ලංකාව දේශපාලන සුනාමියක් අභිමුව

ටී.එම්. ප්‍රේමවර්ධන

thamuprem@yahoo.com

 

සුනාමියක් ගැන සඳහන් කරන විට එකවරම අපේ මතකයට නැගෙන්නේ මහා ජීවිත හා දේපළ විනාශයකි. ඛේදවාචකයකි. සුනාමිය නිසා රටක් ලෙස අපට ගොඩනැගෙන්නට අවස්ථාවක් ද උදා වූ බව බොහෝ විට අපේ මතකයට නැගෙන්නේ නැත. සුනාමි රළ බැස යනවාත් සමග ම ජාතික හා ජාත්‍යන්තර සමාජය තුළින් මනුෂ්‍යත්වයේ රළ නැගී ආයේය. ඒ මනුෂ්‍යත්වයේ රළ පහර කෙතරම් ආනුභාවසම්පන්න වී ද යත්, සමාජයේ විවිධ ජනකොටස් අතර පැවති සියලු භේද යටපත් වී සියලු දේශපාලන නායකයින් පවා එකට එකතු කළේය. උතුරේ පැවති යුද්ධය නිසා දෙමළ ජනතාව සහ හමුදාව අතර පැවති සැකය හා බිය පවා ක්ෂණයෙන් පහව ගොස් ඔවුනොවුන් හදවතින් බැඳුණේය. එම තත්ත්වය සැලකිය යුතු කාලයක් යන තෙක් පැවතුණි.

එය සීමිත කාලයක් සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය. එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවක් මගින් වර්ග, කුල සහ ආගම් භේදයෙන් තොරව සියලු පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සහභාගි විය හැකි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කරගත හැකිව තිබුණි. ඉන් අනතුරුව දේශපාලන පක්ෂ, වෙන වෙනම මැතිවරණයකට ගොස් අලුතෙන් ඇති කර ගත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට අනුකූලව රට පාලනය කළ හැකිව තිබුණි. එහෙත් එවැනි දෙයක් කරන්නට තරම් දැක්මක් සහ වුවමනාවක් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ නායකයකුට තිබුණේ නැත. දේශපාලන පක්ෂ සහ නායකයන් එවැනි දේකට පෙළඹවීමට තරම් දැක්මක්, වුවමනාවක් හා ශක්තියක් ඇති ජනතා ව්‍යාපාරයක් ද තිබුණේ නැත.

දැන් ලංකාව අභිමුව ඇත්තේ මුළු රටම වෙලා ගැනීමට නියමිත දේශපාලන සුනාමියකි. එය ආර්ථික අර්බුදය නිසා හටගන්නා වැඩවර්ජන පැතිරයාමෙන් ඇතිවිය හැකිය. අධ්‍යාපන අර්බුදය නිසා හටගන්නා ශිෂ්‍ය උද්ඝෝෂණ අවස්ථාවකදී සිදුවන මරණයකින් එය ඇතිවිය හැකිය. අධිකරණ අර්බුදය නිසා හටගන්නා විවේචනවලට එරෙහිව ලබාදෙන නඩු තීන්දු නිසා එය ඇතිවිය හැකිය. අපරාධවලට සම්බන්ධ දේශපාලන හෝ හමුදා නායකයන්ට දඬුවම් කිරීමට දරන උත්සාහයක් නිසාද එය ඇතිවිය හැකිය. එසේත් නැතිනම් ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට ප්‍රකාශිත ඡන්දවලින් 50%ට වඩා ලබා ගැනීමට නොහැකි වීම නිසා හටගන්නා ව්‍යවස්ථාමය අර්බුදයක් තුළින් වුවද එය ඇතිවිය හැකිය. මෙම සංසිද්ධි එකක් හෝ කීපයක් නිසා ද දේශපාලන සුනාමියක් ඇති විය හැකිය.

ඵලය සහ හේතුව

ඇතිවිය හැකි දේශපාලන සුනාමියක් යනු දේශපාලන අර්ථයෙන් අරාජක තත්ත්වයකි. එය ඒකාධිපති පාලනයකටත් වඩා නරක තත්ත්වයකි. පොදු නීතියේ පාලනයක් නැති තත්ත්වයකි. එවැනි අරාජකත්වයක් ඇති වුවහොත් එමගින් ඇතිවිය හැකි විනාශයේ තරම මෙතෙකැයි සිතාගත නොහැකිය. එවැනි තත්ත්වයකින් ගොඩ ඒමට ගතවිය හැකි කාලය ගැන ද සිතා ගත නොහැකිය. අපේ රටට කඩා වැදුණු සුනාමිය ගැන කිසිවෙක් කල් තියා දැන සිටියේ නැත. එය දැන සිටියා නම් ලෝකයේ වෙනත් රටවල අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගෙන ජීවිත හානි මුළුමනින් වළකා ගැනීමට හෝ අවම කරගැනීමට ඕනෑතරම් හැකියාව තිබුණි.

ඒ ආකාරයෙන් ම අපේ රටේ ඇති වෙන්නට යන දේශපාලන සුනාමිය හෙවත් අරාජක තත්ත්වය කල් තියා දැකිය හැකි නම්, සිදුවිය හැකි හානි අවම කරගත හැකිය. එපමණක් නොව අරාජක තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු කල් ඇතිව හඳුනා ගත හැකිනම්, එම හේතු නැති කිරීම සඳහාද එය අවස්ථාවක් කරගත හැකිය. එමගින් ලංකාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමට අවැසි රාජ්‍ය පාලන ක්‍රමයක් බිහිකර ගත හැකිය. ඒ සඳහා අවැසි දැනුම ලබාගැනීමට අපට වඩා බොහෝ දියුණු රටවල් ඕනෑතරම් මිහිපිට තිබේ.

අපේ රටේ ඇතිවන්නට යන ආරාජකත්වයට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ වර්ග, කුල සහ ආගම් භේදයෙන් තොරව ඕනෑම පුරවැසියකුට රාජ්‍ය පාලනයේ ඕනෑම තනතුරකට පත්වීමට අවකාශය නොමැතිවීමයි. අඩුම තරමින් එවැනි අවකාශයක් ඇති බව පෙනෙන්නටවත් නොමැතිවීමයි. සිංහල-බෞද්ධ නොවන පුරවැසියකුට අපේ රටේ ජනාධිපති හෝ අගමැතිවීමට ඉඩක් නැතිවා පමණක් නොව එසේ වීමට හැකියාවත් තිබෙන බව පෙනෙන්නටවත් නැත. එහෙත් ඉන්දියාවේ ඕනෑම ජනවර්ගයකට, කුලයකට හෝ ආගමකට අයත් පුරවැසියකුට ජනාධිපති හෝ අගමැති විය හැකි බව යළි යළිත් තහවුරු වී තිබේ.

නැතුවම බැරි දේ

ලෝකයේ රටවල් දෙස බැලූ විට පෙනීයන්නේ වර්ග, කුල සහ ආගම් භේද නොතකා සියලු පුරවැසියන්ට රාජ්‍ය පාලනය සඳහා සම අවස්ථා ලබා නොදුන් කිසිදු රටකට සාමය හා සමෘද්ධිය අත්පත් කරගත නොහැකි බවයි. අවම වශයෙන් ඉන්දියාවට කළ හැකි වී තිබෙන දේ අපට කළ නොහැකි වී තිබෙන්නේ ඇයි? ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ජනතාව එක අතකින් ස්වදේශිකයන් අතට රාජ්‍ය පාලනය ලබා ගැනීම සඳහාත්, අනික් අතින් ඔවුන් අතර පැවති වර්ග, කුල හා ආගම් භේදවලට එරෙහිවත් එකවිට සාමකාමී ලෙසත්, නිර්මාණශීලී ලෙසත් සටන් කළේය. එමගින් ඉන්දියානු ජනතාව රාජ්‍ය පාලනයේදී දියුණු ජාතියක් ලෙස සිතන්නටත්, ක්‍රියාකරන්නටත් හුරු පුරුදු විය.

එහෙත් අපේ රටේ ජනතාව ස්වදේශීකයන් අතට පාලනය ලබාගැනීම සඳහා හෝ අපේ සමාජයේ පවතින වර්ග, කුල හා ආගම් බේදවලට එරෙහිව හෝ සාමකාමී ලෙසත්, නිර්මාණශීලී ලෙසත් සටන් කළ ඉතිහාසයක් අපට නැත. කෙසේ හෝ 1948 සිට අපේ රටේ ස්වදේශිකයන් අතට පාලන බලය ලැබී තිබේ. ඒ නිසා දැන් අපට බාහිර වශයෙන් පොදු සතුරෙක් නැත. අපේ පොදු සතුරා වන්නේ අපේ ම සමාජයේ පවතින වර්ග, කුල හා ආගම් භේදයයි. එය ජනතාව තුළ ඇතිවන අවබෝධය තුළින් පමණක් පරාජය කළ හැකි පොදු සතුරෙකි. එය හුදෙක් රාජ්‍ය පාලන බලය ලබාගැනීම පිළිබඳ සටනක් නොව, සමාජය වෙනස් කිරීම පිළිබඳ සටනකි. අන්තිමේදී දියුණු ජාතියක් ලෙස සිතන්නට පුළුවන් ලාංකේය සමාජක් ගොඩනගන අතර ඊට ගැළපෙන රාජ්‍ය පාලන ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා වන සටනකි.

බලාපොරොත්තුව

මා දකින ආකාරයට මෙම කාරණය පිළිබඳ නිරවුල් අදහසක් පුනරුදය ව්‍යාපාරයට තිබේ. ඒ නිසා පුනරුද ව්‍යාපාරය ගමින් ගමට ගොස් වර්ග, කුල හා ආගම් භේද නැති රාජ්‍ය පාලනයක් පිළිබඳ සිහින දකින දියුණු මිනිසුන් ඒකරාශි කරමින් සිටී. ඒ අතරම ඉදිරියේදී ඇති වෙන්නට යන දේශපාලන සුනාමිය පිළිබඳවද පුනරුදය ව්‍යාපාරයේ අවධානය යොමුවී තිබේ. එවැනි අවස්ථාවකදී විය හැකි හානි අවමකර ගැනීමටත්, දියුණු රාජ්‍ය පාලන ක්‍රමයක් ඇතිකර ගැනීමටත්, දේශපාලන පක්ෂ හා නායකයන් ඇතුළු සියලු ජන කොටස් පෙළඹවීමේ අරමුණ පෙරදැරිව ලක්ෂ සංඛ්‍යාත ජනතාව නියෝජනය කරන බහුවිධ මහජන සංවිධානවල බලමණ්ඩලයක් බිහිකිරීමටත් උත්සුක වී සිටී.

එවැනි මහජන බලමණ්ඩලයක් මගින් පළමුව ජන ජීවිතයට බලපාන සියලු ප්‍රශ්න කෙරෙහි අවධානය ඇතිව ප්‍රමුඛතා පදනමක් මත රාජ්‍ය පාලන ක්‍රමයේ ඇති කළයුතු වෙනස්කම් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි පුනරුදය ව්‍යාපාරය අපේක්ෂා කරයි. අනතුරුව එම වෙනස්කම් ක්‍රියාවට නගා ගැනීම සඳහා සාමකාමී හා නිර්මාණශීලී ලෙස ඉදිරිපත් වීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාව පෙළඹවීමට හැකිවනු ඇතැයි ද පුනරුදය ව්‍යාපාරය අපේක්ෂා කරයි. එය ගැලවුම්කාරයකුට හෝ එවැනි පක්ෂයකට රාජ්‍ය පාලනය බාරදීමේ ක්‍රමය වෙනුවට, ජනතාව සෘජුවම රාජ්‍ය පාලනයට සහභාගි වීමේ ක්‍රමයයි.

මේ වන විට මිනිසුන් වඩාත්ම සතුටින් ජීවත් වන, ස්කැන්ඩිනේවියානු රටවල් වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමෘද්ධිමත් රටවල රාජ්‍ය පාලකයන් හෝ පාලක පක්ෂ පවා කවුදැයි බොහෝ විට අප දන්නේ නැත. එසේ වන්නේ ඒ රටවල පාලකයන් සහ පක්ෂවලට වඩා ජනතාව බලවත් නිසාය. නිදසුන් වශයෙන් මන්ත්‍රීවරයකු නුසුදුසු යැයි කිසියම් ඡන්දදායකයන් සංඛ්‍යාවකට හැඟීයන අවස්ථාවක පෙත්සමක් ඉදිරිපත් කර එම මන්ත්‍රීවරයා ඉවත් කළ හැකිය. පුරවැසියකු තැපැල්පතක් මගින් ඉදිරිපත් කරන පැමිණිල්ලක් නිමිති කර ගෙන වුව නඩු විභාගයක් පවත්වා ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකිය. දියුණු රටවල ඇති එවැනි රාජ්‍ය පාලන ක්‍රම ගෙඩනගා ගැනීම සඳහා ජනතාව පෙළඹවීමට ඉහත කී බලමණ්ඩලය සමත් වනු ඇතැයි පුනරුදය ව්‍යාපාරය අපේක්ෂා කරයි.

අභියෝග පහක්

මෙහි දී පුනරුදය ව්‍යාපාරය මුහුණ දෙන ප්‍රධාන අභියෝග පහක් ඇත. පළමුවැන්න වර්ග, කුල හා ආගම් භේද පරාජය කිරීම සඳහා පෙරමුණ ගැනීමට සිංහල ජනතාව දිරිගැන්වීමයි. දෙවැන්න දියුණු මිනිසුන් හෝ මහජන සංවිධාන ඒකරාශි කිරීමේදී පෞද්ගලිකත්වයත්, සාමූහිකත්වයත් එකිනෙකින් යටපත් වීමට නොදී ආරක්ෂා කර ගැනීම සඳහා කැපවීමයි. තෙවැන්න විදේශ රටවලින් ලබාගන්නා ව්‍යාපෘති ආධාර මත හෝ කළු සල්ලි මත යැපෙන්නේ නැති, ජනතා පරිත්‍යාග මත පදනම්ව අරපිරිමැස්මෙන් වැඩ කරන සංස්කෘතියක් ගොඩනැගීමයි. සිව්වැන්න ඉදිරියේ දී ඇතිවිය හැකි දේශපාලන සුනාමියට පෙර ඊට මුහුණදීම සඳහා අප්‍රමාදව සූදානම් වීමට මහජන සංවිධාන එකමුතු කිරීමයි. පස්වැන්න සියලු කටයුතු සඳහා දියුණු ම තාක්ෂණය උපයෝගී කර ගැනීමයි.

මෙම අභියෝග ජය ගැනීම අනිවාර්ය වන බව මුලසිටම පුනරුදය ව්‍යාපාරය අවබෝධ කරගෙන සිටී. දැනට වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ ඉහත අභියෝග හමුවේ පුනරුදය ව්‍යාපාරය පරීක්ෂාවට භාජනය වෙමින් සිටී. නිදසුනක් වශයෙන් පුනරුදය ව්‍යාපාරයේ සාමාජිකයින්ගේ සාක්කුවලින් හා හිතවතුන්ගේ පරිත්‍යාගවලින් පමණක් එතරම් අපහසුවකින් තොරව තවමත් ඉදිරියට ගමන් කරමින් සිටී. ඒ අයුරින් එළැඹෙන අභියෝග අභියෝග ජයගැනීමට හැකියාව ඇති බවට පුනරුදය ව්‍යාපාරය විශ්වාසය පළ කරයි.

මෙකී පස්වැදෑරුම් අභියෝග තිරසාර ලෙස ජයගත හැකිනම්, ඇතිවන්නට යන දේශපාලන සුනාමිය ලංකාවට ආශිර්වාදයක් බවට පත් කරගත හැකිය. යම් හෙයකින් නුදුරු අනාගතයේ දේශපාලන සුනාමියක් ඇතිවූයේ නැතත්, එවැනි අනතුරක් අභියස ඊට මුහුණදීම සඳහා මෙසේ සූදානම්වීමෙන් කිසිවකුට හොඳක් මිස නරකක් සිදුවන්නේ නැත. කෙසේ වෙතත් පුනරුදය ව්‍යාපාරය අදහස් කරන ආකාරයට රාජ්‍ය පාලනයේදී වර්ග, කුල හා ආගම් භේද පිටුදැක, දියුණු ජාතියක් ලෙස සිතන්නටත්, ක්‍රියාකරන්නටත් පුළුවන් සමාජයක් ගොඩනගන්නේ නැතිව ලංකාවට අනාගතයක් නැති බව නම් ඉතා පැහැදිලිය.