රාවය

ලොවටම බලපාන ට්‍රම්ප්ගේ තීරුබදු සහ සම්බාධක

ලොවටම බලපාන ට්‍රම්ප්ගේ තීරුබදු සහ සම්බාධක

එස්. නන්දලාල්

පසුගිය සතියේ තුර්කියේ ලීරා මුදල් ඒකකය නොසිතූවිරූ ලෙස කඩා වැටුණේ ය. ඒ අමෙරිකා එක්සත් ජනපදය විසින් වානේ සහ ඇලුමිනියම් උදෙසා එරටට පනවනු ලබන තීරුබදු පිළිවෙළින් 50% සහ 20% දක්වා ඉහළ දැමීමත් සමග ය. හදිසියේ සිදුවූ මෙය පිටුපසින් පිහියෙන් ඇනීමක් බව තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දගොන් පෙන්වා දෙයි.

අමෙරිකාව මෙලෙස තුර්කියෙන් අය කරන තීරුබදු වැඩි කරන්නට හේතුව ආර්ථික අර්බුදයක් නොවේ. කලකට පෙර තුර්කිය අමෙරිකාවේ සහචරයෙක් විය. භේදය ඇති වූයේ 2016 ජූලි 15 තුර්කියේ රජයට එරෙහිව එරට සටන්කාමී කණ්ඩායමක් විසින් ඇති කරන ලද කැරැල්ලෙන් ඉක්බිතිව ය. එම කුමන්ත්‍රණය සැලසුම් කළ බව කියන අමෙරිකාවේ සරණාගත රැකවරණ ලබන තුර්කියකු වන ෆෙතුල්ලා ගිලෙනි ඉරාකයට පිටුවහල් කරන ලෙස තුර්කිය අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි නමුත් පෙන්ටගනය එය ප්‍රතික්‍ෂෙප කළේ ය. මේ නිසා අමෙරිකා එක්සත් ජනපදය එම කුමන්ත්‍රණයට පිටුබලය සපයන බවට තුර්කිය චෝදනා කළේ ය.

තුර්කිය විසින් අමෙරිකානු පුරවැසියකු වන ඇන්ඩෘ බෘන්සන් නමැති ඉවැන්ජලික පාස්ටර්වරයා අත්අඩංගුවට ගන්නා ලදී. කුමන්ත්‍රණයේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරන ලද බව එරට රහස් ඔත්තු සේවා විසින් අනාවරණය කැර ගැනීමෙන් පසු මේ අත්අඩංගුවට ගැනීිම සිදුවිය. පසුව තුර්කි අධිකරණය ඔහුට දිගුකාලීන සිරදඬුවමක් නියම කළේ ය. ඔහු අහිංසකයකු බැවින් නිදහස් කරන ලෙස අමෙරිකාව කිහිප විටක්ම ඉල්ලා සිටියත් තුර්කි රජය ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේ ය. පසුව තුර්කි රජය විසින් බෘන්සන් සිපිරි ගෙයින් මුදවා නිවාස අඩස්සියට පත් කරන ලදි.

පෙන්ටගනය මෙයින් කිපුණි. තීරුබදු දෙගුණ කිරීම එහි අවසන් ප්‍රතිඵලයයි. මෙයින් තුර්කියේ ආර්ථිකයට මරු පහරක් වැදිණි.

කෙසේවෙතත් නේටෝ සාමාජිකයකුද වන තුර්කිය අමෙරිකාවේ සමීපතම මිතුරෙකි. පසුගිය ජනාධිපතිවරණයේ දී එර්දගොන්, හිලරි ක්ලින්ටන්ට එරෙහි ප්‍රතිපත්තියක් දිගටම අනුගමනය කළේ ය.
ජනාධිපති ට්‍රම්ප් වැඩිපුරම ප්‍රහාර එල්ල කරන්නේ සිය හිතවාදීන්ට බව අමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි. මන්දයත් චීනය හැරුණුවිට අන් සියලු රටවල් ඔහුට සහාය පළ කළ නිසා ය. රුසියා ජනාධිපති පුටින් ද පසුගිය ජනාධිපතිවරණයේ දී ක්ලින්ටන් බලයට පත් නොවන්නේ නම් මැනව’යි යන ආස්ථානයේ සිටි බව ප්‍රකට ය. එහෙත් පසුගිය රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින් ජයගත් අවස්ථාවේ ට්‍රම්ප් ඔහුට එක්වරම සුබ පැතුවේ නැත.

ජනාධිපති ට්‍රම්ප්ගේ ආරක්‍ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්තිය දැන් මු`ඵ ලොවටම බලපාන්නක් වී හමාරය. අමෙරිකාවේ ආර්ථිකය ඉහළට ඔසොවා තබන්නට තමා ගන්නා පියවර ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයේ පැහැදිලි ව ප්‍රකාශයට පත් කොට තිබිණි. 2007 පැවැති ජනාධිපතිවරණයේ දී බරක් ඔබාමා ගෙන ආ ආදර්ශ පාඨය වූයේ ‘වෙනසක්’ යන්නයි. ඉන් අට වසරක් ඉක්ම ගිය තැන දේශපාලනයට නවකයකු වන බිලියනපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් කළේ ‘අමෙරිකාව අංක1’ යන දේශානුරාගී ආදර්ශ පාඨයයි. දැන් ඔහු මේ කරමින් සිටින්නේ අමෙරිකාව අංක එක බවට පත් කිරීමයි.

ඇත්තටම නම් අමෙරිකාව අංක එක බවට පත් කරන්නට ඩොනල්ඞ් ට්‍රම්ප්ට කරන්නට දෙයක් නැත. ආර්ථික වශයෙන් පමණක් නොව බොහෝ කාරණාවලින් -ධන පැත්තේ මෙන් ම ඍණ පැත්තේ ද – අමෙරිකා එක්සත් ජනපදය සිටින්නේ අංක 1 දරන ස්ථානයේ ය. ට්‍රම්ප්ට තිබෙන්නේ ඒ ස්ථානය රැක ගැනීම ය.

අමෙරිකානු නිෂ්පාදන වෙනත් රටවලින් මිල දී ගන්නේ අඩුවෙන් බවත් අමෙරිකාව වෙනත් රටවලින් බොහෝ භාණ්ඩ මිල දී ගන්නා බවත් ඔහු වරින්වර ඉස්මතු කළ කාරණය විය. ‘අපි ඔබගේ වාහන මිල දී ගන්නවා. ඔබත් අපගේ වාහන මිල දී ගන්න’යි ඔහු ජපාන අගමැති ෂින්සො අබෙ මුණ ගැසුණු අවස්ථාවක පැවසී ය.

ජනාධිපති ට්‍රම්ප් මුලින්ම තීරුබදු පැනෙව්වේ සූර්ය පැනල සහ රෙදි සෝදන යන්ත්‍රවලට ය. ඒ පසුගිය ජනවාරි මාසයේ ය. එය කිසියම් රටක් ඉලක්ක කැර ගනිමින් කළ දෙයක් නොව පොදුවේ සිය රට මිල දී ගන්නා ඕනෑම රටක එම නිෂ්පාදන සඳහා ය. ඉන්පසු ඔහු පසුගිය පෙබරවාරි මාසයේ සිය රටට ආනයනය කෙරෙන වානේවලට 25% සහ ඇලුමිනියම්වලට 10% තීරු බදු පැනවී ය. මෙය වැඩිපුරම දැනුණේ කැනඩාවට ය. කැනඩාව 2017 වසරේ අමෙරිකාවට අපනයනය කළ වානේවල වටිනාකම ඇඩො බිලියන 12.4කි. ඊළඟට යුරෝපා සංගමයට ය. 2017 දී එම වටිනාකම ඇඩො බිලියන 7.7කි. ඒ අවස්ථාවේ මෙයට බොහෝ විරෝධය පළවුවත් ට්‍රම්ප් පසුබෑවේ නැත. ඒ අවස්ථාවේ ආර්ථිකඥයන් පෙන්වා දුන්නේ ට්‍රම්ප්ට පහර දෙන්න වුවමනා වූයේ චීනයට වුවත් විද්දේ හාවට වැදුණේ පඳුරට වැනි දෙයක් සිදුව ඇති බව ය. මන්දයත් චීනය අමෙරිකාවට අපනයනය කරන්නේ ඩොලර් බිලියන 2 පමණ වටිනාකමකින් යුත් වානේ පමණක් වන බැවිණි.

ඉන්පසු අමෙරිකාව වරින්වර චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩවලට තීරු බදු පැනවූ අතර චීනය ද නිකම්ම සිටියේ නැත. එහෙත් අමෙරිකා එක්සත් ජනපදය චීනයෙන් ආනයනය කරන තරම් විශාල භාණ්ඩ ප්‍රමාණයක් චීනය අමෙරිකාවෙන් ගෙන්වන්නේ නැත.

අමෙරිකාවේ සුවච කීකරු ඇම්බැට්ටයන් ව සිටි යුරෝපා සංගමයේ ප්‍රධාන කාර්මික රටවල්ද, කැනඩාවද, මෙක්සිකෝවද ට්‍රම්ප්ගේ නව තීරු බදු නිසා සිය රටවල ආර්ථිකයට සිදුවන හානිය ගැන කෝපයට පත්ව සිටිති.

මෙය ආර්ථික යුද්ධයක් බව චීනය ප්‍රකාශයට පත් කළේ ය.ඊළඟට ට්‍රම්ප් රුසියාව සමග ගනුදෙනුවලට අත තැබුවේ ය. ඒ මේ මස මුල දී ය. ඊට හේතුවක් නැති තැන ඔහු කොහේවත් යන ස්ක්‍රිපාල් විෂ වායු සිද්ධිය ඊට නිමිත්ත කැර ගත්තේ ය. එය ඇත්තට ම තීරුබදු පැනවීමක් නොව සම්බාධක පැනවීමකි. අමෙරිකාවේ ඇති රුසියානු ගිණුම් ගල් කිරීම පවා ඉන් සිදුවේ. අමෙරිකාවේ මේ ක්‍රියාව නිසා රුසියානු රූබලය පහළ වැටිණි. දැන් රුසියාවට ඩොලර්වලින් ගනුදෙනු කළ නොහැකි ය.

ඉරානයට එරෙහි පනවා ඇති සම්බාධක ඉතා ම දරුණු ය. මෙයින් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය. අන්තර්ජාතික පරමාණු බල ශක්ති අධිකාරිය එසේ නොවන බව සහතික කොට තිබියදීත් එරටේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කෙරෙන බව අමෙරිකාව ඊට දක්වන හේතුවයි.

ඉරානයට පනවා ඇති සම්බාධක නිසා ශ්‍රී ලංකාවට ද බලපෑමක් ඇත. මන්දයත් සපුගස්කන්දේ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක වනුයේ ඉරාන බොරතෙල්වලින් පමණක් වන බැවිනි. මේ නිසා සංශුද්ධ තෙල් ගෙන්වීමට සිදුවන අතර ඊට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇත. ඒ අනුව නුදුරු අනාගතයේ අප රටේ ඉන්ධන මිල ඉහළ යනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ඉරානයට පැනවූ සම්බාධක නිසා බලවත් දුෂ්කරතාවලට මුහුණ දෙන තවත් රටක් නම් ඇෆ්ඝනිස්තානයයි. එරටට වරාය නැති අතර එරට උපයෝගී කැර ගන්නේ ඉරානයේ චබහාර් වරායයි. මෙය ඉරානය සහ ඇෆ්ඝනිස්තානය පමණක් නොව ඉන්දියාව ද හවුල් ව්‍යාපාර පවත්වා ගෙන යන එකකි. අමෙරිකානු සම්බාධක අනුව මේ වරාය සමග කටයුතු කිරීමේ දී පවා තහංචි පැනවේ. එසේම ඇෆ්ඝනිස්තාන වැසියෝ විශාල සංඛ්‍යාවක් ඉරානයේ රැකියා කරති. දැන් ඔවුන්ට වැටුප් ලෙස ලැබෙන මුදල් සිය රට මුදල් ඒකකය වන ඇෆ්ගානිවලට මාරු කර ගැනීම කළ නොහැක්කක් වී ඇත. එයින් සිදුවන්නේ ඔවුන්ගේ ජීවනෝපායට අකුල් වැටීමයි.

ගාඩියන් වාර්තා කරන පරිදි ලොව පුරා ප්‍රධාන පෙළේ ආර්ථිකවල කඩා වැටීමක් තුර්කියට පැනවූ තීරුබදු නිසා සිදුවිය. එයින් පහළ ගියේ තුර්කි ලීරා පමණක් නොවේ. ඉන්දියානු රුපියල, රුසියාවේ රූබලය, දකුණු අප්‍රිකාවේ රෑන්ඞ් මෙන් ම ඔස්ටේ‍රලියානු ඩොලරය ද එකසේ ප්‍රහාරයට ලක්විය. මේ සියල්ල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ය. ඒ නිසා ඩොලරයේ මිල පහළ යාමක් ගැන වාර්තා නොවේ. බොහෝ කොටස් වෙළෙඳ පොළවල ද ව්‍යාපාරික කටයුතුවල පහළ යාමක් සිදුවූ අතර අමෙරිකානු කොටස් වෙළෙඳපොළ ද ඉන් මිදුණේ නැත.
මේ අතර තුර්කිය අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන සියලු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වර්ජනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කොට ඇත. ඉදිරියේ දී ඒවා සිය රටට ආනයනය නොකරන ලෙස ජනාධිපතිවරයා සියලු ආනයනකරුවන්ට දැන්වූ බව සඳහන් ය.