මාධ්‍ය නිදහස දුන්නේ ආණ්ඩුවද?

 

ජනමාධ්‍ය සහ ලංකාවේ දේශපාලනය අතර රටේ සංවර්ධන ප්‍රයත්නය උදෙසා වන සහසම්බන්ධයක් නැත. ජනමාධ්‍ය හා දේශපාලනය අතර දැඩි සම්බන්ධයක් තිබෙන නමුත් එය තනිකරම ගනුදෙනුවක ආකාරයෙන් පවතින්නකි. කොටින්ම ජනමාධ්‍ය හුදු ව්‍යාපාරික අරමුණින් පවත්වාගෙන යන තත්ත්වය තුළ මෙම පාර්ශ්ව දෙක අතර ඉන් එහා ගිය ගුණාත්මක සම්බන්ධයක් තිබෙන්නටද විදියක් නැත.

ජනමාධ්‍ය මගින් ජනතාව බලාපොරොත්තුවන්නේ මහජන සේවාවකි. එහෙත් අද වන විට දක්නට ලැබෙන්නේ ජනමාධ්‍ය තෝරාගත් දේශපාලන ව්‍යාපෘතිවලට සේවය කිරීම හා අනතුරුව එම දේශපාලන පක්ෂ හෝ ව්‍යාපෘති ඒ ඒ ආයතනවල ව්‍යාපාරික ජනමාධ්‍යයට උපකාර කිරීමය. ජනමාධ්‍ය යනු එවැනි අන්‍යොන්‍ය වශයෙන් කරගන්නා බිස්නස් එකක් නොවේ. එහෙත් රටේ ජනමාධ්‍ය හා දේශපාලනය ක්‍රියාකාරීවන්නේ එවැනි පටු අර්ථයකිනි. එයින් මිදී ජනමාධ්‍ය සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය අතර සහසම්බන්ධයක් ගොඩනගා ගන්නේ කෙසේද? ඒ සඳහා දේශපාලකයා දේශපාලනයේ සත්‍ය අරමුණු වලටත් ජනමාධ්‍යවේදියා ජනමාධ්‍යයේ සත්‍ය අරමුණුවලටත් එකඟව තත් විෂයයන් අභ්‍යාස කළ යුත්තෝය. මෙබඳු සාකච්ඡාවක් යළි පැන නැගුණේ ඇයි?

පසුගියදා අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම රැස්වීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. මේ පිළිබඳව දකුණු පළාත් ස්වාධීන ජනමාධ්‍ය සංගමයේ නියෝජිතයෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එම සිදුවීම දැඩි ලෙස හෙළා දුටහ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනමාධ්‍යයට වැදගත් අවස්ථාවකි. ප්‍රදේශයේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු කාරණා පිළිබඳ පරිපූර්ණ විස්තරයක් එම වාර්තාකරණය මගින් ප්‍රදේශයේ ජනයාට දැනගැනීමට ලැබෙයි. චන්ද්‍රිකා මහත්මිය එය නොවැළැක්විය යුතුව තිබුණි. එහිදී ඇය සිදුකර තිබුණේ මහජන සේවා ජනමාධ්‍යයට බාධා කිරීමකි. ඊට සහභාගි වූ සහ නොවූ ජනමාධ්‍යවේදීන් පිළිබඳව හෝ ඔවුන්ගේ වාර්තාකරණය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණි නම් ඇයට කරන්නට තිබුණේ ඒ බව ජනමාධ්‍යවේදීන් සමග ඍජුව සාකච්ඡා කිරීමය.

ඇතැම් අවස්ථාවල අගමැතිවරයා ජනමාධ්‍යයට බැට දුන් අවස්ථා තිබුණි. ජනමාධ්‍ය ක්‍රියාවලිය පිළිබඳව ඔහුගේ ඇතැම් විවේචන පිළිගැනීමට සිදුවෙයි. එනම් ජනමාධ්‍යවේදීන් ජනමාධ්‍ය නොකර බිස්නස් කරන, දේශපාලන පක්ෂවල නූල්සූත්තරකාරයන් වී සිටීම, පාර්ශ්වීය ලෙස තෝරා ගත් පුද්ගලයන්ට පහරදීම මෙන්ම ඇතැමුන් ඔසවා තැබීම පිළිබඳව වික්‍රමසිංහ මහතා විටින් විට ජනමාධ්‍යයට එල්ල කළ චෝදනා බැහැර කළ නොහැකි වෙයි. ජනමාධ්‍ය දේශපාලකයාගේ වැරදි විවේචනය කරනවා නම් ජනමාධ්‍යයේ වැරදි භාවිතයන් දේශපාලකයා අතින් විවේචනය වනවිට ජනමාධ්‍යවේදීන්ට එය ඉවසීමට හැකිවිය යුතුය. ජනමාධ්‍ය දේශපාලකයාගේ වැරදි විවේචනය කරන විට ඔහු එම වැරදි හදා නොගත්තත් – ජනමාධ්‍ය, විවේචනවලට සවන් දී වැරදි නිවැරදි කරගත යුතුය. ජනමාධ්‍යවේදීන්ගේ අරමුණ යහපත් සන්නිවේදන ක්‍රියාවලියක් අභ්‍යාස කිරීම නම් ඔවුන් එම විවෘත භූමියට පැමිණ තමා, තමා දෙසමට හැරී බැලිය යුතුය. අත්තනගල්ලේදී ඇතිවුණු ප්‍රශ්නයේදී කළයුත්තේ චන්ද්‍රිකා මහත්මිය හා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් යන දෙපාර්ශ්වය විරසක වීම නොවේ. එම අවස්ථාවේ නොහැකි වුණත් ඉක්මනින් දවසක දෙපාර්ශ්වය හමුවී විසංවාදයට හේතුවූ කරුණු සාකච්ඡා කර එම ආරාවුල සමනය කරගැනීමය. ජනමාධ්‍ය හා දේශපාලනය අතර සංවර්ධනය ප්‍රයත්නය උදෙසා වන සහ සම්බන්ධය ඇති කිරීමට නම් එකී සහයෝගිතා අදහස අභ්‍යාස කළ යුතුමය. එනම් අනුෂාංගික ආරාවුල්වලට වඩා වාර්තාකරණය වැදගත්ය. ජනතාවගේ පැත්තෙන් තොරතුරු දැනගැනීම වැදගත්ය.

යහපාලන ආණ්ඩුව ජනමාධ්‍ය නිදහස ලබාදී ඇති බවත් එම නිදහස අනිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ජනමාධ්‍ය ආණ්ඩුව පතුරු ගසන බවත් ආණ්ඩුවේ එක් මැසිවිල්ලකි. මුලින්ම ආණ්ඩුවට කිවයුත්තේ ජනමාධ්‍ය නිදහස නැති කිරීමට ආණ්ඩුවකට හැකි වුවත් ජනමාධ්‍ය නිදහස ප්‍රදානය කරන්නට ආණ්ඩුවකට නොහැකි බවය. එම නිදහස අත්පත් කරගන්නේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය විසින්ය. වත්මන් ආණ්ඩුව පිහිටුවීමට ජනමාධ්‍ය වෙසෙස් කාර්යභාරයක් කළේය. එම කාරණය පාදක කරගෙන ආණ්ඩුව හැදුවේ අප යැයි ජනමාධ්‍ය කිවහොත් එය සාධාරණද? ජනමාධ්‍ය නිදහස ලැබුණේ සමස්ත ක්‍රියාවලිය ඇතුළත මිස ජනපතිගේ හෝ අගමැතිගේ ආනුභාවයෙන් නොවේ. එබැවින් මෙම දෙපාර්ශ්වයටම අවශ්‍යවන්නේ සමබර සිතීමකි. එවිට ගැටුම් සමනය වනු ඇත.