේ පොදු රෝග ලක්ෂණ ඉන් පිටතදී පවා විද්‍යමාන වෙනවා. කිවයුතු දෙයක් තමයි මින් කිසිසේත් මුහුණු පොත ප්‍රතික්ෂේප නොකරන බව. අපි අද මේ අවස්ථාව ගැන දැන ගන්නෙත් මුහුණු පොතෙන්. එය සයිබර් අවකාශයේ ඉතා හොඳ සන්නිවේදන ක්‍රමයක් තමයි. තමා තමාවම ප්‍රබන්ධ කර නොගනිමින් මේ තුළට පිවිසෙන අය, වැඩක් ඇති දේ ප්‍රචාරය කරන අය ඇති පදම් මුහුණු පොතේ ඉන්නවා. නම් වශයෙන් කියනවා නම් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, වසන්ත කොටුවැල්ල, කුමාරි කුමාරගමගේ, විජිත වෙලගෙදර වැනි නිතර මුහුණු පොතේ හමුවන අය මෙහෙම බරපතළ නාසිස්මික රෝග ලක්ෂණ පළකරන අය නොවේ. හැබැයි වැඩි දෙනෙක් රෝගීන්. මට මතක් වෙන්නේ ඩෙරිඩාගේ ෆාමකෝන්. ප්ලේටෝගේ ෆාමසිය විග්‍රහ කරන ඩෙරීඩා ෆාමකෝන් යනුවෙන් හඳුන්වන්නේ ඖෂධයක් සේ ම හලා හල විසකට. මුහුණු පොත ඖෂධයක් සේ ම හලාහල විසක් තමයි. මේ නිසා ඒ අයටත් අපට කියන්න තියෙන්නේ පරෙස්සමෙන් කියලයි.

ජිජැක්ට අනුව සමාජයේ බොහෝ දෙනා අතර පවතින මිත්‍රකම්වල තිබෙන්නේ නාසිස්මික රෝග ලක්ෂණ තමයි. නාසිස්මික රෝගියාට තව කෙනකු සමග අව්‍යාජ ඇලුම්කමක් ගොඩනගා ගන්න බැහැ. ඔහු අනෙකා සමග මිශ්‍රවන්නේ තමාගෙන් විය යුතු යුතුකමක්, වගකීමක්, විශ්වාසයක් හෝ කැපවීමක් වශයෙන්. කොටින්ම මේ අයගේ මිතුරුකම් මූනිච්ඡාට පමණයි. මුහුණු පොතේ  Likes  දමන්නන් එය කරන්නේ අව්‍යාජවද? නාසිස්මික රෝගියාට අවශ්‍ය හැකිතාක් තමාගේ නාසිස්මික අවශ්‍යතා ඉටුකර ගැනීමට. ඔහු කෙනකුව වර්ණනා කරනවා නම් එසේ කරන්නේ තමා තුළ ඇති නාසිස්මික වූ කාරණා නිසා මිස ඇත්තට නොවේ. අර ඉහත කී කොමෙන්ටු ලියන්නන් වැඩි හරියක් නාසිස්මික රෝගීන්.

හැබැයි මේ නාසිස්මික රෝගීන් ගැන ජිජැක් සලකුණු කරන ඉතා වැදගත් රෝග ලක්ෂණයක් තමයි ඉතා ක්ෂුද්‍ර වූ අසමර්ථවීමකින් පවා තිගැස්සෙන එක. ඔහු තනිකමට බයයි. වයසට යනවට බයයි. අසනීපවලට බයයි. ඔය විවිධ රෝගවලට ප්‍රතිකාර පිළිබඳ පෝස්ටු පළකරන්නන් තුළින් පළවෙන්නේ ඔය රෝග ලක්ෂණ තමයි. ආත්මරාගියා හැමවිටම තම ශරීරය ගැන සැලකිලිමත්. ඔය ජොගින් කියන්නෙම නාසිස්මික අභ්‍යාසයක්. දැන් youtube  මේ ආත්ම රාගීන්ගේ වෛද්‍ය සායනය බවට පත්වෙලා. හැමදාම තරුණව සිටීම තමයි ඔවුන්ගේ අභිලාෂය. කොටින්ම අනෙකාගේ අවධානයේ කේන්ද්‍රය තමා වීම. මේ නිසා සම්මාන ගැන උමතුවෙන් වේගයෙන් ලියාගෙන යන ලේඛකයන්ට  writers block කියන රෝගය වැළඳෙන අවස්ථා තිබෙනවා. ලංකාව දැන් මහල්ලන්ගෙන් තොර දේශයක්.

දැන් කාට වුණත් වැටහෙන්න ඕන දේ තමයි මේ නාසිස්මිත රෝග ලක්ෂණ අපි හැමෝම තුළ තිබෙන බව. ඉතින් අපි හැමෝම ඉන්නෙ එක්තරා විදිහකින් විවෘත මානසික රෝහලක. චෙකොෆ් හයේ වාට්ටුව ලිව්වම ඉන් නිරූපණය වුණේ මානසිකව ගිලන් වූ රුසියානු සමාජය බව අප වටහා ගත්තා. ජිජැක්ගේ ලිපියේ මැය වුණේ Pathological       Narcissus as a socially Mandatory form of Subjectivity  යන්නයි. ඉන් අදහස්වන්නේ සමාජයීය ලෙස අපේ ආත්මීයත්වය ගොඩනගන අනිවාර්ය ආකෘතිය නාසිසස් රෝගය බවයි. මේ නිසා අපි හැමෝම මානසික රෝගීන් කියන එක අප අපටම කරගන්න අවමානයක් නොවෙයි. අප ඉන්න තැන හරියටම වටහා ගැනීමක්.