රාවය

විචාරශිලී ඇස අහිමිව රජා තේරීම

විචාරශිලී ඇස අහිමිව රජා තේරීම

විමලනාත් වීරරත්න

දේශපාලනයට කවදාවත් නොඑන බව අවසානයේදී කුමාර් සංගක්කාර ප්‍රකාශ කර තිබුණි. ප්‍රස්තුතයට අදාළව මෙතෙක් ඔහු ගැන පළ වූ විවිධ අදහස් ඉතා සැලකිල්ලෙන් කියවූ බව ප්‍රකාශ කර තිබුණු හෙතෙම ලංකාවේ දේශපාලනය මේ තරමට බංකොලොත් තත්ත්වයට පත්ව තිබීම ගැන කනගාටුවට පත්ව අන්තිමට ඉහත තීරණයට එන්නට ඇත. එමෙන්ම ඔහු සිය පනිවිඩයෙහි වැඩිදුරටත් දක්වා තිබුණේ ලංකාවේ දේශපාලනයට පැමිණි අය ගෞරවණීය අරමුණක් පෙරදැරිව දේශපාලනයට එන්නට ඇතැයි තමා සිතන බවය. එමෙන්ම ඔවුන් රටේ යහපත උදෙසා ක්‍රියා කරන බවට තමා විශ්වාස කරන බව ද ප්‍රකාශ කර තිබුණි. සංගක්කාරගේ එම අදහසට කෙටි ඌනපූරණයක් කළ යුතුය.එය නම් අතීතයේදී මෙරට දේශපාලනයට පැමිණි අය සංගක්කාර කියන පරිදි ගෞරවණීය අරමුණක් පෙරදැරිව පැමිණි අය වන අතර වර්තමානයේදී අති බහුතරයක් යහපත් අරමුණක් සිත්හි තබාගෙන දේශපාලනය නොකරන බවය. වර්තමානයේදී දේශපාලනයට එන්නේම තම තමා වෙනුවෙන් යහපත් අරමුණු පෙරදැරිවය. ඒවා රට හා ජනතාවගේ පැත්තෙන් අයහපත්ය. මහජන දේපළ කොල්ල කෑමේ සිට කෝටියකට අධික මුදලක් වැය කර බස්නාහිර පළාත් සභාවට පුටු එකසිය හතරක් ගෙන ඒමේ වැරදුණු වැඩපිළිවෙළ දක්වාම දක්නට ලැබෙන්නේ එය බව කිව යුතුය. එබඳු තත්ත්වයක් තුළ ජනතා සේවය යන්න වගකීම් සහගත ක්‍රියාවලියක් ලෙස සංගක්කාර මහතා තේරුම් ගෙන තිබීම ද පැසසුම් කටයුතුය.

කාගේ හෝ ඇඟේ එල්ලීම

ලංකාවේ දිගු කාලයක් තිස්සේ දක්නට ලැබුණේ බලය ලබා ගැනීම සඳහා කාගේ හෝ ඇඟේ එල්ලීමය. 1994 න් ඊට හොඳම නිදසුන දැක්විය හැකිය. 94දී බොහෝ දෙනෙක් චන්ද්‍රිකාගේ ශරීරයේ එල්ලුනහ. ඒ කවුරුත් බැලුවේ චන්ද්‍රිකා මේ තනතුරට ගැලපේද යන්න වෙනුවට චන්ද්‍රිකා කෙතරම් මාකට් කළ හැකිද යන්න පමණි. සංගක්කාර ගැන කතා කළ අයගේත් ආස්ථන ඊට නොදෙවැනිය. ඔහු මීට වසර කිහිපයකට පෙර කොලින් කවුඞ්රි දේශනය පැවැත්වූ අවස්ථාවේදී රටක් නියෝජනය කළ දීප්තිමත් ක්‍රිඩා නායකයකු ලෙස අන්තර්ජාතිකව අවධානය දිනා ගත් බව සැබෑය. ඉන් පසු හෙතෙම ක්‍රිකට් ලෝකය තුළ නොමැකෙන නමක් තැබූ ක්‍රීඩකයකු බවට ද පත් වූයේය. එහෙත් ඒවා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් වන්නේ කෙසේද යන්න ඔහුගේ නම ඊට ඈඳාගත් අය පැහැදිලි කළේ නැත. චන්ද්‍රිකාට පියා හා මව් උරුමයෙන් ලැබුණු දේශපාලන සම්බන්ධයක් මිස ඒ අවස්ථාව වන විට වෙනත් සුදුසුකමක් නොතිබුණි. වෙනත් සුදුසුකමක් ලෙස ඇයට තිබුණේ ආකර්ෂණීය ස්ත්‍රී පෞරුෂය පමණි. ලංකාවේදී ඡන්දයක් ජය ගැනීමට එවැනි වෘත්තීය නොවන බාහිර ආකර්ශනයකින් හැකි බව චන්ද්‍රිකා නිදසුනෙන් පැහැදිලි වෙයි. ඒ අනුව සංගක්කාරටත් ඡන්දයට පැමිණියහොත් දිනන්නට නොහැකි නොවනු ඇත. ඒ කරූ ජයසූරිය කෙතරම් වෘත්තීය දේශපාලනඥයකු වුවත් ලංකාවේ ජනයා ඔහු දෙවැනි ස්ථානයට දමා පබා නමැති නිළිය මනාප වලින් පළමු ස්ථානයට පත් කර ගත් ආකාරය අනුයමිනි. මෙසේ කාගේ හෝ ඇඟේ නොඑල්ලී හෙවත් මැක්කාගේ සංචාරක ඉරියව්වෙන් බැහැරව යන ගමනක් ලංකාවේ ජනයාට නැද්ද? ලංකාවේ දේශපාලනය පිරී තිබෙන්නේ කිසියම් පටු තර්කයක් මත හදිසියේ තරගයට දමන අප්සට් අශ්වයන්ගෙන් නොවේද? දිනීමට නොහැකි වුවත් සරත් ෆොන්සේකා හදිසියේ තරඟයට දැමූ එවැනි අප්සට් අශ්වයෙකි. සියල්ලෝ මහ පුදුම ආකාරයට 2010 දී ඔහු කෙරෙහි විශ්වාසය තැබුවෝය. ඔහු යුද්ධයෙහි කෙළ පැමිණියකු විය හැකි වුවත් ජනාධිපති ධූරය හරියට කරනු ඇතැයි විශ්වාස කරන්නේ කෙළෙසකද? 2015 ජන. 08 වැනිදා හැට දෙලක්ෂයක් මෛත්‍රීපාල මහතාගේ ඇඟේ එල්ලුනේද ඔහුට මේ වැඬේ කළ හැකිද නැද්ද යන්න ගැන තාර්කිකව විමසා බලා නොවේ. මෛත්‍රී, රාජිත, දුමින්ද, එම්. කේ. ඩී. එස්. වැනි කිහිප දෙනෙක් හදිසියේ ගැසූ කැරැල්ලට සමාජය පුදුමාකාර විදිහට ඇන්දුනේය. එය මෛත්‍රීගේ පාර්ශ්වයෙන් වීර ක්‍රියාවක් වුවත් හෙතෙම වීර ක්‍රියාව හුදු වීර ක්‍රියාවකටම සීමා කර ගත්තේය. මෛත්‍රී ඒ වන විටත් වසර හතලිස් ගණනක දේශපාලන අත්දැකීම් ඇත්තෙකි. සමාන්‍යයෙන් දේශපාලනඥයන්ට යෙදෙන නරක හැඳින්වීම් ඔහුට නොතිබුණි. ශික්ෂාකාමී දේශපාලනඥයකු ලෙස ඔහු එම ගෙවුණු කාලය තුළ දිනාගෙන තිබුණු මහජන අවධානය හා ගෞරවය විසින් චන්ද්‍රිකාට වඩා වැඩි ප්‍රායෝගික දේශපාලන පදනමක් ඔහු ඇතිකරගෙන තිබුණි. එජාපය ප්‍රමුඛව පක්ෂ ගණනාවකට ඔහු පොදු අපේක්ෂකයා ලෙස විශ්වාස කිරීමට කරුණු යෙදුණේ එසේය. ඒ සියලු සුදුසුකම් තිබුණත් ජනාධිපතිධූරය වැනි වගකීම් බහුල තනතුරක් දැරීමට ඔහු කෙතරම් සුදුසුවේද යන්න පිළිබඳව ලංකාවේ සමාජයට විනිශ්චයක් තිබුණේ නැත. විශේෂයෙන්ම ජනාධිපති ධූරයට වඩා පක්ෂයක සභාපති තනතුර විශාල යැයි සිතන දේශපාලනඥයකු මෛත්‍රී තුළින් මතු වෙතැයි ජනතාව මෙන්ම ඔහුට සමීපව උදව් කළ පිරිස් සිතුවේ නැත. චන්ද්‍රිකා ජනපති වීමට පෙර මහඇමති ධූරය ටික කලක් දැරීම හැර වෙනත් තනතුරු නොදරා තිබීම නිසා ඇයට ජනාධිපති තනතුර ලොකුවට හෝ පොඩියට පෙනෙන්නට ඇත. ඇය ජනාධිපති තනතුර එක්තරා බුර්ෂුවා ස්වරූපයකින් අභ්‍යාස කරනු දක්නා ලැබුණේ එය ලොකුවට හෝ පොඩියට ගණන් නොගැනීම නිසා විය හැකිය. ලංකාවේ සමාජය සංකීර්ණ වකවානුවක් නිම කරන සෑම අවස්ථාවකදීම කාගේ හෝ සරණ පතන මන්ද මානසික ස්වභාවය අතිශයින්ම කනගාටුදායකය.

පොදු තර්කයක්

ලංකාව හැමදාම ගඟේ ගසාගෙන ගිය ජනතාවක් සිටින රටකි. ප්‍රේමදාසගේ ගඟේ ගසාගෙන ගිය ජනතාව චන්ද්‍රිකා නමැති පිදුරු ගහේ එල්ලුණේය. රාජපක්ෂගේ ගඟේ ගසාගෙන යන විට මෛත්‍රී නමැති පිදුරු ගහේ එල්ලුණේය. හැම විටම ගඟේ ගසාගෙන යන විට ලාංකිකයන්ට අතට අසුවී තිබෙන්නේ එල්ලී ගොඩ යා හැකි වැල් පටක් වත් නොවේ. පිදුරු ගසකි. එවිට සිදු වන්නේ පිදුරු ගස සමගම ගසාගෙන යාමය. එසේ යන විට යළි වක්කලමක දිය සුළියකට හසුවෙයි. මහින්ද රාජපක්ෂගේ වක්කලමේ කරකැවී දිය යට ගිය ජනතාව ඊළඟට ගෝඨාභයගේ වක්කලමේ කරකැවී දිය යට යාමට පුළුවන. පිදුරු ගසක එල්ලී පාවෙනවා වෙනුවට සැර දිය වැලකට හසුවී දෙකෙන් එකකට මුහුණ දෙනවා යැයි ජනතාව සිතන්නට පුළුවන. එහෙත් නැවත චක්‍රයක ස්වරූපයෙන් විහිළුකාර පඹයා හෝ බුර්ෂුවා පඹයා තෝරා ගැනීමේ අවස්ථාව එයි. එම තෝරා ගැනීම් ගැන වැඬේ දෙල් වූවාට පසු බොහෝ දෙනකු කීවේ බලවත් නපුර පරාජය කිරීම සඳහා එම පියවර ගැනීමට සිදුවුණා යනුවෙනි. සාපේක්ෂව අඩු හානිය තෝරා ගැනීම පිළිබඳව දොසක් කිව නොහැකි මුත් හැම විටම ලංකාව ට සිදුවී ඇත්තේ වැඩි නපුරින් සිදුවූ ප්‍රමාණයේ හානියක් අඩු නපුරින්ද සිදු වීමය. ඒ ගැන යම් අදහසක් ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් සසඳා බැලිය හැකිය.

ජනපතිවරු හැටයි

අද වන විට පිදුරු ගස්ද දියවැල්ද යැයි කිව නොහැකි ‘වෙන්ඩ ජනපතිවරු’ රැසක් රටේ බිහිවී සිටිති. රතන හිමි වැන්නෝ තව අලුත් ජනපතිවරුන්ද සොයති. මෛත්‍රීත්, රනිල්, ගෝඨාභය වැනි ප්‍රධාන මුහුණු හැරුණු විට රොහාන් පල්ලේවත්ත, මහින්ද දේශප්‍රිය, සංගක්කාර, නාගානන්ද කොඩිතුවක්කු, නන්දසිරි ගමගේ වැනි අයගේ නම් මීළඟ ජනපති අපේක්ෂකයින් සඳහා එක් එක් පාර්ශ්වයන් මගින් යෝජනා කැරෙති. මේ නාමධාරීන් පිළිබඳව රටේ ඇති මතය සලකා බැලුවහොත් රනිල්ට කෙසේවත් තනියම ජයග්‍රහණියක් ලබා ගත නොහැකිය. ජනපති මෛත්‍රිපාල සිය වගකීම් හා පොරොන්දු ඉටු නොකළ නිසා ජය ගැනීම අපහසු, පක්ෂයේ බහුතර සහයෝගය පවා අහිමි පුද්ගලයෙකි. ගෝඨාභයට මුස්ලිම් හා දෙමළ සහයෝගය ලැබීම අවමය. සිංහල ජනයා ගතහොත් මෛත්‍රීට ඡන්දය දුන් හැට දෙලක්ෂයෙන් සැලකිය යුතු පිරිසක් ගෝඨාභය ප්‍රතික්ෂේප කරති. ඔහු සිය සොහොයුරාගේ පාර්ශ්වයේ හිත දිනා ගත්තත් ඉහත ඇතැම් සාධක බලවත් නිසා සියයට පනහක් ගැනීම අපහසුය. පල්ලේවත්ත මහතා රටේ ණය ගෙවනවා කිව්වත් ඔහු ගැන රටේ ජනතාවට දැන හැඳුනුමක් නැත. තව කිසියම් පාර්ශ්වයක් සමඟ එක්ව සහයෝගයෙන් රටේ ණය ගෙවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔහුට අභිප්‍රායක් ඇතැයි ප්‍රකාශ වෙයි. එහෙත් එවැනි පියවරකින් පසු ලංකාවට තවත් පාර්ශ්වයක් සමඟ වගකීමෙන් බැඳෙන්නට සිදුවීම රටට අවාසියකි. එය ඡන්ද ව්‍යාපාරයේදී සෙසු අපේක්ෂකයින්ට අවි සපයා දීමක්ද වෙයි. මහින්ද දේශප්‍රිය මහතා රටේ ඉහළම තනතුරට ගියත් උපහාස රසයෙන් පිරුණු දිවියක් ගත කරනු ඇතැයි ඇතැම්හු කියති. කකුල් වලට මොකටද ඔළුවටම වෙඩි තබනු වැනි ප්‍රකාශ වලින් ඔහු ඇතැම් ස්වාමීන්වහන්සේලා ඉල්ලා සිටින වර්ගයේ නායකයෙක් විය හැකි ලක්ෂණ ප්‍රකට කර ඇත. නාගානන්ද මහතා ජනපති වුවහොත් නීතියේ පාලනය ස්ථාපිත කිරීමට වෑයමක් දරුණු ඇත. රාජ්‍ය දේපළ සොරා කෑමටද වැට බඳිනු ඇත. එහෙත් ප්‍රකාශිත ඡන්ද වලින් 50%ක් හා ඡන්දයක් ගැනීමට අන් අය සේම නාගානන්ද මහතාත් දිනාගෙන තිබෙන ජන ප්‍රසාදය ප්‍රමාණවත් නැත. නන්දසිරි ගමගේ මහතා කාන්තා බැංකු ව්‍යාපාරයේ නියමුවාය. ඔහු ග්‍රාමීය හා නාගරික කාන්තාවන් ආර්ථිකමය වශයෙන් බලගැන්වීමට දිගු කාලයක් පුරා විශාල වෙහෙසක් දරන දක්ෂ ප්‍රජා සංවිධායකයෙකි. ඔහු කාලෙන් කාලෙට රටේ ජනයාට එල්ලෙන්නට පිදුරුගස් සොයා දෙන හිතුවක්කාර ස්වාමීන්වහන්සේලාගේ ගැට වලට හසු නොවී බැංකු ව්‍යාපාරය කරගෙන සිටීම වඩා උචිතය.

ඉම්රාන් ඛාන්

ලංකාව තුළ සංගක්කාර ගැන යෝජනාව මැවුණේ පකිස්තානයේ මීළඟ අගමැතිවරයා වීමට නියමිත ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණයත් සමගය. ඔහු මෙම මහජන විශ්වාසය දිනාගනු ලැබුවේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා වසර 22කට වැඩි කාලයක් දේශපාලනය කිරීමෙන් ඉක්බිතිවය. ඔහු ජනප්‍රිය වූයේ ක්‍රිකට් ක්‍රීඩකයකු නිසා වුවත් ඔහු එරට ජනතාව රටේ නායකත්වයට ඔසවා තැබුවේ ක්‍රිකට් නිසා නොවේ. ඉම්රාන් ඉකුත් වකවානුව තුළ ගොඩනගාගත් දේශපාලන පදනම හේතුවෙනි. විශේෂයෙන්ම දූෂණයෙන් පිරුණු රටක දූෂණය තුරන් කිරීම පිළිබඳව ඔහු බලවත් අදහස් දැරුවේය. පාර්ලිමේන්තු සමාජිකයන් හෝ බොහෝ වරප්‍රසාද සීමා කරන බව හෙතෙම කියා තිබේ. දකුණු ආසියානු කලාපය තුළ විශේෂයෙන්ම ඉන්දියාව සමඟ සහයෝගීතාවට ඔහු පළමු නිමේෂයේදීම පදනම දමා ගත්තේය. ඉම්රාන් බටහිර විශ්වවිiාලයක උගත් පුද්ගලයකු වුවත් සිය මව් රටේ සංස්කෘතිය සමඟ බද්ධ වීමට ඉන් බාධා නොපමුණුවාගත් පුද්ගලයෙකි. ඔහුගේ ගමන් මඟ නිරීක්ෂණය කරන විට හෙතෙම රටේ අගමැති ධූරය හෙබවීමට අවශ්‍ය කොන්දේසි සපුරා ඇතැයි සිතිය හැකිය. ලංකාවටත් අලුත් නායකත්වයක් අවශ්‍යය. එහෙත් ඒ අලුත් පැරෂුට්කාරයකු නොව පැහැදිළිවම අදාළ කොන්දේසි සැපිරූ පුද්ගලයෙකි. සංගක්කාර නොව කිසිවකු වුව තාර්කික පදනමක් නොමැති නම් රටේ නායකත්වයට පත්කරගත යුතු නැත. අනාගත ජනපති සිහිනය තිබෙන ලංකාවේ තවත් තරුණ දේශපාලනඥයෝ රැසක් වෙති. ඔවුන්ට ඒ පිළිබඳ ඇත්ත වුවමනාවක් තිබෙනවා නම් මේ මොහොතේ සිටම කළ යුත්තේ ජනතාවට විඡ්ඡා පෙන්වීම හෝ තම අසාර්ථක නායකයාට රෙදි නැතුව කඬේ යෑම නොව අඩුම තරමින් රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රමාණයටවත් අනන්‍ය දේශපාලන ගමණක් ගොාඩනගා ගැනීමය. තමා එක් විෂයක හෝ පරප්‍රාප්ත බවක්, කාර්යශූර බවත් ජනතාව තුළ තහවුරු කිරීමය. විජ්ඡා වලින් හෝ ෆේස් බුක් වලින් එය කළ නොහැකිය. මහ පොළව මත ප්‍රමාණවත් කාලයක් අවංකව දේශපාලය කිරීමෙන් පමණක් එය කළ හැකි බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමය. කුමාර් සංගක්කාර I will Never Enter Politics  යනුවෙන් කියා තිබුණත් දේශපාලනයේදී නිසි පදනමක් දමා ගැනීමෙන් පසු ඔහු ඇත්ත ජනතා සේවයෙහි දොර විවර කර ගැනීමේ ප්‍රශ්නයක් නැත.

උගතුන්

ඉන්දියාවට මන්මෝහන් සිං ලා අබ්දුල් කලාම් ලා නායකයන් ලෙස ලැබෙන විට ලංකාවේ බුද්ධිමත්ම දේශපාලනඥයා යැයි සිතා සිටි රනිල් වික්‍රමසිංහත් අප්‍රායෝගික නායකයකු බව ඉකුත් වසර තුනහමාර තුළ ප්‍රත්‍යක්ෂ වූයේය. මෙරට බුද්ධිමත් නැතැයි කියන දේශපාලකයකුට හරි ආකාරයට හොරකම් හෝ කරන්නට පුළුවන. ලංකාවේ උගතුන් දේශපාලනයට එන්නේ නැත. ඒ දේශපාලනය කිරීම අනිවාර්යයෙන් මඩ නා ගැනීමට සිදුවන කර්තව්‍යයක් බවට පත්ව තිබෙන නිසාය. ඉන්දියාවේ වුව බුද්ධිමතුන් අලුතින් දේශපාලනයට එනවාට වඩා දේශපාලනයට ඔවුහු එන විට කිසියම් විෂයක පරප්‍රාප්තව සිටියහ. මන්මෝහන් සිං ආර්ථික විශේෂඥයකු වූයේ අගමැති වීමෙන් පසුව නොවේ. අපේ අය ඒ අතින් බාලයන් බැවින් උගතුන් පසු කාලෙක හෝ දේශපාලනයට එනු ඇතැයි ජනතා අපේක්ෂාවක් වෙයි. නිදසුන් දෙකක් ලෙස මහාචාර්ය ජයදේව උයන්ගොඩ හා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ගතහොත් ඔවුන් දෙදෙනා මෙකල දේශපාලනය ගැන විදග්ධ මත පළ කරන දෙදෙනෙකි. ඔවුන්ගෙන් ජනපති අපේක්ෂක ධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළහොත් ඔවුන් එය භාර නොගනු ඇත. මන්ද මෙරට අභ්‍යාස වන දේශපාලනය යනු මඩ නාන්නට සිදුවන ක්‍රියාවලියක් වන නිසාය. ඔවුන් තරුණ වියේ සිට වෙට්ට පිත්තල දේශපාලනයට පැමිණ සිටියේ නම් මේ ප්‍රවර්ගයේ උගතුන් බවටද පත් නොවනු ඇත. දැන් ජනතාව උගතුන් දේශපාලනයට අවශ්‍යය කියන අපේක්ෂාව ජයගන්නේ කෙසේද? කෙසේවත් ජය ගැනීමට විදිහක් නැත. එබැවින් යළි පිදුරු ගසක එල්ලෙනවාද? නැතහොත් වක්කලමෙහි ගිලී යනවාද? ඒ දෙකෙන්ම මිදෙන ක්‍රමයක් සොයා ගන්නවාද? එම අනතුරු දෙකෙන්ම මිදීම සඳහා නම් ජනතාව වඩා විචාරශීලිව උක්ත ප්‍රශ්නය දෙස බැලිය යුතුව ඇත. රටේ දැවෙන ප්‍රශ්න විසඳීම කෙරෙහි මැදිහත්කාරක භූමිකාවක් නියෝජනය කරන්නේ කෙසේද යන්න ගැන විමසිලිමත් විය යුතුව ඇත.