රාවය

මැරයෝ සහ මාරයෝ

මැරයෝ සහ මාරයෝ

ශාන්ති දිසානායක

හීන් දුබල අතු ඉති ඇත්තේ වුවද කෙල්ල ඇඹිල්ල ගස වටා කැරකෙන්නේ ඉදුණු ඇඹිල්ල ගෙඩියක රස මිහිරට කෑදරකමිනි. කොළ පැහැයෙන් රත් පැහැයටත් ඉනික්බිති දම් පැහැයටත් හැරෙන ඇඹිල්ල ගෙඩි සොය සොයා උඩ පනින කෙල්ලගේ කෝටු බෝටු කකුල් ප්‍රිය කරන්නේ නුදුරෙහි දඹ ගහට නැඟෙන්නටය. ඒ මහත් රුකෙහි ඒ කුඩා මියුරු ඵල වරා ඇති හෙයින් ඇය තිස්ස දෙවේලේ ඒ වෙත නොයයි. දඹ වාරයට නම් ඇගේ කට දිව දම් පැහැ ගැන්වුණු හැටියේය.

“ඇරපං කට…….” යි උන්හිටි හැටියේ මුත්තම්මා අණ කරන්නේ කූරටියා කෝටුවක් ද අතැතිවය. තට්ටම හරියෙන් එක්කාසු වූ අසෝබන දෑතෙහි දඬුවම් දණ්ඩක් සැඟව ඇතැයි ඉඟි කරන්නේ කොල්ලාය. කෙල්ල දෙතොල වසා ගන්නේ යළි කිසි කලෙකත් විවර නොකරන්නට දිවුරා පොරොන්දු වූ කලක මෙනි.

“මං දැං වංගියක් කිව්වා. ඇරපිය කට….”

මී මිණිබිරියගේ මුරණ්ඩුකමෙන් කිපෙන මැහැල්ල පෙරට වඩා රළු පරළු හඬින් අණ කරයි.

“හොඳට කට ඇරලා දිව දික් කරපිය…..”

දිව දම් පැහැ ගැන්වී තිබෙන බව කෙල්ල ඉතා හොඳින් දනියි. එහෙත් එය මුත්තම්මාට ප්‍රදර්ශනය කොට කූරටියා කෝටු පාර කන්නට ඇය සූදානම් නැත.

“යකෝ මේකි කට තද කරගෙන ඉන්න ලස්සන. හිටපිය මං අද උඹට……”

කොල්ලා හීන් සීරුවේ ගාටමින් පැමිණ මුත්තම්මාගේ දෑතේ රැඳුණු දඬුවම් දණ්ඩ උදුරාගනියි. එකෙනෙහි උන්දැ ආපසු හැරෙයි. ඒ නිර්භීතකම අදහාගත නොහැකි කෙල්ල කට බලියාගෙන බලා ඉද්දි කොල්ලා සක්කර දෙයියෝ වාගේ පිහිටට එයි. කෙල්ලත් ඇදගෙනම පලා යන්නට තරම් හයියක් ඒ කැහැටු කයෙහි සැඟවී තිබිමද පුදුම සහගතය.

“දිවියා කන්ඩ මේකා……. තව ඩිංගෙං මං වැටෙන් නැද්ද……. මයේ කොන්ද කැඩෙන් නැද්ද…… හෙණ ගහපිය ඕකාට……අරකි නාක් කොරන්නෙත් ඕකා තමා…..හිටපිය මං කියන්ඩ කඬේ පුතාට…… මේ සම්මජ්ජාතියේ මේ පැත්ත පළාතේ ආයේ ඕකිගේ හේමලයාවත් වැටෙන්ඩ දෙන්ඩ එපා කියලා මං කියන් නැද්ද බලාපියව්………”

මැහැල්ලගේ හැවිල්ල කනේ තබන වියලි සුළගේ පාව යන හොර මල් දෙකක් වාගේ කොල්ලාත්, කෙල්ලත් දිව යන රඟ බලන්න ලස්සනය.

කාෂ්ඨක පොළොව මත හව්හරණයක් නැතැයි පසක් කරගන්නා ඒ ඇබිත්තන් මිනිස්සු පිළිසරණ පතා නැඟෙන්නේ ගුරු පාර ගිනි අව්වෙන් බේරා ගන්නා දඹ ගහ උඩටය. ඔවුන් උදෙසාම ඔවුන්ගේ බර දරන්නට පේවුණු දෙබල මේ ලෝකයේ ඕනෑම සැප පහසු අසුනකටත් වඩා සනීප බව කොල්ලාත් කෙල්ලත් කාලයක පටන් ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිති. කෝපයෙන් වියරු වැටුණු ඉස්තිරියාවකගෙන් ඔවුන් ගලවා ගන්නේ අම්මෙක් අප්පෙක් තරමට ළෙන්ගතු ඒ විසල් රුක මිස අන් කවරෙක්ද? කොච්චර කෝපයෙන් මුසපත්ව සිටියද මැහැල්ලට ගස් නඟින්නට නුපුළුවන. අනෙක් අතට පස්සෙන් පන්නාගෙන ආවද කොල්ලාත් කෙල්ලත් එකවරම අතුරුදන් වූ බව මිසක දඹ ගහට නැඟි බව ඇය නොදනී. ඔවුන් රිලවුන් හා ලේනුන් වගේ ගස් නඟින බව දැන සිටියද දඹ ගහේ සැඟවී ජයග්‍රාහී හිනා කටකින් බලා ඉන්නා බව කිසිසේත් අනුමත නොකළාය.

“අහුවෙච්චදෙන්ං….. මොකද ආයේ සදහටම කැලේ පැනලා ඉන්ඩද….. ගඩා ගෙඩියෙන්ම ඔය පෙරේත බඩ ගෙඩි පුරවගන්ඩත් බෑනේ හැන්දැ වෙනකං…කොයි වෙලේ හරි මතු වෙයිනේ…..පත පොල් පිත්තකුත් ඇන්න මං රැකගෙන ඉන්නැද්ද බලාපියව් තොපි දෙන්නගෙම කොඳු කඩලා මුල්ලකට දාන්ඩ. පර සුද්දා එක්ක ජල්ලි අල්ලපු අපිට තොපි වගේ ඇඹිටිල්ලෝ මොක්කුද……?

රාස්සගල රාස්ස ගතිය පළ කරමින් බැන බැන ආපහු යන මුත්තම්මා දඹ ගහේ සැඟව ඉන්නා මුණුබුරා හා මී මිණිබිරිය එකිනෙකාට ඉඟි මරා හිනැහෙන හැටි නොදකී. බැරිවෙලාවත් ඇස් කොනකින් හෝ ඒ සරදම් සිනා බිඳ දුටුවේ උන්දැ හැත්තෑ වසරක් පැරණි පංචස්කන්ධයද උසුලාගෙන දඹ ගහට නොව අතු ඉති කිසිත් නැති පොල් ගහකට වුවද නඟිනවාට සැක නැත.

අවාරය නොවන්නට කෙල්ලට දඹ ගසේ ඕනෑ තරම් වේලා ලැග ඉන්නට පිළිවන. එහෙත් නුදුරෙහි ඇඹිල්ල ගස දැක දැක කෙල ගිල ගිල මේ ඉන්නා ඉඳිල්ල අප්පිරියාසහගත ය.

“මුත්තම්මා ගියා….” යි ඇය රහසින් කොඳුලේ බැරිවෙලාවත් උන්දැ අහළ පහළ හැංගී ඉන්නේ නම් ඇසෙන්නට බැරි නැතැයි සැකයෙනි.

“බෑ බෑ….. දැංම බහින්ඩ බෑ…..”

කොල්ලා එක හෙළා විරුද්ධ විය.

“අර….”

කෙල්ල කොළ, රතු හා දම් පැහැයන්ගෙන් බබළන ඇඹිල්ල ගස වෙත අතක් දිගු කළාය. ඔහුගේ දෑස් දල්වන්නට ඇඹිල්ල ගෙඩි සමත් වූයේ නැත.

“කමුද….?” යි ඇය ඇසුවාය. ඔහු මුහුණ හකුලා ගත්තේය.

“කඩමු” යි ඇය යොජනා කළාය.

ඇඹිල්ල ගෙඩියකට වඩා කෝන ගෙඩියක ඇඹුල් රහට මනාප කොල්ල හිස දෙපසට සැලුවේය.

“හරි නරකයි” යි චෝදනා කරමින් ඇය ගසින් බැස්සාය.

“දෙන්නෑ එක ගෙඩියක්වත්”

ඉදුණු ඇඹිල්ල ගෙඩි පුරවාගත් ගවොම් සාය අතකින් කැටි කරගනිමින් ඇය නැවතත් දඹ ගහට නැගුණා විතරය. එක ගෙඩියක් හෝ කටේ රුවා ගන්නට දත් දෙපෙළට මැදි කරගන්නට එකෙකුට හෝ ඉඩක් නොලැබිණ. වැඩි වේලාවක් ගතවන්නට පෙර ඒවා බිමට පතිතව වියළි දඹ පත් ගොන්නෙහි සැඟවී ගියේය.

නිවාඩු කාලයේ වුවද සුදු ගවොමින් සැරසී ඉස්කෝලෙට යන එන ගැහැණු ළමයින් අරුමයක් නොවේ. විභාගය ළං ළං වන බැවින් ඒ අක්කලා පන්ති යන බව කෙල්ලත් කොල්ලාත් දනිති. එහෙත් අද මේ මද්දහනේ ගුරුපාරේ අවිද යන්නේ එකියක් පමණි. ඒ කුඩා රංචුවේ පියකරුම කෙල්ල දකින්නට කොල්ලා කොහෙම වුණත් කෙල්ල කොච්චර කැමතිද…. ලතාවට තාලයට ඇවිද යන සිසුවිය සුදු අරලියා මලක් වගේය. කෝටු බෝටු ඇටිකිච්චියක වන තමා කිසි කලෙකත් ඒ සා රූමත් නොවන බව කෙල්ල සහසුද්දෙන් දනී. එහෙත් ඒ අක්කා අභියස අර දා ගිය හේනේ වැඳිරිය තරමට තමා අවලස්සන වුවද කිසිදු ඉරිසියාවකින් තොරව ඇයට ඇළුම් කරන්නට කෙල්ලට පිළිවන.

“හරී…….ඊ……..ඊ…….ලස්සනයි….”

ලස්සනම ලස්සන මලක්, කුරුල්ලෙක්, සමනලයෙක්, දුටු කල හුස්ම ඉහළට අල්ලා අගය කරන විලාසයෙන්ම කෙල්ල හූල්ලා වැටුණා විතරය.

ඒ ලස්සන අක්කා එක්ක බහින් බස්වන කැත අයියා දැන සිටියේ කොල්ලා පමණි. එහෙත් ඔහු අත කිණිස්සක් තිබෙන බව කොල්ලා හෝ කෙල්ල කිසිසේත් සැක පහළ නොකළා නිසැකය. එය මාරාන්තික අවියක්ව අර අක්කාගේ ළය සිදුරු කරන බවටත් හැඟීම් මාත්‍රයක් හෝ ඇබින්දක සැකයක් හෝ ඔවුන් තුළ හට නොනැගිණ. එසේ වුව එය එසේම සිදු විය. ඒ කැත කොල්ලා මේ ලස්සන කෙල්ල වෙත කඩා පැන්නේද ඔහුගේ අත ඉහළ පහළ ගියේද තියුණු කිනිසි තලය මද්දහන් අව්වේ දිළිසුණේද ඇදහිය නොහැකි වේගයෙනි. ඕනෑම මනුස්ස හදවතක් වේදනාවෙන් කීරි ගස්වන හඬින් නැගූ විලාපයත් එක්ක කෙල්ලගේ අරලිය මල ගුරු පාරේ පතිත විය. ලෙයින් තෙමුණු කිනිස්සද අතැතිවම ඝාතකයා පළා ගියේය.

මේ බිහිසුණු විපතින් අන්ද මන්ද වූ කොල්ලා තව ඩිංගෙන් බිම ඇද වැටෙනවාට සැක නැත. එහෙත් අඩක් දුර ඇද වැටෙද්දීම වුව අත්තක එල්ලෙන්නට තරම් සිහි කල්පනාවක් ඔහුට තිබිණ. කෙල්ල නම් සිහි විකලෙන් වාගේ අයාගත් මුවින්ද ඇසින්ද තවම ගැහෙන ඒ සුලලිත සිරුර දෙස බලාගත් වනම සිටියාය. පෙම් බැඳුමක්, හබයක්ව ජීවිතයක් උදුරා ගන්නා තරමට සාහසික වන බව අදහාගත නොහැකි ලෙසින් දඹ ගස පවා වේදනාවෙන් කෙඳිරි ගාන්නට පටන් ගත්තේය.

නොකඩවා ගලන කඳුලින් කෙල්ලගේ ඇස්ගෙඩි තෙමුණා වගේම ජංගිය තෙමා දැමූ ඒ අප්‍රසන්න දුඟද හමන දියරට දඔ අත්තද කිළිටි කළේය.

මනුස්ස ජීවිතයක් උදුරා ගන්නට තවත් මනුස්සයෙකුට කිසිදු අයිතියක් නැතැයි පසක් කරගන්නට එවන් සාපරාධි මනුෂ්‍ය ඝාතනයක්ම දැකිය යුතු නැත.

මානව ඉතිහාස මිනිස් ලෙයින් හා කඳුලින් අපවිත්‍ර වී තිබෙන බව කොයි කව්රුත් දනිති. එහෙත් ශිෂ්ඨ සම්පන්න මිනිසා තාක්ෂණයේ අහු පල නෙලා ගනිමින් වුව අද දවසේත් එකිනෙකා මරාගන්නා අයුරු අපි අඛණ්ඩව දකිමු. කවර හේතු කාරනා මත වුවද තවත් ජීවිතයක් විනාශ කරන්නට තවකෙකුට ඉඩ දිය නොහැක. ආගමේ, ජාතියේ, කුලයේ හෝ භූමියේ නාමයෙන් වේවා ඝාතනය පිළිකෙව් කළ යුතු ම්ලේජ්ඡ හා කෲර ක්‍රියාවකි.

ආදි කල්පිත මානවයා වෙතින් උරුම වූ සහජ ප්‍රචණ්ඩත්වය පාලනය කරනු පිණිස නීති රීති මෙන්ම දණ්ඩනයද ක්‍රියාත්මක කරගන්නට නූතන මිනිසාට සිදුව තිබේ. වරදකට දඬුවමක් අවැසි බව සැබෑ මුත් දඬුවම වරදට වඩා විශාල හා දහස් වාරයකින් කෲර වන්නේ නම් මිනිසා අත්පත් කර ගත් සියලු ජයග්‍රහන සේම ශිෂ්ඨ සම්පන්න බවද වැළලී නොයන්නේද?

මරණ දඬුවම පිළිබඳව තව දුරටත් කතා කරන්නට හෝ එය වුවමනා බවට බෙරිහන් දෙන්නේ නම් සියලු ශාස්තෘවරයන් ද එකල ආගමික ඉගැන්වීම්ද එකෙනෙහිම අහෝසි වී යන බව සිතන්නට හඟින්නට අපේ පොදු ජනතාව පමණක් නොව රට කරවන ඇත්තෝද ආගමික නායකයන්ද අපොහොසත් වීම කවර නම් ඛේදවාචකයක්ද?

ආගමික භක්තියෙන් අනූන රටක නිබඳ සෙත් පිරිත් බණ භාවනා පිංකම් ආදීයෙන් අඩුවක් නැති රටක මරණ දඬුවම වෙනුවෙන් පෙනී සිටින්නන් ඒ ඒ ආගම් වලටද එල්ල කරන්නේ මරු පහරකි. පොදු ජනතාව පසෙක තැබුවද මහනායක හිමිවරුන් හා එක පෙළට සිට ගනිමින් අගරදගුරුතුමාද කරුණාවේ ප්‍රතිමූර්තියක් වූ බුදුන්ටද දයාවේද සමාවේද අනුහස කියා පෑ ජේසුතුමාටද අවමන් නොකරන්නේද?

ජනාධිපතිවරයා ගෙනා මරණ දණ්ඩනය පිළිබඳ යෝජනාව ඔල්වරසන් දෙමින් අනුමත කළ කැබිනට් මණ්ඩලයේ බුද්ධි මහිමය හා මානව හිතවාදි බව කොතෙක්ද….? රටක ජනතාවක් පිළිබඳ තීන්දු තීරණ ගන්නට ඔවුන්ට බලය ලබා දුන් අපේ අය රජා හා අනුවන ඡන්ද දායකයා පිළිබඳව අනුකම්පා කරනු විනා අන් කළ හැකි කිසිවක් නැත.

මරණ දඬුවමට එරෙහිව කතා කළ මංගල සමරවීර අමාත්‍යවරයාට ගෞරවාදය පිරිනමන අතරේම බන්ධනාගාර තුළ සිටිමින් යමෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ තවදුරටත් නිරත වන්නේ නම් එයින් විදහා දක්වන්නේ කාගේ නම් අසාර්ථක හා අසමත් භාවයදැයි ප්‍රශ්න කළ යුතුය.

බලයට පත් වූ හැම රජයක් මෙන්ම පොදුවේ රටක් ලෙසද අප හැමදාමත් ප්‍රශ්නය වටහා නොගෙන එහි යථා ස්වභාවය නොදැක පිළියම් සොයන්නෙමු. දරුණු විනාශයක් සිදුකළ සුනාමි අනතුරෙන් පසුව පවා අපි ගංවතුර හා නියඟයට නිසි පිළියම් නොයොදන්නෙමු. උවදුර වලක්වාගත හැකි ක්‍රියාමාර්ගයකට කිසිවිටෙකත් අවතීර්ණය නොවෙමු. අප පුරුදුව සිටින්නේ අනතුර සිදුවන තෙක්ය. එහි ගිලී ගිය පසු දරුණු හානියකට ලක් වීමෙන් පසු උත්තර සොයන්නටය. ලෝකයේ අසාර්ථක රාජ්‍යක් ලෙස විරුදාවලිය ලබන්නට තරම් අප එහිදි සාර්ථක වෙමු.

එල්ලා මරන්නට අළුගෝසුවන්ද පෝලිමේ ඉදිරිපත්වන බව දැනගන්නට ලැබේ. මත්ද්‍රව්‍ය වසංගතයෙන් රට බේරා ගන්නට පාපය නොසලකා දෙවි මිනිස් සැප කෙළවර නිවන් සම්පත්තිය පවා අමතක කර දමා ඝාතකයන් වන්නට පොරකන්නවුන් දැක පහන් සංවේගය උපදවා ගනිමු.

දූෂණය, වංචාව, සේම මත්ද්‍රව්‍යද ඒ හා බැඳුණු පාතාලයක්ද රෝපණය කරන්නේ කවුරුන්දැයි රටට රහසක් නොවේ. හැමදෙනාම අලගිය මුලගිය තැන් දනිති. එහෙත් නොදන්නවාක් මෙන් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් එල්ලා මරන්නට පෙළ ගැසෙති. ඔවුන් මරා දැමූ සැනින් මෙරට ආලකමන්දාවක් වනවා නොඅනුමානය. මේ සා විහිළුවක් තවත් තිබිය හැකිද? ලෝකය ඉදිරියේ විගඩමක් වන්නට අප මේ තරම් ප්‍රිය කරන්නේ මන්ද?

පැවති රජයේ පවතින ඊනියා යහපාලන රජයේද කියා වෙනසක් නැතිව සියළු හොරුන් අල්ලා දඬුවම් කොට හමාරය. නිරායුධ මනුෂ්‍ය ඝාතනයන්ට වගකිව යුතු ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට අවසන්ය. සහෝදර දෙමළ සහ මුස්ලිම් ජනතාව පෙළන අනේක ගැටලු විසඳා තිබෙන බැවින් සහජීවනයද සාධාරණත්වයද දෝරේ ගලන රටක ඉතිරි වූ එකම ගැටලුව එනම් මේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් එල්ලා මරා දැමූ විට රටක් ලෙස මේ අරුම පුදුම දූපත ලෝකය අභිමුව සාඩම්බරයෙන් නැඟී සිටිනවා නොඅනුමානය.

ආගම වෙනුවෙන් පුරා පරිත්‍යාගයක වුව යොදන්නට තරම් ආගමික භක්තියෙන් අනූන රාජ්‍ය නායකයා කවුරුන් විරුද්ධ වුවද ජාත්‍යන්තර අපකීර්තියට ලක්වීමේ අවදානමද නොතකා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවට වහසි බස් දොඩන කළ සැබැවින්ම තොණ්ඩුව සිර වන්නේ මෛත්‍රිය පදනම් කරගත් දර්ශනයක් දේශනා කළ බුදුන්ගේ බව අමුතුවෙන් කිව යුතු නැත.

අනෙක් අතට ජනාධිපතිවරයා නින්දෙන් ඇහැරුණාක් මෙන් හිටි හැටියේ කරනු ලබන මෙවන් සිංහනාද අන්තිමේදී හීන් කෙඳිරිල්ලක් නැගී යන බවද කොතෙකුත් සාක්කි තිබේ. කල් මැරීමට හා ජනතා අවධානය වෙනතකට හරවා ගන්නට කරන මෙවන් ප්‍රකාශ නොතකා සිටිය හැකිය. මරණ දණ්ඬනය පිළිබඳව කමිටුවක් පත් කිරීම තුළින් ජනාධිපතිවරයා දල්වාලු ගින්න නිවී යාමට ඉඩහැර අත පිහදා ගන්නට උත්සුක වී තිබේ. එහෙයින් සැබෑ ගැටලුවද අනතුරද ලෙස අප දැකිය යුත්තේ ඝාතනය හා රුධිරය අපේක්ෂා කරන බහුතර ජනතාවය. ආගමික පූජකවරුන්ය. නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම තුළින් සියලු ප්‍රශ්න විසඳිය හැකි යැයි විශ්වාස කිරීමද බරපතළ ප්‍රශ්නයකි. සමාජ ආර්ථික හා දේශපාලන හේතු කාරණා නොසලකා හුදෙක් දණ්ඩනය මඟින් යහපත් සමාජයක් බිහිවන බව අදහන් රටක් කිසිවිටෙකත් සුවපත් නොවේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් රෝගී වූ ජනතාව මරණ දණ්ඩනය ඉත සිතින් අනුමත කරමින් පෙළ ගැසීමේ අරුමයක් නැත. එහෙත් ඔවුන් නිවනට හා ස්වර්ගයට කැටිව යාමට වෙහෙසෙන ආගමික නායකයන් ඒ කෲර හා ශිෂ්ට සම්පන්න ලෝකය පිටුදකින දඬුවමක් වෙනුවෙන් පෙනී සිටිම නිර්වචනය කරන්නේ කෙසේද…? අධ්‍යාත්මික විමුක්තිය සොයාගන්නද බහුතරයක් මෙන්ම රෝගී වූවන් බව මිස එයින් ගම්‍ය වන වෙනත් යමක් තිබේද?