රාවය

අපි ලියන්නේ වෙළෙඳපලට නෙමෙයි

අපි ලියන්නේ වෙළෙඳපලට නෙමෙයි

අනුර දහනායක/ ධර්මසිරි බෙනඩික්

පිළිසඳර- සරච්චන්ද්‍ර වල්පොල

අනුර දහනායක, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්, සම්පත් හේවාමාරඹගේ සහ ශම්‍යා දමයන්ති විසින් රචිත නමක් නැති පොතක්, බුදු පිළිම යට නාග බිත්තර, කාල සුධවල සහ සඳ මාරාන්තිකයි යන කාව්‍ය සංග්‍රහයන් සැප්. 08 ප.ව. 3.00ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දකී. අනුර දහනායක හා ධර්මසිරි බෙනඩික් සමඟ කරන ලද සංවාදය ඒ නිමිත්තෙනි.

කවි ලිවීම කෙබඳු සාමාජීය අභ්‍යාසයක්ද?

අනුර – මිනිස්සු ඇත්ත කියලා හිතන්නේ තමන් දන්න දේට. ඒක ඇත්ත වෙන්න පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්. හුඟක් වේලාවට පට්ටපල් බොරුවක් තමයි ඇත්ත කියලා සමාජගත වෙලා තියෙන්නේ. කොටින්ම තමන් මැරෙන්නේ නැතුව තමන්ගේ මළ මිනිය හම්බ වුණොත් ඒ මළ මිනියේ වැඩ ගෙදර කට්ටිය කළොත් ඒ මමයි කියලා පිළිගන්නවා. ඊට පස්සේ ඇත්තටම මම ආවත් පිළිගන්නේ නැහැ ගෙදර මිනිස්සු. හිතන්නේ බූතයා ආවා කියලා. මොකද ඇත්ත තමන්ට වඩා බූතයා සමාජගත වෙලා ඉවරයි. සමාජය ඇත්ත පිළිගන්නේ නැහැ. හැබැයි නිර්මාණ වලට දාලා කිව්වම ටිකක් පිළිගන්නවා. ඒක තමයි මම කරමින් ඉන්නේ.

බෙනඩික් – අපේ පරම්පරාව දෙසැරයක් මැරිලා ඉපදුනු අය 71 වැළලුවා. 89දී පිච්චුවා. ඒ හැම අවස්ථාවකම වළලපු තැන් වලින් නැගුණු මල් අපිට කියපු දෙයක් තිබුණා. පුච්චලු තැන් වලින් නැඟුණු ෆීනික්ස් කුරුල්ලා පෙන්නපු මාර්ගයක් තිබුණා. කියපු දෙයකුත්, මාර්ගයකුත් තියනකොට මට අවශ්‍ය ඉලක්කයක් පමණයි. මට පුදින්නට පුළුවන්. ඔබ කැට පොහොර දමන්න පිපෙනවට කැමති නම්. අකමැති නම් ඔබ කුරේටර් ගහන්න. එතකොට මට පරවෙලා යන්න පුළුවන්.

මුහුණ දෙන ප්‍රශ්න හා ලබන අත්දැකීම් මාර්කට් කරන විදිහක්ද මේ සොයාගෙන තියෙන්නේ?

අනුර – අපි මාර්කට් එකට දාන්නේ විකිණෙන්නේ නැති කවිය, කෙටි කතාව, නව කතාව, චිත්‍රයක් මැරිලා මැරිලා අඹන මූර්තියක් වගේ දෙයක්. මාකට් කරනවා නම් අපි විකුණන්න ඕනේ ප්‍රශස්ති.

සුදු කපුටො රැළ තඩි කාර් වල
රැකවලා ඉගිලුණා
උන්ගෙ මල පහ වසුරු විලසින්
රටේ හැම තැන විසිරුණා
බදු බරක් ලෙස ඇඟේ තැවරී
ඒවටත් අපි යට වුණා
අපිටයි, මේ රටටයි වෙච්ච මඟුල ලියන එක මාකට් කිරීමක් කියලා මට හිතෙන්නේ නැහැ.

බෙනඩික් – කුළී ගෙදරකදි මගේ පෙකණිය කැපුවා වගේම අනුන්ගේ තැනකදි මිනීපෙට්ටියේ පියන වහයි. මුදල් කියන දේට ටිකක් තද නැවතීමේ ලකුණක් තියපු මිනිහෙක් මම. මිනිසත්කම්වලට කොමා දමමින් තව තවත් දිගට ඇදගෙන යන්න තැත් කරන්නෙක් මම. හම්බ කරපු දෙයක්වත්, ඉතිරි කරපු දෙයක්වත් නෑ. හැබැයි මිනිසුන් මාව ජීවත් කරවනවා. ඔබ නොදන්නවා වුණාට මාව ජීවත් කරවන්නේ මගේම මිනිස්සු. මා ඔවුන්ගේ ඉතාමත් යුක්තිගරුක හා සමානාත්මතාවයෙන් යුත් රාජ්‍යයක සිහිනය සැබෑ කිරීමට මතවාදීව වෙහෙසෙනවා. ඊට මිලක් නැහැ. මම ඒ වෙනුවෙන් ලියනවා. එනිසා මාකට් කිරීම්, පොළියට දීම්, වර්ෂාවසානයේ ගිණුම් බැලීම් වැනි වාණිජ පරමාර්ථ මං ළඟ නැහැ.

කවියෙක් කැමති නම් දහම් පාසල් ශිෂ්‍යයෙක් වුණාට මට කමක් නැහැ. හැබැයි මම කැමති ගරිල්ලෙක් වෙනවානම්. මොකද මේ රටේ දේශපාලකයින්ගේ හැටියට අපිට ඕන එළුවෝ නෙමෙයි රයිනෝ සිරස්ලා.
විලිවසාගෙන සිටින ආටෝප සාටෝප ඇඳුම් ඉරා දමන්නේ නැතුව ගැලවිය හැකි සූක්ෂ්ම හැකියාවක් කලා නිෂ්පාදනයේදී තිබෙනවා. ඒක අදාළ කර ගන්නේ කොහොමද?

අනුර – ඔන්න එක අම්මෙක් දරුවන්ගෙන් දඹදිව යන්න සල්ලි ඉල්ලනවා. අනේ පුතේ උඹට බුදුබව අත්වෙයි කියලා. තවත් දරුවෙක් අම්මට කියනවා අවුරුද්දටවත් ගෙදර එන්න වුණේ නැහැ කියලා වැඩ හා මුදල් අර්බුද එක්ක. එයා කියනවා පොල් ගෝනියක් කෝච්චියේ එවන්න, අම්මාට බුදු බව අත්වෙයි කියලා. තවත් අම්මෙකුයි, තාත්තායි කිරි බත් කෑලි දෙක තුනක් ඩීෆීසර් එකේ දාලා තියෙනවා. දාරක ප්‍රේමය හින්දා දරුවන්ට අරන් තියපු පංගුව විසි කරන්න හිතෙන්නේ නැතුව.

මේවා ජීවිත වල තියන ආටෝප සාටෝප. ඇඳුම් ඉරාගන්නේ නැතුව ඕවා ලස්සනටම ලියන්න පුලුවන් මාධ්‍ය තමයි කවිය. ඒත් මට ඒවා කලා නිෂ්පාදන වෙන්නේ නැති එකයි ප්‍රශ්නය. ඒවා කලා නිර්මාණය කියන තැනින් නවතිනවා. වෙළඳපොල භාණ්ඩයක් බවට ලංකාවේ පත් වෙලා නැහැ.

බෙනඩික් – මම මිනිසුන්ගේ මුහුණුවර අඳුනන්නේ මුහුණු පොතෙන් හෝ අයිඩෙන්ටියෙන් නෙමෙයි, ජීවිතයෙන්. එනිසාවෙන් මුහුණු හෝ සාටෝපයක් තවරාගත් ජීවිත මට අඳුන ගන්න අත්දැකීමේ ඉඩ තියෙනවා. මිථ්‍යාවෙන් හැබෑවටත්, සාටෝපයෙන් පියවි යථාර්ථයටත් ගේන්නයි මම කලාව භාවිත කරන්නේ. එනිසා මම ලියන්න බය නැහැ. පපුවෙන් ලියන නිසා ගුදය පිළිබඳව අසතුටක් හෝ ලැජ්ජාවක් නැහැ. ඉතිං මට සමාජයේ වහන්තරා ගලවන්න ලේසියි. මම රජයේ රැකියාවක් නොකරන නිසා ආයතන සංග්‍රහයට බිය නොවී විවෘත මනසකින් ලියන්න මට පුළුවන්.

තණ්හාව, ඉරිසියාව, වෛරය, ප්‍රේමය කියන ලෞකික දේවල් අඩු වැඩි වශයෙන් කලාවට හොඳ රම්පේ කරපිංචා නේද?

අනුර – හරියටම ගත්තොත් මගේ ‘නමක් නැති පොත’ ඇතුළේ තියෙන්නේ අන්තිම වචනය විතරයි. එතකොට මගේ පොතේ රම්පේ කරපිංචා නැහැ. තියෙන්නේ ලූණු, ඇඹුල්, ගොරක, සාදික්කා, වසාවාසි, වගේ දේවල් විතරයි. කෘත්‍රිම රසකාරකත් නැහැ. මෙතන තියන ප්‍රේමයත් ලෞකික ප්‍රේමයම විතරක් නෙවෙයි. රට ට ප්‍රේමය, මනුෂ්‍ය වර්ගයාට ඇති ප්‍රේමය. රටට ඇති වෙලා තියන විපත හා විශේෂයෙන් රටට වෙන්න තියන විපත් ගැන. ඒ එක්කම පුළුවන් තරම් අකුරු වචන අඩු කරලා තියනවා. ඒ වචව ටික ඇතුළේ තණ්හාව, ඊර්ශ්‍යාව, වෛරය වපුරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. හොඳ රටක් පැතීමට අර වචන 3 අදාළ නැහැ. අවශ්‍ය ප්‍රේම කිරිල්ල විතරයි.

බෙනඩික් – ඇයි පරිත්‍යාගශීලිීත්වය, සමානාත්මතාවය, යුක්තිය, සාධාරණත්වය, විප්ලවය, සහෝදරත්වය, පරාර්ථය, සෙනෙහස, ආට් වලට ලුණු, ගොරකා, පොල් කිරි විය යුතුමයි නේද? නැත්නම් හොද්දක් වෙනුවට වමනේ ගොඩක් නිර්මාණය වේවි වළඳක් තුළ. දැන් මේක හැඳිගාලා පදම සක් කර ගන්න ඕන. ඔබට පෙනෙනවා ඇති දැනටමත් හැන්ද මම අතේ. ඒ හැන්දෙන් මම කවදත් යාචකයාටත්, සිටුවරයාටත් බෙදුවේ එකම විදිහටයි. ඒ මගේ හැටි. මගේ කවියේ හැටි.

කවියෙහි සමාජ, දේශපාලන අරුතක් සොයන, අරමුණක් සොයන කවීන් දෙදෙනකු වන ඔබ එම යාවත්කාලීන බව නඩත්තු කරන්නේ කොහොමද?

අනුර – මම හිතන්නේ කලා කරුවෙක් නියම පාරට වැටෙන්නේ පනහ පැන්නට පස්සේ. මට තාම පනස් හයයි. මම තවම අවුරුදු හයක දඟකාරයෙක්. පොඩි උන්ගේ නිර්මාණ අවංකයි. පොඩි උන් හිනා වෙන්නේ හදවතින්. උන් ළඟ කුහකකම නැහැ. හිතට එන දැනෙන හැම දේම ප්‍රශ්න කරනවා. ලොකුවෙනකොටයි ආගමයි, දහමයි, ඇදහිලියි, ජාතියයි, කුලයයි, හැම මඟුලක්ම මහවුන් පටවන්නේ. මේ දෙවන පාර ලොකුවෙන එකා ලෝකේ කාලා, වතුර බීලා තියන හින්දා ආපහු අන්දන්න බැහැ. ඌ තව වයසට ගියත් තව තව ලොකු වුණත් හිනා වෙන්නේ හදවතින්. ලියන්නේ ප්‍රශ්න කරන්නේ අර කලින් කිව්ව විදිහට. එතකොට යාවත්කාලීන වෙනවා. මම ලෝකේ කොතනකටවත් ඇලිච්ච නැති තිතක් විතරයි. එතකොට අමුතුවෙන් නඩත්තු කරන්න ඕන නෑ.

බෙනඩික් – මම පපු හැදුවා. ඒකට මට බොහෝ නම් පට බැඳුණා. අමු කවියා, කුකවියා, දුක මාකට් කරන්නා, ඔය වගේ තව දහසක් තිබෙනවා. මම සියල්ල දරා සිටියා. මම කලින් කිව්වා වගේ මට ඉලක්කයක් තිබුණා. මට පරමාදර්ශ තිබුණා. මගේ පන්තිය ගැන, මගේ මිනිස්සු ගැන මට යුතුකමක් හා වගකීමක් තිබුණා. මා ඔවුන් මගේ කරගත්තේ ඉමහත් කර්කශ තාඩන පීඩන, නින්දා අපහාස මැදින්. මම කවියෙක් කියන්නේ එහෙම කරන්න පුළුවන් එවුන්ට විතරයි.මට ගේම තියෙන්නේ බැටළුවෝ එක්ක නෙවෙයි. වෘකයින් එක්කයි….!