රාවය

ලොව ගොඩනගන්නෝ සහ වනසන්නෝ

ලොව ගොඩනගන්නෝ සහ වනසන්නෝ

ප්‍රභාෂ්වර

“පුංචි පැලේ ගස වෙනා” යැයි සිතමින්ද, එය මහා වෘක්ෂයක් වී වැඩුණු පසු එහි සෙවණ ලබන්නට තමන් ජීවතුන් අතර නොසිටින බව දනිමින්ද, අද පැළ සිටුවීමට පියවර ගන්නා වැඩිහිටියන් වෙසෙන යම් සමාජයක් වෙත්ද, එය දියුණුව කරා නිසැකවම පිය නගයි.” ඉහත ග්‍රීක කියමන ලොව ඕනෑම තැනකට අදාළ, අකාලික එකක් වග පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් වත්මනෙහි අපි ජීවත්වන්නේ දිගුකාලීන දැක්මක් සහිත ලෝකයක නොව ආහාරවල සිට සෑම දෙයක්ම ක්ෂණිකව පරිභෝජනය කරන ලොවක් තුළය. ගංවතුර, නියඟ, සුළි කුණාටු සහ ගෝලීය උණුසුම වැනි දේ නිතර විපත් ගෙන එන්නේද මිනිසා මතු පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීමට අසමත් වූ නිසාය. ගොඩනගන්නෝ සහ වනසන්නෝ ලෙස ලොව වෙසෙන මිනිසුන් කඳවුරු දෙකකට බෙදා විශ්ලේෂණය කරන්නේ කෙලෙසද යන්න ගැන අපි මෙතැන් සිට විමසා බලමු.

වනසන්නෝ

2003 මාර්තුවේදී ඇමරිකාව, එංගලන්තය, පෝලන්තය, ඕස්ටේ්‍රලියාව, ස්පාඤ්ඤය, ඩෙන්මාර්ක් හා ඉතාලිය යන රටවල හමුදාවෝ එකට එක්ව සදාම් හුසේන්ගේ ඉරාකය ආක්‍රමණය කළහ. ආක්‍රමණික හමුදා ප්‍රධානීන්ගේ සන්ධානයේ සභාපතිවරු ලෙස කටයුතු කළේ ඇමරිකානු ගුවන් හමුදාවේ ජෙනරාල්වරයකු වූ රිචඞ් මයර්ස්ය. 2004 නොවැම්බරයේදී ඔහු ඉරාකයේ රමාඩි නුවර පිහිටි 24 වැනි නාවික හමුදා බලඇණියේ මූලස්ථානය විසිත්ත කරමින් මෙසේ පැවසීය. “හමුදා කඳවුරු තුළ තිබූ විශාල මේසයක් මත එක එක පාටින් යුතු ජංගම දුරකතන සිය ගණනක් අතුරා තිබුණා. මේවා, ඇමරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා වාහන යන එන පාරවල් අයිනේ, පුපුරණ ද්‍රව්‍යවලට සම්බන්ධ කර තිබූ සෙල්ෆෝන් බෝම්බයි. අපේ හමුදා රථයක් ඒ අසලින් යනවිට, ත්‍රස්තවාදියා කළේ එතැන අටවා ඇති ජංගම දුරකතනයේ අංකයට ඇමතුමක්, දුර ස්ථානයක සිට ගැනීමයි. එවිට සෙල්ෆෝන් බෝම්බය දැඩි විනාශයක් සිදුකරමින් පුපුරා යනවා. නව තාක්ෂණය යොදාගෙන මෙවැනි කුඩා, එහෙත් විශාල හානියක් සිදුකළ හැකි ෆෝන් බෝම්බ හැදිය හැකි ක්‍රමවේදය උගන්වන වීඩියෝ පටි අන්තර්ජාලය තුළ ඕනෑතරම් තිබෙනවා. මේසය මත අතුරා තිබුණේ අපේ හමුදා විසින් නිෂ්ක්‍රීය කරන ලද බෝම්බ සමූහයයි.”

පොදු සමාජය සමග වෛර බැඳගත් පුද්ගලයින් අතීත කාලයේ සිටම ලොව ජීවත් වූයේ නමුදු, ඒ අයට තම තරහ පිටකරමින් මහා විනාශයක් සිදුකිරීමට එතරම් හැකියාවක් එකල නොතිබුණි. එහෙත් ත්‍රිමාණ මුද්‍රණය, රොබෝ හා නැනෝ තාක්ෂණය සුලබව දක්නට ඇති වර්තමානයේදී යකා වැහුණු එක් මිනිසකුට මිනිසුන් සිය දහස් ගණනින් ක්ෂණිකව විනාශ කළ හැකිය. නිල හමුදාවක් සතු බෝම්බ සොයා ගැනීමේ නවීන උපකරණවලට හසුනොවන ආකාරයේ ඉතා සියුම් හා කුඩා බෝම්බ වර්ග 80ක් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් විසින් නිර්මාණය කර තිබූ අතර දෙපැයක් ඇතුළත විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පුපුරන ද්‍රව්‍ය අටවා තැබීමේ සුපිරි හැකියාවක් ඔවුන් සතුව තිබිණි. ආක්‍රමණික බටහිර හමුදාවන්හි සෙබළුන්ගෙන් 63%ක්ම (ඉරාක යුද්ධයේදී) මියගියේ මහාමාර්ග අසල අටවා තිබූ කුඩා බෝම්බ පිපිරී යෑමෙනි. කුඩා බෝම්බයක් නිපදවීමට ත්‍රස්තවාදියකුට වැයවන්නේ ඇමරිකන් ඩොලර් 30ක් (රු. 4800/-) වැනි සුළු මුදලක් වුවද ඒවායෙන් බේරීම සඳහා අවශ්‍ය නවීන උපකරණ නිපදවීම සඳහා ඇමරිකාවට ඩොලර් බිලියන 75ක පිරිවැයක් දැරීමට සිදුවිය.

දැනුමේ බලය

2016 පෙබරවාරි 18 වැනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ආරෝග්‍ය ශාලාවේ සියලුම පරිගණක, සයිබර් අපරාධකරුවන් කණ්ඩායමක් විසින් අක්‍රිය කරන ලදි. ඒවා යථා තත්ත්වයට පත්කරදීම සඳහා ඔවුහු විශාල කප්පමක් ‘බිට් කොයින්’ මගින් ගෙවන්නැයි රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. මේ අවස්ථාවේදී ඩිජිටල් වෛද්‍ය වාර්තා වෙනුවට පෑන් සහ සාමාන්‍ය කඩදාසි භාවිත කිරීමටද, සන්නිවේදනය ෆැක්ස් මගින් සිදුකිරීමටද රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවිය. පරිගණක පද්ධතිය සති දෙකක්ම අකර්මණ්‍ය වූ හෙයින් සිය රෝගීන් වෙනත් රෝහල් වෙත යැවීම හැර අන් විකල්පයක් රෝහල් පාලනාධිකාරය සතුව නොතිබුණි. අවසානයේ අකමැත්තෙන් වුවද බිට් කොයින් 9000ක් (ඇමරිකන් ඩොලර් මිලියන 3.6ක්) සයිබර් හොරුන්ට ගෙවූ පසුව ඔවුහු රෝහලේ පරිගණක පද්ධතිය නැවත සක්‍රිය කර දුන්හ. ඇමරිකාවේ විවිධ ආයතනයන්හි පරිගණක ක්‍රියාවිරහිත කොට, 2015 වසර තුළදී පමණක් සයිබර් කප්පම්කරුවන් ඉහත කී ආකාරයට සොයාගත් මුදල ඇමරිකන් ඩොලර් මිලියන 325කි. සයිබර් මුදලක් වන බිට් කොයින්වලින් කප්පම් ගන්නා නිසා තාක්ෂණ දැනුමෙන් බලාත්මක වූ මේ හොරුන්ව අල්ලා ගැනීම අතිදුෂ්කරය. රුසියානු මිලිටරි බුද්ධි සේවයේ සයිබර් විශේෂඥයන්, 2016 ඇමරිකානු ජනපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සහායට පැමිණියේ ඔහුගේ විරුද්ධවාදීන්ගේ සමාජ ප්‍රතිරූප ව්‍යාජ සයිබර් පුවත් මගින් විනාශ කරමිනි. එතැනින් නොනැවතුණු ඔවුහු හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ පරිගණක සේවාදායකයන් :ීැරඩැරි* සයිබර් ප්‍රහාරයක් මගින් අක්‍රිය කළහ. මෙම රුසියානු සයිබර් මැදිහත්වීම ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මහත් පිටුබලයක් සැපයීය. තාක්ෂණය ප්‍රගුණ කළ කුඩා කණ්ඩායම් කිහිපයකට ලෝකය තුළ මහා විනාශයක් සිදු කළ හැකිය. 2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දී මිනිසුන් 3000ක් පමණ මරා දැමීමටත්, ඩොලර් බිලියන ගණනක දේපළ හානියක් සිදුකිරීමටත් අල් කයිඩා ත්‍රස්තවාදීන් වැය කළේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 05ක් පමණි. එහෙත් අද වන විට ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමේ අරමුණින් ඇමරිකාව ඇෆ්ඝන් හා ඉරාක සංග්‍රාම වෙනුවෙන් දරා ඇති පිරිවැය ඩොලර් ටි්‍රලියන 05ට ආසන්නය.

ගොඩනගන්නෝ

යම් රටක් තුළ ත්‍රස්තවාදීන්, කැරලිකරුවන් හා සරණාගතයන් බිහිවන්නේ අදාළ දේශයේ තරුණ පරම්පරාව වෙත ද්විභාෂා දැනුම, අධි තාක්ෂණය සහ තාර්කික චින්තනය සපිරි මනා අධ්‍යාපනයක් පිරිනමන්නට එහි පාලකයන් අසමත් වූ විටය. කිසි දිනෙක රැකියාවක් නොකළ, මූල්‍ය ස්ථාවරත්වයක් නොමැති හා ගැහැනු ළමයකුගේ අතක්වත් ස්පර්ශ නොකරන ලද මිලියන ගණනක තරුණයන් මැදපෙරදිග හා අප්‍රිකානු කලාපවලින් බිහිවන විට ඔවුන්ට ආදරයෙන් ආමන්ත්‍රණය කරන්නේ වෙනින් කවුරුවත් නොව, අයිඑස්, අල් කයිඩා හා බොකෝ හරාම් වැනි ත්‍රස්තවාදී සංවිධානයි. ජිහාඞ් දර්ශනය වෙනුවෙන්, මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගතහොත් දිව්‍ය ලෝකයට ගොස් රූමත් කන්‍යාවන් 99ක් සමග යහන්ගත විය හැකි යැයි කී විට, මේ නූගත් තරුණයෝ එය සත්‍යයක් යැයි දැඩිව අදහති. බොකෝ හරාම් ත්‍රස්තවාදීන් නම් සිවිල් සමාජයෙන් පැහැරගත් දැරියන්, ලිංගික වහලුන් සේ මෙලොවදීම පාවිච්චි කිරීමේ අවස්ථාව නවක භටයන්ට සලසා දී තිබේ. අපේක්ෂාභංගත්වයෙන් පිරි මෙකී යෞවනයන්ගේ ආත්මය තුළ ජීවත් වන දෙවියන්ට ඇමතීමට රටක අධ්‍යාපනඥයන් අසමත් වනවිට එතැන වෙසෙන යක්ෂයාව (මිල මුදල් හා ස්ත්‍රීන් සපයා) අවදි කිරීමට ත්‍රස්තයෝ සමත් වෙති.
‘අරාබි වසන්තය’ පැන නැගී හරියටම වසරක් ගතවූ තැන, එනම් 2012 මැයි මාසයේ, ඇමරිකාව ඊජිප්තුවේ මිලිටරි රෙජිමයට යුද ටැංකි හා ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 1.3ක් පිරිනැමීය. මේ කාල වකවානුවේදීම, ලෙබනනය තුළ ඇමරිකානු පන්නයේ පාසලක් ස්ථාපිත කොට ලෙබනන් දරුවන් 117කට මනා අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් ඇමරිකානු රජය වියදම් කළ මුදල ඩොලර් මිලියන 13.5ක් පමණ විය. 2018 වන විට මේ දරුවන් සියල්ලම ලෙබනන ඇමරිකානු සරසවියේ සහ හයිගෙසියන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් බවට පත්වූවා පමණක් නොව ඉහළ වැටුප් ලබන රැකියාවන්හිද නියැලී සිටියේය. ජනගහනයෙන් අඩක් අකුරු නොදන්නා ඊජිප්තුවට යුද ටැංකි හා ප්‍රහාරක ගුවන් යානා පිරිනමනු වෙනුවට (ලෙබනනයට මෙන්) අධ්‍යාපන ආයතන ලබා දුන්නේ නම් ඉන් මහත් ප්‍රයෝජනයක් අත්වන්නට ඉඩ තිබුණි. ගොඩනගන්නෝ කළයුත්තේ හැකිතරම් පාසල් ඉදිකිරීමයි.

යෞවනය බලාත්මක කිරීම

කාන්තාරකරණය වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී මොනික් බාබුම්ට අනුව, ලොව තුළ හෙක්ටයාර තුනට අඩු කෘෂි ගොවිපොළවල් මිලියන 500ක් තිබෙන අතර ඒවායින් ඍජුවම යැපෙන ජනයාගේ ප්‍රමාණය බිලියන 2.5ක් හෙවත් ලෝවාසීන්ගෙන් 1/3කි. ගෝලීය උණුසුම සහ නියඟය නිසා වර්ෂාව නැතිවී පස නිසරු වන විට මොවුන්ගේ එකම ජීවනෝපායට කණ කොකා හඬයි. එවිට ඔවුහු සංවර්ධිත රටවල් බලා බෝට්ටුවලින් නීති විරෝධී ලෙස සංක්‍රමණය කිරීමට වෑයම් කරති. හෙක්ටයාරයක පමණ නිසරු වගා බිමක් නව තාක්ෂණය හරහා සාරවත් කිරීමට වැය වෙන්නේ ඇමරිකන් ඩොලර් 300කි. (රුපියල් 48000/-) දුප්පත් රටවලින් ඉතාලියට පැමිණි සරණාගතයකු වෙනුවෙන් ඉතාලි ආණ්ඩුව දෛනිකව ඩොලර් 42ක් වැය කරයි. 2017 අවසානය වන විට ඉතාලියේ සරණාගත කඳවුරුවල වෙසෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 183,000ක් ඉක්මවීය. අප්‍රිකාවේ ජල පෝෂක පෙදෙස් සුරැකීම පිණිස පැළ සිටුවීම, පසෙහි සරුබව යළි ඇති කිරීම සඳහා අවශ්‍ය අධි තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම යනාදිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ හැකි වග මොනික් පවසයි. එහෙයින්, ධනවත් රටවල් කළ යුත්තේ දුප්පත් සංක්‍රමණිකයන්ට එරෙහිව ආරක්ෂක වළලු හෝ උස් තාප්ප ඉදිකිරීම නොව ඒ සඳහා යන වියදම ඔවුන්ගේ වගා බිම් සාරවත් කිරීම පිණිස ආයෝජනය කිරීමයි. බිලි හා මෙලින්ඩා ගේට්ස් පදනම 2016 වසරේදී බටහිර අප්‍රිකාව තුළ අපූරු පර්යේෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. එක් දුප්පත් පවුලකට කිකිළියන් 04ක් හා කුකුළකු බැගින් සතුන් ලක්ෂයක් පමණ පවුල් 20,000ක් ආවරණය වන පරිදි බෙදා දීමට ඔවුහු කටයුතු යෙදූහ. මාස 03ක් ගතවූ තැන පවුලක් සතු කුකුළු රංචුව 40 දක්වා වර්ධනය විය. එක් සතකුගේ විකුණුම් මිල ඩොලර් 05ක් පමණ වන හෙයින්, වාර්ෂිකව ඩොලර් 1000ක ආදායමක් උපයමින් දිළිඳු බවේ රේඛාවෙන් ඉහළට පැමිණීමේ හැකියාව මේ කුටුම්බවලට උදාවිය. මේ ලියුම්කරු ඔහු සේවය කරන ආයතනයේ සමාජ සත්කාරක භාරය හා එක්ව, සාමාන්‍ය පෙළින් හා ඊට කලින් පාසල් හැර යන දරු දැරියන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලබයි. වෘත්තීය පුහුණු අධිකාරියේ දින එකසිය විස්සේ පුහුණුව අවසන් කළ සේවකයන් 07 දෙනකුට ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක (රුපියල් 35,000ක මාසික වැටුපක් සහිත) ස්ථිර ගොඩනැගිලි කාර්මික ශිල්පී තනතුරු පිරිනැමීම 2018 අගෝස්තු 01දා සිදු කෙරිණ. මේ නියමු ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම අපේ අරමුණයි. උතුරේ හා දකුණේ අන්තවාදීන්ගේ ගොදුරු බවට පත්වීමට පෙර, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ආර්ථික හා ආකල්පමය අතින් බලාත්මක කිරීම ඔස්සේ මතුදා ඇතිවිය හැකි කැරලි දැන්ම යටපත් කළ හැකිය.