රචකයා ඉදිරියේ හිස්කමක් තියනවා

ප්‍රවීණ ගීත රචක – නිලාර් එන්. කාසිම්
එන්. ලංකා මාගම්මන

ගීතය තම ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය කරගත් නිලාර් එන්. කාසිම්ගේ නිර්මාණ ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘සරස වසන්තය’ මියැසි හැන්දෑව සැප්. 7 පදනම් ආයතනයේදී පැවැත්වේ.

ගීතය කාලයෙන් කාලයට එම්.පී. තැටි, ඊ.පී. තැටි, කැසට් හා සීඩී දක්වා පැමිණි ගමන් මගේ ඊළඟ තාක්ෂණ පිම්ම ලෙස ෆ්ලෑෂ් ඩ්‍රයිව් (Pen Drive) තාක්ෂණය ඔස්සේ ඔහුගේ ගීත සියයක් ජනගත කිරීම මෙදින සිදුකැරේ. මෙම ගීත සියය සාමාන්‍ය  MP3 තාක්ෂණය වෙනුවට උසස් තාක්ෂණ යොදා රසික ප්‍රජාවට පිරිනැමීමට නිලාර් සූදානම්ය. ඊට සමගාමීව එම ගීත සියය අඩංගු මුද්‍රිත ‘සරස වසන්තය’ ගී පොත දොරට වඩියි. සමන් අතාවුදහෙට්ටි, මහාචාර්ය ජේ.බී. දිසානායක හා සංගීතවේදී නදීක ගුරුගේ මෙහි දෙසුම් පවත්වන අතර ‘සරස වසන්තය’ රසවත් කිරීමට ගායක ගායිකාවෝ රැසක් එක්වෙති.

කවිය හා ගීතය අතර ඔබගේ අභ්‍යාසය කෙබඳු එකක්ද?

ගීතය හුදු පුද්ගල කලා ප්‍රයත්නයක් නොවෙයි. කවිය ආත්මීය ප්‍රකාශනයක්. ගීතය සාමූහික ප්‍රකාශනයක්. ගීතය තුළ අප වචනවලින් ප්‍රකාශ කරන දේ, රසිකයා දක්වා ගෙන යද්දී සංගීත ශිල්පියෙක්, වාද්‍ය වෘන්දයක්, තාක්ෂණික මෙවලම්වල භාවිතයක් සහ ගායකයෙක් හෝ ගායිකාවකගේ දායකත්වය ලබාගන්න සිදුවෙනවා. කවියක් ලියන කොට එම කවිය පොතක මුද්‍රණය වූ විට කවියා හා පාඨකයා අතර ඉතා ඍජු සබඳතාවක් ගොඩනැගෙනවා. හැබැයි මා ගීතයක් රචනා කරද්දී මෙයට වියමනක් ලෙස අනිකුත් පාර්ශ්වයන්ට එකතු වෙන්න තියෙන ඉඩකඩ ගැනත් හිතන්න වෙනවා. ඒ අතින් ගතහොත් කවිය පුද්ගලිකයි.

මහගමසේකර, කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්, චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, ප්‍රේමකීර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල, රත්න ශ්‍රී විජේසිංහ. මේ ගීත රචකයන් අතරින් ඔබේ ගීත රචනයට සමීපතම ආදර්ශය ගොනු වෙන්නේ කාගෙන්ද?

බොහෝ දෙනකුට වගේම මහගමසේකරයන්ගේ ගීත රචනා ශෛලියෙන් යම් පූර්වාදර්ශයක් මටත් ලැබුණා. ඊටත් පසුව මා විශේෂ වශයෙන් ගුරු කොට ගත් රචකයන් ලෙස ලූෂන් බුලත්සිංහල හා මහාචාර්ය සුනිල් ආරියරත්න හා රත්න ශ්‍රී විජේසිංහ විශේෂ වෙනවා.

මන්ද සේකර ගීතයට අප්‍රමාණ සෞන්දර්යයක් ගෙන එනවා. හැබැයි ගීතයේ විෂය ක්ෂේත්‍රය පුළුල් තැකට රැගෙන යන්නේ ලූෂන් බුලත්සිංහල, සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ හා රත්න ශ්‍රී විජේසිංහයි. ඒ අයගේ ගීතවලින් අපට ලබා දුන් පන්නරය අපේම වූ ගීත කලාවක් ගොඩනගා ගන්නට පාදක වුණා.

දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධයෙන් බැටකාපු සමාජයක යුද්ධය නිමවීමෙන් පසු ඇතිවන පශ්චාත් යුද වාතාවරණය යටතේ සමස්ත කලාව, විශේෂයෙන්ම ගීතය දැඩි ලෙස නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. යුද්ධය පැවති වකවානුවේදී ඔබ පවා යුද වාතාවරණය තේමා කරගත් ගීත රචනයට පෙළඹුණා. අද දක්වන මේ නිහැඬියාව හරිද?

ඔබ එය මට චෝදනාවක් ලෙස කරනවා නම් මා එය ප්‍රතික්ෂේප කරනවා. ඒ දෘෂ්ටිවාදය තුළ ඉඳගෙන අදටත් අප නිර්මාණ කරනවා. කවිය වගේ ආත්මීය ප්‍රකාශනයක් නොවන ගීතය සමාජගත කරන විට එය රැගෙන යන්න වාහකයක් වුවමනා වෙනවා. එය හුදකලාව කරන්න පුළුවන් කාර්යයක් නොවේ. මේ පවතින සංස්කෘතික ගරා වැටීම ඇතුළත එබඳු වාහකයන් සොයාගත නොහැකිවෙලා තියෙනවා. මට කලින් පරපුරේ ශිල්පීන්ට මෙබඳු සමාජ යථාර්ථයන් ගායනා කරන්න කපුගේ, මාලනී බුලත්සිංහල, නන්දා මාලනී වගේ අය සිටියා. අපට කවුද ඉන්නේ? එතනදි අප හුදකලා වෙනවා. කලින් පරම්පරාවට සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, කේමදාස වගේ ප්‍රවීණ සංගීතඥයන් සිටියා. අද මේ යාන්ත්‍රික වූ සමාජයක, අතිශයින් වාණිජකරණය වූ ගීත කලාවක් ඇතුළත හුදු වාණිජ කරණයට පමණක් තම ශිල්පීය දායකත්වය ලබාදෙන ශිල්පීන් සමග ගනුදෙනු කිරීමෙන් අවාසනාවන්ත ඉරණමකට අප මුහුණ දීලා ඉන්නවා. අදටත් කපුගේ කෙනෙක් ඉන්නවා නම් ගයන්න සමාජ යථාර්ථය ඇතුළත් ගීත රචනාවන් ලියන්න මා සූදානම්. එහෙම පිපිරීමක් වෙලා අලුත් ප්‍රවේශයක් ගීතය තුළ ඇතිවිය යුතුයි කියන තැන මා කවදත් පැහැදිලිවම සිටියා.

සිංහල ගීතය ස්වායත්ත නැතහොත් ඒකල සාහිත්‍යාංගයක් වශයෙන් අපේ ජන ජීවිතයට එකතු වූයේ පසුගිය සියවසේ මුල් භාගයේ සිටයි. ප්‍රබල ගීත සාහිත්‍යයකින් පෝෂිත වූ රටක වර්තමාන ගීතයේ අරාජිකත්වය ගැන ඔබේ කියැවීම මොකක්ද?

අප බොහෝ දෙනකුට සිද්ධවෙලා තියෙන්නේ එදා මේ වගේ තිබුණාය කියලා අතීතකාමය තුළ අතීතය වර්ණනා කරමින් ඉන්නයි. එහෙත් ගීත රචනා කලාව මුහුණදීලා තියෙන මේ ඛේදවාචකයෙන් මෙය නිදහස් කරගන්න ලොකු සංගායනාවක් අද දවසේ ඇතිවෙන්න ඕනේ. මා හිතන විදියට මේ කාරණය වියුක්තව ගැනීම වැරදිසහගතයි. දැන් බලන්න වමේ ව්‍යාපාරයට වෙච්ච දේ. ඒ තුළ තියෙන්නෙත් පරිහානියක්. අප එදා කතා කරපු පුරුෂාර්ථ නෙමෙයි අද අපට කතා කරන්න සිද්ධවෙලා තියෙන්නේ. සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය, සාහිත්‍ය, තව මොනවද පරිහානියට නොගිහින් තියෙන්නේ? මේ සෑම දේකම තියෙන පරිහානිය තමයි ගීතය තුළිනුත් පිළිබිඹු වෙන්නේ. එකම දේ අනිකුත් කලාංගයකට වඩා ගීතය මේ තාක්ෂණික මෙවලම් එක්ක නිරන්තරයෙන්ම ගනුදෙනු කරන තැනක තියෙන්නේ. ඒ නිසාම ඒ තුළ සිදුවන පරිහානිය ප්‍රබලව කැපී පෙනෙනවා. හැබැයි එසේ වුණා කියලා අප අකර්මණ්‍ය වෙලා පරාජය පිළිගන්න තැනකට කොටුවෙන්න ඕනේ නැහැ. මේ අරගලය අපට පුළුවන් මට්ටමින් මුවහත් කරන්න ඕනේ.

ගීතයක රූප රචනා තුළින් රසිකයාගේ රස නිෂ්පත්තියට යම් බාධාවක්, සීමා කිරීමක් කරනවා නේද? එය රසිකයාගේ රසවිඳීමේ ස්වාධීනත්වයට එරෙහිවීමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මෙතනදී මා ඔබ සමග එකඟවෙන්නේ 50% ප්‍රමාණයකටයි. ඔබ සමග එකඟ වෙනකොට වන්නේ හරවත් ගීතයකට කවුරුන් හෝ කෙනෙක් තමන්ට සිතෙන පරිදි බලා රූප රචනාවක් බලෙන් ඔබ්බන්නට යෑමෙන් රසිකයාගේ වින්දනීය මට්ටමේ සීමාවීම් අනිවාර්යයෙන්ම සිදුවෙනවා. එසේ නොවිය යුතුයි. අද බොහෝ රූපවාහිනී නාලිකාවල උදේ හවස පෙන්වන්නේ ඔවැනි දුර්වල, බාල ගණයේ රූප රචනා ඇතුළත් ගීත තමයි. මා ඔබත් සමග එකඟ නොවන කොටස තමයි ගීත රූප රචනාවක් දක්වා දීර්ඝ විය යුතු නැහැ කියලා. යමෙක් කියනවා නම් මා එයට එකඟ නැහැ. හේතුව තාක්ෂණික ජයග්‍රහණයක හුදෙක් ශ්‍රව්‍ය මාධ්‍ය තුළ පමණක් තිබුණු ගීතය දෘශ්‍ය මාධ්‍ය දක්වා රූපාන්තරණය වීම ප්‍රතික්ෂේප කරන්න අපට හැකියාවක් ඇත්තේ නැහැ. හැබැයි රූප රචනා වියමන ගීතයේ අන්තර්ගතය. එහි ගැඹුර ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ.

රිගින් ටෝන්වලට පමණක් ගීත ලියන තරුණයන් සිටින රටේ සුභාවිත ගීතයේ අනාගතය කෙබඳු වේවිද?

මේ ගැටලුවත් අප නිරවුල් කරගන්න අවශ්‍ය වෙනවා. රිගින් ටෝන් කියන්නේ ගීත වෙළෙඳ පොළේ තවත් එක ධාරාවක් විතරයි. හැබැයි ඒ සඳහා මම ගීත ලියනවා කියන්නේ ප්‍රවේශයේදීම තමාගේ පරිධිය සීමා කර ගැනීමක් ලෙසයි මා දකින්නේ. එහෙම සීමාසහිත විදිහට ඒ වෙළෙඳපොළ පමණක් ඉලක්ක කරගෙන ගීත ලියනවා කියන්නේ බොහොම පසුගාමී චින්තනයක් ඇතිව ක්‍රියාකිරීමක්. අප ගීත රචනා කරන්න ඕනේ අහවල් වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නොවෙයි. අප ගීත රචනා කරන්න ඕනේ ජනමනස පෝෂණය කරන්න. ඒ සඳහා ද්විතියීක කාරණයක් ලෙස වෙළෙඳපොළක් අවශ්‍ය වෙනවා. එහෙත් ද්විතීයික කාරණය ප්‍රමුඛකරණය කරගන්න ඕන නැහැ. එසේවීමම අතිශයින් ඛේදනීයයි.

අද වනවිට ගීතයේ අයිතිය පිළිබඳවත් ලොකු කලබැගෑනියක් තියෙනවා නේද?

අද වෙනකොට රචකයන්ගේ, සංගීතඥයාගේ හා ගායකයාගේ නොදැනුවත්කම භාවිත කරමින් තක්කඩි රැලක් ඒවායේ තියෙන බුද්ධිමය අයිතිය හොරා කනවා. මා රචනා කරන ලද ගීත රැසක්ම අද වෙනකොට තමන්ගේ යූ ටියුබ් නාලිකා හරහා ඔවුන්ට විතරක් මූල්‍යමය හිමිකමක් ලැබෙන පරිදි භාවිත කරනවා. අද වනවිට අපේ ගීතවල තියෙන නෛතික අයිතිය ආරක්ෂා කරගන්න අපට සටනක් දෙන්න සිදුවෙලා තියෙනවා. අපේ රටේ තියෙන බුද්ධිමය දේපළ පනතේ තියෙන සිදුරු මේ ගසා කෑමට උපකාර වෙලා තියෙනවා. අපේ බුද්ධිමය අයිතිය පිටස්තරයකුට ගසා කන්න ඉඩදෙන්න බැහැ. මේ සඳහා සබුද්ධිකව ශක්තිමත්ව ඉදිරියට යන්න ඕනේ.