රාවය

ඥානසාරලාගේ දේශපාලනය

ඥානසාරලාගේ දේශපාලනය

චාල්ස් දයානන්ද

මෙහිදී ඥානසාරලා යන සංකේත නාමය භාවිත කරන්නේ ජාතිවාදයේ නූතන ප්‍රකාශනය ලෙසයි. මෙරට ජාතිවාදී දේශපාලනයේ ආරම්භය සිදුවූයේ වත්මන් ඥානසාරලා අතින් නොව නිදහස ලැබුණාට පසුව ඇරඹි දේශීය දේශපාලනයේ ආරම්භයත් සමගය. එය ඥානසාරලාගේ පෞද්ගලික අවශ්‍යතාවක් නොව, ධනේශ්වර පන්තික දේශපාලනයේ අවශ්‍යතාවකි. අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවකි. මෙය උත්පත්තිය ලබන්නේම ධනේශ්වර පන්ති දේශපාලනය අතින්ය.

නූතන ධනේශ්වර දේශපාලනය ලොව පුරා වැඩෙත්ම ඒ තුළින් බිහිවූ ඊට එරෙහි විකල්පය වූයේ පන්ති සටනයි. සමාජය ධනපති හා නිර්ධන ලෙස දෙකට බෙදීමේදී නිර්ධන පන්ති දේශපාලන අවිය වූයේ පන්ති සටනය. පන්ති සටන තීව්‍ර වන තරමට පන්ති පරතරය මෙන්ම ඒ ඒ පන්තිවල පන්ති සංවිධානයද තීව්‍ර වේ. කම්කරු පන්ති බලවේගය බිහිවී වර්ධනය වන්නේ එම පසුබිම තුළය. මෙහි අවසන් ඵලය වන්නේ කම්කරු පන්තිය ප්‍රමුඛව නිර්ධන පන්ති බලවේගය එක් පෙළකට සංවිධාන ගතවීම හා සියලු ධනේශ්වර බලවේග හා අධිරාජ්‍යවාදය ඊට එරෙහිව එක් පෙළකට සංවිධානයවීමයි. සමාජය පන්ති දෙකක් වශයෙන් පැහැදිලිවම බෙදී වෙන්වීමයි.

මෙම පන්ති බෙදීම – පන්ති වෛරය හා පන්ති සටන සමනය කොට පන්ති සහයෝගීතාව ගොඩ නගා පන්ති සටන විනාශ කර දැමීම සඳහා ධනේශ්වර පන්තිය බිහිකළ දැවැන්ත විෂබීජය ‘ජාතිවාදයයි.’ මෙම විෂබීජය සමාජය පුරා රෝපණය කිරීමට අවශ්‍ය සියලු දේශපාලන සංස්කෘතික ක්‍රියාමාර්ග ඔවුන් විසින් ගනු ලබයි. එහි ප්‍රතිඵලය වන්නේ පන්ති බෙදීම සමනය වී දියවී ධනේශ්වර හා නිර්ධන යන පන්ති දෙක එකම වේදිකාවට ගොඩවී අත්වැල් බැඳ ගැනීමයි. මෙසේ සමාජය ජාතිවාද ලෙස බෙදන්නේ භාෂාව හා ආගම මුල්කරගෙනයි. සංස්කෘතියද ඊට සම්බන්ධ වේ. එක් භාෂාවක් කතා කරන එක් ආගමක් අදහන එක් සංස්කෘතියක ජීවත් වන නිර්ධනයන් මධ්‍යම පන්තිකයන් හා ධනපතියන් සියලුදෙනා එක් ජාතියක් ලෙස මෙහිදී සංවිධානගත කරනු ලබයි. ධනේශ්වර පන්ති පක්ෂ විසින් හිතාමතාම විවිධ ජාතික බලවේග භාෂා බලවේග ආගමික හා සංස්කෘතික බලවේග ලෙස ඉස්මතු කර සංවිධාන ගත කරනු ලබයි. මෙම සංවිධාන තුළ සියලු පන්තීන් එක්ව අත්වැල් බැඳ ගනී. උදව් උපකාර කරගනී. බලවේගය ශක්තිමත් කරගැනීමට ධනපතියන් නිර්ලෝභීව මුදල් වියදම් කරනු ලබයි.

අධිරාජ්‍ය වාදයෙන් නිදහස ලැබූ සෑම රටක්ම මෙම භයානක ධනපති දේශපාලන කුමන්ත්‍රණයට ගොදුරු විය. එය අධිරාජ්‍යවාදීන් විසින් රටවල් අතහැරීමේදී හා නිදහස ප්‍රදානය කිරීමේදී නොමිලේම නිදහස් රටවල් වෙත ලබා දුන් තෑග්ගකි. අධිරාජ්‍යවාදී යුගයේදී ජාතීන් ගොඩනැගීම ජාතීන් සංවිධානය කිරීම ඔවුන් විසින්ම හැම රටකදීම ඇරඹූහ. මෙම තත්ත්වය ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල දැකිය හැකි පොදු තත්ත්වයකි. ඉන්දියාවේදී හා පාකිස්තානයේදී එය හින්දු ඉස්ලාම් වශයෙන් බෙදීම සිදුවූ අතර ලංකාවේදී සිංහල දෙමළ වශයෙන් සිදුවිය. ලංකාවේ 1919 පිහිටවූ ලංකා ජාතික සංගමය දෙකඩ වී සිංහල මහ සභාව හා සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය බිහිවීම සිදුවූයේ ඉංග්‍රීසි පාලන සමයේදීමය. එහි මුල් බීජ වපුරන ලද්දේ ඉංග්‍රීසීන් විසින් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලදී ජාතික නියෝජනය හෙවත් විවිධ ජාති හා භාෂා අනුව මන්ත්‍රීවරු පත්කිරීම නමැති යෝජනාව හරහාය. මෙය අනිවාර්යයෙන්ම ජාතීන් භාෂා හා ආගම් ඒකරාශි වී සංවිධාන ගතවීමට මගපාදන්නකි.

1948 මැතිවරණයෙන් පසුව ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස වෙනම පාර්ලිමේන්තුවක් පිහිටුවා ගත් දිනයේ පටන් දේශපාලනය තුළ වර්ධනය වන්නට පටන් ගත්තේ ඉංග්‍රීසීන් තෑගි දුන් විෂබීජය හෙවත් ජාතිවාදී පිළිකාවයි. 1948න් පසුව පැවැත්වූ මුල්ම මැතිවරණය වන්නේ 1956 මැතිවරණයයි. ඒ වනවිට වසර කීපයක් ඇතුළත මෙම විෂබීජය මුළු ලාංකීය දේශපාලනයම ගොදුරු කරගෙන තිබුණි. මේ වනවිට වාමාංශික පක්ෂ විසින් ගොඩ නගා තිබුණ පන්ති සටන් ව්‍යාපාරය ක්‍රම ක්‍රමයෙන් දියවී යන්නටද පටන් ගෙන තිබුණේ මෙම විෂබීජය නිසාය. 1953 රජයට විරුද්ධව කම්කරුවන් ඇරඹූ දැවැන්ත පන්ති සටන මුළුමනින්ම මොට කර දමා ඒ වෙනුවට සිංහල භාෂා අරගලය නම් අන්ත ජාතිවාදී සටන ඉදිරියට ගෙනවිත් ඒ තුළ සියලු පන්තීන් එක වේදිකාවක් මත සංවිධානය කරගැනීමට ධනේශ්වර පක්ෂ 1956 වනවිට සමත් විය. වාමාංශික පක්ෂ පසුපසට තල්ලු කරමින් ධනේශ්වර පක්ෂ ඉදිරියට ඒමට මෙම ජාතිවාදය විශාල බලවේගයක් කරගැනීමට ඔවුන්ට හැකිවිය. එකිනෙකාට එරෙහිව සටන් කරගත් කම්කරු පන්තිය හා ධනපති පන්තිය භාෂා අරගලයේදී එකට අත්වැල් බැඳ ගත්හ. පන්ති සටන පන්ති සහයෝගීතාවක් දක්වා වර්ධනය විය. ලංකා සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂයට වඩා බලවත් ලෙස ‘සිංහල භාෂා පෙරමුණ’ ඉදිරියට ගැනීමට එජාප හා ශ්‍රීලනිප යන ධනේශ්වර පක්ෂ දෙකටම හැකිවිය. ඔවුන් මෙමගින් කරන ලද්දේ වාමාංශික පක්ෂ විසින් ඉතා ඉහළ තලයකට ගොඩ නගා තිබූ පන්ති සටන සිංහල භාෂා සටන නම් වූ ජාතිවාදය තුළ දියකර හැරීමයි. නිර්ධන පන්තිය හා ධනපති පන්තිය එකම සංවිධානයක් තුළට ගෙන පන්ති සටන වෙනුවට ජාතිවාදී සටන ඉස්මතු කරගැනීමයි. කලින් නිර්ධන පන්තිය ධනපති පන්තිය ලෙස බෙදී තිබුණ සමාජය සිංහල – දෙමළ වශයෙන් බෙදා එම ජාතීන් දෙකේම ධනපති නිර්ධන යන පන්ති දෙක ඒකාබද්ධ කිරීම මෙමගින් සිදුවිය. ඉන්පසු සමාජයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ධනපති නිර්ධන නොව දෙමළ සිංහල බවට පත්විය. මෙය හිතාමතාම ධනේශ්වර දේශපාලන පක්ෂ විසින් කළ දෙයකි. එජාපය මෙන්ම ශ්‍රීලනිපයද 1956 මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය කරගත්තේ ‘සිංහල භාෂාව රාජ්‍ය භාෂාව’ කිරීම යන්නයි. බලය ලැබී මාසයකින් සිංහල රාජ්‍ය භාෂාව කරන බව එජාපය ප්‍රකාශ කළ අතර පැය 24න් එය කරන බව ශ්‍රීලනිපය ප්‍රකාශ කළේය.

මෙම පක්ෂ දෙක විසින්ම කරන ලද්දේ 1956 දේශපාලනය තුළින් පන්ති භේදය වෙනුවට ජාතිභේදය සමාජය තුළ රෝපණය කිරීමයි. එය ධනේශ්වර දේශපාලනය ලෙස මුළු ලොව පුරා දැකිය හැක.
අදත් අප පීඩා විඳින්නේ මෙම ජාතිවාදී දේශපාලනයෙනි. අදත් ධනේශ්වරය භාවිත කරන්නේද මෙම ජාතිවාදී දේශපාලනයයි. ‘ඥානසාරලා’ හැමකල්හිම මෙහි ප්‍රධාන අතකොලුව බවට පත්විය.
1956දී දේශපාලන වේදිකාවේ ලෙලදුන් ‘සිංහල භාෂා’ සටන් පාඨයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් වූයේද ‘ඥානසාරලාය’ සිංහල භාෂා පෙරමුණ හා එක්සත් භික්ෂු පෙරමුණ නම් සංවිධාන දෙකේම පෙරමුණ ගත්තේ එදා සිටි ඥානසාරලාය. බණ්ඩාරනායක ලවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරගත්තේත් බණ්ඩාරනායක මරා දැමුවේත් එදා සිටි ඥානසාරලාමය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව පෙළ ගැසී අරලියගහ මැදුර වටකර බණ්ඩාරනායක ලවා ගිවිසුම ඉරා දැමුවේත් ඥානසාරලාමය. බණ්ඩාරනායකට වෙඩි තැබූ සෝමාරාම උසාවියේදී කළ පාපෝච්චාරණයේදී මෙසේ කියා ඇත. “මා හඳුනන්නේ නැති මා සමග තරහක් නැති කෙනෙක් මා මැරුවේ මගේ භාෂාවට – ආගමට- ජාතියට ඇති ඇල්ම නිසාය.”

ඥානසාරලාගේ දේශපාලනය එතරම්ම භයානකය. එය මිනීමරු දේශපාලනයකි. වෙනත් ජාතිකයකු වීම – වෙනත් භාෂාවක වීම වෙනත් ආගමක් ඇදහීම මරා දැමිය යුතු තරම් වරදක් ලෙස ඔවුහු දකිති. 1958 ජාතිවාදී කෝලාහලයේදී මේ බව ඔවුහු සනාථ කළහ.

මෙම ජාතිවාදී ධනේශ්වර දේශපාලනය එතැනින් නැවතුණේ නැත. එදා සිට අද දක්වාම එය නොනැසී පවත්වාගෙන යාම දේශපාලනඥයන්ගේ ප්‍රධාන න්‍යාය පත්‍රය බවට පත්විය.
1966දී ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුම වෙලේද විපක්ෂ දේශපාලකයෝ නැවත ජාතිවාදී දේශපාලනය අතට ගෙන ‘ඥානසාරලා’ ලවා එම ගිවිසුමද ඉරා දමන තැනට උද්ඝෝෂණ ගෙන ගියෝය.
1977 ජේ.ආර්. බලයට එන්නේම ජාතිවාදය හා ආගම්වාදය තම ප්‍රධාන සටන් පාඨය කරගෙනය. ඔහු කීවේ ‘ධර්මිෂ්ඨ සමාජයක්’ ගොඩනගනවා කියාය. මෙහි යටි අරුත සිංහල – බෞද්ධ ඡන්ද පදනම දිනාගැනීමය. එහි ප්‍රතිඵල 1977දීම දැකගත හැකිවිය. යුද්ධය සමනය කරනු වෙනුවට එය තම වාසියට හරවා ගැනීමට ඔහු එය ජාතිවාදය උත්සන්න කිරීමේ මගක් කරගත්තේය. 1977 ඔහු බලයට ආ විගස මහා ජාතිවාදී කෝලාහලයක් ඇරඹුණේ ඒ නිසාය. 1981දී යාපනය පුස්තකාලයට ගිනි තැබුවේද ජේ.ආර්.ගේ ගෝලයෙක්ය. 1983 ජාතිවාදී කෝලාහලය තනිකරම ජේ.ආර්.ගේ වැඩකි.
මේ හැම අවස්ථාවකදීම එදා සිටි ඥානසාරලා පෙරමුණ ගත්තෝය.

යුද්ධය අවසන් වන තෙක්ම යුද්ධය යුද්ධයෙන්ම අවසන් කරන තැනට දේශපාලනය තල්ලු කරමින් යුදවාදීන්ට පිරිත් නූල් ගැට ගසමින් යුද සෙබළුන් රණවිරුවන් කරමින් යුද්ධයේදී මිනීමැරීම ජාතික වීර ක්‍රියාවක් කරමින් තම සහය නොමඳව සැපයුවේ ඥානසාරලාය. මෙයද අන්ත ජාතිවාදයේම එක් පැතිකඩකි.
යුද්ධය අවසන් වූ පසු ඥානසාරලා නිකම් සිටියේ නැත. තවදුරටත් දෙමළ විරෝධී ජාතිවාදය පවත්වාගෙන යාමට බැරි තැන අලුත් ජාතිවාදී සටනක් ආරම්භ කළහ. ඒ මුස්ලිම් විරෝධී ව්‍යාපාරයයි. මෙය ඇරඹුවේ එවකට පාලනයේ සිටි ධනේශ්වර දේශපාලකයෝ විසිනි. එය රට පුරා ඇවිලුවේ ඥානසාරලාය. පාලකයන් ජාතිවාදී භික්ෂු සංවිධාන ගොඩ නගා මුදල් – වාහන ආදී රාජ්‍ය අනුග්‍රහය දී මෙම අලුත් ජාතිවාදය පෝෂණය කළ අයුරු පසුගිය කාලයේ අපි දුටිමු. ‘හලාල්’ ප්‍රශ්නය, ‘වඳපෙති’ ප්‍රශ්නය ආදී වශයෙන් මුස්ලිම් විරෝධයත් ඔවුහු අලුතෙන් නිර්මාණය කළහ. ඉන්පසු එය මහා ජාතිවාදී ගැටුම් දක්වා ගෙන ගියහ. දර්ගා නගරයේදී අම්පාරේදී – දිගනදී අප දුටුවේ එයයි.

මේ අයුරු 1956 සිට 2018 දක්වාම මෙම ජාතිවාදී ධනේශ්වර දේශපාලනයේ ප්‍රධාන කොටස ඉටුකරන ලද්දේ ඥානසාරලා හෙවත් ජාතිවාදී භික්ෂූන් විසිනි. කවර දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගෙන ආවත් එයට විරුද්ධවීම ලංකාවේ විරුද්ධ පක්ෂයේ ස්වභාවයයි. එය පහසුවෙන් ප්‍රතික්ෂේප කිරීමේ ජනමතය ඔවුන් ගොඩ නගන්නේ ‘රට බෙදනවා’ යන සටන් පාඨය තුළිනි. නව ව්‍යවස්ථාව 20 සංශෝධනය ආදී අවස්ථාවන්හිදී මොවුන් භාවිත කරන ‘රට බෙදීමේ’ සටන් පාඨය 1956-66-77-83-2000 ආදී සෑම අවස්ථාවකම භාවිත කළ අයුරු අප දුටිමු. එය රට පුරා ජනතාව අතරට ගෙන යන්නේත් ගිනි අවුලුවන්නේත් ‘ඥානසාරලා’ විසිනි.

මේ අනුව බලන කල ලංකාවේ ජාතිවාදී – පරපෝෂිත භික්ෂුව හැමදාමත් සේවය කළේ ධනේශ්වරයට හා අධිරාජ්‍යවාදයට බව පැහැදිලිවම දැකිය හැක. නිර්ධන පන්ති, පීඩිත පන්ති සටන හා සටන් පාඨ පාගා දමා ‘රට බෙදන’ සටන් පාඨය ඉදිරියට දමා ඔවුන් ඉටු කරන්නේ පන්ති සටන දියකර නිර්ධන පන්තිය ධනේශ්වරයට පූට්ටු කරන ජාතිවාදී පන්ති සහ සහයෝගිතා පාලම ඉදිකිරීමයි. ධනේශ්වර ක්‍රමය රැකදී අධිරාජ්‍යවාදය පවත්වාගෙන යෑමයි.

අද අප රටේ වාමාංශික දේශපාලනය හා නිර්ධන පන්ති – කම්කරු පන්ති දේශපාලනය පසුපසට තල්ලු වී තිබෙන්නේත් නිර්ධන පන්තිය හෝ පීඩිත පන්තිය පන්තියක් ලෙස සංවිධානය කරගැනීම අපහසු වී තිබෙන්නේත් මෙම පන්ති සහයෝගිතා ජාතිවාදී දේශපාලනය නිසාය.

අද දවසේ වාමාංශික හා නිර්ධන පන්තික දේශපාලනයේ ප්‍රධාන හතුරා ජාතිවාදය බව වාමාංශික බලවේග තේරුම් ගත යුතුය. අද අන්ත දිළිඳු කම්කරුවන්, ගොවියන් පවා දෙමළ විරෝධී, මුස්ලිම් විරෝධී, ජාතිවාදී පෙරමුණේ ධනේශ්වරයන් සමග එක පෙළට සිටගෙන සිටිති. රණවිරු නමස්කාර පූජා පෝලිමේ සිටිති. භික්ෂුව සමග එක්වී රණවිරුවන් සඳහා බෝධි පූජා පවත්වති. යුද සැමරුම්වල යෙදෙති. මේ සියල්ල ඥානසාරලාගේ හා ධනේශ්වර දේශපාලනඥයන්ගේ ජයග්‍රහණයන්ය. මේ බව වාමාංශිකයන් මනාව තේරුම් ගත යුතුය. දැවැන්ත මතවාදී අරගලයක් ජාතිවාදයට හා මිථ්‍යාවට එරෙහිව දියත් කළ යුතුය. අද දවසේ ප්‍රමුඛ වාමාංශික දේශපාලනය වන්නේ එයයි.

ගොවි ප්‍රශ්න – වැටුප් ප්‍රශ්න – බදු ප්‍රශ්න – ජීවන වියදම හා බඩු මිල පිළිබඳ ප්‍රශ්න ආදී පීඩිත ජනතා ප්‍රශ්න සියල්ල අද යටපත් වී ඥානසාර හිරගත කිරීම මහා ජාතික ප්‍රශ්නය බවට පත්ව ඇත. ජාතිවාදී දේශපාලනය යනු ජනතා ප්‍රශ්න යටකර ධනේශ්වරය රැකදීමේ දේශපාලනයයි. ජනතා දේශපාලනයේ ප්‍රමුඛ කාර්යය නම් මෙම ජාතිවාදය පරාජය කිරීමයි.