රාවය

පුහුණුකරුවෝ පිහිනුම් සංගමය කොල්ලකති

පුහුණුකරුවෝ පිහිනුම් සංගමය කොල්ලකති

ඒ. වික්‍රමසූරිය

ක්‍රීඩා පනතට පටහැනිව පිහිනුම් පුහුණුකරුවන් වන අපේක්ෂකයන් පිරිසක් නාමයෝජනා ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමග ඒ චෝදනා සලකා බලා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය කල් දැමීම ක්‍රීඩා අමාත්‍යාංශය දැනට සිදුකොට ඇත.

ජල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත්ව ඇති නාමයෝජනා දෙක ඇතුළුව නාමයෝජනා 11කට එරෙහිව අදාළ විරෝධතාවෙන් චෝදනා නගා ඇතැයි පැවසේ.
පිහිනුම් පුහුණුකරු වෘත්තියේ නියැලෙන්නේ ජල ක්‍රීඩා සංගමයේ තනතුරු සඳහා ඉදිරිපත්වීම ක්‍රීඩා පනතට මෙන්ම ජල ක්‍රීඩා සංගම් ව්‍යවස්ථාවටද පටහැනිය. එය ජල ක්‍රීඩා සංගමයට නොව මොනයම් හෝ ක්‍රීඩාවකට පොදුය. පුහුණුකරුවන් සංගමයේ නිලතල දැරීම ඒ අය පුහුණු කරන ක්‍රීඩකයන්ට වාසිවීමත් අනෙක් අයට අවාසිවීමත් පුංචි ළමයකු හෝ නොදන්නේද? මේ තරග වදින්නට ඉදිරිපත් වූ අය මේ බව නොදන්නේද? පුහුණුකරුවන් තනතුරු දැරීම නුසුදුසු බව මේ අය නොදන්නා කරුණක්ද? අඩුම තරමේ තම සංගමයේ ව්‍යවස්ථාවවත් මේ අය නොකියවන්නේද? දැන දැන වැරදි කිරීම නොදැන කිරීමට වඩා බරපතළ නැද්ද? මෙතරම් බරපතළ තත්ත්වයක් පිළිබඳව වුවත් එකම විරෝධතාව තුන් පාරක් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ට භාර දෙන්නට සිද්ධවන්නේ ඇයි? ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි අකුරු කියවන්නට නොදන්නේද? පළමුවර දුන් සැණින්ම නිලවරණය පැවැත්වීම තහනම් කිරීමට ඔහුට කොන්දක් නැද්ද? එය තෙවරක් දැනුවත් කළ යුතුද?

ක්‍රීඩා පනතේ ඉතාම පැහැදිලිව ඇති වගන්තියක් නම් පුහුණුකරුවන්ට සංගම්වල තනතුරු දැරිය නොහැකි බවය. ඒ ගැන විරෝධතාවක් ආ කල නිලවරණය නැවැත්වීමට මෙතරම් තැටමිය යුතුද? එසේ නම් ලේකම්වරයාත් නීති නොදනිත්ද?

වත්මන් පිහිනුම් සංගමයේ සභාපති මහින්ද ලියනගේ සහ මෙවර ඔහු සමග සභාපතිකමට තරග කරන ඔහුගේ බිරිඳ සුමුදු ලියනගේ ඉදිරිපත් කළ නාමයෝජනා හැරුණු විට විධායක කමිටුවේ නාමයෝජනා භාරදී තිබෙන රොඞ්නි සිල්වා, ජී.එස්.පී. දයානන්ද, දිනේෂ් දයානන්ද, ජේ. සෝමචන්ද්‍ර, කන්නානි පද්මසිරි, ගුනේති අරුණලතා, ජනක ලාල් පෙරේරා, ලෝචන කෝට්ටේහේවා යන අය සෙසු විරෝධතාවට ලක්වූ චරිතය. මේ මුදලට පුහුණුකාරකම් කරන අයය. කොටින්ම සිය වෘත්තීය පුහුණුකරුකමය. එසේ නම් මේ ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයද නැතහොත් ජල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ නිලවරණයක්ද?
මෙවර මේ තරම් නිලවරණය වංචාසහගත වූයේ ඇයි? මූලික වගන්ති පවා උල්ලංඝනය කරමින් නොදන්න තොත්ත බබාලා ගාණට නිලවරණයට නාමයෝජනා භාර දුන්නේ ඇයි? මෙහි සම්පූර්ණ වගකීම ගතයුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයමය.

ජල ක්‍රීඩා සංගමයේ වත්මන් පුහුණුකරු මහින්ද ලියනගේය. ඔහුද වෘත්තියෙන් ජල ක්‍රීඩා පුහුණුකරුවෙකි. එය ඔහුට සභාපතිකමට ඒමට අංක එකේ නුසුදුසුකමකි. ඔහු එය මෙවර දැන තමා ප්‍රතික්ෂේප වුවහොත් එතැන ඉදිරි තරග කරන අනෙක් තැනැත්තාට නිරන්තරයෙන් යන ලෙස තම බිරිඳටම ප්‍රතිවාදියා කරගෙන ඇත. මේ සූත්තර පුංචලා බලයට කෑදරකමින් විනාශ කරන්නේ පිහිනුම් ක්‍රීඩාවය. මෙය තම පවුලේ බූදලයක්ද?

මෙහි ඇති බරපතළම ප්‍රශ්නය නම් පිහිනුම්කරුවන්ට බලයට ඒමට බැරිනම් මොහු වත්මන් පිහිනුම් සභාපති වන්නේ කෙසේද යන්නය. ඔහු පසුගිය ඔලිම්පික් නිලවරණයේදී ඡන්ද බලය පාවිචිච් කරන්නේ කෙසේද යන්නය. මේ බව ක්‍රීඩා අමාත්‍යාංශය නොදැන සිටියේද? හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපන්නට ඉඩ හැරියේය.

ජල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති, ලේකම් පැදුරටත් නොකියා මාරුවන්නේ සංගමයේ මුදල් කෝටි ගාණකටද සුද්ධය දෙමිනි. මෙය බරපතළ ගණයේ වංචාවකි. කෝටි ගණනක් වංචා කළද ඒ අයට අදවනතුරුත් විමර්ශනයක් නැත. එලෙස පුරප්පාඩු වන තනතුරුවලට ඊට යටින් සිටි අය පත්වූ අතර, ඒ අනුව මහින්ද ලියනගේ සභාපති විය. එයද වැරදි බව ඒ සැණින් ක්‍රීඩා ඇමති දයාසිරි දැනුවත් කළමුත් ඔහු සතපහකට එය ගණන් නොගත්තේය. නීතිඥකම් නමට නොකියාගෙන ඒ අනුව වැඩ කළා නම් ඔහු කළ යුතුව තිබුණේ දවසකට හෝ පුහුණුකරුවන් සභාපතිවරු විය නොහැකිය. එය නීති විරෝධිය. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් අතුරු කමිටුවක් තාවකාලිකව පත් කොට සභාපති ලේකම් කළ මූල්‍ය වංචාව ගැන නිසි පරීක්ෂණයක් කොට එයට දඬුවම් පමුණුවා නැවත නිලවරණය පැවැත්වීමට කටයුතු කිරීමය. එය නොකර මහින්ද ලියනගේට සභාපතිකම දරන්නට ඉඩ හැර දයාසිරි ප්‍රමුඛ ක්‍රීඩා නිලධාරීන් මේ වරදේ පළමු කොටස්කරුවන් බව අපි පැහැදිලිව කියමු.

නීතිය කුමක් වුවත් තමන්ට මාස ගණනක් ප්‍රශ්නයක් නැතිව සභාපතිකම් දැරිය හැකිනම් ඡන්දයෙන් ඒමටත් ඇති බාධාව කුමක්ද කියා සිතා මහින්ද මෙවර නිලවරණයට සභාපති ලෙස ඉදිරිපත් වූවා විය හැකිය. එය ඔහුගේ පැත්තෙන් අසාධාරණද? නැත. හොරකමට, වංචාවට ඉඩදී එය කරගෙන යනවිට අල්ලනවාට වඩා කළ යුතුව තිබුණේ එය නොකෙරෙන තැනට මුලදීම ක්‍රියා කිරීමය. ක්‍රීඩා ඇමති සහ අමාත්‍යාංශයක්ම ඇත්තේ ඒ සඳහාය. ඔවුන් සැමට වඩා වංචාකාර හොර හැත්තක්ය.

වත්මන් ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපාත් අද බොරුවට අඳුරේ අතපතගාමින් කාලය කාදමමින් සිටී. ඔහුටත් කිසිදු දැක්මක් ඉලක්කයක් ඇති බව නොපෙනේ.
මෙවර කවරදාකවත් නොවන දෙයක් වී ඇත. එනම් පිහිනුම් නිලවරණයට කිසිදු එදිරිවාදියකු නොමැතිවීමය. සියල්ලෝම එකම පිලකි. මෙය හොඳ ප්‍රවණතාවක් වුවත් මෙය වංචාවේ අවසානය වන්නේ සැවොම බැලුවේ හවුලේ බෙදාගෙන කන්නටය. සුහදව තනතුරු බෙදා ගත්තේ ඒ නිසාය. එහෙත් මේ විරෝධතාද ඇතුළෙන්ම ඒ සුහද පිරිසෙන්ම රහසේ ආ බව නොරහසකි.

කුමන තත්ත්වයක් යටතේ වුව මේ අයට නැවත තරග කළ නොහැකිය. දැන් හීන් සීරුවට නැවතත් දොරගුළු ඇරෙන්නේ හිටපු හොරුන්ටමය. සැවොම නෙළා ගන්නේ තම තමන්ම වැපුරූ අස්වැන්නය.
නිලවරණයට එක පොදියට තරග කරනුයේ පුහුණුකරුවන්ය. එහෙත් මේ අය හැදූ ජාත්‍යන්තරයට යා හැකි එක ක්‍රීඩකයෙක් නැත. නමට පුහුණුකරුවන්ය. පිහිනුම් පුහුණුකරු වෘත්තිය යනු අද දවසේ ඉහළ වැටුප් ලබන රැකියාවකි. එහෙත් ක්‍රීඩකයන් නැත. මොවුන් සැම කරනුයේ පිහිනන්ට ඉගැන්වීම විනා ක්‍රීඩකයන් බිහිකිරීම නොවේ. ජාත්‍යන්තරය ජයගත හැකි අංකුර ක්‍රීඩකයකු හෝ හැදිය නොහැකි මොවුන් බලයට නම් එක පොදියට වතුරට බැස පිහිනති. දැන් පිහිනුම් ක්‍රීඩාවේ නියැළෙන අයට සිදුව ඇත්තේ කට අයාගෙන බලා සිටින්නටය.

ක්‍රීඩා ඇමති ප්‍රමුඛ නිලධාරීන් දැන් හෝ ඇති නීතිය වුව අකුරට කරන්නට උත්සාහ කළ යුතුය. නුසුදුස්සෝ නුසුදුස්සෝමය. නීතියට පටහැනි සියල්ල නීත්‍යනුකූලව කළ හැකිද? එසේ නම් කාට කියම්ද මේ නඩුව.