යකඩ දා ගිය ගින්නට හසුවූ පුළුන් ජීවිත

රසික ගුණවර්ධන

උන් කති, බොති, රඟති. ඒ තාරුණ්‍යයේ හැටිය. කා බී, නටා, රඟා වැනසෙත් නම් එය තාරුණ්‍යයේ හැටි විය යුතු නැත. පසුගිය දා වාද්දූවේදී ද ඊට පෙර වේයන්ගොඩ, මීටියාගොඩ ආදී ප්‍රදේශ වලදී ද පැවැත්වූ සංගීත සාද වලදී තරුණ තරුණියෝ කා, බී, රඟා වැනසෙන මට්ටමටම පැමිණ සිටියහ. සතියකට පෙර වාද්දූවේ සංගීත සාදයේදී මිය ගිය පිරිස හතර දෙනෙකි. සාදයට සහභාගි වූවා යැයි කියන පිරිස එක්දාස් පන්සීයකට අධිකය. ඊට පෙර මීටියාගොඩදී පොලීසිය අත් අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස හැට දෙකකි. මෙයින් පැහැදිලි වන්නේ සමාජ ජාල මාධ්‍ය මගින් සංවිධානය වන සංගීත සාජ්ජ සංස්කෘතියක් ඇතිවෙමින් පවතින බවයි. සමාජ ජාල මාධ්‍ය හරහා සංගීත සාජ්ජ සංස්කෘතියක් බිහිවීමේ ගැටලුවක් නැත. සංස්කෘතිය ත්වරණය විය යුතුය. ගැටලුව ඇත්තේ හෂීශ්, හෙරොයින්, ටැබ්ලට් ආදී මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් ඇතිකරගන්නා ඛේදවාචකය තුළය.

වාද්දූවේ සිද්දිය

වාද්දූවේ සිද්ධිය දිග ඇදෙන්නේ ඒ සාදයේදී පුද්ගලයන් හතරදෙනකු මිය යාම නිසාය. මේ මිය යාම පිටුපස විවිධ කතා ඈඳෙන නමුදු මේ වන තෙක් ඊට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් වී නැත. අදාළ පරීක්ෂණ නිමා වී අදාළ වෛද්‍ය වාර්තාව නිකුත් වීමට තවත් මාසයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වනු ඇත. කෙසේ වෙතත් පානදුර මූලික රෝහලේ සහකාර වෛද්‍ය අධිකාරී පී.ජී. හේමන්ත කුමාර මාධ්‍යට පැවසූවේ මිය ගිය පුද්ගලයන්ගේ සියලුම පද්ධති වල ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස වෙනස් වී තිබූ බවත් ඔවුන්ගේ ස්වසන වේගය හා හෘද ස්පන්දන වේගය ඉහළ ගොස් තිබූ බවත් ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ බවත්ය. මේ කරුණු අනුව ඉදිරිපත් වන අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වනු ඇතැයි නිගමනය කළ හැක්කේ අධික උෂ්ණත්වය නිසා සිදු වූ සංකූලතාවක් මේ මරණ වලට හේතු වන්නට ඇති බවයි.

එසේම එම සාදය පැවති ශාලාව දකින විට ද උෂ්ණත්වය ඉහළ යාමේ කාරණාව සැබෑවක් බව නිගමනය කළ හැකිය.එම ශාලාව ඒ තරමට විශාල නැත. ආසන්න වශයෙන් එය වර්ග අඩි දෙදහසක් පමණ වේයැයි අනුමාන කළ හැකිය. එහි රැස් වුණා යැයි කියන පිරිසේ ප්‍රමාණය එක්දාස් පන්සීයකට වඩා වැඩිය. ඒ අනුව උෂ්ණත්වය ඉහළ යාම නිරායාසයෙන්ම සිදු විය හැකිය. එසේම එම පිරිස නර්තනයේ යෙදෙන්නට පටන් ගත් විට ශරීර උෂ්ණත්වය සේම පරිසර උෂ්ණත්වයද තවතවත් ඉහළ යනු ලබයි. සහභාගි වූවකු මාධ්‍යට ප්‍රකාශ කරන පරිදි පැවති සිගරැට් දුම් හා ප්‍රමාණවත් නොවූ විදුලි පංකා දෙක ද ශාලාවේ උෂ්ණත්වය ඉහළ දැමීමට හේතු වී ඇත.

කෙසේ නමුදු සිද්ධිය පිළිබඳව හෝ සිදුවූ මරණ පිළිබඳව කිසිවක් කීමට තවම වේලාසන වැඩිය.

ෆෙස් බුක් පාටි හා මධ්‍යම පන්තිය 

සමාජ මාධ්‍ය හරහා සංවිධානය වන සාද දිනෙන් දින ව්‍යාප්ත වන්නේ මධ්‍යම පාන්තික තරුණ තරුණියෝ අතරය. එය එසේ වී ඇත්තේ කෙළිදෙලෙන් ගත කිරීමට අවශ්‍ය මධ්‍යමපාන්තික තාරුණ්‍යට, ඊට සරිලන හෝ සුදුසු සමාජ වටපිටාවක් තවමත් ලංකාවේ මධ්‍යම පාන්තික තරුණයන් වෙත විවර වී නැති නිසාය. ඔවුන් සංස්කෘතික හා ගතානුගතික චින්තනමය සාධක මත සිරකරණු ලැබ ඇති නිසා සමාජ මාධ්‍ය, සංවිධානය වීමේ අවස්ථාවක් ලෙස භාවිත කරනු පෙනේ. එහෙත් ඉහළ සුපිරි ධනපති පංතියේ තරුණ තරුණියෝ සමාජ ජාල මාධ්‍ය හරහා සංවිධානය වන සාද වල දැකගත හැක්කේ ඉතාම අවම වශයෙනි. පොලීසිය විසින් විටින් විට වටලනු ලබන සාද වලදී මේ කරුණ පැහැදිලි ලෙසම දැකගත හැකිය. එසේම පසුගිය දා සිව්දෙනකු මියගිය වාද්දූවේ සිදුවීමේ ද මියගිය සිව් දෙනාම මධ්‍යම පාන්තික තරුණයෝ වෙති. ඔවුහු පවුල් වලින් මහා ධනස්කන්ධයන් රැගෙන එන්නෝ නොවෙති. වාද්දූවේ සිදු වීමේදී මිය ගිය එක් තරුණයකුගේ නිවසකට ගොස් ඒ නිවැසියන් සමඟ කතාබහ කිරීමට අවස්ථාව අපට ලැබුණි. ඔහුගේ නිවසට ගිය අපට දැකගත හැකි වූයේ මහා විශාල මන්දිරයක් හෝ සුඛෝපබෝගී නිවසක් නොවේ. ඒ නිවස උළු සෙවිලි කළ සාමාන්‍ය මධ්‍යම පාන්තික නිවසකි. ප්‍රදේශයද නාගරික ප්‍රදේශයක් නොවන අතර එය තරමක ග්‍රාමීය ප්‍රදේශයකි. පවුලද මහා ධනයකට හිමිකම් නොකියන අතර අම්මා, තාත්තා සහ බාල සොයුරියගෙන් යුතු පවුලම නඩත්තු කර තිබුණේ මියගිය තරුණයා විසිනි. එසේම ඔහුගේ රැකියාව මහා විශාල වැටුපක් හිමිවන රැකියාවක් නොවන අතර එය සාමාන්‍ය වැටුපක් හිමිවන රැකියාවකි. මොහුගේ ගම කොළඹින් තරමක් දුරට වන්නට පිහිටා තිබෙන අතර මොහු රැකියාව කළේ කොළඹ ප්‍රදේශයේ නවාතැන් ගෙනය.

මේ සමාජ ජාල හරහා සංවිධානය වන සාද මේ තරම් ඉහළ යාමට හේතුව සමාජ ශාලා වල සාද ප්‍රමාණය පහළ යාම නොවේ. සාමාජ ශාලා වල ඇති තරම් සාද ඇත. එහෙත් ඒවාට මේ කියන මධ්‍යම පාන්තික තරුණ තරුණියන්ට යාමට නොහැකිය. ඒ ඒවායේ පවතින ඉහළ මිළ ගණන් අනුව ඒවාට ඇතුලු වුවහොත් මාසේ හොයන පඩියම එතැනට දීමට සිදුවන බැවිනි. ඒ නිසා අඩු වියදමින් සමාජ ශාලා වින්දනය ලබාගැනීමට මෙසේ සමාජ ජාල මාධ්‍ය හරහා විශාල වශයෙන් සාද නිර්මාණය වනු ලබයි. මේවා සංවිධානය කිරීමට වෙනමම සංවිධායකයන් පිරිසක්ද මේ වන විට බිහිවී සිටිති.
මේ සාද ඉලක්ක කරන්නේ ඈත ගම්මාන වලින් කොළඹ පැමිණ මැද පන්තියේ ආර්ථිකයක් සහිත තරුණ තරුණියන් වන අතර ඔවුන් යම් දැනුමක් හා සමාජ අවබෝධයක් ඇති තරුණ තරුණියන්ය. ඒ බව හෙළි වන්නේ ඒ සාද සඳහා නිර්මාණය කරන පෝස්ටර් මගින් සහ ඒවාට ගෙන්වනු ලබන ගායක ගායිකාවන් හරහාය. මේවායේ පෝස්ටර නිර්මාණය වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර පැමිණෙන්නේ රොක්, පොප් වැනි සංගීත සම්ප්‍රදායන් වල සංගීතකරුවන්ය. ඈත ගම්මාන වලින් කොළඹ පැමිණ අඩු ආදායම් ලබන රැකියාකරන බොහෝ තරුණ තරුණියෝ සහ ඇඟලුම් කර්මාන්ත ශාලවල වැනි රැකියා කරන තරුණ තරුණියෝ ඉංග්‍රීසි ඌරුවේ එවැනි ගීත සංස්කෘතීන් ප්‍රියකරන්නේ ඉතාම අල්ප වශයෙනි.

මෙවැනි සාද වලට ඇතුලු වීමට ටිකට් පත් හෙවත් පැකේජ මිලදී ගත යුතු අතර මිලදී ගන්නා පැකේජය අනුව ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ ලැබෙන මත් ද්‍රව්‍ය ප්‍රමාණය බව අපට පැවසූවේ නිරන්තරයෙන් මෙවැනි සාද සංවිධානය කිරීමට සහය ලබා දෙන අයෙකි. ඔහු කියන ආකාරයට මෙවැනි සාද වලදී සංවිධායකයන් ලබා දෙනු ලබන්නේ විස්කි, බ්‍රැන්ඩි ආදී මත් ද්‍රව්‍ය පමණක් වන අතර අනෙකුත් මත්ද්‍රව්‍ය පැමිණෙන අයවලුන් එකිනෙකා අතර හුවමාරු කරගනු ලබයි. මේවා දැන දැන මේ අන්තරායක මත්ද්‍රව්‍ය හුවමාරු වීම නවත්වන්නේ නැත්තේ කුමක් නිසා දැයි අප ඔහුගෙන් විමසූ විට ඔහු කීවේ, “උන්ගෙ ආතල් කැඩුවොත් උන් අයෙ එන්නෙ නෑනෙ” යනුවෙනි.
අදාළ සංවිධායකයාගේ මුහුණු පොතට පිවිසුණු විට ඔහු විටින් විට සංවිධානය කරන මෙවැනි ෆේස් බුක් සාද පිළිබඳව තොරතුරු දැකගත හැකි විය. එයින් කිහිපයකම සඳහන්ව පැවතුනේ කාන්තාවන් සඳහා සාදයට ඇතුලු වීම රාත්‍රී 10 න් පසු බවයි. මේ පිළිබඳව විමසූ විට අප හා කතාබහ කළ පුද්ගලයා පැවසුවේ “පොලිසිය එන්නේ රාත්‍රී 10 පෙර බවත් පොලීසිය පැමිණෙන විට ගැහැනු ළමුන් සිටියොත් වාතයක්” වන නිසා ඔවුන් රාත්‍රී 10 න් පසු ඇතුලු කරගන්නා බවත්ය.
මේ පාටි වලට බොහෝ දෙනකු ඇදී ඒමට තවත් හේතුවක් වන්නේ මේවාහි ලැබෙන අසීමිත වූ නිදහසයි. ඉහත පුද්ගලයා අප හා සඳහන් කළ කාරණා අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට පවා මෙහි තහංචියක් නොවන තැන මෙහි කිසිසේත්ම ඊනියා සංස්කෘතික හරපද්දතීන් පිළිබඳව පාරම්බාන්නෝ නොවෙති. ඒ නිසාම තරුණ තරුණියෝ ස්වකීය සංස්කෘතික භූමියේදී මඟ හැරුණු ලිංගික නිදහසද කාන්තාවන්ට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති නිදහසද උපරිමයෙන් විඳ ගැනීමේ අපේක්ෂාවෙන් මෙවැනි සාද වලට සහභාගී වෙති. ඒ අනුව මෙවැනි සාද වලට පාර කැපීමට එක් අතකින් ඊනියා සංස්කෘතියද උපකාරී වී ඇත.
මත්ද්‍රව්‍ය
සමාජ ශාලා වේවා මෙවැනි සාද වේවා සහභාගි වන්නන් මත් ද්‍රව්‍ය භාවිත නොකරනවා නම් ඒ ඉතාම අතලොස්සක් දෙනෙකි. ඒ නිසා මෙවැනි සාද වල බොහෝ මත් ද්‍රව්‍ය හුවමාරු වේ. ඒවා සාමාන්‍ය භාවිතාවේ ඇති අන්තරායක නොවන මත්ද්‍රව්‍ය පමණක් ම නොව ඉතාම අන්තරායක කොට සලකන මත් ද්‍රව්‍ය ප්‍රභේද ද වෙයි. ඒවා අතර හෙරොයින්, හෂීශ්, අයිස්, මත්පෙති (ක්ලබ් ටැබ්ලට්) වැනි දෑය බහුලය.
එසේම මෙවැනි විවිධ මත් ද්‍රව්‍ය එකිනෙක සමඟ මිශ්‍ර කර ගැනීම ශරීරයට ඉතාම අහිතකර බව පැවසේ. එසේ මිශ්‍ර වූ මත් ද්‍රව්‍ය රුධිර ගමනාගමනට බලපෑම් කරන අතර ඒ නිසා හෘද රෝග ඇති වීමේ අවදානමක් ඇත. කෙසේ වෙතත් මේ ආකාරයට මත් ද්‍රව්‍ය මිශ්‍ර කර පානය කිරීම මෙවැනි සාද වලදී හඳුන්වන්නේ ”පස් පංගුව” ලෙස යැයි අපට කීවේ ඉහත අපට තොරතුරු සැපයූ උත්සව සංවිධායක සහයකවරයාය.

වරද කාගෙද?

පසුගිය බදාදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කියන්නේ තමා මෙම වාද්දූවේ ෆේස් බුක් සාදයට සම්බන්ධයක් නොමැති බවය. ඉතින් ඔහු මීට සම්බන්ධ යැයි කීවේ කවුරුන්ද? මේවාට ගමේ ගොඬේ කියන්නේ බළලා මල්ලෙන් එළියට පැන්නා යනුවෙනි. කෙසේ හෝ අමාත්‍යවරයා කියන්නේ වරක් බේරුවල ප්‍රදේශයේ සාදයකට තමාගෙන් උපකාර ඉල්ලුවද තමා ඊට විරුද්ධ වූ බවත්, අවසානයේ බලකිරීම මත තමා ඒ සඳහා පොලිස් නිලධාරීන් දහදෙනකු ලබා දුන් බවත්ය.

අවසානයේදී මේවායේ ප්‍රතිඵල දරා ගත යුත්තේ දේශපාලකයන් හෝ සංවිධායකයන් නොවේ. සාදවලට සහභාගි වූවන් හා ඔවුන්ගේ වැඩිහිටියන්ය. මීට පිළිතුරු සෙවිය හැක්කේ කෙසේද? මෙය ලංකාවේ සමස්ත පරිහානියේම තවත් පිළිබිඹුවකි. යකඩ දා ගිය බිමේ සුමට අමුද්‍රව්‍ය ආරක්ෂිත වේ යැයි සිතිය නොහැකිය. එබැවින් පළමුව නිවා දැමීමට පෙර දැරිය යුත්තේ යකඩ පිළිස්සෙන ගින්නය.