රාවය

කබඩි සභාපති පට්ට

කබඩි සභාපති  පට්ට

ටිරන් කුමාර බංගගමආරච්චි

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අසන්නට නොලැබෙන දුර්ලභ පුවතක් අසන්නට ලැබුණි. ඒ කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ තම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමය. ලංකාව වැනි රටක තනතුරක් අතහැරීම සිදු නොවිය හැකි දෙයක් වුවත් එය සිදුවී ඇත. මෙය ඉතාම හොඳ පූර්වාදර්ශයකි. එහෙත් ඒ අනුව තව කිසිවකු යනු ඇතැයි අන්ධ විශ්වාස ඇති කරගත යුතුද නැත.

කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වනුයේ ශ්‍රී ලංකා කබඩි (කාන්තා/පිරිමි) කණ්ඩායම් ආසියානු ක්‍රීඩා උළෙලකදී ලද පරාජයන් නිසාය. ක්‍රීඩාවක් ලෙස කබඩි ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ දුර්වල අඩියක පවතින බව මේ පරාජයන් හරහා අත්විඳි බවත් ඒ වෙනුවෙන් වියදම් කළ මිලියන ගණනක මුදල ශ්‍රමය, කාලය වැඩකට නැති බවත් සභාපතිවරයාගේ අදහසය. අවුරුදු තුනක් වන තමාගේ සභාපති කාලය තුළ මේ ලද පරාජය තමාගේද පෞද්ගලික පරාජයක් බැවින් තවදුරටත් තමාට සභාපති ධුරයේ රැඳීමේ වුවමනාවක් නැති බව අනුර පතිරණ මහතාගේ අදහසය. ඔහු මේ දිනවල ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිව ඉන්දුනීසියාවේ සිටී. ඔහු සිය අස්වීම ලිඛිතවම දැනුම් දෙනුයේ එහි සිටය. දක්ෂ කබඩි ක්‍රීඩකයකුද වන ඒ මහතා මේ හේතුව මතම මේ තීන්දුව ගත්තේ නම් ඔහු අපූරු මහත්මයකු බව කිව යුතුය. වසර තුනක් යනු යමක් කළ හැකි කාලයකි. එයට ඉඟි හෝ සැපයිය හැකි කාලයකි. එහෙත් ප්‍රතිඵල ඵල රහිත නම් එහි නියැලීම අසාධාරණ බව ඔහු සිතුවා විය හැකිය. තවත් අයකුට එම ස්ථානය භාරදෙන බවත් ඔහු යටතේ හෝ කබඩි ක්‍රීඩාව ඉදිරියට යනු දැක්ම තමාගේ බලාපොරොත්තුව තියන්නට තරම් මේ මිනිසා තුළ නිහතමානීකම පිරී ඇත.

තම කණ්ඩායම් කොතරම් තරගාවලි පරාජය වුවද සෙසු ක්‍රීඩා ප්‍රධානීන් සමුගන්නට සිහිනෙන්වත් සිතන්නේ නැත. ඔවුහු නිතර හීන දකිනුයේ ලබන වසරේ නිලතල ලබනුයේ කෙසේද කියාය. රට සවාරි යනුයේ කෙසේද කියාය. මේ ආකාරයට බොහෝ දෙනා කටයුතු කළේ නම් අද ක්‍රීඩාව වෙනස් වී ඇත. එහෙත් අනුර වැනි අය දුර්වලය. ඒ නිසා නැවත නොවන මේ ක්‍රියාව අනුර තුළින් හෝ දක්නට ලැබීම ගැන ඔහුට ස්තුතිවන්ත විය යුතුය. ක්‍රීඩාවෙන් අප සිටිනුයේ දිනෙන් දින පහළ වැටෙන තත්ත්වයකය. එය දැනෙනු ඇත්නම් අද කීදෙනෙක් සමුගත යුතුද? එහෙත් සැවොම අනුරලා නොවන බව කිව යුතුය. අනුර ඔබට ජය. ඔහුගේ මෙම තීන්දුවද ඇතැම්විට ආපසු වෙනස් විය හැකිය. එහෙත් දැනට ඔහු ගත් තීන්දුව පට්ටය.