රාවය

“කුණුවීම” ජය ගැනීමට කළ යුත්තේ කුමක් ද? (පුනරුදයට පිළිතුරක්)

“කුණුවීම” ජය ගැනීමට කළ යුත්තේ කුමක් ද? (පුනරුදයට පිළිතුරක්)

ජයවික්‍රම සූරියබණ්ඩාර

රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතාගේ නායකත්වයෙන් වසර දෙකකට ආසන්න කාලයක් පුරා දියත් වන්නා වූ “පුනරුද ව්‍යාපාරය” සිය මෙහෙවරෙහි නිරවද්‍යතාව අරබයා නිහතමානී ලෙස ඇරයුමක් කොට සිටියේ 2018-08-12 දාතමින් නිකුත් වූ රාවය පුවත්පතේ 09 වන පිටුව මගිනි. ඒ වික්ටර් අයිවන් මහතාගේ “කුණුවීම ජයගැනීම” යන වියමන තුළින්ය. පුනරුද ව්‍යාපාරය වත්මන් දේශපාලන ප්‍රශ්නයට පිළිතුරු සොයන ආකාරය සමාලෝචනය කිරීමටත්, විකල්පය ගෙනහැර පෑමටත්, ඉඩහසර විවර කරදීම වෙනුවෙන් පුනරුදයට තුති පුදමින් අපගේ වියමනට ප්‍රවේශයක් ගන්නෙමු.
ලාංකීය දේශපාලනයේ කුණුවීමක් පවතින්නේ දිගු කලක සිටය. ඒ අරබයා පුනරුදයේ විග්‍රහය බොහෝ දුරට නිවැරදිය. එහෙත් නිවැරදි නොවන්නේ, එකී කුණුවීමට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳ කොට ගෙන තිබෙන්නා වූ විග්‍රහයේය. කුණු වී තිබෙන්නේ ව්‍යවස්ථාදායකයවත්, විධායකයවත්, අධිකරණයත් නොවේ. එහි වත්මන් සංස්කෘතියයි. ඒ ජනතා පරමාධිපත්‍ය බලයට වග නොකියනා තත්ත්වයයි. ප්‍රශ්නය උග්‍රවූයේ කෙසේද? ඒ මෙකී ආයතන ත්‍රිත්වය තමන්ගේ පරමාධිපත්‍ය බලයට වග නොකියනා බව පොදු ජනයාට අවබෝධ කොට ගත හැකි මට්ටමේ දේශපාලන සවිඥානකත්වයක් ජනතාව තුළ නොතිබීම නිසාය. එය මෙරට පවත්නා කටපාඩම් අධ්‍යාපනයේත්, වැඩවසම් අත්තනෝමතිකත්වයේත් තර්කානුකූල අවසන් ප්‍රතිඵලයයි.

1815 මාර්තු 02 වනදා උඩරට ගිවිසුම අත්සන් කොට ලාංකේය රාජ්‍යය බි්‍රතාන්‍යයන්ට පවරා දුන් ස්වාර්ථකාමී රදළයන් වසර 133 ක් තිස්සේ බි්‍රතාන්‍ය පාලනය සමග එක්ව සිටියේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස නොව ජරාජීර්ණ රදළ වැඩවසම් අත්තනෝමතිකයන් ලෙසයි. එහෙත් මේ රදළ දේශපාලනය යුරෝපීය ඇඳුමින් සැරසී, ඉංග්‍රීසිය තෙපලමින්, විස්කි බ්‍රැන්ඩි පානය කරමින් කාලය ගත කළේ, තමන්ගේ වාරය පැමිණෙනා තුරුය. ඒ භාර දුන් ලෙසටම සාමකාමීව රට ආපසු ලබාගැනීම සඳහාය. සටන් වැදීමක් සඳහා පෙරට නොගියේ පීඩාවට පත්වෙමින් තිබුණා වූ රට අරබයා හෝ ජනතාව උදෙසා කිසිදු හැඟීමක් නොතිබූ නිසාය. මේ රදළ දේශපාලනයේ නිරුවත මැනවින් පෙනී ගිය අවස්ථාවන් දෙකක් ඇත. පළමුවැන්න 1927 දී බි්‍රතාන්‍යයන් විසින් පළමුවරට මෙරට ජනයා වෙත සර්වජන ඡන්ද බලය ලබා දීමට තීරණය කළ අවස්ථාවේ වත්මන් කුණු දේශපාලනයේ අතීත නායකයින්ගේ බරපතළ විරෝධයයි. දෙවැන්න 1944 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේ පළකරන ලද විරෝධයයි. මේ අවස්ථා ද්විත්වයේදීම හෙළිදරව් වූයේ මෙරට රදළ වැඩවසම්වාදයේ නිරුවතයි.

ඒ අනුව 1948 පෙබරවාරි 04 වනදා මේ රට මාරු වී ගියේ කළු සුද්දන් අතට යැයි යන විග්‍රහය සපුරාම වැරදිය. බලය මාරුවූයේ 1815 මාර්තු 02 වනදා රබර් පන්දුවක් දිය යට සිරවී ගියා සේ යටපත්ව ගිය රදළ වලව් වැඩවසම්වාදය වෙතයි. ක්‍රමක්‍රමයෙන් රබර් පන්දුව දිය මතට පැමිණියේ ආසියාතික වැඩවසම් දේශපාලනයේ ගති ලක්‍ෂණ මැනවින් විදහා පාමින්ය. මේ රදළ දේශපාලනය කොතෙක් බරපතළ වූයේද යන්න විදහා පෑයේ මෙරට වමේ දේශපාලනයේ පතාක යෝධයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා උන්නැහේය. ඔහු 1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරද්දී ප්‍රකාශ කොට සිටියේ “සුද්දාට අපි දුන්නේ “සිංහලේ” වුවත් අද අපිට ආපසු ලැබී තිබෙන්නේ ලංකාවක්” කියාය. එසේම ඒ “සිංහලේ” නොවනා ලංකාව වෙනුවෙන් ව්‍යවස්ථාවක් සකස් කරන්නට සිදුවීම ගැන තමන් අතිශයින් කනගාටු වන බවයි. වාමාංශිකයාගේ තත්ත්වය එසේ වූයේ නම්, දක්‍ෂිණාංශය ගැන කවර කතාද යන්න මේ හරහා මැනවින් තහවුරු වන්නේය. අදත් වාසුදේව නානායක්කාරලා, දිනේෂ් ගුණවර්ධනලා හරහා එළියට පොළා පනින්නේ මේ වැඩවසම් ස්වභාවය මිස අනෙකක් නොවේ. දේශපාලන කුණුවීමේ මූලය මෙයයි. විධායකයත්, ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් කිළිටි වී තිබෙන්නේ මෙකී වැඩවසම් කුණු කසළ කන්දට යටත්ව මිස අනෙකක් නිසා නොවේ.

මේ රදළ දේශපාලනය විසින් මෙරට තුළ සමාජ සම්මුතිවාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් පිළිගන්නා ගරු කටයුතු පුරවැසියකු ඉතිරි කොට නැත. සිටින්නේ වලව් දේශාපාලනයේ ප්‍රවේණිදාසයන් පමණි. එදා ප්‍රවේණිදාසයා පරම්පරාවෙන් පරම්පරාවට දාසත්වයේ යෙදුණා සේම අද විචාරයෙන් තොරව පරම්පරාවෙන් පරම්පරාවට ඡන්දය දෙන්නේ හාමුලාට ඕන එකක් කොරගන්නට මිස තමන්ගේද, තම දරු පැටවුන්ගේද, රටේද අනාගතය ගැන සිතා නොවේ. අද දේශපාලනයේ යෙදී සිටිනා බොහෝ නායකයින්ට වලව් නැති වුවත්, ඔවුහු තම පැරණි නායකත්වයන් හරහා වලව් සංස්කෘතියේ උරුමක්කරුවන් බවට පත්ව සිටිති. ඒ අනුව මැතිවරණවලදී බලයට පත්වන්නේ ටයි කෝට්ද, රෙදි බැනියම්ද, සාරි ඔසරිද භාවිත කොට ගන්නා වැඩවසම් රදළයන් මිස ප්‍රජාතන්ත්‍රවාදීන් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ බල ස්ථම්භයන් හරහා පොළා පනින්නේ, මේ යල්පැන ගිය රදළ වැඩවසම්වාදයේ අර්බුදය මිස වෙනත් කුණුවීමක් නොවේ. විධායකයෙන්ද, ව්‍යවස්ථාදායකයෙන්ද, අධිකරණයෙන්ද හමා යන දුර්ගන්ධය වනාහී කල් ඉකුත් වූ රදළ වැඩවසම්වාදයේ කුණුවීමයි. වෙනසක් කරන්නට අපේක්‍ෂා කරන්නේ නම්, මේ තත්ත්වය නිවැරදිව විග්‍රහ කොට ගත යුතුය.

පුනරුදය කියා සිටින්නේ කුමක්ද? මේ කුණු වී ගිය ඕජස් ගලනා දේශපාලන ප්‍රවාහයට බසිනා කිසිවෙකුටත් කළ හැකි දෙයක් නැත කියාය. ඒ, පවත්නා කුණු වූ තත්ත්වය කිසිදු ශාන්තුවරයකු හට දෙපයින් සිට ගැනීමට ඉඩ නොදෙනා බව කියා සිටිමිනි. පුනරුදයේ මේ විග්‍රහයට වඩාත් අත්පොළොසන් දෙනවා ඇත්තේ, මේ කුණු දේශපාලනයයි. ඒ තමන්ට අභියෝග කළ හැකි කිසිවෙකු ඇසට අසුවන මායිමක නැති බව පුනරුදය විසින් කියා සිටිනා බැවිනි. ඒ අනුව ජනතා පරමාධිපත්‍ය බලය කුමක්දැයි දැනුවත් මහජන බලවේගයක් සූදානම් කිරීමේ වැඩසටහන වනාහී මේ කුණු දේශපාලනයට ලබා දෙන්නා වූ කදිම අනුග්‍රහයක් වන්නේ ඒ සඳහා ගතවන කාලය ඉතා දීර්ඝ නිසාය. එය “කහපටි බැඳීම” තරම් සරල කටයුත්තක් නොවේ. මේ කුණු තත්ත්වය ඉක්මනින් අවසන් කළ යුතුව ඇත්තේ එය දිනෙන් දින කරන්නා වූ විනාශය වර්ධනය වෙමින් තිබෙනා නිසාය. මෙරට ජනයා ජනතා පරමාධිපත්‍ය බලය ගැන දන්නා තරම මැන ගැනීමට අවශ්‍ය අයෙකු එබී බැලිය යුත්තේ මෙරට ඡන්දදායක සමාජය වෙතය. ඇතැම් පාසල් ගුරුවරියන් පවා තමා ඡන්දය දෙන පක්‍ෂයට අඛණ්ඩව එසේ කරන්නේ මියගිය පියාගේ පක්‍ෂය එය නිසාය. කොහේ සිට හෝ බලා ඉන්නා තාත්තාගේ හිත සැනසීම සඳහා ඔහුගේ පක්‍ෂය යැයි කියා දියණිය තම පීතෘ සෙනෙහස පළකරන්නේ නම්, එයින් කියැවෙන්නේ මෙරට ජනයාගේ පරමාධිපත්‍ය බලය පිළිබඳ දැනුවත් භාවයේ මාත්‍රාව මිස අන් යමක් නොවේ. තත්ත්වය මෙසේ නම්, කළ යුත්තේ කුමක්ද?

සිදුහත් තවුසාණන් බුදුබව ලැබූ වෙසක් පුර පසළොස්වක මැදියම් රැයේ සිහින ත්‍රිත්වයක් දුටු අතර, ඉන් එකක් වන්නේ ස්වල්පයක්වත් ගත තවරා නොගනිමින් බෝසතුන් මහා අසූචි කන්දක් මතින් ඇවිද යාමයි. මේ කුණු දේශපාලනය ඉල්ලා සිටින්නේ එවන් මැදිහත්වීමක් මිස “සාධුජන ආරාමයක්” නොවේ. ඒ අනුව අප කියා සිටින්නේ මේ කුණු තත්ත්වයට මුහුණදිය යුත්තේ විෂෙන් විෂ මට්ටු කරන භාවිතාවක් සමග බවයි. ඒ සඳහා තෝරා ගත යුත්තේ විකල්ප පක්‍ෂ දේශපාලනයක් මිස දිගුකාලීන සාධුජන ව්‍යාපාරයක් නොවේ. එය සාර්ථක නොවන්නා වූ හේතු සාධක කිහිපයක් ඇත. පළමුවැන්න කාලරාමුවක් නොමැති ව්‍යාපාරයක් සමග රැඳී සිටීමේ උත්තේජනයක් සාමාජිකයාට ඇති නොවීම වන අතර, දෙවැන්න කල්ගත වීම හරහා සිදුවන්නේ, “ලාහට ගෙබ්බන් ඇහිඳීම” (අපහාසයක් ලෙස නොවේ.) වැනි තැනක් දක්වා ව්‍යාපාරය දුර්වල වීමයි. පුනරුදයට මෙය සනාථ කොට ගතහැකි වන්නේ ඉදිරියට ගමන් කිරීම මගිනි. තෙවැන්න වන්නේ “නව ලිබරල් ධනවාදය” තුළ පුරවැසියා ප්‍රසාංගිකත්වයට හෙවත් අවස්ථාවන්ට බෙදී යාම බරපතළ ලෙස ක්‍රියාත්මක වීමත්ය. ඒ අනුව මේ වන විටත් පුනරුදයට තරුණ පිරිස් එකතු වන ප්‍රමාණය සලකා බලද්දී මේ තත්ත්වය හඳුනාගත හැකිවනවා ඇත.

එසේ නම්, පළමුව විය යුත්තේ මෙරට සාමාන්‍ය ජන සමාජය මේ කුණුවීමට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි යන්න හඳුනා ගැනීමයි. ඔවුන් මේ කුණුවීමට ප්‍රතිචාර දක්වන්නේ “මුන් එකෙකුට වත් දීලා වැඩක් නෑ” යන අර්ථයෙන් මිස ඉන් ඔබ්බට නොවේ. මෙයින් කියැවෙන්නේ කුමක්ද? කුණු ගොඩ අතුගෑමට මිනිසුන් සූදානම් වන්නේ, තමන් අත්විඳ ඇති ක්‍රමවේදය තුළම පමණක් බවයි. වික්ටර් අයිවන් මහතා ඇතුළු “පුනරුද ව්‍යාපාරය” වටහා ගතයුත්තේ මේ කුණු තත්ත්වයට මුහුණදීම සඳහා මෙරට සාමාන්‍ය ජනයා සූදානම් බවයි. ඒ නිකම්ම නිකං දේශපාලන ව්‍යාපාරයක් හරහා නොවේ. අම්මා මුතුන් කාලයේදීවත් නොදුටු පන්නයේ ව්‍යාපාරයක් සමගය. ඒ අනුව වත්මන් සමාජය ඉල්ලා සිටින්නේ සාමාන්‍ය පක්‍ෂ දේශපාලනයක් නොවේ. දේශපාලන විදුහලකි. ඒ මෙකී කුණුවීමේ ඉතිහාසය ඉගෙන ගැනීම සඳහාය. තමන් සතු පක්‍ෂ දේශපාලනයේ ප්‍රවේණිදාසත්වය හෙළිදරව් කොට ගැනීම සඳහාය. “අපේ හොරා අපට හොඳයි” කියා සිතෙන්නේ ඇයි දැයි දැනගැනීම සඳහාය. ඒ හැර මෙරට සමාජය සන්නද්ධ අරගලයන් හෝ සාධුජන ව්‍යාපාරයන් ගැන විශ්වාසය තබන්නේ නැත. ඒ පළමුවැන්න බිහිසුණු නිසාත්, දෙවැන්න දියාරු නිසාත්ය. සමාජය ඉල්ලා සිටින්නේ නව පක්‍ෂ දේශපාලනයක විශ්වාස කටයුතු මැදිහත්වීමක් මිස, අන් යමක් නොවේ.

මේ කුණු දේශපාලනයට වත්මන් වමේ දේශපාලනය ලබා දෙන්නේ නොමසුරු සහයෝගයකි. ඒ ජවිපෙ ඡන්ද කෑදරයන් ලෙසත්, පෙරටුගාමීන් පාර්ලිමේන්තු බියසුල්ලන් ලෙසත්ය. රට ඉල්ලා සිටින්නේ මේ සංස්කෘතීන් ද්විත්වයෙන්ම මිදුණා වූ නව දේශපාලන භාවිතාවකි. ඒ පක්‍ෂ දේශපාලනයේ වැට කඩුළු බිඳී යන ආකාරයෙන් මිස පාරමීදම් පුරනා සාධුජන ව්‍යාපාරයක් ලෙස නොවේ. ඒ, එසේ පැමිණි බොහෝ ව්‍යාපාරයන් ප්‍රතිගාමීත්වයේ පතුළ දක්වා වැටී පිරිහී ගිය නිසාය.

16 වන සියවසේදී “යුරෝපා පුනරුදය” යනු, නව සමාජ පරිවර්තනයක් උදෙසා පෙරට පැමිණි සංස්කෘතික මෙහෙයුමකි. එහෙත් ලාංකේය වත්මන් පුනරුදය වනාහී ග්‍රීක පෞර රාජ්‍යය බිඳ වැටීමේ සමාජ කම්පනය හරහා බිහි වූ “පරාජිත දෘෂ්ටීන්” (නරුමවාදය, සංශයවාදය, ස්ටොයික්වාදය) හා සමාන වන්නේ, තිබෙන තත්ත්වයන්ට මුහුණ දීගත නොහැකි වීමේ අර්බුදය සහිතවය. පුනරුද ව්‍යාපාරයක් ගොඩනැගෙන්නේ කලකිරීමට පත් මිනිසුන්ගෙන් නොවේ. නව පරිවර්තනයක් කෙරෙහි අපේක්‍ෂා දල්වා ගත් උද්f්‍යා්ගිමත් මිනිසුන්ගේ දායකත්වයෙනි. ලාංකේය පුනරුද ව්‍යාපාරය තත්ත්වයන්ට මුහුණදීගත නොහැකිව ඉතිහාසයේ පසුපසට යන්නේ, “මේක කුණු වී ඇත. ඒ නිසා අප සමග එනු.” කියාය. එහෙත් දශලක්‍ෂයක සමාජ බලවේගයක් ගොඩනැගීමෙන් තොරව මෙයට මුහුණදිය නොහැක යන්න පරාජිත අදහසකි. එබැවින් කළයුත්තේ ධනාත්මක දේශපාලන අදහසක් සමාජ ගත කළ හැකි විශ්වාසයේ කූටප්‍රාප්තියට පත්විය හැකි දේශපාලන භාවිතාවක් පණගැන්වීම මිස පසුබැසීමේ දේශපාලනයක් නොවේ.
තමන් “අරුම පුදුම සීතාම්භර පටසළුවෙන්” සැරසී ඉන්නේය කියා අමු නිර්වස්ත්‍රයෙන් රජු ඇතු පිට ආයේ සළුව පෙනෙන්නේ නැතිනම්, නුඹලා අවජාතකයි කියමින්ය. අවශ්‍යව තිබෙන්නේ, රජු ඉන්නේ නිරුවතින්ය කියූ බිළින්දන් දෙදෙනාගේ භාවිතාවක් මිස, ගෙදර ගොසින් අඹුවටවත් මේ රහස හෙළිදරව් කළ යුතු යැයි සිතනා නෝන්ජල් සහජාතකයකු නොවේ. නව දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යව තිබෙන්නේ කුණුවීමට එරෙහිව මතවාදී බෝම්බයක් පිපිරවීමට මිස අන් කිසිවකට නොවේ. පුනරුදය ක්‍රියාත්මක වන්නේ නම්බුකාර සහජාතක පුද්ගලයා ලෙස මිස නිර්භීත බිළින්දන් දෙදෙනා ලෙස නොවේ.

(සංවාදයට විවෘතයි)