විය හැකිව තිබෙන්නේ කුමක්ද?

කාලිංගගේ දේශපාලන විග්‍රහය

ලංකාවේ රාජ්‍යය මුහුණදෙමින් තිබෙන අර්බුදයේ තීව්‍රතාව උග්‍රවෙමින් වැඩිකල් නොගොස් එහි ක්‍රියාකාරීත්වය මුළුමනින් හෝ විශාල ප්‍රමාණයකට බිඳ වැටෙන තත්ත්වයක් කරා රාජ්‍ය ගමන් කරමින් තිබෙන්නේ යැයි කිව හැකිය. සාමාන්‍ය ජනතාව පමණක් නොව උගතුන්ද ලංකාවේ රාජ්‍ය මුහුණ දී තිබෙන අර්බුදය හා එයට ආවේණික ගතිලක්ෂණ තේරුම් ගැනීමට සමත් වී නැත. ඒ සියලුදෙනා දන්නේ රාජ්‍යයේ දූෂිත බව පමණය. ශ්‍රී ලංකා රාජ්‍යයේ ඇතිවී තිබෙන බිඳ වැටීම ගැන හෝ ඒ කෙරෙහි බලපා තිබෙන හේතු ගැන ඔවුන්ට වැටහීමක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා ඒ සියලුදෙනාගේ වැඩි අවධානය යොමුවී තිබෙනුයේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා එයට තරග කරන්නන් පිළිබඳවය.

රාජ්‍යයේ ඇතිවෙමින් තිබෙන බිඳ වැටීමේ වේගය හා පරිමාව දෙස බලන විට ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය වන විට මුළු රටම අවුල් ජාලාවක් බවට පත්වී ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි විශේෂ වාතාවරණයක් පවා ඇතිවීමට බැරිකමක් නැත. ජනාධිපතිවරණයක් අමාරුවෙන් ගැට ගසාගෙන එය පැවැත්වුවද ජයග්‍රාහකයාට සියයට 50 කඩඉම ජයගැනීමට නොහැකිවීම තුළ ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවන තත්ත්වයක්ද ඇතිවිය හැකිය. අනෙක් අතට ජනාධිපතිවරණයක් පැවැත්වෙන කාලය දක්වා වන කාලසීමාව තුළ රටේ සිදුවන සිදුවීම් දේශපාලන නායකයන් පිළිබඳව මහජනතාව අතර ලොකු පිළිකුළක් ඇති කිරීමට හේතුවී ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50ට වඩා අඩුවී ඒ මගින්ද ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතී. ඒ කිසිවක්ම සිදු නොවී වැඩි ඡන්ද බලයකින් ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ හැකියාව ලැබුණද රාජ්‍යය තිබෙන්නේ බලයට පත්වන කවර ජනාධිපතිවරයකුට වුවද යහපත් පාලනයක් පවත්වාගෙන යා නොහැකි කුණුවූ තත්ත්වයකය.
එහි තේරුම වනුයේ මේ වනවිට ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ පාලකයෙක් හෝ පාලක පක්ෂයක් තෝරා ගැනීමට පෙර උපරිම මට්ටමකට කුණුවී තිබෙන රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගත යුතු තත්ත්වයකය. සාමාන්‍යයෙන් එවැනි වැඩසටහනක කර්තෘ කාරකයා ලෙස ක්‍රියාකරන්නේ රාජ්‍ය නායකයාද ඇතුළු මහජන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වුවත්, රටේ සමස්ත දේශපාලන තන්ත්‍රය අද තිබෙන්නේ එවැනි කාර්යභාරයක් ඉටුකළ නොහැකි කුණුවූ තත්ත්වයකය. ඒ නිසා රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ කර්තෘ කාරකයා ලෙස ක්‍රියා කළ යුතුව තිබෙන්නේ පරමාධිපත්‍යය බලය හිමි මහජනයාය.

මහජනයා එම ප්‍රශ්නය විසඳාගත යුතුව තිබෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මීට පෙර පළමු ලිපියෙන් සාකච්ඡා කර ඇති බැවින් ඊළඟ ජනාධිපතිවරණය දක්වා වන කාලය තුළ රාජ්‍යයේ ඇතිවී තිබෙන බිඳ වැටීම වර්ධනය වනු ඇත්තේ කවර ආකාරයකටද යන්න සලකා බැලීම වැදගත්ය.

ආර්ථික වශයෙන් ගත් විටද රාජ්‍යය තිබෙන්නේ උපරිම තත්ත්වයේ බංකොළොත්භාවයකට ගමන් ගනිමින් තිබෙන තත්ත්වයකය. එවැනි තත්ත්වයක් තිබියදීත් ආණ්ඩුවේ ඵලදායක නොවන නාස්තිකාර වියදම්වල වර්ධනයක් මිස පාලනයක් පෙනෙන්නට නැත. ආණ්ඩුව මේ මොහොතේ කරන සියලු දේ කරමින් සිටින්නේ ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙනය. දේශපාලන හෙන්චයියලාට ණයදෙමින් තිබෙන්නේ පොලී නැතිවය. පූජනීය ස්ථානවලට ලක්ෂ ගණනින් ආධාර දෙන වැඩපිළිවෙළක්ද රට පුරා ක්‍රියාත්මක වේ.

ආණ්ඩුවේ අනුකම්පා විරහිත බදු ප්‍රතිපත්තිය බදු ගෙවිය යුතු තත්ත්වයක සිටින සියලු වර්ගයේ මිනිසුන් උපරිම මට්ටමෙන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. සියලු නිෂ්පාදන කර්මාන්තවල, වෙළෙඳාමේද විශාල බිඳ වැටීමක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රටේ සිදුවන සියලු දේවල් සිදුවෙමින් තිබෙන්නේ පුපුරනසුලු තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ආකාරයටය.
බලවත් මහජන විරෝධයට හේතුවූ දුම්රිය වැඩවර්ජනය නතර කරන ලද්දේ දුම්රිය සේවකයන් ඉල්ලා සිටි වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟවීමෙනි. දුම්රිය සේවකයන්ට පඩි වැඩිවීමක් ලබා දුනහොත් රාජ්‍ය සේවයේ නිරත ක්ෂේත්‍ර 42ක ලක්ෂ 10ක් පමණ වන රාජ්‍ය සේවකයන් කෙරෙහි වැටුප් විසමතා ඇති කිරීමට නියමිතය. රාජ්‍ය සේවයේ ඒ සියලුදෙනාද වැටුප් විෂමතාව ජයගැනීම සඳහා වර්ජනය කරන තැනකට තල්ලුවීම නොවැළැක්විය හැකිය.

මේ ආරාවුල ආණ්ඩුවේ නායකයන් අධික කෑදරකම නිසා ඇති කරගත් අවුලක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුවට අධිකරණයේ විනිසුරුවරුන්ට පඩි වැඩිවීමක් ලබාදීමට අවශ්‍ය වූයේ ඒ මගින් තමන්ගේද පඩි වැඩිකර ගැනීමට අවශ්‍ය වූ නිසාය. පක්ෂ නායක රැස්වීමේදී ඒ ගැන පොදු එකඟතාවක් මිස වාදයක් නොවීය. කොළේ ඉරාගන්නා තත්ත්වයක් ඇතිවූයේ ජනාධිතිවරයා ඒ ක්‍රියාවට විරුද්ධවීම නිසාය. වැඬේ ගැස්සුණු පසු සියලු පක්ෂ නායකයන් දැන් පඩි වැඩි කිරීමට විරුද්ධය.

ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කරන්නට ගියේ අලුතෙන් ලබාදෙන විවිධ දීමනා මගින් මන්ත්‍රීවරුන්ට ලැබෙන මාසික ආදායම උපරිම තත්ත්වයකට ඉහළ නගා තිබියදීය. සියලු දීමනා එකතු කළ විට මන්ත්‍රීවරයකුට ලැබෙන මාසික ආදායම රුපියල් 260,000ක මට්ටමක පවතී. අපේක්ෂා කළ පඩි වැඩිවීම ලබා දුන්නේ නම් සියලු දීමනා සමග මන්ත්‍රීවරයකුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5ක් පමණ දක්වා ඉහළට යන්නට ඉඩ තිබුණි.

දැන් රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාව වනවිට දේශපාලකයන්ට මහපාරේ ඇවිදගෙන යා නොහැකි තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. මීට පෙර මෙවැනි අර්බුද ඇතිවීම ගලා ගියේ ආණ්ඩු පක්ෂය දුර්වල කිරීමටත්, විරුද්ධ පක්ෂය ශක්තිමත් කිරීමටත් හේතුවන ආකාරයටය. එහෙත් මේ වනවිට රටේ දේවල් ගලායමින් තිබෙන්නේ පක්ෂ භේදයෙන් තොරව සියලු දේශපාලන පක්ෂ කෙරෙහි තිබෙන පිළිගැනීම අහිමි කිරීමට හේතුවන ආකාරයටය.

එක තැනක නොව හැම තැනකම තිබෙන්නේ අවුල්සහගත තත්ත්වයකි. උසාවියට අපහාස කිරීමේ චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දඬුවම් පමුණුවා ඇතත්, උසාවි අපහාස ප්‍රශ්නය ඉන් අවසන්වන්නේ නැත. එම විෂයට අදාළ තවත් විසඳිය යුතු නඩු හතරක් ඇත්තේය. එක නඩුවක් රංජන් රාමනායකට එරෙහිවය. තවත් නඩුවක් උතුරේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිවය. තවත් නඩු දෙකක් නීතිඥයකු වූ නාගානන්ද කොඩිතුවක්කු, සුගන්ධිකා ප්‍රනාන්දුට එරෙහිවය. ඒවා අධිකරණයේ හොඳට සේ ම නරකටද බලපෑ හැකිය.
රටේ රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය කඩා වැටෙමින් තිබෙන්නේ වැදගත් කොට සැලකිය හැකි කිසිවක් ඉතුරු නොවන ආකාරයටය. දේශපාලන නායකයන්ද දේශපාලන පක්ෂද, සියලු ආයතන ක්‍රම තිබෙන්නේ මහජන විශ්වාසය අහිමි කරගත් තත්ත්වයකය. එම තත්ත්වය ගමන් කරමින් තිබෙන්නේ වඩ වඩා නරක අතට මිස හොඳ අතට නොවේ. දැන් රාජ්‍යය ගමන් ගනිමින් තිබෙන්නේ මහජන සුජාතකභාවය මුළුමනින් අහිමි කරගන්නා තත්ත්වයකය.

රටේ දේවල් සිදුවන ආකාරය අනුව පෙනීයනුයේ වැඩිකල් නොගොස් එක්තරා සුවිශේෂ මොහොතක රාජ්‍යයට හා දේශපාලන පක්ෂවලට තිබෙන පිළිගැනීම පමණක් නොව, සියලු නායකයන් කෙරෙහිද තිබෙන විශ්වාසය මුළුමනින් අත්හරින තත්ත්වයක් ඇතිවිය හැකි බවය. ඒ මගින් ඇතිවන්නට යන හිඩැස පිරවීමේ අයිතිය හා වගකීම ඇත්තේ මහජනයාටය. ඇතිවන්නට යන එම ඓතිහාසික තත්ත්වය කල්තියා තේරුම් ගනිමින් ජාලගතවෙමින් අවබෝධයකින් යුතුව ක්‍රියාකිරීමට මහජනයා අසමත් වෙතොත් රටට විය හැකි විනාශය අතිවිශාලය.