සඳලංකාවේ සඳවත වින්සන්ට් සුබසිංහ

තුසිත් සාගර චන්ද්‍රසිංහ
නියෝජ්‍ය විදුහල්පති,
ර/ හුණුවල ධර්මරාජ මහා විද්‍යාලය
ඕපනායක

ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ පියා ඔහුය. වැටුප් නොගෙන ස.තො.ස. ආයතනයේ සභාපති තනතුර සහ මහජන බැංකුවේ ආරම්භක සභාපති තනතුර දරමින් මෙරට පොදු ජනතාවගේ නොමඳ ප්‍රසාදයට පත් වූ ලාංකිකයා ඔහු ය.

වින්සන්ට් සුබසිංහයන් උපන්නේ 1906.03.29 වැනිදා ය. ඒ සියලු සැප සම්පත් විඳිය හැකි සඳලංකාවේ ප්‍රභූ පවුලක දරුවකු ලෙසය. වර්ෂ 1911 සිට වර්ෂ 1914 දක්වා සඳලංකාවේ – හෙණ්ඩියගල සිංහල පාඨශාලාවේත් 1915 සිට 1918 දක්වා මීගමුව ශාන්ත මේරි විදුහලේ සහ ඉක්බිති 1919 සිට වර්ෂ 1926 දක්වා කොළඹ ආනන්ද මහා විදුහලේත් අධ්‍යාපනය ලැබුවේ ය.
පාසලේ අධ්‍යාපනය නිමවා පෙරළා උපන් ගමට – සඳලංකාවට පැමිණි වින්සන්ට් සුබසිංහ මහතාට තම උපන් ගමේ මිනිසුන් සහ තදාසන්න ගම්වල දුප්පත් ගොවියා – කුඩා පොල් ඉඩම් හිමියා ආර්ථික විඩා පිරිපතින් හෙම්බත්ව සිටිනු දකින්නට හැකි විය. හෙතෙම උසස් අධ්‍යාපන අවස්ථා මෙන්ම කුමර සැප සම්පතින් ආඪ්‍ය වූ වලව්කාර ජීවිතය, පොඩි මිනිසුන් ඇසුරේ දුගියාගේ ආර්ථික විමුක්තිය පිණිස කැප කළේ ය.

කුඩා පොල්වතු හිමියන් කිහිප දෙනෙකු එකතු කරගත් සුබසිංහ මහතා 1939 වර්ෂයේ පොල්වගාකරුවන්ගේ සමූපකාර සමිතියක් සඳලංකාවේදී ආරම්භ කළේ ය.
‘සඳලංකාවේ සමූපකාරය’ ඇරැඹුණේ එසේ ය. ආරම්භක සාමාජික සංඛ්‍යාව දහතුන් (13) දෙනෙකි. ක්‍රමයෙන් දියුණුව කරා පා තබන සුබසිංහ මහතාගේ සමූපකාර ව්‍යායාමය පසුකාලීනව සත්කෝරළයේ සමාජයීය සියලු අවශ්‍යතා සපුරාලමින් ව්‍යාපාර අංශ 32 කින් සන්නද්ධ විය. කෙළවර දී 1970 පමණ වන විට එය ‘ආසියාවේ යෝධ මහා සමූපකාරය’ නමින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වීමත් සමග සඳලංකාව අන්තර්ජාතික කීර්තියට පත් විය.

සමූපකාරයේ පුරෝගාමී නායක වින්සන්ට් සුබසිංහ සිරිමතුන් සඳලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ සභාපති තනතුරට හිමි වැටුප සහ දීමනා සතයක්වත් ලබා ගත්තේ නැත. එතුමා දවසේ පැය 24 න් 18 ක් ම තම දරුවකු වන් සඳලංකාවේ විවිධ සේවා සමූපකාර ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා කැපවී වැඩ කළ බව සත්කෝරලයේ වැඩිහිටියෝ පවසති.

සමූපකාර ව්‍යායාමය මතු නොව එතුමාගේ ගොවි ජනපද ව්‍යාපාරය හා බැඳුණු තොරතුරු ද ආස්වාදජනක ය. උසස් ආදර්ශයෙන් පිරිපුන් ය. එම ආදර්ශ කතාව වර්ෂ 1982 දී එවක “දවස – රිවිරැස” පුවත්වල ප්‍රධාන කතුවරයාව සිටි සිරිල් ඒ. සීලවිමල මහතා මා ලවා ලියවා ගෙන “රිවිරැස” පත්‍රයේ “සඳලංකා සුබසිංහ” මැයෙන් පිටුවක් පුරා පළ කළේ ය. සුබසිංහ මහතාගේ ජීවිත කතාව, සමූපකාර දර්ශනය මෙන්ම ආර්ථිකය සහ ගම්බද ආර්ථිකය පිළිබඳ ඔහුගේ තුලනාත්මක විග්‍රහයන් මා හට අසන්නට – දැන ගන්නට ලැබුණේ එදා එතුමා සමග “රිවිරැස” පත්‍රයට මා කළ සාකච්ඡාවේදී ය.

ඔහුගේ දර්ශනය අධ්‍යාපනඥ ජෝන් ඩිවීගේ ප්‍රායෝගික උපයෝගීතාවාදී න්‍යායට අනුකූලව වැඩුණකැ’යි අද මට හැඟෙයි. එක් අරමුණක් ජයගෙන සමස්තය දෙස බැලූ කල්හි අනෙක් අවශ්‍යතාවක් හෝ ගැටලුවක් පැන නැගෙන්නේ නම් එය ජයගැනීමට තවත් අරමුණු පෙළක් පිහිටුවාගෙන ක්‍රියාකිරීමේ අපූරු නිර්මාණශීලී ගුණයක් වින්සන්ට් සුබසිංහ මහතා සතු විය.

පොල් නිෂ්පාදන අංශය, පාරිභෝගික අංශය, පේෂකර්ම අංශය, ලී පට්ටල් වැඩ, මුද්‍රණ අංශය, තොග හා සිල්ලර වෙළෙඳ අංශය, සමූපකාර ආරෝග්‍ය ශාලාව, සමූපකාර සිනමා ශාලාව ඈ මෙකී නොකී කුදු මහත් සකලාංග සම්පූර්ණ විවිධ සේවා සමූපකාර සමිතිය වශයෙන් සඳලංකාවේ සමූපකාරය, සැම දන මන පුබුදන නැණ – නුවණින් පිරි සුබසිංහ දර්ශනය මගින් “සේවය” යන්නට පර්යාය පදයක් වූයේ ය.
සමූපකාර ආදායම දියුණුවීමෙන් ප්‍රතිලාභී සාමාජිකයන් අතමිට සරුවන්නට විය. ඔවුනට විනෝදය සහ සතුට අවශ්‍ය විය. විනෝදය සඳහා මීගමුවේ පිහිටි චිත්‍රපට ශාලා කරා කුලීරථ වලින් යන්නට තරම් සරු ආර්ථිකයක් සමූපකාරය විසින් හිමිකර දී තිබිණ. සමිති සාමාජිකයෝ එසේ ගොස් චිත්‍රපට බැලූ හ. ඒ සඳහා වැය කරන මුදල විශාල යැයි තේරුම්ගත් වින්සන්ට් සුබසිංහ මහතා ප්‍රදේශවාසීන්ගේ අතමිට ගැවසෙන මුදල සමූපකාර ව්‍යාපාරයේ ම රඳවා ගැනීමට අංගසම්පූර්ණ සිනමා ශාලාවක අවශ්‍යතාව වහා අවබෝධ කර ගත්තේ ය. ඉක්බිති අරමුණු පෙළ ගස්වා සඳලංකාවේ “සමූපකාර සිනමා ශාලාව” ඉදි කළේය. විනෝදය සඳහා නගරයට ඇදී ගිය ගම්බද ගොවියාගේ කුඩා පොල්වතු හිමියාගේ සහ සමූපකාරිකයාගේ මුදල් සමූපකාර ව්‍යාපාරය තුළම වක්‍රාකාරයෙන් සංසරණය වෙමින් සංරක්ෂණය වන්නට වූ හෙයින් සමූපකාර ව්‍යාපාරයේ සෙසු අරමුණු ද ජය ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනය කාර්යක්‍ෂම විය.

ආසියාවේ සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥ අමාර්ත්‍ය සෙන් විසින් පර්යේෂණය සිදුකර බෙංගාලයේ ගම්බද ආර්ථික සංවර්ධනය පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවලට ඔහුට 1998 දී නොබෙල් ත්‍යාගය හිමිවූයේ ගම්බද ආර්ථිකය නැංවීම හා සම්බන්ධ සුබසාධන ආර්ථික විද්‍යාවේ සිද්ධාන්ත රචනය වෙනුවෙනි. “මානව සංවර්ධන න්‍යාය” සහ “දිළිඳු බව පිටුදැකීමේ යාන්ත්‍රණය” එහිලා නොබෙල් ත්‍යාගලාභී අමාර්ත්‍ය සෙන් අවධාරණය කරයි. අමාර්ත්‍ය සෙන් 1998 දී තම සිද්ධාන්තවලට නොබෙල් සම්මාන ලබද්දී එම සිද්ධාන්ත ම ඔහුට පෙරාතුව 1940 වර්ෂයේ සිට වින්සන්ට් සුබසිංහයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේ ය. එමගින් ඔහු ගම්බද ආර්ථික න්‍යාය සංවර්ධනයේ විපර්යකාරයක් බව ඔප්පු කර පෙන්වා දී තිබුණේ ය.

සුබසිංහයන් සිද්ධාන්තප්‍රිය ආර්ථික විශේෂඥයන්ට වඩා ජනතාවාදී විය. ඔවුන්ට වඩා ප්‍රායෝගික විය. හෙතෙම ජනතා අවශ්‍යතා කෙරෙහි වඩා සංවේදී විය. ඒ ඇසුරෙහි සමූපකාර දර්ශනයට නවෝත්පාදක අරමුණු එකතුකර ඒවා ජය ගැන්මෙහි සමත් ප්‍රායෝගික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බුහුටි විය. එනයින් හෙතෙම ප්‍රකට අධ්‍යාපනඥ ජෝන් ඩුවීගේ උපයෝගීතාවාදී ප්‍රායෝගික අධ්‍යාපන දර්ශනයට අනුකූලව තම සමූපකාර දර්ශනය සකස් කරගෙන තිබිණ.

ඉන්දියාවේ ගාන්ධිතුමා මෙන්ම වින්සන්ට් සුබසිංහයන්ද ගම්බද ආර්ථික වර්ධනය සඳහා අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය කෙරෙහි යොමු විය. තම සමූපකාර ව්‍යායාමයේදී හෙතෙම ගැමි කාන්තාවන්ට අත්යන්ත්‍ර රෙදිපිළි විවීම සඳහා ඉඩ හසර ලබාදෙමින් ඔවුන්ට පහසුකම් සලසා දුන්නේ ය. මේ වනවිට සඳලංකා සමූපකාරය මගින් ප්‍රදේශවාසීන් දහස් ගණනකට රැකියා අවස්ථා සලසා දී තිබුණු බවද සැලකිය යුතුය. එවක සමූපකාර තරුණ-තරුණියන් සියලුදෙනාම පාහේ කඩියන් මෙන් වැඩ කළහ’ යි සත්කෝරළබද වැඩිහිටියෝ පවසති.

වාසිය නොව යුක්තිය රැඳී ඇති මාවත තෝරාගත් මහා යුග පුරුෂයකු ලෙස වන වින්සන්ට් සුබසිංහ මහතාගේ සමූපකාර සිහිනය වර්ෂ 1975 පමණ වන විට සුහුඹුල් – පරිණත මහා වනස්පතියක් සේ වැඩී ගොස් සරුඵල ලබා දෙන්නට විය. එහෙත් හැත්තෑව දශකය අගභාගයේදී විවෘත ආර්ථිකය හඳුන්වාදීමත්, ඉක්බිති පරිපාලනයේ පහසුව සඳහායැ’යි කියමින් සඳලංකාවේ යෝධ මහා සමූපකාර සමිතිය කොටස් දෙකකට කඩා වෙන් කිරීමත් සමග විවෘත ආර්ථික රැල්ලෙහි අනවරත තෙරපුම් බලය ඉදිරියේ ලංකාවේ සමූපකාර ව්‍යාපාරයට පොදුවේ අත් වූ ඉරණම අපේ සඳලංකාවේ සමූපකාරයට ද උදා විය.

“සඳලංකාවේ ගාන්ධි”, “ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා” වශයෙන් මහජන ප්‍රසාද පූර්වක අභිධාන ලැබූ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ සුධීමතුන් අප අතරින් වියෝ වී 2018.08.08 දිනට වසර 33 ක් සම්පූර්ණ විය.