විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය

විජයානන්ද ජයවීර

යම්කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වගකීමකි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය (right to correction)  යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළවූ විට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට කෙනෙකුට ඇති අයිතිය (right to reply)  ද මෙහි ම දිගුවකි.

එහෙත් එවැනි සහේතුක ඉල්ලීමක් ජනමාධ්‍යයක් විසින් කිසිදු හේතුවක් නො දක්වා නො තකා හරිනු ලැබුවොත් කුමක් කළ හැකි ද? මුද්‍රිත මාධ්‍යයක් විසින් අසාධාරණ ලෙස එවැනි නො සලකා හැරීමක් කළ හොත් ඒ සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් මැදිහත් වීමට ස්වාධීන පුවත්පත් පැමිණිලි මණ්ඩලය හෝ ඇත. එහෙත් එවැනි නිවැරදි කිරීමේ ඉල්ලීමක් විද්‍යුත් මාධ්‍යයක් විසින් අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබූ විට ඒ සඳහා මැදිහත් වීමට ස්වාධීන නියාමන ආයතනයක් අපට නැත. විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ද ස්වාධීන නියාමන ආයතනයක් අවශ්‍ය බව කලක සිට සාකච්ඡා වෙමින් තිබේ. එහෙත් විද්‍යුත් මාධ්‍යයක පළවන කරුණුමය අසත්‍ය නිවැරදි කර ගැනීමට වින්දිත පුද්ගලයන්ට මේ අයිතිය ලබාදීම පිළිබඳ කුකුසක් මේ සාකච්ඡාවලට මැදිහත් වීමේ දී දැකගන්නට ලැබේ.

යම් කරුණක් පිළිබඳව විද්‍යුත් මාධ්‍යයක පළවූ වැරදි වාර්තාවක් නිවැරදි කර ගැනීමට කෙනකුට ඇති අයිතිය නො වැදගත් යයි සිතන අයගේ මූලික තර්කයක් වන්නේ නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා සමාජයක අදහස් ප්‍රකාශ කිරීමේ දී සිදු විය හැකි හැම අනර්ථයක් ම වැළැක්වීමට විධි විධාන යෙදීම එම නිදහස සීමා කිරීමට හේතු විය හැකිය යන්නයි. මූලික ව මෙය 17 වන සියවසේ ජීවත් වූ ස්කොට් ජාතික දාර්ශනිකයෙකු වූ ජෝන් ස්ටුවර්ට් මිල්ගේ අදහස් පදනම් කර ගත් තර්කයකි. ප්‍රකාශන නිදහස නියාමනය කළ යුත්තේ හුදෙක් ඒ නිසා වෙනත් අයට නිසැක ව ම බරපතළ හානි සිදු විය හැකි නම් පමණි යැයි මිල් ප්‍රකාශ කළේ ය. ඒ අනුව පුද්ගලයකු සම්බන්ධයෙන් කරුණුමය අසත්‍යයක් පළවීමක දී වූව ද එ නිසා පොදුවේ බරපතළ හානියක් සිදු නො වන්නේ නම් එය නිවැරදි කිරීම ගැන වගකීමකට ජනමාධ්‍ය ලක් කිරීම ප්‍රකාශනයේ නිදහසට බාධාවක් විය හැකි යැයි ඇතැම්හු අදහති.

ප්‍රකාශන නිදහස අයිතියක් ලෙස තහවුරු වීම සම්බන්ධයෙන් මිල්ගේ අදහස් වල බලපෑම ඉතා වැදගත් බව අවිවාදිත ය. ප්‍රකාශන නිදහස නිසි ලෙස ආරක්ෂා වීමට නම් ගැරහීම්, නිග්‍රහ, අවලාද අපවාද කිරීමට පවා සමාජයක ඉඩකඩක් තිබිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය. මිල් ට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ දී සමාජය තුළ ඇතිවිය හැකි එවැනි දුෂ්චර්යා නියාමනය කළ යුත්තේ සමාජ කතිකාව තුළ ම ඒවා විවේචනය කොට පිටු දැකීමෙන් මිස නීතියෙන් නියාමනය කිරීමෙන් නොවේ. මන්ද එවැනි නීති අයුතු ලෙස භාවිත කිරීමෙන් තමන් අකැමැති අදහස් පළවීම වැළැක්වීමට පාලකයන්ට ඉඩ ලැබෙන බැවිනි. වඩා සුදුසු දෙය වන්නේ සමාජ නියාමනය මගින් කතිකාවක ශිෂ්ටකම පවත්වා ගෙන යාම බව මිල් අදහස් කළේ ය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අයිතියක් ලෙස නො සැලකූ පූර්ව ජනමාධ්‍ය සමාජයේ සමාජ කතිකාව (පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් තිබුණා නම්) ආගමික හා සමාජ සාරධර්ම මගින් නියාමනය වූ බව සිතිය හැකිය. එහෙත් එවැනි පූර්ව ජනමාධ්‍ය සමාජ කතිකා වල අදහස් පළ කිරීමේ හා මැදිහත් වීමේ හැකියාව බොහෝ විට ධුරාවලියට අනුව සිදු වූවක් මිස ප්‍රකාශනයේ අයිතියක් මත සිදු වූවක් නොවේ. අනෙක් අතට වර්තමානයේ මෙන් නොව පූර්ව මාධ්‍යය යුගයේ එවැනි කතිකා බහුජන මට්ටම් දක්වා පුළුල් වීමට තරම් සාක්ෂරතාවක් වත් ජනමාධ්‍ය මෙවලම් වත් සමාජය සතු ව නො තිබුණි.

කෙසේ වෙතත් ස්ටුවර්ට් මිල් ගේ අදහස් ප්‍රජාතන්ත්‍රවාදය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැඩ ගැස්වීමට බෙහෙවින් දායක වූ බව පිළිගත යුතු ය. කිසිදු බලපත්‍රයකින් තොර ව පුවත්පතක් ප්‍රකාශ කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබිය යුතු බවට ඔහු ඉදිරිපත් කළ පත්‍රිකාවේ පුවත්පත් නිදහස පිළිබඳ ඉතා වැදගත් කරුණු රැසක් අඩංගු වේ. එහෙත් ස්ටුවර්ට් මිල් මියගියේ ජනමාධ්‍යයක් වශයෙන් විද්‍යුත් මාධ්‍ය සතු විය හැකි බලපෑම ගැන හාංකවිසියක්වත් උපකල්පනය කිරීමට නො හැකි ව තිබූ 1872 දී ය. පුමුඛතම ජනමාධ්‍ය ලෙස රූපවාහිනිය අවතීර්ණ වීමට තවත් වසර සීයක් බලා සිටීමට සිදු විය. පුවත්පත එක ම ජනමාධ්‍යය වූ කියවන්නන් සුළු සංඛ්‍යාවක් සහිත සමාජයක විසූ ස්ටුවර්ට් මිල්ට අති මහත් සමාජයක් මෙහෙයවීමට විද්‍යුත් මාධ්‍ය බලපත්‍රධාරීන් අතළොස්සකට වරප්‍රසාදය හිමි වන සමාජ සංදර්භයක් අත්විඳීමට අවස්ථාවක් නො ලැබුණි. මහජන කතිකාව ස්ථාන ගත කිරීමට හා මෙහෙයවීමට අද කාලයේ විද්‍යුත් මාධ්‍ය මගින් කරන බලපෑම පෙර නොවූ විරුය. ඒ නිසා මහජන යහපත මුල් කරගෙන විද්‍යුත් මාධ්‍ය ස්වාධීනව නියාමනය කිරීම පිළිබඳ කෙරෙන කතිකා වල දී ස්ටුවර්ට් මිල්ගේ අදහස් ගළපා ගැනීම ප්‍රවේසමෙන් කළ යුත්තකි.

මෙහි දී අප විසින් මුලින් ම සිහි තබා ගත යුතු කරුණ වන්නේ අදහස් ප්‍රකාශ කිරීම හා ප්‍රවෘත්ති ආදී තොරතුරු ප්‍රකාශ කිරීම යන දෙක එකක් ම නොවන බවයි. මත හා අදහස් මෙන් නොව මාධ්‍ය භාවිත කොට ලබා ගන්නා ප්‍රවෘත්තිමය තොරතුරක් යන්නෙන් අප අදහස් කරන්නේ අඩු වැඩි වශයෙන් සාක්ෂි මත පිහිටා ජනමාධ්‍යවේදීන් විසින් සෑහෙන දුරට නිරවද්‍යතාව තහවුරු කර ගනු ලැබූ කරුණු වලටයි. එහෙත් එවැනි තොරතුරක් වැරදි බව හෙළි වූ වහාම ඒවා නිවැරදි කර ප්‍රචාරය කිරීම ජනමාධ්‍යවේදියාගේ හා ජනමාධ්‍ය ආයතනයේ වෘත්තීය යුතුකමක් බවට පොදු පිළිගැනීමක් තිබේ. තමන් ප්‍රචාරය කළ තොරතුරක වැරැද්දක් දුටු විට එය නිවැරදි කිරීම ජනමාධ්‍යවේදියකුගේ වෘත්තීය වගකීමක් නම් ජනමාධ්‍යය ඔස්සේ තමන් සම්බන්ධව ප්‍රචාරය වූ කරුණුමය අසත්‍යයක් නිවැරදි කිරීමට කෙනෙකු විසින් කරන සාධාරණ ඉල්ලීමක් මාධ්‍ය නිදහසට එරෙහි වන්නේ යැයි සිතීම අයුතු ය.

කරුණුමය අසත්‍ය නිවැරදි කිරීමේ අයිතිය හුදෙක් එම අසත්‍ය නිසා පීඩනයට ලක්වන වින්දිතයා පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. නිවැරදි කිරීමේ අයිතිය නො වැදගත් කරච්චලයක්යැයි සලකන අය අමතක කරන වැදගත් ම කාරණය වන්නේ එකී අයිතිය අදාළ විද්‍යුත් මාධ්‍යයට කන්දෙන හෝ නරඹන අයට නිවැරදි තොරතුර ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳ ව ද වැදගත් ප්‍රශ්නයක් බවයි. මන්ද වැරදි කරුණු මත පදනම් වූ තොරතුරු විකාශනය කිරීමට ඉඩ ඇරීම අසන්නන් හා නරඹන්නන් මුලාවේ දැමීමක් වන බැවිනි. මේ අර්ථයෙන් ගත් විට මේ නිවැරදි කිරීමේ අයිතිය විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතයේ වෘත්තීය ගුණාත්මක බව රැකීම අතින් ද අතිශයින් වැදගත් වේ.

යුරෝපීය රටවල මෙන් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රිත මාධ්‍ය මේ අයිතිය එකහෙළා පිළි ගැනීමට මැලිකමක් දක්වයි. පුවත්පත් සම්බන්ධයෙන් පිළිතුර දීමේ අයිතිය තහවුරු කිරීමට රජය මැදිහත් වීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් විය හැකි බවට ඇමෙරිකානු අධිකරණය විවාදාත්මක තීන්දු දී තිබේ. කෙසේ වෙතත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් නම් විද්‍යුත් මාධ්‍යයට වඩා ඉහළ ආරක්ෂණයක් මුද්‍රිත මාධ්‍යයට තිබිය යුතු බවට පොදු පිළිගැනීමක් ඇමෙරිකාවේ ඇත. එනිසා මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් කිසිම නියාමනයක් කිරීමට තැත් කිරීම ඇමෙරිකානු සම්ප්‍රදාය අනුව අකැප දෙයකි. එහෙත් විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ඒ හා සමාන සැලකීමක් නොමැති බවත් පිළිතුරු දීමේ අයිතිය වැඩසටහන්වල සාධාරණත්වය පිළිබඳ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකූ බවත් ඇමෙරිකානු එක්සත් ජනපදයේ චිර ප්‍රසිද්ධ රෙඞ් ලයන් නඩුකරය විමසා බැලූ විට පෙනේ..

1969 අමෙරිකාවේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම එදිරිව රෙඞ් ලයන් ගුවන් විදුලි සමාගම පිළිබඳ නඩුවට නිමිත්ත වූයේ ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයකු පිළිබඳ ලියූ පොතක් විචාරය කළ වැඩසටහනක් රෙඞ් ලයන් නමැති ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කළ ආකාරය පිළිබඳ ඇති වූ මත භේදයකි. එකී පොත විචාරය කිරීමේ දී පොතේ විචාර ක්ෂේත්‍රයට පරිබාහිර ව තමන් පෞද්ගලිකව අවමානයකට ලක් කළ නිසා අසාධාරණයක් සිදු ව ඇතැයි ද, ඒ පිළිබඳ පිළිතුරක් දීමට තමාට අවස්ථාවක් ලබා දිය යුතු යැයි ද එම පොත ලියූ මාධ්‍යවේදියා රෙඞ් ලයන් ගුවන් විදුලියෙන් ඉල්ලා සිටියේ ය. ඒ සඳහා එම වැඩසටහනේ පටි ගත කළ පිටපතක් ද තමාට ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය. එහෙත් රෙඞ් ලයන් ගුවන් විදුලි ආයතනය එම ඉල්ලීම් සහමුලින්ම ප්‍රතික්ෂේප කළේ ය.

එවිට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන ආයතනය ලෙස මේ සම්බන්ධයෙන් මැදිහත් වූ ඇමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම එකී වැඩසටහනේ අන්තර්ගතය සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය පිටපතක් මාධ්‍යවේදියාට ලබාදෙන ලෙස රෙඞ් ලයන් ගුවන් විදුලි ආයතනයට නියෝග කළේ ය. පටි ගත කිරීමේ තාක්ෂණික පහසුකම් විරල ඒ අවධියේ වැඩසටහනක පිටපතක් ලබාගත හැකි ව තිබුණේ ගුවන් විදුලි ආයතනයෙන් පමණි. එහෙත් කොමිසමේ එම නියෝගය රෙඞ් ලයන් ගුවන් විදුලි ආයතනය සැලකුවේ 1791 තරම් ඈතදී ඇමෙරිකානු ව්‍යවස්ථාවට කළ ප්‍රථම සංශෝධනය මගින් තහවුරු කර ඇති පරිදි අදහස් ප්‍රකාශ කිරීමට තමන්ට තිබිය යුතු නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. රෙඞ් ලයන් ගුවන් විදුලි ආයතනයේ අදහස වූයේ මාධ්‍යවේදියාගේ ඉල්ලීම කුමක් වුවද තමන්ගේ වැඩසටහන් සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමට තැත් කිරීම ගුවන් විදුලි ආයතනයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

එහෙත් ඊට ප්‍රතිපක්ෂව ෆෙඩරල් සන්නිවේදන කොමිසම පෙන්වා දුන්නේ එකිනෙකට විරුද්ධ මත නිදහස් සහ සාධාරණ ලෙස සාකච්ඡාවට ලක්වීම මහජන යහපත සඳහා අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව විවාදාත්මක කරුණු ප්‍රචාරය කිරීමේදී ප්‍රතිවිරුද්ධ මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දීම සාධාරණ බැවින් ඒ අනුව පැමිණිලිකාර මාධ්‍යවේදියාගේ මතයද ප්‍රචාරය කිරීමට රෙඞ් ලයන් ගුවන් විදුලි ආයතනයට වගකීමක් ඇති බවයි. රෙඞ් ලයන් ගුවන් විදුලිය සහ සන්නිවේදන කොමිසම අතර ඇති වූ මේ ආරවුල අවසන් තීරණය සඳහා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු විය. රෙඞ් ලයන් ගුවන් විදුලියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ව ඉදිරිපත් වූ තර්ක ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය කළ හේතු දැක්වීම අපේ සාකච්ඡාවේ මුඛ්‍ය කාරණය වන පිළිතුරු දීමේ අයිතියට බෙහෙවින් අදාළ වෙයි. සංක්ෂිප්තව ගත හොත් ඒ නිගමන මෙසේ ය.

■ අදහස් ප්‍රකාශ කිරීම ව්‍යවස්ථාපිත අයිතියක් කිරීමට ඇමෙරිකානු ව්‍යවස්ථාවට කළ ප්‍රථම සංශෝධනයේ අරමුණ වන්නේ ම වඩා දැනුවත් ජනතාවක් බිහිකිරීම බව පළමු කොටම ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය. මේ නිසා මාධ්‍ය අන්තර්ගතය සාධාරණ වීම පිළිබඳ සිද්ධාන්තය ක්‍රියාත්මක විය යුතු බවට ෆෙඩරල් සන්නිවේදන කොමිසම විසින් නියම කරනු ලැබීම ගුවන් විදුලි සමාගමේ අදහස් පළ කිරීමේ අයිතියට පටහැනි යැයි පිළිගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නො හැකිය. අදාළ ආරවුලේ දී වඩා වැදගත් වන්නේ ශ්‍රාවකයන්ගේ (දැන ගැනීමේ) අයිතිය මිස ගුවන් විදුලි සමාගමේ (අදහස් පළ කිරීමේ) අයිතිය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයයි. පිළිතුරු දීමේ අයිතිය සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ ඒ කාරණය සඳහායි.

■ අදහස් පළකිරීමේදී සිදුවිය හැකි අසාධාරණය වැළැක්වීමට කටයුතු කිරීම මාධ්‍ය ආයතනයක වගකීමකි. විද්‍යුත් මාධ්‍ය භාවිතයේදී සාධාරණත්වය පිළිබඳ සිද්ධාන්තය බැහැර කළහොත් සිදුවිය හැක්කේ සිය අයිතිකරුවන්ගේ අභිමතයට සරිලන අයට පමණක් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමට අදාළ ගුවන් විදුලි ආයතනය පෙළඹීම බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය.

■ ගුවන් විදුලියක් පවත්වා ගෙන යාමට සීමිත මහජන සම්පතක් වන විද්‍යුත් තරංග භාවිත කළ යුතු ය. ඒ සඳහා බලපත්‍රයක් ලැබීමේ වරප්‍රසාදය හැම කෙනෙකුටම ලබාගත හැකි දෙයක් නොවේ. එබැවින් බලපත්‍රධාරී විද්‍යුත් මාධ්‍යයකට තමන්ට අභිමත පරිදි පුද්ගලික වාරණයක් කිරීමට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යොදා නොගත නො හැකි යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය. තමන්ට අභිමත මතය තෝරා ගැනීම තීරණය කිරීමට ගුවන් විදුලි ආයතනයට ඉඩදීමට වඩා වැදගත් වන්නේ එම ගුවන් විදුලිය අසන අයට අදාළ කරුණ පිළිබඳව සියලු පැති දැනගැනීමට ඇති අයිතිය බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ය.

බහුවිධ මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගැනීමට මහජනතාවට ඉඩ ලබාදෙන බැවින් පිළිතුරු දීමේ අයිතිය තොරතුරු ලබාගැනීමේ ඉඩ පුළුල් කිරීම අතින් මහජන යහපත සඳහා ඉතා වැදගත් වන බව මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය කොමිසම පෙන්වා දී ඇත. ඔස්ටි්‍රයාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ෆින්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්වීඩනය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල පිළිතුරු දීමේ අයිතිය සෑහෙන කලක් තිස්සේ පිළිගෙන තිබේ. මේවා අතරින් ප්‍රංශයේ පිළිතුරු දීමේ අයිතිය පුවත්පත් නිදහස පිළිබඳ නීතියෙන් ම තහවුරු කර ඇත්තේ 1881 තරම් ඈත කාලයේයි. එහෙත් මේ අයිතිය ලබා දීම නිසා එතෙක් මෙතෙක් ප්‍රංශයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අගතියක් වී නො මැත.

කෙසේ වෙතත් ජනමාධ්‍ය භාවිතයේ දී යමකු සම්බන්ධව පළ වන කරුණුමය අසත්‍ය නිවැරදි කර ගැනීමට ඔහුට ඇති අයිතියට ඉඩ දීම තරමක් ප්‍රවේසමෙන් කළ යුත්තකි. සාමාන්‍ය පුද්ගලයන් මෙන් නොව මහජන නියෝජිතයන්, දේශපාලනඥයන් සහ නාමධාරී පුද්ගලයන් බාධාවකින් තොර ව මහජන සංනිරීක්ෂණයට ලක් කිරීමේ ඉඩකඩක් ජනසමාජයට තිබිය යුතු ය. එනිසා ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ විවේචන වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස පිළිතුරු දීමේ අයිතිය අවභාවිත කොට ජනමාධ්‍ය බිය ගැන්වීමට ඉඩ නො තැබිය යුතු ය. අනෙක් අතට එය නිදහසට කරුණක් වශයෙන් දක්වා එම අයිතිය නො සලකා හැරීම ද අයුතු වැඩකි. සුදුසු ම දේ නිවරැදි කිරීමේ අයිතිය භාවිත කිරීමේ හැකියාව හැකි තරම් පටු ලෙස නීතිය මගින් ම නිර්ණය කර තිබීම හා ඒ සම්බන්ධ ආරවුල් නිරාකරණය කර දීමට ස්වාධීන නියාමන ආයතනයකට පැවරීමයි. ඒ අනුව නිවැරදි කිරීමේ අයිතිය අදාළ විය යුත්තේ විවෘත මත ප්‍රකාශ කිරීම සම්බන්ධව නොව කිසිවකු සම්බන්ධයෙන් කරුණුමය අසත්‍යයක් ප්‍රචාරය වූ විට එය නිවැරදි කිරීම සඳහා පමණි. කොටින් ම යෝජිත නිවැරදි කිරීම හෝ පිළිතුර ඒ කරුණුමය අසත්‍ය නිවැරදි කිරීමට පමණක් සීමා විය යුතුයි. නිවැරදි කිරීමේ අයිතිය සාධාරණ ලෙස ප්‍රතික්ෂේප කිරීමට අදාළ මාධ්‍යයට හැකි වන අයුරු නියාමන නීති සැකසී තිබීම මගින් එකී අයිතිය මාධ්‍යයට එරෙහිව අවභාවිතා කිරීම වැළැක්විය හැකිය. ඒ සීමාවන්ට අනුව නිවැරදි කිරීමට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා පිළිතුර දිගු වීම, නිවැරදි කිරීමේ මුවාවෙන් වෙනත් කරුණු ඉදිරිපත් කිරීමට තැත් කිරීම, අපරාධමය චෝදනාවකට ලක් විය හැකි හා සදාචාරයට පටහැණි තොරතුරු යෝජිත පිළිතුර මගින් ඉදිරිපත් කිරීම, පිළිතුර මගින් තුන්වැනි පාර්ශ්වයක නීත්‍යනුකූල හිමිකම් උල්ලංඝනය වීමට ඉඩ තිබීම, අදාළ කරුණ ප්‍රචාරය වීමෙන් නිවැරදි කිරීම ඉල්ලන පුද්ගලයාගේ නීත්‍යනුකූල අයිතියක් උල්ලංඝනය වී ඇතැයි පෙන්වා දීමට අපොහොසත් වීම හා ප්‍රචාරය වූ තොරතුරු පාර්ලිමේන්තුව, වෙනත් රජයේ අධිකාරයක් හෝ අධිකරණයක් විසින් පැවසූ දෙයකින් ඍජුව උපුටා ගත් දෙයක් වීම වැනි කරුණු මත පිළිතුරු දීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමට ජනමාධ්‍යයකට අයිතිය තිබිය යුතු ය. ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි මතභේද විසඳීම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ස්වාධීන නියාමන යාන්ත්‍රණයක කාර්යභාරයයි.