විදේශීය පාඨමාලාවලට ලියාපදිංචි කරගෙන ළමයි රවට්ටන ඊසොෆ්ට්

නිමල් අබේසිංහ

ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු වන තරින්දි චතුප්‍රබා ශ්‍රී විජේරත්න සහ කුරුකුලසූරිය ලෝරාගේ ශෙනුකා ගිම්හානි ප්‍රනාන්දු යන මිතුරියන් දෙදෙන ඊසොෆ්ට් මෙට්රෝ කැම්පස් (Esoft Metro Campus) නමැති ලංකාවේ ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයේ ගම්පහ ශාඛාවට යන්නේ HND Computing and System Development පාඨමාලාව හදාරනු පිණිසය.

එහිදී ඔවුනට දැනුම් දෙන්නේ මෙම පාඨමාලාව එංගලන්තයේ පියර්සන් ආයතනයෙන් පවත්වාගෙන යන ඩිප්ලෝමා පාඨමාලාවක් බවත්, එම පාඨමාලාව හැදෑරීම සඳහා වැයවන්නේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් බවත් ඔවුනට පවසන්නේ ගම්පහ ශාඛාවේ ප්‍රසාද් චතුරංග තිසේරා යන සම්බන්ධීකරණ නිලධාරියාය. ඩිප්ලෝමාව සමත් වූ පසුව ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් උපාධියක්ද ලබාගත හැකි බවත් ඔවුනට එහිදී මේ නිලධාරියාගෙන් දැනගන්නට ලැබෙයි.

කලා විෂය ධාරාවෙන් සිරිකුරුස විදුහල් උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටින මේ සිසුවියන් දෙදෙනාට සුරංගනා ලෝකයක් මවමින් ඊසොට් ආයතනයේ නිලධාරීන් පවසා ඇත්තේ උසස් පෙළ හැදෑරීමට වසර දෙකක් ගතවෙන බවත්, විභාගයට පෙනී සිට තව වසරක පමණ කාලයක් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට ගතවෙන බවත්ය. විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමෙන් පසුව තවත් වසර තුනක් හෝ හතරක් ගත කර කලා උපාධියක් ලබාගත්තද රැකියාවක් ලබාගැනීම දුෂ්කර බව මේ දැරියන් දෙදෙනාට සිතීම පුදුමයක් නොවේ. ඒ නිසා ඉතා කෙටි කලකින් එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට පිවිස ලොව පිළිගත් උපාධියක් ලබාගැනීමේ ආශාවත් රැකියාභිමුඛ වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට ඇති ආශාවත් දෙදරුවන් තුළ ඇතිවූයෙන් මාපියෝද දරුවන්ගේ කැමැත්තට ඉඩ දුන්හ.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක් වූ පාඨමාලා හා ලියාපදිංචි ගාස්තු ගෙවා ඔවුහු පාඨමාලාව හැදෑරීමට ඊසොට් ආයතනයේ ගම්පහ ශාඛාවට බැඳෙති. වසර එකහමාරක් වූ පාඨමාලාව වසර දෙකහමාරක් දක්වා ඇදී ගිය අතර අවසානයේ ඔවුනට මුදලුත් ඩිප්ලෝමාවත් අහිමිව නිකම්ම ගෙදරට වී සිටින්නට සිදුවී තිබේ. දහසක් බලාපොරොත්තු මැද පාඨමාලාව හදාරා මුදලුත් අහිමිව ඩිප්ලෝමාවත් අහිමිවීම තුළ ඔවුන් අපේක්ෂා කළ අනාගත දිවිය සාර්ථක කරගැනීමේ අපේක්ෂාව මුළුමනින්ම බිමට සමතලා වී තිබේ.

“මම මේ පාඨමාලාව ගැන දැනගත්තේ යාළුවෙක්ගෙන් එයත් එක්කම ගම්පහ ඊසොෆ්ට් ශාඛාවට ගියහම ඒ අය කීවේ ඔයගොල්ලට ලක්ෂ දෙකක ඔෆර් එකක් තියෙනවා. මුලින්ම පියර්සන් එකේ රෙජිස්ටර් කරනව කීවා. ඊට පස්සේ ඉතුරු මුදල් රුපියල් දසදහසේ වාරිකවලින් ගෙවන්න කීවා. අපි දෙන්නම එකඟ වෙලා මුලින් පනස්දාහ ගාණේ මුදල් බැඳලා පන්තිවලට සහභාගි වුණා.”
2016 පෙබරවාරි 17 දින රුපියල් පනස්දහස ගෙවන මේ අය 2017 මැයි 25 වන විට රුපියල් දස දහසේ වාරිකද මේ දෙදෙනාම ගෙවා අවසන් කර ඇත.
“මේ පාඨමාලාවේදී අපට එසයින්මන්ට් 16ක් දෙනවා, ඒවා අපි සම්පූර්ණ කරන්න ඕන. අපි මුලින් දුන්න එසයින්මන්ට් හතක් ඒ අය භාර ගත්තා. ඉතිරිවා භාරදෙන්න ගියහම ඒ අය ඒවා භාරගත්තේ නෑ. ඒකට හේතුව විදියට ඒ අය කීවේ පාඨමාලාවේ සිලබස් එක අලුත් කරල තියෙනවා. ඒ නිසා අලුත් සිලබස් එකට අනුව එසයින්මන්ට් කරන්න ඕනේ කියලයි.” අසාධාරණයට ලක්වූ අනෙක් සිසුවිය වන ෂෙනුකා ගිම්හානි කියන්නීය.

“අනෙක් ප්‍රධාන කාරණය වන්නේ 2016 ආරම්භ කළ පාඨමාලාව 2017 දෙසැම්බර් මාසය වනවිට අවසන් කරන්න තිබුණත් මේ අය 2018 මැයි මාසය වෙනකල් පන්ති කළා.” ෂෙනුකා තවදුරටත් කීවාය.
මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඔවුන් ඉදිරිපත් කළ එසයින්මන්ට් භාර නොගැනීමත් ඒ නිසා ඩිප්ලෝමාව අහිමිවීමත්ය. එයින් පසු ඔවුනට සිදුවන්නේ පොලිසියේ පිහිට පැතීමය. ඒ අනුව ඔවුන් ගම්පහ පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයට පැමිණිලි කර ඇත. ඒ පරිගණක ඩිප්ලෝමාවක් ලබාදෙන ලෙසට එකඟ වී මුදල් වංචා කිරීම යන චෝදනාව යටතේය. මෙහිදී ඊසොට් ආයතනය වරද පිළිගත් බව දරුවන්ගේ මාපියන් පවසන අතර ඊසොට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ එවන් වරදක් තමන් කර ඇත්නම් පොලිසිය නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයිද යන්නය.
ඊසොට් මෙට්රෝ කැම්පස් ආයතනය බම්බලපිටිය ෆොන්සේකා පාරේ, අංක 03 ස්ථානය මූලස්ථානය කරගනිමින් රට පුරා ශාඛා 40ක පමණ ජාලයකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකි. ආයතනය නිරන්තරයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය කරමින් සිය ජනප්‍රියතාව වර්ධනය කරගැනීමටත් ඔවුන් ආකර්ෂණය කරගැනීමටත් උත්සාහ කරන බවද පෙනේ. මාධ්‍යයෙන් උලුප්පා පෙන්වන තරම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මනරම් එකක් නොවන බව මේ දෙදරුවන්ට සිදු කළ අසාධාරණයෙන් හොඳින්ම පෙනෙයි. වැරැද්ද හේතුවෙන් ඔවුන්ගේ අනාගත අපේක්ෂා බිඳ වැටීම තක්සේරු කරනුයේ කෙසේද? එය ගණනය කළ හැකිද යන ප්‍රශ්නය මෙහිදී බරපතළ ලෙස මතුවෙයි. ඊට වගකිවයුත්තේ ඊසොට් ආයතනය නොවේද?
ඊසොට් ආයතනයේ ගම්පහ ශාඛාවේ කළමනාකාර දසුන් නිලංජන සිරිමෙවන් 05.07.2018 දාතමින් යුතුව, ‘මව්පියන් වෙත කෙරෙන දැනුම්දීමයි’ යන හිසින් යුතුව මේ දරුවන්ගේ මාපියන් වෙත ලිපියක් යවා තිබේ. එහි වැදගත් කරුණක් සඳහන්ව ඇත. එහි උද්ධෘතය මෙසේය.

“මීට අමතරව අප ශාඛාවේ සේවකයන් අතින් සිදුවී ඇති ලියාපදිංචි කිරීමේ ප්‍රමාදය ගැන කනගාටුව පළකරමින් එය නිවැරදි කර ප්‍රමාදයකින් තොරව උපාධිය ලබාදීම සඳහා ඇය නව විෂය නිර්දේශය යටතේ ලියාපදිංචි කරමින් හානිපූර්ණය ලෙස තෙවන වසර සඳහා ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කළහැකි බවද, එසේත් නැතහොත් ඔබ ගෙවා ඇති මුදල යළි ලබාදිය හැකි බවද අවස්ථා කීපයකදී (2018 මැයි 31, 2018 ජූනි 03 සහ 2018 ජූනි 11 දිනවලදී) අප විසින් ප්‍රකාශ කර තිබියදීත් ඒ කිසිවකට එකඟතාව පළනොකර සිටීමත් ඔබගේ දරුවා විසින් ආයතනයේ කීර්තිනාමයට හානි පමුණුවමින් මූල්‍ය වංචාවක් කළ ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් යන කරුණු සලකා බලා ඉහත විකල්පවලින් දෙවන විකල්පය වන පාඨමාලා මුදල සම්පූර්ණයෙන් නැවත ලබාදී ගැටලුව සමතයකට පත්කිරීමට පමණක් ආයතනයේ අධ්‍යයන මණ්ඩලය එකඟතාව පළකරන බව මෙයින් දන්වා සිටිමු. එයින් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් නීති මගින් කටයුතු කිරීමට සිදුවන බව මෙයින් කාරුණිකවම දන්වා සිටිමු.”
මෙම උද්ධෘතය ඔස්සේ පෙනී යන ප්‍රධානතම කාරණය වන්නේ මේ දරුවන් දෙදෙනා පියර්සන් ආයතනයේ ඩිප්ලෝමාව සඳහා නිශ්චිත ලෙස යොමු කිරීමට ඊසොට් ආයතනය විසින් කටයුතු කර නොමැති බවය. ඒ හේතුව නිසා දරුවන් දෙදෙනා ඉමහත් බලාපොරොත්තු තැබූ විදේශ උපාධියක් ලබාගැනීමේ සිහිනය මුළුමනින්ම බිඳ වැටී ඇති බවය. අනෙක් කාරණය එසයින්මන්ට් පිළිබඳ ප්‍රශ්නයයි. ඊසොට් ආයතනය ඒවා භාරගෙන නැත්තේ මේ දරුවන් දෙදෙනා පියර්සන් ආයතනයේ ලියාපදිංචි කර නොතිබීම නිසා බව පැහැදිලිවීමය. ඊළඟ ගැටලුව ඊසොට් ආයතනයේ කීර්තිනාමය විනාශ කිරීම සම්බන්ධව අනියමින් තර්ජනය කරමින් ඔවුන්ට එරෙහිව නඩු මගට පිවිසෙන බව කියමින් ඔවුන් දෙදෙනා බියවැද්දීමය. සත්‍යවන්නේ තක්සේරු කළ නොහැකි අයුරින් මේ දරුවන්ගේ වටිනා කාලය මුදල්ද ලබාගෙන අදාළ ඩිප්ලෝමාවට ඉදිරිපත්වීමට තිබූ අවස්ථාව අහිමි කරමින් ඊසොට් ආයතනය දරුවන්ට බරපතළ ගණයේ අගතියක් කර ඇති බවය. ඊසොට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නිශාන් සෙම්බුකුට්ටි ආරච්චි මුණ ගැසී මේ පිළිබඳව ප්‍රශ්න කළ විට පැවසුවේ පියර්සන් ආයතනය වෙනුවෙන් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව වන රුපියල් පනස් දහසක මුදල මේ ශිෂ්‍යාවන් දෙදෙනා ගෙවා නැති බවය. ඊසොට් ආයතනයේ ගම්පහ ශාඛාවෙන් මේ දරුවන් වෙනුවෙන් නිකුත් කර ඇති ගිවිසුම්පතෙහි (Student Registration Agreement) එවැනි කිසිවක් සඳහන්ව නැති බව මේ නිලධාරියා නොදන්නවා නොවිය යුතුය. එහෙත් මේ ගැන දන්වා ශිෂ්‍යාවන් දෙදෙනාට ගම්පහ ශාඛාවෙන් ලිපි යවන්නට ඇති බවද ඔහු කියයි. ගිවිසුමෙහි සඳහන් නොවන ගෙවීමක් ඉල්ලා යැව්වේ නම් එයද ආයතනය විසින් කරන ලද වරදක් නොවේද? එබන්දක් යැව්වා වුවද එය ලියාපදිංචි තැපෑලෙන් යැවීම නීත්‍යනුකූල වීමට හේතුවක් වේ. එසේ නොකර සාමාන්‍ය තැපෑලෙන් එම ලිපිය යවා ඇති නම් එහි නීත්‍යනුකූලභාවයක් තිබිය නොහැක. අනෙක් කාරණය ඊසොෆ්ට් ආයතනය ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල ආයතනයක ලියාපදිංචි වී ඇතිද යන ප්‍රශ්නයයි. විධායක නිලධාරි නිශාන් සෙම්බුකුට්ටිආරච්චි පවසන්නේ ඊසොට් ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමට ඉල්ලුම්කර ඇති බවය. එසේ නම් ලියාපදිංචි අංකයක් හෝ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඉල්ලූවිට (2018.08.13 දින) එවැන්නක් ඉදිරිපත් කිරීමට අසමත් වූ අතර 2018.08.15 දින වනවිට එහි පිටපතක් රාවය පුවත්පතට විද්‍යුත් තැපෑලෙන් එවන බවට පොරොන්දු විය.

ඒ අනුව ඊසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා රාවය වෙත විද්‍යුත් තැපෑලෙන් දිගු ලිපියක් එවා තිබුණි. එම ලිපියේ අවසන් ඡේදය මෙසේය.

“අපගේ සියලුම ශාඛාවන් පරිගණක ජාලකරණ පද්ධතිය හරහා සම්බන්ධ කර ඇති අතර, සියලුම සිසුන්ගේ තොරතුරු අපගේ දත්ත ගබඩාවේ තැන්පත් වේ. Pearson Edexcel ආයතනය සමග සිසුන් ලියාපදිංචි කිරීමට අදාළ වාර්තා මෙම පරිගණක පද්ධතිය හරහා ස්වයංක්‍රීයව සකස් වේ. යම් පුද්ගලයෙක් විසින් අදාළ ලියාපදිංචිවීමේ ගාස්තුව ගෙවා නැතිනම් එය මෙම වාර්තාවට ඇතුළත් නොවේ. එසේ එය සිදු නොවුවහොත් ඊසොට්හට ලියාපදිංචි වීමේ මුදල් ගෙවා නැති ළමුන් වෙනුවෙන් Pearson Edexcel ආයතනයට අපට මුදල් ගෙවීමට සිදුවනු ඇත.”
ඊසොට් මෙට්රෝ කැම්පස් ආයතනයේ වංචාවකට හසුවූ එකම ශිෂ්‍යාවන් දෙදෙනා මොවුන් පමණක් විය නොහැක. එවැනි පිරිස් මේ රටේ තවත් සිටිය හැකිය. ඊසොට් ආයතනය මාධ්‍ය ඔස්සේ පුම්බා පෙන්වන මහේශාක්‍ය ලීලාවට හා අසාධාරණයට ලක්වූවන් ඒ ගැන ප්‍රශ්න කරද්දී ඔවුන්ට ලිපි මගින් හා තවත් විවිධාකාරයෙන් සිදුකරන තර්ජනයන් නිසාවෙන්ද එවන් පිරිස් පසුබැස සිටිනවා විය හැක. එහෙත් දහස් ගණනකට වුව වේවා දෙදෙනකුට හෝ මේ ඊසොට් ආයතනය මේ සිදුකර ඇත්තේ බරපතළ අපරාධයකි. ඒ ගැන කටයුතු කිරීම රාජ්‍ය පාර්ශ්වයෙන් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. එසේ නොවීම තුළ මෙවන් සාහසික අපරාධයන් සිදුකිරීමට තව තවත් අනුබල දීමක් නොවන්නේද?

ඇගැයීම් නොකර සහතික දෙන්න බෑ
ඊසොෆ්ට් මෙට්රෝ කැම්පස්හි විධායක නිලධාරි
නිශාන් සෙම්බුකුට්ටිආරච්චි

“මේ ළමයි දෙන්න ගැන විශේෂයෙන් කියන්න බැහැ. අපි ගාව පියර්සන් ආයතනය සමග ගිවිසුමක් තිබෙනවා. ඒකෙන් අපි එච්.එන්.ඩී. පාඨමාලාව කරගෙන යනවා. මේක උසස් ඩිප්ලෝමාවක්. 2016 අපේ ගාස්තුව ලක්ෂ දෙකක්. බි්‍රතාන්‍ය පියර්සන් ආයතනය වෙනුවෙන් ලියාපදිංචි ගාස්තුවකුත් ගන්නවා. ඒක ගත්තේ ඒ ආයතනයට. ඒක එයාල ගෙවල නෑ. ඒ මුදල් එකපාර ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් රුපියල් 50,000ක් විතර වෙනවා. ඒ මුදල ගෙවන්නේ නැතිව බි්‍රතාන්‍ය ආයතනයේ ලියාපදිංචි කරන්න බෑ. අපිට අතින් ගෙවන්න විදියක් නෑ. එසයින්මන්ට් 16ක් තියනවා. ඒ පැවරුම් 16 මේ අය සම්පූර්ණ කරල දෙන්න ඕනේ. ප්‍රමිතියට නැත්නම් භාරගන්නේ නෑ කියන්නේ ඒක වෙන්න ඇති. අපේ වැරැද්දක් තිබ්බ නම් පොලිසියෙන් ඇක්ෂන් එකක් ගන්න ඕනේ නේද? අපි ලිඛිතව ඉල්ලල තියනව පියර්සන් ආයතනයට ගෙවන්න තිබෙන මුදල්. අපි ලක්ෂයක් ගෙවන්න පොරොන්දු වුණා. පොලිසියට ගියාට පස්සේ අපිට එකට ඉන්න බැහැනේ. මෙට්‍රොපොලිටන් යුනිවර්සිටියේ උපාධිය කරන්න එච්.එන්.ඩී. සමත්වෙලා වෙනම ලියාපදිංචි වෙන්න ඕනේ. අපේ පැත්තෙන් අසාධාරණයක් වෙලා නෑ. ඇගැයීම් නොකර සහතික දෙන්න විදියක් නෑ. අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිවීමට ඉල්ලුම් කරලයි තිබෙන්නේ. ගම්පහ ශාඛාව තෘතිය අධ්‍යාපන කොමිසමේ ලියාපදිංචි කරල තිබෙනවා.