ගෝඨාභය උභතෝකෝටිකය

සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් රාජපක්ෂවරුන්ට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක් ලෙස පෙනෙන ඉතිහාසයේ සරදමකි.

රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති ප්‍රධාන සාධකය සිංහල බෞද්ධ හැඟීම් ඇවිස්සීමට එහි ඇති සූදානමයි. යුද ජයග්‍රහණය සහ ‘රණවිරුවන්’ ආරක්ෂා කරගැනීම පාදක කරගනිමින් එල්ටීටීඊ භීතිකාව මැවීම එහි මූලෝපාය තුළ පවත්නා වැදගත් උපක්‍රමයකි. මර්දනය මගින් රට ගොඩ නැගීමද ගෝඨාභයගේ තවත් ‘හැකියාවක්’ ලෙස සලකනු ලැබේ. ගෝඨාභය රැස්වළල්ල කැරකෙන්නේ එම සාධක වටා ය. ගෝඨාභය ජය ගත යුත්තේ තනි සිංහල ඡන්දවලිනි.

ගෝඨාභය රාජපක්ෂට සැලකිය යුතු දෙමළ සහ මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකිවනු ඇතැයි සිතිය නොහැක. ඔහුගේ මර්දනකාරී අතීතය සැලකිය යුතු ප්‍රමාණයක සිංහල ඡන්දදායකයාද බිය ගැන්වීමට සමත් වනු ඇත. එමෙන්ම අන්තර්ජාතික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සැලකෙන්නේ යුද අපරාධයන්ට ඍජුවම සම්බන්ධ චීන හිතවාදී දේශපාලනඥයකු ලෙසිනි. මේ නිසා බටහිර යුරෝපා රටවල් පමණක් නොව ඇමෙරිකාව සහ ඉන්දියාව ද ගෝඨාභය රාජපක්ෂ මෙරට නායකයා වනු දැකීමට නොකැමැති වනු ඇත. යම් හෙයකින් ඔහු මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් යුද සමයෙහි සිදුවූ බවට කියැවෙන යුද අපරාධ සම්බන්ධ අන්තර්ජාතික බලපෑම් ඉහළ යාමට ද බොහෝ දුරට ඉඩ තිබේ.

මෙම තත්ත්වය තිබියදීත් රාජපක්ෂ කඳවුරෙහි ජනාධිපති අපේක්ෂකයා මට පෙනෙන විදිහට නම් දැනටමත් තෝරා අවසන් ය. ඒ අන් කිසිවකු නොව මෙම උභතෝකෝටිකය නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂමය. ආන්තික සිංහල බෞද්ධ ජන්ද ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය මතවාදී පදනමක් වන ශ්‍රී ලංකාවෙහි දෙමළ සහ මුස්ලිම් ජනයා ජීවත් වියයුත්තේ සිංහල ආධිපත්‍යය යටතේය යන ආකල්පය තහවුරු කළ හැකි මර්දනකාරී දේශපාලනඥයා ද ගෝඨාභය රාජපක්ෂම වේ.

අනෙක් අතට පවුලෙන් පිට කිසිවකුට සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට මහින්ද රාජපක්ෂ ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක. දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටි වාසුදේවගේ කට දැන් වැසී තිබේ.
ජනාධිපතිවරණ දේශපාලන ව්‍යාපාරයක් අරඹා ඇත්තේ ගෝඨාභය පමණය. ඔහු නැගෙනහිර කුඩා මුස්ලිම් කණ්ඩායමක් ඇමතීමට පසුගියදා එහි ගොස් තිබුණි. යාපනයේ රාජපක්ෂ පාර්ශ්වයේ ප්‍රධානියා වන රාම්දාස් ද ගෝඨාභය ජනාධිපතිවරණයට අවශ්‍යම බව කියා තිබේ. එමෙන්ම සිය හොරණෑකරුවන් නිසා නැගෙන ඒකාධිපති විවේචන නොසලකා ගෝඨාභය හිටපු අන්තවාදී යුද්ධ නායකයින් සිය රැස්වීම්වල කථිකයින් ලෙස දිගටම යොදා ගනියි.

පෙනෙන විදිහට රාජපක්ෂ පවුල ගෝඨාභය සම්බන්ධයෙන් සම්මුතියකට එළඹ තිබේ. එනම් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය යම් දුරකට පවුලේ ආධිපත්‍යය යටතට ගැනීම ය. ඊට එක් සාක්ෂියක් පසු දිනෙක දක්නට ලැබුණි. එනම් කොළඹ නගර සභාවෙහි රාජපක්ෂ පාර්ශ්වයේ තරුණ නායකයා වන මිලින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ නිල ප්‍රකාශකයා ලෙස නම් කිරීම ය.

ඇතුගල්පුරවාසී මිලින්ද රාජපක්ෂ සමාජ ක්‍රියාකාරීත්වයට පැමිණියේ මානව හිමිකම් ක්ෂේත්‍රය හරහා ය. ඔහු දෙදහස් දශකයේ මුල් භාගයෙහි වසරවල ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනයේ තරුණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විය. පසුව ඔහු රාජපක්ෂවාදී දේශපාලනයට ඇදී ගිය අතර නාමල් රාජපක්ෂගේ සමීපතමයකු බවට පත් විය. තවද පසුගිය කාලය පුරා සිය සමාජ මාධ්‍ය ජාල හරහා මිලින්ද රාජපක්ෂ පෙන්වා ලූ එක් කාරණයක් නම් ඔහු සහ නාමල් රාජපක්ෂ අතර ඇති සමීප සම්බන්ධයයි. තවද ඔහු බැසිල් රාජපක්ෂ අනුගාමිකයෙක් ද වේ.
දැන් ගෝඨාභය රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශකයා ලෙස එකී මිලින්ද රාජපක්ෂ භෞතීස්ම කර තිබේ. බැසිල් රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට හෝ නිල මාධ්‍ය ප්‍රකාශකයකු නැත. මහින්ද රාජපක්ෂට මාධ්‍ය ප්‍රකාශකයකු සිටින නමුත් ඔහු කට අරින්නේ සිංගප්පූරුවට ගොස් අමාරුවේ වැටුණාක් වැනි අවස්ථාවලදී පමණය.

මෙම පත්කිරීම වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ළඟම කවයේ සිටින පක්ෂපාතී යුද හමුදා නිලධාරීන් අතරින් කෙනකු වෙනුවට නාමල් රාජපක්ෂගේ දේශපාලන අගසව්වකු මෙම තනතුරට, එය නාමික එකක් විය හැකි නමුත්, පත්කර ගන්නා ලද බැවිනි. විශ්‍රාමික ජාතිවාදී යුද නිලධාරීන් වටකර ගනිමින් ගිය ගමනම ගියේ නම් ගෝඨාභයගේ නිල ප්‍රකාශකයා විය යුතු වූයේ ‘ගෝඨාගේ යුද්ධය’ ලියූ සී. චන්ද්‍රප්‍රේම හෝ ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ ප්‍රධානී මේජර් අජිත් ප්‍රසන්න වැනි අයෙකි. දැන් ඒ තැන නාමල් රාජපක්ෂ අගසව්වකුට ලැබී තිබේ.

දේශපාලන විචාරකයකු වන ජයදේව උයන්ගොඩ සිය සති අන්ත ලිපි මගින් කියා සිටි කාරණයක් වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින් තම දේශපාලන ලුතිනන්වරුන් ලෙස හිටපු යුද හමුදා ප්‍රධානීන් පත්කරගෙන සිටීම මහින්ද රාජපක්ෂගේ අකමැත්තට හේතුවිය හැකි බවයි. ඔහු තවදුරටත් කියා සිට තිබුණේ සමහර විට ගෝඨාභයගේ මිලිටරි – දේශපාලන සැලැස්ම පරාජය කිරීම පිණිස විකල්ප සොයන මහින්ද රාජපක්ෂ, ශිරන්ති සහ චමල් හැරුණු විට රනිල් වික්‍රමසිංහට වුව සිය රහසිගත කැමැත්ත දිය හැකි බවයි. මෙම තර්කය මූලික වශයෙන් පදනම් වී ඇත්තේ 2025 වර්ෂයේදී නාමල් රාජපක්ෂ මෙරට නායකයා බවට පත් කිරීම මහින්ද රාජපක්ෂ පවුලේ ප්‍රධාන අරමුණය යන උපකල්පනය මතය. එනම් ගෝඨාභයට නොදී නාමල්ට රට බාරදීමට ඇති රාජපක්ෂ පවුල් සැලැස්ම ය.

එහෙත් අප මතක තබා ගතයුතු තවත් වැදගත් සාධකයක් තිබේ. එනම් රාජපක්ෂ පාර්ශ්වයේ සෙනෙවියන් ගණනාවකටම විරුද්ධව දැනටමත් වංචා – දූෂණ නඩු විභාග ආරම්භ වී තිබීම යි. විශේෂ අධිකරණ පවා කෙකරගාමින් වුව සිය කටයුතු ආරම්භ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ දූෂණ නඩුවක් වංචා දූෂණ විභාග කරන විශේෂ අධිකරණයට යොමු කරන සේ එෆ්.අයි.සී.ඩී. ය දැන් අගවිනිසුරුගෙන් ඉල්ලා තිබේ. ජනමාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් යුද හමුදා රහස් නිවසක රඳවා වධහිංසා පැමිණවීමෙන් පසු නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි. ඉදිරි මාස කිහිපය තුළ මෙම ක්‍රියාවලිය ඉදිරියට ගියහොත් රාජපක්ෂ පවුලට සම්බන්ධ දේශපාලනඥයින් දුෂ්කර තත්ත්වයකට පත්වීමට හොඳටම ඉඩ තිබේ.

මෙම තත්ත්වය යටතේ මෙම නඩු විභාග කඩාකප්පල් කර දැමීම රාජපක්ෂගේ අන්තේවාසික දේශපාලනඥයින් බහුතරයක හදිසි අවශ්‍යතාව බවට පත්ව තිබේ. බලයට පැමිණ අධිකරණ ක්‍රියාවලීන් කඩකප්පල් කර මෙම නඩු මෙහෙයවූ පොලිස් සහ නීති නිලධාරීන්ට පාඩමක් ඉගැන්විය හැකි පුද්ගලයා ලෙස සැලකෙන්නේ ද ගෝඨාභය රාජපක්ෂම වේ. මර්දනය හැර අන් දේශපාලනයක් ඔහු දන්නේ නැති නිසාය.
පෙනෙන විදියට ආණ්ඩුව කිසිවක් නොකළේය යන චෝදනාව 2019 අවසානය වන විට එතරම් බලගතු සාධකයක් නොවීමට ඉඩ තිබේ. මන්දයත් ආණ්ඩුව බර කරත්තයෙන් ගිය ගමන දැන් වාෂ්ප ඇන්ජිමක වේගයෙන් දුවන්නට පටන් ගෙන තිබෙන නිසා ය.

රාජපක්ෂ හම්බන්තොටට ලබා දුන්නේ එහි ජනයාට වැඩක් නැති රාජපක්ෂ නම බොඞ්ලෑලිවල ඇලවූ දැවැන්ත සුදු අලි ව්‍යාපෘතිය. රාජපක්ෂ වරාය, රාජපක්ෂ ගුවන්තොටුපොළ පමණක් නොව රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවද රන්මිණිතැන්න එළිමහන් චිත්‍රාගාරයද ලබා දෙන්නේ අතිවිශාල පාඩු මිස ජනතා සේවයක් නොවේ.

රාජපක්ෂ මෙන්ම සිය දිස්ත්‍රික්කයට ලොකු හැන්දකින් බෙදා ගත් නමුත් ඊට ප්‍රතිවිරුද්ධව මෛත්‍රීපාල සිරිසේන පිබිදෙන පොළොන්නරුව යටතේ ඉදි කරන ලද්දේ මහජන සේවාවන් වන ව්‍යාපෘති රැසකි. ඔහුගේ නම ඒවායේ අලවා නැත.

මෙම දුවන වේගයෙන්ම ඉදිරි මාස 15 තුළ ආණ්ඩුවට දුවන්නට හැකි වුවහොත් රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඉතිරිවනු ඇත්තේ ජාතිවාදයට බර දේශපාලනයක් පමණි.
ගෝඨාභය තවමත් ඇමෙරිකානු පුරවැසියෙකි. නිල වශයෙන් තමා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන තුරු තමා සිය ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කර නොගන්නා බව ගෝඨාභය කියන්නේ රාජපක්ෂ පවුලට වෙනත් අපේක්ෂකයකු නැති බව ඔහු දන්නා නිසාය. ගීතා කුමාරසිංහ කළාක් මෙන් ඔහුට ඇමෙරිකානු පුරවැසිකම තබා ගෙනම නාමයෝජනා දිය හැක. ඡන්ද ව්‍යාපාරයද ගෙන ගිය හැක. එහෙත් එය දැවැන්ත සූදුවකි. මන්දයත් ඔහු ඡන්දයෙන් ජය ගත්තද ශ්‍රේඨාධිකරණය හමුවේ පැරදී රට මහා අවුලකට යට යැවිය හැකි නිසා ය.

මෙම තත්ත්වය යටතේ ඉක්මනින්ම සිය අපේක්ෂකයා නම් කිරීමට රාජපක්ෂ පවුලට සිදුවනු ඇත. එසේ නොවුවහොත් පවුලේ අවුල රාජපක්ෂ කඳවුරෙහිම අවුලක් බවට පත්වීමට ඉඩ නැතුවා නොවේ.
මෙම චිත්‍රය සම්පූර්ණ කිරීමට අවශ්‍ය අනෙක් අත්‍යවශ්‍ය සාධක දෙකක් තිබේ. එනම් රනිල් වික්‍රමසිංහගේ සහ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ සැලැස්ම කුමක්ද යනු ය. පෙනෙන විදිහට ඒ දෙදෙනාටද නිශ්චිත අදහසක් නැත.

මේ වනාහී වත්මන් ශ්‍රී ලංකික දේශපාලනයේ ඇති අතාර්කික අවිනිශ්චිත ස්වභාවයේ පිළිබිඹුවයි.