බෞද්ධ දර්ශනයයි සිංහල-බෞද්ධ සංස්කෘතියයි එකක් නොවේ. දෙකක්.

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න

මාගල්කන්දේ සුදත්ත හිමි
මහ ලේකම්-සිංහල රාවය සංවිධානය

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට එරෙහි ජනමතයක් ගොඩනැඟීමටත්, විශේෂ ජනාධිපති සමාවක් යටතේ එම දඬුවම අහෝසි කරගැනීමටත් කෙරෙන උත්සාහයන් විවිධ පාර්ශ්ව වෙතින් ප්‍රකට වෙමින් පවතී. ඒ අතර ඉදිරියෙන් සිටින සංවිධානයක් වන ‘සිංහල රාවය’ සංවිධානයේ මහ ලේකම් ධුරය දරන මාගල්කන්දේ සුදත්ත හිමියන් සමඟ වන මේ සාකච්ඡාව ඒ ආශ්‍රිතව පෙළ ගැසුණකි.

කොහොමද මේ මාගල්කන්දේ සුදත්ත හිමි කියන භික්ෂු භූමිකාව ඇරඹෙන්නේ කියන තැනින් මේ සාකච්ඡාව අරඹමුද ?

මගේ ගම් පළාත ඇල්පිටිය. මුලින්ම ඉස්කෝලේ ගියේ ඇල්පිටිය ආනන්දයට. පසු කාලයේ අපේ පදිංචිය බේරුවලට මාරු වුණා. පස්සේ බේරුවල මාගල්කන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යාල පීඨයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. 1996දි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් විදිහට මම ජාතික ව්‍යාපාරයට එකතු වුණේ යුද්ධයේ අත්දැකීම් නිසා. ජාතික ව්‍යාපාර ආරම්භ කළ චම්පික රණවක ඒ කාලේ මාගල්කන්ද පන්සලට ඇවිල්ලා දේශන පවත්වනවා. ඒ දේශනවලට සවන්දීමෙන් මගේ ඇඟේ ඇට මස් ලේ නහරවලටම ජාතික ව්‍යාපාර සම්බන්ධ වුණා. රටට ජාතියට ආගමට යමක් කළ යුතුයි කියන දැඩි හැඟීමක් ඇතිවුණා. 2004 වගේ වෙනකොට රටට ජාතියට ශාසනයට වැඩ කරන්න පුළුවන් ප්‍රවිෂ්ටයක් විදිහට පැවිදි ජීවිතයට ඇතුල් වෙන්න තීරණය කළා.

බොදු බල සේනා සංවිධානයට එකතු වුණේ ?

මම බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයෙක් නොවෙයි. මම සිංහළ රාවය ජාතික සංවිධානයේ. ඕනෑම හාමුදුරුකෙනකුගේ විපතකදී පිහිට වෙන එක මගේ ප්‍රතිපත්තියක්. එතනදි ඒ හාමුදුරුවෝ හරිද වැරදිද?, ඒ හාමුදුරුවෝ කවුද? යන කාරණා මට අදාළ නෑ. යම් ආකාරයකින් ඥානසාර හාමුදුරුවෝ වැරදි නම් ඒ ගැන පෝය ගේදි, සංඝ සභාවලදී කතා කරලා ඒ සම්බන්ධයෙන් ශාසනික වශයෙන් තීන්දු තීරණ ගත හැකියි. ඒ නිසා ඥානසාර හාමුදුරුවන්ට විපත්ති කරදර සිදුවූ අවස්ථාවලදී මම ඒ සියලු බර කරට අරගෙන ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

සිංහල රාවය සංවිධානයේ දැක්ම සහ කාර්යභාරය මොකක්ද?

රටට බලපාන, තිබෙන්නා වූ සහ ඇතිවන්නා වූ ඕනෑම කාරණයක් වෙනුවෙන් අපි මැදිහත්වීම් කරනවා. මහ බැංකු සිද්ධිය වගේ දේශපාලනමය කාරණාත්, පුරාවස්තු සංහාරය වගේ සංස්කෘතික සමාජීය කාරණාත් ඊට ඇතුළත් වෙනවා.

අවධානයට ලක්වන සංස්කෘතික හා සමාජීය කාරණා මොනවාද ?

පුරාවස්තු සංහාරය විශේෂයි. පුරාවස්තු කියන්නේ සිංහල බෞද්ධයන්ට විතරක් අයිති දෙයක් නොවෙයි. මේ මහ පොළොවේ උපනූපන් හැම කෙනාගෙම උරුමයක්. අපි හැම කෙනාම ඒවා රැකගන්න කටයුතු කරන්න ඕනේ. ඒකට සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා වෙනසක් නෑ. ශාසනික වශයෙනුත් දැන් විවිධාකාරයේ උපද්‍රව මතුවෙලා තියනවා.
පුරාවස්තු විනාශයට පත් කෙරෙන එක ප්‍රධාන ක්‍රමයක් වන නිධන් හෑරිල්ල කෙරෙන්නේම සිංහල බෞද්ධයන් වැඩිපුර වෙසෙන ප්‍රදේශවල නේද? ඒවා කරන්නෙත් සිංහල බෞද්ධයන්ම නේද?
සිංහල බෞද්ධයන්ගෙත් විශාල කඩා වැටීමක්, පිරිහීමක් තියනවා. ඒත් අපි කළ විමර්ශනයකින් අනාවරණය වුණා දැනට පුරාවස්තු සංහාරය වැඩිපුරම සිද්ධ වෙන්නේ වැඩි වශයෙන්ම පුරාවස්තු තිබෙන නැඟෙනහිර පළාතේ බව. එහි සිදුවන පුරාවස්තු සංහාරය නිධන් හෑරීමේදී වන පුරාවස්තු සංහාරයට වඩා වැඩි එකක්. අන්‍ය ජාතිකයන් එහෙම කරන්න ප්‍රධාන හේතුව විදිහට අපි දකින්නේ පොඩි කාලේ ඉඳන්ම මේ පිළිබඳ ඔවුන්ට අවබෝධයක් සහ අධ්‍යාපනයක් ලබා නොදීමයි. මුස්ලිම් හෝ දෙමළ හෝ පොඩි දරුවන්ට මේවායේ වටිනාකම කියලා දුන්නා නම් ඒ අය ලොකු වෙනකොට මේවා රකිනවා. හැමදේටම මූලික හේතුව රටේ නීතියක් ක්‍රියාත්මක නොවීම.

කෝට්ටේ රජමහා විහාරයේ හාමුදුරුවරුන් දෙදෙනකු ඝාතනය කෙරුණේ පුරා වස්තු කොල්ලකෑමේ ප්‍රයත්නයකදී බවයි කියන්නේ. යුද්ධය අවසන් වූ පසු අනුරාධපුර නිධන් හාරමින් සිටි පිරිසක් ගම්වාසීන්ගේ ග්‍රහණයට හසුවුණ වෙලාවේ අනාවරණය වුණේ ඒ කණ්ඩායම කොළඹ සිට එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් බව. වයඹ පළාතේ නිධන් හෑරීමට ගොස් සිටියදී හමුදාවේ ඉහළ නිලයක් දරන පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවකුත් අනාවරණය වුණා. මේ වගේ තත්ත්වයන් දිහා බැලුවම ඔය විග්‍රහය නිවැරදියි ද?

දේශපාලන නායකත්වයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රධානීන් සම්බන්ධ කරගනිමින් නිධන් හෑරීම සහ විනාශ කිරීම සිදුවෙනවා. ඒක එදත් අදත් හෙටත් වෙනසක් නෑ. නීතිය හරියට ක්‍රියාත්මක නොවීමයි ඒවාට හේතුව. මේ හැම දෙයටම හේතුව අද මුදල් පසුපස හඹා යන සමාජයක් නිර්මාණය වී තිබීමයි.

සිරදඬුවම් විඳින ඥානසාර හාමුදුරුවන්ගේ වර්තමාන තත්ත්වය මොකක්ද?

හාමුදුරුවන්ගේ හදවතේ රිදම් එක අනුව වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් මතුවෙලා තියනවා සැත්කමකට සිහි නැති කළාට පස්සේ නැවත සිහිය ගැනීමට හැකිවෙයිද කියා. උන්වහන්සේ රටේ ප්‍රබල චරිතයක් නිසා ඔපරේෂන් කරලා මොකක් හෝ කරුමෙකට සිහිය ගන්න බැරිව අපවත් වුණොතින් ලංකාව ලේ විලක් බවට පත්වෙනවා. ඒ නිසා සැත්කමකට ගන්න කලින් අලුතෙන් මැෂින් එකක් ගෙනල්ලා පැය හතලිස් අටක් ඒකට ගහලා හාට් එකේ රිදම් එක බලන්න ඕනේ කියලා තමයි කියන්නේ.

මේක හොර ලෙඩ ගැනීමක්, යසට හිටිය උන්නාන්සෙට නඩු තීන්දුව දෙන දවසට කලින් දවසේ මේ විදිහට එක පාර අසනීපයක් හැදෙන්නේ දඬුවමට බයේ කියලා සමහරු කියනවා ?
ඒක සම්පූර්ණ බොරු කතාවක්. උන්වහන්සේ දීර්ඝ කාලයක් මේ උවදුරට මුහුණ දීලා උන්න හාමුදුරුනමක්. මීට කලින් එක වකුගඩුවක තිබුණු ගලක් කුඩු කරලා අයින් කරන්න කොරියාවේදි සැත්කමකට ලක් කරලා තිබුණා. මෙවරත් අධිකරණයට යන්න දවස් දෙකකට කලියෙන් බෙහෙත් අරගෙන එන්න ගිය වෙලාවේ ස්කෑන් කළාම තමයි හෙළිවෙලා තියෙන්නේ මුත්‍රා මාර්ගයේ ලොකු ගලක් හිරවෙලා මුත්‍රා පෙරෙන්නේ නැතිව හිරවෙලා කියලා. වෛද්‍යවරුම තමයි ඔපරේෂන් එක අනිවාර්ය කරලා ඇඞ්මිඞ් වෙන්න කියලා තියෙන්නේ. මොකද ගල කුඩු කරලා මුත්‍රාත් එක්ක යවන්න බැරි තරම් විශාල එකක් නිසා.

සිරකරු ජම්පරය අඳින එක මෙවරත් ප්‍රතික්ශේප කරලා කියන්නේ සත්‍යයක්ද?

ඥානසාර හාමුදුරුවෝ අවුරුදු දාහතරෙන් පැවිදි වෙලා තියෙන්නේ. අපිට අනෙක් කොයි නීතියටත් වඩා ලොකුයි අපේ බුද්ධ නීතිය. භික්ෂුවකගේ සිවුර ගලවන්න ගිහියන්ට බෑ. සුද්දාගේ කාලෙවත් එහෙම වෙලා නෑ. ඒ නිසා නීති ක්ෂේත්‍රයේ උදවියත්, රාජ්‍ය තාන්ත්‍රික අයත් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා මේ වගේ දේවල් කොහොමද වෙන්නේ කින්ද මන්ද කියලා. ඒ නිසා රාජ්‍ය නීතියටත්, බුද්ධ නීතියටත් දෙකටම ගැලපෙන විදිහට උන්වහන්සේ ඉන්නවා. අපේ ස්ථාවරය වන්නේ වරදේ ස්වාභාවය අනුව කාණ්ඩ කරලා දඬුවම් කරන ක්‍රමයක් භික්ෂූන්වහන්සේලා වෙනුවෙන් අවශ්‍යයයි කියන එකයි.

බෞද්ධ භික්ෂූන් සැලකිය යුතු සංඛ්‍යාවක් දැනටත් විවිධ වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටින බවත්, ඒ සියලුදෙනා ජම්පරය අඳින බවත් බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රකාශ කොට තිබුණා. මේ උන්නාන්සෙට විතරක් ඒක ගැටලුවක් වෙන්නේ ඇයි?

මිනී මරලා, ස්ත්‍රී දූෂණ කරලා වගේ නම් ජම්පර් ඇන්දට කමක් නෑ. ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කරලා තියන වරද? රට ජාතිය වෙනුවෙන් කතා කළ එකද? ඒක ජම්පර අන්දවන්න තරම් අපරාධ වරදක්ද? ඒකයි අපි කියන්නේ මේ වැරදි කැටගරි කරන්න කියලා. අනික මේ සංසිද්ධිය මතුවුණේ මේ කියන චරිතයත් එක්කයි. ඔය කියන ජම්පර් ඇඳගෙන හිරේ ඉන්න හාමුදුරුවරු සුවිශේෂී චරිත නොවෙයි. ඒ නිසා එහෙම ඉන්නවා. යම් වරදකට භික්ෂුවකගේ සිවුර ගලවන්න උපැවිදි විනය කර්මයක් කළ යුතුයි. මහානායක ප්‍රමුඛ කාරක සංඝ සභාවකින් එහෙම තීරණයක් අරගත්තට පස්සේ භික්ෂූන්වහන්සේලා සිවු නමක් එක් වෙලයි එය කළ යුත්තේ. ඒක විනය පිටකයේ තියනවා. එහෙම නැතිව ගිහියෙකුට බුද්ධ චීවරය ඉවත් කරන්න හැකියාවක් නෑ. සුද්දගේ කාලේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ යාපනය බන්ධනාගාරයේ මැරෙනකම්ම සිරබත් කෑවේ සිවුර පිටින්. සුද්දොවත් කරපු නැති දේවල්නේ දැන් මේ වෙන්නේ.

බෞද්ධ භික්ෂූත්වය කියන්නේ සිවුරක් දරාගෙන සිටීම ද ?

භික්ෂුවක් වෙන්න නම් භික්ෂු පරම්පරාවක් තියෙන්න ඕනේ. කිසි අවබෝධයක් නැති පොල් බූරුවෝ, මැති ඇමැතිවරු ‘චීවරධාරින්’ කියන වචනය පාවිච්චි කරනවා. භික්ෂුවකට චීවරධාරි කියන වචනය පාවිච්චි කරන්න බෑ. කඩෙන් අරන් හොරෙන් සිවුරක් ඇඳගන්න පුද්ගලයා තමයි චීවරධාරියා වෙන්නේ. භික්ෂුවක් නිර්මාණය වන්නේ ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය…’ කියන ගාථාවෙන් සියලු දුක් නැතිකරගෙන නිර්වාණය අවබෝධ කරගැනීමට පැවිද්ද ඉල්ලා මහා සංඝයාගෙන් කරන ඉල්ලීමකින්. එකෙදි පැවිදි ගුරුවරයකු ඉන්න ඕනේ. උපසම්පදා ගුරුවරයකු ඉන්න ඕනේ. උපාධ්‍යාය ආචාර්යවරුන් ඉන්න ඕනේ. ආන්න එතකොටයි භික්ෂුවක් වෙන්නේ. ඒ භික්ෂුවට බුද්ධ සාශන අමාත්‍යාංශයෙන් දැන් සාමණේර සහතිකයකුත්, උපසම්පදා සහතිකයකුත් දෙනවා. මේ සියල්ල හිමි කෙනා තමයි භික්ෂුවක් වෙන්නේ. එහෙම නැති අය හොර චීවරධාරීන්. අවුරුදු දෙදහස් පන්සිය හැට දෙකක සම්ප්‍රදායක් තමයි නොයෙකුත් බාධක මැද අපි මේ රැකගෙන යන්නේ.

ඔය කියන සියලු දේ තියනවා නම් බුදුහාමුදුරුවන්ගේ දේශනාවට පිටින් වැඩ කටයුතු කරන පුද්ගලයෙක් වුණත් බෞද්ධ භික්ෂුවක් වෙනවද?

භික්ෂුවක් බුදු හාමුදුරුවන්ගේ දේශනාවට පිටින් වැඩකරනවා නම් එහි වගකීම පැවරෙන්නේ නිකායටයි කාරක සංඝ සභාවටයි. ඒ ඇත්තාව පොහොය ගේ සීමාවට කැඳවලා කාරක සංඝ සභාව හමුවට පමුණුවලා ඔහුගෙන් ප්‍රශ්න කරලා ඔහු නිවැරදි කිරීමේ භාර ධුර වගකීම මහානායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවට පැවරෙනවා.
එහෙම කටයුතු කරන අය ගැන නම් කොතෙකුත් අහන්න දකින්න ලැබෙනවා. ඒත් ඔය කියන විදිහට පොහොය ගෙට කැඳවලා නිවැරදි කිරීම් කළ අවස්ථා ගැන නම් අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෑ?
එහෙම වෙලා තියනවා. පන්සල්වල අයිතිය පිළිබඳ ප්‍රශ්න වගේ ඒවා එහෙම විසඳලා තියනවා.

පන්සල්වල සිද්ධ වෙන දේවාල කටයුතු, වෙදකම්, පෙරහැර පැවැත්වීම්, නොයෙකුත් පුද පූජා පමණක් නොවෙයි ඥානසාර හාමුදුරුවන්ගේ මැදිහත්වීම් වැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් කිසිවකටත් ශාස්තෲවරයාගේ අනුමැතියක් ලැබී නැහැ නේද? මේ සියල්ල බුද්ධානුශාසනාවට පිටින් කරන වැඩ නේද? මේ කිසිවකුත් ඔය කියන විදිහට පොහොය ගෙට කැඳවා නිවැරදි කරනවාද?

අපි හැමෝටම රට තුළ ජීවත් වෙනකොට උපාය උපක්‍රම භාවිත කරන්න වෙනවා. එහෙම නොකර මේ රටේ සිවිල් සමාජයේ අපිට ජීවත් වෙන්න බෑ. ඒකයි ඇත්ත කතාව. මේ හැමදේම බුද්ධ දේශනාවට බැහැරව කරන කටයුතු කියා කියන්න පුළුවන්කමක් නෑ. අපේ පන්සලෙත් පෙරහැරක් කරනවා. එය කරන්නේ බුදුරජාණන්වහන්සේට කරන උපහාරයක් විදිහටයි. පෙරහැර කර්තව්‍ය ආරම්භ වෙලා තියෙන්නේ කිත්සිරිමෙවන් රජ සමයේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයයි සිංහල-බෞද්ධ සංස්කෘතියයි කියන්නෙ එකක් නොවේ දෙකක්. පෙරහැර වගේ දේවල් සිංහල බෞද්ධ සංස්කෘතියට අයිති දේවල්. බුදුහාමුදුරුවන්ගේ නිවන කරා ගමන් කරනවා සේම සමාජය රැකගැනීමත් අපි කළ යුතුයි. ජේතවනාරාමය අසල නිගණ්ඨ ආරාමයක් හදන්න නිගණ්ඨයෝ ආව වෙලාවේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවා නිගණ්ඨයෝ කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවාද කියලා. පන්සීයක් කියලා කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා බලයට බලය ලෙස පන්සීයක් යවන්න කියලා. තාර්කිකව ප්‍රශ්නය විසඳන්න කියලා.

මොන සූත්‍ර දේශනාවේද ඔය කියන කතාව සඳහන් වෙලා තියෙන්නේ ?

මට මතක නෑ ඒක. මම නිකම් ඒ කාරණාව මතක් කළේ. බලන්න මේ ලෝකයේ ඉරාණය ඉරාකය පකිස්ථානය ඇෆ්ගනිස්ථානය බංග්ලාදේශය මැලේසියාව කියන සෑම රටක්ම අතීතයේ බෞද්ධ රටවල්. මේ හැම රටක්ම අද මුස්ලිම් ආක්‍රමණයට ගොදුරුවෙලා මැදපෙරදිග රටවල් බවට පත්වෙලා ඉවරයි. ඒ රටවල ග්‍රාමවාසී භික්ෂු පරපුරක් හිටියේ නෑ. ආරාමවාසී භික්ෂු පරපුරක් ඉඳලා එයාලා එයාලගේ විමුක්තිය සඳහා ගමන් කළා විතරයි. ග්‍රාමවාසී භික්ෂුන් ඉඳලා ඒ බෞද්ධ සමාජ ආරක්ෂා කරන වැඩපිළිවෙළක් නොතිබුණ නිසා තමයි අද ඒ රටවල බුද්ධාගම නැතිවෙලා තියෙන්නේ. ලංකාවේ එහෙම නොවෙයි ග්‍රාමවාසී සහ ආරණ්‍යවාසී භික්ෂු පරපුරවල් දෙකක් ඉන්නවා. ඒ නිසා තමයි අද වෙනකම් මේක රැකිලා තියෙන්නේ. කාටවත් ඒ තර්කය බිඳින්න බෑ.

ඒ ඉතිහාසය ගොඩනැඟිලා තියෙන්නේත් ශාස්තෲවරයාගේ දේශනාවට පිටින් වගේ නේද?

ඉතිං ඒක තමයි මම කිව්වේ සිංහල සංස්කෘතිය වෙනයි. බෞද්ධ දර්ශනය වෙනයි. දැන් සිංහල සමාජයේ තියන සංස්කෘතිය නිර්මාණය කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. මේක බුදුහාමුදුරුවන් වෙනුවෙන් සිංහල ජන සමාජය හරිගස්ස ගත්ත ක්‍රමයක්. ඒක වර්තමානයේ ඉන්න අපිට වෙනස් කරන්න බෑ. අපි වෙනස් කරන්න ඕනෙත් නෑ. මොකද ඒ දැවැන්ත සංස්කෘතික උරුමයේ අයිතිකාරයෝ අපි.
ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට ජනාධිපති සමාවක් ලබාදෙන්න කියා ඉල්ලීමක් කෙරුණා නේද? මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබිලා තියෙන්නේ?
කෝට්ටේ සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ ප්‍රමුඛ තත් නිකායේ කාරක සංඝ සභාව මේ ගැන සාකච්ඡා කරලා ඉදිරි දින කීපය තුළ මේ ගැන ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවකුත් ඉදිරිපත් කරලා තියනවා. ඒක සළකා බැලීම මේ මාසේ 29 සිදුවෙනවා. ඥානසාර හාමුදුරුවෝ අපරාධයක් කරලා නෑ අවුරුදු 19ක සිරදඬුවමක් දෙන්න. කොතැන හෝ යම් වැරදීමක් සිදුව තිබෙනවා.

ඔය කියන කොතන හරි සිදුවෙලා තියන වැරදීම සිදුවෙලා තියෙන්නේ ඥානසාර හාමුදුරුවන්ට නේද? කතා කළ යුතු දේ, කතා කළ යුතු තැන, කතා කළ යුතු වචන, හැසිරිය යුතු විදිහ, තැන නොතැන නොතැකීම නේද වැරදීම?

ඔය කාරණාව ඥානසාර හාමුදුරුවෝ එදා අධිකරණයේදී කතා නොකළා නම් අදටත් අර රණවිරුවන් ඇතුළේ. අද ඒ අයට ඇප ලැබිලා ඒ අය රාජකාරි කරනවා. මමත් මාසයකටත් වැඩිය හිරබත් වැළඳුවා ඔය සිද්ධියට. ඥානසාර හාමුදුරුවෝ අවස්ථාවට ගැලපෙන විදිහට තමයි කතා කළේ. 

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ පැමිණිලිකරු වන ඔබවහන්සේට අවංකවම කියන්න පුළුවන්ද ඔහු නීතිඥයන් සහ විනිසුරන් දූෂිතයි කියා කළ ප්‍රකාශය අසත්‍යයයි කියලා ?
මෙහෙමයි. එයා රට පාලනය කරන ආණ්ඩුව තුළ ඉන්න ඇමැති කෙනෙක්. මේක එළිපිට කිව්වට පස්සේ රට කොහෙටද තල්ලු වෙන්නේ? අධිකරණ පද්ධතිය දූෂිත නම් එය නිවැරදි කරන්න හැකියාව තියෙන්නෙත් ඒ ආණ්ඩුවටමයි. ආණ්ඩුව ඇතුළේ ඒ සඳහා අරගල කරලා මේක ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි. එළියෙදි කිව්වාම අධිකරණයේ 95%ක් දූෂිතයි කියලා මේක අහලා මිනිස්සු තීරණය කළොත් මේ කෙහෙල්මල් අධිකරණවලට ගිහිල්ලා මොකටද අපිම අපේ ප්‍රශ්න විසඳගමු කියලා මිනිස්සු නීතිය අතට අරගෙන කටයුතු කළෝතින් රටට මොකද වෙන්නේ. එතනයි තියන ප්‍රශ්නය. ඇතුළේ කළ යුතු කතා එළියට ඇවිල්ලා මිනිසුන් ඉස්සරහා කියපු එකයි මෙතන ප්‍රශ්නය.