ලාදුරු ආණ්ඩුවද?

ටිරන් කුමාර බංගගමආරච්චි

වර්ජන කරලා මේ ආණ්ඩුවට රිදවන්න බෑ කියලා ජනපති මෛත්‍රීපාල සිරිසේන විහාරමහාදේවි උද්‍යානයේදී පැවති උත්සවයකදී පැවසීය. ඒ අගෝස්තු මස නව වැනිදාය. වර්ජනවලින් රිදෙන්නේ, දැනෙන්නේ ජනතාවටය. ජනතාවට රිදෙන, දැනෙන දේ ආණ්ඩුවට නොදැනේ නම් මේ ලාදුරු ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් නොවිය යුතුය. ඇත්තත් එයය. මෑතකාලීන ආණ්ඩු යනු ජනතාව ඇති කළ ආණ්ඩුමුත් තමන්ට කියා ඇති කරගත් ආණ්ඩු නොවීය. ජනතාව පාලකයන්ට ආණ්ඩු තනා දුන්නා මිස තමන්ට ආණ්ඩු තනා ගත්තේ නැත. මේ නිසා බලයට ආ සැණින් පාලකයන් ආණ්ඩුව භුක්ති විඳිනවා මිස ජනතාව ආණ්ඩුව භුක්ති විඳින්නේ නැත. ඒ නිසා රටේ ප්‍රශ්න කප්පරක් ජනතාවට දැනෙනමුත් ආණ්ඩුවට නොදැනේ. වර්ජන ජනතාව අතරමං කරනමුත් ආණ්ඩුවට නොදැනේ. ජනපති විලි ලැජ්ජාවක් නැතිව කියනුයේ වර්ජන කරලා ආණ්ඩුවට රිදවිය නොහැකි බවය. එසේ නම් ජනපති නොදන්නේ මේ වර්ජනවලින් ජනතාවට රිදෙන බවය. මැති ඇමතිවරු කෝච්චියේ ගමන් බිමන් යන්නේ නැත. ඒ නිසා කෝච්චි ස්ට්‍රයික් කළැයි දහම් සිරිසේන එන්න පමා වෙතැයි ජනපතිට කල්පනා කළ යුතු නොවේ. වෛද්‍යවරු ස්ට්‍රයික් කළැයි රාජිත සේනාරත්නට ප්‍රශ්නයක් නැත. ඔහුට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල ඇත. මේ දේශපාලන පරපුර තුළ ආණ්ඩුවලට රිදෙයිද? බැසිල් – ගෝඨා ලෙඩ වුවද දුවනුයේ ඇමරිකාවටය. මහින්දද පපුවට ගසාගෙන කෑමොර දුන්නද එහි වෙනසක් නැත. එසේ නම් දැන් ජනතාවට දැනෙන දුක, වේදනාව, රිදවුම ආණ්ඩුවට දැනේද? හෙට රාජපක්ෂලා ආවද මේ තත්ත්වය වෙනස්වේද?

පාර්ලිමේන්තු විකාරය

අද ඇත්තේ බහුබූත තක්කඩි රැලක් වෙසෙන පාර්ලිමේන්තුවකි. සැබැවින්ම විනාශයට යා යුත්තේ මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලය. මේ සියල්ල එහි වෙසෙන මොහොතකය. එලෙස විනාශ වී ගොඩනැගෙන පාර්ලිමේන්තුව ඉන්පසුව හෝ සැප ගන්නා ගොඩනැගිල්ලක් නොවී ආයතනයක් සම්ප්‍රදායක් සහිත තැනක් වීම හැර මේ රටට දේශපාලන ගමනක් නැති බව කිව යුතුය. යහපත් දේශපාලන ගමනක් ඇතිකර ගැනීමට නම් අත්‍යවශ්‍යම දේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති කිරීමය. දැන් නැත්තටම නැත්තේ එයය. දැන් ඒ වෙනුවට ඇත්තේ කෝළම් මඩුවකි. හිස් රූකඩ ලගින ගොඩනැගිල්ලකි. ඒ නිසා ආණ්ඩුව ජනතාවගේ නොවේය. ජනතාවට කුමක් වුවද ආණ්ඩුවට රිදෙන්නේද නැත. අද පාර්ලිමේන්තුව තුළින් ප්‍රකාශ වන්නේ ජනතා නියෝජනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් කිසිවක් නොවේය. එය නිකම්ම නිකම් ගොඩනැගිල්ලක් මිස පාර්ලිමේන්තුවක් නම් නොවේය. එය ඡන්දය කල්දැමීමෙන් මනාව තහවුරුය.

ඡන්ද කල් දැමීම

75 අවුරුද්දේ කල් ඉකුත් වූ පාර්ලිමේන්තුව 1977 දක්වා ඇදගෙන යෑමත්, 82දී කල් ඉකුත් වූ පාර්ලිමේන්තුව 1988 දක්වා ඇදගෙන ආ අයත් පාර්ලිමේන්තුව යනු ජනතා කැමැත්ත ඉටුවන තැනක් නොව හුදු ගොඩනැගිල්ලක් බව පසක් කළෝය. රාජපක්ෂලා තම වාසියට කලින් ඡන්ද පැවැත්වීම මගිනුත් කළේ ජනතා කැමැත්ත වෙනුවට තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමක්ය. එය අන්තිම පහත් තැනට ඇදගෙන ගියේ යහපාලනය නම් නමට මුවා වූ මේ ආණ්ඩුවය. මේ ආණ්ඩුව ඡන්ද තියන්නට තරම් බය, වෙන කිසිවක් නැති තරම්ය. ඒ පරදින නිසාය. පරදින බයට වුව තව කොතෙක් කලක් මේ සෙල්ලම කරන්නද? පළාත් සභා තුනක නිල කාලය මේ වනවිටත් අවසන්ය. තවත් පළාත් සභා ආයතන තුනක නිල කාලය මේ වසර තුළ අවසන්වීමට නියමිතය. ව්‍යවස්ථාවට අනුව නිල කාල අවසන් වූ වහාම කඩිනමින් මැතිවරණ පැවැත්විය යුතු බවය. ව්‍යවස්ථාවේ සඳහන කුමක් වුවත් මේ ආණ්ඩුව ඒ ගැන නොතකා සිටී. මැතිවරණ කොමිසමත් දැන් විහිළු මඩුවක් වී ඇත. සීමා නිර්ණය වාර්තාව පිළිබඳව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවෙන් විමසනු ලැබුවමුත් ආණ්ඩුව තවමත් පළාත් සභා මැතිවරණ කුමන ආකාරයකින් පවත්වනවාද යන්නට නිශ්චිත පිළිතුරක් දී නැත. මේ නිසා ප්‍රමාද වන්නේ පළාත් සභා මැතිවරණ පමණක් නොවේ. ඉදිරි පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණයටත් මෙය බලපානු ඇත. එවන් වටපිටාවක ආණ්ඩුවට රිද්දන්න බැහැ කියමින් මෛත්‍රීපාල පාලනය යන්නේ උමතු ගමනක් නොවේද?

ආරම්භයේම ඇන ගැනීම

2015 ජනවාරි 8 විප්ලවයක් ලෙස සැලකුවේ රාජපක්ෂ පාලනය පෙරළා දැමීම නිසාය. එහෙත් පෙරළන හදිසිය සහ වුවමනාවට සරිලන වැඩපිළිවෙළක් දැක්මක් යහපාලනයට නොවීය. සියල්ල පිනට ලැබූ ගාණය. බොහෝ අය වසර ගණනාවක් දෙඩෙව්වේ රාජපක්ෂලා පරාජය කළහැකි යැයි තමන් කිසිසේත්ම නොසිතූ බවය. එවන් අයට බලය ලැබුණු පසු නන්දොඩවනවා හැර වෙන කුමක් කරන්නද? අද මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම එහි උපරිමයය. ඔහු ආණ්ඩු පෙරළන්නට එන්නේ ඔහුගේ බලවත් වුවමනාවට වඩා තව පිරිසකගේ වුවමනාවටය. ඒ නිසා අහම්බෙන් හෝ ඔහුට ජනපති ලොතරැයිය ඇදීමෙන් සිදුවූයේ ලොතරැයි ඇදී පිස්සු කෙළින සාමාන්‍ය මිනිසකුට අත්වූ ඉරණමමය.

අගමැති පින

2015 ජනවාරි මස 08 වැනිදා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවේ. ඒ වුවත් ජනවාරි 9 වැනිදා ජනපති දිවුරුම් දුන් මොහොතේම අගමැතිත් දිවුරුම් දුන්නේය. රටේ මූලික නීතිය නම් ජනපති, අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ප්‍රසාදය දිනාගත් තැනැත්තාය. එහෙත් ඒ මොහොතේ අගමැතිවරයාගේ පක්ෂයට සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 42කි. ඒ පිනට මෙන් ලද අගමැතිකමත් සමග දින සියයේ වැඩපිළිවෙළක් හදාගෙන අගමැති කළ හොඳ වැඩ සියල්ල බැඳුම්කර මගඩියත් සමග විනාශ විය. එය එළිනොවූ නිසාම 2015 අගෝස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ආසන 106ක් දිනා ගත්හ. ඒ අනුව පිනට ලද අගමැතිකමට ස්ථාවරත්වයක් ලැබුණද? එතැන් පටන් ඔහුගේ වැඩපිළිවෙළ නම් අස්ථාවර විය. ඒ මොහොතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 95ක් ගෙන දෙවැනි තැන සිටියද විපක්ෂ නායක ධුරය ඉල්ලා වලිකෑවේ නැත. ඒ තැන ද්‍රවිඩ ජාතික සන්ධානයට හිමිවන විට බරපතළ විරෝධයක් දැක්වූයේද නැත. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන විටද සැලකිය යුතු මට්ටමේ විරෝධයක් එල්ල නොවීය. ඒ ඔවුන් භාගෙට භාගයක් ආණ්ඩුවේද රිංගා සිටි බැවිනි. එහෙත් අද ඔවුහු විපක්ෂ නායකකම ඉල්ලා අඩව් අල්ලති. මේ වනවිට ආසන 70ක් ඇති ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ නිල පක්ෂයක් නොවේයැයි කීම දේශපාලන කුහකකමක් විනා වෙන කිසිවක් නොවේ.
විපක්ෂ නායකයා ලෙස ගෙවුණු කාලයේදී සම්බන්ධන් ක්‍රියා කළා ද යන පැනයත් සැබැවින්ම ඉතිරිය. ඔවුහු විපක්ෂ නායක භූමිකාවක් නොකළ තරම්ය. ඇතැම්විට තනතුරු නොගත්තද ඒකාබද්ධය එහි භූමිකාවක් රඟදක්වන බව පිළිගත යුතුය. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකකම ප්‍රබල විය යුතුය. කාලාන්තරයක් විපක්ෂ නායක ධුරය දැරූ වත්මන් අගමැතිට එය නොතේරෙනවා විය හැකිය. එකලද ඒ තනතුර රූකඩයක් වූ බැවිනි. යහපත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇතිකර ගැනීමට නම් ශක්තිමත් විපක්ෂයක්ද පාර්ලිමේන්තුවේ තිබිය යුතුය.

විවිධ මොඩල

අද මෙරට දේශපාලන පරිහානිය ගැන කතා කරන බොහෝ උගතුන් පෙන්වා දෙනුයේ ඒකාධිපති ස්වරූපයක් ගන්නා ජනපති ධුරය ගැනය. මෙරට දේශපාලනය මෙතරම් පිරිහුණේ මේ විධායක ජනපතිකම නිසාද? එසේනම් එයට වෙනත් රටවල ජනපතිකම් පෙන්වා දිය හැකිය. ඇමරිකාව, ප්‍රංශය. ඒ රටවල් ජනාධිපතිකම් නිසා විනාශවීද? සමාජවාදී නාමයෙන් අගමැති වී සිටින පුටින් මොනතරම් ඒකාධිපතියෙක්ද යන්න බොහෝ අය නොපිළිගනිති. වෙනත් රටවල කුමන ක්‍රමය පෙන්වා දුන්නත් මෙරටට එය නොගැළපෙන්නේ ඒ රටවල දේශපාලනයට එකම හේතුව එයම නොවන නිසාය. මන්ද ඒ රටවල ඇති දේශපාලන අර්බුද ඒවායේ ජනපති ක්‍රමය හෝ වෙනත් ක්‍රමයක් නිසාම සිදු නොවී ඇති නිසාය. ඒ ගැටලු නිවැරදිව සොයා ගන්නා යාන්ත්‍රණයක් අපට නැත. අප සිතනුයේ අපට ඇති එකම විසඳුම විධායක ජනපතිකම අහෝසි කිරීම බවය. එවිට සියලු ප්‍රශ්න සමනය වේද? මේ රටේ අවුල් ඇතිවන තරමක් ඇතිව ඇත්තේ ජනපති ක්‍රමයට වඩා පාර්ලිමේන්තු ක්‍රමය නිසාය. මේ යහපාලනයේම පිස්සු කෙළින තරමක් පිස්සු කෙළියේ ජනපතිට වඩා අගමැතිය. ඒ අනුව සැකසිය යුත්තේ විධායක ජනපති ක්‍රමයට වඩා පාර්ලිමේන්තුවය. එය ගොඩනැගිල්ලකට සීමා නොකර ජනතා සුබ සිද්ධියේ කේන්ද්‍රස්ථානයක් කළ යුතුය. ජනතා නියෝජිතයෝ යන වදන හුදු වචනයකට සීමා නොකර අරුතකට ගෙන ආ යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රබල කළ යුතුය. හුදු ඡන්ද ලබාගැනීමට පමණක් ජනතාව සුවිශේෂී වී ඡන්දයෙන් පසු ජනතාව දෙකේ කොළයට වැටෙන සම්ප්‍රදාය අවලංගු කළ යුතුය. වර්ජන ජනතාවට රිදෙන්නේ නම් ඒ රිදුම ආණ්ඩුවටත් දැනිය යුතුය. ජනතා නියෝජිතයන් ජනතාව ඉදිරියේ පිස්සු නටන්නට බය විය යුතුය. ජනතාව සැබැවින්ම ප්‍රබල විය යුතුය. ජනමතයට නිසි තැන ලබාගත යුතුය. එවිට මොන ඒකාධිපතියාත් එලවා දැමිය හැකි බව මතක තබාගත යුතුය. ජයගත යුත්තේ මේ පාර්ලිමේන්තු ක්‍රමයය. වෙනස්වීමට ඇති පළමු තැන එයය. අප අද විධායක ජනපති ක්‍රමය ගැන කතා කරමු. එහෙත් තේරුම් නොගන්නා දේ නම් ජනපති පමණක් නොව අගමැති මැති-ඇමතිවරුද ඒකාධිපති බලතල ඇත්තන් වී සිටීමය. එක විධායකයකු එළවිය යුතු යැයි කියමින් විධායකයෝ රොත්තක් නිර්මාණය කරගෙන ඇත. ජනතා ඡන්දයෙන් එන ජනතාව හෑල්ලු වී පාලකයන් කෙරුම්කාරයෝ වී සිටිති. කරුමය එයයි. අප කැරලි ගැසිය යුත්තේ ජනතාව බලසම්පන්න වන තැනට ගෙන ඒමටය. පාර්ලිමේන්තු ක්‍රමය ගොඩනැගිල්ලට සීමාවී එහි සැප වළඳන පිසාචයන් නිර්මාණය කරනු වෙනුවට ජනතාවට වගකියන ජනතා නියෝජිතයන් බිහිකර ගැනීමටය. ඒ සඳහා බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන ආකාරයට අලුත් ජනතාවක් පත්කර ගත යුතුය.