රාවය

ප්‍රකාශන නිදහස වෙනුවෙන් සිරගතව සිටින බංගලාදේශයේ ෂහිදුල් අලාම්

ප්‍රකාශන නිදහස වෙනුවෙන් සිරගතව සිටින බංගලාදේශයේ ෂහිදුල් අලාම්

නාලක ගුණවර්ධන 

ravaya@nalaka.org

අපරිණත ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින අපේ වැනි රටවල රාජ්‍යය බෙහෙවින් බලගතුයි. පුරවැසි අයිතීන් අනිසි ලෙස සීමා කරන්නට, ප්‍රකාශන නිදහස මර්දනය කරන්නට නීතිය හා අධිකරණ ක්‍රියාදාමයන් බලයේ සිටින දේශපාලකයන් විසින් අවභාවිත කිරීම බහුලව දැකිය හැකියි.

මේ දිනවල බංග්ලාදේශ් රටේ ආණ්ඩුව මෙවැනි දැඩි මර්දනයක යෙදී සිටිනවා. මාර්ග නීති හරිහැටි ක්‍රියාත්මක කොට මාර්ග අනතුරු අවම කර ගන්නට යැයි කියා ජූලි මාසයේ අගදී සාමකාමී ලෙස උද්ඝෝෂණ කළ එරට සිසුන් පොලිසිය හා මැර පිරිස් යොදවා දරුණු ලෙස ප්‍රහාර වලට ලක් කෙරුණා.

මේ මානව හිමිකම් කඩ කිරීම් එළිපිටම සිදු වෙද්දී එයට එරෙහිව ජාත්‍යන්තර මාධ්‍යවලට අදහස් දැක්වූ ආචාර්ය ෂහිදුල් අලාම් (Dr. Shahidul Alam) 

නම් එරට ප්‍රවීණතම හා ලොව පිළිගත් ඡායාරූප මාධ්‍යවේදියා 2018 අගෝස්තු 5 වනදා හදිසියේ අත් අඩංගුවට ගැණුනා.

දින කිහිපයකට පසුව උසාවියට ඉදිරිපත් කරනු ලැබූ විට ඔහුට එරෙහි පොලිස් චෝදනාව වූයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා රට අපකීර්තියට පත් වන ආකාරයේ ප්‍රකාශ කිරීමයි! පරීක්ෂණ අවසන් වන තුරු සැප්තැම්බර් 11 දක්වා ඔහු බන්ධනාගාර ගත කොට තිබෙනවා.

ෂහිදුල්ට චෝදනා නගා ඇත්තේ එරට තොරතුරු තාක්ෂණය (ICT) 

නීතිය යටතේයි. මේ නීතිය ගෝලීය වශයෙන් පිළිගත් මානව අයිතීන්ට හා ප්‍රකාශන නිදහසට එරෙහිව යන බව නීතිවේදීන්ගේ මතයයි.

එහෙත් බංග්ලාදේශ් රජයේ විවේචකයින්, නිදහස් මතධාරීන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බිය වැද්දීමට, මර්දනයට හා හිරිහැර කිරීමට මේ නීතිය නිතර යොදා ගන්නවා.

ෂහිදුල් අලාම් ප්‍රමුඛව අත් අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය නායකයින් හා සෙසු සමාජ ක්‍රියාකාරිකයන් වහාම නිදහස් කරන ලෙස ලොව නන් දෙසින් නාමධාරී පුද්ගලයන් හා ආයතන රැසක්ම ඉල්ලා තිබෙනවා. මේ අතර නොබෙල් ත්‍යාගලාභීන්, ලොව ඉහළම පෙළේ මාධ්‍ය කතුවරුන්, නැෂනල් ජියොග්‍රැෆික් ඇතුළු ඡායාරූප ශිල්පී සංවිධාන සිටිනවා.

ෂහිදුල් 1997 සිට මගේ මිතුරෙක්. විවිධ දකුණු ආසියානු සහයෝගිතා ක්‍රියාකාරකම්වලදී අප විටින් විට මුණ ගැසෙනවා. තමන්ගේ රටේ සක්‍රීය වන අතරම කලාපීයව පොදු වැඩට හා මාධ්‍ය කටයුතුවලට දායක වීම ඔහු බොහෝ කලෙක සිට කරන දෙයක්.

1955දී :එවකට නැගෙනහිර පාකිස්තානය ලෙස හැඳින්වුණු* වත්මන් බංග්ලාදේශයේ උපන් ෂහිදුල් අලාම්, ඩකා සරසවියේත් ලන්ඩන් සරසවියේත් උගත්තා. ඔහු ලන්ඩනයේ ආචාර්ය උපාධිය සඳහා රසායන විද්‍යාව හැදෑරුවා. එහිදී ඡායාරූප ශිල්පයට සිත ගිය ඔහු විද්‍යාඥයකු වනු වෙනුවට සේයා මාධ්‍යවේදියක (photojournalist) 

වුණා.

පසුගිය 30 වසර තුළ ඔහු ගත් ඡායාරූප බටහිර ලෝකයේ හා ආසියාවේ සියලුම ප්‍රධාන පුවත්පත් හා සඟරාවල පළ වී තිබෙනවා. එසේම ඔහු නෙල්සන් මැන්ඩෙලා, මහතීර් මොහොමඞ්, නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඞ් යූනුස් වැනි දැවැන්තයන් ගැන ඡායාරූප මාලාවන් ගන්නට සමත් වුණා.

ඔහු ඩකා නුවර DRIK 

නම් ඡායාරූප ඒජන්සිය අරඹා පවත්වාගෙන යනවා.

ෂහිදුල් අලාම් ලෝකයේ දක්‍ෂතම සේයා මාධ්‍යවේදියකු වනවාට අමතරව අභීත හා අදීන සමාජ ක්‍රියාකාරිකයකු ද වනවා. ඔහු අයුක්තියට හා අසාධාරණයට එරෙහිව සිය කැමරාව මෙන්ම ලේඛන හැකියාවද සියුම් ලෙස යොදා ගන්නවා.

ඩිජිටල් තාක්‍ෂණයන්ගේ සමාජ පරිවර්තන විභවය කල් තබා හඳුනා ගත් ඔහු බංග්ලාදේශයේ පුරෝගාමී ඉන්ටර්නෙට් සේවයක් හඳුන්වා දුන්නා. ඒ 1990 දශකයේ. එසේම ඩිජිටල් ඡායාරූපකරණය, වීඩියෝකරණය හා සමාජ මාධ්‍ය භාවිතය සමාජයේ පොදු උන්නතියට භාවිත කිරීමට ඔහු සිය රටේ මාධ්‍යවේදීන් විශාල ගණනක් පුහුණු කොට තිබෙනවා.

නමුත් ඔහු ගැජට් පිස්සෙක් නොවෙයි. බොහෝ වෙනත් ඡායාරූප ශිල්පීන් අධි වියදම් සහගත අලුත්ම කැමරා හා මෙවලම් හඹා යද්දී ෂහිදුල් සංචාරයේ යෙදෙන්නේ මධ්‍යම පරිමාණයේ සූක්ෂ්ම කැමරා දෙක තුනකින් සන්නද්ධවයි.

යාන්ත්‍රික කැමරාවට වඩා ඡායාරූපයක් හසු කර ගන්නට පදනම් වන චින්තනය හා දෘෂ්ටිමය හැකියාව අති වැදගත්. මේ පුළුල් දැක්ම හා අවබෝධය සමග ඡායාරූප ගන්නටත්, ඒ හරහා තමන් අවට පොදු අවකාශයේ සිදුවීම් පිළිබඳව සාක්ෂි දරන්නටත් (to bear witness to events) ෂහිදුල් සිය ඉගැන්වීම් හා පුහුණු කිරීම් හරහා විස්තරාත්මකව කියා දෙනවා. මේ සඳහා 1998දී ඔහු ඩකා නුවර ඇරැඹූ පාත්ශාලා (Pathshala)  

ඇකඩමිය, දකුණු ආසියාවේ ප්‍රමුඛතම දෘශ්‍ය කලා – ඡායාරූප අධ්‍යයන ආයතනයන්ගෙන් එකක්.

මට වැටහෙන විදියට නම් දෙයාකාරයක වෘත්තීය සේයා මාධ්‍යවේදීන් සිටිනවා.

පළමුවන කාණ්ඩය අයත් වන්නේ ඒකායන අරමුණින්, ප්‍රබල කතාන්දර වචනවලින් තොරව කියන ඡායාරූප ගැනීමට කැප වූ අයයි. මොවුන් වීදි උද්ඝෝෂණ, මහා පරිමාණයේ ආපදා, කෝලහල මෙන්ම යුද්ධ සිදුවන තැන්වලට නොබියව යනවා. ජීවිත අවදානම පවා නොතකා ඡායාරූප ගන්නවා.

එහෙත් තමන් ආවරණය කරන සිදුවීම හෝ ඛේදවාචකය ගැන භාවාත්මක (emotional)  

බැඳීමක් ඔවුන්ට නැහැ. කැමරාවට හසු වන ළමයින්, ගැහැනුන් හා මිනිසුන් ගැන පෞද්ගලිකව ළබැඳියාවක් ද නැහැ. මෙවන් සේයා මාධ්‍යවෙදීන් ලොව පුරා මෙන්ම අපේ රටෙත් සිටිනවා.

දෙවන කාණ්ඩයට වැටෙන ඡායාරූප මාධ්‍යවේදීන් පළමු පිරිස තරම්ම වෘත්තීය භාවයක් හා කැපවීමක් තිබෙන අතර ඔවුන් ඉන් ඔබ්බටද යනවා. තමන් ආවරණය කරන සිදුවීම්වල මානුෂික ඛේදවාචකයන්, දේශපාලන මානයන් ගැන ඔවුන් බෙහෙවින් සංවේදී වනවා. ක්ෂේත්‍රයේදී තමන්ට මුණගැසෙන අය ගැන මානව දයාවක් හා තෙතමනයක් තිබෙනවා.

සංඛ්‍යාවත්මකව සුළුතරයක් වන මේ සේයා මාධ්‍යවේදීන් දුක, සතුට, කම්පනය, උද්දාමය වැනි හැඟීම්වලට මතු වන්නට ඉඩ දෙනවා. හොඳ ඡායාරූප ගන්නා අතරම මේ අය හොඳ මනුෂ්‍යයන් ද වනවා.

ෂහිදුල් අලාම් මේ දෙවැනි කාණ්ඩයට අයිතියි. ඔහු විශිෂ්ඨ ගණයේ ඡායාරූප ගන්නවාට අමතරව ඉතා හොඳ හදවතක් ඇති මිනිසකු ද වනවා. දුප්පත්කම, කුල පීඩනය, නූගත්කම, රෝග හෝ ආබාධ සහිත වීම ආදී සාධක නිසා පීඩාවට පත් අහිංසක ජනයා වෙනුවෙන් ඡායාරූප මාධ්‍යය හරහා හඬක් නැගීම ෂහිදුල් බොහෝ කලෙක සිට කරනවා. ඔහු ඒ සඳහා තම රටේත්, වෙනත් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවලත් බෙහෙවින් සංචාරය කරනවා.

තම වෘත්තීය ජීවිතය ගැන පැහැදිලි දැක්මක් ෂහිදුල්ට තිබෙනවා. වරක් ඔහු ලියූ පරිදි, “මා ඡායාරූප ශිල්පයට පිවිසියේ අහම්බෙන් වුවත් පසුව මා වෘත්තීය ඡායාරූප ශිල්පියකු වූයේ ඉතා හොඳින් ඒ ගැන සිතා බැලීමෙන් පසුවයි. ඡායාරූපවලින් මානව සන්තානයට කළ හැකි ප්‍රබල බලපෑම තේරුම් ගත් පසු, එය සමාජයීය හා පොදු යහපතට යොදා ගන්නට මට ඕනෑ වුණා. හොඳට සිතා බලා, සංවේදීව ගත් ඡායාරූපයකට එය දකින ලක්ෂ ගණනක් ජනයාගේ හැඟීම් පුබුදු වන්නට හැකියි. ඡායාරූප යනු විශ්ව සන්නිවේදන මාධ්‍යයක්. භාෂාවේ සීමාවන් ඉක්මවා යන එය සාමාන්‍ය ජනයා ඇමතීමට හා ඔවුන් සමඟ සංවාද අරඹන්නට හොඳ ප්‍රවේශයක්.

“හොඳ ඡායාරූපයකට ප්‍රේක්‍ෂකයන් සිනහ ගැස්වීමට හෝ හැඬවීමට හැකියි. විශිෂ්ට ගණයට පත් වන ඇතැම් ඡායාරූප (iconic photos)  

ජන සන්තානයේ දිගු කලක් රැඳී පවතිනවා. ආපදාවන්, දේශපාලන කැළඹීම්, ජනකාන්ත නායකයන් ආදිය ගැන ජන මතකය තීව්‍ර කරනුයේ සංකේතාත්මක ඡායාරූප කිහිපයක් විසින්. මේ ඉමහත් බලය පොදු යහපතට පමණක් යොදා ගැනීම සේයා මාධ්‍යවේදීන්ගේ භාරදූර වගකීමයි.”

ෂහිදුල් ඡායාරූප ශිල්පය ගැන වෘත්තීය මට්ටමින් පමණක් නොව, මානව හිතවාදී මට්ටමින් බලන්නට සමත්. ඕනෑම ඡායාරූපයක තාක්ෂණික හෝ ශිල්පීය ගුණාංගයක් ඉක්මවා යන කතාන්දරයක් තිබෙන බවත්, අප වැඩි අවධානය යොමු කළ යුත්තේ එම කතාවට බවත් ඔහු කියනවා.

19 වන සියවසේ හා 20 වන සියවස මුලදී ප්‍රභූන්ට පමණක් සීමා වූ ඡායාරූප ශිල්පය, තාක්ෂණයේ ප්‍රගමනයත් සමග සාමාන්‍ය ජනයාටත් ප්‍රවේශ වීමට හැකි පොදු ජන මාධ්‍යයක් බවට කෙමෙන් පත්වුණා. මේ සංසිද්ධිය අධිවේගී ලෙස ව්‍යාප්ත වුණේ ඩිජිටල් කැමරා හා කැමරා සවිකළ ස්මාර්ට් ෆෝන් ප්‍රචලිත වීමත් සමගයි.

ෂහිදුල් ඡායාරූප දකින්නේ මතකයන් යම් තරමකට හසු කර ගැනීමට ගන්නා උත්සාහයක් ලෙසයි. 2007දී ඔහු ලියූ ලිපියක කී පරිදි “ආපදාවකින් හානියට පත් නිවෙස්වලට ආපසු එන නිවැසියන් බොහෝ දෙනකු මුලින්ම සොයන්නේ පවුලේ ඡායාරූපවලට කුමක් සිදු වී ඇත්ද යන්නයි. ආපදාවට පෙර පැවති ජීවිතය පිළිබඳව මතකයන් යම් තරමකට හෝ මතු කර ගන්නට ඡායාරූප ඔවුන්ට උපකාර වනවා. ආපදාවේදී පවුලේ සමීපතමයකු මිය ගියා නම් ඔහු හෝ ඇය ගැන ස්මරණයන් ගොඩ නැගෙන්නේ ද ඉතිරිව ඇති ඡායාරූප හරහායි. මෙය ඉතා සංවේදී අවස්ථාවක්.”

ෂහිදුල් ශ්‍රී ලංකාවේත් හොඳ මිතුරෙක්. දශක දෙකක පමණ කාලයක් තිස්සේ ඔහු විටින් විට මෙරටට එනවා. අපේ රටේ ජන ජීවිතය හා සමාජ ක්‍රියාකාරීත්වය ගැන විශිෂ්ඨ ගණයේ ඡායාරූප රැසක් ගෙන තිබෙනවා. මෙරට ඡායාරූප ශිල්පීන් ගණනාවක් ඔහුගේ පුහුණු කිරීම්වලට සහභාගී විී තිබෙනවා.

2004 දෙසැම්බර් 26 වනදා මහා සුනාමියෙන් දින තුනක් ඇතුළත ඔහු සිය වියදමින් ශ්‍රී ලංකාවට ආවා. මුලින් ඔහුට ඕනෑ වුණේ සුනාමි සහන සේවාවලට සිය ශ්‍රමයෙන් උදව් කරන්න. ඒත් එයට ඇති තරම් දෙනා ලොව නන් දෙසින් එන බව දුටු ඔහු ඒ වෙනුවට ඛේදවාචකයේ මානුෂික පැතිකඩ ඡායාරූප ගත කිරිමට තීරණය කළා.

ඒ ගැන ඔහුගේම ආවර්ජනයක් (පරිවර්තනය මගෙන්) “සුනාමි විපත ආවරණයට ලංකාවට ආ ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයෝ එය ප්‍රවෘත්තිමය වශයෙන් වාර්තා කරමින් හා විශාල ලෙසින් රූප ගනිමින් සිටියා. සුනාමියෙන් විනාශයට පත් සෑම දෙනා ගැන මගේ හදවත හඬා වැලපුනත් එම ඛේදවාචකයෙන් (නිදහස් සේයා මාධ්‍යවේදියකු ලෙස) විකුණා ගත හැකි ආකාරයේ ත්‍රාසජනක ඡායාරූප ගන්නට මට ඕනෑ වුණේ නැහැ. ඒ වෙනුවට මා සුනාමියෙන් බැට කෑ ලාංකික වෙරළබඩ ප්‍රදේශවල සංචාරය කරමින් පණ බේරා ගත් ජනයාගේ කම්පනය, දුක හා ධෛර්යවන්ත ලෙසින් ඔවුන් හිස ඔසවන්න තැත් කරන සැටි ඡායාරූප ගත කළා. මෙතරම් විනාශයක් වී තිබියදීත් මට හමු වූ ලාංකිකයන්ගේ ප්‍රත්‍යස්ථිතිය (resilience) 

මා මවිත කළා.”

එදා මෙදා තුර ලොව වැඩිම ජීවිත ගණනක් බිලිගත් මහා දුම්රිය අනතුර සිදු වූ තෙල්වත්තට ආසන්නව ෂහිදුල් සුනාමි රළ පහරින් දිවි බේරා ගත් ශානිකා නම් දැරියක් හා ඇගේ පියා ප්‍රියන්ත සමග මිතුරු වුණා. සුනාමිය නිසා සිය සහෝදරියන් හා මව අහිමි වීම නිසා මහත් බියට හා කම්පාවට පත්ව සිටින ශානිකා, ටිකෙන් ටික මේ මිත්‍රශීලී විදේශිකයා සමග කතා කරන්නට පටන් ගන්නවා.

‘මගේ ඩිජිටල් කැමරාව අපේ සන්නිවේදන මාධ්‍ය වුණා. අපි අනෙකාගේ බස කතා නොකළත් මා ඇයගේත්, ඇය මගේත් ඡායාරූප ගැනීම හරහා අප සමීප වුණා. ඇය මුහුද ගැන මහත් බියෙන් සිටියේ. මුහුද අසලටවත් නොයන ලෙස ඇය මට ආයාචනා කළා.’ ෂහිදුල් ආවර්ජනය කළා.

මේ හමුව හරහා ශානිකා දැරිය හා ෂහිදුල් අතර හට ගත් මිතුදම යම් කලක් පැවතියා. ඇය විටින් විට ඔහුට ලිපි ලියුවා. විවිධ වෘත්තිමය කටයුතු වලට මෙරටට යළි ආ විටෙක ඉඩ ඇති පරිදි ෂහිදුල් ඇය බලන්නට ගියා.

“සුනාමියෙන් විනාශ වූ දුම්රිය හා ගේදොර රැසක් මා දුටුවා. මළ මිනී කුණු වන දුගඳ මා අත් වින්දා. එහෙත් එම සතියේ මගේ හොඳම මතකයන් ඒවා නොවෙයි. අවතැන් වූවන්ට තාවකාලිකව සෙවන දුන් කඳවුරකදී දරුවකුට උපත දුන් තරුණ මවක් සිය දරුවා සිප ගත් සැටි. හික්කඩුවේ විනාශ වූ නිවෙසක සුන්බුන් අතරින් පවුලේ ඡායාරූප ඇල්බමය සොයා ගත් විට පණ බේරා ගත් සුනාමි වින්දිතයන්ගේ මතක අවදි වූ සැටි. මාතර දේවස්ථානයකට රැස් වී මහත් වේදනා මැද අවතැන්වූවන් රැසක් යාඥා කළ සැටි. මේවා තමයි මගේ වඩාත්ම තීව්‍ර මතකයන්.”

2007දී ඔහු යළිත් මෙරට සංචාරය කරමින් HIV  ආසාදනය සම්බන්ධයෙන් සක්‍රිය ලංකික සමාජ ක්‍රියාකාරිකයන් ගණනාවක් ඡායාරූප ගත කළා. ඒ  UNAIDS සංවිධානය සැළසුම් කළ ගෝලීය පොතකට දකුණු අසියාතික HIV 

ක්‍රියාකාරිකයන් හසු කර ගැනීම ඔහුට බාර දී තිබූ නිසා.

ශ්‍රී ලංකාවෙන් ඔහු වෛi වින්යා ආරියරත්න, වෛi ආනන්ද විජේවික්‍රම, සමාජ සේවක සැලී හුලුගල්ල හා HIV 

සමග ජීවත් වන ප්‍රින්සි මංගලිකා වැනි චරිත කිහිපයක් ඡායාරූප ගත කළා.

එපමණක් නොවෙයි, මේ ඡායාරූප ප්‍රදර්ශනයක්ද 2007 අගෝස්තුවේ කොළඹ සංවිධානය කළා. විශාල කළ ඡායාරූප ත්‍රී රෝද රථවල දෙපස එල්ලා අසාමාන්‍ය ප්‍රදර්ශනයක් ලෙස ඒවාට වීදි සන්චාරය කරන්න සැළැස්වූවා.

ඡායාරූප ගැලරි හා කලාගාරවලට සීමා නොකොට සාමාන්‍ය ජනයා ගැවසෙන තැන්වලට ගෙන යාම ෂහිදුල් සිය රටෙහි කලක සිට ප්‍රගුණ කර ඇති ක්‍රියාවක්.

ඇම්නෙස්ටි ආයතනය විසින් ලොවම අවධානයට ලක් කළ යුතු දේශපාලන සිරකරුවකු ලෙස දැනටමත් නම් කර ඇති ෂහිදුල් අලාම්ට යුක්තියා හා සාධාරණය ඉටු වේද? පුරවැසි අයිතීන් පතා විවෘතව අදහස් දැක්වීමේ“වරදින්” ඔහු නිදොස් කොට නිදහස් කෙරෙන්නේ කවදාද? අපි මහත් ඕනෑකමින් බලා සිටිමු.