බොරු ඇත්ත

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

සත්‍ය, අසත්‍ය මෙන්ම හරි දේ කුමක්ද? වැරදි දේ කුමක්ද? යන්න තෝරාබේරා ගැනීමට නොහැකි වන තරමට සියල්ල අවුල් ජාලාවක් බවට පත්ව තිබීම, ශ්‍රී ලංකා ජනතාව අද මුහුණ දී සිටින බරපතළ ඛේදවාචකයකි. මෙයින් අදහස් වන්නේ “සත්‍ය” නැතහොත් සත්‍ය වශයෙන් ම සිදු වූ “හරි” දේ, නොමැති බව නොවේ. එය යථාර්ථයක් ලෙස පැවතුනත්, ඒවා නිවැරදිව ම කියන්නේ කවුද යන්න තෝරාබේරාගත නොහැකි වීම පුරවැසියා මුහුණ දී ඇති අර්බුදයක් ලෙස සැලකිය හැකිය. නැතහොත් කියන, පෙන්වන දේ අතරින් නියම ලෙස ම සිදු වූ දේ කුමක්ද යන්න තෝරාබේරා ගැනීමට නොහැකි වීමේ අර්බුදය ලෙස ද මෙය හැඳින්විය හැකිය.

මෙය ඛේදවාචකයක් වන තරමට ම සමාජයේ සියලු පාර්ශ්වයන් වෙලාගෙන තිබේ. කිසිවකුට නිවැරදිව ම තොරතුරු නොලැබෙනවා පමණක් නොව, ඒවා ලැබීමට ඇති මාවත් ද අහිමි කර තිබේ. සිදුවීමක් පිළිබඳ සත්‍ය හෝ නිවැරදි තොරතුරු නොලැබෙන්නේ නම් ඒ මත ගන්නා තීරණයන් ද නිවැරදි වන්නේ නැත. කුමක් හරි ද යන්න තෝරාබේරාගත නොහැකි වී ඇත්තේ එක්කෝ සිදුවීමක් පිළිබඳ, වගකිවයුතු යැයි සලකන විවිධ පාර්ශ්වයන් විවිධ ආකාරයට එය පෙන්වා දීම නිසාය. එසේත් නැතහොත් බොරුකීම නිසාය. එවිට රටවැසියාට අවුල් ජාලාවකට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැත.

ඥානසාර හිමි හා වැලිකඩ

පසුගිය අගෝස්තු 07 වන දා ජනතාවට ලැබුණ මුල් පෙළේ තොරතුරක් වූයේ බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 6 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වීමය. ඊට පෙර දින තවත් තොරතුරක් ලැබී තිබිණි. ඒ, වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ශල්‍ය කර්මයක් සඳහා උන් වහන්සේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේ පුවතය. දඬුවම් ලැබුණ දිනයේ ම එම ශල්‍ය කර්මය සිදු කිරීමට නියමිතව තිබුණ ද එය සිදු කළේ නැත. පසුව පසුගිය සඳුදා එය සිදු කරන බවට තවත් තොරතුරක් වෛද්‍යවරුන් හරහා සමාජගත වුවද එදිනද එවැන්නක් සිදුවූයේ නැත. දිගින් දිගට ම සිදුවෙමින් පවතින්නේ ශල්‍ය කර්මය කල් යාමය. අදාළ විෂය ප්‍රවීණයන් වන වෛද්‍යවරුන් ඊට හේතු මොනවාදැයි ප්‍රකාශ කරමින් සිටිති.

මෙම සිදුවීමේ හරය වන්නේ ශල්‍ය කර්මයක් වැනි වෛද්‍ය විද්‍යාත්මක කරුණක් සම්බන්ධයෙන් ඒ පිළිබඳ වෘත්තීය නිපුණයන් වන වෛද්‍යවරුන් ඉදිරිපත් කරන කරුණු පුරවැසියන්ට පිළිගැනීමට සිදුවීමය. එවිට එය සත්‍ය හෝ හරි දේ ලෙස පිළිගන්නවා විනා වෙන කළ හැකි යමක් නැත.

ඥානසාර හිමි, අධිකරණයට අපහාස කිරීමේ වරදට තමන්ට ලැබුණ දඬුවම පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද තීරණය කර තිබූ අතර ඒ සමගම උන් වහන්සේගේ නීතිඥවරයා අධිකරණයෙන් කළ විශේෂ ඉල්ලීම ද නොසලකා හැරිය නොහැකිය. ඒ, අභියාචනයේ තීරණය ලැබෙන තුරු ඥානසාර හිමියන්ව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන්නැයි දැනට කර ඇති නියෝගය අත්හිටුවන ලෙසය. එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේ දී එය ප්‍රතික්ෂේප කළේය. රෝහල් ගතවීම, රෝගය, ශල්‍ය කර්මය ආදී සියල්ල හරි දේ යැයි සැලකුවහොත් එසේත් නැතිනම් සත්‍ය යැයි සැලකුවහොත් එම තොරතුරු අනුව ලබාගත හැකි නිගමනයක් තිබේ. එහෙත් ඒවා සත්‍ය නොවී, සත්‍ය සළුපිළි අන්දවා-පිළිගත හැකියැයි කියන පුද්ගලයන් හරහා පිළිගත හැකි ලෙස ඉදිරිපත් කළේ නම් තොරතුරු සමාන නිසා එහිදී ද පුරවැසියා ලබා ගන්නේ ඉහත නිගමනය මය. එයාකාරයෙන් ම, නොසිදු වූ දෙයක් සිදු වූ ලෙසට ද සිදු වූ දෙයක් නොසිදු වූ ලෙසට ද, පිළිගත හැකි ලෙස සමාජයට පිළිගැන්වීම ද, ඉවත දැමිය නොහැක්කකි. එවිට එය පුරවැසියා මුහුණ දෙන ඛේදවාචකයක් වීම වැළක්විය හැකි ද ?

ඥානසාර හිමිගේ සිදුවීම ඉතා සමීප වර්තමාන නිදර්ශනයක් ලෙස සලකන්න. මෙවැනි තවත් සිදුවීම් ඕනෑ තරම් අතීතයෙන් සොයාගත හැකිය. ඒවා හරි දේ යැයි සිතා පුරවැසියෝ එදා තීරණ ගෙන තිබුණෝය. එහෙත් පිළිගත හැකියැයි සැලකෙන පාර්ශ්ව හරහා පිළිගත හැකි ලෙස මුදා හැරී එම තොරතුරු නිවැරදි නොවීය. අද දවසේ වැලිකඩ බන්ධනාගාරයේ වන සිද්ධි දාමය ද සැක කටයුතුය. “ලක්බිම” පුවත්පත විටෙක සිදුනොවූ වාර්තාවක් පළ කළේය. එය එසේ තහවුරු වූයේ වැලිකඩ රැදවියන් (කාන්තාවන්) පිරිසක් ආහාර ගන්නට එළියට පැමිණි විටක උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා කර පසුව එය සත්‍ය ලෙස ම සිදු නොවූ, නිර්මාණය කළ සිද්ධියක් ලෙස වාර්තා කිරීමය. අධිකරණ අමාත්‍යයංශය, නීත්‍යනුකූලව තොරතුරු ගන්නා මාර්ග වසා දමා එක් එක් අයට ඕනෑ ආකාරයට තොරතුරු මාධ්‍ය වෙත දීමට මාවත විවර කර තිබෙන බව පෙනේ. ඒ අනුව මෙම තොරතුරු මත පුරවැසියා අද ගන්නා නිගමන වැරදීමට ඕනෑ තරම් ඉඩකඩ නැතැයි කිව නොහැකිය.

සිදු නොවූ සත්‍ය

මෙම බොරු කීමේ කලාව, නැතහොත් සත්‍ය සිදුවීම සඟවා නොසිදුවන දෙයක් සිදු වූවා සේ පුරවැසියා වෙත, පිළිගත හැකි ලෙස පිළිගැන්වීම දූෂණයේ ම බරපතළ කොටසක් වන්නේය. එවැනි දේ එසේ සිදු කරන්නේ, එක්කෝ ධනයට ය, නැතහොත් බලයට ය. ඕනෑම තරතිරමක වෘත්තිකයකු මුදලට හා බලයට යට වී සත්‍ය නැතහොත් හරි දේ යටපත් කරවා “යළි සකස් කළ සිදුවීමක්” සත්‍ය සේ සමාජයට පිළිගැන්වීම සැලකිය හැක්කේ පුරවැසියාගේ විචාර බුද්ධියට කරන නිගාවක් ලෙසය. ඕනෑම වෘත්තිකයකු මුදලට ගතහැකි බව තහවුරු වූ සමාජයක ඕනෑම දෙයක් විය හැකිද?
මෙහිදී, හතරවන ආණ්ඩුව ලෙස සලකන ජනමාධ්‍යයේ කොටස හා ඒ පිට පැවරෙන වගකීම මෙහිදී නොසලකා හැරිය නොහැකිය. එය අසීමිත වගකීමක් වන අතර වෙනම ම කතාබහට ලක් කළ යුතු අත්‍යවශ්‍ය මාතෘකාවක් වන්නේය.