අරමුදල් පිහිටුවීම සහ රනිල්ගේ බහුබූත

ටිරන් කුමාර බංගගමආරච්චි

ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීමේ අරමුණින් ‘අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ විය.

රුපියල් මිලියන පහකින් ආරම්භ කරන ලද අරමුදල ඉදිරියේදී තවත් ශක්තිමත් කරමින් වත්මන් ක්‍රීඩක – ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂතා ඇති නවකයන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට ආධාර උපකාර කිරීමේ අරමුදලේ මූලික අරමුණ වී තිබේ.

සිව් වසරකටත් කිට්ටු කාලයක් යහපාලන පාලනය ගෙවී ගොස් අවසන්ය. මීට පෙර දියගම ක්‍රීඩාංගණයේ උත්සවයකට සහභාගිවෙමින්ද අගමැතිවරයා ක්‍රීඩාවේ දියුණුවට කප්පරක් දෑ කරන බවට පොරොන්දු මල්ලක් දුන්නේය. ඒ දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිව සිටින කාලයේදීය. එහෙත් කළ කිසිවක් නොවීය.

මෙරට ක්‍රීඩාව දිනෙන් දිනම පරිහානියට පත්වෙද්දී පාලකයන් කළේ මුනිවත රැකීමය. ක්‍රීඩාව ක්‍රීඩා ඇමතිවරයකුට ලියාදී ඔහුට අවැසි ලෙස පිස්සු නටන්නට අවසර ලබාදීමය. දැන් පාලකයෝ එකවර නින්දෙන් අවදි වී ක්‍රීඩාව දියුණු කරන්නට කතා කිරීම මොනතරම් ව්‍යාජද?

අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් පළක් නැත. මේ සිදුවන්නේ එයය. අරමුදලක් පිහිටවූ පමණින් ක්‍රීඩාව සංවර්ධනය වේද? ගිය වසරේ අය-වැයෙන් ක්‍රීඩාවට මිලියන 1400ක් වෙන් කළේය. එයින් මේ වනවිටත් මිලියන දහයකින් වැඩගෙන ඇත්ද යන්න ගැටලුසහගතය. ගියවරද වෙන් කළ මුදල සම්පූර්ණයෙන් වියදම් කළ නොහැකි විය. එසේ නම් ක්‍රීඩාව සංවර්ධනය නොවුණේ මුදල් නැතිකම නිසාද නැතහොත් නිවැරදි දැක්මක් නැතිකම නිසාද? ක්‍රීඩා අරමුදලක් ඇත. එය සතු වත්කමද විශාලය. එහෙත් ඒවායෙන් ක්‍රීඩක සුරක්ෂිතතාවට කළේ කුමක්ද? ක්‍රීඩා අභිවෘද්ධියට කළේ කුමක්ද?
නැවත අලුතින් අරමුදල් පිහිටුවීම විකාරයක් නොවේද? මේ අරමුදල පිහිටුවා වත්මන් ක්‍රීඩක – ක්‍රීඩිකාවන්ට ඉදිරියට ගෙන ආ හැකිද? ඒ සඳහා වන වැඩපිළිවෙළ කුමක්ද? අගමැතිවරයාද මේ කරනුයේ ඡන්දය ඉලක්ක කරගත් නාඩගම්ය.

මේ ආණ්ඩුවට ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු දැක්මක් නැතිය.

මෙරටට තවමත් ජාත්‍යන්තර මට්ටමේ යැයි කිවහැකි පිට්ටනියකට ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණය පමණය. එයද පාවිච්චියට ගන්නා කාලයට වඩා වසා තබන කාලය දිගුය. කොයි වෙලාවෙත් පිළිසකරය. ධාවන පථය එලුවොත් එහි හැමදාම ප්‍රශ්නය. හැම ක්‍රීඩා ඇමතිවරයකුම කළේ එය හිඟන්නාගේ තුවාලය කරගෙන එයින් හම්බ කරගෙන කෑමය. අලුත්ගමගේ එය මනාව දන්නේය.

ඉන්පසු යම් මට්ටමක හෝ ප්‍රයෝජනයක් ගතහැකි පිටිය වූයේ දියගම ක්‍රීඩාංගණයයි. අද වන විට එය යුද්ධයට හසුවූ ගාණය. මෙය ක්‍රීඩා සංකීර්ණයක් කරන බවට පසුගිය කාලයේ පුරසාරම් අද බෑහ. සංකීර්ණය කෙසේ වෙතත් ක්‍රීඩාංගණය සහ ධාවන පථය හරියට එලාගත නොහැකි වී ඇත. ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට පිට්ටනි නැතැයි කීම තරම් තවත් විනාශයක් තිබිය හැකිද? හරිහමන් පිට්ටනි නැතිව කුමන ක්‍රීඩා සංවර්ධනයක්ද? අගමැතිවරයා නින්දෙන් ඇහැරී එසේ නැතිනම් ඔහුම කියන පරිදි ඔලිම්පික් කමිටු සභාපති සුබ්‍රමනියම් කීද්දූ පසු නැගිට මේ කියන කතා බයිලාමත් නොවේ නම් වෙන කුමක්ද?

පසුගිය වසර කිහිපය පුරාම රට වටේ පිට්ටනි හදන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක විය. එහෙත් අද ඒ පිට්ටනිවලට සිදුව ඇත්තේ කුමක්ද? වල්බිහිවීමය. ඇතැම් ඒවා තවමත් පටන් ගත් තැනමය. අලුත්ගමගේ කළ එකම වැඬේ නාවලපිටිය ක්‍රීඩාංගණය හැදීමය. එයද තවමත් ඉවර නැතිය. එය නඩත්තු කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. කොටින්ම අද එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයිති නැති ක්‍රීඩාංගණයක් බවට පත්ව ඇත. මේ විකාර සැලසුම් මෙතෙක් කල් මේ අය නොදැක්කාද? අදත් මේ බහුබූත කරනුයේ ඇයි?

මේ විදිහේ අරමුදල් පිහිටුවීමෙන් ක්‍රීඩාව සංවර්ධනය කළ නොහැකිය. ඊට මනා දැක්මක් අවැසිය. පසුගිය කාලය තුළ ඉතාම දක්ෂ ක්‍රීඩක – ක්‍රීඩිකාවන් පිරිසක් හඳුනාගත හැකි විය. ඔවුහු කනිෂ්ඨ මට්ටමෙන් ජාත්‍යන්තරය තුළ පවා ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළෝය. ඒ අතර මලල ක්‍රීඩාවේ යම් වර්ධනයක්ද දැකගත හැකිවිය. එය එම සංගම්වල කැපවීමට හෝ සැලසුම්වලට සිදුවූ දේට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ඒ අයගේ පුහුණුකරුවන්ගේ කැපවීමට වූ දෑ බව කිව යුතුය. ඔවුන් සියලු බාධා විඳ ගනිමින් තම ගමන ඒමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මට්ටමේ තරග ජයගැනීමත් සමග ඒවාට අයිතිකාරකම් කීමට ඕනෑතරම් පිරිස් විය. එය එම සංගම්වල වැඩක් විය. ඉන්පසු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිඵලයක් විය. අවසන රටේ ප්‍රතිඵලයක් විය. එහෙත් ඇත්ත නම් ඒ අප ආ ගමන හුදෙකලා ගමනක් බවය.
එහෙත් බොරු කයිවාරු නොගහා ඉන් ඉදිරියට මේ අය රැගෙන යෑමට අදාළ සංගම්වලට, ක්‍රීඩා අමාත්‍යාංශයට මෙන්ම රජයටද හැකියාවක් තිබුණද ඔවුන් පැහැර හැර ඇත්තේ එයය. මේ අය තම ශක්තියෙන් ගමේ පුහුණුකරුවන්ගෙන් ලබාගත හැකි උපරිමය මේ වනවිට ලබාගෙන ඇත. එහෙත් එය එතැනින් නතර වුවහොත් මේ අයගේ දක්ෂතාද මෙතැනින්ම නිමා වන්නේය. අරමුදල් පිහිටුවා එය වළකාලිය නොහැකිය.

ඒ සඳහා මේ කනිෂ්ඨ ක්‍රීඩකයන් කොළඹ ගෙන්වා කොළඹ පාසල්වලට ඇතුළු කොට එක් කඳවුරක තබාගෙන පුහුණු කරන විධිමත් ක්‍රමයක් ආරම්භ කළ යුතුය. ඔවුන්ගේ පුහුණුකරුවන් මෙන්ම ජාතික මට්ටමේ පුහුණුකරුවන් එහි බර ගත යුතුය. ඇතැම්විට ජාතික මට්ටමේ පුහුණුකරුවන් කළ යුතු කාර්යභාරය පවා මොවුන්ගේ මුල් පුහුණුකරුවන් කර හමාරය. එබැවින් ඔවුන්ගෙන් ඉදිරියට තැබිය යුතු පියවර මෙරට නමට ජාතික යැයි කියාගන්නා පුහුණුකරුවකු ළඟ නවතා මේ ක්‍රීඩකයා බිහිකළ අයිතිය ඔහුට දෙන එක නොව මේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර පුහුණුව ලැබීමය. දැනට මොවුන් යම්කිසි කුසලතා පෙන්වා ඇත. එහෙත් ඔලිම්පික් පදක්කමක් දිනන්නට නම් මොවුන් ජාත්‍යන්තර පුහුණුව ලැබිය යුතුමය. සුසන්තිකා ඇමරිකාවේ පුහුණුව නොලබන්නට කිසිවිටකත් ඔලිම්පික් පදක්කමක් දිනනු නැතිය. ඇයට ඒ භාග්‍ය හිමිවූයේ ටෝනි කැම්බල් නිසාය. අද චීනයේ සුපිරි පිහිනුම් ක්‍රීඩකයන් පවා පුහුණුව ලබනුයේ ඇමරිකාවේය. තරග වැදීමේදී වෙන වෙනම රටවල් නියෝජනය කළද මේ හැම ක්‍රීඩකයකුම දැනුම ලබාගත්තේ එකම යාන්ත්‍රණයකිනි. සරලව වටහාගත හැකි කරුණ නම් මෑතකදී මෙරට පිහිනුම් ජයකෙහෙළි නැංවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදෙස් පුහුණුව ලබන්නෝය. එසේ නම් ඔවුන් අඩියක් හෝ ඉදිරියට තැබුවේ විදෙස් පුහුණුව නිසාය. එමෙන්ම අද අපට සිටින දක්ෂ ක්‍රීඩකයන් විශාල මුදලක් වැය කොට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවකට දියුණු රටක දියුණු ක්‍රීඩා පුහුණුවකට යොමු කළහොත් ඒ ජයග්‍රහණයට සහතිකයක් වනු ඇත. සුගත් තිලකරත්න එදා මෙරට උපරිම තලයේ සිටි ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තරය තුළත් ඔහු ජනප්‍රිය ජයග්‍රාහී තරගකරුවෙක් විය. මයිකල් ජොන්සන් පවා මූලික වටයේ තරගයකදී පරාජය කොට කතාබහට ලක්වූවෙකි. එහෙත් ඔහුට සිදුවූයේ අපේ දැනුමෙන් එහාට ඔහු රැගෙන නොයෑමය. සුසන්තිකාට දුන් ඇමරිකානු පුහුණුව ඒ මොහොතේ සුගත්ටත් ලබා දුන්නේ නම්, සුගත්ට යම් පෙරළියක් ඔලිම්පික්හිදී කළ හැකිව තිබුණි. එහෙත් එය කුමන හෝ කරුණක් නිසා සිදුනොවීය. එය සැලකිල්ලට නොගෙන සුගත් අතරමං කළා සේ වත්මන් පරපුර අතරමං නොකළ යුතුය. ක්‍රිකට්වලට කීය හෝ වියදම් කොට පුහුණුකරුවන් ගන්නා අප සෙසු ක්‍රීඩාවලට එසේ නොකරන්නේ ඇයි? පාපන්දුවට දියුණු තාක්ෂණය ජාත්‍යන්තර පුහුණුව නැතිව තව වසර සියයක් කල්මැරුවද මේ තත්ත්වයම විනා අලුත් දෙයක් නොවනු ඇත. එය සෑම ක්‍රීඩාවකටම පොදුය. (අනෙක් අතට මෙරට පුහුණුකරුවන්ට ජාත්‍යන්තර දැනුම ලබාදෙන වැඩපිළිවෙළක් සැදිය යුතුය. අද අපට සිටින දක්ෂ ක්‍රීඩක පිරිස නිර්මාණය කළේ මේ ගමේ පුහුණුකරුවන්ය. ඔවුන්ට මෙවැනි දක්ෂතා ඇති තවත් පිරිස් බිහිකිරීමට ඔවුන්ටද ජාත්‍යන්තර පුහුණුව ලබාදිය යුතුය. මෙරටට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවන් ගෙන්වා පුහුණු කඳවුරු පැවැත්විය හැකිය. එවිට විශාල පිරිසකට දැනුම බෙදා දිය හැකිය. එයින්ද උපරිම කුසලතා දක්වන අය තෝරා ශිෂ්‍යත්ව ලබාදී ජාත්‍යන්තර පුහුණුවට දියුණු රටවලට යැවිය හැකිය. එය මේ බොරු අරමුදල් පිහිටුවා මුදල් තැන්පත් කොට තියෙනවාට වඩා ඵලදායකය. මේ කිසිවක් නොකර අරමුදල් පිහිටුවීමෙන් ක්‍රීඩාව සංවර්ධනය වන්නේ නැත.

ආසියානු ක්‍රීඩා උළෙලට මෙවර විශාල පිරිසක් සහභාගි වී ඇත. ඉන් හොඳම විසිපස්දෙනකු තෝරා හෝ සංචිතයක් නිර්මාණය කරගත හැකිය. එම ක්‍රීඩකයන්ට මනා පෝෂණයක් ලබාදීම නිත්‍ය වගකීමක් කරගත යුතුය. එමෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන්ද රැකගත යුතුය. පසුගිය කාලයේ එම ක්‍රීඩකයන්ට රුපියල් 75,000 සහ පුහුණුකරුවන්ට රු. 25,000 ගෙවන පොරොන්දු තිබුණද ඒවා කඩවුණු පොරොන්දු වූ බව කතාබහය. මේ කිසිවක් නොදන්නා අගමැති ක්‍රීඩා අරමුදල් පිහිටුවා ක්‍රීඩාවේ අභිවෘද්ධිය ගැන කයිවාරු ගසමන් සිටී. ඔහු එම අරමුදල පිහිටුවා කළ කතාවේදී මෙසේද කීය. මූල්‍යාධාර තුළින් හා අනෙකුත් ආධාර මගින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමේ රන් පදක්කම් දිනාගත හැකි රටක් බිහිකිරීමට බලාපොරොත්තු වෙනවා. යනුවෙනි. එවිට සියල්ල හරිද? අප එතෙක් බලා සිටිය යුතුද? මෙතෙක් කල් බලා සිටියේ එසේ නොවේද? තවත් බලා සිටිමුද?