සිහින සැබෑ කරගැනීමේ කලාව

ප්‍රභාෂ්වර

‘කාකි බුකිට්’ යනු සිංගප්පූරුවේ නැගෙනහිර පළාතේ පිහිටි කුඩා කාර්මික නගරයකි. ප්‍රකෝටිපති ඉන්දියානු ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වන 48 හැවිරිදි මානි මලයිචාමිගේ තීන්ත අලෙවි සැල සහ විදුලි භාණ්ඩ ව්‍යාපාරය පිහිටා තිබෙන්නේ කාකි බුකිට්හිය. කලක් තිස්සේ සිටි කුලී ගොඩනැගිලිවලින් ඉවත් වී, 2015 වසරේදී හෙතෙම තමන්ගේම කියා ව්‍යාපාරික නිවහනක් සිංගප්පූරු ඩොලර් 4,20,000කට (රුපියල් මිලියන 49කට) මිලදී ගත්තේය. වත්මනෙහි ඔහු පාවිච්චි කරන්නේ කෝටි ගණනක් වටිනා අලුත්ම අලුත් හැරියර් ජීප් රථයකි. මානිගේ වාර්ෂික ව්‍යාපාර ආදායම සිංගප්පූරු ඩොලර් මිලියන 2.6කි. එහෙත් මීට වසර 21කට පෙර, එනම් 1997දී මානි, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් තිරුපතුර් ගම්මානයේ සිට සිංගප්පූරුව බලා පැමිණියේ අතේ සතේ නැති නුපුහුණු ගොඩනැගිලි කම්කරුවකු ලෙසය. දිළිඳුබවේ පතුලේ සිට අද ඔහු ඉන්නා තැනට මානි පියනැගුවේ කෙසේද යන්න ගැන දැනගැනීමට මෙතැන් සිට අපි ඔහුගේ හඬට සවන් දෙමු.

කෘෂිකාර්මික ජීවනෝපාය

“අපේ මව්පියන් දෙදෙනා රැකියාව ලෙස කළේ වී ගොවිතැනයි. සහෝදර සහෝදරියන් 07 දෙනකුගෙන් යුතු පවුලේ බාලයා වුණේ මමයි. නියඟය නිසා ගොයම විනාශ වුණු හැමවිටකම අපේ තාත්තා පොලී මුදලාලිලාගේ ණයකරුවකු වුණා. කුඹුරු ටික සහ පදිංචි නිවස සින්නවීමට පෙර බේරාගත්තේ එළු පට්ටියෙන් ලබාගත් අමතර ආදායම නිසයි. එහෙත් අවුරුදු 17දී මට පාසල් ගමන නවත්වන්නට සිදුවුණේ ආර්ථික දුෂ්කරතා ඉහළ ගිය හින්දයි. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණු නිසා උසස් අධ්‍යාපනය හැදෑරීමේ බලවත් ආශාවක් මා තුළ තිබුණා. රැකියා නියුක්තිකයන් වූ ලොකුම අයියලා දෙන්නා මේ වකවානුවේදී විවාහ වුණා. ඒ සමගම එතෙක් ඔවුන් මාසය අගදී පවුලේ වියදමට දුන් මුදල අපට අහිමි වී ගියා. වැඩට කම්මැලි නැති මම වී වගාවට අමතරව එළවළු වගාවක්ද ආරම්භ කළ නමුත් යාන්තම් දවස ගෙවා ගැනීමට මිසක් ඉතිරියක් කරගැනීමට එම ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. ගොවිතැන් කළ නොහැකි නියං කාලයේදී මා චෙන්නායි නුවර පිහිටි කඩයක වෙළෙඳ සහායකයකු ලෙස වැඩ කළා. අකුරු බැරි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සාක්ෂරතාව උගැන්වීමේ රාත්‍රී පාසලක් ඉන්දියානු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චෙන්නායිහි ස්ථාපිත කර තිබුණා. රෑට එම පාසලේ උගන්වමින් මා අමතර ආදායමක් ඉපැයූවා. දෑවැද්ද අපේක්ෂා නොකළ යහපත් මිනිසෙක් මේ කාලයේදී අපේ ලොකු අක්කාව විවාහ කරගත්තා. එහෙත් අනෙක් සහෝදරියන් වෙනුවෙන් දෑවැද්ද එකතු කිරීමේ භාරදූර කාර්යය මගේ කර මත වැටුණා. මේ අතරතුරේදී ලොකු අක්කාගේ ස්වාමිපුරුෂයා නුපුහුණු ගොඩනැගිලි කම්කරුවකු ලෙස රැකියාවක් ලැබ සිංගප්පූරුවට ගියා. චෙන්නායි කඩයේ වෙළෙඳ සහායක ලෙස කටයුතු කරද්දී මා ඉතා උත්සාහයෙන් ඉංග්‍රීසි භාෂාව ටික ටික ප්‍රගුණ කළා. මට වයස විසිඅට පිරුණු දවසේ, ලොකු මස්සිනා ඔහු එකතු කළ මුදල්වලින් සිංගප්පූරු ඩොලර් 4000ක් චෙන්නායි ඒජන්සියකට ගෙව්වේ මාවත් එරටට ගෙන්නා ගැනීමේ අදහසිනුයි. ඒ අනුව, 1997දී මා සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටට පා තැබූ මොහොතේ එම රටේ පිරිසිදු බව හා ලස්සන දැක පුදුමයට පත්වුණා. සාමාන්‍ය කම්කරුවකු ලෙස කෙළින්ම වැඩ බිමකට අනුයුක්ත නොකොට, පින්තාරු වැඩ ඉගෙනීම සඳහා මැරයින් පැරේඞ්හි සමාගමකට අප භාරගත් හාම්පුතා විසින් මාව යැව්වේ මගේ ඉංග්‍රීසි භාෂා දැනුම හොඳ තත්ත්වයක පැවති නිසයි.

සිංගප්පූරු ජීවිතය

බුකිට් ටිමා ප්‍රදේශයේ මහල් ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමේ පේන්ට් වැඩ ඉගෙන ගන්නා අතර විදුලි කාර්මික, මේසන් සහ පයිප්ප වැඩද අවස්ථාවක් ලද හැමවිටම මා ගැඹුරින් හා ප්‍රායෝගිකව හැදෑරුවා. හාම්පුතා මගේ වැඩ ගැන හොඳින් පැහැදුණා. කාර්යාලයේම රෑට නිදා ගන්නට හා එතැනම උයා පිහාගෙන කන්නට මට ඔහු ඉඩ ලබා දුන්නේ ඉන් හොඳ ගාණක් ඉතිරි කරගැනීමේ හැකියාව උදාවන නිසයි. මම උදේ අටේ සිට රෑ හත වෙනතුරු මගේ සාමාන්‍ය වැඩ මුරයේ නිරත වුණා පමණක් නොවෙයි, ඉන්පසු රාත්‍රී 10.00 තෙක් සතියේ දවස් හතේම අතිකාල වැඩ කළා. ඕවර්ටයිම් නොමැති දිනවල පමණක් සෙරන්ගුන් වෙත ගොස් මගේ මස්සිනා ඇතුළු අපේ තිරුපතුර් ගමේ හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදීමට මා ක්‍රියා කළා. එකල මගේ මාසික වැටුප සිංගප්පූරු ඩොලර් 600ක් පමණ වුණා. මහන්සි වී අතිකාල දීමනාද ලබාගත් නිසා හරියටම වසරක් ගතවුණු තැන එනම් 1998දී මට මගේ මස්සිනාගෙන් ණයට ගත් සිංගප්පූරු ඩොලර් 4000, ආපසු පියවීමට හැකිවුණා. ඒ අතරතුර ඕචඞ් පාරේ පිහිටි ඉංග්‍රීසි පන්තිවලට හැකි හැමවිටම සහභාගි වී මගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කරගැනීමට මා කටයුතු කළා. 2001 වසරේදී, එනම් මට වයස අවුරුදු තිස්දෙක පිරුණු අවස්ථාවේ නිවාඩු අරගෙන මම ඉන්දියාව බලා ගියේ විවාහයක් කරගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි. මේ වනවිට මා යැවූ මුදල්වලින් ගේ දොර, හොඳින් හදාගෙන සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගැනීමට අපේ මවට හා පියාට පුළුවන් වී තිබුණා. ඉන්දියාවේ අලහප්පා විශ්වවිද්‍යාලයෙන් වාණිජ විද්‍යා ශාස්ත්‍රපති උපාධියක් දිනූ ගුරුවරියක්, විවාහ යෝජනාවක් හරහා කරකාර බැඳීමට මට පුළුවන් වුණේ මේ නිසයි. විවාහයෙන් වසරකට පසුව, අපේ පළමු දරුවා පිළිසිඳගත් අවස්ථාවේ මගේ බිරිඳ මමති සිය ගුරු වෘත්තියට සමු දුන්නා. මටම කියා වෙන නිවසක් හැදීමටත්, මගේ අවිවාහක සොයුරියන්ගේ දෑවැද්ද රැස්කිරීමටත් මගේ වැටුප ප්‍රමාණවත් නොවන වග හැඟුණු නිසා මම මගේ මුල්ම රැකියාවෙන් ඉවත් වී හෙඞ්බාස් කෙනකු ලෙස සිංගප්පූරුවේ ඒ.ටී.සී. පේන්ට් සමාගමට බැඳුණා.

දියුණුවේ මාවත

හොඳ වැටුපක් සමග පින්තාරු කිරීමේ හෙඞ් බාස් තනතුර හිමිවුවද, රාජකාරියට අවතීර්ණ වූ විට එතැනට අවශ්‍ය හැම වැඬේම ඉෂ්ට සිද්ධ කිරීමට මා පෙළැඹුණා. රියදුරු නැති විට ලොරිය පැදවීම, ගනුදෙනුකරුවන්ගෙන් චෙක් එකතු කිරීම, කාර්යාලයේ ෆයිලින් වැඩ, කම්කරුවන්ගේ වැටුප් ගෙවීම, ඇවැසි වූ විටෙක කම්කරු වැඩ පවා කිරීම මා අතින් සිදුවුණා. අප සමාගමේ හිමිකරු වන ඇන්ග් ආ ටෙන්ග් මහතා මගේ වැඩ ගැන පැහැදී සුපර්වයිසර් තනතුරක් වසරක් නික්ම යාමට පෙර මාහට පිරිනැමුවා. ඒ.ටී.සී. සමාගමේ කාමරයක් ටෙන්ග් මහතා මට වෙන්කර දුන්නේ මා රාත්‍රී කාලයට පාඩම් කරන වග ඔහු දන්නා නිසයි. මේ අතරතුර සිංගප්පූරුවේ ගොඩනැගිලි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් මෙහෙයවන සියලුම පාඨමාලා හදාරා සිවිල් ඉංජිනේරුවකු වෙත පිරිනැමෙන උසස්ම සහතිකය දිනාගන්නට මා සමත් වුණා. වැඩබිමේ ආරක්ෂාව පිළිබඳ වන ත්‍රෛමාසික පාඨමාලාව හදාරා ‘Safety Officer’  සහතිකයද මා ලබා ගත්තා. 2005දී මා මගේ බිරිඳ හා ලොකු පුතා සිංගප්පූරුවට ගෙන්වා ගත්තේ මට එහි ස්ථිර නේවාසික සහතිකය ලැබුණු නිසයි. 2010දී මගේ දෙවැනි පුතා සිංගප්පූරුවේදී උපත ලබන විට මා කාමර 03ක මහල් නිවාසයක හිමිකරුවකුව සිටියා. 2010දී මගේ හාම්පුතු ඇන්ග් ආ ටෙන්ගේ ආශිර්වාදය ඇතිව මා මගේම පේන්ට් ව්‍යාපාරයක් ආරම්භ කළා.”

ව්‍යාපාරය පුළුල් වීම

සිංගප්පූරු ඩොලර් දහදාහකින් සහ සේවකයන් දෙදෙනකුගෙන් ආරම්භ කළ මානි මලයිචාමිගේ පේන්ට් ව්‍යාපාරය තුළ අද සිංගප්පූරු ජාතිකයන් 10ක්ද, ඉන්දියානුවන් 16ක්ද, රැකියාව කරති. තීන්ත විකිණීමට අමතරව ගොඩනැගිලි ආලේප කිරීම හා වයරින් කිරීමද මානි විසින් සිදු කරනු ලබයි. හැම වසරකම, මානි තම සේවකයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විදෙස් සංචාරයක් සඳහා සිය සමාගමේ වියදමෙන් ගෙන යයි. සේවකයන්ට සහෝදරයන්ට මෙන් සැලකීමේ වටිනා පාඩම තමාට කියා දුන්නේ සිය හාම්පුතු වන ටෙන්ග් මහතා වග මානි අවධාරණය කරයි. 2017 අප්‍රේල් මාසයේ මානි මලයිචාමි සිය පවුල සමග ඔහු අලුතෙන් මිලදී ගත් පසිර් රිස්හි ඩොලර් මිලියන 1.2ක් වටිනා අධි සුඛෝපභෝගී මහල් නිවසේ පදිංචියට ගියේය. ගොඩනැගිලි කාර්මික ශිල්පියකු ලෙස වැඩ කළ මුල් අවදියේ ඔහු ඉන්දියාවට ගියේ වසර 05කට වරක් පමණි. නිවාඩු ගැනීමට ඔහු අදිමදි කළේ රැකියාව අහිමි වේ යැයි යන බියෙනි. ගොවිතැනින් පාඩුවූ අවධියක මානිගේ පියා ශ්‍රී ලංකාවට පැමිණ වතු කම්කරුවකු ලෙස සේවය කොට තිබේ. වරෙක දිග නිවාඩුවක් ගෙන මව්බිම බලා ගිය අවස්ථාවේ ශ්‍රී ලාංකික හාම්පුතා පියාගේ රැකියාව අහිමි කළේය. තමා නිවාඩු නොගෙන වැඩ කළේ මේ බිය නිසා වග මානි පවසයි. වෙහෙස නොබලා වැඩ කරන අතරතුර ගොඩනැගිලි ක්ෂේත්‍රයට අවශ්‍ය උසස් අධ්‍යාපන සුදුසුකම්ද සපුරා ගත් හෙයින් තමාට සිංගප්පූරුවේදී බිලියනපතියකු වීමට හැකිවුණු වග හෙතෙම නිහතමානීව කියයි.

ලංකාවේ තත්ත්වය

2017 වසරේදී උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 252,483ක් පෙනී සිටි අතර මේ අය අතරින් සරසවි වරම් ලබනු ඇත්තේ 28,000ක් වැනි පිරිසක් පමණි. ඒ අනුව, සිසුන් 225,483ක් එතැනින් හැලෙති. දහය වසර සමත් සිසුන් වයස අවුරුදු 17දී වෘත්තීය පුහුණු අධිකාරිය මගින් මෙහෙයවන ගොඩනැගිලි කාර්මික ශිල්පී නම් දින එකසිය විස්සේ වෘත්තීය පුහුණුවට යොමු කළහොත් ඒ අයට NVQ 03 සහතිකය ලබාගත හැකිය. ගොඩනැගිලි ක්ෂේත්‍රයට අදාළ ඉංග්‍රීසි දැනුම ලබාගතහොත් මොවුන්ට NVQ 07 හෙවත් සිවිල් ඉංජිනේරු උපාධිය දිනාගැනීමේ අවස්ථාව හිමිවෙයි. 2018 ජනවාරි සිට ජූලි දක්වා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පනස් දෙනෙක් තම සමාගමේ ස්ථිර සේවය සඳහා රු. 35,000/-ක මූලික වැටුපකට බඳවා ගැනීමට ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයතනයක් මේ ලියුම්කරුගේ මැදිහත්වීම හරහා ඉදිරිපත් වුවද, අගෝස්තු 01 දින පත්වීම් ගැනීමට පැමිණ සිටියේ හත්දෙනකු පමණි. ඉඳුම් හිටුම් පහසුකම්, නිල ඇඳුම් සහ තුන්වේලම රුපියල් 210/-ක් වැනි මුදලකට සමාගම මගින් සැපයෙන අතර පැයක අතිකාල දීමනාව රුපියල් 240/-කි. පැයක් අතිකාල කිරීමෙන් පමණක් වුව වේල් තුනේ වියදම පියවා ගත හැකිය. සමාගමේ ස්ථිර සේවයට නොපැමිණි කිහිපදෙනකු කියා සිටියේ මේසන්ලා ලෙස සිය ඥාතියකු සමග වැඩ කොට රුපියල් 2000/-ක් දෛනිකව ඉපැයිය හැකි බවයි. එම දෙදාහ, එදාම වියදම් වී යන බවත්, ඉතුරුමක් ලෙස නොරැඳෙන බවත් මේ අයට නොවැටහේ. අනෙක් අතට, ගෙවල් හැදීමේ කොන්ත්‍රාත්තු වසර පුරාම පවතින්නේ නැත. ඉදිකිරීම් සමාගම තුළ ස්ථිර රැකියාවේ නියැලෙන අයට අතිකාලද සහිතව මසකට රුපියල් 50,000/-ක් පමණ ඉතිරි කරගත හැකිය. ඉතිරි NVQ සුදුසුකම් ලබාගැනීම සඳහා නිවාඩුද අයදුම් කළ හැකිය. ඊට අමතරව කණ්ඩායම් නායක, වැඩ මූලික හා සිවිල් ඉංජිනේරු දක්වා උසස්වීම්ද ලබාගත හැකිවේ. මානි මලයිචාමිලා වැනි ශ්‍රේෂ්ඨයන් ලංකාව තුළ බිහිනොවන්නේ මේ රටේ නායකයන් ඇතුළු සියල්ලට එදාවේල සරිකර ගැනීමෙන් ඔබ්බට දිවෙන දිගු දැක්මක් නොමැති හෙයිනි.