රාවය

තෙරුවන් හෝ නිවන මම විවේචනය කළේ නැහැ. ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදක – මාලක දේවප්‍රිය

තෙරුවන් හෝ නිවන මම විවේචනය කළේ නැහැ. ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදක – මාලක දේවප්‍රිය

මාලක දේවප්‍රිය නිෂ්පාදනය කළ අයි.ටී.එන්. FM මගින් විකාශය කැරෙමින් තිබුණු ගුවන්විදුලි නාට්‍ය මාලාව බුදුදහමට අපහාසය කරන ව්‍යාපෘතියක් යැයි චෝදනාවක් එල්ල විය. නිෂ්පාදකවරයා සමග කරන ලද මෙම සංවාදය එම චෝදනාව හා මේ මොහොතේ ගුවන්විදුලි නාට්‍ය කලාව විෂය කරගනී.

සංවාදය – ලලිත් උමගිලිය

ඔබේ රේඩියෝ නාට්‍ය තුළ ආගමික විරෝධතාවක් අන්තර්ගත බවට දැඩි චෝදනාවක් මාධ්‍යයෙන් දිගින් දිගටම එල්ලවෙනවා.

මා විසින් රචිත කිසිදු නාට්‍යයක් බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, මුස්ලිම් හෝ කිසිදු ආගමක් සම්බන්ධව විවේචනයක් හෝ විරෝධයක් අන්තර්ගත නිර්මාණ නෙමෙයි. මෙම නාට්‍ය මාලාව ශ්‍රවණය කළොත් කිසිවකු මෙවැනි අභූත චෝදනාවක් එල්ල කරන්නේ නෑ. යමක් සම්බන්ධව එළඹුමකට එන්න ඕනේ ඉතාම විමර්ශනාත්මකව බව කාලාම සූත්‍රයේ පවා සඳහන් වෙනවා. මතුපිටින් බලා එල්ලකරන මෙවැනි පදනමක් නැති අතාර්කික චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත හෝ කිසිම භාෂාවක පද පූජකයින්ට හෝ දේශපාලකයන්ට හෝ පොලිසියට හෝ කිසිවකුට පවරපු හෝ අයිති දේවල් නෙමෙයි. මගේ එක් රේඩියෝ නාට්‍යයක නම තරුවන් සරණයි. තරුවන් යනු තාරකාවන්. ඒකෙ තෙරුවන්ට කිසිම අපහාසයක් නැහැ. තරුවන් හා තෙරුවන් අතර සම්බන්ධයක් නැහැ. අද සමාජය තාරකා බවට පත්වීමේ ප්‍රවාහයක් ජනමාධ්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. මේ පසුපස සමාජයම හඹායන උන්මාදයකින් පෙළෙනවා. මේ යථාර්ථය තමයි තරුවන් සරණයි නාට්‍යයෙන් ප්‍රකාශ කරන්නේ. ලංකාවේ ප්‍රවීණතම රංගවේදියෝ වන ජයලත් මනෝරත්න, බුද්ධදාස විතානාරච්චි, ඩබ්ලිව් ජයසිරි, මෙහි රංගනයෙන් දායක වෙනවා. සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ ලක්ෂ්මන් විජේසේකර. නිහොන් සැප ලැබේවා කියන තවත් නාට්‍යයක් තිබෙනවා. නිහොන් කියන්නෙ ජපානයට. නිහොන්ගු කියන්නෙ ජපන් භාෂාවට. නිහොන්ජින් කියන්නේ ජපන් ජාතිකයා. නිහොන් හෝෂු ක්වකායි කියන්නේ එන් එච් කේවලට. නිහොන් හා නිවන් අතර සම්බන්ධයක් නැහැ. නිහොන් සැප ලැබේවා කියන්නේ ජපාන සුඛෝපභෝගී ජීවිතයක් අත්වේවා කියන අදහසයි. මෙම නාට්‍යයේ අන්තර්ගත වෙන්නේ ඉස්මතු කරන්නේ ජපානය වැනි සංවර්ධිත රටකට ගොස් ජීවිකාව කරන තාරුණ්‍ය ගැන. නිහොන් කියන වචනය නිවන් විකෘති කිරීමක් නම් මුලින්ම විරුද්ධ වෙන්න ඕනේ ජපානයට. මෙම නාට්‍යයේ සමන් අතාවුදහෙට්ටි, තිළිණ සමරසූරිය, ශාමලී ලිවේරා වැනි ප්‍රවීණ ශිල්පීන් දායක වෙනවා. ඉතිහාසය සිටම නිර්මාණවල විවිධ ව්‍යංගාර්ථ හමුවෙනවා. භාෂාව ඔස්සේ රචනා කරන සංදේශ කාව්‍ය නිසඳැස් කවි, ගීත, කෙටිකතා හා නවකතාවල උපමා රූපක ව්‍යංගාර්ථ, ධ්වනිතාර්ථ හමුවෙනවා. සද්ධර්මරත්නාවලිය වැනි කෘතිවල අමාවතුර, බුත්සරණ වැනි පැරණි කෘතිවලත් එසේමයි. නිර්මාණ ප්‍රබන්ධයන් තුළින් හැමවිටම මතුකරන්නේ මිනිස් ජීවිතය සම්බන්ධව ප්‍රකාශනයක්. කලාකරුවන් නිර්මාණ කරන්න ඕනේ බංකොළොත් දේශපාලනඥයන්ට හෝ පූජකයින්ගේ න්‍යාය පත්‍රවලට අනුව නෙවෙයි. මෙම නාට්‍ය මම රචනා කරලා අවුරුදු 10කටත් වැඩියි. 2012 නිහොන් සැප ලැබේවා නමින් පොතකුත් එළිදැක්වූවා. මගේ සියලුම රේඩියෝ නාට්‍ය සමකාලීන මනුෂ්‍යයාගේ ස්වරූපයන් සම්බන්ධව ප්‍රකාශනයක් රැසක් විවිධ තේමාවලින් ඉදිරිපත් කරනවා. අද ලාභය පමණක් ඉලක්ක කරගත් වාණිජ නාලිකා විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් කරන මඩ ගැසීමේ ව්‍යාපෘතිවල සත්‍යයක් නෑ.

රේඩියෝ නාට්‍ය ලාංකීය භාවිතාව කොහොමද?

පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජය හදාරන විට රේඩියෝ නාටකය නම් කලා මාධ්‍යය හා කොයිතරම් වූ බැඳීමකින් ලාංකීය සමාජය කටයුතු කළේද යන වග පේනවා. අපට මුලින්ම රේඩියෝ නාට්‍ය සංස්කෘතිය හිමිවන්නේ 1925 තරම් ඈතකදී. ධර්ම ශ්‍රී මුණසිංහ, ජේ.එච්. ජයවර්ධන දැක්වූ අයුරට ආරම්භක යුගයේ නාටක බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙන්. රේඩියෝ නාට්‍යය කලාව මහා සංස්කෘතියක් පැවතුණු කාලයක් අපේ රටේ පැවතුණා. 1987 වැනි වකවානුවකත් රූපවාහිනිය පරයා රේඩියෝ නාට්‍යය ඉහළ ජනප්‍රියතාවක් දිනාගත් බව ගුවන් විදුලි සංස්ථාවේ පර්යෛ්ෂණ අංශය සිදුකළ සමීක්ෂණ වාර්තා සාක්ෂි දරනවා. සුගන්ධිකා, මේධා, ගජමුතු, මොණරතැන්න, සඳගලතැන්න, ගුවන් විදුලි රඟමඬල වැනි නාට්‍යය කලක ලාංකික පරිසරය පුරා මිනිසුන් රොද බැඳගත්තා. එහෙත් වර්තමාන රේඩියෝ චැනල ලාභ උත්පාදනය ඒකායන පරමාර්ථය කරගනිමින් කලාත්මක වශයෙන් පරිපූර්ණ ගුණාත්මක නිර්මාණ වැඩ කිරීම වෙනුවට අඩු ප්‍රාග්ධනයක් හා කාලයක් භාවිත කරමින් නිෂ්පාදනය කළ හැකි ප්‍රාථමික වැඩසටහන් විකාශනය කරනවා. ඒ සඳහා ඔවුන් විසින්ම ගොඩනැගූ තර්ක සමාජගත කරනවා. ලාංකීය පරිසරය තුළ අද රේඩියෝ නාට්‍ය ක්‍රම 2කට ක්‍රියාත්මක වන බව පේනවා. එහි සුලබ තත්ත්වය තමයි වාණිජවාදී ප්‍රවාහයට හසුවෙලා දෙබස් ආකාරයෙන් භාණ්ඩ අලෙවිකරණ ව්‍යාාපෘති රේඩියෝ නාට්‍යය ලේබලයෙන් ප්‍රචාරය වීම. අනෙක් තත්ත්වය තමයි පැරණි ඓතිහාසික කතා, සාහිත්‍ය කතා, බෞද්ධ කතා අනුසාරයෙන් රචිත සදාචාරාත්මකවාදී රේඩියෝ නාට්‍ය ව්‍යාපෘති. මේ දෙකෙන්ම රේඩියෝ නාට්‍යය වල කලාත්මක ප්‍රකාශනය හෝ භාවිතාව හඳුනාගන්න බැහැ. ශ්‍රව්‍ය සංස්කෘතිය කියන එක අප වැනි ආසියාතික රටවල් සමග බොහොම බද්ධ වෙච්ච එකක්. සමාජයෙනුත් හැමවිටම කියන්නේ බහුශ්‍රැතයො වෙන්න කියලා. ඒත් ගැටලුව වෙලා තියෙන්නේ අද අහන්න වෙලා තියෙන්නෙ වෙළෙන්දන්ගේ වෙළෙඳ දැන්වීම්, දේශපාලනඥයන්ගේ දේශපාලන ව්‍යාපෘති, නිවේදකයින්ගේ විප්‍රකාර. සන්නිවේදන පරමාර්ථ, ආචාර ධර්මවලින් සමාජයම ඈත් කරලා. පටු වාණිජවාදී නැත්නම් දේශපාලනික අරමුණු වෙත මිනිස්සු දක්කන ශ්‍රවණ සංස්කෘතියක් තමයි අද මාධ්‍යයන්වලින් කරගෙන යන්නෙ.

ජාත්‍යන්තරව රේඩියෝ නාට්‍ය කලාවේ ස්වභාව මොකද්ද?

අපි හිතනවා රූප මාධ්‍යයේ නව සංවර්ධනාත්මක එළඹුම් සමග ඇනිමේෂන් ත්‍රීඩී වගේ දෘශ්‍යමය හරඹවල තමයි කලාව කරන්න පුළුවන් කියලා. රූප කලාව වගේම ශ්‍රව්‍ය කලාවක් වන රේඩියෝ නාට්‍යයත් අද සංවර්ධනාත්මක තලයකට පත්වෙලා. එහි ස්වර්ණමය අවධිය පැවැත්වුණේ 1950 දශකයේ. වසර 2018 වන විට එය තවත් ස්වර්ණමය තලයේ කූටප්‍රාප්තියට ගිහිල්ලා. මේ බව බීබීසී නාලිකාව දෙස අන්තර්ජාලයෙන් ගවේෂණය කළොත් එක මොහොතකින් වටහා ගන්න පුළුවන්. විවිධ තේමාත්මක, සංකල්පනාත්මක, ආකෘතිමය හැඩයන්ගෙන් යුක්ත නාට්‍යය ගණනාවක් දිනපතා මෙහි ප්‍රචාරය වෙනවා. ඒ සඳහා රචකයින්, නළු නිළියන්, නිෂ්පාදකවරුන් වෘත්තීමය ලෙස සම්බන්ධ වෙනවා. රේඩියෝ නාට්‍යය අද වනවිට කොතරම් වූ ස්වර්ණමය යුගයක පසුවෙනවාද යන්න බීබීසීයට අවුරුදු 75ක් පිරීම සංවත්සරය අළලා 1997 නොවැම්බර් 14 පළ කළ සටහනක දැක්වෙනවා එහි නළුවන් 14000 ක්ද, රචකයන් 10000 න් නාට්‍ය පැය 1174 ක්ද නව නාට්‍යය 2000 ක්ද, වසරකට නිෂ්පාදනය වන බව. බීබීසී නාට්‍යය අංශයේ එවකට වාර්ෂික අයවැය ස්ටර්ලින් පවුම් මිලියන 19 ක් වෙනවා. බීබීසීය මගින් විසිරුවා හරින නාට්‍යය සවුන්ඞ් ෆයිල් ලෙස භාගත කරමින් නැවත නැවත රසවිඳීමේ අවකාශයද පවතිනවා. මම පාසල් සමයේ සිට අවුරුදු විසිපහක පමණ කාලයක් රේඩියෝ නාට්‍ය සමග පොර බදිනවා. අද දක්වාම රේඩියෝ නාට්‍ය කලාවේ නව මානයන් ලාංකීය ජනයාට සමීප කරවීම සඳහා මේ රේඩියෝ නාට්‍ය රචනා කිරීම සහ නිෂ්පාදනය කිරීම අඛණ්ඩව කරගෙන යනවා.

රේඩියෝ නාට්‍ය සමග ඔබ කරන පොරබැදිල්ල කවරාකාරද?

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මම පොත් මිලදී ගැනීමට පැමිණෙන මිනිස්සු 15000ට රේඩියෝ නාට්‍යය නොමිලේ දාලා දුන්නා. සමකාලීනව ඩිජිටල් හා තාක්ෂණික උපාංග භාවිතය හා ඒ හා සම්බන්ධ සාක්ෂරතාව ලාංකික සමාජයේ ඉහළ අගයක් ගෙන තිබෙනවා. අද ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන්, ටැබ්ලට්, නෝට්බුක්, ලැප්ටොප් බහුතර මිනිසුන් පරිහරණය කරනවා. ඒ වගේම මෙමරි චිප්, පෙන් ඩ්‍රයිව්, හාඞ් ඩ්‍රයිව් පොකට්වල බෑග්වල දාගෙන යනවා. මෙම සංස්කෘතිය කොතරම් වූ ඉහළ අගයක් ගෙන තිබෙනවා ද යන්න පසුගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සාක්ෂි සැපයුවා. අප විසින් පරිගණක දෙකක් තබාගෙන මේ ස්මාට් ෆෝන්, පෙන් ඩ්‍රයිව් අරගෙන සැරිසරන සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී භූමියේ සැරිසරන ලදැයි අනුමාන කරන ලද දශලක්ෂයකට අධික සකලවිධ ජන සමූහයෙන් 15000ට මෙම ෆයිල් පිටපත් කර ලබා දුන්නා. විවිධ ආගම්වල, විවිධ වෘත්තීන්වල බාල, තරුණ, වැඩිහිටි, මහලු, ස්ත්‍රී, පුරුෂ පිරිස් රොද බැඳ ගනිමින් අපගේ රේඩියෝ නාට්‍ය පිටපත් රැගෙන යනු දැකීම අශ්වාදජනකයි. මේ වගේ අත්දැකීමක් මීට පෙර මා අත්දැක තිබුණෙත් නැහැ. මම විශ්වාස කරනවා අවම වශයෙන් එක නාට්‍යයක්වත් මේ අය අහන්නැති කියලා. මේ විදිහට පහුගිය කාලය පුරා ලක්ෂ දෙකකට විතර ප්‍රමාණයකට බලහත්කාරයෙන් රේඩියෝ නාට්‍යය ඇස්සෙව්වා. මේ අය බහුතරයක් මට නැවතත් අලුත් නාට්‍ය ලියන්න නිෂ්පාදනය කරලා ඉන්න කියලා යෝජනාත් කරනවා. ඒකත් හොඳ ප්‍රවණතාවක්.

මෙම රේඩියෝ නාට්‍යය ජනතාව ශ්‍රවණය කරයි කියා ඔබ හිතනවද?

මට අලුතෙන් නාට්‍ය පහක් නිෂ්පාදනය කරන්න අවකාශ සැකසුණා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය අනුග්‍රහයෙන්. මවිසින් නිෂ්පාදිත රේඩියෝ නාට්‍ය පහළොවක් ප්‍රධාන ධාරාවේ ගුවන් විදුලියක් වන අයිටී එන් රේඩියෝවේ විකාශනය කරන්න තීරණය කළා. සෑම සෙනසුරාදාවකම රාත්‍රි 9.00ට සති 15ක් මේ නාට්‍ය රේඩියෝ කතා නමින් විකාශය වෙනවා. මම හිතනවා රේඩියෝ නාට්‍යය ඉතාම හොඳින් ශ්‍රාවකයෝ ප්‍රධාන ධාරාවේ නාලිකාවකින්ද රසවිඳියි කියලා. ඒ වගේම නාට්‍යය මැද නිවේදක කතා කිරීම හෝ වෙළෙඳ දැන්වීම් හෝ බාධාකිරීම නොවන කොන්දේසියක අඛණ්ඩව විකාශනය කරන්න නියෝග කළා. ලංකාවේ සිටින ප්‍රවීණතම රංග ශිල්පීන් හැටක් පමණ දායක වෙනවා. රේඩියෝ නාට්‍යය ලොව බිහිවූ අටවැනි කලාව ලෙස නම් වෙනවා. වචනාර්ථයෙන් එක් රූපයක් වචන දාහක් වටිනවා කියලා අර්ථයක් තිබුණත් එක් වචනයක් රූප දහසක් දක්වා පරිකල්පනය කරවීමට රේඩියෝ නාට්‍යය නම් මාධ්‍යයට පුළුවන්. වසර 90 කට ආසන්න ලාංකීය රේඩියෝ ඉතිහාසය තුළ මේ මගින් රේඩියෝ නාට්‍යය කලාවේ සෞන්දර්යාත්මක විප්ලවයක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.