පාප් වහන්සේ කෙනකුන්ගේ පාපෝච්චාරණය

එස්. නන්දලාල්

තමන් අතින් දැනුවත් ව හෝ නොදැනුවත් ව සිදුවූ යම් වරදක් වෙතොත් එය ඒ සඳහා දෙවියන් වහන්සේගෙන් බලය ලත් අයකු මගින් දෙවියන් වහන්සේ වෙත ඉදිරිපත් කොට උන් වහන්සේගෙන් සමාව අයැද සිටීම ක්‍රිස්තියානින්ගේ සිරිතකි. ඒ අනුව බලය ලත් පුද්ගලයන් වනුයේ පව්කාරයා අයත් ක්‍රිස්තියානි නිකායේ පූජකවරයෙකි. එබඳු බැතිමතකු විසින් හෙළිදරව් කරනු ලබන දෑ අසා සිටින්නේ පූජක ලෝගුව තුළ සිටින මිනිසා නොව දෙවියන් වහන්සේ ම වන බැවින් ඒවා සදාකාලික රහස් ය. පූජකවරුන් ඒවා හෙළිදරව් කරන්නට බැඳී නොසිටින අතර ඉහළම අධිකරණයක දී වුව ඒවා ප්‍රශ්න කළ නොහැකි ය.

පාප් වහන්සේලාගේ පාපෝච්චාරණ ගැන බොහෝ දෙනා සිතන්නේවත් නැත. මන්දයත් දෙවියන් වහන්සේගේ මෙලොව නියෝජිතයන් වන උන්වහන්සේලා අතින් පව් නොකෙරෙනු ඇත යන විශ්වාසය බැතිමතුන් තුළ මතු නොව අනෙක් ලබ්ධීන් අනුගමනය කරන්නන් තුළ පවා ඇති හෙයිනි. එහෙත් උන්වහන්සේලා ද පාපෝච්චාරණ ඉදිරිපත් කරති. එලෙස පාපෝච්චාරණ කිරීමේදී ධුරාවලිය අනුගමනය නොකෙරේ. ඒ කියන්නේ ඕනෑම කතෝලික පූජකයකුට ඕනෑම කතෝලිකයකුගේ පාපෝච්චාරණයක් ගන්නට හැකි බව මෙන් ම සමාව දීම ද කළ හැකි බවයි.

එහෙත් පසුගිය 20දා සුදොතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට පාපෝච්චාරණයක් කරන්නට සිදුවිය. ඒ පූජකවරයකු අබිමුව නොවේ. ලාබ්ධික කතෝලිකයන් ඉදිරියේ ය. එහෙත් මෙහි දී විශේෂය වනුයේ උන්වහන්සේ එසේ පාපෝච්චාරණය කරන්නට යෙදුණේ තමන් වහන්සේ අතින් සිදුවූ වරදක් නිසා නොවීමයි.

ලොව වැඩිම ලබ්ධිකයන් සංඛ්‍යාවක් සිටින්නේ ක්‍රිස්තියානි ආගමට ය. සංඛ්‍යාව මිලියන 2.1 ඉක්මවයි. ඒ අතරින් 1.3 කතෝලිකයෝ වෙති. මේ අයගේ ආගමික කටයුතු සඳහා පූජකවරු 415,656ක් සිටින අතර ඔවුන් අතරින් 5,304 බිෂොප්වරු වෙති. මේ බිෂොප්වරුන් අතරින් 224ක් කාදිනල්වරුන් වන අතර පාප්තුමා ද කාදිනල් සංඛ්‍යාවට ම අයත් ය.

සෑම ආගමකම පාහේ පූජකවරුන් අතින් ළමයින් අපයෝජනය වන බවට දුරාතීතයේ සිටම චෝදනා නැගෙන බව ප්‍රකට කරුණකි. එහෙත් ඒවා බොහෝ විට දූෂමාණ ආරංචි විනා සාක්‍ෂි ඇති ව නිශ්චිතව ම ඔප්පු කෙරෙන ඒවා නොවේ. එවැන්නක් තිබුණත් ඒවා කාලයත් සමග යට යනවා විනා ඉස්මතුවන්නේ නැති තරම් ය. එහෙත් මෑත කාලයේ කතෝලික පූජකවරුන් කිහිප දෙනෙකුට ම එවැනි චෝදනා එල්ල වූ බව අන්තර්ජාතික මාධ්‍යවල දැකගත හැකිවිය.

20 සියවසේ මුල සිට තත්ත්වය අයහපත් අතට හැරුණු බව පැරණි වාර්තා පිරික්සනවිට දැනගත හැකි ය. දෝෂාරෝපණ, චෝදනා, පරීක්‍ෂණ හා විමර්ශන, නීති කෘත්‍ය, දඬුවම් පැමිණවීම් යනාදිය වාර්තා විය. සිද්ධි වසන් කරන බවට පොදුවේ කතෝලික පල්ලියට චෝදනා එල්ල විය. වින්දිතයන්ගෙන් පැමිණිලි නොවීම විශේෂ වාසියක් විය. පැමිණිලි එල්ල කරන ලද්දේ වින්දිතයන්ගේ වැඩිහිටියන් විසින් ය. නැත්නම් වින්දිතයන් වැඩිහිටියන් වූ පසුවය. වයස 11 – 14 පරාසයේ ගැහැනු පිරිමි දෙවර්ගයේ ම දරුවන් අපයෝජනයට ලක් කෙරෙන බව විමර්ශකයන් විසින් අනාවරණය කරගන්නා ලදි. තුන් හැවිරිදි දැරියක ද අපයෝජනයට ලක් කොට තිබූ බව පසුව අනාවරණය විය.

මෙම සිද්ධිවලට අදාළව පූජකයන්ට එරෙහිව ධුරාවලියේ ඉහළට පැමිණිලි ලැබුණු විට බොහෝ විට සිදුවූයේ ඔවුන් වෙනත් තැනකට මාරුකර යැවීමයි. එතැනින් පැමිණිල්ල හමස් පෙට්ටියට ගියේ ය. එබඳු පූජකවරුන් අතරින් සමහරු යන යන තැන නොකඩවා ම ඒ සිරිත පවත්වා ගෙන ගියෝ ය.

මේ සිද්ධි එකිනෙකට සම්බන්ධයක් නොමැති හුදෙකලා ඒවා වූ අතර විසරිත ද විය. 1990 දශකය වන විට සිද්ධි සංඛ්‍යාවේ සෑහෙන වර්ධනයක් සිදුවිය. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, අයර්ලන්තය වැනි රටවල්වල මාධ්‍යවල මේ ගැන අවධානය යොමුවූයේ එනිසා ය. ගවේෂණශීලී මාධ්‍යවේදීහු පත්තර පිටු පුරා ලිපි පළ කළහ. පොත් පවා ප්‍රසිද්ධ කැරිණි. 1994 දී අයර්ලන්තයේ පෞද්ගලික නාලිකාවක් වන යූටීවී ‘දරුවන්ට හිංසා කිරීම’ යන මැයෙන් යුත් පුවත් වැඩසටහනක් නිපදවා විකාශය කළේ ය. අයර්ලන්තය ලොව වැඩිම කතෝලික ජන ප්‍රතිශතයක් ඇති රට ලෙස සැලකේ. එරට ජනයාගෙන් 95ක් ම කතෝලිකයෝ වෙති. අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් ග්ලෝබ් පත්‍රය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර මේ සිද්ධි සිය මාධ්‍ය මගින් අනාවරණය කරන ලදි. ටොම් මැකාර්ති නම් අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා 2015 වසරේ ‘ස්පොට්ලයිට්’ නම් චිත්‍රපටයක් පිටපත ලියා අධ්‍යක්‍ෂණය කළේ ය.

ඒ අනුව වතිකානයට ඉවත බලා ගන්නට බැරිවිය. 2010 වසරේදී එය විසින් දියත් කරන ලද පරීක්‍ෂණයකදී පසුගිය අවුරුදු 50 තුළ විවිධ තරාතිරම්වල කතෝලික පූජකවරුන් 3,000 පමණ දෙනා චෝදනාවලට ලක්වී ඇති බව අනාවරණය කැරගන්නා ලදි. මීසම් භාර පූජකවරුන්ට එරෙහිව ලැබෙන පැමිණිලි දියෝකීසි නිලයන් විසින් නොසලකා හරින ලද බව ද ඒ සමග ම අනාවරණය විය. කෙසේවෙතත් මාධ්‍ය මගින් කතෝලික පල්ලියට එරෙහිව නරක ආකාරයේ ප්‍රතිරූපය කෙලෙසන පු`ඵල් ප්‍රචාරයක් ලබාදෙන බවට ද චෝදනා එල්ල කැරිණි. අනෙක් ආගම්වල ද මේවා සිදු නොවන්නේ නොවේ. එසේ නම් කතෝලික පල්ලියට පමණක් මෙලෙස චෝදනා එල්ල වන්නේ ඇයි? පිළිතුර සරලය. චෝදනාවක් එල්ල වූ විට එබඳු පූජකවරුන්ට ආවරණය සැපයීමයි ඒ. පල්ලියෙන් විනයානුකූල ක්‍රියාමාර්ග නොගැනේ. ඒ නිසා බය නැත.

1978 සිට 2001 දක්වා පාප් ධුරය හෙබැවූ දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේගේ සමයේ මේ චෝදනාව ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් උන්වහන්සේගේ කනස්සල්ල පළවිය. ඉලක්ක ගත නොවූ සමාවක් ඉල්ලා සිටින ලදි. නැවත 2005 සිට 2013 දක්වා කතෝලික සභාවේ අග්‍රේශයා වූ දහසය වන බෙනඩික් පාප් වහන්සේ මෙය පල්ලියට නින්දාවක් බව පැවසී ය. දැන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ වාරයයි.
මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රන්තයේ විශේෂ ජූරිසභාවක් මගින් මේ කාරණයට අදාළව විශේෂ විමර්ශනයක් පවත්වන ලදි. පසුගිය වසර 70ක පමණ කාලයක සිදුවීම් එම විමර්ශනයට පාදක විය. පසුගිය සතියේ එළිදුටු එම වාර්තාව අනුව එම ප්‍රාන්තයේ කතෝලික පූජකයන් 300ක් පමණ දෙනා විසින් එම කාලය තුළ බාලයන් දහසකට අධික පිරිසක් අපයෝජනය කරනු ලැබ තිබේ. වතිකානව උඩ ගොස් බිම වැටෙන්නේ ඒ වාර්තාව නිකුත් වීමත් සමග ය.

කතෝලික සභාවේ සුදොතුම් ප්‍රධානියා ලෙස මේ පිළිකුල්සහගත පුවත පාප් වහන්සේ බලවත් කම්පාවට පත් කළාට සැක නැත. උන් වහන්සේ පසුගිය සඳුදා වචන 2,000ට අධික ලිපියක් මගින් සමස්ත කතෝලික ලෝකයෙන් ම සමාව අයැද සිටියේ ඒ අනුව ය.

‘අදාළ සිද්ධිවලින් ජීවිත විශාල ගණනකට හානි සිදුව තිබේ. ඒවායේ ප්‍රබලත්වය සහ බරපතළකම දැන දැන ම නියම කාලය තුළ ඒවා ගැන ක්‍රියා කිරීමට අපොහොසත් වීම ආගමික ප්‍රජාවක් ලෙස අප නොසිටිය යුතු තත්ත්වයකි. එය අප පිළිගන්නේ සිත්තැවුලෙන් මෙන් ම ලජ්ජාවෙන් ද යුක්ත ව ය.

අපි කුඩා දරුවන් ඉවත දමා ඔවුන් නොසලකා හැර ඇත්තෙමු. පූජකයන් යනු අවදානම්සහගත පුද්ගලයන් ගැන සාවධාන විය යුතු මෙන් ම ඔවුන්ට උපකාර කළ යුතු එසේ කිරීම සඳහා දෙවියන් වහන්සේගේ වරම ලැබී ඇති පුද්ගලයන් ය. එබන්දන් විසින් ළමයින් විෂයයෙහි ලා සිදු කොට ඇති කෲර ක්‍රියා වටහාගන්නේත් හෙළා දකින්නේත් සංවේගයෙනි. එය අපගේ වගකීමයි. අපි අපගේ පව් මෙන් ම අන්‍යයන්ගේ ද පව් වෙනුවෙන් සමාව අයදිමු.’